මා ප්‍රේම කළ දෙයට වෛර කිරීමට මා ඉගෙන ගත්තා
ගහගැනීම මගේ ජීවිතය වී තිබුණා. මගේ මුළු වැර යොදා මගේ එදිරිවාදියාට බුකුල් පහර දීමටත් ඔහු මගේ පාමුළ වැටෙනවා දැකීමටත් හැකි වීමෙන් මා සතුටක් ලැබුවා. බොක්සිං කොටුව මැද සිටගෙන පොරයේ ජයග්‍රාහකයා වශයෙන් මගේ නම නිවේදනය කරනවා ඇසීමෙන් මා පුදුම ප්‍රීතියක් ලැබුවා. මා බොක්සිංවලට ඉතා ආශාවක් දැක්වූවා! එහෙත්, දැන් ප්රචණ්ඩත්වය ගැන සිතන විටම මාව සිත්තැවුලට පත්වෙනවා. මා දැන් අපරාධ ක්‍රීඩාව ලෙස හඳුන්වන බොක්සිං ක්‍රීඩාවට වෛර කිරීමට ඉගෙනගෙන තිබෙනවා.
වර්ෂ 1944දී, මට වයස හතක්ව සිටියදී, මා උපන් පුවටෝ රිකෝහි ලාරෙස්වල ජීවත් වෙමින් සිටියා. මගේ මව මැරුණා යන කම්පිත කරවන සැබෑව භාරගත්තේ එවිටයි. ඇය වයස 32දී පිළිකාවකින් මියගියා. ටික කලකට පසු, මා පාසැලෙන් පැමිණි විට මගේ පියාගේ උකුළේ ස්ත්‍රියක් වාඩි වී සිටිනවා දුටු විට වේදනාව තවත් උසුලාගත නොහැකි දෙයක් බවට පත්වුණා. ඇය මගේ කුඩම්මා බවට පත්වුණා.
මගේ කුඩම්මාට මා අකමැති බව ඇයට දැනී, මට දරුණු ලෙස සැලකුවා. එබැවින් මා නිවසෙන් පැන ගියා. ගල් අඟුරු සහ දොඩම් පටවා තිබූ ට්‍රක් රථයකට රිංගාගත් මට එහි නින්ද ගියා. මා ඇහැරුණු විට දූපතේ අනිත් පැත්තේ, එනම් සාන් හ්වාන් නගරයේ මා සිටින බව දැනගැනීමට ලැබීම කෙතරම් පුදුමයක්ද!
වීදි සටන්කාමියා
මාස අටකට මා ජීවත් වුණේ සැන් හ්වාන්හි වීදිවලයි. අනෙක් බාලයන් මට නිරතුරුවම හිරිහැර කරන්නට වුණා. මගේ ජීවිතය බේරාගන්නට මට ගහගන්නට සිදුවෙනවා ඇතැයි මා නිගමනය කළා. මාස අටකට පසු මාව පොලිසියට සම්බ වී මාව ගෙදර යවනු ලැබුවා. මා කිසිවිටෙකත් කුඩම්මා කෙනෙකු සිටිනවා යන අදහසට එකඟව හැඩගැසුණේ නැති අතර, මගේ කාලයෙන් වැඩි හරියක් ගත කළේ වීදිවලයි. හැමදාම වාගේ මා ගහගැනීමකට සම්බන්ධ වුණා. මට වයස දහය වූ විට, මා නැවතත් නිවසෙන් පලා ගියා.
සති කීපයකට පසුව, පොලිසිය මාව නැවතත් අල්ලාගත්තා. මේ වතාවේදී මගේ නම හා මා පැමිණියේ කොතැනින්දැයි ඔවුන්ට පැවසීමට මා ප්‍රතික්ෂේප කළා. මගේ පවුලේ අයව සොයාගන්න නොහැකි වුණායින් පසුව, ග්වායිනාබො නගරයෙහි රජයෙන් ක්‍රියාත්මක කළ අනාථ දරු නිවාසයකට ඔවුන් මාව යැවුවා. එහිදී මා මගේ පළමු බොක්සිං මිටිකසුව පැළඳගත්තා. මගේ ජීවිතයේ පළමු වතාවට යෙහෝවඃවහන්සේ යන නම දැන්වීම් පුවරුවක දුටුවේද එහිදියි. මා ඒ ගැන විමසූ විට, ඔවුන් මට පැවසුවේ යෙහෝවඃවහන්සේ යුදෙව්වන්ගේ දෙවි කෙනෙකු බවයි. ඒ නම මට කොහෙත්ම අමතක වුණේ නෑ.
මට වයස 15වූ පසු, මා යළි කවදාවත් නොඑන ලෙස අනාථ දරු නිවාසය හැර ගියා. මාව නඩත්තු කරවීම සඳහා මා පුවත්පත් විකුණන්න පටන්ගත්තා. කෙසේවුවත්, සෑම වීදියක්ම පත්තර විකුණන වෙනත් කෙනෙකුගේ වීදියක්ව තිබුණා. මගේම වීදියක් පිහිටුවා ගැනීමට තිබුණේ එක් මාර්ගයක් පමණි: එනම් ගහගැනීමයි! තවද මා කරමින් සිටියෙත් එයයි.
වර්ෂ දෙකකට පසු මා එ.ජ. හමුදාවට බැඳී, අ.එ.ජ. ආර්කාන්සාස්හි මූලික පුහුණුව ලැබුවා. වැඩිකල් නොගොස් මා බොක්සිං කණ්ඩායමක සාමාජිකයෙකු බවට පත්වුණා. එවිට මාව විශේෂ සේවා ඒකකයට මාරුකර හැරියා. මට වැඩ කොටස් තිබුණේ සරඹ හලෙයි, මගේ සාර්ජන්ට් බොක්සිං පුහුණු කරන්නෙකුව සිටියා.
කෲර ක්‍රීඩාවක්
මගේ එදිරිවාදීන්ට හානි කිරීමට මගේ මිට පහර යොදාගන්නා ආකාරය සම්බන්ධයෙන් මට පුහුණුවක් ලැබුණා. බොක්සිං කොටුවේදී මිත්‍රත්වයන් නොසලකා හැරීමට මාව පුහුණු කර තිබුණා. සීනුවක හඬ ඇසෙනවාත් සමඟම, මිතුරෙක් බිමහෙළිය යුතු, හතුරෙකු බවට පත්වන අතර පුළුවන් නම් නැගිටින්නට බැරි වන ලෙසින් බිම හෙළුවා නම් වඩාත් හොඳය.
හමුදාවේ රැඳී සිටීමට මට වුවමනා වූ නමුත්, මගේ සාර්ජන්ට් මට මෙසේ පැවසුවා: “ඔබ හැකි ඉක්මනින් හමුදාවෙන් විශ්‍රාම ගන්න. වෘත්තීය බොක්සිංකරුවෙකු වන්න, තවද වසර කීපයකින් ඔබ නිව් යෝර්ක් නගරයේ මැඩිසන් ස්ක්වැයාර් ගාර්ඩන් මල්ලව භූමියේ පොර අල්ලනවා රූපවාහිනියෙන් මට දකින්න පුළුවන්.” මෙය විශ්වාස කිරීමට අමාරු දෙයකි! දුප්පත්, නිවහනක් නැති පිරිමි ළමයෙකු වන මා ප්‍රසිද්ධ බොක්සිංකරුවෙකු බවට පත්වෙයිද?
වර්ෂ දෙකකට පසුව මා යුධ හමුදාවෙන් ඉවත්වී, නැවතත් පුවටෝ රිකෝහි පදිංචියට ගියා. දිනක් 1956දී, මා ගෝල්ඩන් ග්ලව්ස් නම් බොක්සිං ආධුනික බොක්සිං තරඟාවලියක් සඳහා නිවේදනයක් දැක්කා. මා තරඟාවලියට ඇතුළු වූ අතර පුවටෝ රිකෝහි ගෝල්ඩන් ග්ලව්ස් වෙල්ටර බර ශූරයා බවට පත්වුණා. ඉන්පසු මා ගෝල්ඩන් ග්ලව්ස් ජාතික තරඟාවලියේ සහභාගි වීමට නිව් යෝර්ක් නගරයට ගුවනින් ගියා. අවසාන පූර්ව තරඟයට ඇතුල්වන තෙක්ම මා ජයගත් නමුත් මට ශූරතාව දිනාගන්නට නොහැකි වුණා. කෙසේනමුත්, වැඩිකල් නොගොස් අපේක්ෂිත පාලකයන්ගෙන් හා පුහුණුකරුවන්ගෙන් රැකියා පිරිනැමීම් තිබුණා. එබැවින් නිව් යෝර්ක් නගරයේ නැවතී පුහුණු වී වෘත්තීය ක්‍රීඩකයෙක් වීමට කළ පිරිනැමීම පිළිගත්තා.
වර්ෂ 1958දී, මා වෘත්තීය බොක්සිංකරුවෙක් බවට පත්වුණා. තවද මගේ සාර්ජන්ට් පැවසූ දේ සැබෑවක් වුණා. වර්ෂ 1961දී, එනම් හමුදාව හැරයෑමෙන් වර්ෂ පහකට පසු, මා මැඩිසන් ස්ක්වැයාර් ගාර්ඩන්හි බොක්සිං ගසමින් ජාතික රූපවාහිනියෙහි පෙනී සිටියා. මගේ තරඟ බොහොමයක් පැවැත්වුණේ එම ප්‍රකට ක්‍රීඩා මල්ලව භූමියෙයි.
මගේ බුකුල් පහරවලින් බොක්සිං ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ වෘත්තීන් අවසානයකට පත්වුණා. මගේ දරුණු බුකුල් පහරවල් එකක ප්‍රතිඵලයක් වශයෙන් මෙක්සිකෝවල එක් බොක්සිංකරුවෙකුට සම්පූර්ණයෙන්ම සිය පෙනීම අහිමි වුණා. මගේ හෘදය සාක්ෂියට විශාල බරක් බවටද පත්වූ වෙනත් තරඟයක් වුණේ ඩොමිනියන් සමූහාණ්ඩුවේ මැදුම්බර ශූරයායි. තරඟයට පෙර ඔහුට වඩා මා රාත්තලකින් බර වැඩියි යන කාරණය මත ඔහු ප්‍රශ්නයක් ඇති කළා. ඔහුගේ ආකල්පය මාව කුපිතයට පත් කළා. එතරම් ගණන් නොගත යුතු බරක් මට වඩා එදිරිවාදියෙකුට තිබුණු විට මා කිසිදාක විරුද්ධ වෙලා නෑ. මා ඔහුට මෙසේ පැවසුවා: “හොඳයි, ලෑස්තිවෙලා ඉන්න, අද රෑට මා ඔබව මරනවා!” මා කොටුව තුළට ගිය විට, මට “යක්ෂාකාර පෙනුමක්” තිබුණ බවට එක් පුවත්පතක් සඳහන් කළා. විනාඩි දෙකක් යන්නත් කලින්, මිනිසා කැන්වසය මත සිහිනැතිව ඇදවැටුණා. ඔහුගේ අභ්‍යන්තර කන කෙතරම් දරුණු ලෙස හානි වූවාද කිවහොත් ඔහු නැවත කිසිදා බොක්සිං ගැසුවේ නෑ.
බොක්සිංවලට වෛර කිරීමට මා ඉගෙනගත් ආකාරය
මගේ ජනප්‍රියත්වය මගින් නළුවන්ගේ හා සංගීතඥයන්ගේ අවධානය හා මිත්‍රත්වය ඇදගනු ලැබුවා. කලින් ලෝක ගුරුබර ශූරයාව සිටි ජෝ ලුවිස් මගේ තරඟවලින් එකකට ප්‍රසිද්ධව දිරිදීමක යෙදුණා. මා බොහෝ ගමන්බිමන්වල යෙදුණා, සුඛෝපභෝගි මෝටර් රථ තිබුණා, වෙනත් ද්‍රව්‍යමය දේවල් භුක්තිවින්දා. කෙසේවුවත්, බොක්සිංකරුවන් වැඩි දෙනෙකුට වුණාක් මෙන්ම, මගේ සාර්ථකත්වය කෙටි-කාලීන එකක් වුණා. වර්ෂ 1963දී, තරඟ කීපයකදී මට දරුණු ලෙස හානි සිදු වූ අතර නැවත තරඟ කරන්නට හැකි වුණේ නෑ.
මේ වන විට ජනප්‍රිය බොක්සිංකරුවෙක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් බවට පත්වී ඇතැයි යන පුවත්පත් ලිපිය මා කියෙව්වා. යම් හේතුවක් නිසා, ලිපිය කියවීමෙන් පසු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ආගම පොහොසත් අයට පමණයි යන හැඟීම මා තුළ පවතින්නට වුණා.
ඊළඟ අවුරුදු ස්වල්පය තුළ, මා වෛද්‍ය ගැටලු ගණනාවක් අද්දැක්කා. මා දරුණු විෂාදයේ කාල පරිච්ඡේදද විඳින්නට වුණා. එවන් එක් අවස්ථාවකදී, මා මගේ හෘදයට තුවක්කුව තබා මටම කොකා ගැස්සුවා. ඉළ ඇටයක් මගින් මූණිස්සම වෙනතකට හැරවීමෙන්, මගේ ජීවිතය බේරුණා. මා ජීවතුන් අතර සිටි නමුත්, මා ඉතා අසතුටෙන් හා ඉතා අසනීපයෙන් සිටියා. තවදුරටත් මුදල් නෑ, ප්‍රසිද්ධිය නෑ, බොක්සිංගසන්නටද හැකිකමක් නෑ!
එවිට, මගේ බිරිඳ ඩොරිස්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ තමා බයිබලය පාඩම් කරමින් සිටි බවත්, ඇයට රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට යන්නට වුවමනා බවත් දිනක් මට පැවසුවා. “මං දන්නේ නෑ, ඩොරිස්,” යයි මා පැවසුවා. “අපි දුප්පත් මිනිස්සු, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයෝ පොහොසත්, වැදගත් මිනිස්සු.” ඇය සමඟ පාඩම් කරමින් සිටි සාක්ෂිකාරිය අපගේම අසල්වැසි ප්‍රදේශයක ජීවත් වූ බැවින් මෙය සැබෑ වෙන්න බෑ යයි ඈ මට පැවසුවා. එබැවින් රැස්වීම්වලට යෑමට ඇය ගත් තීරණයට මා එකඟ වුණා. එක් අවස්ථාවකදී ඇය එන තෙක් මා රාජ්‍යය ශාලාවේ පිටත සිටියදී, සාක්ෂිකරුවෙකු මට ඇතුළට එන්න කිව්වා. මා ඇඳ සිටියේ කිලුටු සේවා ඇඳුම්, නමුත් ඔහු එන්න යයි බල කර සිටියා. මගේ පෙනුම මොකක්වුණත් මාව සාදරයෙන් පිළිගත්තා. මිත්‍රශීලී වාතාවරණය මා තුළ ගැඹුරු පෙලඹීමක් ඇති කළා.
වැඩිකල් නොගොස් මා සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන්ගත්තා. මට පවසා තිබූ පරිදි, යෙහෝවඃවහන්සේ යුදෙව්වන්ගේ දෙවියන්වහන්සේ පමණක් නොව, නමුත් උන්වහන්සේ සර්වබලධාරිවූ, සියල්ලේ මැවුම්කරුවාණන්වූ එකම සැබෑ දෙවියන්වහන්සේ බව ඉගෙන ගත්තා. යෙහෝවඃ දෙවියන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට වෛර කරන බවද මා ඉගෙන ගත්තා. ගීතාවලිය 11:5 බයිබලය මෙසේ පවසයි: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] ධර්මිෂ්ඨයා විමසනසේක. නුමුත් උන්වහන්සේගේ ආත්මය දුෂ්ටයාටත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාටත් ද්වේෂකරයි.” එබැවින් බොක්සිංවලට සම්බන්ධ සෑම දෙයකින්ම මා ඉවත්වුණා. එය කෙතරම් ප්‍රචණ්ඩකාරි ක්‍රීඩාවක් වීදැයි මා අද්දැකීමෙන් දැන සිටියා. දෙවියන්වහන්සේ එය සලකන්නේ කෙසේදැයි දැනගත්තාට පසු, බොක්සිං ක්‍රීඩාව නපුරු, දුෂ්ට ක්‍රීඩාවක් වූ බවට මා තුළ කිසි සැකයක් තිබුණේ නෑ. ඔව්, මා ප්‍රේම කර තිබූ ක්‍රීඩාවට වෛර කිරීමට මා ඉගෙන ගත්තා.
විශාලතම වරප්‍රසාදය
වර්ෂ 1970දී, මගේ ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කිරීමට මා තීරණය කළා. එම වසරේ ඔක්තෝබර් මාසයේදී ඩොරිස් සහ මා බව්තීස්ම වුණා. එදා පටන් මා අන් අයට දේශනා කිරීමේ වරප්‍රසාදය භුක්තිවිඳ තිබෙනවා. පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙකු වශයෙන්, 40ස් දෙනෙකුට පමණ යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන් වීමට උපකාර කිරීමෙන් හවුල්වීමට මට හැකි වුණා.
මගේ ප්රචණ්ඩ අවුරුදුවලදී මා ඇති කරගත් තුවාල නිසා මා දැන් වේදනා විඳීම කනගාටුදායක දෙයකි. මගේ මොළයට ස්ථිර හානි පමුණුවමින්, මගේ හිසට බුකුල් පහරවල් සිය ගණන් ලැබුණා. මගේ කෙටි-කාලීන මතකය සමඟින් හා මගේ සමබරතාවට බලපාමින්, මගේ අභ්‍යන්තර කනේ ගැටලු මට තිබෙනවා. මගේ හිස ඉතා ඉක්මනින් සෙලෙව්වොත්, මට කැරකිල්ලක් ඇති වෙනවා. තවද, මට ඇති විෂාදයේ ගැටලු සඳහා මට නිතිපතා බෙහෙත් ගන්න සිදුවෙනවා. එහෙත්, මගේ සෙසු ක්‍රිස්තියානින් මෙය තේරුම්ගෙන, සාර්ථකව මුහුණ දීමට මට උපකාර කරනවා. යෙහෝවඃවහන්සේගේ නම හා අරමුණු අන් අයට නිතිපතා ප්‍රකාශ කිරීමේ හවුල්වීමට මට ශක්තිය දීම වෙනුවෙන් මා උන්වහන්සේට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
මා, සියලු වරප්‍රසාද අතුරින් සර්වබලධාරි දෙවියන්වහන්සේ සමඟ පෞද්ගලික සබඳතාවක් පවත්වාගැනීමේ මහඟු වරප්‍රසාදය භුක්තිවිඳිනවා. මා බොක්සිංකරුවෙකුව සිටියදී, මා සෑම තරඟයකින්ම යෙහෝවඃවහන්සේගේ හෘදය දුකට පත්කළා. දැන් මට උන්වහන්සේගේ හෘදය ප්‍රීති කරන්නට හැකියි. “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත [හෘදය, NW ] ප්රීතිකරපන්න,” යයි උන්වහන්සේ පවසන විට මට හැඟෙන්නේ උන්වහන්සේ මට පෞද්ගලිකව කථා කරමින් සිටින බවයි.
වැඩි කල් නොගොස් යෙහෝවඃවහන්සේ සියලු ප්රචණ්ඩත්වයන් හා ඒවා වැඩි දියුණු කරන්නන් ඇතුළු, සාතන්ගේ ක්‍රියා, අවසානයකට ගෙන එනු ඇත. හොඳ දෙයට ප්‍රේම කිරීමට පමණක් නොව, නමුත් නපුරට වෛර කිරීමටද මට ඉගැන්වීම ගැන මා යෙහෝවඃවහන්සේට කෙතරම් කෘතඥපූර්වක විය යුතුද! දරුණු බොක්සිං ක්‍රීඩාවට වෛර කිරීම එයට ඇතුළත්. (ගීතාවලිය 97:10)—ඔබ්ඩූල්යෝ නූන්යෙස් පැවසූ පරිදි. g94 6/8
[23 පිටුවෙහි ඇති පින්තූරය]
ඔබ්ඩූල්යෝ නූන්යෙස්