මව්කිරි-දීමේදී දැනගත යුතු මූලික දේ
නයිජීරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
බොහෝ මව්වරුන් වාගේම, ඔබේ ළදරුවාට මව්කිරි-දීමට ඔබ තීරණය කර තිබෙනවා නම්, ඔබ තෝරාගෙන තිබෙන්නේ මිනිස්වර්ගයාගේ මැවුම්කරුවාණන් විසින් ප්‍රේමනීය ලෙස දී තිබෙන සැපයුමකින් ප්‍රයෝජන ගැනීමටයි. ඔබේම ශරීරයේ නිපදවන කිරි ඔබේ ළදරුවාගේ සුවදායී වැඩීම වැඩි දියුණු කරමින් නියම පෝෂ්‍යදායී අවශ්‍යතා සපුරාලයි. සාමාන්‍ය රෝගවලින් ඔබේ ළදරුවාව ආරක්ෂා කරගැනීමටද එය උපකාර කරයි. හොඳ හේතු
ඇතිව ජ.සෞ.ස. (ජගත් සෞඛ්‍ය සංවිධානය) මෙසේ කියයි: “[මව් කිරි] දරුවෙකුට ලබාගත හැකි හොඳම ආහාරයයි. එළකිරි, කිරිපිටි වර්ග හා ධාන්‍ය යුෂ ඇතුළු සියලු අතිරේක ආහාර ගුණයෙන් අඩුයි.”
මව්කිරි-දීම ඔබටත් ප්‍රයෝජන ගෙනදෙයි. සේදීමට හෝ බෝතල් ජීවාණුහරණය කිරීමටද, ඔබේ ළදරුවා සඳහා ආහාර වේලක් සූදානම් කිරීමට මධ්‍යම රාත්රියේදී මුළුතැන්ගෙට යෑමටද අනවශ්‍යයි. ගර්භිණී කාලයේදී ඔබේ වැඩිවූ බර අඩු කරගැනීමට හා ඔබේ ගර්භාශයට එහි සාමාන්‍ය ප්‍රමාණයට නැවත පැමිණීමට උපකාර කිරීමටද මව්කිරි-දීම උපකාරවත් වන බැවින්, එය ඔබට ශාරීරිකවද ප්‍රයෝජන ගෙනදෙයි. තවද තම දරුවන්ට මව්කිරි-දෙන ස්ත්රීන්ට පියයුරු පිළිකාව සෑදීමට තිබෙන ඉඩකඩ අඩුවිය හැකි බව අධ්‍යයනයන් පෙන්නුම් කරයි.
“ඇත්තෙන්ම සෑම මවකටම ඇගේ ළදරුවාට මව්කිරි-දිය හැකියි,” යයි එක්සත් ජාතික ළමා අරමුදල සහතික කරයි. එබැවින් ඔබටත් එසේ කළ හැකිවෙයි. කෙසේවුවත්, විශේෂයෙන්ම ඔබ පළමු වතාවට මව්කිරි-දීමට වෑයම් කරනවා නම්, එය ඔබ අපේක්ෂා කළ තරමටම පහසු නොවන බවට සොයා ගත හැක. මෙසේ වන්නේ මව්කිරි-දීම ස්වාභාවික යමක් වෙතත්, එය සහජ දෙයක් නොවන නිසායි; එය ඔබ උගත යුතු දක්ෂතාවකි. ඔබට හා ඔබේ ළදරුවාට පහසුදායක හා සතුටෙන් භුක්තිවිඳිය හැකි දින චර්යාවක් පිහිටුවා ගැනීමට දවස් කීපයක් හෝ සති කීපයක් පවා ගතවෙන බව ඔබට තේරුම් යනවා විය හැකියි.
ළදරුවා ඉපදෙන්ට පෙර
ඔබ මීට පෙර සාර්ථකව මව්කිරි-දී නැත්නම්, එසේ දී ඇති මව්වරුන්ට කථා කරන්න. ගැටලු වැළැක්වීමට හෝ ජයගැනීමට ඔබට උපකාර කිරීමට ඔවුන්ට පුළුවනි. ඔබේ ළදරුවාට ඵලදායී ලෙස මව්කිරි-දීම සඳහා ඔබට ඇති හැකියාව කෙරෙහි ඔබේ විශ්වාසය ගොඩනැගීමට ඔබට උපකාර කිරීමටද ඔවුන්ට හැකියි.
ගර්භිණී කාලයේදී හා ඉන්පසු, ඔබ ප්‍රමාණවත් විවේකය ගැනීම වැදගත් දෙයකි. ඊට අමතරව, ඔබ ප්‍රමාණවත්ව ආහාර ගන්නා බවට සහතික වන්න. බ්රෙස්ට්ෆීඩිං [මව්කිරි දීම], නමැති ජ.සෞ.ස. ප්රකාශනයක් මෙසේ සඳහන් කරයි: “ගර්භිණීභාවයට පෙර හෝ එම කාලය තුළදී නිසි පෝෂණය නොලැබීම ගර්භාශයේ ළදරුවාගේ වැඩීම දුර්වල කිරීමට හේතුවිය හැකියි. පසු කලෙක ප්‍රමාණවත් කිරි නිපදවීමට සෑහෙන මේදය ගබඩා කිරීමට මවට නොහැකි වන බවද ඉන් අදහස් විය හැකියි. එමනිසා ගර්භිණී කාලය මෙන්ම මව්කිරි දෙන කාලය පුරා විවිධ ආහාරවලින් සැකසූ සමබර ආහාර වේලක් ආහාරයට ගැනීම මවකට අවශ්‍යයි.”
පියයුරු ගැන සැලකිලිමත්වීමද වැදගත්. ගර්භිණීභාවයේ අවසාන මාසවලදී, නාන විට සබන් නොගා ඔබේ පියයුරු සෝදන්න. අරියලයෙහි (තනපුඩුව අවට පවතින කලුපාට කොටසෙහි) ග්‍රන්ථි, තනපුඩු තෙතමනයෙන් තබන හා රෝග බෝවීමෙන් ආරක්ෂා කරන බැක්ටීරියා නාශක ලිහිස්සි ද්‍රව්‍යයක් ස්රාවය කරයි. තනපුඩු වියළී යෑමට හා එම ලිහිස්සි ද්‍රව්‍යය ඉවත් කිරීමට හෝ උදාසීන කිරීමට සබන්වලට හැකියි. ඔබේ පියයුරු වියළිබවට පත්වී හෝ කැසීමක් ඇති වී ඇත්නම්, සම සුමුදු කරන ක්‍රීම් හෝ බෙහෙත් වතුරක් ගෑමට ඔබට වුවමනා විය හැකියි. එහෙත් තනපුඩුවල හෝ අරියලයේ ගෑමෙන් වළකින්න.
විටෙක වෛද්‍යවරු මව්වරුන්ට නිර්දේශ කළේ ගර්භිණී කාලයේදී තම තනපුඩු ඉක්මනින් ඇතිල්ලීම මගින් “ගොරෝසු” කරගන්න කියායි. මෙසේ කල්පනා කළේ කිරි දෙන කාලයේදී තනපුඩු වේදනාවෙන් පෙළීම වැළැක්වීමට වුවත්, අධ්‍යයනයන් මගින් පෙන්නුම් කරන්නේ එවැනි ව්‍යායාම්වලින් එතරම් යහපතක් නොවන බවයි. බොහෝ විට වේදනාව සිදුවන්නේ කිරි දෙන විට දරුවාව වැරදි ආකාරයෙන් පියයුරු වෙත තැබීමෙනි.
සාර්ථක කිරි දීමකට පියයුරුවල ප්‍රමාණය හා හැඩය හේතුකාරක නොවන නමුත්, ඇතුළට එබුණු හෝ පැතලි තනපුඩුවක් ළදරුවෙකුගේ කටට ගැනීමට නොහැකියි. තනපුඩු ඉදිරියට පැමිණෙනවාදැයි සහතික වීමට ඔබේ මහපටැඟිල්ලෙන් හා දබර ඇඟිල්ලෙන් තනපුඩු දෙකේම පිටුපසින් ඉදිරියට මෘදු ලෙස තද කිරීම මගින් ඔබටම සෝදිසි කරගත හැකියි. ඒවා නිසි අන්දමට නොපැමිණේ නම්, ඔබේ වෛද්‍යවරයාව හමුවන්න. ගර්භිණී කාලයේදී හෝ කිරි දෙන අතරතුරේදී සරල පළඳනාවක් වන තන පුඩු කොපුවක් ඇඳීමට ඔහු නිර්දේශ කළ හැකියි. පැතලි හෝ ඇතුළට එබුණු තනපුඩුවල හැඩය බොහෝ විට කොපු මගින් හරි අතට හරවයි.
මුල් දවස්
ප්‍රසූතියෙන් පැයක් ඇතුළතදී ඔබේ ළදරුවාට කිරි දීමට පටන්ගැනීම ඔබට සුදුසුයි. ප්‍රසූතියේ සියලු ක්‍රියා අවසන් වනවාත් සමඟම මව සහ ළදරුවා යන දෙදෙනාම එකිනෙකාව පිළිගැනීමට ඉතා වෙහෙසී සිටිනු ඇතැයි සමහරුන් සිතිය හැකියි. එහෙත් අවස්ථාව වෙනුවෙන් මව බොහෝ විට යළි ප්‍රාණවත්ව සිටින අතර ළදරුවා ගර්භාශයෙන් පිටත ජීවිතයට සකස්වීමෙන් විනාඩි ස්වල්පයකට පසු, ඉතා උනන්දුවෙන් පියයුරුවල සුවපහසුව සොයයි.
අලුත් මව්වරුන්ට කොලොස්ට්‍රම් නමැති කහ පැහැති හෝ පැහැදිලි සාරයක් තම අලුත උපන් දරුවන්ට සැපයිය හැකියි. මෙම “රන් දියරය” ළදරුවාට අතිශයින් ප්රයෝජනවත්ය. හානිකර බැක්ටීරියාවලට එරෙහිව සටන් කළ හැකි සංඝටක එහි අඩංගු වේ. ඊට ප්‍රෝටීන් අධික ලෙස තිබෙන අතර සීනි හා මේදය අඩුවෙන් තිබේ, එමගින් එය ජීවිතයේ මුල් දවස් ස්වල්පයේදී සුදුසුම ආහාරය බවට පත්වෙයි. වෛද්‍ය ගැටලුවක් තිබුණොත් මිස, නැත්නම් ළදරුවාට වෙනත් ආහාර හෝ බීම අවශ්‍ය නොවේ. බෝතලෙන් අතිරේක පෙවීමෙන් ළදරුවෙකු පියයුරුවලින් කිරි බීමේ උනන්දුව අඩු කළ හැකියි, මන්දයත් බෝතලයකින් ඉරීමට අඩු වෑයමක් අවශ්‍යවන නිසායි.
සාමාන්‍යයෙන්ම මව්වරු දරු ප්‍රසූතියෙන් පසු දවස් දෙකේ සිට පහක් දක්වා කොලොස්ට්‍රම් නැතිව කිරි නිපදවීමට පටන්ගනිති. මේ අවස්ථාවේදී පියයුරුවලට රුධිරය ගලා ඒම වැඩිවීමෙන් ඔබේ පියයුරු විශාල කර, ඒවා වඩා මෘදු කළ හැකියි. මෙය සාමාන්‍යයි. කිරි දීමෙන් සාමාන්‍යයෙන්ම අපහසුතාව අඩු කරයි. එහෙත්, සමහර විට මහත්වූ පියයුරු තනපුඩු පැතලි කිරීමට සලස්වයි. මෙය ළදරුවාට ඉරීමට අසීරු කරන බැවින්, ඔබට අත භාවිතා කර කිරි ටිකක් ඉවත් කිරීමට සිදුවිය හැකියි. එක් එක් පියයුරෙහි මුලින් පටන්ගෙන තනපුඩුව දක්වා අත් දෙකෙන්ම සම්බාහනය කරමින් මෙය කිරීමට ඔබට හැකියි.
ඔබේ ළදරුවා පියයුරුවලින් කෙතරම් කිරි ප්‍රමාණයක් බොනවාදැයි ඔබට නිර්ණය කිරීමට නොහැකි නමුත්, කනස්සලු නොවන්න—ළදරුවාට—නිඹුල් දරුවන්ට පවා අවශ්‍ය සියල්ල සැපයීමට ඔබේ ශරීරය සැදිපැහැදි සිටියි! ඔබ වැඩියෙන් කිරි දෙන තරමටම, ඔබ තුළ වැඩියෙන් කිරි නිපදවනු ලැබේ. මව්කිරි වෙනුවට පිටිකිරි වර්ග හෝ එළකිරි වැනි බෝතලෙන් දෙන වෙනත් බීම නොදිය යුතු එක හේතුවකි මෙය. ඔබ එසේ දෙනවා නම්, ඔබේ ළදරුවා ඔබෙන් අඩුවෙන් කිරි බොයි. අනිත් අතට, මින් අදහස් කරන්නේ ඔබ අඩුවෙන් කිරි නිපදවන බවයි.
“නියමිත කාලයේදී උපන් සාමාන්‍ය ළදරුවන් සිතුව තරම්ම උපතේදී අසරණ නොවන අතර අන් අය ඔවුන්ට ඊට ඉඩහරිනවා නම් පමණක්, තමන්ටම හා තම මවගේ ශරීරවලට ගැළපෙන පරිදි තමන්ගේම ආහාර ගැනීමේ වේල් සකස් කරගැනීමට ඔවුන්ට හැකියි,” යයි ගැබ්රියෙල් පාමර් විසින් ද පොලිටික්ස් ඔෆ් බ්රෙස්ට්ෆීඩිංහි ලියැවේ. මඟ පෙන්වන ප්‍රතිපත්තිය වනාහි ඉල්ලුම හා සැපයුම—එනම් ඔබේ ළදරුවා (සාමාන්‍යයෙන් ඇඬීමෙන්) ආහාර ඉල්ලන විට, ඔබ විසින් සැපයීමයි. මුලදී, සෑම පැය දෙකකින් හෝ තුනකින් ඉල්ලුම පැමිණේ. ඔබේ ළදරුවා කිරි බොන සෑම අවස්ථාවේදීම පියයුරු දෙකෙන්ම කිරි බීමට ඔබ ඔහුට ඉඩහැරිය යුතුයි. සමහර ළදරුවන් රිසි සේ වෙලාව ගනිමින්, නවත්වමින් කිරි බීමට කැමති වුවත්, බොහෝ ළදරුවන් කිරි වේලක් සම්පූර්ණ කිරීමට විනාඩි 20 සිට 40ක් ගනියි. හෙමින් සීරුවේ බොන ළදරුවන් තම ආහාර වේල අවසන් කිරීමට විනාඩි 60ක් දක්වා ගත කරන්ට පුළුවනි. සාමාන්‍යයෙන්ම, ඔබේ ළදරුවා අඩුම තරමින් පැය 24කට අට වරක් කිරි බොනවා නම්, ඔහු කිරි ගිලිනවා ඔබට සවන්දිය හැකි නම් හා පස්වන දිනට පසු, ඔහු දිනකට ඉනකඩ අටක් හෝ ඊට වැඩි ගණනක් තෙමා ඇත්නම්, ඔහුට ලැබෙන ආහාරය ප්රමාණවත්ය.
මව්කිරි දීමේදී ඔබට ඉගෙනීමට තිබෙන ඉතා වැදගත් දක්ෂතාවක් වනාහි ඔබේ ළදරුවාව පියයුරු වෙත නිවැරදිව තැබීමට අල්ලාගන්නා ආකාරය ඉගෙනගැනීමයි. වැරදියට තබාගැනීමෙන් ඔබේ ළදරුවාට කිරි ප්‍රමාණවත්ව නොලැබීම ප්‍රතිඵලය විය හැකියි. සමහර ළදරුවෝ කිරි බීමට පවා ප්‍රතික්ෂේප කරති.
වැරදියට තබාගැනීමෙන් තවත් පොදු ගැටලුවක් ඇති විය හැකියි: එනම් පිපිරූ හෝ වේදනාසහගත තනපුඩු ඇතිවීමයි. බ්රෙස්ට්ෆීඩිං සෝස් බුක් මෙසේ පවසයි: “හේතු සාධක බොහොමයක් මගින් වේදනාසහගත තනපුඩු ඇතිවන නමුත්, වැදගත් දෙයක් වන්නේ ළදරුවා කෙතරම් හොඳින් ‘පියයුර කටට ගනියිද,’ යන්නය, එමෙන්ම අනිත් අතට සැලකිය යුතු ප්‍රමාණයකට එය රඳා පවතින්නේ බොහෝ විට ඔහුගේ හිස පියයුර වෙත තබා තිබෙන ආකාරය අනුවයි. නිවැරදිව තැබීමට, ඔබේ ළදරුවාගේ හිස (උඩු අතට, යටි අතට හෝ පැත්තකට නොහැරී) පියයුරට සමීපයෙන් තිබිය යුතු අතර ඔහු තනපුඩුව පැත්තකට නොඅදිනු පිණිස කෙළින්ම තනපුඩුව වෙත තැබිය යුතුයි.”
අඩුම තරමින් තනපුඩුවෙන් අඟලක්වත් පිටුපසට ළදරුවාගේ තොල්පටවලින් ග්‍රහණය කරගෙන තිබීම සුදුසුම දෙයයි. ඔබේ ළදරුවාගේ මුළු ශරීරයම ඔබ වෙත හැරී තිබේ නම්, ඔහු දිගු ඉරීම් ගන්නවා නම්, ඔහු පහසුවෙන් සහ සතුටෙන් සිටින්නේ නම් මෙන්ම ඔබට තනපුඩුවේ වේදනාවක් නොදැනේ නම් නිවැරදිව තබා තිබෙන බව ඔබට දැනෙයි.
කිරිවැරීම කවදාද?
පළමු සති ස්වල්පයෙන් පසු, ඔබ සහ ඔබේ ළදරුවා, එකිනෙකාව හඳුනාගෙන තිබෙන අතර සමහරවිට සුවදායී මෙන්ම ප්‍රීතිදායක චර්යා ක්‍රමයක් පිහිටුවාගෙන තිබෙනවා විය හැකියි. ඊළඟ සති හතරේ සිට මාස හය දක්වා, ඔබේ ළදරුවාට මව්කිරි හැර වෙනත් ආහාරපාන අවශ්‍ය නොවේ. එම කාලයෙන් පසු පොඩි කළ එළවළු, ධාන්‍ය වර්ග හෝ පලතුරු වැනි වෙනත් ආහාර ඔබ ක්‍රමක්‍රමයෙන් හඳුන්වා දිය යුතුයි. කෙසේවුවද, ඔබේ ළදරුවාට මාස නවයක් හෝ දහයක් වන තුරු, ඔහුගේ ප්‍රධාන පෝෂණය ලැබෙනු ඇත්තේ තවදුරටත් ඔබේ කිරිවලිනි; එනිසා ඝන ආහාර දීමට පෙර ඔබේ ළදරුවාට සැමවිටම මව්කිරි දීම සුදුසුයි.
ඔබ කොපමණ කල් මව්කිරි දිය යුතුද? හැකි තරම් කල් යයි ජ.සෞ.ස. නිර්දේශ කරයි. බොහෝ මව්වරු තම දරුවන්ගේ වයස ගැන නොතකා ඔවුන් වෙත ඇසක් තබාගෙන දෙවන වසර වන තෙක්ම මව්කිරි දෙති. මදරිං යෝර් නර්සිං ටොඩ්ලර් නමැති පොත මෙසේ කියයි: “දිගටම මව්කිරි බීමට අපගේ දරුවන්ට තිබෙන අවශ්‍යතාව වටහාගැනීම අසීරු නැත—මව්කිරි බීමෙන් ඔවුන් ප්‍රීති වන අතර එය නොදී සිටීමෙන් ඔවුහු ශෝක වෙති. මව්කිරි නොකඩවා දීම සඳහා සරල නමුත් බලකර සිටින හේතුවක් නම් දරුවාව සතුටෙන් තැබීමයි.”
ප්‍රේමනීය මැවුම්කරුවෙකු සිටින බවට සාක්ෂි
ඔබ ඔබේ ළදරුවාට මව්කිරි දෙන විට, සමහරවිට මධ්‍යම රාත්‍රියේ පවුලේ අන් අය නිදා සිටින විට, මෙම විධිවිධානයේ මැවුම්කරුවාණන් ගැන කල්පනා කරන්න. මෙය සිදුවීමට සලස්වන සංකීර්ණ ශාරීරික ක්‍රියාවලියන් සිදු කෙරෙන ආකාරය ඔබට තේරුම්ගත නොහැකි වෙනවා නම් පවා, මව්කිරි-දීමේ පුදුම ක්‍රියාවලිය අපගේ මැවුම්කරුවාණන්ගේ ඥානය හා ප්‍රේමය වටහාගැනීමට උපකාරවත් වේ.
ඒ ගැන සිතන්න—මවගේ කිරිවලට වඩා හොඳ වෙනත් ආහාරයක් ළදරුවන්ට නැත. එය ජීවිතයේ මුල් මාසවලදී දරුවෙකුට අවශ්‍යවන ආහාරපාන සම්පූර්ණයෙන්ම ලබාදෙයි. ඒ අතරතුරේදීම, එය රෝගවලින් ආරක්ෂා කරන පුදුම ඖෂධයකි. එය ආරක්ෂා සහිත, සෞඛ්‍යට හිතකර, පිළියෙළ කිරීමට අවශ්‍ය නොවන හා නොමිලේ ලැබෙන්නකි. එය ලෝකයේ කොතැනකින් හෝ ලබාගත හැකි අතර බිළිඳා වැඩෙත්ම එහි නිෂ්පාදනයද වැඩි වේ.
තවද මව සහ දරුවා යන දෙදෙනාටම මව්කිරි-දීමේ කාරණය සතුටුදායක අද්දැකීමක්ය යන කාරණය ගැන සිතන්න. ආහාර දීම, මුඛය හා සමට-සම ස්පර්ශය මෙන්ම මව්කිරි-දීමේ ශාරීරික උණුසුම යන සියල්ල ප්‍රේමයේ ශක්තිමත් බැම්මක් හා මව සහ දරුවා අතර කුලුපගතාවක් ඇති කිරීමට ඉවහල් වේ.
මෙවන් පුදුමාකාර විධිවිධානයක මැවුම්කරුවාණන් උසස් ලෙස ප්‍රශංසාව ලැබිය යුතුවීම සැබෑවකි. ගීතිකාකාර දාවිත්ගේ වචන ඔබ විසින් යළිත් ප්‍රකාශ කරනවාට සැකයක් නැත: “මම ඔබට [යෙහෝවඃවහන්සේට] ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යවත්ය.”—ගීතාවලිය 139:14. g94 8/22
[18 පිටුවෙහි ඇති කොටුව]
ස්වාමිපුරුෂයෙනි, සහාය වන්න
• මව්කිරි-දීමට ඔබ අනුමත කරන බව ඔබේ භාර්යාවට දැනගැනීමට ඉඩ සලස්වන්න. විශ්වාසය තහවුරු කර, ඇයට මෘදු ලෙස සහාය වන්න.
• ගර්භිණී කාලයේදී මෙන්ම ළදරුවා මව්කිරි-බොන අවධියේදී ඔබේ භාර්යාවට සමබර ආහාරයක් ගැනීමට උපකාර කරන්න.
• ඇයට ප්‍රමාණවත් විවේකය ලැබෙන බවට වගබලාගන්න. වෙහෙස වූ ස්ත්‍රියකට ප්‍රමාණවත් කිරි නිපදවීමේ අසීරුතාවක් ඇති විය හැකියි. අනෙක් දරුවන් බලාගැනීමෙන් හෝ ගෙදරදොරේ කටයුතුවලට හවුල්වීමෙන් ඇගේ බර සැහැල්ලු කරගන්න උපකාර කිරීමට ඔබට හැකිද?
• ඔබේ භාර්යාව පහසුවෙන් හා සතුටෙන් සිටිනවා නම්, ඇයට හොඳින් කිරි එරෙයි. ඔබට හැකි තරම් ඇයව සතුටෙන් තබන්න. ඇගේ ගැටලුවලට සවන් දී, ඒවා විසඳීමට උපකාර කරන්න.
[19 පිටුවෙහි ඇති කොටුව]
බෝතලයට එරෙහිව පියයුරු
“මව්කිරි පෝෂ්‍ය ගුණයෙන් අධික, ස්වස්ථතාවෙන් අධික, පොදු අසනීපවලට එරෙහිව ළදරුවන්ට ප්‍රතිශක්තිය ලබාදෙන මෙන්ම මවකට පියයුරු හා ඩිම්බකෝෂ පිළිකා සෑදීමේ අවදානමද අඩු කරන දෙයකි. බිළිඳු පිටිකිරි වර්ග මිල අධික වෙනවා පමණක් නොව, බොහෝ විට අපවිත්‍ර ජලයෙන් වුවමනාවට වඩා තනුක කර තිබෙන අතර ජීවාණුහරණය නොකළ බෝතල්වලින් දරුවන්ට කිරි පොවනු ලැබේ. දුගී ප්‍රජා තුළ, වෙනස කෙතරම් වැදගත්ද කිවහොත්, පළමු මාස හතරේ සිට හය දක්වා තනිකර මව්කිරි දීමට ලෝකයේ මව්වරු යළිත් පටන් ගත්තා නම්, සෑම වසරකම බාල ජීවිත මිලියනයක් බේරාගැනීමට හැකිය.”—ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් චිල්ඩ්රන් 1993, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්රකාශනයකි.