මට සැබෑ ධනය ලැබුණු රට ඕස්ට්‍රේලියාව
එය 1971 අප්‍රියෙල් මාසය විය. ඕස්ට්‍රේලියාවේ වසර හතක් ගත කිරීමෙන් පසුව, මගේ පවුලේ අය බැහැදැකීමට මා මෑතක ග්‍රීසියට පැමිණ සිටියා. එය සැන්දෑ කාලයව තිබුණා, කාරිඑස් නම් ගමේ චතුරස්රයේ ආපන ශාලාවක මේසයක් අසල මා සන්සුන්ව වාඩි වී සිටි අවස්ථාවකදී ප්‍රදේශයේ පූජකයා නගරාධිපති සමඟ පැමිණ මා ඉදිරියේ වාඩි වුණා. ඔවුන් ආරවුලක් ඇවිස්සීමට ආශාවෙන් සිටි බව මට පැහැදිලි වුණා.
කිසි ආචාර කිරීමකින්වත් තොරව පටන් ගත් පූජකයා, මා ඕස්ට්‍රේලියාවට පදිංචියට ගොස් තිබුණේ මුදල් උපයාගැනීමේ අටියෙන් පමණක් බව මට චෝදනා කළා. මා මින් පුදුම වුණා යයි කීම මගේ හැඟීම්වල සැහැල්ලු විස්තරයක් පමණි. මා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙමින් සිටි කාලය තුළ, මුදල්වලටත් වඩා අතිශයින් වටිනා ධනය එක්රැස් කිරීමට මට හැකි වූ බව, හැකි තරම් සන්සුන් ලෙසින් මා පිළිතුරු දුන්නා.
මගේ පිළිතුර ඔහුව පුදුමයට පත් කළා, නමුත් මා අදහස් කළේ කුමක්දැයි දැනගැනීමට ඔහු බල කළා. වෙනත් දේවල් අතර, දෙවියන්වහන්සේට නාමයක් තිබෙන බව මට එහිදී ඉගෙනගන්ට ලැබූ බව මා පැවසුවා. “ඇරත් ඔබ මට මෙය ඉගැන්වීමට අතපසු කළා,” යයි ඔහු දෙස ඍජුව බලමින් මා පැවසුවා. ඔහු ප්‍රතිඋත්තර දෙන්නට කලින් මා මෙසේ ඇසුවා, “ ‘ඔබගේ නාමයට ගෞරව වේවා,’ යයි යාච්ඤා කිරීමට යේසුස්වහන්සේ ආදර්ශ යාච්ඤාවෙන් අපට ඉගැන්වූ විට උන්වහන්සේ යොමු දැක්වූ දෙවියන්වහන්සේගේ නාමය මොකක්ද කියා මට කරුණාකර කියන්න පුළුවන්ද?”—මතෙව් 6:9.
මත භේදය ගැන ප්රවෘත්ති, ගමේ චතුරස්රයේ ඉක්මනින් පැතිරුණ අතර, විනාඩි දහයකින් පමණ 200දෙනෙක් විතර අපව වට කළා. පූජකයාට නොසන්සුන් බවක් හැඟෙන්නට පටන් ගත්තා. දෙවියන්වහන්සේගේ නාමය පිළිබඳ මගේ ප්‍රශ්නයට ඔහු පිළිතුරු නොදුන් අතර, වැඩිදුර බයිබල් ප්‍රශ්නවලට ඔහු දුර්වල පිළිතුරු දුන්නා. ඕසූ නමැති ග්‍රීක් මත්පැන් විශේෂයක් ගෙනෙන මෙන් නැවත නැවත ආපන ශාලාවේ සේවකයාට පැවසීම නිසා ඔහුගේ ව්‍යාකූලත්වය තවත් පැහැදිලි වුණා.
උනන්දුමත් පැය දෙකක් ගත වුණා. මගේ පියා මා සොයමින් ආ නමුත්, සිදුවෙමින් පැවතුණ දෙය දුටු විට ඔහු මුල්ලක නිශ්ශබ්දව වාඩි වී බලාගෙන සිටියා. එම ප්‍රාණවත් සාකච්ඡාව ප.ව. 11:30 වන තෙක් දිගටම පැවතුණ නමුත්, ඉන්පසුව මත් වූ පූජකයා කෝපයෙන් කෑගසන්නට පටන් ගත්තා. එවිට බොහෝ සේ රෑ වී තිබූ නිසා අප සියලු දෙනාම නිවෙස්වලට යා යුතු බව මා සෙනඟට යෝජනා කළා.
මෙම විවාදයට හේතුව වූයේ කුමක්ද? පූජකයා සහ නගරාධිපති මා සමඟ වාද කිරීමට වෙර දැරුවේ මන්ද? ග්‍රීසියේ මෙම ප්‍රදේශයේ ඇති දැඩි වීමේ පසුතලය පිළිබඳ මද විස්තරයක්, ඔබට දේවල් වඩා පැහැදිලි වීමට උපකාරවත් විය හැක.
මුල් කාලයේදී දුෂ්කරතා
පෙලපොනිසස්හි කාරිඑස් නමැති ගම්මානයේ, 1940 දෙසැම්බර් මාසයේ මා උපත ලැබුවා. අප ඉතා දිළිඳුව සිටිය අතර, මා පාසැලට නොගිය අවස්ථාවලදී, හිරු උදාවීමේ සිට හිරු බැස යෑම තෙක් මගේ මව සමඟ, දණහිස දක්වා ගැඹුරු ජලය ඇති කුඹුරුවල හිටගෙන මම වැඩ කළා. අවුරුදු 13දී මා ප්‍රාථමික පාසැල අවසන් කළ විට, ආධුනිකයෙකු හැටියට වැඩ කිරීමට මගේ දෙමව්පියන් මට සැලසුම් යෙදුවා. ජලනල කාර්මිකයෙක් සහ ජනෙල් සවි කරන්නෙක් හැටියට මට පුහුණුවක් ලැබීම සඳහා, මගේ දෙමව්පියන් මගේ ස්වාමියාට තිරිඟු රාත්තල් 1,100ක්ද එළවලු තෙල් රාත්තල් 45ක්ද දුන්නා, මෙය බොහෝ දුරට ඔවුන්ගේ සම්පූර්ණ වාර්ෂික ආදායමට සමාන වුණා.
නිවසේ සිට සැතපුම් ගණනාවක් ඈතින් ජීවත් වෙමින් බොහෝ විට හිමිදිරියේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ කිරීම, ආධුනිකයෙකු හැටියට ඉතා දුෂ්කර වුණා. ආපසු ගෙදර යෑමට මං කල්පනා කළ අවස්ථාද තිබුණා, එහෙත් මගේ දෙමව්පියන්ට එබඳු දෙයක් කිරීමට මට නොහැකි වුණා. ඔවුන් විසින් මා වෙනුවෙන් විශාල පරාර්ථකාමී පරිත්‍යාගයක් කර තිබුණා. එමනිසා මගේ ගැටලු ගැන මම කවදාවත් ඔවුන්ට දැනගැනීමට සැලැස්සුවේ නැහැ. මා මටම මෙසේ කියා සිටියා: ‘කොතරම් දුෂ්කර වුවත්, ඔයා අත් නොහැරිය යුතුයි.’
වසර ගෙවී යනවාත් සමඟම, කලින් කලට මගේ දෙමව්පියන් බැහැදැකීමට මට හැකි වූ අතර, අන්තිමේදී මට අවුරුදු 18ක් වූ විට මගේ පුහුණුව අවසන් වුණා. එවිට මා ඇතන්ස් වෙතට යන්න තීරණය කළා, මෙය අගනුවර වූ අතර මෙහි වැඩි රැකියා ප්‍රස්තා තිබුණා. එහිදී මට රැකියාවක් සොයාගැනීමට හැකි වූ අතර මා කාමරයක් කුලියට ගත්තා. සෑමදාම වැඩ ඉවර කර නිවසට ආපසු පැමිණි මා, මගේ කෑම උයා, කාමරය සුද්ද පවිත්‍ර කර, ඊට පස්සේ මට තිබූ ස්වල්ප විවේක කාලය ඉංග්‍රීසි, ජර්මන් සහ ඉතාලි භාෂා ඉගෙනගැනීමට මා ගත කළා.
වෙනත් යෞවනයන්ගේ දුරාචාරමය කථාව සහ හැසිරීම මට හිරිහැරයක් වුණා, එමනිසා මා ඔවුන්ගේ ආශ්රයෙන් වැළකී සිටියා. එහෙත් මෙනිසා මට තනිකමක් දැනුණා. මට අවුරුදු 21ක් වූ විට, යුද හමුදාවේ සේවය කිරීමට මගෙත් අවශ්‍ය කරනු ලැබුවා, මේ කාලය පුරාම මගේ භාෂා අධ්‍යයනය මා දිගටම කරගෙන ගියා. පසුව, 1964 මාර්තු මාසයේදී, හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසුව, මා රට හැර ඕස්ට්‍රේලියාවට ගොස්, මෙල්බෝර්න්හි පදිංචි වුණා.
අලුත් දේශයක ආගමික ගවේෂණයක්
මට ඉක්මනින් රැකියාවක් සොයාගැනීමට හැකි වූ අතර, ග්රීසියෙන්ම පදිංචියට පැමිණි ආලෙක්සාන්ඩ්රා නම් වූ ග්‍රීක් ළඳක් මට හමු වුණා, මගේ පැමිණීමෙන් මාස හයකට පසුව අප දෙදෙනා විවාහ වුණා. වසර කිහිපයකට පසුව, 1969දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වූ වියපත් ස්ත්‍රියක්, අපගේ නිවසට පැමිණ, මුරටැඹ සහ පිබිදෙව්! නමැති සඟරා අපට ඉදිරිපත් කළා. එම සඟරා මගේ සිත් ගත් නිසා ඒවා ආරක්ෂා සහිත ස්ථානයක තබා, ඒවා විසි නොකරන මෙන් මගේ භාර්යාවට මා උපදෙස් දුන්නා. වසරකට පසුව වෙනත් සාක්ෂිකරුවන් දෙදෙනෙක් පැමිණ නොමිලයේ නිවාස බයිබල් පාඩමක් මට ඉදිරිපත් කළා. මා එය පිළිගත් අතර, ශුද්ධ ලියවිලිවලින් මා ඉගෙනගත් දේ මගේ ජීවිතයේ තිබූ හිස්භාවය පිරවීමට මා සොයමින් සිටි දෙයම වුණා.
මා සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරමින් සිටි බව මගේ අසල්වැසියා දැනගත් වහාම, එවැන්ජලිස්තවරු වඩා හොඳ ආගමක් බව පවසා ඇය මාව ඔවුන් වෙතට යැව්වා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එවැන්ජලිස්ත සභාවේ වැඩිමහල්ලෙකු සමඟද මා පාඩම් කිරීමට පටන් ගත්තා. වැඩි කල් යන්නට මත්තෙන් එවැන්ජලිස්තවරුන් සහ සාක්ෂිකරුවන් යන දෙගොල්ලන්ගේම රැස්වීම්වලට මා යන්නට පටන් ගත්තා, මන්ද සැබෑ ආගම සෙවීමට මා දැඩි අධිෂ්ඨානයක් ඇතුව සිටියා.
ඒත් සමඟම, ග්‍රීක් ජාතියෙකු වශයෙන් මා ඇති දැඩි කරනු ලැබූ නිසා, ඔර්තඩොක්ස් ආගම කෙරෙහි වඩා ගැඹුරු අවධානයක් යොමු කිරීමට මා පටන් ගත්තා. දිනක් මා ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලි තුනකට ගියා. පළවෙනි පල්ලියේදී මා පැමිණ සිටීමට හේතුව, මා පැහැදිලි කළ විට, පූජකයා ක්‍රමානුකූලව මට යන්න ඇඟවීම් දුන්නා. ඔහු එසේ කළ අතරම, අප ග්‍රීක් ජාතිකයන් වූ නිසා සාක්ෂිකරුවන් හෝ එවැන්ජලිස්තවරුන් සමඟ ආශ්‍රය කිරීම වැරදි වූ බව ඔහු පැහැදිලි කළා.
ඔහුගේ ආකල්පය මාව පුදුමයට පත් කළා, නමුත් මා මෙසේ කල්පනා කළා: ‘සමහරවිට මේ පූජකයා පල්ලියේ හොඳ නියෝජිතයෙක් නොවනවා ඇති.’ මගේ පුදුමයට දෙවෙනි පල්ලියේ පූජකයාද ඊට සමාන ආකාරයකින් ප්‍රතික්‍රියා කළා. කෙසේවෙතත්, ඔහුගේ පල්ලියේ සෑම සෙනසුරාදා දිනවල සවස දේවධර්මධාරයෙකු විසින් බයිබල් පාඩම් පන්තියක් පවත්වනු ලැබූ බව ඔහු මට පැවසුවා. තුන්වන පල්ලියට මා ගිය විට, මා තවදුරටත් බලාපොරොත්තු කඩවූ තත්වයකට පත් වුණා.
කෙසේවෙතත්, දෙවෙනි පල්ලියේ පවත්වනු ලැබූ බයිබල් පාඩම් පන්තියට යෑමට මා තීරණය කළ අතර, ඊළඟ සෙනසුරාදා මා එතැනට ගියා. ක්‍රියා නමැති බයිබල් පොතේ කියවීමට මා ආශාවෙන් සවන් දුන්නා. කොර්නේලියස් පේතෘස් ඉදිරියේ දනින් වැටීම පිළිබඳ කොටස කියවනු ලැබූ විට, දේවධර්මධාරියා කියවීම අතරමගදී නවත්වා කොර්නේලියස්ගේ නමස්කාරය පේතෘස් නිවැරදි ලෙස ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දුන්නා. (ක්‍රියා 10:24-26) එවිට මම මගේ අත ඔසවා මට ප්‍රශ්නයක් තිබූ බව පැවසුවා.
“ඔව්, ඔයාට දැනගැනීමට අවශ්‍ය මොනවාද?”
“හොඳයි, ප්‍රේරිත පේතෘස් නමස්කාරය ප්‍රතික්ෂේප කළා නම්, අප ඔහුගේ පිළිමය තියාගෙන එයට නමස්කාර කරන්නේ ඇයි?”
තත්ත්පර කිහිපයකට සම්පූර්ණ නිශ්ශබ්දතාව පැවතුණා. පසුව බෝම්බයක් දමනු ලැබුවා මෙන් විය. කෝපය ඇවිළෙන්නට පටන් ගත්තා, “ඔයා ආවේ කොහෙන්ද?” යනුවෙන් සමහරු ශබ්දනගා ඇසුවා. පැය දෙකකට කෝපාවිෂ්ට විවාද කිරීම තිබුණ අතර බොහෝ කෑ මොරගැසීමද ඇති වුණා. අවසානයේදී, මා යන විට, ගෙදර රැගෙන යෑමට මට පොතක් ලැබුණා.
මා එම පොත විවෘතකර බැලූ විට, මට කියවන්නට තිබූ මුල් වදන් මේවා විය: “අපි ග්‍රීකයෝ වන අතර, අපගේ සම්ප්රදාය පවත්වා ගැනීම සඳහා අපගේ ආගම මගින් ලේ වගුරුවා තිබේ.” දෙවියන්වහන්සේ ග්‍රීක් ජනයාට පමණක් අයිති නොවන බව මා දැනගෙන සිටියා, එමනිසා මා වහාම ග්‍රීක් ඔර්තඩොක්ස් පල්ලියත් සමඟ මගේ සම්බන්ධකම් කපා හැරියා. එදා පටන් සාක්ෂිකරුවන් සමඟ පමණක් මගේ බයිබල් පාඩම මා දිගටම කරගෙන ගියා. වර්ෂ 1970 අප්‍රියෙල් මාසයේදී, වතුර බව්තීස්මය මගින් යෙහෝවඃවහන්සේට මගේ කැපවීම මා සංකේතවත් කළ අතර, මගේ බිරිඳ මාස හයකට පසුව බව්තීස්ම ලැබුවා.
ගමේ පූජකයා හමුවීම
එම වසරේ අග භාගයේදී පමණ, ග්‍රීසියේ මගේ නිවස තිබූ ගම්මානයේ සිටි පූජකයා, පල්ලිය අලුත්වැඩියා කිරීම සඳහා මුදල් ඉල්ලමින් මට ලිපියක් ලියා තිබුණා. මුදල් යැවීම වෙනුවට සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය නමැති පොත සමඟ, මා දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වූ බවත් මා සත්‍යය සොයාගත් බව විශ්වාස කරන බවත් පැහැදිලි කරන ලිපියක්ද ඔහුට යැව්වා. මගේ ලිපිය ලැබූ විට, රට හැර ඕස්ට්‍රේලියාවට ගිය කෙනෙකු කැරලි ගසා තිබූ බව ඔහු පල්ලියේ නිවේදනය කළා.
ඉන්පසුව, ඕස්ට්‍රේලියාවේ තම පුතුන් සිටියා වූ මව්වරු එය ඔවුන්ගේ පුතාදැයි පූජකයාගෙන් අසන්ට පටන්ගත්තා. මගේ මව ඔහුගේ නිවසට පවා ගොස් ඇයට පවසන මෙන් ඔහුගෙන් අයැද සිටියා. “අවාසනාවකට, එය ඔයාගේ පුතා තමා,” යනුවෙන් ඔහු පැවසුවා. මා ගැන ඇයට මේ දේ පැවසීම වෙනුවට ඔහු ඇයව මැරුවා නම් ඇය කැමති වෙන බව මගේ මව මට පසුව පැවසුවා.
ග්‍රීසියට නැවත ඒම
අපගේ බව්තීස්මයෙන් පසුව, ග්‍රීසියට නැවත ගොස් බයිබලයෙන් අප ඉගෙනගත් යහපත් දෑ ගැන අපගේ පවුලේ අයටත් මිතුර මිතුරියන්ටත් කියා දීමට මගේ භාර්යාව සහ මම කැමති වුණා. එමනිසා 1971 අප්‍රියෙල් මාසයේදී, අවුරුදු-පහක් වූ, දිමිට්රා නමැති අපගේ දියණියත් සමඟ දිග නිවාඩුවකට අප නැවත පැමිණි අතර, මගේ නිවස තිබූ කාරිඑස් නමැති ගම්මානයේ සිට සැතපුම් 20ක් පමණ ඈතින් පිහිටි කිපාරිසියා නමැති නගරයේ අප නැවතී සිටියා. යෑම ඊම යන දෙක සඳහා වූ අපගේ ගුවන් ටිකට්පත් හය-මසක් නැවතී සිටීම සඳහා වලංගු වුණා.
නිවසට පැමිණි දෙවන රාත්රියේදී, මා වැරදි මාර්ගය ගෙන තිබූ බවත් පවුලේ නමට අපකීර්තියක් ඇති කර තිබූ බවත් මගේ මව හඬා වැළපෙමින් පැවසුවා. මගේ “වැරදි සහිත” මාර්ගයෙන් ඉවත් වීමට ඉකි බිඳ බිඳ අඬමින් ඈ මගෙන් අයැදුවා. පසුව සිහිය නැති වී ඈ මගේ දෑතට ඇද වැටුණා. ඇය විසින් අපේ ළදරු වියේ පටන් එතරම් ප්‍රේමනීය ලෙසින් අපට උගන්වා තිබූ දෙවියන්වහන්සේ ගැන මා සතුව සිටි දැනුම මා වැඩි කර තිබුණා පමණි කියා ඇයට පැහැදිලි කිරීමට ඊළඟ දවස මා වෙර දැරුවා. ප්‍රාදේශීය පූජකයා සහ ගමේ නගරාධිපති සමඟ වූ එම අමතක නොවන මුණගැසීම සිදු වූයේ ඊළඟ සැන්දෑවේදීය.
ඇතන්ස්වල විසූ මගේ බාල සහෝදරයන් දෙදෙනා, පාස්කු නිවාඩු ගත කිරීමට පැමිණ සිටියා. ඔවුන් දෙදෙනාම හරියට ලාදුරු රෝගියෙකුගෙන් වැළකී සිටිනවා මෙන් මගෙන් වැළකී සිටියා. කෙසේවෙතත්, එක් දවසක්, දෙදෙනාගෙන් වැඩිමලා සවන් දෙන්න ගත්තා. පැය ගණනාවකට සාකච්ඡා කිරීමෙන් පසුව, මා ඔහුට බයිබලයෙන් පෙන්වූ හැම දෙයක් සමඟම තමා එකඟ වූ බව ඔහු මට පැවසුවා. එදින පටන්, පවුලේ අනෙක් අය ඉදිරියෙදී ඔහු මා වෙනුවෙන් කථා කළා.
ඉන්පසුව මගේ සහෝදරයා සමඟ නැවතී සිටීම සඳහා මම බොහෝවර ඇතන්ස්වලට ගමන් කළා. මා එසේ කළ සෑම වාරයකදීම, ශුභාරංචියට සවන් දීමට ඔහු වෙනත් පවුල්වලට ආරාධනා කළා. ඔහු සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන් බයිබල් පාඩම් පැවැත්වූ වෙනත් පවුල් තුනක්, වතුර බව්තීස්මය මගින් දෙවියන්වහන්සේට වූ ඔවුන්ගේ කැපවීම සංකේතවත් කිරීම මගේ ඉමහත් ප්‍රීතියට කරුණක් වුණා!
සති වේගවත්ව ගෙවී ගිය අතර, අපගේ මාස හය අවසන් වීමට පෙර, අපගේ ගමෙන් සැතපුම් 40ක් පමණ ඈතින් සේවය කරමින් සිටි සාක්ෂිකරුවෙක් අපව බැහැදැකීමට පැමිණියා. දේශනා කිරීමේ වැඩය සම්බන්ධයෙන් අවශ්‍යව තිබූ උපකාරය ගැන ඔහු පෙන්වා දුන් අතර දිගටම නැවතී සිටීම ගැන මා කල්පනා කර තිබුණාද කියා ඔහු විමසුවා. එදින රාත්රියේදී එසේ කිරීමට තිබෙන ඉඩකඩ ගැන මා මගේ බිරිඳ සමඟ කථා කළා.
එසේ නැවතී සිටීම දුෂ්කර වනු ඇති බවට අප දෙදෙනාම එකඟ වුණා. එසේ වුවත් ජනයාට බයිබල් සත්‍යයන් දැනගැනීමට මහත් අවශ්‍යතාවක් තිබූ බව ඉතා පැහැදිලි වුණා. අවසානයේදී, අඩුම තරමින් වසරක් හෝ වසර දෙකක්වත් නැවතී සිටීමට අප තීරණය කළා. අපගේ නිවසත් මෝටර් රථයන් විකුණා මගේ බිරිඳ ඇයට ගෙනා හැකි බඩු මුට්ටු රැගෙන ඒමට ඕස්ට්‍රේලියාවට නැවත යන්නට සිටියා. අපගේ තීරණය ගැන අප ස්ථිර වූ නිසා, ඊළඟ දා උදෑසන අප නගරයට ගොස් ගෙයක් කුලියට ගත්තා. තවද අප අපගේ දියණියව ප්‍රදේශයේ ප්‍රාථමික පාඨශාලාවට ඇතුළත් කළා.
විරුද්ධවාදීකම් කඩා වැටෙයි
ඉක්මනින් අපට විරුද්ධව බොහෝ දුරට යුද්ධයක් බඳු තත්ත්වයක් පැන නගින්නට පටන් ගත්තා. පොලීස් භටයන්ගෙන්, පාසැලේ විදුහල්පතිගෙන් සහ ගුරුවරුන්ගෙන් විරුද්ධවාදීකම් පැමිණියා. පාසැලේදී දිමිට්රා, කුරුසයේ ලකුණ දැමීමට ප්‍රතික්ෂේප කළා. ඇයව බියගන්වා එකඟ වීමට සැලැස්වීම සඳහා පාසැල් නිලධාරීන් පොලීස් භටයෙකු කැඳවූ නමුත් ඇය ස්ථිරව සිටියා. විදුහල්පති මුණ ගැසීමට මා කැඳවනු ලැබූ අතර, දිමිට්රා රැගෙන යෑමට මට නියෝග කරන අගරදගුරුගේ ලිපියක් ඔහු මට පෙන්නුවා. කෙසේවෙතත්, විදුහල්පති සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කිරීමෙන් පසුව, දිමිට්රාට පාසැලේ සිටීමට අවසර ලැබුණා.
කල්යත්ම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකට පැමිණ සිටියා වූ යුවළක් කිපාරිසියාහි සිටි බව මට දැනගැනීමට ලැබූ අතර, ඔවුන්ගේ උනන්දුව නැවත ඇති කිරීමට අපට හැකි වුණා. තවද අපගේ නිවසේ බයිබල් පාඩමකට පැමිණෙන මෙන් අසල ගම්මානයක සිටි සාක්ෂිකරුවන්ට මගේ බිරිඳ සහ මා ආරාධනා කළා. කෙසේවෙතත්, කෙටිකලකින්, පොලීසියෙන් පැමිණ අප සියලු දෙනාවම ප්‍රශ්න කිරීම සඳහා පොලීස් ස්ථානයට රැගෙන ගියා. බලපත්‍රයක් නොමැතිව මගේ නිවස නමස්කාර ස්ථානයක් ලෙස භාවිත කිරීම නිසා මට චෝදනා කරනු ලැබුවා. එහෙත් අපව සිර අඩස්සියේ නොදැමූ නිසා, අප අපගේ රැස්වීම් නොකඩවාම පැවැත්වුවා.
මට රැකියාවක් ඉදිරිපත් කරනු ලැබූ නමුත්, ඒ සම්බන්ධව රදගුරුට දැනගැනීමට ලැබූ විගස, මගේ ස්වාමියා මාව අස් නොකළා නම් ඔහුගේ සාප්පුව වසා දමන බවට ඔහු තර්ජන කළා. ජලනල⁄තහඩු නිෂ්පාදන විකුණන සාප්පුවක් විකිණීමට තිබුණු අතර, එය මිලදී ගැනීමට අපට හැකි වුණා. එකපාරටම වගේ පූජකයන් දෙදෙනෙක් අපගේ සාප්පුව වසා දැමීමට තර්ජන ඇතිව පැමිණියා, ඇරත් සති ස්වල්පයකට පසුව අපගේ පවුල සභා ඇසුරෙන් කපා දැමීමට අගරදගුරු නියම කළා. ඒ කාලයේදී ග්‍රීක ඔර්තඩොක්ස් පල්ලියෙන් සභා ආශ්රයෙන් කපා හරිනු ලැබූ ඕනෑම කෙනෙක් සම්පූර්ණයෙන්ම සමාජයෙන් පිටමං කරන ලද තැනැත්තෙක් ලෙස සලකනු ලැබුවා. ඕනෑම කෙනෙක් සාප්පුවට ඇතුල්වීමෙන් වැළැක්වීම සඳහා පොලීස් භටයෙකු අපගේ සාප්පුව අසල සිටවනු ලැබුවා. බඩු ගැනීමට කවුරුත් නොපැමිණි නමුත්, අප අත්නෑර හැමදාම සාප්පුව විවෘතව තැබුවා. ඉතා ඉක්මනින් අපගේ අකරතැබ්බ, නගරයේ බොහෝ දෙනෙක්ගේ කථාව වුණා.
අත්අඩංගුවට ගෙන විභාග කරනු ලැබීම
එක් සෙනසුරාදා දිනයක තවත් පුද්ගලයෙකු සමඟ මා ඔහුගේ යතුරු පැදියේ අසල නගරයක සාක්ෂි දැරීමට පිටත්ව ගියා. එහිදී පොලීසිය අපව නතර කර අපව පොලීස් ස්ථානයට ගෙන ගිය අතර, එහිදී සති අන්තය මුළුල්ලේ අපව අත්අඩංගුවේ තබනු ලැබුවා. සඳුදා උදෑසන අපව නැවතත් කිපාරිසියාහි දුම්රියෙන් ගෙන යනු ලැබුවා. අපව අත්අඩංගුවට ගෙන තිබූ බවට පුවත් පැතිරුණ අතර, අපගේ පොලීස් ආරක්ෂක පිරිස සමඟ අප පැමිණෙනවා බැලීමට දුම්රිය නැවතුම් පළේදී සෙනඟක් රැස් වුණා.
ඇඟිලි සළකුණු ගැනීමෙන් පසුව, අපව ප්‍රසිද්ධ චෝදක ළඟට ගෙනයනු ලැබුවා. ඔහු විභාග කිරීම ආරම්භ කළේ පොලීසිය විසින් ප්‍රශ්න කරනු ලැබූ ගම්වැසියන්ගෙන් අපට විරුද්ධව එකතු වී තිබූ චෝදනා හඬ නගා කියවන්නට යන බව පැවසීමෙනි. “වර්ෂ 1914දී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ රජ වූ බව ඔවුන් අපට කිව්වා,” යනුවෙන් මුල් චෝදනාවේ සඳහන් විය.
“මේ අමුතු අදහස ඔබට ලැබුණේ කොහෙන්ද?” කියා චෝදකයා කෝපයෙන් ඇසුවා.
මා ඉදිරියට යමින් ඔහුගේ මේසය මත තිබූ බයිබලය රැගෙන එය මතෙව් 24වන පරිච්ඡේදයට විවෘත කර කියවන මෙන් ඔහුට යෝජනා කළා. මොහොතකට දෙගෙඩියාවක සිටි ඔහු පසුව බයිබලය රැගෙන කියවන්නට පටන් ගත්තා. විනාඩි ස්වල්පයකට කියවීමෙන් පසුව, කැළඹීමට පත් වූ ඔහු මෙසේ පැවසුවා: “මේක ඇත්ත නම්, මං මේ හැම දෙයක්ම අත්හැරලා ආරාමයකට ඇතුල් වුණොත් හොඳයි!”
“නැහැ,” යනුවෙන් සන්සුන් ලෙස මා පැවසුවා. “බයිබලයේ තිබෙන සත්‍යය ඔබ ඉගෙන ගත යුතුයි, ඉන් අනතුරුව අන් අයටත් සත්‍යය සොයා ගැනීමට ඔබ උපකාර කළ යුතුයි.”
නීතිඥයෝ කිහිප දෙනෙක්ද පැමිණි අතර ඔවුන්ගෙන් සමහරුන්ටත් ඒ දවස තුළදී සාක්ෂි දැරීමට අපට හැකි වුණා. මෙය තවත් චෝදනාවකට මඟ පෑදීම පරස්පර විරෝධීතාවකි—එනම් අන්‍ය ආගමකට හරවා ගැනීම!
ඒ වසර තුළදී, අපට නඩු විභාග තුනක් තිබුණා, නමුත් අවසානයේදී අප සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබුවා. අප ලැබූ ජයග්‍රහණය නිසා, අප කෙරෙහි ජනයාගේ ආකල්පය සම්බන්ධයෙන් තිබූ උදාසීන තත්ත්වය මදක් ලිහිල් වුණා. එදා පටන් ඔවුන් වඩා නිදහසක් ඇතිව අප වෙතට එළැඹීමටත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අප පැවසූ දේවලට වඩා වැඩි නිදහසකින් යුක්තව සවන් දීමටත් ඔවුන් පටන් ගත්තා.
අවසානයේදී කිපාරිසියාහි අපගේ නිවසේ තිබූ කුඩා පාඩම් කණ්ඩායම සභාවක් බවට සකස් කරනු ලැබුවා. අපගේ අලුත් සභාවට ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට මාරුවක් ලැබුණු අතර, මා උපස්ථායක සේවකයෙකු ලෙස පත් කරනු ලැබුවා. අපගේ නිවසේ පවත්වනු ලැබූ රැස්වීම්වලට ඉතා ඉක්මනින් ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 15දෙනෙක් නිතිපතා පැමිණෙන්නට පටන් ගත්තා.
නැවතත් ඕස්ට්‍රේලියාවට
වසර දෙකක් හා මාස තුනක් ගතවීමෙන් පසුව, අප නැවතත් ඕස්ට්‍රේලියාවට යෑමට තීරණය කළා. මෙතැන වසර ඉතා ඉක්මනින් ගෙවී ගොස් ඇත. මගේ දියණිය දිමිට්රා ඇගේ ඇදහිල්ල පවත්වා ඇති අතර මෙල්බෝන්හි සභාවක උපස්ථායක සේවකයෙකු සමඟ විවාහ වී සිටියි. මම දැන් මෙල්බෝන්හි ග්‍රීක්-භාෂාව කථා කරන සභාවක වැඩිමහල්ලෙක් ලෙස සේවය කරමින් සිටිනවා, මගේ භාර්යාව සහ 15-හැවිරිදි දියණිය මාර්තාද මෙහි සේවය කරනවා.
කිපාරිසියාහි අප අත්හැරියා වූ කුඩා සභාව දැන් වඩා විශාල වී ඇති අතර, සුදුස්සන් බොහෝ දෙනෙක් බයිබල් සත්‍යයන්ට ඔවුන්ගේ හදවත් විවෘත කර තිබෙනවා. වර්ෂ 1991 ග්‍රීෂ්ම ඍතුවේදී මා ග්‍රීසියට ගිය අතර කිපාරිසියාවල ප්‍රසිද්ධ බයිබල් කථාවක් ඉදිරිපත් කළා, එයට 70දෙනෙක් පැමිණ සිටියා. පවුලේ අයගෙන් විරුද්ධතා තිබූ නමුත් මගේ බාල සහෝදරිය වන මරියා යෙහෝවඃවහන්සේගේ සේවකයෙකු වී සිටීම සතුටට කරුණකි.
ඕස්ට්‍රේලියාවෙහි සැබෑ ධනය—එනම් අපගේ මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ රාජ්‍යය ආණ්ඩුව ගැන දැනුම සහ අවබෝධය ලබාගැනීමට හැකිවීමට මට ප්‍රස්තාව ලැබීම ගැන මම කෘතඥපූර්වක වෙනවා. දැන් මගේ ජීවිතයට සැබෑ අරමුණක් තිබෙන අතර, නුදුරු අනාගතයේදී දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ ආශීර්වාද මුළු පොළොව පුරා පැතිර යනවා දැකීමට මගේ පවුලත් මාත් බලාපොරොත්තුවෙන් සිටිනවා.—ජෝර්ජ් කාට්සිකාරොනිස් පැවසූ පරිදි. g94 6/22
[25 පිටුවෙහි ඇති පින්තූරය]
ඕස්ට්‍රේලියාවෙන් හැරී ආ විට මා පදිංචි වූ කිපාරිසියා
[25 පිටුවෙහි ඇති පින්තූරය]
මගේ බිරිඳ ආලෙක්සාන්ඩ්රා සමඟ