නව ඖෂධ සඳහා වූ සිත් ඇදගන්නා සෙවීම
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
රබර්, කොකොවා, කපු සහ වේදනා නාශකවල පොදු ලක්ෂණය කුමක්ද? සියල්ල පැළවලින් ලබාගත හැක. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් සෑදෙන සීනි හා ඔක්සිජන්වලට අමතරව, කොළ පැහැති පැළවල ඇති වෙනත් ප්‍රධාන රසායනික ගොඩනැගීමේ කොටස්වලින්ද අතිවිශිෂ්ට ද්‍රව්‍ය රාශියක් නිපදවනු ලැබේ. එක් එක් පැළයට ආවේනික වූ ගුණයන් දෙන්නේ මෙම ද්විතීයික රසායනික ද්‍රව්‍යයන්ය.
කහඹිලියාවක බූව, ඇපල් ගෙඩියක ප්‍රණීත රසය සහ රෝස මලක මිහිරි සුවඳ යන මේ සියල්ලම ඇති වන්නේ පැළ තුළින්ම නිපදවන රසායනික ද්‍රව්‍යයන්ගේ විවිධ සංයෝගවීම් හේතුවෙනි. මෙබැවින්, තනි ඵලයක් මෙන් පෙනිය හැකි දෙය බොහෝ විට ඉතා සංකීර්ණ මිශ්‍රණයකි.
ස්වභාව ධර්මයාගේ රසායනික කර්මාන්තශාලා
කොකෝවාවලට ආවේනික වූ සුවඳ ගැන සලකා බලන්න. විද්‍යාඥයන් මෙතෙක් දුරට මෙම අද්විතීය සුවඳ සෑදීමට සංයෝගවන වාෂ්පශීලී විවිධ රසායනික ද්‍රව්‍ය 84ක් සොයාගෙන තිබෙන බව ඔබ දැන සිටියෙහිද? කකාඔ බෝංචිවල අඩංගු දෑ අතිශයින් සංකීර්ණවන අතර ඒවා හඳුනාගැනීමට මෑත වර්ෂවලදී ඉමහත් ප්රයත්නයක් දරා ඇත. තවද එය හුදෙක් එක ස්වාභාවික නිෂ්පාදනයක් පමණකි.
කොලෙස්ටෙරොල් වනාහි මේද සහිත ද්‍රව්‍යයකි, සමහරවිට එය වඩාත් ප්‍රසිද්ධියක් ලබා තිබෙන්නේ මානව හෘදයාබාධ සමඟ සමහරවිට ඊට තිබිය හැකි සම්බන්ධය නිසාය. එහෙත්, ඇතැම් පැළවල ස්ටෙරොයිඩ නමැති වටිනා රසායනික ද්‍රව්‍යයන්ගේ කාණ්ඩයක් සෑදීම සඳහා එය ආරම්භක ස්ථානයකි. විටමින් D, (කෝඊටිසෝන් වැනි) හෝමෝන සහ ප්‍රති-ප්‍රදාහක බෙටමෙතසොන් වැනි ඖෂධ ස්ටෙරොයිඩවලට ඇතුළත් වේ. මුඛයෙන් ගන්නා උපත් පාලන පෙති සෑදීමේදී යොදාගැනෙන ස්ටෙරොයිඩයක් වන ඩයියොසෙනින් නිපදවනු ලබන්නේ එක්තරා කැලෑ අලවර්ගයකිනි. අනෙක් අතට, කෝඊටිසෝන් වනාහි, කෙඳි සෑදීමෙන් පසු සීසාල් කොළයේ පල්පයෙන් මිරිකාගන්නා ස්වාභාවික ස්ටෙරොයිඩයකි. අදදින නව ඖෂධ බොහොමයක් ප්‍රථමයෙන් ලබාගත්තේ ශාක පටකවලිනි.
ශාක සහ මිනිසා
මිනිසාගේ කෘත්‍රිම ඖෂධ භාවිතය නවීන දින වෛද්‍ය සංවර්ධනයක් වුවත්, පැළවලින් මිරිකාගන්නා දේ වසර දහස් ගණනක් පුරා සාමාන්‍ය රෝගවලට ප්‍රතිකාර වශයෙන් යොදාගෙන තිබේ. වේදනාව අඩු කිරීමට පොදු වාතකාමී පුෂ්ප සහිත වර්ගයක් භාවිතා කළ බවට මුල් ඇසිරියානු වාර්තා විස්තර කරයි. තවද ඵාරාවෝගේ කාලයේ සිට මිසර වෛද්‍ය පැපිරස් ග්‍රන්ථවල, ඖෂධ පැළෑටි පුළුල් වශයෙන් භාවිතා කළ බවට හෙළි වේ.
ලොව පුරා ඖෂධ පැළෑටි 20,000ක් පමණ භාවිතා කරන බවට ජගත් සෞඛ්‍ය සංවිධානය වාර්තා කර ඇත. විවිධ පැළෑටි නිෂ්පාදන 5,500ක පමණ වූ ද්‍රව්‍ය වශයෙන් බ්‍රිතාන්‍යයේ පමණක් වාර්ෂිකව පැළෑටි ටොන් 6,000 සිට 7,000 දක්වා භාවිතා කෙරෙන බවට තක්සේරු කර ඇති අතර, එක්සත් ජනපදයේ, සියලු වෛද්‍යවරුන්ගේ බෙහෙත් තුන්ඩුවලින් අඩකට වඩා පැළෑටිවලින් ගනු ලැබූ ඖෂධ සටහන් වූ බවට සැලකේ.
නව ඖෂධ සෙවීම
ලෝකයේ තිබෙන පැළෑටිවලින් දන්නා පැළෑටි විශේෂ 2,50,000ක් තිබෙන අතර, සෑම එකකටම අද්විතීය විය හැකි සංයෝගයක් තිබේ, ප්‍රයෝජනවත් ඖෂධ සොයාගැනීමට විද්‍යාඥයෝ නිරතුරුවම හෝඩුවාවන් සොයමින් සිටිති. පැහැදිලි මාර්ගයක් නම් ජනයා විසින්, ප්‍රතිකාර සඳහා තමන් වෙසෙන ප්‍රදේශයේ වැවෙන පැළෑටි අසනීපවලට යොදාගන්නා ආකාරය අධ්‍යයනය කිරීමය.
කොකා නමැති කොළ හැපීමෙන් කුස ගින්න නැසීම හා වෙහෙස නිවීම නිරීක්ෂණය කිරීමෙන් කොකේන් සොයාගැනීම ඇරඹුණි. කොකේන් අණුවක් වෙනම ගෙන, විද්‍යාඥයෝ එහි ව්‍යූහය වෙනස් කිරීමෙන් ස්ථානීය නිර්වින්දනයක් වශයෙන් යොදාගැනීම සඳහා කෘත්‍රිම ව්‍යුත්පන්නයක් (අනෙකකින් උකහාගත්තක්) නිපදවූහ. වේදනාකාරී අද්දැකීමකින් ඔබව බේරාගැනීමට ඔබේ දන්ත වෛද්‍යවරයා ඔබේ හක්කේ කොටසක් “හිරිවැටීමට” ඔබට බෙහෙතක් විද ඇත්නම්, මෙම පර්යේෂණයෙන් ඔබ හොඳින් ප්‍රයෝජන ලබා තිබෙන්නට පුළුවන.
පැළ වර්ග භාවිතා කිරීම පිළිබඳ තවමත් ප්‍රසිද්ධියට පත් නොකළ වටිනා තොරතුරු රැසක් උද්භිද විද්‍යාගාර ලිපි ගොනුවල පිරී තිබේ. හාවඩ් විශ්ව විද්‍යාලයේ ග්‍රේ ශාකාගාරයේ සහ ආනල්ඩ් වෘක්ෂාගාරයේ අවුරුදු හතරකට වැඩි කලක් පුරා නිදර්ශකයන් මිලියන 2.5ක් පරීක්ෂා කිරීමෙහි නියැලුණු විද්‍යාඥයන්ට ඖෂධ සඳහා විය හැකි මූලාශ්‍ර හැටියට කලින් නොසලකා හරින ලද ශාකා වර්ග 5,000ක් හඳුන්වා දීමට හැකි විය.
පරීක්ෂා කිරීමේ වෙනත් මාර්ගයක් පැළවල අඩංගු රසායනික ද්‍රව්‍යයන් සැසඳීමය. එක් විශේෂයක ප්‍රයෝජනවත් සංයෝග අඩංගු වේ නම්, ඊට සම්බන්ධ විශේෂද අනර්ඝ විය හැක. මෝර්ටන් බෙයි චෙස්ට්නට් නම් උතුරු ඕස්ට්‍රේලියානු ගසක පර්යේෂණ පවත්වද්දී, කැස්ටනොස්පර්මයින් නමැති වෛරසයනට විරුද්ධව ක්‍රියාකරන වස විශේෂයක් වෙනම හඳුනා ගනු ලැබූ විට ඒ හා සමාන ගස් සොයමින් සිටි උද්භිද විද්‍යාඥයන් යෝජනා කළේ දකුණු අමෙරිකානු ඇලෙක්සාවල මත පර්යේෂණ පවත්වන ලෙසටය.
පිළිකාවට එරෙහිව පර්යේෂණය
ඇතැම්විට හෝඩුවාවන් නොමඟ යැවිය හැකි වුවද, අනතුරුව අනපේක්ෂිත ප්‍රතිඵල නෙළා ගැනීමට හැකි වේ. උදාහරණයක් වශයෙන්, මැඩගස්කර් මිනීමල් වර්ගයක සාරවලින් දියවැඩියාවට ප්‍රතිකාර කළ හැකි බවට පවසා තිබුණි. කැනේඩියානු පර්යේෂකයන් එය පරීක්ෂා කිරීමට පටන්ගත් නමුත්, ඔවුන්ව පුදුමයට පත් කරවමින් මිනීමල් වර්ගයේ සාරය, සුදු රුධිරාණුවල නිපදවීම අඩු කරමින් ප්‍රතිශක්ති පද්ධතිය මර්දනය කළේය. සුදු රුධිරාණුවල පිළිකාවක් වන ලිව්කීමියාවට එරෙහිව මෙම ශ්‍රාවය යොදාගත හැකිදැයි පරීක්ෂා කිරීමේ අදහස මෙමගින් වෛද්‍යවරුන්ට ඇති විය.
අවසානයේදී ද්‍රව්‍ය 90ක් පමණ වෙන්කොට සලකා බැලූ අතර ඉන් දෙකක්, වින්ක්රිස්ටයින් හා වින්බ්ලාස්ටයින් වශයෙන් හැඳින්වේ, ඒවා වෛද්‍යමය ලෙස ප්‍රයෝජනදායක බවට ඔප්පු විය. පැළෑටිය තුළ ඒවා තිබෙන්නේ කෙතරම් සුළු ප්‍රමාණයක්ද කිවහොත් වින්ක්රිස්ටයින් අවුන්ස .07ක් නිපදවීමට එම පැළෑටි ටොන් එකක් පමණ අවශ්‍යව තිබේ. අදදින මෙම සංයෝග හා ඒවායේ ව්‍යුත්පන්නයන් ළමාවියේ ලිව්කීමියාවට ප්‍රතිකාර කිරීමේදී ලොව පුරා යොදා ගැනෙන රසචිකිත්සාවක් සපයයි.
එක්දාස් නවසිය 50ස් ගණන්වල අග භාගයේදී, එ.ජ. ජාතික පිළිකා ආයතනය වසර-25ක ක්රමානුකූල පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කළ අතර මේ කාලයේදී පිළිකාව සම්බන්ධයෙන් වගාකර ඇති පැළ විශේෂ 40,000කින් පැළ 1,14,000ක සාර ගෙන අර්බුද ඇතිවීම වැළැක්වීමට හැකිදැයි පරීක්ෂා කෙරුණි. මේවායින් 4,500ක් පමණ, තවදුරටත් අධ්‍යයනය කිරීම ඵලදායි බව දක්වමින් දැකිය හැකි ප්‍රතිඵල නිපදවිය. එහෙත් භිෂග්වේදී වෛද්‍ය. උපදේශක ඩබ්. සී. එවන්ස් මෙසේ හුවා දක්වයි: “එය එතරම්ම වැදගත්වුවද, එවන් පර්යේෂණයක ඍජු ප්‍රතිඵලයක් වශයෙන් “පිළිකා නිවාරක ඖෂධ පුළුල්-වර්ණාවලියක් (රාශියක්) ඇත්තෙන්ම සම්බ වේ” යයි කීමට නොහැකි තරම්ය. බහුල වශයෙන් වෙනස් පිළිකා තිබෙන අතර, මෙම පරීක්ෂණවලදී යොදාගැනුණේ ඉක්මනින්-වැඩෙන පිළිකා-සෛල ස්වල්පයක් පමණි.
ඉපැරණි පැළෑටිවලින් නව ඖෂධ
ඉතා-හොඳින් දන්නා පැළෑටි පර්යේෂකයන්හට වැඩි දුරට සිතීමට බොහෝ කරුණු සපයයි. උදාහරණයක් වශයෙන්, ඉඟුරු, ඔක්කාරය වැළැක්වීමට මඟක් වශයෙන් දැන් යොදාගැනේ, විශේෂයෙන්ම චාලන රෝගයa වැළැක්වීමට එය ඵලදායකය. වඩාත් වැදගත් ලෙස, නිවර්තන පරපෝෂිත ශිෂ්ටොසෝමයිසියා (බිල්හාර්සියාව) රෝගයෙන් පෙළෙන්නන්ව මුදවාගැනීමට ඉඟුරු ඵලදායි බව ඔප්පු කළ හැක. ඉඟුරු පිටිවලින් සැදූ පෙති භාවිතයෙන් නයිජීරියාවේ ආසාදිත පාසැල් ළමුන් පිළිබඳ පරීක්ෂණ පෙන්නුම් කළේ, ඔවුන්ගේ මුත්රාවල රුධිරය හටගැනීම නැවතී ඇති අතර ශිෂ්ටොසෝම් බීජ ප්‍රමාණය පහත බැස ඇති බවය.
තව ඖෂධ සොයනු වස් එළවළු රාජධානිය පරීක්ෂා කිරීමේ කාර්යය පර්යේෂකයන් විසින් ඇරඹුවා පමණි. සාපේක්ෂ වශයෙන් හොඳින් දන්නා පැළෑටිවල පවා, තවමත් බොහෝ රහස් පවතියි. වැල්මී ඇති රසායනික ද්‍රව්‍ය තුළ ප්‍රබල ප්‍රති-ප්‍රදාහ කාරකයන් ඇති බැවින් හා සන්ධි ප්‍රදාහයෙන් වේදනා විඳින ඇතැම් පුද්ගලයන්ට සහනයක් දීමට ඒවායේ ව්යුත්පන්නයන්ට හැකි බැවින් එය දැන් බොහෝ ප්‍රසිද්ධියක් උසුලයි. විද්‍යාඥයෝ, දිලීර මර්දන හා ක්ෂුද්‍ර ජීවී මර්දන ප්‍රතිඵල සඳහා සාමාන්‍යයෙන් වතුවල වැවෙන මෑ වර්ගයට අයත් වැල් වර්ගයද පරීක්ෂා කරමින් සිටිති.
ලෝකයේ ඇතැම් ප්‍රදේශවල පැළ විශේෂ, එනම් එම පැළ වාර්තා කිරීමට පෙර, ඒවා හිතුවක්කාර ලෙස විනාශ කර දැමීමෙන් අදහස් කරන්නේ, නව ඖෂධ සෙවීම නිරතුරුවම ඉක්මනින් කළ යුතු බවය. ශාක පරෙස්සමින් ඉතා-හොඳින් දන්නා පැළ සම්බන්ධයෙන් පවා, විශ්ලේෂණය කිරීමත් ඒවායේ ප්රවේණි ලක්ෂණ රක්ෂා කිරීමත් ප්රමුඛව කළ යුතු යමක්ව තිබේ. එහෙත් විසඳීමට තවමත් එක් ගැටලුවක් තිබේ: මෙම අතිවිශිෂ්ට රසායනික ද්‍රව්‍යවලින් බොහොමයක් මෙම පැළවලටම ප්‍රයෝජනවත් වේද? ඇයි, උදාහරණයක් වශයෙන්, මානව ශුභසිද්ධිය සඳහා අත්‍යවශ්‍ය යයි සොයාගත් හෝමෝනයක් වන අධි සාන්ද්‍රණයෙන් යුත් නෝරැඩ්රිනලීන් වැනි ද්‍රව්‍ය, පර්ස්ලේන් නම් ඖෂධ ගුණැති පැළය මගින් නිපදනවන්නේ මන්ද?
සැබවින්ම, පැළ ජීවිතයේ සංකීර්ණතා ගැන අපගේ දැනගැන්ම තවමත් අතිශයින් සීමාසහිතය. එහෙත් අප දන්නා දෙය යොමු දක්වන්නේ උතුම් නිර්මාතෘවරයෙකුට ප්රණාමයක් ගෙනදෙමින් සමස්ත නිර්මාණයකටය. g94 5/8
[පාදසටහන්වල]
a 1982 ජූලි 22 එවේක්! කලාපයේ 31වන පිටුව බලන්න.
[26 පිටුවෙහි ඇති පින්තූරය]
චාලන රෝගයට විෂ නාශක ඖෂධයක් වශයෙන් ඉඟුරු යොදා ගැනේ