බයිබලයේ දෘෂ්ටිකෝණය
කාමමිථ්‍යාචාරය සමාව දිය යුතුද, නැද්ද?
“නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙයල්ලා.” (මාර්ක් 11:25) කාමමිථ්‍යාචාරයෙන් බිඳුණා වූ විවාහයක් සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ මෙම වචන, අභියෝගාත්මක ප්‍රශ්න සමහරක් මතු කරයි: එනම් නිර්දෝෂී ක්‍රිස්තියානි ස්ත්‍රියක් ඇයගේ කලත්‍රයාට සමාව දී, විවාහය පවත්වාගත යුතුද?a ඇය දික්කසාදයක් ලබාගැනීමට තීරණය කළහොත්, ඈ දෙවියන්වහන්සේ සමඟ ඇති ඇගේ සබඳතාව අනතුරට භාජන කරගන්නීද? මෙම ප්‍රශ්නවලට, උත්තර සොයාගැනීම සඳහා බයිබලය අපට උපකාර කරන්නේ කෙසේදැයි අපි බලමු.
ඔබ සෑම අවස්ථාවකදීම සමාව දිය යුතුද?
“යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙයල්ලා” යන යේසුස්වහන්සේගේ වචන, සෑම අවස්ථාවකටම—එනම් කලත්‍රයෙකු කාමමිථ්‍යාචාරයේ යෙදෙන විටදී පවා—සමාව දීමට ක්රිස්තියානිවරයෙකු බැඳී සිටින බව අදහස් කරයිද? සමාව දීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ ඉදිරිපත් කළ අනික් ප්‍රකාශ සලකා බැලීමෙන්, උන්වහන්සේගේ මෙම ප්‍රකාශය වටහාගත යුතුය.
නිදසුනක් වශයෙන්, සමාව දීම සම්බන්ධයෙන් ලූක් 17:3, 4හි වාර්තා කර තිබෙන යේසුස්වහන්සේගේ වදන්වලින්, අපි වැදගත් ප්‍රතිපත්තියක් ඉගෙනගන්නෙමු: “නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරපන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙයන්න. ඔහු දවසකට සත්වරක් නුඹට විරුද්ධව පව්කොට, සත්වරක් නුඹ වෙතට හැරී: මම පසුතැවිලිවෙමියි කීවොත්, ඔහුට කමාවෙයන්න.” සැබවින්ම බරපතළ පාප සිදුවූ අවස්ථාවලදී, අවංක පසුතැවිල්ලක් දක්වනු ලැබේ නම්, නිර්දෝෂී තැනැත්තාට සමාව දීම සඳහා වෑයම් කිරීමට දිරිගන්වනු ලැබේ. යෙහෝවඃවහන්සේම කාරණා දෙස මේ ආකාරයෙන් බලනසේක; දිව්‍ය සමාව ලබාගැනීමට නම් අප අවංකවම පසුතැවිලි විය යුතුය.—ලූක් 3:6; ක්‍රියා 2:38; 8:22.
කෙසේවෙතත්, තමාගේ පාපය සම්බන්ධයෙන් වගකීම පිළිගැනීමට, පසුතැවිලි නොවන කාමමිථ්‍යාචාරික කලත්‍රයෙකු ප්‍රතික්ෂේප කළහොත්, නිර්දෝෂී කලත්‍රයා සමාව නොදීමට තෝරාගැනීම තේරුම්ගත හැකි බව මෙය තවදුරටත් පෙන්නුම් කරයි.—1 යොහන් 1:8, 9 සසඳන්න.
සමාව දීම—ඵල විපාක ගැන කුමක් කිව හැකිද?
එහෙත් කාමමිථ්යාචාරිකයා පසුතැවිලි වන්නේ නම් තත්වය කුමක් වනු ඇද්ද? පසුතැවිල්ලක් තිබෙන විටදී, සමාව දීමට පදනමක් තිබේ. එහෙත් සමාව දීම තුළින් වරදකරු තම වැරදිසහගත ක්‍රියාමාර්ගයේ සියලු ඵල විපාකවලින් නිදහස් වන බව මින් අදහස් කරයිද? යෙහෝවඃවහන්සේගේ සමාව දීම පිළිබඳ ඇතැම් නිදසුන් සලකා බලන්න.
කානාන් දේශය සම්බන්ධයෙන් නරක වාර්තාවක් සැපයූ ඔත්තුකරුවන් දසදෙනාට ඉශ්‍රායෙලිතයන් සවන් දී කැරලිගැසූ විට, මෝසෙස් යෙහෝවඃවහන්සේට මෙසේ ආයාචනා කළේය: “මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනව.” යෙහෝවඃවහන්සේ මෙසේ ප්‍රතිචාරය දැක්වූසේක: “නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි.” වැරදිකරුවන්ව ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාකවලින් නිදහස් වූ බව මින් අදහස් කරනු ලැබීද? යෙහෝවඃවහන්සේ තවදුරටත් මෙසේ පැවසූසේක: “[එහෙත්] මාගේ හඬට කීකරුනො[වූ] . . . [සියලු මනුෂ්‍යයන්,] . . . සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය.” (ගණන් කථාව 14:19-23) යෙහෝවඃවහන්සේ තම වචනයට එකඟව ක්‍රියා කළසේක; යෝෂුවා සහ කාලෙබ් හැර, එම වයස්ගත වූ පරම්පරාවේ, අනික් අය පොරොන්දු දේශය නොදුටුහ.—ගණන් කථාව 26:64, 65.
ඒ හා සමානවම, දාවිත් රජ බැත්-ෂෙබා සමඟ කළ පාපයට ප්‍රොපේත නාතාන් දාවිත්ට තරවටු කළ විට, පසුතැවිලි වූ ඔහු මෙසේ පිළිගත්තේය: “මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි.” එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේය: “ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක.” (2 සාමුවෙල් 12:13) එහෙත් යෙහෝවඃවහන්සේ දාවිත්ට සමාව දුන්නද, දාවිත් තම ජීවිතයේ ඉතිරි කාලය පුරා තමා කළ පාපය කරණකොටගෙන ඵල විපාක වින්දේය.—2 සාමුවෙල් 12:9-14; 2 සාමුවෙල් 24වන පරිච්ඡේදයද බලන්න.
මෙම දිව්‍ය සමාව දීමේ ආදර්ශයන් වැදගත් පාඩමක් අවධාරණය කරයි: අපට දඬුවම් හෝ ඵල විපාක නොලැබ පව් කළ නොහැක. (ගලාති 6:7, 8) පසුතැවිලි වන්නාවූ පව්කාරයෙකුට සමාව ලැබුණත්, ඇත්තෙන්ම ඔහු තමාගේ වැරදි ක්‍රියාමාර්ගයේ ඵල විපාකවලින් නිදහස් වන්නේ නැත. අඩුම තරමින් නිර්දෝෂී කලත්‍රයා කාමමිථ්යාචාරිකයා කෙරෙහි තිබෙන තද අමනාපය පහවී යෑමට ඉඩහැරීමෙන්, සමාව දෙන මුත්—ඔහුව දික්කසාද කිරීමට තීරණය කළ හැකි බව මින් අදහස් කරයිද?
සමාව දීම සහ දික්කසාදය
යේසුස්වහන්සේ සිය දේවසේවයේ අවස්ථා තුනකදී, දික්කසාදය ගැන කතා කළසේක. (මතෙව් 5:32; 19:3-9; ලූක් 16:18) මෙම සාකච්ඡාවල එක අවස්ථාවකදීවත් සමාව දීම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ සඳහන් නොකිරීම උනන්දුව ගෙන දෙන කරුණකි. නිදසුනක් වශයෙන්, මතෙව් 19:9හි සොයාගැනීමට තිබෙන පරිදි, උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.” “වේශ්‍යාකම නිසා මිස” යයි කීමෙන්, ලිංගික දුරාචාරය, නිර්දෝෂී කලත්‍රයාට දික්කසාද කිරීමට අයිතිය සහ ශුද්ධ ලියවිලිමය “පදනමක්,” [NW] සපයන බව යේසුස්වහන්සේ පිළිගත්සේක. එහෙත්, නිර්දෝෂී පුද්ගලයා දික්කසාද කළ යුතු බව යේසුස්වහන්සේ පැවසුවේ නැත. කෙසේවෙතත්, ඇයට එසේ කළ හැකි බව උන්වහන්සේ පැහැදිලිවම ඇඟවූසේක.
විවාහය දෙදෙනෙකු එකට බඳිනු ලබන බැඳීමකි. (රෝම 7:2) එහෙත් ඉන් එක්කෙනෙකු අවිශ්වාසවන්ත වුවහොත්, එම බැම්ම බිඳිය හැක. එවන් අවස්ථාවලදී නිර්දෝෂී කලත්‍රයා ඇත්තෙන්ම තීරණ දෙකක් අතර මැදිව සිටියි. පළමුව, ඇය සමාව දිය යුතුද? අප දැක ඇත්තාක් මෙන්, මෙහි තිබෙන වැදගත් සාධකය නම්, එම කාමමිථ්යාචාරිකයා අවංකවම පසුතැවිලි වී ඇද්ද, නැද්ද යන්නය. පසුතැවිලි වීමක් තිබෙන විට, අඩු තරමින් අමනාප වීම පහවීමට ඉඩහැරීමෙන්, නිර්දෝෂී කලත්‍රයා කලක් යන විට, සමහරවිට සමාව දිය හැක.
ඇය දික්කසාදයක් ලබාගන්නවාද? යන්න ඇය ගත යුතු දෙවන තීරණය වේ. ඇය ඔහුට සමාව දී ඇත්නම්, මෙම ප්රශ්නය පැන නැඟිය යුත්තේ මන්ද?b විශේෂයෙන්ම ඇගේ ස්වාමිපුරුෂයා අතීතයේදී හිරිහැර කරමින් සිටියා නම්, ඇත්තෙන්ම ඇගේ සහ ඇගේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වලංගු සැලකිල්ලක් ඇත්නම් තත්වය කුමක්ද? එසේ නැත්නම් ලිංගික වශයෙන් බෝවන රෝගයක් වැළඳීමේ බියක් ඇත්නම් කුමක්ද? එසේත් නැත්නම්, ඔහු ඇයට ද්‍රෝහි වූ බැවින් ඇයට තවදුරටත් අඹු සැමියන් වශයෙන් සමීප සබඳතාවකින් කටයුතු කිරීමට, ඔහුව විශ්වාස කළ නොහැකි බව හැඟෙනවා නම් කුමක්ද? එවන් අවස්ථාවලදී, (අමනාපය පහවී යෑමට සැලැස්වීමේ අර්ථයෙන්) නිර්දෝෂී කලත්‍රයා, වැරදි කර ඇති තම කලත්‍රයාට සමාව දෙන බවට බෙහෙවින් සිතාගත හැකි වුවත්, ඔහු සමඟ තවදුරටත් දිගටම ජීවත්වීමට ආශා නොකරන බැවින්, ඔහුව දික්කසාද කිරීමට වුවත් තීරණය කළ හැක. අමනාපය පහවීමට ඉඩහැරීමෙන් ඇයට, ඇගේ ජීවිතයේ කටයුතු හොඳින් කරගෙන යෑමට උපකාර කළ හැක. තවද අනාගතයේදී, කාමමිථ්යාචාරිකයා සමඟ සිදු කිරීමට අවශ්‍ය කරන යම් කටයුතු කිරීම්, ආචාරශීලීව තබාගැනීමටද එය උපකාරි වේ.
ඇතුළත්ව තිබෙන සියලු සාධක, නිර්දෝෂී කලත්‍රයා විසින් පරෙස්සමින් හා යාච්ඤා පූර්වකව සලකා බැලීමෙන් පසුව, අවිශ්වාසවන්ත කලත්‍රයෙකුගෙන් දික්කසාදයක් ලබාගැනීමට තීරණය කිරීම පෞද්ගලික කාරණයකි. (ගීතාවලිය 55:22) නිවැරදි තීරණය ගැනීමට, නිර්දෝෂී කලත්‍රයාට නියෝග කිරීමට හෝ පීඩා කිරීමට උත්සාහ කිරීමට වෙනත් අයට අයිතියක් නැත. (ගලාති 6:5 සසඳන්න.) නිර්දෝෂී කලත්‍රයා කුමක් කළ යුතුද කියා යේසුස්වහන්සේ පැවසුවේ නැති බව මතක තබාගන්න. එසේනම්, සුදුසු ශුද්ධ ලියවිලිමය පදනමක් මත දික්කසාදයක් ලබාගැනීමට තෝරාගන්නා අය සමඟ යෙහෝවඃවහන්සේ අසතුටු නොවන බව පැහැදිලිය.
[පාදසටහන්වල]
a නිර්දෝෂී කලත්‍රයාව අප මෙහිදී “ඇය” ලෙස සඳහන් කළද, මෙහි සාකච්ඡා කරනු ලබන ප්‍රතිපත්ති, නිර්දෝෂී කලත්‍රයා, ක්‍රිස්තියානි පුරුෂයෙකු වූ විටද සමානාකාරයෙන් අදාළ වේ.
b ලිංගික සම්බන්ධකම් නැවත ආරම්භ කිරීමෙන්, වැරදි කර ඇති කලත්‍රයා සමඟ, නිර්දෝෂී කලත්‍රයා සමඟි වීමට තීරණය කර ඇති බව අඟවනු ලැබේ. ඈ එමගින් දික්කසාද වීමට ඇති ශුද්ධ ලියවිලි පදනම නිෂ්ප්‍රභ කරන්නීය.
[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Life