ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 10/8 10-12 පි.
  • ඒඩ්ස් ව්‍යාප්තව පවතින ස්ථාන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒඩ්ස් ව්‍යාප්තව පවතින ස්ථාන
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මින් වැඩියෙන්ම පහරලබන්නෝ
  • “අපගේ කාලයේ ලොකුම සෞඛ්‍ය ප්‍රශ්නය”
  • ඒඩ්ස්වල සාමාජීය බලපෑම
  • කරනු ලබන්නේ කුමක්ද යනවග
  • විසඳුම
  • ඒඩ්ස් ඇති අයට උපකාර කිරීම
    1994 පිබිදෙව්!
  • ඒඩ්ස්—මා සිටින්නේ අවදානම් තත්ත්වයක ද?
    1994 පිබිදෙව්!
  • “මිනිස් ඉතිහාසයේ මහා දරුණුම වසංගතය”
    2002 පිබිදෙව්!
  • හද සලිත කරවන ඒඩ්ස් සංඛ්‍යා ලේඛන
    2001 පිබිදෙව්!
1995 පිබිදෙව්!
g95 10/8 10-12 පි.

ඒඩ්ස් ව්‍යාප්තව පවතින ස්ථාන

වසර 15කට අඩු කාලයක් තුළ, පෘථිවියේ සෑම මහාද්වීපයකටම ඒඩ්ස් රෝගයේ ඡායාව විහිදුවා තිබේ. වසර කිහිපයක් ඇතුළත මෙම ජීවවිද්‍යාත්මක බෝම්බය පිපිරී හැමතැනම පැතිර තිබේ. ලොව මුළුල්ලෙහි සෑමදිනකම මිනිසුන් 5,000ක් පමණ ආසාදනය වන බව ජසෞස (ජගත් සෞඛ්‍ය සංවිධානය) තක්සේරු කර තිබේ. එය සෑම මිනිත්තුවකටම මිනිසුන් තුන්දෙනෙකුට වඩා වැඩිය! මීට වැඩි වශයෙන් ගොදුරු වී තිබෙන්නේ වඩාත් දිළිඳු රටවල්, එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස හඳුන්වන ලෝකයේ රටවල්ය. මෙම රටවල් වසර 2000 වන විට එච්අයිවී ආසාදිතවීම් සියයට 90ක් සඳහාත්, යථාකාලයේදී සියයට 90ක් පමණ ඒඩ්ස් රෝගීන් සඳහාත් වගකියන්ට යන බවත්, ජසෞස අනාවැකි පළ කළේය.

මින් වැඩියෙන්ම පහරලබන්නෝ

විසිහත් හැවිරිදි රෝස් විවාහ වී දරුවන් තිදෙනෙකු ඇතුව සිටි විට, ඇගේ සැමියා හදිසියෙන්ම රෝගාතුර වූයේය. මාස කිහිපයකට පසු ඔහු මියගියේය. එම අවස්ථාවේදී ඇගේ සැමියාගේ මරණයට හේතුව ස්ථිර වූයේ නැත. වෛද්‍යවරු එය ක්ෂය රෝගය ලෙස නිශ්චය කළහ. නෑදෑයන් පැවසුවේ ඔහුට කොඩිවිනයක් කර තිබූ බවයි. ඇගේ සැමියාගේ නෑදෑයෝ රෝස්ගේ දේපොළ ඩැහැගැනීමට පටන්ගත්තෝය. ඇය නිවසෙහි නොසිටි අවස්ථාවක, ඇගේ විවාහ ඥාතීහු පැමිණ ඇගේ දරුවන්ව බලාත්කාරයෙන් ගෙන ගියෝය. රෝස්ට ඇගේ ගමට නැවත යෑමට සිදුවිය. වසර දෙකකට පසු ඇයට හදිසියෙන්ම වමනය හා අතීසාරය ඇතිවෙන්ට පටන්ගැනිණ. ඇගේ සැමියා ඒඩ්ස් රෝගය වැළඳී මියගිය බවත්, ඇයටද මෙය ආසාදනය වී ඇති බවත්, එවිට ඈ අවබෝධ කරගත්තාය. වසර තුනකට පසුව වයස අවුරුදු 32දී රෝස් මියගියාය.

මෙම කතාව මෙන් ඛේදජනක කතා දැන් පොදු දෙයකි. සමහර ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම පාහේ පවුල් සහ ගම් පවා විනාශ වී ගොස් තිබේ.

“අපගේ කාලයේ ලොකුම සෞඛ්‍ය ප්‍රශ්නය”

සාර්ථක ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන විට, සංවර්ධනය වන්නාවූ රටවල ආණ්ඩු දරුණු ලෙස අසාර්ථක වී සිටිත්. මූල්‍යමය සම්පත්වල අඩුපාඩුව සහ අනිකුත් හදිසි මෙන්ම මිල අධික ප්‍රමුඛතා ඉදිරියෙහි ඒඩ්ස් රෝගය දරාගත නොහැකි යමක් බවට පත්වෙමින් තිබේ. ලෝක ව්‍යාප්ත ආර්ථික පසුබැසීම, ආහාර හිඟකම්, ස්වාභාවික ආපදා, යුද්ධ, සංස්කෘතික ව්‍යවහාර සහ මිථ්‍යා ඇදහීම් මෙම ප්‍රශ්නය තව තවත් වැඩි කරනවා පමණි. නිතර නිතර ආසාදනය වන ඒඩ්ස් රෝගීන්ට උපකරණ සහ ඖෂධ ඇතුළත් විශේෂ සාත්තුව සැපයීම මිල අධිකය. ඉතා විශාල රෝහල්වලින් බොහොමයක් දැන් අධික ලෙස රෝගීන්ගෙන් ගහණ, කාර්යක්ෂමතාවෙන් අඩු සහ අඩු සේවක මණ්ඩලයක් ඇති ඒවා බවට පත්ව තිබේ. දිනෙන් දින ගණනින් වැඩිවෙන්නාවූ අවශ්‍යතාවන් ඇති අනිකුත් රෝගීන්ට ඉඩ සලසා දීම පිණිස, ඒඩ්ස් රෝගීන්ගෙන් බොහෝදෙනෙකුව මියයෑම සඳහා ඔවුන්ගේ නිවාසවලට යවා තිබේ. ඒඩ්ස් රෝගය හා සම්බන්ධව භයානක ලෙස වැඩි වෙන්නාවූ ද්විතීයික ආසාදනයක් ලෙස ක්ෂය රෝගය වැනි රෝගද වැළඳේ. පසුගිය වසර තුන තුළ ක්ෂය රෝගය ආශ්‍රිත මරණ සංඛ්‍යාව දෙගුණයක් වී ඇති බවත්, රෝහලේ සිටින ඒඩ්ස් රෝගීන්ගෙන් සියයට 80කටම ක්ෂය රෝගයද තිබෙන බවත්, සමහර රටවල් වාර්තා කර තිබේ.

ඒඩ්ස්වල සාමාජීය බලපෑම

ඒඩ්ස් ව්‍යාප්තිය සෞඛ්‍යාරක්ෂක ක්‍රමයට පමණක් නොව, ආර්ථිකයේ සහ සමාජයේ අංශවලටද බලපෑම් ඇති කරයි. ආසාදිත වූ සියයට 80න් බොහෝදෙනෙකු වයස අවුරුදු 16 සිට 40 අතරතුර වන අතර, මෙය සමාජයේ වඩාත් ඵලදායී වයස් කණ්ඩායමද වේ. පවුල්වල වේතන ලබන්නන්ගෙන් බොහෝදෙනෙක් මෙම වයස් කණ්ඩායමේ අය වෙති. පවුල් බොහොමයක්ම ඔවුන් මත රඳා සිටින මුත්, ඔවුන් රෝගාතුර වී යථාකාලයේදී මරණයට පත්වන හෙයින්, ළාබාල අය සහ මහලු අය උපකාරයක් නොමැතිව අසරණ වෙත්. ඕනෑම අප්‍රිකානු සමාජයක, දරුවෙකුගේ දෙමව්පියන් මැරුණු විට, සම්ප්‍රදානුකූලව, දරුවාව පුළුල් කරන ලද පවුල් ඒකකය මගින් ඇති දැඩි කරනු ලැබ, ඊට ඈඳාගනු ලැබේ. කෙසේවෙතත්, අදදින, දෙමව්පියන් මැරුණු විට, සීයා ආච්චි හෝ අනිකුත් නෑදෑයන් බොහෝවිට ඉතා මහලු හෝ දැනටමත් ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතා සපයා දීමෙහි අසීරු තත්වයක සිටිනවා විය හැක. මෙම තත්වය අනාථ දරු අර්බුදයකට සහ වීදිවල වසන්නාවූ දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමට මඟ පාදා තිබේ. මෙම ශතවර්ෂය අවසාන වන විට, සහරා කාන්තාරයට යටින් පිහිටි අප්‍රිකානු රටවල පමණක් මිලියන 10කට අධික ප්‍රමාණයක් අනාථ දරුවන් වේයයි ජසෞස අනාවැකි පළ කරයි.

ඒඩ්ස් පීඩාව දෙවැදෑරුම් අන්දමකින් ඛේදජනක සහ අසීරු බව කාන්තාවෝ අද්දකිති. රෝගීන් හා මියයමින් සිටින්නන්ට අවශ්‍ය පැය 24ක හෙදි සේවාව සැපයීමට මූලික ලෙස අවශ්‍ය වන්නේ, කාන්තාවන්ය—මෙය ඔවුන් විසින් කළ යුතු අනිකුත් නිවසේ වැඩකටයුතුවලට අමතරව සිදු කළ යුත්තකි.

කරනු ලබන්නේ කුමක්ද යනවග

එක්දහස් නවසිය අසූගණන්වල මුල්භාගයේදී, ඒඩ්ස් හා සම්බන්ධ කැලල නිසා අගතිසහගත මත දැරුවාවූ, එම ව්‍යාප්තියේ ශීඝ්‍රතාව ගැන නොදැන සිටියාවූ රජයේ නිලධාරීහු, උදාසීනව හා නොසැලකිලිමත්ව සිටියහ. කෙසේවුවත්, 1986දී උගන්ඩානු ආණ්ඩුව ඒඩ්ස් සමඟ සටන ආරම්භ කළේය. පසුගිය වසර නවයකටත් වැඩි කාලයක් තුළ උගන්ඩාව “මේතාක් කල් ඒඩ්ස් මර්දනය සඳහා, වඩාත් නවීන පන්නයේ ක්‍රම ඇති කිරීමෙන් කීර්තියට පත්ව ඇත.”

අදදින උගන්ඩාවේ ඒඩ්ස් රෝගය පැතිරීම පාලනය කිරීමට වෑයම් කරන සැලකිලිමත් ජාතික සහ අන්තර් ජාතික සංවිධාන සහ නියෝජිතයන් 600කට වැඩි ප්‍රමාණයක් සිටී. මෙම මානව හිතවාදී නියෝජ්‍ය ආයතන ඒඩ්ස් අධ්‍යයන ආයතන ජාල රට පුරා පිහිටුවා තිබේ. ඒඩ්ස් පීඩාව පිළිබඳ මහජන අවබෝධයන්, නාට්‍ය, නැටුම්, ගීත, ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන්, ප්‍රවෘත්ති පත්‍ර සහ දූරකථනය මගින් ජනයාගේ අවධානය ගෙන තිබේ. ඒඩ්ස් රෝගීන්ටත් ඒ සමඟම වැන්දඹුවන්ට හා අනාථවූවන්ටත්, නිවසේදී අවශ්‍ය සැලකිල්ල සහ ද්‍රව්‍යමය උපකාරයත් සමඟ උපදෙස්ද සපයනු ලැබේ.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර, අනාථවූවන්ට හා වැන්දඹුවන්ට සැලකීම ක්‍රිස්තියානි නමස්කාරයේ කොටසක් ලෙස සලකනු ලැබේ. (යාකොබ් 1:27; 2:15-17; 1 යොහන් 3:17, 18) පවුලේ සාමාජිකයන් ඔවුන්ගේම අයට සැලකීමේ වගකීම සභාව පවරාගන්නේ නැත. එහෙත් කිට්ටු පවුල් සාමාජිකයන් නොමැති නම් හෝ අනාථවූවන්ට සහ වැන්දඹුවන්ට තමුන් සඳහා අවශ්‍ය දේවල් සපයාගැනීමට නොහැකි නම්, සභාව ප්‍රේමනීයව ඔවුන්ගේ උපකාරය සඳහා පැමිණෙයි.

එක් උදාහරණයකට, ජොයිස්, උගන්ඩාවේ අගනුවර වන කාම්පාලාහි ජීවත්වූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වූවාය. ඈ ඒඩ්ස් රෝගයට ගොදුරු වූ අතර, 1993 අගෝස්තු මස මියගියාය. මියයෑමට කලින් ඈ මතු විස්තරය ලීවාය: “මම රෙපරමාදු භක්තිකයෙක් ලෙස ඇති දැඩි වූ අතර, පසුව කතෝලිකයෙකු සමඟ විවාහ වුණෙමි. කෙසේවෙතත්, මගේ පල්ලියේ බොහෝදෙනෙකු දුරාචාර ලෙස හැසිරෙනවා මට දැකගත හැකිවූ හෙයින්, පල්ලියට යෑම මම නතර කළෙමි. මගේ වැඩිමහල්ම සහෝදරිය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙනගනිමින් සිටි අතර, මා බැහැදැකීමට පැමිණි විට, ඈ බයිබලයෙන් ඉගෙනගන්නාවූ දේවල් පිළිබඳ මට පැවසුවාය.

“මගේ බයිබල් පාඩමට මගේ සැමියා දැඩි ලෙස විරුද්ධ වූයේය. මගේ දෙමව්පියෝ පවා මට විරුද්ධ වීමට පටන්ගත්හ, විශේෂයෙන්ම මගේ පියා. මෙම විරුද්ධකම් පෑම වසර දෙකක කාලයකට පැවතුණද, මා සත්‍යය ඉගෙනගන්නා බව ඒත්තු ගෙන සිටි බැවින්, එය මා අධෛර්යයට පත් කළේ නැත. මා බව්තීස්ම වීමට කැමති බව මගේ සැමියාට පැවසූ විට, ඔහු අතිශයින් කෝප වූයේය. ඔහු මට පහර දී නිවසින් පිටවී යන ලෙස මට පැවසුවේය. එනිසා මම නිවස අතහැර කුලියට ගත් කුඩා කාමරයක තනියම ජීවත්වුණෙමි.

“ටික කලකට පසු මගේ සැමියා නැවත පැමිණෙන ලෙස මට පැවසුවේය. මම නැවත පැමිණ වැඩි කල් යෑමට පෙර, ඔහු දුර්වල හා රෝගාතුර වීමට පටන්ගත්තේය. ඔහු සැමවිටම හොඳ සෞඛ්‍ය තත්වයක් භුක්තිවින්ද බැවින්, මම පුදුමයට පත්වුණෙමි. යථාකාලයේදී ඔහුට ඒඩ්ස් රෝගය තිබෙන බව අපි අවබෝධ කරගත්තෙමු. වර්ෂ 1987දී ඔහු මියගියේය. එවිට මා ස්ථාවර පුරෝගාමියක් [පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියක්], ලෙස සිටි අතර, දැන් මා දරුවන් පස්දෙනෙකු ඇති වැන්දඹුවක්ව සිටියත්, මගේ පුරෝගාමී සේවයෙහි මම දිගටම නිරත වුණෙමි.

“වසර හතරකට පසු, 1991දී, මගේ සැමියාගෙන් ඒඩ්ස් රෝගය මට ආසාදනය වී ඇති බව අවබෝධ කරගතිමි. මම ශාරීරිකව පිරිහීමට පටන්ගත් අතර, සමේ පලු, ශීඝ්‍ර ලෙස බර අඩුවීම සහ දිගටම පැවති සෙම්ප්‍රතිශ්‍යාව සමඟ පොරබැඳීම ආදියෙන් පීඩා වින්දෙමි. මම තවමත් පුරෝගාමී සේවයෙහි නොනැවතී පැවතුණ අතර, බයිබල් පාඩම් 20ක් පැවැත්වූයෙමි, නමුත් මගේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් පිරිහුණ බැවින්, එය 16ක් දක්වා අඩු කිරීමට සිදුවිය. මෙම ශිෂ්‍යයන්ගෙන් හත්දෙනෙක් යථාකාලයේදී බව්තීස්ම ලැබුවෝය.

“සභාව මට සැබෑ උපකාරයක් වූ බැවින්, මාව තනි කරනු ලැබූ බවක් හෝ කලකිරුණු බවක් මට කිසිදිනක නොදැනිණ. යථාකාලයේදී, ශාරීරික දුර්වලතා නිසා සමහර රැස්වීම් අතපසු කිරීමට මට සිදුවිය. සහෝදරයන් ඒවා මා සඳහා ශ්‍රව්‍ය කැසට්පටවල පටිගත කළ අතර, මම දිගටම ආත්මිකව පෝෂණය ලැබුවෙමි. මගේ ආත්මික සහෝදරියන් වරින් වර මගේ අවශ්‍යතාවලට උපකාර වීමට සහ රාත්‍රියෙහි මා සමඟ සිටීමට පවා හැකිවන පිණිස සභාවේ වැඩිමහල්ලෝ ලැයිස්තුවක් සෑදූහ. එහෙත් එක් දෙයක් මා කරදරයට පත් කරමින් තිබිණ—මගේ දරුවෝ. ‘මා මියගිය පසු ඔවුන්ට කුමක් සිදුවේද?’ කියා මම කල්පනා කළෙමි.

“අප්‍රිකාවේ මැරුණු පුද්ගලයාගේ ඉඩකඩම් බොහෝවිට නෑදෑයන් විසින් ගනු ලබන බැවින්, මේ පිළිබඳ මම නිතර නිතර යෙහෝවඃවහන්සේට යාච්ඤා කළෙමි. සැමදා මගේ දරුවන්ට ජීවත්වීමට ස්ථානයක් සහ නිතිපතා ආදායමක් ලැබෙන පරිදි මගේ ගෙය විකුණා කුලියට දිය හැකි කුඩා ඒකක ගොඩනැඟීමට මම තීරණය කළෙමි. සභාවේ සිටි සහෝදරයෝ මගේ ගෙය විකුණා තවත් කුඩා බිම් කැබැල්ලක්ද මිල දී ගැනීමට සමත් වූ අතර, ඔවුහු මට එම ඒකක ගොඩනඟා දුන්හ. ඉන් එකක මා ජීවත්වූ අතර, මගේ දරුවන්ව රැකබලා ගනු ඇති බව දැනගැනීමෙන් මනසෙහි සාමය භුක්තිවින්දෙමි.

“මගේ නිවස විකුණා තිබූ බැවින්, මගේ නෑදෑයන් කෝපයට පත්වූ අතර, ඔවුහු මට විරුද්ධව නීතිමය සටනක් ආරම්භ කළහ. නැවත වරක්, සහෝදරයෝ උපකාරය සඳහා පැමිණ මගේ ප්‍රශ්නය සමඟ කටයුතු කළහ. අපි නඩුවෙන් ජයගත්තෙමු. මා බොහෝ දුර්වල බව මට හැඟුණත්, යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය සංවිධානය සහ රාජ්‍ය බලාපොරොත්තුව මගේ ජීවිතය ගෙන යෑමට උපකාරවත් විය. මගේ රෝගී තත්වය නිසා දැන් මා රෝහලකට ඇතුළත් කරනු ලැබ තිබේ. ප්‍රමාණවත් ආහාර සහ ඇඳ ඇතිරිලි සැපයීමට රෝහලට නොහැකි බැවින්, රෑ දවල් මගේ අවශ්‍යතාවලට උපකාර කිරීමට ආත්මික සහෝදරියෝ තවමත් මා ළඟ සිටිත්.”

රෝහලෙහි මාස හයක් ගත කිරීමෙන් පසු, ජොයිස් නිවසට යවනු ලැබීය. දින දෙකකට පසු ඈ මියගියාය. දැන් ඇයගේ දරුවන් පස්දෙනාව සභාවේ දරුවන් තිදෙනෙකු සිටින පුරෝගාමී සහෝදරියක විසින් රැකබලා ගනු ලැබේ.

විසඳුම

දැනටමත් ඒඩ්ස් රෝගය පැතිර පවතින උගන්ඩාවේ, ජනාධිපති යොවෙරී කාගූටා මූසෙවෙනී මෙසේ ප්‍රකාශ කළේය: “ඒඩ්ස් සහ අනිකුත් ලිංගික ලෙස පැතිරෙන රෝග මගින් ඉදිරිපත් කරන ලද තර්ජනයට හොඳම ප්‍රතිචාරය නම්, එක් එක් පුද්ගලයා තම තමාගේ අසල්වැසියාට ලබාදිය යුතු ප්‍රණාමය, ගෞරවය සහ වගකීම ප්‍රසිද්ධ ලෙස සහ ඍජු ලෙස යළි තහවුරු කිරීම බව මම විශ්වාස කරමි.” කෙටියෙන් පවසනවා නම්, විවාහ විධිවිධානය තුළ ඒක විවාහී සදාචාරයට නැවත පැමිණීමේ අවශ්‍යතාවක් තිබේ. ඒඩ්ස් රෝගයෙන් පරෙස්සම් විය හැකි එකම මඟ සහ පාලනය කළ හැකි එකම මඟ මෙය පමණක් බව, සියලුදෙනාම එකඟ වෙති. කෙසේවෙතත්, එවැනි සදාචාර ප්‍රමිතියක් ලබාගත හැකි බවට විශ්වාස කරන්නේ ස්වල්පදෙනෙකු පමණි.

එවැනි සදාචාරයක් ලබාගත හැකි බවට විශ්වාස කරනවා පමණක් නොව, නමුත් එය ක්‍රියාවෙහි යොදවන්නන් අතර යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සිටිති. තවදුරටත්, ජොයිස් මෙන් ඔවුහුද ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද පිළිබඳ දෙවියන්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි විශ්වාස කරති. (2 පේතෘස් 3:13) සෑම දුෂ්ටකමක්ම පිසදමා පිරිසිදු කරන ලද පොළොවක යෙහෝවඃ දෙවියන්වහන්සේ එවිට එළිදරව් 21:4හි වාර්තා කරන ලද පොරොන්දුව ඉෂ්ට කරනසේක: “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”

[10වන පිටුවේ පින්තූරය]

පියෙක් ඒඩ්ස් රෝගයෙන් මැරුණු සිය පුත්‍රයාව භූමදාන කිරීම පිණිස ගෙන යයි

[හිමිකම් විස්තර]

WHO/E. Hooper

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න