හිට්ලර්ගේ යුද්ධයට අපි අනුබල දුන්නේ නැහැ
ෆ්රාන්ස් වොල්ෆාර්ට් පැවසූ පරිදි
මගේ පියා වූ ග්‍රෙගෝර් වොල්ෆාර්ට් 1වන ලෝක යුද්ධයේදී (1914 සිට 1918) ඕස්ට්‍රියානු හමුදාවේ සේවය කළ අතර, ඉතාලියට විරුද්ධව සටන් කළා. මුළුමනින්ම ඕස්ට්‍රියානුවන් සහ ඉතාලියානුවන් සිය දහස් ගණනක් සමූලඝාතනය කරනු ලැබුවා. එම අද්දැකීමේ බිහිසුණු දර්ශන ආගම සහ යුද්ධය සම්බන්ධයෙන් තාත්තාට තිබුණ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
ඕස්ට්‍රියානු පූජකයන් හමුදාවට ආශීර්වාද කරනවා තාත්තා දුටු අතර, අනෙක් පැත්තේ සිටියාවූ ඉතාලියානු පූජකයන්ද එම දේම කරමින් සිටි බව ඔහුට දැනගන්නට ලැබුණා. එනිසා ඔහු මෙසේ ඇසුවා: “කතෝලික සොල්දාදුවන්ට වෙනත් කතෝලිකයන්ව මරා දැමීමට දිරිගන්වන්නේ ඇයි? ක්‍රිස්තියානීන් එකිනෙකාට විරුද්ධව යුද්ධ කළ යුතුද?” පූජකවරුන්ට සෑහීම ගෙන දෙන පිළිතුරු සැපයීමට නොහැකි වුණා.
තාත්තාගේ ප්‍රශ්නවලට පිළිතුරු
යුද්ධය අවසන් වීමෙන් පසුව තාත්තා විවාහ වී ඉතාලියානු සහ යුගෝස්ලාවියානු මායිම් අසල පිහිටි ඕස්ට්‍රියාවේ කඳුකරයේ පදිංචි වුණා. වර්ෂ 1920දී මා එහි උපත ලැබුවා, දරුවන් හයදෙනෙකුගෙන් ප්‍රථමයා මමයි. මට අවුරුදු හයක් වූ විට, සැතපුම් කිහිපයක් නැගෙනහිරට පිහිටි, සාන්ක්ට් මාර්ටින් වෙතට අපි ගිය අතර මෙය නිවාඩු ගැනීම සඳහා ජනප්‍රිය පර්ට්ෂාච් නුවර ළඟ පිහිටා තිබුණා.
අප එහි වාසය කරමින් සිටි විට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් (ඒ කාලයේදී බයිබල් ශිෂ්‍යයන් යනුවෙන් හඳුන්වනු ලැබුවා)මගේ දෙමව්පියන් බලන්ට ආවා. වර්ෂ 1929දී ප්‍රොස්පෙරිටි ශුවර් නමැති පොත් පිංචය ඔවුන් තබා ගියා, මගේ තාත්තාගේ ප්‍රශ්න බොහොමයකට ඉන් පිළිතුරු ලැබුණා. යක්ෂයා හා සාතන් යනුවෙන් හඳුන්වනු ලබන අදෘශ්‍යමාන පාලකයෙකු විසින් ලෝකය පාලනය කරනු ලබන බව එය බයිබලයෙන් පෙන්වා දුන්නා. (යොහන් 12:31; 2 කොරින්ති 4:4; එළිදරව් 12:9) මෙම ලෝකයේ ආගම්, දේශපාලනය සහ වාණිජ්‍ය කෙරෙහි ඔහුට තිබෙන බලපෑම IIවන ලෝක යුද්ධයේදී තාත්තා දුටුවාවූ බිහිසුණු දර්ශනවලට හේතු වුණා. තාත්තා සොයමින් සිටි පිළිතුරු ඔහුට අන්තිමේදී සම්බ වුණා.
ජ්වලිත දේව සේවය
තාත්තා වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටියෙන් පොත්පත් අයදුම් කර, ඒවා ඔහුගේ නෑදෑයන්ටත් පසුව ගෙයින් ගෙටත් බෙදා දීමට පටන් ගත්තා. හාන්ස් ෂ්ටෝසිර් නමැති හුදෙක් අවුරුදු 20ක් වූ අසල්වැසි තරුණයෙක්, විගසින් ගෙයින් ගෙට සේවයේ තාත්තා සමඟ හවුල් වුණා. ඉක්මනින් අපගේ නෑදෑයන්ගෙන් පස්දෙනෙක්ද සාක්ෂිකරුවන් බවට පත් වුණා—එනම් තාත්තාගේ අයියා වූ ෆ්රාන්ට්ස්, ඔහුගේ බිරිඳ ආනා, පසුව ඔවුන්ගේ පුත්‍ර අන්ටන්, තාත්තාගේ නංගි මාරිආ සහ ඇගේ පුරුෂයා හර්මාන්.
මෙනිසා, සාන්ක්ට් නම් වූ අපගේ කුඩා ගම්මානයේ යම් ප්‍රමාණයක කැළඹීමක් හට ගත්තා. “ලෝඉජි පියතුමා, වොල්ෆාර්ට් නමස්කාර කරන යෙහෝවා නමැති මෙම අලුත් දෙවියා කවුද?” කියා පාසැලේදී ශිෂ්‍යයෙක් අපගේ කතෝලික ගුරුවරයාගෙන් ඇසුවා.
“නැහැ දරුවෙනි. මේ අලුත් දෙවිකෙනෙක් නොවෙයි. යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියා. ඒ දෙවියාට තිබෙන ප්‍රේමය නිසා ඔවුන් එම පණිවුඩය පතුරුවනවා නම්, එය ඉතා හොඳ දෙයක්,” යයි පූජකයා පිළිතුරු දුන්නා.
මගේ තාත්තා සැන්ඩ්විච් එකකුත් බයිබල් පොත්පත් තොගයකුත් පටවාගෙන බොහෝවර පෙ.ව. 1:00ට නිවසින් පිටවී යෑම මට සිහි වෙනවා. පැය හයකට හෝ හතකට පසුව, ඔහුගේ දේශනා ක්ෂේත්රයේ වඩාත්ම ඈතින් පිහිටි ස්ථානයට, එනම් ඉතාලියානු මායිමට ඔහු ළඟා වෙයි. එතරම් දීර්ඝ නොවූ ගමන්වල මමත් ඔහු සමඟ ගියා.
ඔහුගේ ප්‍රසිද්ධ දේව සේවයේ කටයුතු තිබුණ නමුත්, තාත්තා තමාගේම පවුලේ ආත්මික අවශ්‍යතා අතපසු කළේ නැහැ. මට අවුරුදු දහයක් පමණ වූ විට, ද හාප් ඔෆ් ගෝඩ් නමැති පොත පාවිච්චි කර අප හය දෙනාත් සමඟ ඔහු විධිමත් සතිපතා බයිබල් පාඩමක් පටන් ගත්තා. වෙනත් අවස්ථාවලදී අපගේ නිවස උනන්දුව දක්වන අසල්වැසියන් සහ නෑදෑයන්ගෙන් පිරී තිබුණා. ඉක්මනින් අපගේ කුඩා නගරයේ රාජ්‍යය ප්‍රචාරකයන් 26දෙනෙකුගෙන් යුත් සභාවක් ඇති වුණා.
හිට්ලර් බලය ලබයි
වර්ෂ 1933දී හිට්ලර් ජර්මනියේ බලය ලැබූ අතර, වැඩි කලක් ගතවන්ට පෙර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පීඩා වැඩි වන්නට පටන් ගත්තා. වර්ෂ 1937දී, චෙකෝස්ලොවැකියාවේ ප්‍රාග්වල සමුළුවකට තාත්තා සහභාගි වුණා. ඉදිරියේ තිබෙන්ට යන පීඩා ගැන සමුළුවට පැමිණි අයට අනතුරු අඟවනු ලැබූ බැවින්, තාත්තා නැවත හැරී ආ විට පීඩාවලට සූදානම් වීමට අප සියලු දෙනාවම උනන්දු කළා.
ඒ අතරතුරේදී, වයස අවුරුදු 16දී, ගෙවල්වලට තීන්ත ගෑමට ඉගෙන ගැනීමට මම පටන් ගත්තා. මම දක්ෂ පින්තාරු ගුරුවරයෙක් සමඟ නැවතී සිට වෘත්තීය පාසැලකට ගියා. නාට්සි පාලනයෙන් ගැළවීම සඳහා ජර්මනිය අත්හැර පැමිණ සිටි වයසක පූජකයෙක් පාසැලේදී ආගමික උපදෙස් පන්තියක් පැවැත්වුවා. ශිෂ්‍යයන් “හයිල් හිට්ලර්!” (හිට්ලර්ට ජයවේවා!) යනුවෙන් ඔහුට ආමන්ත්‍රණය කළ විට, අසතුටක් දක්වමින් ඔහු මෙසේ ඇසුවා: “අපේ ඇදහිල්ලට මොකද්ද වෙලා තියෙන්නේ?”
ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන, යේසුස්වහන්සේ ස්වකීය අනුගාමිකයන් සියලු දෙනාම සහෝදරයන් බව පැවසූ නිසා, “උතුමාණන් වහන්සේ” සහ “ශුද්ධ පියතුමා” වැනි පදවි නාම කතෝලිකයන් භාවිත කිරීමට හේතුවද මා විමසුවා. (මතෙව් 23:8-10) මෙසේ කිරීම වැරදි බව පූජකයා පිළිගත් අතර තමා රදගුරු ඉදිරියේ හිස නමා ආචාර කිරීමටත් ඔහුගේ අත සිපගැනීමටත් ප්‍රතික්ෂේප කළ නිසා කරදරයට පත්වී සිටින බවත් පැවසුවා. එවිට මා මෙහෙම ඇසුවා: “පල්ලියේ ආශීර්වාදය ඇතිව සහකාර කතෝලිකයන්ව ඝාතනය කිරීමට අවසර ලැබෙන්නේ කොහොමද?”
“මේ තමා ලොකුම ලජ්ජාව!” යයි පූජකයා ප්‍රකාශ කළා. “එය නැවත කවදාවත් සිදු නොවිය යුතුයි. අපි ක්‍රිස්තියානීන්, ඒ වගේම පල්ලිය යුද්ධයේ හවුල් වීම සුදුසු නැහැ.”
වර්ෂ 1938 මාර්තු 12වන දින කිසි විරෝධයක් නොමැතිව හිට්ලර්ගේ හමුදාවන් ඕස්ට්‍රියා තුළට පිවිස එය ජර්මනියේ කොටසක් බවට පත්කර ගත්තා. එහි තිබූ පල්ලි විගස ඔහුගේ පැත්ත ගත්තා. ඇත්ත වශයෙන්, සතියක්වත් ගතවන්ට පෙර ටේඕඩෝර් ඉනට්සර් ඇතුළු ඕස්ට්‍රියානු රදගුරුවරුන් හයදෙනාම ඉදිරි මැතිවරණවලදී “ජර්මානු ජාතිකයන් වශයෙන්, ජර්මානු රයිච් ආණ්ඩුවට ඡන්ද දැමීම රදගුරුන් වන අපට අත්‍යවශ්‍ය දෙයක් මෙන්ම ජාතික වගකීමක්ද වේ” යනුවෙන් අතිශය අනුග්රහශීලී “විධිමත් ප්රකාශනයකට” අත්සන තැබුවා. (9වන පිටුව බලන්න.) වියානාහි මහත් පිළිගැනීමේ උත්සවයක් පවත්වනු ලැබූ අතර, එහිදී කාර්දිනල් ඉනට්සර් නාට්සි ආමන්ත්‍රණය ඇතිව හිට්ලර් පිළිගැනීමට ප්‍රථමයන් අතර සිටියා. ඕස්ට්‍රියානු පල්ලි සියල්ලටම ස්වස්තික කොඩිය එල්ලන්ටත්, සීනු නාද කිරීමටත්, නාට්සි ඒකාධිපතිවරයා වෙනුවෙන් යාච්ඤා කිරීමටත් කාර්දිනල්වරයා නියම කළා.
පෙනෙන විදිහට එකම රාත්‍රියේදීම ඕස්ට්‍රියාවේ දේශපාලන ස්වභාවය වෙනස් වුණා. දුඹුරු පැහැති නිල ඇඳුමත් ස්වස්තිකය සහිත අත් පටියත් පැළඳගත් විශේෂ නාට්සි හමුදා බල ඇනි හදිස්සියේම සෑම තැනකින්ම මතු වෙන්ට පටන් ගත්තා. පල්ලියට යුද්ධයේ සම්බන්ධ වීම සුදුසු නැතැයි කලින් පැවසූ පූජකයා, “හයිල් හිට්ලර්!” යනුවෙන් පැවසීමට ප්‍රතික්ෂේප කළ පූජකයන් ස්වල්ප දෙනා අතර සිටියා. ඊළඟ සතියේදී ඔහු වෙනුවට වෙනත් පූජකයෙක් පැමිණියා. පන්තිය තුළට පිවිසීමේදී ඔහු කළ ප්‍රථම දෙය වූයේ ඔහුගේ පාද ගසා, අත ඔසවා ආචාර කර, “හයිල් හිට්ලර්!” යයි පැවසීමයි.
එකඟවීමට බලකිරීම
නාට්සිවරුන්ගේ බලකිරීම්වලට සියල්ලෝම අනාවරණය වුණා. මම මිනිසුන්ට “හයිල් හිට්ලර්” වෙනුවට, “ගුටෙන් ටාග්” (සුභ දවසක්) යනුවෙන් ආචාර කළ විට, ඔවුන් කුපිත වුණා. දොළොස් වරක් පමණ ගෙස්ටාපො පොලිසියට මා ගැන වාර්තා කරනු ලැබුවා. වරක් විශේෂ නාට්සි බල ඇණියේ භටයින් රැසක් පැමිණ, මා හිට්ලර්ගේ ආචාර කිරීම නොකර හිට්ලර් තරුණ සමාජයට එකතු වුණේ නැත්නම්, මාව වදක කඳවුරකට යවන බවට, මා සමඟ ජීවත් වෙමින් සිටි ප්‍රධාන පින්තාරුකරුට තර්ජන කළා. කල්යත්ම මම වෙනස් වේ යයි කියා මා සමඟ ඉවසා සිටින මෙන් නාට්සිවාදීන්ගේ පැත්තට අනුග්‍රහ දැක්වූ එම පින්තාරුකරු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මම හොඳ වැඩකරුවෙක් වූ නිසා මා එතැනින් යනවා දැකීමට ඔහු අකමැති වූ බව ඔහු පැහැදිලි කළා.
නාට්සිවරුන් පාලනය භාරගැනීමත් සමඟම, බොහෝ සේ රෑවන තුරු මහ පෙළපාළි පවත්වනු ලැබූ අතර, මිනිස්සු උමතුවෙන් මෙන් කෑගසමින් උද්යෝග පාඨ කියෙව්වා. හැමදාම හිට්ලර්ගේ, ගොබෙල්ස්ගේ සහ වෙනත් අයගේ කථාවලින් ගුවන්විදුලි යන්ත්‍ර බෙරිහන් දුන්නා. පුරුද්දක් වශයෙන් පූජකවරු හිට්ලර් වෙනුවෙන් යාච්ඤා කරන්ටත් ඔහුට ආශීර්වාද කරන්ටත් පටන් ගත් විට, හිට්ලර්ට කතෝලික පල්ලිය දැක්වූ යටහත්කම වැඩි වුණා.
ස්ථිර ස්ථාවරයක් ගැනීමටත් යෙහෝවඃවහන්සේට මගේ ජීවිතය කැප කිරීමටත් තිබෙන අවශ්‍යතාව ගැන තාත්තා මට සිහිගැන්නුවා. තවද බයිබල් සත්‍යයන්ට ස්ථාවරයක් ගෙන තිබූ අපගේ අසල්වැසියෙකු වූ හාන්ස්ගේ බාල සහෝදරිය වූ මාරිආ ෂ්ටෝසිර් ගැනත් ඔහු මට කථා කළා. මාරිආ සහ මා විවාහ වීමට එකඟ වී සිටි අතර, ආත්මික වශයෙන් ඇයට දිරිගැන්වීමක් සැපයීමට තාත්තා මගෙන් උදක්ම ඉල්ලා සිටියා. මාරිආගේ සහෝදරයා විසින් 1939 අගෝස්තු මාසයේදී ඇයව සහ මාව බව්තීස්ම කරනු ලැබුවා.
තාත්තාගේ ආදර්ශවත් අඛණ්ඩතාව
ඊළඟ දවසේ හමුදා සේවය සඳහා තාත්තාව කැඳවනු ලැබුවා. පළමුවන ලෝක යුද්ධයේදී අද්දුටු දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය එසේ සේවය කිරීමෙන් ඔහුව වළක්වන්නට තුඩු දෙන නමුත්, සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අයට තාත්තා පැවසුවේ තමා කතෝලික භක්තිකයෙක්ව සිටියදී යුද්ධවල හවුල් වූ ආකාරයට ක්රිස්තියානිවරයෙකු වශයෙන් ඔහු නැවත කිසි කලක හවුල් වන්නට යන්නේ නැති බවයි. මෙම ප්‍රකාශය නිසා වැඩි දුර විභාග කිරීම සඳහා ඔහුව නතර කරනු ලැබුවා.
සතියකට පසුව IIවන ලෝක යුද්ධය ඇරඹීමට හේතුවක් වූ ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසුව, ඔහුව වියනාවට ගෙන යනු ලැබුවා. තාත්තාව එහිදී අත්අඩංගුවට ගෙන තිබූ අවස්ථාවේදී, වෙනත් සාක්ෂිකරුවන් හිට්ලර්ගේ පැත්ත ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තාත්තා වගකිව යුතු බවත් එමනිසා ඔහුව මරණයට පත් කළ යුතු බවත් පවසමින් අපගේ දිස්ත්‍රික්කයේ නගරාධිපති ලිපියක් ලියුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, තාත්තාව බර්ලින් නුවරට යවනු ලැබූ අතර ඉක්මනින් හිස ගසා දැමීමේ දඬුවමට නියම කරනු ලැබුවා. දිවා රෑ දම්වැල්වලින් බැඳ මොවබිට් සිරෙහි ඔහුව තබනු ලැබුවා.
ඒ අතරතුරේදී පවුලේ අය වෙනුවෙන් මම තාත්තාට ලිපියක් ලියා ඔහුගේ ඇදහිලිවන්ත ආදර්ශය අනුකරණය කිරීමට අප දැඩි අධිෂ්ඨානයක් ගෙන තිබූ බව ඔහුට දැන්නුවා. තාත්තා සාමාන්‍යයෙන් පහසුවෙන් චිත්තවේග පෙන්වන කෙනෙක් වුණේ නැහැ, එහෙත් ඔහු අපට ලිවූ අන්තිම ලිපියේ කඳුළු පැල්ලම් දුටු අපට ඔහුට හැගුණ ආකාරය වැටහුණා. ඔහු ගත් ස්ථාවරය අපට අවබෝධ වූ නිසා ඔහු අතිශයින් සන්තෝෂ වුණා. පෞද්ගලික වශයෙන් අප එකිනෙකා නමින් සඳහන් කර ඇදහිලිවන්තව සිටීමට අපගෙන් උදක්ම ඉල්ලා සිටීම සමඟින් වූ දිරිගැන්වීමේ වදන් ඔහු අපට එව්වා. නැවත නැගිටීම කෙරෙහි වූ ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් එකක්ව තිබුණා.
තාත්තා හැර වෙනත් සාක්ෂිකරුවන් 24දෙනෙක් පමණ මොවබිට් සිරගෙයිහි අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගේ ඇදහිල්ල අත්හැරීමට ඔවුන්ව පෙලඹවීමට උසස් තනතුරුවල සිටි හිට්ලර්ගේ නිලධාරීන් වෑයම් කළ නමුත් ඔවුන් අසාර්ථක වුණා. වර්ෂ 1939 දෙසැම්බර් මාසයේදී, සාක්ෂිකරුවන් 25දෙනෙක් පමණ මරණයට පත් කරනු ලැබුවා. තාත්තාගේ මරණය ගැන දැනගන්නට ලැබුණු විට, මරණය දක්වා ඇදහිලිවන්තව සිටීම සඳහා තාත්තාට ශක්තිය දුන් නිසා තමා යෙහෝවඃවහන්සේට කොතරම් ස්තුති වන්ත වෙනවාද කියා අම්මා පැවසුවා.
මගේ පරීක්ෂා ඇරඹේ
සති ස්වල්පයකට පසුව, වැඩ කිරීමට මාව කැඳවනු ලැබූ නමුත්, එහි ප්‍රධාන කටයුතු වූයේ යුද්ධ හමුදා පුහුණුව බව මට ඉක්මනට දැනගන්නට ලැබුණා. හමුදාවේ සේවය නොකරන නමුත් වෙනත් ඕනෑම වැඩක් කිරීමට මම සූදානම්ව සිටි බව මා පැහැදිලි කළා. කෙසේවෙතත්, නාට්සි සටන් ගීතිකා ගායනා කිරීමට මා ප්‍රතික්ෂේප කළ විට, නිලධාරීන් කෝපයට පත් වුණා.
ඊළඟ උදෑසන මම අපට සපයා තිබූ හමුදා නිල ඇඳුම වෙනුවට සාමාන්‍ය ඇඳුම්වලින් පෙනී සිටියා. මාව ඇඳිරිගේ දැමීම හැර තමාට වෙන විකල්පයක් නොතිබූ බව භාරව සිටි නිලධාරියා පැවසුවා. එහිදී පාන් සහ වතුරෙන් පමණක් මම ජීවත් වුණා. කොඩියට ආචාර කිරීමේ උත්සවයක් තිබෙන්නට යන බව පසුව මට පවසනු ලැබුවා, එමෙන්ම සහභාගිවීමට ප්‍රතික්ෂේප කිරීම, මාව වෙඩි තබනු ලැබීමෙන් කෙළවර විය හැකි බව මට අනතුරු අඟවනු ලැබුවා.
පුහුණු කිරීමේ පිට්ටනියේ අලුතෙන් බඳවා ගත් භටයන් 300ක්ද හමුදා නිලධාරීන්ද සිටියා. නිලධාරීන් සහ ස්වස්තික කොඩිය ළඟට ගොස් හිට්ලර්ගේ ආචාරය කිරීමට මට නියම කරනු ලැබුවා. හෙබ්‍රෙව්වන් තුන්දෙනා සම්බන්ධයෙන් වූ බයිබල් වාර්තාවෙන් ආත්මික ශක්තිය ලබා ගනිමින්, මම “ගුටෙන් ටාග්” (සුභ දවසක්) යයි පැවසුවා. (දානියෙල් 3:1-30) නැවතත් එසේ යන්නට මට නියම කරනු ලැබුවා. මේ අවස්ථාවේදී මම කිසිවක් පැවසුවේ නැහැ, මද සිනාවක් පෑවා පමණි.
නිලධාරීන් හතර දෙනෙක් නැවතත් මාව ඇඳිරිගෙට ගෙනගිය විට, මට වෙඩි තබනු ලැබේ යයි සිතූ නිසා තමන් වෙව්ලමින් සිටි බව ඔවුන් මට කීවා. “අප එතරම් භයින් ඉන්න විට ඔයාට මද සිනාවක් එක්ක සිටින්ට හැකි වුණේ කොහොමද?” කියා ඔවුන් මගෙන් ඇසුවා. මගේ නිර්භීතකම ඔවුන්ට තිබුණා නම් කොතරම් හොඳද කියා ඔවුන් කීවා.
දින කිහිපයකට පසුව, බර්ලින්වල හිට්ලර්ගේ ප්‍රධාන කාර්යාලයෙන් ඉහළ-තනතුරක් සහිත නිලධාරියෙක් වන ආචාර්ය ආල්මෙන්ඩින්ගර් කඳවුරට පැමිණියා. ඔහු ඉදිරියට පැමිණීමට මට කියනු ලැබුවා. නීති තවත් දරුණු කරනු ලැබූ බව ඔහු පැහැදිලි කළා. “ඔයාට සිදුවන්ට යන දේ ගැන කිසිවක් ඔයා දන්නේ නැහැ,” යයි ඔහු පැවසුවා.
“ආ, ඒක මම දන්නවා,” යයි මම පිළිතුරු දුන්නා. “එම හේතුව නිසාම හුදෙක් සති කිහිපයකට පෙර මගේ පියාගේ හිස ගසා දමනු ලැබුවා.” ඔහු විස්මයට පත් වී, නිශ්ශබ්ද වුණා.
පසුව උසස්-තනතුරක් දරන තවත් නිලධාරියෙක් බර්ලින් නුවරින් පැමිණි අතර, මගේ මනස වෙනස් කිරීමට තවදුරටත් ප්රයත්න දරුවා. මා දෙවියන්වහන්සේගේ නීති කඩ නොකිරීමට හේතුව දැනගැනීමෙන් පසුව, ඔහු මගේ අත රැගෙන, තම මුහුණ දිගේ ගලා වැටෙන කඳුළු සහිතව මෙසේ පැවසුවා: “ඔයාව බේරා ගන්න මට ඕනේ!” බලා සිටි නිලධාරීන් සියලු දෙනාම චිත්ත වේගීව අතිශයින් කැළඹුණා. පසුව මාව නැවතත් ඇඳිරි ගෙට ගෙන යනු ලැබුවා, මා මුළුමනින්ම එහිදී දින 33ක් ගත කළා.
නඩු විභාගය හා සිරගත කිරීම
වර්ෂ 1940 අප්‍රියෙල් මාසයේදී, ෆියුඅර්ස්ටන්ෆෙල්ට්හි සිරගෙයකට මාව මාරු කරනු ලැබුවා. දින ස්වල්පයකින් මගේ පෙම්වතිය වූ මාරිආ හා මගේ සහෝදර ග්‍රෙගෝර් මා බැහැදැකීමට ආවා. ග්‍රෙගෝර් මට වඩා අවුරුදු එකහාමාරක් බාලව සිටිය අතර, බයිබල් සත්‍යයන් සඳහා ඔහු විසින් දැඩි ස්ථාවරයක් ගෙන තිබුණා. පීඩා සඳහා සූදානම් වීමට අපගේ බාල සහෝදරයන්ගෙන් ඔහු උදක්ම ඉල්ලා සිටීම මට මතකයි, ඔහු කියා සිටියේ කිරීමට තිබෙන්නේ එකම දෙයයි, එනම් යෙහෝවඃවහන්සේට සේවය කිරීමයි! එකිනෙකා දිරිගැන්වීමෙහි අප ගත කළ එම අගනා පැය ඔහු පණපිටින් මා දැක්ක අන්තිම වාරය විය. පසුව, ග්රාට්ස්හිදී වසර පහක බර වැඩ සහිත සිර භාරයට මා නියම කරනු ලැබුවා.
වර්ෂ 1940 ශරත් ඍතුවේදී, චෙකෝස්ලොවැකියාවේ බර වැඩ කඳවුරකට නියම වූ දුම්රියක මාව නංවනු ලැබුවා, එහෙත් මාව වියානාවෙහි නතර කරනු ලැබ එහිදී සිරගෙයක දමනු ලැබුවා. එහි තිබූ තත්ත්වය ඉතාමත්ම පිළිකුල්සහගතයි. මා බඩගින්නෙන් දුක්වින්දා පමණක් නොව, නමුත් රාත්රිවලදී මාව විශාල මකුණන් විසින් හපනු ලැබූ අතර එය මගේ සමෙන් ලේ ගැලීමටත් දැවිල්ලක් ඇති වීමටත් සිදු කළා. ඒ කාලයේදී මට නොතේරුණ හේතූන් නිසා, මාව ග්‍රාට්ස් සිරගෙයට නැවත යවනු ලැබුවා.
ස්වර්ගීය විපාකය ලබාගැනීමට ඕනෑ වූ නිසා මරණ දඬුවම ලබාගැනීමට කැමති වූ උන්මාද සහිත දිවි පුදන්නෝ ලෙස යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව ගෙස්ටාපො පොලීසිය විසින් විස්තර කර තිබූ නිසා මගේ නඩුවට උනන්දුව දක්වනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට 1,44,000දෙනෙකු පමණක් ගනු ලබන බව පැහැදිලි කරමින්, ග්‍රාට්ස් විශ්වවිද්‍යාලයේ විශාරදයෙකු හා ශිෂ්‍යයන් අට දෙනෙකු ඉදිරියේ කථා කිරීමට මට දින දෙකක කදිම ප්‍රස්තාවක් ලැබුණා. (එළිදරව් 14:1-3) මා බලාපොරොත්තු වන්නේ පොළොව මත පාරාදීස තත්ත්වයන් යටතේ සදාතන ජීවිතය භුක්ති විඳීමටයි කියා මම පැවසුවා.—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.
දින දෙකකට ප්‍රශ්න කිරීමෙන් පසුව, විශාරදයා මෙසේ පැවසුවා: “ඔබ තර්කානුකූලව සිතන පොළොව මත ජීවත් වීමට කැමති නිගමනයට මා එළඹ තිබෙනවා. මියගොස් ස්වර්ගයට යෑමට ඔබට ආශාවක් නැහැ.” යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පීඩනය පිළිබඳව ඔහු ශෝකය ප්‍රකාශ කළ අතර මට ශුභ පැතුවා.
වර්ෂ 1941 මුල් භාගයේදී, ජර්මනියේ පිහිටි රොල්වාල්ට් බරපතළ වැඩ ඇති කඳවුරකට නියම වූ දුම්රියක මා සිටියා.
කඳවුරේ කටුක ජීවිතය
ෆ්රැන්ක්ෆර්ට් සහ ඩාම්ස්ටාඩ්ට් නුවරවල් අතර රොල්වාල්ට් පිහිටා තිබූ අතර එහි සිරකරුවන් 5,000ක් පමණ රැඳී සිටියා. සෑම දිනක්ම ආරම්භ වුණේ, උදෑසන 5:00ට පෙරෙට්ටුවේ නම් අඬගැසීම සමඟිනි, නිලධාරීන් තමන්ගේ සිරකරුවන්ගේ ලැයිස්තුව වත්මන් තත්ත්වය දක්වා ගෙන ඒමට සෑහෙන වේලාවක් ගත් නිසා පැය දෙකක් පමණ ගත වුණා. අපට නිශ්චලව සිටගෙන සිටීමට කියා තිබූ හෙයින්, සම්පූර්ණයෙන්ම නොසැලී නොසිටීම නිසා බොහෝ සිරකරුවන් දැඩි පහරදීම්වලට ලක් වුණා.
උදෑසන ආහාරයට ලැබුණේ පාන්, මෙය පිටි, ලී කුඩු සහ බොහෝ විට නරක් වූ අර්තාපල් යන දැයින් සාදනු ලැබුවා. පසුව කෘෂිකාර්මික අරමුණු උදෙසා පොළොවෙන් වතුර බැස යන්ට සැලැස්වීම සඳහා විශාල කාණු කැපීමට අපි මඩවගුරේ වැඩ කරන්ට ගියා. සුදුසු පාවහන් නොමැතිව මුළු දවසම මඩවගුරේ අප වැඩ කළායින් පසුව, අපගේ පාද ස්පන්ජි මෙන් ඉදිමෙන්ට වුණා. වරක් මගේ පාදවල කෝථය හෙවත් මස් කුණුවීම මෙන් පෙනෙන්ට තිබූ යමක් මතුවූ අතර, පාද කපා ඉවත් කිරීමට වෙයි කියා මා බිය වුණා.
වැඩ ස්ථානයේදී දහවල් ආහාරය සඳහා අපට බෙදා දුන්නේ, සූප් යයි ඔවුන් හැඳින්වූ අත්හදා බැලීමට කළ මිශ්‍රණයකි. එය රාබු වර්ගයක් හෝ ගෝවා යන එළවලුවල රසයෙන් යුක්තව තිබූ අතර ඇතැම් අවස්ථාවලදී රෝගී සත්ත්වයන්ගේ අඹරන ලද මළකුණුද ඊට අඩංගු වුණා. අපගේ කටවල්වල හා උගුරුවල දැවිල්ලක් ඇති වූ අතර, අපගෙන් බොහෝ දෙනෙකුට විශාල ගඩු හටගත්තා. සැන්දෑවට අපට තවත් “සූප්” ලැබුණා. සිරකරුවන්ගෙන් බොහෝ දෙනෙකුට තම දත් අහිමි වුණා, එහෙත් දත් ක්‍රියාශීලීව තබාගැනීමේ වැදගත්කම මට දන්වා තිබුණා. මම පයින් ලී කැබැල්ලක් හෝ හේසල් ගසේ රිකිල්ලක් හප හපා සිටි නිසා, මගේ දත් මට අහිමි වුණේ නැහැ.
ආත්මික ලෙස ශක්තිමත්ව සිටීම
මගේ ඇදහිල්ල කඩ කිරීම සඳහා වූ වෑයමක් ලෙස, මට වෙනත් සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කිරීමට බැරිවන පරිදි ආරක්ෂක භටයෝ මාව වෙන් කර තැබුවා. මට බයිබල් පොත්පත් නොතිබූ හෙයින්, ‘යෙහෝවඃවහන්සේ කෙරෙහි මුළු හදින් විශ්වාස’ කිරීමට අපට දිරිගන්වන හිතෝපදේශ 3:5, 6 සහ ‘අපට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් පරීක්ෂා ඇති වීමට’ යෙහෝවඃවහන්සේ ඉඩ නාරිනු ඇති බව අපට පොරොන්දු කරන 1 කොරින්ති 10:13 වැනි මා කටපාඩම් කර තිබූ ශුද්ධ ලියවිලි පද මා සිහියට නැගුවා. එබඳු ශුද්ධ ලියවිලි පද මතක් කරගැනීමෙන් හා යාච්ඤාව මගින් යෙහෝවඃවහන්සේ කෙරෙහි රැඳී සිටීමෙන්, මා ශක්තිමත් කරනු ලැබුවා.
ඇතැම් අවස්ථාවලදී වෙනත් කඳවුරක සිට තවත් එකකට ගෙනයනු ලබන සාක්ෂිකරුවෙක් දැක ගැනීමට මට හැකි වුණා. අපට කථා කිරීමට ප්‍රස්තාව නොලැබුණේ නම්, හිස සෙලවීමෙන් හෝ මිට මොළවා ගත් අතක් එසවීමෙන් එකිනෙකාට ස්ථිරයෙන් සිටීමට අප දිරිගැන්වූවා. මාරිආගෙනුත් අම්මාගෙනුත් මට ඉඳහිට ලියුම් ලැබුණා. එකක මගේ ආදරණීය සහෝදරයා වූ ග්රෙගෝර්ගේ මරණය පිළිබඳව මට දැනගන්නට ලැබුණා, එමෙන්ම යුද්ධයේ අවසානයට ආසන්නව, තවත් ලිපියක මාරිආගේ සහෝදරයා වූ හාන්ස් ෂ්ටෝසිර්ගේ මරණ දණ්ඩනය ගැනද මට දැනගන්නට ලැබුණා.
පසුකලක, බර්ලින්හි මොවබිට් හිරගෙයිහිදී ග්‍රෙගෝර් සමඟ එකට සිටි සිරකරුවෙක් අපගේ කඳවුරට ස්ථාන මාරු කරනු ලැබුවා. සිදු වූ දේවල විස්තර මට ඔහුගෙන් දැනගන්නට ලැබුණා. යන්ත්‍රයකින් හිස ගසා දැමීමේ මරණ දඬුවම ග්‍රෙගෝර්ට නියම කර තිබුණා, එහෙත් ඔහුගේ අඛණ්ඩතාව කඩ කිරීමට වෑයමක් වශයෙන්, මරණය සඳහා බලා සිටීමේ සාමාන්‍ය කාල පරිච්ඡේදය මාස හතරකට දික් කර තිබුණා. ඒ කාලය තුළ විශ්වාසය පාවා දීමට විවිධාකාරයෙන් ඔහුට පීඩා කරනු ලැබුවා—බරැති දම්වැල්වලින් ඔහුගේ දෑත් සහ පාද බැඳ තිබුණ අතර, ඔහුට ආහාර ලැබුණේ කලාතුරකිනි. එහෙත් ඔහු කිසිවිටකත් දුර්වල වුණේ නැහැ. ඔහු අවසානය දක්වා ඇදහිලිවන්තව සිටියා—එනම් 1942 මාර්තු 14වන දා දක්වා. එම ආරංචියෙන් මා ශෝක වූ නමුත්, කුමක් සිදු වුවත් යෙහෝවඃවහන්සේට ඇදහිලිවන්තව සිටීමට මාව එයින් ශක්තිමත් කරනු ලැබුවා.
මගේ බාල සහෝදරයන් වූ ක්‍රිස්ටියාන් හා විලිබාල්ට් සහ මගේ බාල සහෝදරියන් වූ ඒඩා හා ආනීද ජර්මනියේ ලාන්ඩව්හි පිහිටි ශෝධක පාසැලක් හැටියට උපයෝගි කරනු ලැබූ කන්‍යාරාමයකට ගෙන යනු ලැබූ බවත් කල්යෑමේදී මට දැනගන්නට ලැබුණා. හිට්ලර්ට ආචාර කිරීමට ප්‍රතික්ෂේප කළ හෙයින් පිරිමි ළමුන් දෙදෙනාට හොඳටම තලනු ලැබුවා.
සාක්ෂිදැරීම සඳහා ප්‍රස්තා
මා ජීවත් වූ බැරැක්කවල සිටි අයගෙන් බොහෝ දෙනෙක් දේශපාලන සිරකරුවන් හා අපරාධකරුවන් වුණා. මම බොහෝ විට ඔවුන්ට සාක්ෂි දරමින් සැන්දෑවන් ගත කළා. එක්කෙනෙක් කාප්ෆන්බර්ග් සිට පැමිණි යොහාන් ලිස්ට් නම් වූ කතෝලික පූජකයෙක් වුණා. ඔහුව සිරගත කරනු ලැබුවේ ඔහු බ්‍රිතාන්‍ය ගුවන්විදුලි ප්රචාරයෙන් තමා ඇසූ දේ තම සභාවට කියා තිබූ නිසයි.
යොහාන් දැඩි කායික ශ්රමයට පුරුදුව නොසිටි නිසා ඔහුට එය ඉතා දුෂ්කර වුණා. ඔහු ප්‍රසන්න මිනිසෙකු වූ නිසා, ඔහු කරදරයට පත් නොවීම සඳහා ඔහුට නියම කරනු ලැබූ වැඩ කොටස කර නිම කිරීමට මම ඔහුට උපකාර කළා. ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට ඇලී සිටීම වෙනුවට දේශපාලනමය හේතු නිසා සිරගතවීම ගැන තමා ලැජ්ජා වූ බව ඔහු මට කීවා. “ඔබ සැබවින්ම පීඩා විඳින්නේ ක්‍රිස්තියානියෙකු වීම නිසයි,” යයි ඔහු පැවසුවා. වසරකට පමණ පසුව ඔහු නිදහස් කරනු ලැබූ විට, මගේ මවවත් මගේ පෙම්වතියවත් බැහැදැකීමට ඔහු පොරොන්දු වූ අතර, ඔහු එම පොරොන්දුව ඉටු කළා.
මාගේ ජීවිතය යහපත් අතට හැරෙයි
වසර 1943 අග භාගයේදී පමණ, කාර්ල් ෂ්ටුම්ප්ෆ් නම් වූ අලුත් අණදෙන නිලධාරියෙක් අපේ කඳවුරු නියම කරනු ලැබුවා, ඔහු උසැති, සුදු හිසකෙස් සහිත මිනිසෙක් වූ අතර, අපගේ කඳවුරේ තත්ත්වයන් දියුණු කිරීමට ඔහු පටන් ගත්තා. ඔහුගේ නිවසට තීන්ත ගෑම සඳහා කාලය නියම වී තිබුණු අතර, මා වෘත්තීමය වශයෙන් පින්තාරුකරුවෙකු වූ බව ඔහු දැනගත් විට, මට එම වැඩය ලැබුණා. මඩවගුරේ වැඩ කිරීමෙන් මාව වෙන වැඩකට කැඳවනු ලැබූ ප්‍රථම අවස්ථාව එයයි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වශයෙන් මගේ ඇදහිල්ල නිසා මා එහි සිටි බව අණදෙන නිලධාරි තම භාර්යාවට පැහැදිලි කළ නමුත්, ඇයට මාව සිරගත කරනු ලැබීමට හේතුව වටහාගැනීම දුෂ්කර දෙයක් වුණා. මා ඉතා කෙට්ටු වූ නිසා ඇය අනුකම්පා වී මාව පෝෂණය කළා. මාව ශාරීරිකව ශක්තිමත් කරවීම සඳහා ඇය මට වෙනත් වැඩ සැලසුම් කළා.
වර්ෂ 1943 අග භාගයේදී පමණ ඉදිරි පෙළවල සටන් කිරීම සඳහා කඳවුරුවල සිටි සිරකරුවන්ව කැඳවනු ලැබූ විට, අණදෙන නිලධාරි වූ ෂ්ටුම්ප්ෆ් සමඟ මට තිබූ හොඳ සම්බන්ධය මාව බේරාගත්තා. යුද්ධයේ හවුල්වීමෙන් ලේවරද සහිත වීමට වඩා මා මරණය විඳිනු ඇති බව මා ඔහුට පැහැදිලි කළා. මධ්‍යස්ථභාවය පිළිබඳ මගේ ස්ථාවරය ඔහුව අමාරු තත්ත්වයකට පත් කළ නමුත්, කැඳවනු ලැබූවන්ගේ නාම ලේඛනයේ මගේ නම නොතිබීමට සැලැස්වීමට ඔහුට හැකි වුණා.
යුද්ධයේ අන්තිම දවස්
වර්ෂ 1945 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, පහළින් ගුවන් ගත් අමෙරිකානු ගුවන් යානාවලින් යුද්ධය අවසානයකට ළඟා වී තිබූ බව පැවසූ පත්‍රිකා හෙළීමෙන් අපට දිරි දුන්නා. මගේ ජීවිතය බේරා දුන් අණදෙන නිලධාරි ෂ්ටුම්ප්ෆ් මට සිවිල් ඇඳුම් ලබා දී සැඟවීම සඳහා ඔහුගේ නිවස මට සපයා දුන්නා. කඳවුර අත්හැර ගිය මට, අතිශය අවුල්සහගත බවක් දකින්ට ලැබුණා. යුද්ධයට සැරසුණු ළමුන් කඳුළු වැගිරෙන මුහුණු සහිතව, අමෙරිකානුවන් ඉදිරියේ පලා යෑම එක් නිදසුනකි. හිට්ලර්ගේ විශේෂ බලකාය වන SS නිලධාරීන්ව මට හමුවීමට ඉඩ තිබීම ගැන බිය වීම නිසාත්, මා තුවක්කුවක් නොමැතිව සිටියේ මන්ද කියා ඔවුන් කල්පනා කිරීමට ඉඩ ඇති නිසාත්, කඳවුරට හැරී යෑමට මා තීරණය කළා.
ඉක්මනින් අපගේ කඳවුර අමෙරිකානු බල ඇනි මගින් සම්පූර්ණයෙන්ම වටලනු ලැබුවා. වර්ෂ 1945 මාර්තු 24වන දා, සුදු කොඩි ලෙළ දෙන්ට සලස්වමින් කඳවුර යටත් වුණා. අණදෙන නිලධාරි ෂ්ටුම්ප්ෆ් විසින් මරණ දඬුවම ලැබීමෙන් වළක්වාලනු ලැබූ වෙනත් සාක්ෂිකරුවන්ද කඳවුරට සබැඳි යාබද කොටස්වල සිටි බව දැනගැනීමට ලැබීමෙන් මා කොතරම් පුදුමයට පත් වුණාද! අපට තිබුණේ මොනතරම් ප්‍රීතිමත් හමුවීමක්ද! අණදෙන නිලධාරි ෂ්ටුම්ප්ෆ් සිරගත කරනු ලැබූ විට, අපගෙන් බොහෝ දෙනෙක් අමෙරිකානු නිලධාරීන් හමුවීමට ගොස් ඔහු වෙනුවෙන් පෞද්ගලිකවද ලිපියක් මාර්ගයෙන්ද සාක්ෂි ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දින තුනකට පසුව ඔහුව නිදහස් කරනු ලැබුවා.
නිදහස් කරනු ලැබූ සිරකරුවන් 5,000දෙනාගෙන් ප්‍රථමයා මා වීම මට පුදුමයක් වුණා. සිරගෙයිහි වසර පහකට සිටීමෙන් පසුව, මා හරියට සිහින දකිනවා මෙන් මට හැඟුණා. සතුටු කඳුළු සහිතව, මාව ආරක්ෂා කළාට මා යාච්ඤාවෙන් යෙහෝවඃවහන්සේට ස්තුති කළා. සති හයක් පමණ පසුවන තෙක්, එනම් 1945 මැයි 7 වන තෙක් ජර්මනිය යටත් වුණේ නැහැ.
මා නිදහස් වූ වහාම, ප්‍රදේශයේ සිටි වෙනත් සාක්ෂිකරුවන් සමඟ මා සම්බන්ධතා ඇති කරගත්තා. බයිබල් පාඩම් කණ්ඩායමක් සංවිධානය කරනු ලැබුවා, එමෙන්ම ඊළඟ සති කිහිපය ඇතුළත, කඳවුර අවට සිටි ජනයාට සාක්ෂිදැරීමෙහි මා පැය බොහොමයක් ගත කළා. ඒ අතරතුරේදී පින්තාරුකරුවෙකු වශයෙන් මට රැකියාවක්ද ලැබුණා.
නැවත නිවසට පැමිණීම
ජූලි මාසයේදී මට යතුරුපැදියක් මිල දී ගැනීමට හැකි වුණා, එවිට නැවත නිවස කරා යෑමේ මගේ දීර්ඝ ගමන ආරම්භ වුණා. මහ මාර්ගය ඔස්සේ තිබූ පාලම් බොහොමයක් බෝම්බ මගින් විනාශ කර තිබූ හෙයින්, ගමනට දින ගණනාවක් ගත වුණා. මගේ නිවස පිහිටා තිබූ සාන්ක්ට් මාර්ටින්ට මා අවසානයේදී පැමිණි විට, මා පාර දිගේ ගමන් කරද්දී මාරිආ තිරිඟු කපනවා දුටුවා. අන්තිමේදී මාව හඳුනා ගත් විට, ඇය මා දෙසට දුවගෙන ආවා. එය කොතරම් සන්තෝෂවත් යළි එකතුවීමක්ද කියා ඔබට සිතා ගත හැකි වෙයි. අම්මාත් ඇගේ දෑකැත්ත බිම දමා දුවගෙන ආවා. දැන්, වසර 49කට පසුව, අම්මාට වයස අවුරුදු 96ක් වන අතර ඈ අන්ධවද සිටියි. ඇගේ මනස තවමත් අවධිව තිබේ, එමෙන්ම ඇය තවමත් යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවෙක්ව සිටියි.
මාරිආ සහ මා 1945 ඔක්තෝබර් මාසයේදී විවාහ වුණා, එමෙන්ම එදා පටන් ගෙවී තිබෙන වසර ගණනාව පුරා යෙහෝවඃවහන්සේට එකට සේවය කිරීම අපට සතුටක් වී තිබෙනවා. දියණියන් තුන්දෙනෙක්ද, පුත්‍රයෙක්ද, ඔවුන්ගේ දරුවන් හය දෙනෙකුගෙන්ද අප ආශීර්වාද ලැබ තිබෙන අතර, ඔවුන් සියලු දෙනාම යෙහෝවඃවහන්සේට ජ්වලිතව සේවය කරනවා. වසර ගණනාව පුරා බයිබල් සත්‍යයේ පැත්ත ගැනීමෙහි මිනිසුන් රැසකට උපකාර කිරීමේ තෘප්තියද මට ලැබී තිබෙනවා.
විඳදරාගැනීමට ධෛර්යය
හුදෙක් තරුණයෙකු වශයෙන්, නොබියව මරණයට මුහුණ දීමට මට හැකි වුණේ කෙසේද කියා මගෙන් බොහෝ වර අසා තිබෙනවා. මේ ගැන සහතික වන්න—ඔබ පක්ෂපාතව සිටීමට දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව සිටිනවා නම් විඳදරාගැනීමට යෙහෝවඃවහන්සේ ශක්තිය සපයනවා. යාච්ඤාව මගින් උන්වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන්ම රැඳී සිටීමට කෙනෙකු ඉතා ඉක්මනින් ඉගෙන ගන්නවා. එමෙන්ම, මගේම පියා සහ සහෝදරයා ඇතුළු වෙනත් අයද මරණය දක්වා විඳදරා ගත් බව දැනගැනීමද පක්ෂපාතව සිටීමට මට උපකාරවත් වුණා.
යෙහෝවඃවහන්සේගේ ජනයා යුද්ධයේ පැති නොගෙන සිටියේ යුරෝපයේ පමණක් නොවෙයි. වර්ෂ 1946දී න්යූරම්බර්ග්හි සිදු වූ නඩු විභාගයේදී, වදක කඳවුරුවල සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පීඩාවන් පිළිබඳව උසස්-තනතුරක් දරන හිට්ලර්ගේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබුවා මට මතකයි. දෙවන ලෝක යුද්ධයේදී ඔවුන් දැරූ මධ්‍යස්ථභාවය නිසා එක්සත් ජනපදයේ සාක්ෂිකරුවන් දහස් ගණනක් අමෙරිකානු සිරගෙවල්වල සිටි බව වාර්තා කළ පුවත් පතකින් කපා ගත් කොටසක් ඔහු තමාගේ සාක්කුවෙන් රැගෙන පෙන්නුවා.
ඇත්ත වශයෙන්, තම ජීවිතයේ අවසාන මොහොත දක්වා අඛණ්ඩතාව රක්ෂා කළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය සැබෑ ක්‍රිස්තියානීහු නිර්භීතව අනුගමනය කරනවා. දෙවියන්වහන්සේ උදෙසාද තම අසල්වැසියා උදෙසාද වූ ප්‍රේමය නිසා, සාන්ක්ට් මාර්ටින්හිදී 1930 සහ 1940 ගණන්වල හිට්ලර්ගේ යුද්ධයේ පැති ගැනීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මරණයට පත් කරනු ලැබ තිබූ අපගේ කුඩා සභාවේ සාමාජිකයන් 14දෙනා ගැන මට මෙදින දක්වා සිහි වෙනවා. දෙවියන්වහන්සේගේ නව ලොවේ සදහට ජීවිතය භුක්ති විඳීම සඳහා ඔවුන් නැවත ජීවත් කරනු ලබන විට එය මොනතරම් උදාර යළි එකතුවීමක් වනු ඇත්ද! g94 10/22
[8වන පිටුවේ පින්තූරය]
මගේ පියා
[8, 9වන පිටුවේ පින්තූර]
පහළ හා වමට: ජර්මානු රයිච් ආණ්ඩුව වෙනුවෙන් කාර්දිනල් ඉනට්සර් ඡන්ද දැමීම
දකුණට: ජර්මානු රයිච් ආණ්ඩුව සඳහා ‘ඡන්ද දැමීම ඔවුන්ගේ ජාතික වගකීම’ වන බවට වූ බිෂොප්වරුන් හය දෙනෙක් ප්‍රකාශ කරන “විධිමත් ප්‍රකාශය”
[හිමිකම් විස්තර]
UPI/Bettmann
[10වන පිටුවේ පින්තූරය]
මාරිආ සහ මා 1939දී, විවාහවීමට ගිවිස ගත්තා
[13වන පිටුවේ පින්තූරය]
අපගේ පවුල. වමේ සිට දකුණට: (හිස ගසා දැමූ) ග්‍රෙගෝර්, ආනි, ෆ්රාන්ට්ස්, විල්බාල්ට්, ඒඩා, (හිස ගසා දැමූ, පියා) ග්‍රෙගෝර්, බාබරා (මව) සහ ක්‍රිස්ටියාන්
[15වන පිටුවේ පින්තූරය]
අද මාරිආ සමඟ