ජීවිතය පහසු නොවන විට
මට ජීවිතයේ අමිහිරි යථාර්ථයන්වලට මුහුණ දීමට අනිවාර්යයෙන්ම සිදුවූ විට මා සිටියේ ඉතා ළා බාල වියේ. අදදින ලෝකයේ ජීවිතය සැබවින්ම අසාධාරණ බවට ඔබ මා සමඟ එකඟ වනවා විය හැකියි. අවසානයේදී එය අප සියලු දෙනාටම සිදුවන අසාධාරණයකි. අප සියලු දෙනාම අසනීප වෙනවා. බරපතළ අසනීපයකින් තොරව වයසට යන ස්වල්ප දෙනෙක් සිටිය හැකි බව සැබෑවක් නමුත් අප සියල්ලන්ම මරණයට මුහුණ දෙනවා.
මා සිතිය යුතු තරමට වඩා මියයෑම ගැන මා සිතනවා වෙන්න පුළුවන්. නමුත් මීට හේතුවත්, එමෙන්ම යම් ආකාරයකින් මට සිදුවී ඇති දෙයින් ප්‍රයෝජන ලබා තිබීමට හේතුවත් පැහැදිලි කිරීමට මට ඉඩහරින්න.
මා අවුරුදු නවයක්ව සිටියදී
එක්දාස් නවසිය හැට අටේ සැප්තැම්බර්හි නිව් යෝර්ක් බෘක්ලින්හි ඉපදුණු මා, දරු පස් දෙනාගෙන් බාලම දරුවායි. පියා ආබාධිතව සිටි අතර අපව නඩත්තු කිරීමට මව අයකැමියක ලෙස සේවය කළා. මට වයස නවයක් වූ විට, මගේ උදරයේ එක පැත්තක් ඉස්සී තිබෙන බව මගේ මව දුටුවා. ඇය මාව ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන ගියා. ලොකු ගෙඩියක් තිබෙන බව වෛද්‍යවරයාට දැනුණා, දවස් කීපයකට පසුව, මාව කිංස් කවුන්ටි රෝහලට ඇතුළත් කළා.
අම්මා ගියාට පස්සේ, මා බියෙන් සිටි නිසා මා ඇඬුවා. ඊළඟ දවසේ ලා නිල්පාට ඇඳුම් ඇඳ සිටි පිරිමි අය දෙන්නෙක් මාව ශල්‍යාගාරයට රෝද පුටුවෙන් ගෙන ගියා. සුවවීමේ කාමරයේ අවදිවීමට පෙර මා දුටු අවසාන දෙය මට මතකයි, ඇස් නිලංකාර කරන එළියක් ඔලුවට උඩින් තිබුණු අතර මගේ කටට යමක් දමනු ලැබුවා. වෛද්‍යවරු විල්ම්ස් ගෙඩියක් ලෙස හඳුන්වන යමක් (පිළිකාවක ආකාරයක්), මගේ වකුගඩුවක් හා මගේ අක්මාවෙන් කොටසක් සාර්ථකව ඉවත් කළා.
මා දැඩි සත්කාර ඒකකයේ සති පහක් ගත කළා. හැම දවසකම, වෛද්‍යවරු තුවාල වෙළුම මාරු කරනවා. ඇලෙන පටිය අදින විට මා බෙරිහන් දුන්නා. මගේ වේදනාව අඩු කිරීමට, වෛද්‍යවරු කාව හරි මා ළඟට එවලා, මගේ අවධානය වෙනතකට යොමු කිරීමට වෑයම් කළා. ඒ තැනැත්තා මට ගෙම්බො ගැන බොහෝ දේවල් පැවසුවා මට මතකයි.
දැඩි සත්කාර ඒකකයෙන් පිට වී ගිය පසු, මා තවත් සති හතරක් රෝහලේ ගත කළා. ඒ කාලය තුළදී, විකිරණ ප්‍රතිකාර පටන් ගත්තා. මේවා වේදනාකාරි වුණා—එසේ වුණේ විකිරණ ප්‍රතිකාරය නිසා නොව—නමුත් ශල්‍යකර්මයෙන් තවදුරටත් තුවාල වී තිබුණු මගේ උදරය පැත්තෙන් දිගාවි සිටීමට මට සිදුවුණ නිසායි. සඳුදා සිට සිකුරාදා දක්වා හැම දවසකම විකිරණ ප්‍රතිකාර දෙනු ලැබුවා.
මා 1977 නොවැම්බර් අගදී රෝහලෙන් පිට වුණාට පසුව, බාහිර රෝගියෙකු වශයෙන් මා දිගටම විකිරණ ප්‍රතිකාර ලබාගත්තා. මෙම ප්‍රතිකාර අවසන් වුණායින් පසුව, මා රස චිකිත්සාව ගන්න පටන්ගත්තා. ඉතා සැර බෙහෙත් විදගැනීමට සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දවසකම මට උදේ පාන්දරින් නැගිට රෝහලට යන්නට සිදුවුණා. වෛද්‍යවරයා නහරයක් තුළට කටුවකින් විද කෙළින්ම ඒ තුළට බෙහෙත් යවනවා. මා කටුවලට භයවී ඇඬුව නමුත් සුවවීම සඳහා මට මෙය විඳින්න සිදුවෙනවා කියා අම්මා කිව්වා.
රස චිකිත්සාවලින් භයංකර අතුරු ප්‍රතිඵල තිබුණා. ඒවා මා තුළ ඔක්කාරය ඇති කළ අතර බොහෝ විට මා වමනේ කළා. මගේ රුධිර සෛල ප්‍රමාණය පහත වැටුණා, මගේ කොණ්ඩෙ හැලුණා.
අසනීපයෙන් කොටුවී
ඊළඟ වසන්ත කාලයේදී, පාස්කු ඉරිදා අපි පල්ලි යන්න සූදානම් වෙද්දී, මගේ රුධිර සෛල ප්‍රමාණය පහත වැටීමේ හේතුවෙන් මගේ නහයෙන් රුධිරය ගලන්න පටන් ගත්තා. මගේ දෙමව්පියන් සෑම උත්සාහයක්ම ගත් නමුත් දිගටම රුධිරය ගැලුවා. ගෝස් රෙදිවලින් මගේ නහය වෙලීමෙන් රුධිරය ගැලීම නතර කළ නමුත්, මගේ කටින් රුධිරය එන්න පටන් ගත්තා. රුධිරය හිඟකමෙන් මාව ඉතා දුර්වල වී, රෝහලට ඇතුළත් කළා. මාව ලෙඩ බෝවීමෙන් වළක්වා තැබීම සඳහා, මාව බලන්න එන අයට අත්වැසුම්, මුඛවාඩමක් හා ඔවුන්ගේ ඇඳුම් උඩින් ගවුමක් අඳින්න සිදුවුණා. සතියක් ඇතුළතදී මට රෝහලෙන් පිටවී යන්න ප්‍රමාණවත් වන තරමට රුධිර සෛල ප්‍රමාණය ඉහළ ගොස් තිබුණා.
විගස රස චිකිත්සාව ආපසු දෙන්න පටන්ගත්තා. මට පාසැල් යන්න පුළුවන් වුණේ නෑ, ඇත්තෙන්ම මට ඒ පාඩුව දැනුණා. මගේ මිතුරන් නොසිටීමේ පාළුවත් එළිමහණේ ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට බැරිවීමේ පාළුවත් මට දැනුණා. රස චිකිත්සාව දෙන කාලයේදීත්, එය නැවැත්තුව විගසත් මා පාසැල් නොයා යුතු බව මගේ වෛද්‍යවරුන්ට හැඟුණ නිසා, මට ගෙදරදීම ඉගැන්නුවා.
එම ගිම්හානයේදී මා සාමාන්‍යයෙන්ම කළා වගේ මගේ ආච්චි සහ සීයාව බලන්න යන්න මට ඕන වුණත්, මට යන්න අවසර ලැබුණේ නෑ. කොහොම වුණත්, නිව් ජර්සිවල තිබෙන විනෝද උයනකට පිළිකා රෝගීන්ව ගෙනියන්න රෝහලෙන් සූදානම් කළා. මා ඊට පස්සේ ඉතා වෙහෙසට පත්වී සිටියත්, මා හොඳින් ප්‍රීතිවෙලා තිබුණා.
මා 1978 අග භාගයේදී රස චිකිත්සාව අවසන් කළ නමුත් දිගටම නිවසේදී ඉගෙන ගත්තා—එකතුව බැලුවොත් අවුරුදු තුනකට වඩා වැඩියි. බොහෝ කාලයක් නිවසේ සිට ඉගෙන ගත්තායින් පසුව, 1981 ජනවාරි මාසයේදී මා නැවත පාසැලට ගිය විට, එයට හැඩගැසීමට එතරම් පහසු වුණේ නෑ. සමහර වෙලාවට මගේ පංතිය සොයා ගැනීමට උත්සාහ කරද්දී මට තැන වැරදෙනවා. ඒත්, ඇත්තටම පාසැල් යන්න මා කැමැත්තක් දැක්වුවා. සංගීතය, යතුරු ලියනය හා සරඹ පංතියට මා විශේෂයෙන්ම කැමැත්තක් දැක්වුවා. සමහර ළමයි මිත්‍රශීලී අයව සිටිය නමුත්, අනිත් අය මට සමච්චල් කළා.
පසුබැසීමක්
“ඔයාට ළමයෙක් හම්බවෙන්න ඉන්නවද?” කියා ළමයි මගෙන් අහන්න පටන් ගත්තා. මෙහෙම ඇහැව්වේ මගේ උදරය ඉදිමී තිබුණ නිසායි. කනස්සලු වෙන්න එපා යයි වෛද්‍යවරයා මට පැවසුවා, හේතුව වුණේ මගේ අක්මාව ආපහු වැඩෙන්න පටන්ගෙන තිබීමයි. කොහොම වුණත්, මාර්තුවලදී නැවත මා වෛද්‍ය පරීක්ෂණයකට භාජන වුණ විට, වෛද්‍යවරයා මාව රෝහල්ගත කළා. මට පාසැල් යන්න පුළුවන්වෙලා තිබුණේ මාස දෙකහමාරක් පමණක් නිසා මා අඬන්න පටන්ගත්තා.
පටක පරීක්ෂණයක් සිදු කළ අතර ඒ සඳහා මගේ අක්මාවේ තිබුණු ගෙඩියකින් පටකයක් ගත්තා. මේ ක්‍රියා පිළිවෙළින් පස්සේ අවදිවන විට, මා ඉස්සෙල්ලාම දැක්කේ අම්මාව. ඇය අඬමින් සිටියා. මට ආපහු පිළිකාවක් තිබෙන බවත්, ගෙඩිය පිටතට ගැනීමට බැරිවන තරමටම විශාල වී තිබෙන නිසා එය හැකිළවීම සඳහා මට රස චිකිත්සාව ලබාගන්න සිදුවන බවත් ඇය මට පැවසුවා. මට එතකොට වයස 12ක් විතරයි.
රෝහලෙන් රස චිකිත්සාව ලබාගන්න නියම කළා, ඉන් අදහස් වුණේ සෑම සති කීපයකටම, වතාවකට දවස් දෙකක් හෝ තුනක් මා එහි ගිය බවයි. සාමාන්‍ය පරිදි, මා ඔක්කාරයෙන් හා වමනයෙන් වේදනා වින්දා. කෑමවල රස දැනෙන්නේ නැතිව ගියා, මගේ කෙස් ඔක්කොම වැටුණා. එක්දාස් නවසිය අසූ එක මුළුල්ලේම නොකඩවාම රස චිකිත්සාව ලැබුවා. ඒ අතරතුර කාලයේදී, අප්‍රියෙල්වලදී, මා නැවතත් නිවසේ සිට පාසැල් අධ්‍යාපනය ලබන්න පටන්ගත්තා.
ශල්‍යකර්මයක් සඳහා 1982 මුල්භාගයේදී මාව රෝහලට ඇතුළත් කළ විට, මා කොතරම් දුබලව සිටියාද කියනවා නම් මගේ බර කිරන්න කිරණය මත නැගීමට හා ඉන් බැසීමට මට උදව් කරන්න හෙදියන්ට සිදුවුණා. රස චිකිත්සාවෙන් ගෙඩිය හැකිළී තිබුණ නිසා මගේ අක්මාවේ තවත් කොටසක් සමඟ එය ඉවත් කිරීමට ශල්‍ය වෛද්‍යවරුන්ට හැකි වුණා. නැවතත් මාස දෙකකට පමණක් මා රෝහල්ගතව සිටියා, එක්දාස් නවසිය අසූ දෙකේ මැදභාගය වන විට, මා නැවතත් රස චිකිත්සාව ලබාගත්තා, එය 1983 මුල්භාගය වන තුරු දිගටම ලබාගත්තා.
මේ කාලයේදී මට පාසැලට යන්න බැරිවුණු නිසා මා දුකෙන් සිටියා. නමුත් ඊට පස්සේ ආයිත් මගේ කොණ්ඩෙ වැවුණා, මට ආපහු හොඳ හැඟීමක් ඇති වුණා. ජීවත්වී සිටීමට ලැබීම ගැන මා සතුටු වුණා.
අන්තිමේදී, යළිත් පාසැලට
මා 1981දී කණිෂ්ඨ උසස් පාසැලේ ටික කලකට සිටි පංතියේ ළමයින් සමඟම උපාධියට පෙනී සිටීම සඳහා මගේ ගුරුවරිය කටයුතු පිළියෙළ කළා. මේ ගැන මා ඉතා උනන්දු වී සිටියා; මගේ යාළුවන්ව දකින්නට ලැබීමත්, අලුත් යාළුවන් ඇති කරගන්න ලැබීමත් ප්‍රිය උපදවන දෙයක් වුණා. එක්දාස් නවසිය අසූ හතරේ ජූනිවලදී සමත්වීමේ දවස පැමිණි විට, මම යාළුවන්ගේ හා ගුරුවරුන්ගේ පින්තූරු ගත්තා, මේ විශේෂ අවස්ථාව වාර්තා කිරීමට මගේ පවුලේ අය මගේ පින්තූරු ගත්තා.
එම ගිම්හානයේදී මා ජෝර්ජියාවල සිටි මගේ ආච්චි සහ සීයා බැලීමට ගිහින්, ගිම්හානයෙන් වැඩි කාලයක් එහි නැවතී සිටියා. අගෝස්තු අගභාගයේදී මා නැවත පැමිණි විට, එය පාසැල් යෑමට සූදානම් වන්නට කාලය වී තිබුණා. එසේය, මා අන්තිමේදී යළිත් පාසැල් යන්නට වුණා. මා ඉමහත් ප්‍රබෝධයකින් සිටියා!
ආගම ගැන කුතුහලය
ඩෝන් සහ ක්‍රෙග් වෙනත් ශිෂ්‍යයන්ට වඩා වෙනස්ව සිටියා, මාව ඔවුන් වෙත ඇදී ගියා. එහෙත්, මා ඔවුන්ට නත්තල් තෑගි දුන්න වෙලාවේ, ඔවුන් නත්තල් පැවැත්තුවේ නැති බව කිව්වා. “ඔයගොල්ලෝ යුදෙව්වන්ද?” මා ඇසුවා. ඔවුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බවත්, නත්තල ඇත්තෙන්ම ක්‍රිස්තියානි දෙයක් නොවන බවත් ක්‍රෙග් පැහැදිලි කළා. ඔහු මට එම විෂය ගැන මුරටැඹ හා පිබිදෙව්! සඟරා කීපයක් දුන්නා.
ඉතා වෙනස් යයි පෙනෙන්නට තිබුණු ඔවුන්ගේ ආගම ගැන මා කුතුහලයට පත්වුණා. මා පල්ලියට ගිය විට, යළි යළිත් අපට අසන්නට ලැබුණේ එකම දෙයයි: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, බව්තීස්ම වෙන්න, එවිට ඔබ ස්වර්ගයට යයි.’ නමුත් එය ඉතා පහසු බවයි පෙනෙන්නට තිබුණේ. මා විශ්වාස කරන්නට පටන්ගෙන තිබුණේ දේවල් ඉතා පහසුවෙන් තිබුණු විට, එක්කෝ මා අතිදක්ෂයෙක් වෙන්න ඕනේ කියල නැත්නම් මොනවා හරි වරදක් තිබෙන්න ඕනේ කියල. මා අතිදක්ෂයෙක් නොවන බව මා දැන සිටියා, එනිසා පල්ලිය උගන්වන දෙයෙහි මොකක් හරි වරදක් තිබිය යුතු බවට මා නිගමනය කළා.
අන්තිමේදී ක්‍රෙග්, අපේ දවල් කෑම විවේකවලදී මා සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. දිනක් ඔහු මට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීමකට එන්න කියා ආරාධනා කළ අතර මා එහි ගියා. ක්‍රෙග්ව හමුවී, ඔහු සහ ඔහුගේ පවුලේ අය සමඟ මා වාඩි වුණා. මා දුටු දෙයින් මා පුදුමයට පත්වුණා—විවිධ ජාතිවල ජනයා එකමුතුව එකට නමස්කාර කරමින් සිටිනවා—එමෙන්ම මා ඇසුව දෙයින්ද මා පුදුමයට පත්වුණා.
ක්‍රෙග්ට සහ මට අලුත් පංතිවලට යන්න සිදුවුණ විට, අපි දෙන්නට කෑම විවේකය එකම වෙලාවේ ලැබුණේ නැති නිසා, අපට තවදුරටත් එකට බයිබලය පාඩම් කරන්න පුළුවන් වුණේ නෑ. මා සමඟ ක්‍රෙග්ගේ මවට බයිබලය පාඩම් කරන්න පුළුවන්දැයි දැනගැනීමට ඇය මගේ මව හමුවුණත්, අම්මා එපා කිව්වා. පසුව, ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න ඇය මට අවසර දුන්නා. එනිසා මා දුරකථන නාමාවලියේ සඳහන් වූ රාජ්‍යය ශාලාවකට අමතා, ඉරිදා රැස්වීම පටන් ගත්තේ පෙ.ව. 9:00ට බව දැනගත්තා. ඊට පෙර දවසේ, රාජ්‍යය ශාලාවට යන මාර්ගය සහතික කරගැනීමට මා ගොඩනැගිලි 30ක පමණ දුරක් ඇවිද ගියා.
ඊළඟ දවසේ උදේ මා පැමිණි විට, මා පැමිණියේ තවත් රාජ්‍යය ශාලාවකින්දැයි පිරිමි කෙනෙක් මගෙන් ඇහැව්වා. මේක මගේ පළමු පැමිණීමයි, නමුත් කෙටි කලකට මා පාඩම් කර තිබෙන බවත් මා ඔහුට පැවසුවා. පැමිණ ඔහු සහ ඔහුගේ භාර්යාව සමඟ ඉඳගන්න යයි ඔහු කරුණාවන්තව මට ආරාධනා කළා. පල්ලියට වඩා රැස්වීම් බෙහෙවින් වෙනස්ව තිබුණා. ප්‍රශ්නෝත්තර සැසිවාරයේදී පිළිතුරු දීමට බොහෝ දෙනෙකුට ඉතා ඕනෑකමක් තිබුණු ආකාරය ගැන මා පුදුමයට පත්වී සිටියා. බාල ළමයින් පවා පිළිතුරු දුන්නා. මාත් මගේ අත උස්සලා ප්‍රශ්නයකට පිළිතුරක් දුන්නා. එදා පටන්, මා දිගටම රැස්වීම්වලට ගියා, බයිබල් සත්‍යයන් තේරුම්ගන්න පටන්ගත්තා.
තවත් පසුබැස්මක්
එක්දාස් නවසිය අසූ හයේ දෙසැම්බර් මාසයේදී, උසස් පාසැලෙහි මගේ අවසාන වර්ෂයේදී, මා පුරුදු පරිදි වෛද්‍ය පරීක්ෂණයකට ගියා. මගේ දකුණු පෙණහැල්ලේ තිබුණු දෙය දුටු වෛද්‍යවරයාට සැකයක් පහළ වුණ නිසා තව X කිරණ ගන්න මට යළිත් එන්න කිව්වා. ස්ථිරයෙන්ම යම් වරදක් තියෙනවා කියා මේවා හෙළි කරන බව මා දැනගත් විට, මා අඬන්න පටන්ගත්තා.
පටක පරීක්ෂණයක් සිදු කළා; මගේ පෙණහැල්ලේ ගෙඩියෙන් කෑල්ලක් ගැනීමට වෛද්‍යවරයා කටුවක් පාවිච්චි කළා. ලියැළූ දෙය පිළිකා රෝග කාරකයක් බවට ඔප්පු වුණා. ඇත්තෙන්ම, මගේ හෘදයේ ධමනි ළඟ තිබුණු විශාලම ගෙඩියක් ඇතුළත්ව ගෙඩි තුනක් තිබුණා. වෛද්‍යවරයා සමඟ සාකච්ඡාවකින් පසු, ශල්‍යකර්මයට පෙර ගෙඩි හැකිළවීම සඳහා අත්හදාබැලීමේ රස චිකිත්සක බෙහෙත් වර්ග දෙකක් මා ගත යුතු යයි අපි තීරණය කළා. සාමාන්‍ය අතුරු ආබාධ තිබුණා—කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම හැළුණා, ඔක්කාරය, වමනේ හා රුධිර සෛල ප්‍රමාණය අඩු වුණා.
මුලින් මා කලකිරී සිටිය නමුත්, මා යෙහෝවඃවහන්සේට බෙහෙවින් යාච්ඤා කරන්න පටන්ගත්තා, එමෙන්ම මෙය මාව ශක්තිමත් කළා. සමත්වීමේ විභාගයට තිබුණේ මාස හයකටත් වඩා අඩු කාලයක්. මගේ ගුරුවරුන් තේරුම්ගන්නා හා කරුණාවන්ත අයව සිටියා; ඔවුන් මගෙන් ඉල්ලුවේ වෛද්‍යවරයෙකුගේ සහතිකයක් සපයන්න කියාත් මට පුළුවන් තරමින් පාසැල් වැඩ හොඳින් කිරීමට වෑයම් කරන්න කියාත්ය.
පාසැල පහසු නොවීය
මා හුඟක් අසනීපව සිටියදී පංතියේ වැඩ කිරීමට මට තිබුණු අභියෝගයට අමතරව, මගේ කොණ්ඩෙ හැලෙන්න පටන්ගත්තා. මා බොරු කොණ්ඩයක් මිල දී ගත් විට, පාසැලේ යාළුවෝ කිව්වේ මට ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලයි—එය බොරු කොණ්ඩයක් බව ඔවුන්ට වැටහුණේ නෑ. කොහොම වුණත්, එක පිරිමි ළමයෙක් දැනගත්තා. මා පංති කාමරයට ගිය සෑම අවස්ථාවකම, ඔහු “බොරු කොණ්ඩය” කියා කළු ලෑල්ලේ ලියන්නට වුණා, ඔහුගේ යාළුවෝ සිනාසී, විහිළු කරන්නට වුණා. ඔවුන්ගේ විහිළු තහළු සියල්ල මාව කලකිරීමට පත්කළා.
එවිට, දිනක් සෙනඟ පිරී සිටිය ශාලා මාර්ගයේදී, පිටිපස්සෙන් ආපු කෙනෙක් මගේ හිසේ තිබුණු බොරු කොණ්ඩය ගැළෙව්වා. මා විගස හැරී, එය අහුලගත්තා. නමුත් ළමයින් බොහෝ දෙනෙක් මගේ මුඩු හිස දැක්කා, මට මහත් වේදනාවක් ඇති වුණා. මා තරප්පු පෙළකට ගිහින් ඇඬුවා. ඊළඟ දවසේදී සිදු වූ දෙය ගැන සමහර ශිෂ්‍යයන් කනගාටුවුණු බව ඔවුන්ගේ මුහුණුවලින් මට දැකගන්න පුළුවන් වුණා. මගේ බොරු කොණ්ඩය ඉවතට ඇදීමට ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙකුට මුදල් ගෙවා තිබෙන බව පංතියේ යාළුවෝ මට කිව්වා.
රුධිරය සම්බන්ධයෙන් ස්ථාවරය පහසු නොවේ
රස චිකිත්සාව සමඟ, මගේ රුධිර සෛල ප්‍රමාණය ඉතා පහත බැස්සා. දේවල් තවත් දරුණු අතට හරවමින්, සමහර විට දවසකට දෙවතාවක් හෝ තුන් වතාවක් මගේ නහයෙන් රුධිරය ගැලුවා. මා බව්තීස්ම වෙලා සිටියේ නැති නමුත් මා ස්ථිර අධිෂ්ඨානයක් ගෙන, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක වශයෙන් රුධිරය ලබාගන්නේ නැති බව පැවසුවා. (ක්‍රියා 15:28, 29) මාව මැරෙනවාට ඇය කැමති නැති බව මට පැවසීමට මගේ වැඩිමල් සහෝදරිය ඇගේ කුඩා දියණියව දිරිගැන්නුවා. මා රුධිරය ගත යුතු යයි බල කරමින්, පියා සිත්තැවුලට පත්වෙලා සිටිය අතර මා ප්‍රවේශනයක් ගත්තොත් දෙවියන්වහන්සේ සමාව දෙනවා කියා අම්මා මට පවසමින් සිටියා.
ඒ අතරතුරේම, එවැනි අඩු රුධිර සෛල ප්‍රමාණයකින් හෘදයාබාධයක් හෝ ආඝාතයක් මට හැදෙන්න පුළුවන් කියා වෛද්‍යවරු මට අනතුරු ඇඟෙව්වා. මා ස්ථිරව සිටීමට අධිෂ්ඨානය කරගෙන සිටිය නිසා, මා මියගියොත් ඔවුන් ඊට වග කියන්නේ නැති බවට වූ නිදහස් කිරීමේ පෝරමයක් මා ලවා ඔවුන් අත්සන් කෙරෙව්වා. ආපසු ගෙදර ගොස්, යළිත් පාසැල් යෑමට ප්‍රමාණවත් තරමින් මා විගස සුවය ලැබුවා. කෙසේවුවත්, මගේ රුධිර සෛල ප්‍රමාණයේ අඩුකම නිසා, රස චිකිත්සාව ගන්නවාට වඩා මා දැන් විකිරණ ප්‍රතිකාර ගත යුතු යයි වෛද්‍යවරු තීරණය කළා. එක්දාස් නවසිය අසූ හතේ අප්‍රියෙල් අග සිට ජූනි මුල දක්වා සෑම දවසකම පාසැල් වේලාවෙන් පසුව මා මේ ප්‍රතිකාර ගත්තා.
උපාධිය, ඉන්පසු බව්තීස්මය
උපාධිය විශේෂ අවස්ථාවක් වුණා. සාප්පු ගොස් මට ගවුමක් ගන්න මගේ සහෝදරිය මට උපකාර කළ අතර මා අලුත් බොරු කොණ්ඩයක්ද මිල දී ගත්තා. අම්මා සහ මගේ සහෝදරියන් දෙන්නා සමත්වීමේ අවස්ථාවට පැමිණ සිටි අතර අමතක නොවන කෑම වේලක් සඳහා අපි එක්ව පිටතට ගියා.
ඒ වන විට, මා රස චිකිත්සාව හෝ විකිරණ ප්‍රතිකාර ලබමින් සිටියේ නෑ. නමුත් සති කීපයකට පස්සේ, වෛද්‍යවරයා දුරකථනයෙන් අමතා රස චිකිත්සාවේ තවත් ක්‍රියාදාමයක් සඳහා රෝහලට පැමිණෙන්න යයි පැවසුවා. සතියකින් මට නිව් යෝර්ක් නගරයේ යැංකි ක්‍රීඩාංගනයේදී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට තිබුණු නිසා මට යන්න වුවමනා වුණේ නෑ. කොහොම වුණත්, ගිහින්, ප්‍රතිකාර ගන්න යයි අම්මා කිව්වා. එනිසා මා ගියා.
මා 1987 ජූලි 25වන සෙනසුරාදා බව්තීස්ම වෙන්නට සිටිය නිසා සමුළුවේදී මා ඉතා ප්‍රබෝධයෙන් සිටියා. බව්තීස්ම ස්ථානය වන ඔර්චඩ් වෙරළ වෙත යන විට අපට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. බව්තීස්ම වුණාට පසුව, දිනයේ ඉතිරි වැඩසටහන සඳහා මා ක්‍රීඩාංගනයට නැවත ගියා. එම සැන්දෑවේදී මට ඉතා වෙහෙසක් දැනුණ නමුත්, ඉරිදා උදේ මා සූදානම් වී සමුළුවේ අවසන් දිනට සහභාගි වුණා.
රුධිර ප්‍රශ්නයට නැවතත් මුහුණ දීම
පසුදා දවල් මට ෆැරන්හයිට් අංශක 103ට උණක්, වකුගඩු ප්‍රදාහයක් හා අතිශයින් අඩුවුණු රුධිර සෛල ප්‍රමාණයක් ඇතුව රෝහල්ගත වෙන්න සිදු වුණා. මා ප්‍රවේශනයක් සඳහා කැමැත්ත පළ කරන පෝරමය අත්සන් නොකළොත් තමා අධිකරණ නියෝගයක් ගෙන, මට බලෙන් රුධිරය දෙන බවට වෛද්‍යවරයා තර්ජනය කළා. මා හොඳටම භය වුණා. මගේ පවුලේ අය මට බල කරමින් සිටියා; මගේ සහෝදරිය ඇගේ රුධිරය මට දෙන්න පවා සූදානම් වුණත්, මා ඇයට එපයි කිව්වා.
ස්ථිරයෙන් ඉන්න මට උපකාර කරන්න කියා මා යෙහෝවඃවහන්සේට හැකි තරම් යාච්ඤා කළා. ස්තුතිවන්ත වෙන්න, මගේ රුධිර සෛල ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත් අතර රුධිරය ගැනීමට බල කිරීම අඩු වුණා. මට දිගටම රස චිකිත්සාව ගන්න සිදු වුණත්, ඒ සඳහා මට සුදුසු නහර ඉතිරි වෙලා තිබුණේ නෑ. එනිසා ශල්‍ය වෛද්‍යවරයා මගේ ග්‍රීවාස්ථියට යටින් කුඩා විවරයක් සිදු කර උපකරණයක් ඒ තුළට ඇතුල් කළා, එමගින් බෙහෙත් දීමට හැකි වුණා.
මගේ පෙණහැල්ලේ ගෙඩි ඉවත් කිරීම ගැන සාකච්ඡා කරන විට, හදිසි වුණොත් මිස නැත්නම් රුධිරය නොදෙන බව ශල්‍ය වෛද්‍යවරයා පැවසුවා. කැමති වෙන්න කියා අම්මා මට කිව්ව නිසා මා කැමති වුණා. නමුත් ඉන්පසු මා කළේ වරදක් කියා මට හැඟුණා, මන්ද ඇත්තවශයෙන්ම එය රුධිරය ගැනීමට එකඟවීමක් නිසා. විගස රුධිරය නොදෙන බවට සහතික වන ශල්‍ය වෛද්‍යවරයෙකු සෙවීමට මා පටන්ගත්තා. සෙවීම බලාපොරොත්තු රහිතබවක් පෙනෙන්නට තිබුණත්, අන්තිමේදී එක්කෙනෙක් සොයාගත්තා, ශල්‍යකර්මය 1988 ජනවාරි මාසයට යොදා තිබුණා.
මා ජීවත්වන බවට වෛද්‍යවරයා සහතික කළේ නෑ. ඇරත්, ශල්‍යකර්මයට පෙර රාත්‍රියේදී, ඔහු මගේ කාමරයට පැමිණ, මෙසේ පැවසුවා: “කරන්න ඕන ටික කරන්න මම වෑයම් කරන්නම්.” මා භය වුණා; එතකොට මට අවුරුදු 19යි, මට මැරෙන්න වුවමනා වුණේ නෑ. කෙසේවුවත්, ගෙඩි තුනක්ද මගේ පෙණහැල්ලෙන් තුනෙන් දෙකක්ද සාර්ථක ලෙස ඉවත් කළා. මා රෝහලේ සිටියේ සතියක් පමණක්වීම විශිෂ්ට දෙයක්. මාස දෙකහමාරක් පමණ ගෙදර සිට සුවය ලැබීමෙන් පසු, සාමාන්‍ය අතුරු ආබාධ ඇතුව නැවතත් රස චිකිත්සාව කිරීමට මා පටන්ගත්තා.
මේ වන විට මගේ පියාත් පිළිකාවෙන් රෝගී වුණ අතර මාස කීපයකට පසුව දිනක් රාත්‍රියේදී ඔහු නිදන කාමරයේ මැරී ඉන්නවා අම්මා දැක්කා. ඔහුගේ මරණයෙන් පස්සේ, මා වෘත්තීය පුහුණු පාසැලකට යෑමට පටන් ගෙන, එහිදී ලේකම්වරියක් ලෙස පුහුණුව ලැබුවා. මා ශාරීරිකව, අධ්‍යාපනිකව හා ආත්මිකව මෙන්ම උපකාරික පුරෝගාමියෙකු (තාවකාලික පූර්ණ-කාලීන දේව සේවකයෙකු) වශයෙන් පවා හවුල්වෙමින් හොඳින් දියුණු වෙමින් සිටියා.
නමුත් තවත් පසුබැස්මක්
එක්දාස් නවසිය අනූවේ, අප්‍රියෙල් මාසයේදී, මා ජෝර්ජියා ඔගස්ටාහි පැවති මගේ වැඩිමල්ම සහෝදරයාගේ විවාහ මංගල උත්සවයට සහභාගි වුණා. එහි සිටිද්දී මගේ සහෝදරයා මට මෙසේ පැවසුවා: “ඔබේ කකුල හරි ලොකුයි.”
“ඔබ සිතන විදිහට ඒ මොකක්ද?” මා ඇසුවා.
“මං දන්නේ නෑ,” ඔහු පිළිතුරු දුන්නා.
“ඒක ගෙඩියක් වෙන්න ඇති,” මා පැවසුවා.
නිව් යොර්ක් නගරය වෙත නැවත යෑමෙන් පසුව, මා වෛද්‍යවරයා වෙත ගියා. ස්ථානීය නිර්වින්දනයක් යටතේ කළ පටක පරීක්ෂණයකින් හෙළි වුණේ මගේ වම් පාදයේ බත්කෙණ්ඩේ විල්ම්ස් පිළිකා ගෙඩියක් තිබෙන බවයි. ඇටකටුවට හානියක් වෙලා නැති බව පරීක්ෂණ හෙළි කළ නමුත් ඉවත් කිරීමට නොහැකි තරමට ගෙඩිය විශාල වී තිබුණා. එනිසා සාමාන්‍ය රස චිකිත්සාව දුන්නා.
ටික වේලාවකට පසුව මට වමනේ නවත්වාගන්න බැරි වුණා; මගේ බඩවැල්වල සිරවීමක් තිබුණා. හදිසි ශල්‍යකර්මයකින් එයට සහනයක් ලබාදුන්නා. කෙසේවුවත්, මගේ බඩවැල් ඇඹරී තිබුණ නිසා තවත් ශල්‍යකර්මයක් කරන්න අවශ්‍යව තිබුණා. මගේ රතු රුධිරාණු සෛල ප්‍රමාණය, හතර ආසන්නය දක්වා පහත වැටුණු අතර වෛද්‍යවරයා දිගටම මෙසේ කියන්නට වුණා: “ඔබට ලේ ගන්න සිදුවෙනවා. ඔයා මැරෙන්නයි යන්නේ. සමහරවිට ඔයා රාත්‍රිය පසු කරන එකක් නෑ.” මිනී පිට්ටනි හා මැරෙන එක ගැන මා නපුරු සිහින දකින්නට වුණා.
ඔක්තෝබර් වන විට ගෙඩිය ඉවත් කිරීමට ප්‍රමාණවත් වන තරමට මා සුවය ලැබුවා. ඔවුන් මගේ බත්කෙණ්ඩයෙන් සියයට 70ක් පමණ අරන් දැම්මා. මට නැවතත් ඇවිදින්න පුළුවන් වෙයිද යන්න ප්‍රශ්නයක්ව තිබුණා. නමුත් නිව් යෝර්ක් නගරයේ තැන්වලට යන්න මට ඇවිදින්න අවශ්‍යව තිබුණා, එනිසා චිකිත්සාව හා අධිෂ්ඨානය සමඟින් මා—ප්‍රථමයෙන් ආධාරකයක් සමඟින්, ඉන්පසු කිහිලිකරුවලින්, ඊළඟට සැරයටියක ආධාරයෙන් හා අන්තිමේදී පාදය ශක්තිමත් කරන උපකරණයක් පැළඳගෙන ඇවිදින්නට පටන්ගත්තා, එය ගෙයින්-ගෙට දේව සේවයේදී මගේ බයිබලය නිදහසේ පාවිච්චි කිරීමට මට මගේ අත් නිදහස් කර තැබුවා. රස චිකිත්සාව ලැබූ කාලයේදී, මගේ බර රාත්තල් 59ක් දක්වා අඩු වුණා; මගේ උස අඩි පහයි අඟලයි, සාමාන්‍යයෙන් බර රාත්තල් 118ක් විතර. මගේ බර යළි වැඩි වන විට මගේ පාදය වැඩෙන්න පටන් ගත්තා, වෛද්‍යවරු එම පා උපකරණය ක්‍රමක්‍රමයෙන් විශාල කළා. අන්තිමේදී, මා සාමාන්‍ය බරට පැමිණි විට, ඔවුන් මට අලුත් එකක් සෑදුවා.
ජීවිතය තවමත් පහසු නොවේ
එක්දාස් නවසිය අනූදෙකේ ගිම්හානය වන විට, මම මගේ සාමාන්‍ය තත්ත්වයට පැමිණි අතර උපකාරික පුරෝගාමි සේවය කරන්න පවා ආසාවෙන් බලා සිටියා. නොවැම්බර් මාසයේදී, මාව ඉමහත් සතුටට පත්කරන ලිපියක් මට ලැබුණා. මගේ ජීවිත අද්දැකීම් අන් අයට දිරිගැන්වීමක් විය හැකි බව එහි පවසා තිබුණු අතර පිබිදෙව්! සඟරාවේ පළ කිරීමට ඒවා විස්තර කරන මෙන් මගෙන් ඉල්ලා තිබුණා. ඊළඟ සතියේදී මගේ ප්‍රීති ප්‍රමෝදය බලාපොරොත්තු රහිතභාවයකට හැරුණා.
සිරිත්පරිදි කළ X කිරණ මගින් මගේ හොඳ පෙණහැල්ලක ගෙඩි තිබෙන බව හෙළි වුණා. මා ඇඬුවා, හොඳටම ඇඬුවා. වකුගඩුවක්, මගේ අක්මාවේ කොටසක්, මගේ වම් පෙණහැල්ලෙන් වැඩි කොටසක්, පාදයෙන් කොටසක් අහිමි වී යෑමට, මා සාර්ථකව මුහුණ දුන් නමුත් කිසි කෙනෙකුට පෙණහැලි දෙකම නැතිව ජීවත් වෙන්න පුළුවන්කමක් නෑ. නැවතත් මගේ පවුලේ අය හා යාළුවෝ මට අස්වැසිල්ලක් ලබා දුන් අතර, තව වරක් රෝගයට එරෙහිව සටන් කිරීමට මා අධිෂ්ඨාන කරගත්තා.
රස චිකිත්සාව මගින් ගෙඩි හැකිළවීමට පටන් ගෙන තිබුණා. ඒවා ඉවත් කර පෙණහැල්ල බේරාගත හැකි යයි වෛද්‍යවරයෙක් සිතුවා. වර්ෂ 1993 මාර්තු මාසයේදී, මා ශල්‍යාගාරය තුළට ගියා. ඔවුන් නිකම් මාව සෝදිසි කර, මහලා දැම්ම බව මා පසුව දැනගත්තා. පෙණහැල්ල ඉවත් නොකර ගෙඩි ඉවත් කිරීමට ඔවුන්ට පුළුවන් වුණේ නෑ. එදා පටන් ගෙඩි මැරීමට වෙහෙසක් වශයෙන් මට බලවත් රසචිකිත්සාවක් දෙන්නට වුණා.
මගේ සිතුවිලි තුළට මරණය ආක්‍රමණය කරන්නේ මන්දැයි ඔබට වැටහෙනවාද? මගේ ජීවිතය පහසු එකක්ව තිබුණා නම්, අපි මැරෙන්නේ ඇයි, අනාගතය සඳහා තිබෙන්නේ මොන බලාපොරොත්තුවක්ද යන්න ගැන එතරම් ගැඹුරට සිතන්ට වෙයිද? මට ඒ ගැන ස්ථිර නෑ. කෙසේවුවත්, සැබවින් වැදගත් දෙය අප ජීවත් වෙනවාද හෝ මැරෙණවාද යන්න නොවෙයි, නමුත් අපට සදාජීවනය දෙන්ට පුළුවන් යෙහෝවඃ දෙවියන්වහන්සේගේ ආශීර්වාද අපට ලැබෙයිද යන බව මට ස්ථිරයි. උන්වහන්සේගේ නව ලෝකයේදී ජීවිතයේ බලාපොරොත්තුව සම්බන්ධයෙන් කල්පනා කිරීම, උන්වහන්සේ මත මගේ පීඩා බර දැමීම හා මගේ බලාපොරොත්තුව හවුලේ බෙදාගන්න යාළුවන්ට සමීපව සිටීම මාව උසුලා තබාගැනීමට උපකාරවත් වෙලා තියෙනවා.—ගීතාවලිය 55:22; එළිදරව් 21:3, 4.
අනිත් යෞවනයන්ට හොඳ සෞඛ්‍යයක් තිබීම ගැන මා සතුටු වෙනවා. මා විස්තර කර තිබෙන දෙයින් ඔවුන් බොහෝ දෙනෙක්ට ඉන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියා මා බලාපොරොත්තු වෙනවා, එසේ වන්නේ නිෂ්ඵල ලුහුබැඳීම් සඳහා නොව නමුත් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි එය ඥානවන්තව යොදාගැනීමෙනි. දෙවියන්වහන්සේගේ නව ලෝකයේදී සදහටම හොඳ සෞඛ්‍යය භුක්තිවිඳීමට ලැබීම කොතරම් උතුම් දෙයක්ද! එහිදී වෛද්‍යවරු, රෝහල්, විදින කටු, බට වුවමනා වෙන්නේ නෑ—නෑ මෙම රෝගී මියයන පරණ ලෝකය ගැන අපට සිහිගන්වන කිසිවක් ඉතිරි වෙන්නේ නෑ.—කැති රෝබර්සන් විසින් පවසන ලදි. g94 9/22
[21වන පිටුවේ පින්තූරය]
මම මගේ කණිෂ්ඨ උසස් පාසැලෙන් සමත්වූ විට
[23වන පිටුවේ පින්තූරය]
නිව් යෝර්ක්වල චාරිකා එක්රැස්වීමකදී ආහාර අංශයේදී උපකාර කරමින්