යෞවනයන් අසති . . .
කාලීන විලාසිතා—රැල්ලට මා හසුවිය යුතුද?
‘ඇත්තෙන්ම ඒක තමයි නියම!’ ‘දැන් හැමෝම අඳින්නේ ඒකයි!’ ඔබ නවතම විලාසිතාව අනුගමනය කරන බව ඔබේ වයසේ මිතුරන් දකින විට ප්රශංසාවන් ගලා ආ හැක. අවධානය අසුකරගැනීමේ හා බලවත් ප්‍රතික්‍රියාවන් ඉපදවීමේ මාර්ගයක් විලාසිතාවලට ඇත.
කෙසේවුවත්, කාලගුණය මෙන් විලාසිතාද වෙනස්වන අතර වැඩි වශයෙන් කෙටි-කාලීනය. වෙළඳ සමීක්ෂණයකට අනුව, සම්ප්රදාය විරෝධී, ගරුසරු නැති යෞවනයන්ගේ කුඩා කණ්ඩායම් අතරට විලාසිතාවක් ඇතුළු වන්නේ ඉතා සුළු වශයෙනි. එය පැතිරීමට පටන්ගන්නා විට, නිෂ්පාදකයෝද නිවේදකයෝද සඟරා, රූපවාහිනි සහ ගුවන්විදුලි නිවේදන මගින් එය වැඩිදියුණු කරති. එයට වැදගත් තැනක් සහ නම්බුකාරකමක් තිබෙන බව තහවුරු කිරීමට සංගීතඥයන්ට සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෙවීමක් කෙරේ. යෞවනයන්ම බලවත් ජ්වලිතයකින් එය වැඩිදියුණු කරනවා විය හැක. එයට ජනප්‍රියත්වයක් ලැබෙනවා නම්, එය “නහඹර ජනගහනයේ ඉතා වැඩි සංඛ්‍යාවක්” විසින් උද්යෝගයෙන් ලුහුබඳින්නක් බවට පත්විය හැක.
එහෙත්, අවසානයේදී, විලාසිතාවක ඇති ආකර්ෂණය පහවී අභාවයට යයි. (අමෙරිකන් ඩෙමොග්රැෆික්ස්) එහෙත් අලුත් මෝස්තරයක්, නැටුමක් හෝ උපකරණයක් උද්යෝගයෙන් ලුහුබඳින්නක් වන අතරතුරේදී, ඊට සමාන වීමට ඔබ බලවත් පීඩනයක් යටතේ සිටින බව ඔබට හැඟිය හැක. බොහෝදෙනෙකුට හැඟෙන්නේ පහළොස් හැවිරිදි කිම්ට හැඟුණු මෙයාකාරයෙනි: “ඔබ වෙනස්ව සිටින විට හරියට සමාජයෙන් පිටමං කළ තැනැත්තෙකු මෙන් හැඟීමට ඔබට සලස්වයි.”
විලාසිතාවක් අනුකරණය කිරීමට ඉක්මන් වීම වියදම් යන ක්‍රියාවකට මුලපිරීමක් විය හැක. උදාහරණයක් වශයෙන්, වර්ෂ කීපයකට පෙර ප්රංස යෞවනයන් අතර විසිතුරු ඇල්පෙනෙති විලාසිතාව මතු වුණි. වර්ෂ 1991, ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, “ඔබේ බේස්බෝල් තොප්පියට හෝ කමිස කොළරයට වර්ණවත්, ඉනැමල් විසිතුරු ඇල්පෙනෙති තිබීම ඩ රිගොර් [එනම් අත්‍යවශ්‍යම දෙයක්] වේ.” විලාසිතාව හානි රහිත යයි පෙනෙන්ට තිබේ—නමුත් සැලසුම් කරන ලද සෑම ඇල්පෙනිත්තකටම ඩොලර් 12ක පුදුම එළවන මිලක් ගෙවීමට ඔබට හැකි විය යුතුව ඇත.
“නියමයි” කීමෙන් විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවාට වඩා වැඩි දෙයක් අදහස් කරන බවද යෞවනයෙකුට දැනගත හැකි වේ. සමහර කුඩා කණ්ඩායම්වල බේස්බෝල් තොප්පියක් පැළඳීම මෝස්තරයක්ව තිබෙන විට, හරි කණ්ඩායම හඳුන්වා දෙන හරි පාටින් තොප්පියක් තෝරාගැනීමට ඔබට සිදුවන අතර, ඔබ තොප්පිය පළඳින ආකාරය විලාසිතාවේ අංගයක් වේ.
බොහෝ යෞවනයන් සඳහා මෙය තදින් හිතටගන්නා කාරණයකි. ඔවුහු ඇතැම් විලාසිතා අනුගමනය කිරීම කීර්තිය හෝ පිළිගැනීම ලැබීමට ප්‍රධාන දෙය වශයෙන් සලකති. එසේවුවත්, විලාසිතා අනුගමනය කිරීමට ඉක්මන් වීම සැමවිටම සුදුසුම දෙය නොවන බව අපි දකින්නෙමු.
ඔබේ පියවර ගැන සැලකිලිමත් වීම
බයිබලය නියත වශයෙන්ම විලාසිතා හෙළාදකින්නේ නැත. ඇතැම් ජනප්‍රිය ක්‍රියාවලියන්ට විලාසිතා ස්වභාවයක් තිබුණත්, ඒවා යෝග්‍ය විය හැක. උදාහරණයක් වශයෙන්, වර්ෂ කීපයකට පෙර, හැල්මේ යෑම ජනප්‍රියත්වයට පත්වූ විට, එය විලාසිතාවක් ලෙස සලකනු ලැබීය. එහෙත් සනීපදායී, ප්‍රමාණවත් ව්‍යායාමයෙන් ලැබෙන ප්‍රයෝජන ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද?—1 තිමෝති 4:8, සසඳන්න.
කෙසේනමුත්, සමහර විලාසිතා අනුවණකමේ සිට සම්පූර්ණයෙන්ම අනතුරුදායක වීම දක්වා දිව යයි. මෙබැවින් පැරණි හිතෝපදේශයක අනතුරු ඇඟවීම යෝග්‍ය වේ: “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” (හිතෝපදේශ 14:15) බුද්ධිමත් මනුෂ්‍යයෙක් ඥානවන්තය, නුවණක්කාරය. එය හුදෙක් ජනප්‍රිය නිසාම ඔහු අන්ධ ලෙස යම් නව ප්‍රවණතාවක් අනුගමනය කරන්නේ නැත. ඔහු ඥානවන්ත ලෙස සිය ක්‍රියාවන්වල ප්‍රතිඵල ගැන විමසා බලයි.
වැයවන වියදම සලකා බැලිය යුතු එක් කාරණයක් විය හැක. සුළු-ආහාර ආපන ශාලාවක වැඩ කරන නහඹර ගැහැනු ළමයෙකු ගැන කැනඩාවේ සඟරාවක් පවසයි. ඇගේ දුක් මහන්සියෙන් හම්බ කළ මුදලින් අඩකට වඩා, නවතම ඇඳුම් විලාසිතා අනුකරණය කිරීමට වැය වේ. “මුදල ආරක්ෂාවක්,” යයි බයිබලය පවසයි, එනම් එය අවශ්‍ය කරන, ප්‍රයෝජනදායක දෙයකි. (දේශනාකාරයා 7:12) එක් ලේඛකයෙකු පවසන ආකාරයට “කාල සීමාවක් හෝ දෙකක් තුළදී යල් පිනූ තත්වයකට පත්වීමට සැලසුම් කර තිබෙන,” අයිතමවලට මුදල් නාස්ති කිරීමට ඔබට හැකිද”?
ශාරීරික අනතුර සිතාබැලිය යුතු තවත් කාරණයක් විය හැක. දඟර නැටුම් ජනප්‍රියත්වයට පත්වූයේ මෑතකදීය. එහෙත් එය බොහෝදෙනෙකුගේ පිටකොන්දට හානි පමුණුවා තිබේ. අදදින ගැන කුමක් කිව හැකිද? රෝලිං ස්ටෝන් සඟරාවේ ලිපියක රාත්‍රි සමාජ ශාලාවල නුසුදුසු උසුළු විසුළු ගැන සහ රොක් සංගීත නාට්‍යයන් ගැන කතා කරයි, එනම් “වේදිකාවෙන් පැනීම” (වේදිකාවේ සිට ප්‍රීතියෙන් කුල්මත් ලෝලීන්ගේ අත්වලට පැනීම), “එකිනෙකාගේ ඇඟේ තදින් හැපෙමින් තල්ලු කරමින් නැටීම” සහ “ඇඟේ හැපෙමින් නැටීම” වැනි නැටුම්, ඇත්තෙන්ම සංගීත රිද්මයට අනුව සකස් කර තිබෙන සැහැසික “නැටුම්” වේ—සංගීත රිද්මයට අනුව සකස් කර තිබෙන මෙම “නැටීමේ” ක්‍රියාවන් ඇත්තෙන්ම සැහැසිකය. “මෙම දෙය බෙහෙවින් පාලනය කිරීමට නොහැකි වී තිබේ. මා පවසන්නේ ඇත්තෙන්මයි,” යයි යෞවනයෙක් පැමිණිලි කරයි. “එකිනෙකාගේ ඇඟේ තදින් හැපෙමින් තල්ලු කරමින් නටන්නන්” මුළු වේදිකාවේම ඉඩගනිමින්, අහම්බෙන් හෝ අසල සිටගෙන සිටින ඕනෑම කෙනෙකු වෙත අනුවණ ලෙස හැපෙමින්, හැකි තරම් වේගයෙන් නටමින්, නර්තන භූමිය බලයෙන් පවරාගනිමින්, කෙතරම් වියරු වැටී සිටින්නේදැයි” ඈ විස්තර කරයි. ඔබේ වයසේ සමහර මිතුරන්ගේ සිත එවැනි හැසිරීම වෙත ඇදී යා හැක. එහෙත් එවැනි ස්ථානවල සිටීමෙන් හෝ එවැනි දේ කිරීමෙන්, “අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර . . . සිහියෙන් යුක්තව . . . ජීවත්වෙන” ලෙස ක්‍රිස්තියානීන්ට ආඥා කරන දෙවියන්වහන්සේගේ අනුමැතිය දිනාගත හැකිද?—තීතස් 2:12.
එමෙන්ම යෞවනයන් අතර ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන, ශරීරය විදීමෙන් සහ පච්ච කෙටීමෙන්, ඇතිවන සෞඛ්‍ය අනතුරු ගැන කුමක් කිව හැකිද? සෞඛ්යාරක්ෂක පියවර නොගත්තා නම්, පච්ච කෙටීම මගින් හෙපටයිටිස් සහ සමහර විට ඒඩ්ස් වැනි වෛද්‍යමය ගැටලු ඇති විය හැකි යයි වෛද්‍යවරු පවසති. විලාසිතාව විලාසිතා ලෝකයෙන් බැහැර වී ගිය පසුත්, ස්ථිරයෙන්ම සරසා තිබීමක් අපේක්ෂා කිරීමටද හැකිය. ලේසර් කිරණයක් මගින් සමහර පච්ච ඉවත් කළ හැකි බව සැබෑය. එහෙත් ලේසර් ප්‍රතිකාරයට වේදනාකාරි කාල සීමාවන් කීපයක් ඇතුළත් වන අතර, සෑම එකකටම ඩොලර් සියගණනක් වැය වේ.
සියල්ලටම වඩා ඉතා භයානක දෙය නම්, ඇතැම් විලාසිතා අනුගමනය කිරීමෙන් පසු ඇති විය හැකි ආත්මික හානියය. ඒවායින් බොහොමයක් කේන්ද්‍රගත වී තිබෙන්නේ—නළු නිළියන්, ක්‍රීඩකයන්, සංගීතඥයන් සහ එවැනි වෙනත් අය වටාය. දැනට ප්‍රසිද්ධියට පත්වී සිටින යමෙකු මෙන් සැරසී සිටීම සහ ක්‍රියා කිරීම “නියම” දෙයක් බවට පත්වේ. එහෙත් එවැනි වීරෝධාරයන් නමස්කාරය, යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් සලකනු ලබන්නේ කෙසේද? රූපවන්දනාවේ ක්‍රමයක් වශයෙනි. බයිබලය මෙසේ අනතුරු අඟවයි: “රූප ඇදහීම කෙරෙන් පලා දුවපල්ලා.” (1 කොරින්ති 10:14) කෙසේනමුත් ජනප්‍රිය පුද්ගලයන්ගෙන් වැඩිදෙනෙක් බයිබල් සදාචාර ප්‍රමිති සඳහා සැලකිල්ලක් නොදක්වති. (1 කොරින්ති 6:9-11) කාරණය එසේව තිබියදී, ඔබ අවසානයේදී එවැනි දේවල් ළඟ නතරවන ආකාරයෙන් ක්‍රියා කරනවා නම් හෝ සැරසෙනවා නම්, දෙවියන්වහන්සේව සතුටු කළ හැකිද?
ඔබ අන්‍යයන් තුළ ඇති කරන හැඟීම
තම දෙමව්පියන්ට ගෞරව කරන්න කියාද බයිබලය යෞවනයන්ට අණ කරයි. (එපීස 6:2) ශරීරය පුරා ආභරණ පුරවාගෙන හෝ පච්චවලින් වසාගෙන ඔබ ඔවුන් ඉදිරියේ සිටියා නම්, එය ඔවුන්ට කරන අගෞරවයක් නොවනු ඇත්ද? තවද ඔබේ පාසැල් මිතුරන් වැනි වෙනත් අය ගැන කුමක් කිව හැකිද? ඔබ ක්‍රිස්තියානියෙකු නම්, පසු කලක ඔබ ඔවුන්ට ඔබේ ඇදහිල්ල ගැන සාක්ෂිදරන්ට වෑයම් කළොත්, ඔබ කියන දේ ගැන බරපතළ ලෙස සිතීමට ඔවුන්ට අසීරු බවක් දැනිය හැකිද?—2 කොරින්ති 6:3 සසඳන්න.
රැප් සංගීත විශාරදයන් මගින් ජනප්‍රිය කර ඇති ඇතැම් මෝස්තර පැළඳ සිටීම ගැනද පැවසිය හැක්කේ එයමය. බොහෝ පළාත්වල බේස්බෝල් තොප්පියක් හිස ආවරණය කරන්නක් පමණක් බව පිළිගත් දෙයකි. එහෙත් ඇතැම් නාගරික ප්‍රදේශවල, “යම් තොප්පි ජනප්‍රියත්වයට පත් කිරීමට දේශපාලනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.” (එන්ටටේන්මන්ට් වීක්ලි) ඇතැම් තොප්පි, ජැකට්ටු, ක්‍රීඩා සපත්තු හෝ වෙනත් හිප්-හොප් උපකරණ පැළඳීමෙන් ඔබ රැප් ජීවන-රටාව පිළිපදිනවා යන හැඟීම දෙනවා විය හැකිද? ක්‍රිස්තියානි ප්‍රේමය “අශෝභනලෙස” හෝ වික්ෂිප්ත වන ආකාරයකින් “හැසිරෙන්නේ නැ[ති],” බව මතක තබාගන්න.—1 කොරින්ති 13:5.
පීපල් සඟරාවට අනුව, මධ්‍යම ප්‍රතිපදාව අනුකරණය කරන නගරයක, “හිප්-හොප් මෝස්තරයේ ඇඳුම්වලින්” සැරසී පාසැලට යෑම මගින් දේශීය හැඟීම් නොසලකා හැරිය නහඹර ගැහැනු ළමුන්ගෙන් යුත් කණ්ඩායමකට සිදුවූ දෙය සලකා බලන්න. එක් ගැහැනු ළමයෙක් මෙසේ පැහැදිලි කළාය: “අපට රූපවාහිනියෙහි සංගීත වැඩසටහනක මේ ඇඳුම් දකින්න ලැබෙනවා. මම හිතුවේ ඒවා හොඳ පෙනුමක් ඇති ඒවා කියලයි.” කෙසේවුවත්, එවන් ප්‍රවණතාවක් දක්වන ඇඳුම මතභේදය—මෙන්ම ජාතිමය සැහැසියාව ඇති කරයි.
එමනිසා ක්‍රිස්තියානීන් වශයෙන් අපට ‘අපව විනීතකමෙන් හා සිහිබුද්ධියෙන් සරසාගැනීමට’ සිදුවේ. (1 තිමෝති 2:9) මෙයට අන්‍යයන්ගේ හැඟීම් සහ ආකල්ප සලකා බැලීම ඇතුළත් වන අතර, කෙනෙකුගේ පෞද්ගලික රුචි අරුචිකම මත බල කර නොසිටීම ඇතුළත් වේ. අන්‍යයන් අතිවිශිෂ්ටයි කියා සලකන ඇඳුම් මෝස්තරවලින් සහ හැසිරීමෙන් වැළකීමද, ඉන් අදහස් කරයි.
පරෙස්සම්වීමට අවශ්‍යතාව
සැබවින්ම, සෑම විලාසිතාවකටම එයටම ආවේනික වූ යෝග්‍යතාවක් තිබෙන බවට තක්සේරු කළ යුතුය. එහෙත්, සාතන් වන යක්ෂයා මේ ලෝකයේ අධිපතියා බවත්, ඔහුගේ ඉලක්කය “කවරෙකු” හෝ “ගිල[ගැනීම” බවත් මතක තබාගන්න. (1 පේතෘස් 5:8; යොහන් 12:31; 1 යොහන් 5:19) බාධා පමුණුවා, යෞවනයන්ව දෙවියන්වහන්සේ වෙතින් ඉවතට හැරවීමට, සාතන් ඇතැම් ජනප්‍රිය විලාසිතාවන් යොදාගෙන තිබෙන බවට කිසිදු සැකයක් නැත.
අලුත් ප්‍රවණතාවක් හෝ විලාසිතාවක් අනුගමනය කරන පළමු අය අතරේ සිටීම සාමාන්‍යයෙන්ම ඥානවන්ත දෙයක් නොවේ; මධ්‍යස්ථව සිටීමට නැඹුරුවීම ඉමහත් ආරක්ෂාවකි. අනික් අතට, “පමණට වඩා ධර්මිෂ්ඨයෙක්” වීමෙන් වැළකීමටද බයිබලය අවවාද කරයි. (දේශනාකාරයා 7:16) බෙහෙවින් යල් පිනූ, අවලක්ෂණ හෝ කිසිම විලාසිතාවක් නොකරන තත්වයටම මෝස්තර වෙනස් කිරීමෙන් වැළකීමට ඇත්තෙන්ම ඔබට අවශ්‍ය නැත.
විලාසිතාවක් පැහැදිලිවම බයිබල් ප්‍රතිපත්ති හෝ මනා අවබෝධය උල්ලංගනය කරන විට, කළ යුතු සුදුසුම දෙය වන්නේ එයින් වැළකී සිටීමය. ඔබේ සම වයසේ මිතුරන්ගෙන් වෙනස්ව සිටීමට පහසු නැති බව ඇත්තයි. එහෙත් හෞ ටු සේ නො ඇන්ඩ් කීප් යෝර් ෆ්‍රෙන්ඩ්ස් යන ලේඛක ෂැරන් ස්කොට් මෙසේ විමසයි: “ඉතා දක්ෂ මෙන්ම ඔබව හොඳින් දන්නා බැවින් ඔබ සඳහා තීරණගත යුතු වන යම් මිතුරන් ඔබට සිටිනවාද? සමහරවිට නැතිව ඇති!” ඔබේ දෙමව්පියන්ගේ කැමැත්ත සහ බයිබලය මත පුහුණු කරන ලද ඔබේ හෘදය සාක්ෂිය මගින් ඔබ මඟ පෙන්වනු ලබන්නෙහි නම්, එය වඩාත් හොඳ නොවන්නේද? එසේ කිරීමෙන් ඔබේ සියලු මිතුරන්ගේ අනුමැතිය ඔබට නොලැබෙන නමුත්, එය යෙහෝවඃවහන්සේගේ අනුමැතිය ගෙනෙන අතර, එය යම් කාලික විලාසිතාවක් මෙන් නොව, සදාකාලික එකක් විය හැක!—ගීතාවලිය 41:12; හිතෝපදේශ 12:2. g94 12/8
[14වන පිටුවේ පින්තූරය]
ඔබ එක්තරා විලාසිතාවක් අනුකරණය කළහොත්, ඔබේ දෙමව්පියන් ප්‍රතික්‍රියා කරනු ඇත්තේ කෙසේද?