ඇබ්බැහි වන්නෝ කවරහුද, තවද ඒ මන්ද?
ඔබ මහ මාර්ගය ඔස්සේ රථයක් ධාවනය කරන විට, එන්ජිමෙන් අමුතු ශබ්දයක් ඔබට ඇසෙයි. ඔබ ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද? ගැටලුව කුමක්ද කියා බැලීම සඳහා ඔබ එන්ජිම පරීක්ෂා කරනු ඇත්ද? එසේත් නැතහොත් ශබ්දය යටපත් කිරීම සඳහා ඔබ නිකම්ම ගුවන් විදුලියේ ශබ්දය වැඩි කරන්නට යනවාද?
පිළිතුර පැහැදිලි බව පෙනේ, නමුත් යම් දෙයකට ඇබ්බැහි වූ අය නොකඩවාම වැරදි තේරීම කරති—එනම් ඔවුන්ගේ රථවාහන සම්බන්ධව නොව, නමුත් ඔවුන්ගේ ජීවිත සමඟිනි. මත්ද්‍රව්‍ය, මත්පැන් සහ ආහාර වැනි ද්‍රව්‍යයන් මගින් බොහෝ දෙනෙකු තැත් කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ගැටලුවලට සාර්ථකව මුහුණ දීම වෙනුවට ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කිරීමටය.
ඔහු හෝ ඇය ඇබ්බැහි වී සිටිනවාද නැද්ද කියා කෙනෙකුට කිව හැක්කේ කෙසේද? එක් වෛද්‍යවරයෙක් එය මෙලෙස පැහැදිලි කරයි: “ප්‍රධාන වශයෙන්, මත්ද්‍රව්‍යයක් හෝ යම් කටයුත්තක් ඔබගේ ජීවිතයට ගැටලු ඇති කරන නමුත් ඔබ දිගටම එය කරමින් සිටිනවා නම් එය අබ්බැහිවීමකි.”
තත්ත්වය මෙය වන විට, ඇබ්බැහි වීම ආශ්රිත හැසිරීම වෙනස් කිරීමට පෙර පරීක්ෂා කිරීමට අවශ්‍ය වන වඩාත් බරපතළ අභ්‍යන්තර ගැටලුවක් තිබේ.
මත්ද්‍රව්‍ය සහ මත්පැන්
මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතා කිරීමේ මඟ තෝරාගැනීමට කෙනෙකුව පොලඹවන්නේ කුමක්ද? විශේෂයෙන් යෞවනයන්ට, තුල්‍ය පීඩනය සහ කුතුහලය බොහෝ විට සැලකිය යුතු කොටසක් දරයි. ඇත්ත වශයෙන්ම, බොහෝ අයවලුන් ඇබ්බැහි වීමට හේතුව වන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කරන අයවලුන් සමඟ ඔවුන්ට තිබෙන නරක ඇසුරයි. (1 කොරින්ති 15:33) එක්සත් ජනපදයේ සිදු කරනු ලැබූ පර්යේෂණයකින් උසස් පාඨශාලා සිසුන්ගෙන් සියයට 41ක් සෑම සති දෙකකට වරක් සිත් සේ සුරා බීමෙහි නියැලී සිටි බව හෙළි වීමට හේතුව මින් පැහැදිලි විය හැකිය.
කෙසේ නමුත්, අනිසි භාවිතය සහ ඇබ්බැහිවීම අතර වෙනසක් ඇත. ද්‍රව්‍යයන් අනිසි ලෙස භාවිතා කරන බොහෝ දෙනෙක් ඊට ඇබ්බැහිවී නොසිටිති.a මොවුන්ට එම අනිසි භාවිතය නතර කළ හැකි අතර, අනතුරුව නැවතත් එයට හැරීමට බලවත් පෙලඹීමක් නොමැතිව සිටිය හැකිය. එහෙත් ඇබ්බැහි වූ අයවලුන්ට එම පුරුද්ද තමන්ට නතර කළ නොහැකි බව තේරෙයි. තවදුරටත්, ඔවුන් කලක ඉන් ලබා ගත් ඕනෑම ප්‍රමුදිත හැඟීමක් වේදනාවේ හැඟීම් මගින් යටපත් කරනු ලැබේ. ඇඩික්ෂන්ස් නමැති පොත මෙසේ පැහැදිලි කරයි: “ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් සාමාන්‍ය දෙය වනුයේ, තම ඇබ්බැහිවීමේ යම් කාලසීමාවක් තුළදී, ඔවුන් තමන්ටම ද්වේෂ කිරීමට පටන් ගන්නා අතර, ඔවුන්ගේ ඇබ්බැහි වීම ඔවුන්ව ග්‍රහණය කොට ඇති අකාරය නිසා ඔවුන් අතිශයින් පීඩා විඳීමට පටන් ගැනීමයි.”
මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය මත රඳා සිටින බොහෝ දෙනෙකු ඒවා භාවිතා කරන්නේ චිත්ත වේගීය උග්‍ර අවස්ථාවලින් ගැළවීමේ මාර්ග වශයෙනි. එවන් උග්‍ර අවස්ථාවන් අදදින බෙහෙවින් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. ඇරත් මෙය සැබවින්ම අපව පුදුමයට පත් කළ යුතු නැත, මන්දයත් බයිබලය මෙම දවස් හඳුන්වන්නේ “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” තිබෙන්නට යන, මෙම දේවල පිළිවෙළේ “අන්තිම දවස්” වශයෙනි. මනුෂ්‍යයෝ “මුදලට ප්‍රේමකරන්නෝව,” “උදාරම්කාරයෝව,” “අභක්තිකයෝව,” “කෲරයෝව,” “ද්‍රෝහියෝව” සහ “අහංකාරයෝව,” සිටිනු ඇති බවට බයිබලය පුරෝකථනය කළේය. (2 තිමෝති 3:1-4) මෙම ගති ලක්ෂණ නිසා ඇබ්බැහිවීමට සරු බිමක් වන්නා වූ පරිසරයක් සකස් වී තිබේ.
සූසන්ගේ චිත්ත වේගීය උග්‍ර තත්ත්වයට හේතුව වූයේ ඇගේ බාල වියේදී ඇයව අනිසි අයුරින් සලකනු ලැබීමය. එමනිසා, ඇය කොකේන් නමැති මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පටන් ගත්තාය. “එය මට පාලනය කිරීමේ සහ ආත්ම-අභිමානයේ ව්‍යාජ හැඟීමක් ලබා දුන්නා,” යනුවෙන් ඈ පවසයි. “මට දෛනික පදනමක නොහැඟුණා වූ බලයේ හැඟීමක් එමගින් මට ලැබුණා.”
ඇබ්බැහි වූ පිරිමි නහඹරයන් සම්බන්ධයෙන් කරනු ලැබූ අධ්‍යයනයකදී තුනෙන් එකකටත් වඩා වැඩි පිරිසක් ශාරීරික අඩන්තේට්ටම්වලට ලක් වී සිටි බව හෙළි විය. මත්පැන්වලට ඇබ්බැහි වූ වැඩිහිටි ස්ත්‍රීන් 178දෙනෙකු සම්බන්ධයෙන් කරනු ලැබූ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ සියයට 88ක ප්‍රතිශතයකට යම් ආකාරයකින් බරපතළ ලෙස අඩන්තේට්ටම් කරනු ලැබූ බවයි. දේශනාකාරයා 7:7හි බයිබලය මෙලෙස පවසයි: “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය [මෝඩ ලෙස ක්‍රියා කරන්නේය, NW ].” යම් දරුණු ජීවිත අද්දැකීම් නිසා චිත්ත වේගීය ලෙස පීඩා විඳින කෙනෙකු සහනය ලබා ගැනීමේ අටියෙන් පසු කලෙක මෝඩ ලෙස මත්ද්‍රව්‍යවල පිහිට පැතීමට ඉඩ ඇත.
එහෙත් ජනයා ඇබ්බැහිවන්නේ මත්ද්‍රව්‍යවලට හා මත්පැන්වලට පමණක් නොවේ.
ආහාර ගැනීමේ අක්‍රමිකතා
(ඇතැම් ප්‍රවීණයෝ ඇබ්බැහිවීම් ලෙස හදුන්වන) ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇතැම් අවස්ථාවලදී අප්‍රසන්න හැඟීම්වලින් සිත වෙනතකට යොමු කිරීම සඳහා ක්‍රියා කරයි. නිදසුනක් වශයෙන්, පෞද්ගලික බලාපොරොත්තු සුන්වීම්වලට ඇතැම් අයවලුන් වරද තබන්නේ බර වැඩිවීම මතය. “මං මහත්වී සිටින්නේ, මගේ ජීවිතයේ වැරදෙන සෑම දෙයකටම මගේ මහත්කම මත දොස් පැවරිය හැකි නිසා යයි මං සමහරවිට කල්පනා කරනවා,” යනුවෙන් ජෙනි පවසයි. “මෙනිසා යම් කෙනෙකු මට අකමැති වුවහොත්, මට නිතරම මගේ බර වැඩිවීම මත වරද පැටවිය හැකියි.”
වෙනත් අයවලුන්ට, ආහාර අනුභව කිරීමෙන් ලැබෙන්නේ තමුන්ට කටයුතු සියල්ල පාලනය කළ හැකි බවට වූ බොරු මවා පෑමකි.b පුද්ගලයෙකුට බලය තිබෙන බවට හැඟීමක් සපයන එකම ක්ෂේත්රය ආහාර විය හැකිය. ආහාර ගැනීමේ අක්‍රමිකතා තිබෙන බොහෝ දෙනෙකු සිතන්නේ තමන්ට යම් ආකාරයක දෝෂයක් තිබෙන බවයි. ආත්ම-වටිනාකමේ හැඟීම් ගොඩනගා ගැනීම පිණිස, ආහාර සඳහා ඔවුන්ගේ ශරීර දක්වන දැඩි ආශාව යටපත් කිරීමට ඔවුහු වෙර දරති. එක් ස්ත්‍රියක් මෙසේ පැවසුවාය: “ඔබගේ ශරීරයෙන් ඔබ ඔබගේම රාජධානිය සකස් කරගනියි, එහිදී කෲරයාද සම්පූර්ණ ඒකාධිපතියාද ඔබ වෙයි.”
ඉහත සඳහන් අද්දැකීම් වනාහි මත්ද්‍රව්‍ය, මත්පැන් සහ ආහාර යනාදියට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් නොවෙයි. විවිධ සාධක ඊට සම්බන්ධ විය හැකිය. ඇබ්බැහිවීමකට ඇතැම් අයවලුන්ව හසු වීමට වඩාත් පහසු වීමට හේතුව ඔවුන්ගේ ප්රවේණි සැකැස්මට සම්බන්ධ වන බව පවා ඇතැම් ප්‍රවීණයෝ යෝජනා කරති. “අපට දකින්ට ලැබෙන්නේ, පෞද්ගලිකත්වය, පරිසරය, ජීවවිද්‍යාව සහ සමාජ පිළිගැන්ම යනාදියේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි,” යයි මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ ජාතික ආයතනයට අයත් ජැක් හෙනිංෆීල්ඩ් සඳහන් කරයි. “එක සාධකයක් දෙස පමණක් බැලීමෙන් රැවටෙන්න අපට වුවමනා නැත.”
තත්ත්වය කුමක් වුවත්, ඇබ්බැහි වූ ඕනෑම කෙනෙක්—එනම් ඔහු හෝ ඇය ඇබ්බැහිවීමට හේතුව කුමක් වුවත්—ශාරීරික හෝ චිත්ත වේගීය විනාශයට යොමු වී සිටියි. උපකාරය ලබා ගත හැකිව තිබේ. g94 4⁄22
[පාදසටහන්වල]
a ඇබ්බැහිවීමකට මඟ පෑදුවත් නැතත්—මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යවල අනිසි භාවිතය, දූෂ්‍ය කරවන දෙයක් වන අතර ක්‍රිස්තියානි භක්තිකයන් එයින් වැළකී සිටිය යුතුය.—2 කොරින්ති 7:1.
b ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩිතර තොරතුරු 1990 දෙසැම්බර් 22 එවේක්! සහ 1992 ජූනි 8 පිබිදෙව්! සඟරාවල සොයා ගත හැකිය.
[5 පිටුවෙහි ඇති කොටුව]
ඇබ්බැහිවීමේ සමස්ත ලෝක වසංගතයක්
◼ මෙක්සිකෝ නගරයේ කළ පර්යේෂණයකදී හෙළි වූයේ අවුරුදු 14 සහ 65 අතර වයස්වල සිටින පුද්ගලයන් 8දෙනෙකුගෙන් 1කෙනෙක් මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙකු බවය.
◼ සමාජ සේවිකාවක් වන සරීටා බ්රෝඩන් ජපානයේ ආහාර ගැනීමේ අක්රමිකතාවල පුළුල්ව ව්‍යාප්තවීමක් වාර්තා කරන්නීය. ඈ මෙසේ පවසයි: වර්ෂ “1940 සහ 1965 අතර කාලයේදී, ආහාර ගැනීමේ අක්රමික අවස්ථාවල ස්ථිර වැඩිවීමක් තිබූ අතර, ඒ හේතුවෙන් 1965 සහ 1981 අතර කාලයේදී නේවාසික-රෝගීන් සහ නේවාසික නොවූ-රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක් දක්නට ලැබීය. කෙසේවෙතත්, 1981 පටන්, අග්නිමාන්ද්‍යය සහ බුභුක්ෂාව යන ආහාර ගැනීමේ අක්රමිකතාවල වැඩිවීම ඉතා පුදුමසහගත වී ඇත.”
◼ චීනයේ හෙරොයින් භාවිතා කරන අයවලුන්ගේ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව පෙනේ. කුන්මිං මත්ද්‍රව්‍ය අනිසි භාවිත පර්යේෂණ ආයතනයේ වැඩ කරන වෛද්‍ය ලී ජීයන්හ්වා මෙසේ පවසයි: “රටේ මායිම් අසල ප්‍රදේශයෙන් අභ්‍යන්තරයටත්, ගම්බඳ ප්‍රදේශයෙන් නගරවලටත් එමෙන්ම එන්ට එන්ටම වයසින් අඩු අයවලුන් වෙතටත් හෙරොයින් භාවිතය ඇදී ගොස් තිබේ.”
◼ ස්විට්සර්ලන්තයේ සූරික්හිදී පරීක්ෂණයක් ලෙස විවෘත මත්ද්‍රව්‍ය වෙළඳ පොළක් බලාපොරොත්තු සුන්භාවයෙන් කෙළවර වුණි. “මත්ද්‍රව්‍ය වෙළඳුන්ව හෙළි කිරීමට අපට හැකි වේවි කියා අපි සිතුවා, නමුත් අපි අසාර්ථක වුණා,” යනුවෙන්ද, තමන් එමගින් ඈත ප්‍රදේශවල සිටි මත්ද්‍රව්‍ය වෙළඳුන් සහ එය පාවිච්චි කරන්නන්ව ආකර්ෂණය කරමින් සිටියා පමණක් යයි වෛද්‍ය ඇල්බර්ට් වයිට්ස්ටයින් ශෝකයෙන් පැවසුවේය.