ලෝකය දෙස බැලීම
කතෝලික සදාචාර දේවධර්ම ශාස්ත්‍රය සහ තරුණ ඉතාලි ස්ත්‍රීහු
කතෝලික හෝ කතෝලික නොවන තරුණ ඉතාලි ස්ත්‍රීහු, තමන්ගේ ලිංගික සදාචාරය සම්බන්ධ කාරණයේදී පාප්ට අවනත නොවෙත්. ඇත්ත වශයෙන්, ලා රෙපූබ්ලිකා නමැති ඉතාලි දෛනික පුවත්පතේ පළවූ පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව, සම්මුඛ සාකච්ඡාවලට භාජන වූ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ ස්ත්‍රීන් සියයට 90.8ක තරම් ප්‍රතිශතයක් විශ්වාස කළේ “උපත් පාලන ක්‍රම භාවිත කිරීමට ස්ත්‍රීන්ට සහතික කළ යුතු” බවය, ඒ අතරතුරේදී, සියයට 66.7ක ප්‍රතිශතයක් “අනවශ්‍ය ගැබ්ගැනීමකට බාධා කිරීමට ඇති අයිතියට” පක්ෂව කථා කළහ. තවදුරටත්, ඔවුන්ගෙන් 80.2ක ප්‍රතිශතයක් “සමලිංගික සේවනයේ යෙදෙන්නන්ගේ අයිතිවාසිකම් සහතික කළ යුතු බවත් ඊට ගෞරව කළ යුතු බවත්” විශ්වාස කළහ.
බිළිඳෙකුගේ කෙස්වල විෂ සම්බ විය
තවත් කෙනෙකු දුම්පානය කරන විට පිටවන දුම, දුම් පානය නොකරන ගර්භිණී ස්ත්‍රීන් විසින් ආශ්වාස කරනු ලබන විට එම දුම භෲණය දක්වා ගමන් කරන බව ඔප්පු කිරීමට දැන් ජීව විද්‍යාත්මක සාක්ෂි තිබෙන බව කැනඩා ටොරොන්ටෝහි ද ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පත පවසයි. ටොරොන්ටෝහි හොස්පිටල් ෆෝර් සික් චිල්ඩ්රන් (රෝගී දරුවන් සඳහා වූ රෝහල) නමැති රෝහලේ රෝග විනිශ්චය පිළිබඳ ඖෂධ ශාස්ත්‍රඥ වන වෛද්‍ය ගිඩියන් කෝරන්ගේ නායකත්වය යටතේ ක්‍රියා කළ පර්යේෂණ කණ්ඩායමකගේ අලුත් සොයාගැනීම්වලින් අඟවන්නේ, අලුත උපන්නන්ගේ හිසකෙස් සාම්පලවල නිකටින් සහ අමතර වශයෙන් ඉන් උපදවනු ලබන කෝටිනින් අඩංඟු වන බවය. දුම්පානය නොකරන මව්වරු නිවසේදී හෝ රැකියා ස්ථානයේදී දුම් පානය කරන වෙනත් කෙනෙකුගේ දුමට අඩුම වශයෙන් දිනකට පැය දෙකකට අනාවරණය වූහ. වෛද්‍ය කෝරන්ට අනුව දුම් පානය කරන වෙනත් කෙනෙකුගෙන් පිටවන දුම නිතිපතා ආශ්වාස කිරීම, “දිනකට දුම්වැටි දෙකක් හෝ හතරක් දුම්පානය කිරීමට” සමාන විය හැකිය. “දුම්කොළ දුමට අනාවරණය වීම දරුවන්ගේ චර්යා මෙන්ම ඥානසම්බන්ධී වර්ධනයට බලපෑ හැකි බව ඇඟවූ මුල් අධ්‍යයනවලට වැඩි අර්ථයක්” මෙම නවීන පර්යේෂණයෙන් ඇති කෙරේ යනුවෙන් ද ග්ලෝබ්හි තවදුරටත් සඳහන් වේ. වෛද්‍ය කෝරන් මෙසේ අනතුරු ඇඟවූයේය, “අප දැන් ජීවත් වෙමින් සිටින්නේ නඩු කීමට නැඹුරුවාවක් දක්වන වාතාවරණයක නිසා, තවත් අවුරුදු 10ක් හෝ 20කින් දුම්පානය නිසා සිදුවූ වැරදිසහගත උපත් සම්බන්ධයෙන් ළදරුවන් තමුන්ගේ දෙමව්පියන්ට විරුද්ධව නඩු දමනවා අපට දකින්ට නොලැබෙයි කියා ඔබට සහතික කිරීමට මට නොහැක”!
සාප්පු සොරකම ජාත්‍යන්තර වේ
චිලිහි සාන්තියාගොහි “සොරකම” පුහුණු කරන “පාසැලක” “උපාධිධාරීන්,” කැනඩාවෙහි මොන්ට්‍රීයල් සහ ටොරොන්ටෝවෙහිද අමෙරිකා එක්සත් ජනපදයේ සමහර නගරවලද ක්‍රියා කරන බව ල’ක්ටුඅලිටේ නමැති කැනේඩියානු පුවත් සඟරාවක් වාර්තා කරයි. එම පාසැලේදී ගැටකැපීම සහ සාප්පු සොරකම සඳහා ශිල්පක්‍රම උගන්වනු ලබන අතර කැනේඩියානු නීති සහ පොලීසිය විසින් භාවිත කරනු ලබන ක්‍රම සම්බන්ධයෙන්ද දැනුම ලබා දේ. “උපාධිධාරීහු” ක්‍රියාත්මක වන්නේ කණ්ඩායම් වශයෙනි, රැගෙන යන්නේ බොරු ලියකියවිලිය, එමෙන්ම තමන් සොරකම් කළ දේවල් සැඟවීම සඳහා විශේෂයෙන් පෝරු දමන ලද ඇඳුම්වලින් සැරසී සිටින අතර තෑගි දවටන කඩදාසිද සතුව සිටිති. මොන්ට්‍රීයල්හි නාගරික ප්‍රජාවේ පොලීසිය මගින් මෙසේ කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වන අය සොයාගෙන තිබෙන අතර 1991 පටන් සොරා ගනු ලැබූ ඇඳුම් අත්කරගෙන තිබේ. මෑතකදී ඔවුන්ගේ විශාලතම සොයාගැනීම වූයේ චිලිවලට නියමිත ඇඳුම්වලින් පිරුණු කන්ටේනරයකි. කෙසේවෙතත්, පොලීසියටත් සාප්පුකාරයන්ටත් සාප්පු සොරකම සඳහා සංවිධානය කරන ලද මෙම ජාත්‍යන්තර කටයුතු බරපතළ අභියෝගයක් ඉදිරිපත් කරයි. ල’ක්ටුඅලිටේහි උපුටා දක්වා තිබූ මොන්ට්‍රීයල්හි එක් රහස් පරීක්ෂකයෙක් පැවසුවේ සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර පොලීසියට සැලැස්වීම දුෂ්කර කාර්යක් වේ, මන්දයත් “එය ඔවුන්ට ප්‍රමුඛතාවක් නොවන” නිසාය.
සමස්ත ලෝක සරණාගත අර්බුදයක්
වර්ෂ 1992දී දිනකට 10,000දෙනෙක් පමණ සරණාගතයන් බවට පත් වූහ. ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් රෙෆ්‍යූජීස් නමැති අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් (UNHCR) විසින් ලිඛිත අලුත් පොතක එසේ තහවුරු කරනු ලැබේ. වර්ෂ 1992දී ලොව වටා සරණාගතයන් මිලියන 18.2ක් සිටි අතර මෙය අවුරුදු 20කට කලින් සිටියාටත් වඩා අට ගුණයක වැඩි වීමකි. තවත් මිලියන 24ක අමතර ජන සංඛ්‍යාවක් තමන්ගේම රටවල සිය වාසස්ථාන අහිමි වී ඇත. මුළුමනින්ම පොළොවේ වෙසෙන ජනයාගෙන් 130දෙනාගෙන් 1කෙනෙකුට නිවසින් පලා යෑමට බල කරනු ලැබ තිබේ. රෙෆ්‍යූජීස් නමැති UNHCR සඟරාවේ මෙසේ ප්‍රකාශ වේ: “සැබෑ සරණාගතයන් සහ ආර්ථික සංක්‍රමිකයන් යන දෙපාර්ශ්වයේම—සංඛ්‍යාවන්හි නිම නොවන වැඩිවීම, වසර 3,500ක් පැරණි රක්ෂණස්ථාන සම්ප්‍රදාය පිරිහෙන තත්ත්වයට ළඟා කරමින් එය මත මහත් පීඩනයක් එල්ල කොට තිබේ.”
ඔබට නිදිමතද?
ඔබට රාත්‍රියේදී ප්‍රමාණවත් නින්ද ලැබෙනවාද? එය දැනගැනීමට එක් ක්‍රමයක් වනුයේ, හොඳ ආහාරයක් ගැනීමෙන් පසුව උණුසුම් කාමරයක නීරස කථාවකට සවන් දීම, යනුවෙන් එක් පර්යේෂකයෙක් පවසයි. ඔබ හොඳින් නිදාගෙන තිබුණා නම්, ඔබට නීරසගතියක් සහ අපහසුතාවක් දැනිය හැකි නමුත් ඔබට නිදිමත වන්නේ නැත. ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යූන් පුවත්පතට අනුව, අමෙරිකානු ජාතිකයන් මිලියන 100කට ප්‍රමාණවත් නින්ද නොලැබෙන බව ප්‍රවීණයන් විසින් ගණනය කර තිබේ. බහුතරයකට රාත්‍රියේදී පැය අටේ සිට පැය අටහාමාරක නින්දක් අවශ්‍ය වේ; අවුරුදු 17 සිට 25 දක්වා වයස අතර සිටින අයට ඊටත් වඩා වැඩියෙන් අවශ්‍ය වේ. තමන්ට සැබවින්ම අවශ්‍ය වන ප්‍රමාණයට වඩා අඩු නින්දක් ඇතිව බොහෝ දෙනෙකු ජීවිතය ගත කරන නමුත්, නින්ද-නොලැබෙන අයගේ අතින් වැරදි සිදුවීමට වැඩි ඉඩකඩ තිබේ. තවද ඔවුහු “නින්ද ණයක්ද” ගොඩනගා ගනිති. ට්‍රිබ්‍යූන් මෙසේ කියයි: “තම නහඹරයන් සති අන්තවලදී දවල් වන තුරු නිදාගන්න බැවින්, ඔවුන්ගේ ‘කම්මැලිකම’ ගැන දෙමව්පියෝ ශෝකය පළ කරති, නමුත් මෙම තරුණ අයගෙන් බොහෝ දෙනෙක් සතියටම එකතු වූ තමන්ගේ නින්ද ණය අඩු කිරීමට වෑයම් කරනවා පමණි.”
පූජක පක්ෂයේ දූෂණ ක්‍රියා අනාවරණය වේ
කතෝලික ක්‍රිස්තියානි සහෝදරයන් සම්බන්ධ වන ලිංගික අතවරය පිළිබඳව කැනඩාවේ විශාලතම පරීක්ෂණ අවසානයකට ගෙනැවිත් තිබේ. ඔන්ටේරියෝවල ඇල්ෆ්‍රෙඩ්හි සාන්ත ජෝසෙප් පාසැලෙන් සහ ඔන්ටේරියෝවල අක්ස්බ්‍රිජ්හි සාන්ත යොහාන් පාසැලෙන් ගොදුරු වූ 700දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරිපත් වී ඇති බව ද ටොරොන්ටෝ ස්ටාර් වාර්තා කරයි. “ක්‍රිස්තියානි පාසැල්වල සහෝදරයන්ගේ සාමාජිකයන්ගෙන් 29දෙනෙක් ඇතුළු පුරුෂයන් 30දෙනෙකුට විරුද්ධව” පැමිණිලි ඉදිරිපත් කරන ලදි. “තවත් 16දෙනෙක් තවමත් ජීවත්ව සිටියා නම් ඔවුන්ට විරුද්ධවද පැමිණිලි කරන්ට ඇති” බව ස්ටාර් තවදුරටත් සඳහන් කරයි. මීට ගොදුරු වූවෝ “ළමාවියේදී ඔවුන්ව භාරදී තිබුණා වූ, රෝමානු කතෝලික පැවිදි පිළිවෙළට අයත් කළු-පැහැති දිග වස්ත්‍ර පැළඳගත් සාමාජිකයන්ගෙන් ලද පහර ලැබීම් හා ලිංගික ප්‍රහාර” නිසා තවමත් සිත කළඹවන සිතුවිලි අද්දකිති. ප්‍රසිද්ධ විභාග කිරීමක් නොමැත්තේ නම්, දෙවියන්වහන්සේට සේවය කරනවා යයි කියා සිටින මනුෂ්‍යයන් බාල පිරිමි ළමුන්ව ලිංගික අතවරයට යටත් කරන්නේ මන්ද යන කාරණාව කැනේඩියානු ජාතිකයන් කිසිකලක ඉගෙන නොගන්නවා විය හැකි බව ස්ටාර් පවසයි.
උෂ්ණත්වමාන පළඟැටියෝ
ඔබ අප්‍රිකාවේ වෙසෙනවා නම්, සත්ත්ව විද්‍යාවේ විද්‍යාත්මක සඟරාවකට අනුව, උෂ්ණත්වමානයක උපකාරය නොමැතිව උෂ්ණත්වය දැනගැනීමට ඔබට දැන් හැකි වේ. මෙය සෙල්සියස් අංශකවලින් කළ හැකිය, තත්ත්පර හයක් තුළ අප්‍රිකානු ගස් පළඟැටියෙකු (ඉකැන්තස් කර්ස්චි) විසින් නිකුත් කරන චීප් නාද ගණනට 12ක් එකතු කිරීමෙන් උෂ්ණත්වය ගණන් කළ හැකිය. නැතහොත් දකුණු අප්‍රිකාවේ කේප්ප වර්ගයට (ඉකැන්තස් කැපෙන්සිස්) ඔබ සවන් දෙමින් සිටිනවා නම්, තත්ත්පර තුනක් ඇතුළත උගේ චීප් නාද ගණන් කර ඊට 11ක් එකතු කිරීමෙන් ඔබට එසේ කළ හැකි වේ. ගස් පළඟැටියන්ගේ මෙම වර්ග දෙක නිකුත් කරන ශබ්දය, ගණන් කිරීමට ප්‍රමාණවත් වේගයකින් සිදුවේ. තවද උන් ශාකයේ පත්‍ර මත තමන්ව සකස් කරගෙන සිටින ආකාරය නිසා ශබ්දවාහිනී යන්ත්‍රයකින් මෙන් එම චීප් ශබ්දය වැඩි කරනු ලබන නිසා, ශබ්දයද ප්‍රමාණවත් වේ. රාත්‍රියේදී උෂ්ණත්වය පහළ බසිනවාත් සමඟම, උන් නිකුත් කරන ශබ්දවාර ගණනද අඩු වෙයි. ඇෆ්රිකන් වයිල්ඩ්ලයිෆ් නමැති සඟරාව මෙසේ පැහැදිලි කරයි: “පළඟැටියන් ‘චලතාපක’ කෘමීන් වන හෙයින්, වාතයේ උෂ්ණත්වය මගින් උන්ගේ පරිවෘත්තියට බලපෑමක් ඇති වෙයි. මෙය උන්ගේ ජීවිතයේ සෑම පාර්ශ්වයකටම වාගේ බලපායි, ඊට උන් නාද කරන වාර ගණනද ඇතුළත් වෙයි.”
පාරජම්බූල ගැටලු
අව්ව තපිමින් ඔබගේ නිවාඩු ගත කිරීමට ඔබ කැමතිද? ඔබ එසේ කිරීමට කැමති නම්, පරෙස්සම් වන්න! සූර්යයාගේ පාරජම්බූල (UV) කිරණ සීමාව නොඉක්මවන විට ප්‍රයෝජනවත් වන නමුත්, වුවමනාවට වඩා වැඩියෙන් ඒවාට අනාවරණය වීම සම පිළිකා, ඇසේ රෝග, අකාලයේදී සමේ රැළි වැටීම, සමේ පිළිකාමය අර්බුද සහ රෝගවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව දුර්වල වීම යනාදිය සිදු කළ හැකිය. ජගත් සෞඛ්‍ය සංවිධානයට අනුව, ඕසෝන් තට්ටුව එන්ට එන්ටම අඩු වන හෙයින් UV මට්ටම් වැඩි වෙමින් පවතී. දැනට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බොහෝ පැතිවල, UV සෞඛ්‍ය ගැටලු වඩාත් ඉක්මනින් හා වේගවත්ව ඇති වෙයි. හිරු එළිය අධික දේශගුණයකින් ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේද? ආරක්ෂාකාරි වස්ත්‍ර අඳින්න, UV කිරණ උරාගන්නා අවු කණ්ණාඩි පළඳින්න සහ UV විකිරණය වඩාත් බලවත්ව තිබෙන ඉර මුදුන් වේලාවේදී නිවස තුළ සිටින්න.
මහත් ආගමික ව්‍යාපාරය
ලාභයක් උපයා ගන්නාවූ ඉතාලියානු ආර්ථිකයේ අංශ ස්වල්පයකින් එකක්, එමෙන්ම ආර්ථික පසුබැස්ම ජය ගැනීමෙහි ඇතැම්විට සාර්ථක වන එකම අංශය වනුයේ, “පල්ලියේ සෙවණේ සිදුකරනු ලබන” ව්‍යාපාරයයි, යනුවෙන් ලා රෙපූබ්ලිකා නමැති පුවත්පතේ මූල්‍ය අතිරේකය සඳහන් කරයි. ඇත්ත වශයෙන්ම, පොම්පේහිදී පවත්වනු ලැබූ ආගමික නිෂ්පාදනවල හයවන ප්‍රදර්ශනයේදී, එම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වූ සමාගම් 1,400ට ලැබූ ආදායම “ලීරා බිලියන 400ක් [අමෙරිකානු ඩොලර් මිලියන 240ක්] වූ බව ගණනය කරනු ලැබූ අතර, අලෙවි වූ භාණ්ඩවල ප්‍රමාණයේ සියයට 15ක වාර්ෂික වැඩිවීමක්ද ගණනය කරන ලදි.” තවදුරටත්, ඉතාලියේ විවිධ නමස්කාර ස්ථානවලට වන්දනාකාරයන් මිලියන 35ක් පමණ ආකර්ෂණය කළාවූ ආගමික සංචාර ව්‍යාපාරය මගින්, ඊට දස ගුණයක තරම් ලාභයක් ලැබිණ. “පල්ලියේ ‘ආශීර්වාදය’ ඇති ව්‍යාපාර ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී,” යනුවෙන් වාර්තාවේ පැවසේ, එමෙන්ම “ඉතාලියේ කතෝලික පූජකයන්ගේ මණ්ඩලය, බිෂොප්වරුන්ගේ මන්ත්‍රණ සභාව සහ පාප්ද මේ ගැන දැනුවත්ව සිට තිබෙන්නේ සතුටු සිතකිනි.” මෙම තත්ත්වය හැසිරවීමට පල්ලියේ පූජකයන්ගේ මණ්ඩලය විසින් සම්මේලන සංවිධානය කර ඒවාට අනුග්‍රහය පවා දී තිබේ—ඒවාහිදී උසස්-පදවිවල සිටින පල්ලියේ නිලධාරීන් විසින් කථාද ඉදිරිපත් කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිය දිවි නසාගැනීමේ ඉහළ මට්ටම
ඕස්ට්‍රේලියාවේ සිය දිවි නසාගැනීමේ අනුපාතය කොතරම් බියඋපදවන වේගයකින් වැඩි වෙනවාද කිවහොත්, පොදුජන සෞඛ්‍ය සංවිධානය විසින් දැන් එහි ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සිය දිවි නසාගැනීම වැළැක්වීමද ඇතුළත් කොට තිබේ. වසර දෙකක් තුළදී මහ මාර්ග අනතුරුවලට වඩා සිය දිවි නසාගැනීමේදී සිදු වූ මරණ සංඛ්‍යාව වැඩි වූ විට, නියත යමක් කළ යුතු අතර, එය හදිසි කාරණාවක්ව තිබූ බව පොදුජන සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි විය. පුවත්පතක් වන, දි ඔස්ට්‍රේලියන්, සංගමයේ කථිකයෙකු මෙසේ පැවසූ බව උපුටා දක්වයි: “මේ දක්වා, පොදුජන සෞඛ්‍ය ප්‍රජාව විසින් සිය දිවි නසාගැනීම සම්බන්ධයෙන් සැලකිල්ල යොමු වී නොතිබුණත්, වෙනත් පොදුජන සෞඛ්‍ය ගැටලුවල චරිත ලක්ෂණ ඊට තිබේ. එය සිදුවන වාර ගණන ඉතා අධිකය එමෙන්ම ඉන් සිදුවන හානිය, පොදුජන සෞඛ්‍ය සැලකිල්ල සහ සම්පත් වැය වෙන වෙනත් කාරණා තරම්ම පුළුල් වේ.” සිය දිවි නසාගැනීමේ වර්තමාන ප්‍රමාණය අසනීප නිසා නොවන වෙනත් සියලුම මරණවලින් සියයට 31ක කම්පිත කරවන ප්‍රතිශතයක් වේ, මෙය මහා මාර්ග අනතුරුවලින් සිදුවන මරණවල අනුපාතයට වඩා සියයට තුනක ප්‍රතිශතයකින් වැඩි වේ. g94 9/8