ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 3/8 3-9 පි.
  • සරයේවෝ 1914 සිට 1994 දක්වා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සරයේවෝ 1914 සිට 1994 දක්වා
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යුගෝස්ලාවියාව සහ Iවන ලෝක යුද්ධය
  • යුගෝස්ලාවියාව සහ IIවන ලෝක යුද්ධය
  • ලොව වෙනස් කළ වෙඩි උණ්ඩ
  • 1914 පැහැදිලි කිරීමට ප්‍රයත්න
  • දුර දිග නොබැලීමේ ප්‍රතිඵලය
    2009 පිබිදෙව්!
  • යුද්ධ හා දුක් වේදනාවලට වග කිව යුත්තේ කවුද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1995 පිබිදෙව්!
g95 3/8 3-9 පි.

සරයේවෝ 1914 සිට 1994 දක්වා

ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

වර්ෂ 1914, ජූනි 28 දින සරයේවෝහි එම අවාසනාවන්ත වෙඩි පහර වැදී දැන් වසර අසූවක් ගත වී ඇත. එම වෙඩි පහරවල් මගින් නායක ආදිපාද ෆ්‍රාන්ට්සිස් ෆෙර්ඩිනාන්ට් සහ නායක ආදිපාද්‍යවරිය වූ ඔහුගේ භාර්යාව සෝෆි, මරණයට පත් කරනු ලැබූ අතර, ඕස්ට්‍රියා-හංගේරියාව සහ ​සර්බියාව අතර සතුරුකම Iවන ලෝක යුද්ධය හටගැනීමට තරම් වැඩි විය. යුද්ධ භූමි වෙතට යවනු ලැබූ තරුණ පුරුෂයෝ මිලියන 65න්, මිලියන 9ක් පමණ නැවත නොපැමිණියහ. පොදු ජනයාට සිදුවූ අනතුරු ඇතුළුව, මුළුමනින්ම මිලියන 21ක පමණ ජන සංඛ්‍යාවක් මරනු ලැබූහ. වර්ෂ 1914 අගෝස්තු මාසයේදී හටගත් එම යුද්ධය ගැන තවමත් සමහරුන් කථා කරන්නේ “ලෝකය උමතු වූ” කාලය කියාය.

නැවත වරක් සරයේවෝ පුරාම වෙඩි ශබ්ද ප්‍රතිනාද දී තිබේ. ඇරත් සරයේවෝහි පමණක් නොව, නමුත් කලින් යුගෝස්ලාවියා ෆෙඩරල් රාජ්‍යයේa සමූහාණ්ඩු හයෙන් බොහොමයකද තත්ත්වය එසේම වේ. යුගෝස්ලාවියෙන්—එට් ලාන්ඩ් ඉ උප්ලෝස්නිං (යුගෝස්ලාවියාව—කැඩී බිඳී යන දේශයක්) නමැති පොත මෙසේ ප්‍රකාශ කරයි: “මෙය වනාහි අසල්වැසියා අසල්වැසියාට විරුද්ධව සටන් කරන සිවිල් යුද්ධයකි. දිගු-කලක් තිස්සේ පැවතී තිබෙන අමනාපයන් හා සැක සහිත ආකල්පයන් වෛරය දක්වා වර්ධනය වී තිබේ. මෙම වෛරය සටන්වලට මඟ පාදා ඇති අතර සටන් කිරීම තව තවත් ඝාතන හා විනාශ සිදුවීමට මඟ පාදා තිබේ. එය හරියට විෂම චක්‍රයක් නැතහොත්, වර්ධනය වන වෛරයේ, සැකසහිතභාවයේ සහ මරාදැමීමේ සර්පිලාකාර මාර්ගයක් බඳුය.”

වර්ෂ 1991 ජූනි මාසයේදී යුගෝස්ලාවියාවේ සටන් ආරම්භ වූ අවස්ථාවේදී, 1914දී සරයේවෝහි අසන්ට ලැබූ වෙඩි ප්‍රහාර බොහෝදෙනෙකුට සිහිවීම පුදුමයක් නොවෙයි. මෙම අලුත් සටන එක සමාන විනාශ කරවන ප්‍රතිඵලවලට මඟ පාදනු ඇත්ද? යුරෝපයේ සාමයට තර්ජනයක් එල්ල කරනු ලැබේද? “ජනවර්ග ශෝධනයේ” (එනම් වාර්ගික, දේශපාලනමය හෝ සංස්කෘතික කණ්ඩායමක් වුවමනාවෙන්ම මරාදැමීම හා නෙරපා දැමීමේ) වැඩසටහන ලෝකයේ වෙනත් පැතිවලටත් පැතිරිය හැකිද? සටන් නතර කරදැමීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් බලපෑම් කර තිබේ. එසේවුවත් කලින් යුගෝස්ලාවියාව තුළ ඇති වූ කරදර පිටුපසෙහි ඇත්තේ කුමක්ද? වර්ෂ 1914දී සිදුවූ ඝාතනයට සරයේවෝහි මෑත සිදුවීම්වලට යම් සම්බන්ධයක් තිබේද?

යුගෝස්ලාවියාව සහ Iවන ලෝක යුද්ධය

මෙම ඝට්ටන අලුත් ඒවා නොවේ. මෙම ශතවර්ෂය ආරම්භයේදීම, බෝල්කන් අර්ධද්වීපය “යුරෝපයේ කලබල සහිත ප්‍රදේශය” වශයෙන් හඳුන්වනු ලැබීය. යුගෝස්ලාවියෙන්—එට් ලාන්ඩ් ඉ උප්ලෝස්නිං මෙසේ සඳහන් කරයි: “එය වනාහි ඉතා දිගු කලකට නොඉවසුම් ගතිය වර්ධනය වෙමින් පැවත තිබෙන සම්බන්ධයක භේද භින්න වීම සම්බන්ධ ප්‍රශ්නයක් වෙයි. ඇත්තවශයෙන් කියනවා නම්, සර්බියා, ක්‍රොඒෂියා සහ ස්ලොවේනියා [එනම් යුගෝස්ලාවියාවට කලින් තිබූ නාමය] රාජ්‍යය Iවන ලෝක යුද්ධයට පසුව බිහිකරනු ලැබූ විට ඝට්ටන ඒ වන විටත් පැවතුණි.” නවීන දින ඝට්ටන Iවන ලෝක යුද්ධය දක්වා දිව යන ආකාරය දැනගැනීමට ඓතිහාසික පසුබිම ගැන විස්තර ස්වල්පයක් අපට උපකාරවත් වේ.

වර්ෂ 1914දී ෆ්‍රාන්ට්සිස් ෆෙර්ඩිනාන්ට්ගේ ඝාතනය සිදුවූ අවධියේ, ස්ලොවේනියා, ක්‍රොඒෂියා මෙන්ම බොස්නියා සහ හර්ට්සගොවින යන දකුණු ස්ලැවික් රටවල් ඕස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයට අයත් ප්‍රාන්ත වශයෙන් පැවතුණි. අනික් අතට සර්බියා, ස්වාධීන රාජ්‍යයක් වූ අතර 1878 සිට රුසියාවෙන් ප්‍රබල අනුබලයක් ලැබ එසේ පැවතී තිබුණි. කෙසේවෙතත්, සර්බියානුවන් බොහෝදෙනෙක්, ඕස්ට්‍රියා-හංගේරියාව විසින් බලපවත්වනු ලැබූ ප්‍රාන්තවල ජීවත්වූ අතර, එමනිසා බෝල්කන් ප්‍රාන්තයේ ඕස්ට්‍රියා-හංගේරියාව විසින් අත්කරගත් ප්‍රදේශ සියල්ල භාර දීමට සර්බියාව මගින් ඉල්ලා සිටින ලදි. ක්‍රොඒෂියා සහ සර්බියාව අතර ඝට්ටන පැවති නමුත්, ඔවුහු එක් කැමැත්තකින් එක්සත්ව සිටියහ: එනම් ඔවුන්ට පිළිකුලක් වූ විදේශී ස්වාමිවරුන් ඉවත් කර දැමීමය. දකුණු ස්ලැව්වරුන් සියලුදෙනාවම එක්සත් කිරීම ගැන ජාතිවාදීහු සිහින මවාගත්හ. එබඳු ස්වාධීන රාජ්‍යයක් සකස් කිරීමෙහිලා සර්බියානු ජාතිකයෝ වඩා ශක්තිමත්ව බලපෑ බලය වූහ.

ඒ කාලයේදී පාලනය කරමින් සිටි අධිරාජ්‍යවරයා වූ ෆ්‍රාන්ට්සිස් යෝසෙෆ්ට වයස අවුරුදු 84ක් විය. නායක ආදිපාද ෆ්‍රාන්ට්සිස් ෆෙර්ඩිනාන්ට් නොබෝ කලකින් නව අධිරාජ්‍යවරයා වීමට සිටියේය. දකුණු ස්ලැවික් රාජ්‍යයක් සකස් කරගැනීම සඳහා වූ තමන්ගේ සිහිනය යථාර්ථයක් කරගැනීමෙහිලා ෆ්‍රාන්ට්සිස් ෆෙර්ඩිනාන්ට් බාධකයක් වූ බව සර්බියානු ජාතිවාදීන්ට පෙනුණි.

නිදහස් දකුණු ස්ලැවික් රාජ්‍යයක් පිහිටුවීමේ අදහසින් උමතු වූ සර්බියාවේ සිටි තරුණ ශිෂ්‍යයෝ කිහිපදෙනෙක්, ඒ අරමුණ උදෙසා මියයෑමට පවා කැමැත්තෙන් සිටියහ. නායක ආදිපාද තැනව ඝාතනය කිරීමට යෞවන අය කිහිපදෙනෙකු තෝරාගනු ලැබීය. ඔවුන්ට ආයුධ දී බ්ලැක් හෑන්ඩ් නමැති රහස් සර්බියානු ජාතිවාදී කණ්ඩායමක් විසින් ඔවුන්ව පුහුණු කරනු ලැබීය. මෙම තරුණයන්ගෙන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා ප්‍රයත්නයක් දැරූ අතර, ඔවුන්ගෙන් කෙනෙක් සාර්ථක වූයේය. ඔහුගේ නම ගැව්රීලො ප්‍රින්ට්සිප් විය. ඔහු සිය 19වන වියේ පසු වූයේය.

මෙම ඝාතනය මගින් එම අපරාධකරුවන් බලාපොරොත්තු වූ අරමුණ ඉටු කරන ලදි. පළමුවන ලෝක යුද්ධය අවසන් වූ විට, ඕස්ට්‍රියා-හංගේරියා රාජතන්ත්‍රය විසුරුවා හැර තිබූ අතර, රාජ්‍යයක් සකස් කරගැනීම සඳහා ස්ලැවික්වරුන් එක්සත් කිරීමෙහිලා පෙරමුණගැනීමට සර්බියාවට හැකියාව තිබුණි. වර්ෂ 1918දී එම රාජ්‍යය සර්බියානුවන්ගේ, ක්‍රෝට්වරුන්ගේ සහ ස්ලොවිවරුන්ගේ රාජ්‍යය හැටියට නම් කරන ලදි. වර්ෂ 1929දී යුගෝස්ලාවියාව යනුවෙන් එම නාමය වෙනස් කරනු ලැබීය. කෙසේවෙතත්, එම විවිධ කණ්ඩායම්වලට ඕස්ට්‍රියා-හංගේරියාව වෙත වූ ඔවුන්ගේ පොදු සතුරුකම සම්බන්ධයෙන් තවදුරටත් එක්සත් වීමට වුවමනා නොවූ විට, එම කණ්ඩායම් අතරම වෙනස්කම් තිබූ බව පැහැදිලි වන්ට විය. විවිධ ජන කණ්ඩායම් 20ක් පමණද, නිල භාෂා හතරක්ද එතරම් ප්‍රසිද්ධ නොවූ භාෂා බොහෝගණනක්ද, වෙනස් වූ හෝඩි දෙකක්ද (එනම් රෝමානු සහ සිරිල්ලික්), ප්‍රධාන ආගම් තුනක්ද—එනම් කතෝලික, මුස්ලිම් සහ සර්බියානු ඔර්තඩොක්ස් ආගම්ද එහි තිබේ. ආගම වනාහි දිගටම ප්‍රධාන භේදකාරි සාධකයක්ව පවතී. වෙනත් වචනවලින් කියනවා නම්, එම නව රාජ්‍යයේ බොහෝ කලක් තිස්සේ පැවති භේදකාරි සාධක බොහොමයක් තිබුණි.

යුගෝස්ලාවියාව සහ IIවන ලෝක යුද්ධය

දෙවන ලෝක යුද්ධ සමයේදී, ජර්මනිය විසින් යුගෝස්ලාවියාව ආක්‍රමණය කරනු ලැබූ අතර, ද යුගෝස්ලාව් ඖෂ්විට්ස් ඇන්ඩ් ද වැටිකන් නමැති පොතට අනුව, නාට්සිවරුන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ කතෝලික ක්‍රොඒෂියානුවන් විසින් “2,00,000කට වඩා වැඩි ජන සංඛ්‍යාවක්, ක්‍රමානුකූලව ඝාතනය කරනු ලැබීය, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් ඔර්තඩොක්ස් සර්බියානුවෝය.” කෙසේවෙතත්, ක්‍රොඒෂියානු යෝසිප් ටිටෝට, ඔහුගේ කොමියුනිස්ට්වාදී පක්ෂවාදීන් සමඟ මෙන්ම, බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු සහයෝග ඇතුව, ජර්මානු ජාතිකයන්ව පලවා හැරීමට හැකි විය. යුද්ධය අවසන් වූ විට, රටේ නායකයා වීමේ තත්ත්වයක ඔහු පැහැදිලිව පෙනී සිටි අතර දැඩි බලයකින් යුක්තව ආණ්ඩු කිරීමට ඔහු පටන්ගත්තේය. ඔහු ස්වාධීන මනුෂ්‍යයෙක් වූයේය. කොමියුනිස්ට්වාදී සමූහයේ ඉතිරි කොටස සමඟ යුගෝස්ලාවියාව එකතු කිරීම සඳහා ඔහුව එකඟ කරවීමට ස්ටැලින්ට පවා ඔහුට බල කිරීමට නොහැකි විය.

පෙර යුගෝස්ලාවියාවෙන් වූ බොහෝදෙනෙකු විසින් මෙසේ පවසා තිබේ: ‘ටිටෝ සිටියේ නැත්නම්, එම ඒකාබද්ධ රාජ්‍යය මීට වඩා බොහෝ කලකට පෙර කැඩී බිඳී යනවා ඇත. එය එකට තබාගැනීමට අවශ්‍ය අධිකාරයත් අධිෂ්ඨාන ශක්තියත් තිබුණේ ඔහුට පමණයි.’ මෙය සැබෑ බව ඔප්පු වී තිබේ. නැවත වරක් සටන් මතු වන්ට පටන්ගත්තේ 1980දී ටිටෝගේ මරණයෙන් පසුවයි, 1991දී සිවිල් යුද්ධය මතුවන තාක් කල් එම තත්ත්වය වඩ වඩා දරුණු වෙමින් පැවතීය.

ලොව වෙනස් කළ වෙඩි උණ්ඩ

තන්ඩර් ඇට් ට්වයිලයිට්—වියානා 1913⁄1914 නමැති තම පොතේ ෆ්‍රාන්ට්සිස් ෆෙර්ඩිනාන්ට්ගේ ඝාතනය පිළිබඳව කර්තෘ ෆ්‍රෙඩරික් මෝර්ටන් මෙසේ ලීවේය: “ඔහුගේ බෙල්ල පසාරු කරගෙන ගිය එම වෙඩි උණ්ඩය මිනිස්වර්ගයා මේ තාක් කල් දැන සිටියා වූ වඩාත්ම විනාශකාරි ඝාතන සඳහා වූ ප්‍රථම වෙඩි පහර නාද කළේය. දෙවන ලෝක යුද්ධයට මඟ පෙන්වූ වර්ධනවීම් මගින් ආරම්භ කරනු ලැබීය. . . . අප අවට තිබෙන දර්ශනයේ සාධක බොහොමයක් ඉස්මතු කරනු ලැබුවේ නායක ආදිපාද තැනගේ හිසට එම පිස්තෝලය එල්ල කරනු ලැබීමට පෙර වසර එකහමාරක කාලය තුළ, ඩැනියුබ් ගඟ ආශ්‍රිතවය.”—ඇල අකුරු අපගේ.

පෙර යුගෝස්ලාවියාවේ මෑත සිදුවීම් වනාහි 1914 දක්වා ආපස්සට පරීක්ෂා කිරීමට “අප අවට තිබෙන දර්ශනයේ සාධක” පමණක්ම නොවේ. ඉතිහාසඥ එඩ්මන්ඩ් ටේලර් බොහෝ ඉතිහාසඥවරුන් එකඟ වන යමක් ප්‍රකාශ කරයි: “පළමුවන ලෝක යුද්ධයේ උදාව විසිවන ශතවර්ෂයේ ‘කරදරකාරි කාලයක’ ආරම්භය දියත් කළේය . . . කෙළින්ම හෝ වක්‍ර ආකාරයකින් පසුගිය අඩසියවස තුළදී සිදුවූ කම්පා කරවන සිදුවීම්වලට මූලික හේතුව 1914 වේ.”

සරයේවෝහි එල්ල කරන ලද වෙඩි පහරවලට එබඳු දරුණු විපාක තිබීමට හේතුව පැහැදිලි කිරීම සඳහා ප්‍රයත්න දරා තිබේ. “ශිෂ්‍යයෙකු” විසින් එල්ල කරන ලද වෙඩි පහර දෙකකින් මුළු ලොවම ගිනිගත්තෙත් අපගේ දවස දක්වා අපරාධ, ව්‍යාකූලභාවය සහ බලාපොරොත්තු සුන්භාවයේ කාලපරිච්ඡේදයක් උදා කිරීමට හැකි වූයෙත් කෙසේද?

1914 පැහැදිලි කිරීමට ප්‍රයත්න

තන්ඩර් ඇට් ට්වයිලයිට්—වියානා 1913⁄1914, නමැති ඔහුගේ පොතේ සිදුවූ දේ පැහැදිලි කිරීමට කර්තෘ වෑයම් කරන්නේ 1914දී ජාතීන්ට බලපෑවා වූ “නව බලය” යයි ඔහු හඳුන්වන දෙයට යොමු දැක්මෙනි. මෙම “බලය” වනාහි ඇත්තවශයෙන් එකට වැඩ කරමින් තිබුණා වූ විවිධ හේතු සාධක වන බව ඔහු පවසයි. මතු වූ සිහිසන් ඇති හඬවල් ස්වල්පය, යුද්ධය සඳහා නිරතුරුවම වැඩි වෙමින් තිබුණා වූ ඝෝෂාවෙන් යටපත් වී ගියේය. එක් රටක් යුද්ධයට සන්නද්ධ වීම අනික් රටවල් සියල්ලක්ම එසේ සන්නද්ධ වීමට සැලැස්වීය. පාලන පංතියෙන් අධිකාරය සේනාධිපතිවරුන්ට හුවමාරු කරන ලදි. බොහෝදෙනෙකු යුද්ධය සැලකුවේ “විශිෂ්ට ජාතික වීර ක්‍රියාවක්” අද්දැකීමට අනගි ප්‍රස්තාවක් හැටියටය, තවද එමගින් එදිනෙදා ජීවිතයේ නිරසභාවයෙන් ඉවත්වීමට මඟක් හැටියටය. පසු කලක නිලධාරියෙක් මෙසේ ලීවේය: “ග්‍රීෂ්ම කාලයේ උෂ්ණාධිකභාවයෙන් ඔවුන්ට සහනයක් ලබා දීම සඳහා මිනිසුන් ගිගුරුම් සහිත කුණාටුවකට දැඩි ආශාවක් දක්වන්නාක් මෙන්, 1914 පරම්පරාව යුද්ධයෙන් ගෙන දිය හැකි සහනය කෙරෙහි විශ්වාසය තැබීය.” “නිරස ධනවාදී සාමයක්” සහිත පිළිවෙළකින් හදිසියෙන්ම ඉවත් කරනු ලැබීම බොහෝදෙනෙකුට යහපතක් වනු ඇති බව ජර්මානු ජාතික කතුවරයෙක් වූ හෙර්මාන් හෙස පැවසුවේය. යුද්ධය වනාහි “පරිශෝධනයක්, නිදහස්වීමක්, අතිවිශාල බලාපොරොත්තුවක්” යන බවට වූ ප්‍රකාශය නොබෙල් ත්‍යාගලාභී ජර්මානු ජාතික ටෝමාස් මාන්ට ආරූඪ කර තිබේ. යුද්ධ කිරීමේ සිතුවිල්ලෙන් මත් වූ වින්ස්ටන් චර්චිල් පවා, මෙසේ ලීවේය: “යුද්ධයට කරන සූදානම් සැලසුම් ආදිය මට භයානක අන්දමකින් සිත්ඇදගන්නා දෙයක් වේ. මම දෙවියන්වහන්සේට යාච්ඤා කරන්නේ හිතට නොගෙන මෙලෙස කල්පනා කිරීම නිසා ඇතිවන බියකරු හැඟීම්වලට මට සමාව දෙන ලෙසටය.”

හමුදා භටයන් යුද්ධයට පිටවී ගිය විට, යුරෝපය පුරා ප්‍රාණවත් දර්ශන දකින්ට ලැබුනේ මෙම “නව බලය” නිසයි. ඔවුන්ගේ තොප්පිවලට කොළ සහිත රිකිළි අමුණන ලදි, කාලතුවක්කු වටා රෝස මල් මාලා එල්ලන ලදි, වාදක සමූහ විසින් සංගීතය වාදනය කරන ලදි, ගෘහිණියෝ තමුන්ගේ ජනේලවලින් ලේන්සු වැනූහ, ප්‍රීතිමත් දරුවෝ හමුදා භටයන් අසලින් දිව ගියහ. එය හරියට ජනයා, යුද්ධයේ පැමිණීම උත්සවාකාරයෙන් ප්‍රීති ඝෝෂා සහිතව පිළිගනිමින් සිටියාක් මෙන් විය. ලෝක යුද්ධය පැමිණියේ උත්සවයක බොරු වේසය දරමිනි.

පළමුවන ලෝක යුද්ධයට හේතුව වටහාගැනීමට අපට උපකාරවත් විය යුතු බවට අනුමාන කරන, කලින් සඳහන් කළ මෝර්ටන් හැඳින්වූ “නව බලය” යන්නෙහි සාරාංශයක් වේ. එහෙත් මෙම “බලය” පැමිණියේ කොතැනින්ද? ඉතිහාසඥ බාබරා ටච්මන් ලීවේ කාර්මික සමාජය විසින් මනුෂ්‍යයාට නව බලයන්ද නව පීඩනයන්ද දී තිබූ බවයි. ඇත්තවශයෙන්ම, “සමාජය . . . නව නොඉවසුම් ගතියකින් සහ ගොඩගැසුණු ශක්තීන්ගෙන් පිරී ඉතිරෙමින් පැවතීය.” ඒ කාලයේදී වියානාහි විසූ යෞවන බුද්ධිමතෙක් වූ ෂ්ටෙෆාන් ස්වයිග් මෙසේ ලීවේය: “මෙම අතිරේක බලය හැර වෙන ආකාරයකින් මට එය පැහැදිලි කළ නොහැක, එනම් එය සාමකාමී වසර හතළිහක් තුළ රැස් වී තිබුණාවූ දැන් දරුණු මුදාහැරීමක් සඳහා මානබලමින් සිටින අභ්‍යන්තර ප්‍රබල ක්‍රියාශීලී බවේ ඛේදජනක ප්‍රතිඵලයකි.” “වෙන ආකාරයකින් මට එය පැහැදිලි කිරීමට නොහැක” යන ප්‍රකාශයෙන් අඟවන්නේ ඔහුටම එය පැහැදිලි කිරීමට දුෂ්කර බවයි. තන්ඩර් ඇට් ට්වයිලයිට්, නමැති සිය පොතේ පෙරවදනේ මෝර්ටන් මෙසේ ලියයි: “ඒ කාලයේදී එම ස්ථානයේම එය සිදුවූයේ මන්ද? එමෙන්ම කෙසේද? . . . එම අවුල් ජාලයට යම් ආකෘතියක් තිබේද?”

එසේය, 1914 පැහැදිලි කිරීමට වෑයම් කරන බොහෝදෙනෙකුට හැඟෙන්නේ මුල් බැසගත් හේතූන් සැබවින්ම තේරුම්ගැනීමට පහසු ඒවා නොවන බවයි. ඍජු ලෙස සම්බන්ධ වූ එම පක්ෂවලට පමණක් යුද්ධය සීමා නොවූයේ මන්ද? එය ලෝක යුද්ධයක් ලෙසට වේගයෙන් පරිවර්තනය වූයේ මන්ද? එය එතරම් දිග්ගස්සන ලද මෙන්ම විනාශකාරි යමක් වූයේ මන්ද? වර්ෂ 1914 ශරත් ඍතුවේ මිනිස්වර්ගයා කෙරෙහි තද ග්‍රහණයක් ඇති කළ මෙම අමුතු බලය සැබවින්ම කුමක් වීද? මෙම ප්‍රශ්න සඳහා වූ බයිබලය මත පදනම් පිළිතුරු, 10වන පිටුවේ තිබෙන අපගේ ඊළඟ ලිපියේ සාකච්ඡා වේ. g94 11⁄8

[පාදසටහන්වල]

a යුගෝස්ලාවියාව වනාහි “දකුණේ ස්ලෝවැක් භාෂාව කථා කරන අයගේ දේශය” යන්න අදහස් කරයි. එහි සමූහාණ්ඩු නම්, ක්‍රොඒෂියාව, බොස්නියා සහ හර්ට්සගොවින, මැසිඩෝනියා, මොන්ටෙනෙග්‍රෝ, සර්බියාව සහ ස්ලොවේනියාව වේ.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ග්‍රීෂ්ම කාලයේ උෂ්ණාධිකභාවයෙන් ඔවුන්ට සහනයක් ලබා දීම සඳහා මිනිසුන් ගිගුරුම් සහිත කුණාටුවකට දැඩි ආශාවක් දක්වන්නාක් මෙන්, 1914 පරම්පරාව යුද්ධයෙන් ගෙන දිය හැකි සහනය කෙරෙහි විශ්වාසය තැබීය.”—ඕස්ට්‍රියානු රාජ්‍යදූත, ඒරන්ස්ට් යූ. කෝර්මොන්ස්

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]

1914

වර්ෂ 1914 පටන් සිදුවී තිබෙන දුර්භාග්‍ය සිද්ධීන් බයිබලය පුරෝකථනය කළේය

“තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය. උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථාකොට: වරෙන්නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල් වලටත් මුද්‍රිකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි. උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන ​සත්වයා කථාකොට: වරෙන්නැයි කියන හඬ ඇසීමි. එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය ​මරණයය; පාතාලයද [හේදීසයද, NW] ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.”—එළිදරව් 6:4-8 (ලූක් 21:10-24 සහ 2 තිමෝති 3:1-5ද බලන්න.)

“වර්ෂ 1914-1918 අතර සිදුවූ මහා යුද්ධය අපගේ කාලයෙන් එම කාලය වෙන්කරන්නාවූ දැවී ගොස් තිබෙන භූමි තීරුවක් මෙන් තිබේ. මතු පැමිණෙනු ඇති වර්ෂ පුරා ක්‍රියාශීලී වන්ට තිබූ ජීවිත ගණනාව විනාශ කර දැමීමෙන්, විශ්වාසයන් විනාශ කර දැමීමෙන්, අදහස් වෙනස් කිරීමෙන් සහ බලාපොරොත්තු සුන් කරන සුව කළ නොහැකි කැලැල් තබා යෑමෙන්, වැදගත් යුග දෙකක් අතර කායික මෙන්ම මානසික පරතරයක් එමගින් ඇති කෙරිණ.”—ද ප්‍රෞඩ් ටවර් සඳහා පෙරවදන, බාබරා ඩබ්ලිව්. ටච්මන්.

“ග්‍රේයම් වොලස් ලිවූ පරිදි, ඉන් අනතුරුව පැමිණි වර්ෂ හතර, ‘මිනිස්වර්ගයා විසින් මේ තාක් දුර වඩාත්ම බලවත් මෙන්ම ශූර ප්‍රයත්න දරා තිබෙන වර්ෂ හතරක් වී ඇත.’ ප්‍රයත්නය අවසන් වූ විට, 1914 දක්වා තබාගත හැකි වූ කල්පිත මත සහ උද්‍යෝගයට හේතු ක්‍රමක්‍රමයෙන් මහත් බලාපොරොත්තු සුන්භාවයේ මුහුදක් මගින් මැඩපවත්වනු ලැබීය. මිනිස්වර්ගයා විසින් වැය කර තිබූ සියල්ල වෙනුවෙන්, ලැබූ ප්‍රධාන ලාභය වූයේ තමන් සතු සීමාවන් සම්බන්ධයෙන් වේදනාකාරි අවබෝධ වීමකි.”—එම කෘතියේම පසුවදන

[හිමිකම් විස්තර]

The Bettmann Archive

The Trustees of the Imperial War Museum, London

National Archives of Canada, P.A. 40136

[7වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

අගෝස්තු 1914දී—යුරෝපය තිබූ ආකාරය

1.මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය 2.ප්‍රංශය 3.ස්පාඤ්ඤය 4.ජර්මානු අධිරාජ්‍යය 5.ස්විට්සර්ලන්තය 6.ඉතාලිය 7.රුසියාව 8.ඕස්ට්‍රියා-හංගේරියාව 9.රොමේනියාව 10.බල්ගේරියාව 11.සර්බියාව 12.මොන්ටිනෙග්‍රෝ 13.අල්බේනියාව 14.ග්‍රීසිය

[5වන පිටුවේ පින්තූරය]

ගැව්රීලෝ ප්‍රින්සිප්

[6වන පිටුවේ පින්තූරය]

Germans receiving flowers on their way to war

[හිමිකම් විස්තර]

The Bettmann Archive

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Culver Pictures

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න