සූදුවට ඇබ්බැහිවූවෝ සැමවිටම පරදින්නෝ
“සූදුවට ඇබ්බැහි වීම, මත්ලෝලීභාවය සහ මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම අසනීපයකි” යනුවෙන් ප්‍රංශයේ මහාචාර්ය ජාන් අඩේ ලීවේය. “එය මත්ද්‍රව්‍යයකින් තොරව ඇබ්බැහි වීමකි, තවද තව තවත් මිනිසුන් සොයාගන්නා දෙයක් නම් තමන් ඊට ඇබ්බැහි වී ඇති බවකි,” යනුවෙන් ඔහු පැවසීය.” සූදුවට ඇබ්බැහිවූවන්ට මුදල් විශාල ප්‍රමාණයක් පරාජය වුවත්, තමන්ට අහිමි වූ දෙය ආපසු ලබාගැනීමේ චේතනාවෙන් තව තවත් සූදුවේ නියැලීමේ ආශාවේ ඔවුහු නිමග්න වෙති. “පරදින්නන්ගෙන් වැඩිදෙනෙක් තමන්ගේ අපේක්ෂාභංගත්වයෙන් සැණකින් මිදෙති. නමුත් ඇතැම් අයට, ඔවුන්ගේ සූදුවේ නියැලීමට තිබෙන ආශාව කොතරම් පාලනය කළ නොහැකිද කියතොත්, ඔවුන්ගේ ජීවිතවලට දැඩි හානි කිරීමට එයට හැක,” යයි එක් ප්‍රංශ පත්රකලාවේදියෙක් ලීවේය. “තමන් මෙම පුරුද්ද නවතා දමන බව ඔවුහු දිගින් දිගටම තමන්ටම පොරොන්දු වෙති, එහෙත් එය සෑමවිටම ඔවුන්ව ග්‍රහණය කරගනී. ඔවුහු සූදුවට ඇබ්බැහි වී සිටිති.”
එක් දකුණු අප්‍රිකානු ඇබ්බැහිවූවෙක් මෙසේ පාපොච්චාරණය කළේය: “ඔබ සූදුවට ඇබ්බැහිවූවෙක් නම්, ඔබ රුලේ රෝදයේ හෝ බූරුවා ගැහිල්ලේ යෙදී සිටිනවා නම්, වෙනත් කිසිවක් ඔබ ගණනකට ගන්න එකක් නැහැ. ඔබගේ නාඩි හරහා ඇඩ්රිනලින් හෝමෝනය වේගයෙන් ගමන් කරයි, ඔබ අතැති හැම සතයක්ම හුදෙක් එක් රෝද කරකැවිල්ලකට, නැතිනම් කාඩ් ඇදිල්ලකට ඔට්ටු අල්ලනවා නියතයි. . . . මගේ ඇඩ්රිනලින් සංචිතයෙන් ප්‍රයෝජන ගනිමින්, එම කිසිදාක අත් කරගත නොහැකි සුපිරි සල්ලි මල්ල බලාසිටිමින්, කාඩ්පත් සහ ඉලක්කම් බලමින් දිවා රෑ කිහිපයක් මට එක දිගට රැඳී සිටිය හැකියි.” අනතුරුව ඔහු මෙසේ අවසන් කළේය: “රුපියල් සිය ගණනක් හෝ දහස් ගණනකින් පවා මෙය නවත්වන්ට බැරි මා වගේ බොහෝදෙනෙක් සිටිනවා. අපට තිබෙන සියල්ල නැතිවන තුරු අපි දිගටම සූදුවේ නියැලෙනවා, එතකොට කිසිම විදිහකින් පිළිසකර කරන්ට බැරි විදිහට අපේ පවුල් සබඳතා පිරිහිලා තියේවි.”
දිනුවත් පැරදුණත් සූදුවේ නියැලීමට තිබෙන ආශාව කොතරම්ද කියතොත් “සූදුකරුවන් බොහෝදෙනෙක් නිදා නොගෙන, කෑම නොකා, නාන කාමරයට පවා නොයා දවස් ගණනක් ගත කරති. සූදු ක්‍රීඩා කරන විට අනික් සියලු දේ පසෙකට යයි. දිනනවාද පරදිනවාද කියා අපේක්ෂාවෙන් සිටින වේලාව අතරතුරේ ‘යම් ත්‍රාසජනක වින්දනයක්ද’ තිබේ, අත්වලට දහඩිය දැමීම, ශීඝ්‍රයෙන් හෘද වස්තුව ගැහීම සහ කෑම අරුචිය සාමාන්‍යයෙන් මෙහි ලක්ෂණය” යනුවෙන් නිව් යෝර්ක්හි සාන්ත ජෝන් සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය හෙන්රි ආර්. ලේසියර් ලීවේය.
දිගු කලක් තිස්සේ තමාව මෙම පුරුද්දට පෙලඹූ බලවේගය වූයේ දිනීම නොව, නමුත් සූදුවේ නියැලෙන විට තිබෙන ත්‍රාසජනක වින්දනය හෙවත් “ජොලිය” බව කලින් සූදුවට ඇබ්බැහි වී සිටි තැනැත්තෙක් පිළිගත්තේය. “සූදුව ඉතා අසාමාන්‍ය වූ දරුණු චිත්තවේග ඇති කරයි,” යනුවෙන් හේ පැවසීය. “රුලේ රෝදය කරකැවී නවතින තෙක් ඔබ බලා සිටින විට, එම අහඹු ප්‍රස්තාවෙන් ඔබ පිළිතුරක් බලාපොරොත්තු වන විට, ඔබේ මනස කරකැවී ඔබ ක්ලාන්ත වෙන තත්වයට පත්වන්නෙත් ඒ මොහොතේදීය.” ප්‍රංශ ජාතික සූදුවට ඇබ්බැහිවූවෙකු වන ආන්ඩ්‍රේ මෙසේ එකඟ වෙයි: “ඔබ ප්‍රංශ ෆ්රෑන්ක් 10,000ක් අශ්වයෙකුට ඔට්ටු අල්ලා සිටින අවස්ථාවේ අශ්වයාට තවත් මීටර 100ක් යෑමට ඇත්නම්, මේ මොහොතේ වෙනයම් කෙනෙක් ඔබට තට්ටු කර ඔබේ භාර්යාව හෝ මව මියගොස් ඇතැයි කියා ඔබට පවසයි නම්, ඔබ එය තඹ දොයිතුවකටවත් ගණන් ගන්නේ නැහැ.”
මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වීමෙන් පසුව පවා තමාට දිගටම සූදුවේ නියැලීමට හැකි වූ ආකාරය ආන්ඩ්‍රේ විස්තර කරයි. බැංකුවලින්, මිතුරන්ගෙන් සහ අධික පොලියට ණයට දෙන්නන්ගෙන් හේ මුදල් ණයට ගත්තේය. හේ චෙක්පත් සොරකම් කළේය, තැපැල් කන්තෝරු ඉතිරි කිරීමේ පොත් වංචා කළේය. ඔහු කැසිනෝ ශාලාවලදී තනිව සිටින කාන්තාවන් මෙල්ල කොට, අනතුරුව ඔවුන්ගේ ණයවැරුම් පත් රැගෙන පලා ගියේය. “ඒ වන විට,” ආන්ඩ්‍රේට, “තමන් ණයව තිබූ අතිවිශාල මුදල් ප්‍රමාණය ගෙවන්නේ කෙසේද කියාවත් කල්පනා කිරීමට වුවමනා නොවීය. ඔහු එහෙ මෙහේ ගැවසුණේ මුළුමනින්ම තම ගිජු ආශාවෙන් පෙලඹීමෙණි,” යනුවෙන් ප්‍රංශ පුවත්පත් ලේඛකයෙක් ලීවේය. සාපරාධී ක්‍රියාවලට හැරුණු ඔහුව සිරගෙට යවන ලදි. ඔහුගේ විවාහය කඩාකප්පල් විය.
බොහෝ අවස්ථාවලදී, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහිවූවන් මෙන් සූදුවට ඇබ්බැහිවූවෝද, තම රැකියාව, තම ව්‍යාපාරය, තම සෞඛ්‍යය සහ අන්තිමට තම පවුල ගැන පවා නොතකා දිගටම සූදුවේ නියලෙති.
ප්‍රංශයේ නගර ගණනාවක්ම මෑතකදී තම දොරවල් සූදුව සඳහා විවෘත කර තිබේ. වෙනත් ව්‍යාපාර අසාර්ථක වී ඇති තැන්වල, බඩු උකස්ගන්නෝ තම ව්‍යාපාරවලින් ගජ වාසි ලබති. සූදුවට ඇබ්බැහිවූවන්ට නිතරම තම සියලු මුදල් අහිමි වන බවත්, තම නිවාසවලට යෑමට තම රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා මොවුන් බොහෝවිට තම මුදු, ඔරලෝසු සහ වෙනත් දේවල් උකසට දෙන බවත්, ඉහත කී ව්‍යාපාරවල අයිතිකරුවෝ පවසති. එක්සත් ජනපදවල ඇතැම් මුහුදුබඩ නගරවල බඩු උකස්ගන්නා සාප්පු අලුතෙන් විවෘත කර තිබේ; ඇතැම්විට තුනක් හෝ හතරක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් පෝලිමේ දක්නට ලැබේ.
ඇතැම්හු තම සූදු පුරුද්ද දිගටම කරගෙන යෑම සඳහා සාපරාධී දිවි පෙවෙතකට හැරී සිටිත්. මහාචාර්ය ලේසියර් පවසන පරිදි, මේ දක්වා කර ඇති අධ්‍යයනවලට අනුව, “සූදුවට ඇබ්බැහි වී සිටින්නන් අතරින් නීති විරෝධී ක්‍රියා ගණනාවක් සොයාගන්නා ලදි . . . චෙක්පත් වංචා කිරීම, මුදල් වංචා කිරීම, සොරකම, අවි සන්නද්ධ සොරකම්, පොත් පත්වල වංචා, වංචනිකව මුදල් ලබාගැනීම, බොරු පොරොන්දු දීම මගින් මුදල් වංචා කිරීම, සහ සොරාගත් බඩු විකිණීම යනාදිය වේ.” සූදූවේ නියැලෙන්නන් තම ස්වාමිවරුන්ගෙන් සොරකම් කරන සුදු කරපටි අපරාධද මීට එකතු වේ. සූදුවට ඇබ්බැහිවූවන්ට අධ්‍යාපනය සහ ප්‍රතිකාර සපයන ආයතනයක අධ්‍යක්ෂක ජෙරී ටී. ෆුල්කර් පවසන පරිදි, සූදුවට ඇබ්බැහි වූ බවට හඳුනාගත් දහස් ගණනගෙන් සියයට 85ක්, තම ස්වාමිවරුන්ගෙන් සොරාගත් බවට පිළිගත්හ. “ඇත්තෙන්ම, මුල්‍යමය පැත්තෙන් සහමුලින්ම බලන කල, සූදුවට ඇබ්බැහි වීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය යන දෙකටම ඇබ්බැහි වීමට වඩා දරුණු” යයි ඔහු පැවසීය.
සූදුවට හෝ සූදුව නිසා ගත් ණය ගෙවීම සඳහා මුදල් සොයාගැනීම පිණිස තමන් නීතිවිරෝධී ක්‍රියාවල යෙදුණු බව, සිරගත නොවී සිටින සූදුවට ඇබ්බැහිවූවන්ගෙන් තුනෙන් දෙකක් සහ සිරගත වූ එවැන්නන්ගෙන් සියයට 97ක් පමණ පිළිගත් බව, තවත් කරන ලද අධ්‍යයනවලින් අනාවරණය විණ. නීතියෙන් අවසර ලත් සූදුව බහුලව පවතින, එක්සත් ජනපදවල මෙක්සිකන් බොක්ක අවට මුහුදු තීරයේ නගරවල 1993දී බැංකු මංකොල්ල 16ක් සිදු වූ අතර, මෙය ඊට කලින් වසරට වඩා හතර ගුණයකින් වැඩිවීමකි. එක් මිනිසෙක් තම සූදු පුරුද්ද පවත්වාගෙන යෑමට බැංකු අටක් බිඳ $89,000ක් පැහැර ගත්තේය. තම ණයහිමියන්ට මුදල් විශාල ප්‍රමාණයක් ගෙවීමට බල කරනු ලැබ ඇති සූදුවේ නියැලෙන්නන් විසින් තුවක්කු මානාගෙන වෙනත් බැංකු කොල්ල කා තිබේ.
සූදුවට ඇබ්බැහිවූවන් තම පුරුද්ද නතර කිරීමට වෑයම් කරන විට, දුම්බොන්නන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට බොහෝසෙයින් සමානව ඔවුහු එය අත්හැරීම නිසා රෝග ලක්ෂණ අද්දකිති. කෙසේවෙතත්, වෙනත් පුරුදු නවතා දමනවාට වඩා සූදුවට ඇබ්බැහි වීමේ පුරුද්ද නවතා දැමීම අමාරු බව සූදුවේ නියලෙන්නෝ පිළිගනිති. “අපගෙන් සමහරෙකුට මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ පුරුද්ද තිබුණා, තවද වෙනත් ඇබ්බැහි වීම්වලට වඩා සූදුවට ඇබ්බැහි වීම වඩාත් දරුණු බව අප සියල්ලන්ම පිළිගන්නවා” යයි එක් තැනැත්තෙක් පිළිගත්තේය. හාවර්ඩ් සරසවියේ ඇබ්බැහි වීම පිළිබඳ අධ්‍යයන සඳහා වූ මධ්‍යස්ථානයේ ආචාර්ය හවර්ඩ් ෂැෆර් පැවසුවේ, නවතා දැමීමට වෑයම් කරන සූදුවට ඇබ්බැහිවූවන්ගෙන් අඩුතරමින් සියයට 30ක්, “වේදනාවේ ලකුණු පෙන්වති නැතහොත් බඩේ රුදා, නිදාගැනීමේ අපහසුතාව, අධික රුධිර පීඩනය සහ වේගයෙන් නාඩි වැටීම අද්දකිති” යනුවෙනි.
ඔවුන් දිගටම ඔට්ටු ඇල්ලීම කළද, “සූදුවට ඇබ්බැහිවූවෝ නිදන්ගත හිසේරුදාව, මිග්රේන් නමැති තද හිසේ කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුතාව, ඇන්ජයිනා වේදනා, හෘද ස්පන්දනයේ අක්‍රමිකතා සහ අත් කකුල්වල හිරිවැටුණු ගතිය වැනි වෛද්‍යමය ගැටලු අද්දකිති” යයි අ.එ.ජ. මේරිලන්ඩ්හි බෝල්ට්මෝර්වල ව්‍යාධි විද්‍යා සූදු ඇබ්බැහිය පිළිබඳ ජාතික ආයතනයේ අධ්යක්ෂ වැලරී ලොරෙන්ට්ස් පැවසීය.
එපමණක්ද නොව, දිවිනසාගන්නෝද වෙති. “මාරාන්තික නොවන ඇබ්බැහි වීමක්” යයි පොදුවේ හඳුන්වනු ලබන දෙයක් මගින් මරණයක් සිදුවීමට වඩා දරුණු වෙනත් යමක් තිබිය හැකිද? මෑතකදී සූදු කැසිනෝ ශාලා විවෘත වී ඇති එක් අමෙරිකානු ජනපදයක, “දිවිනසාගන්නන්ගේ සංඛ්‍යාව පැහැදිලි කළ නොහැකි ලෙසින් දෙගුණ වී තිබේ,” එමෙන්ම “කිසිම සෞඛ්‍ය සාත්තු අධිකාරියෙක් එම වැඩිවීම සූදුවට සම්බන්ධ කිරීමට කැමති නොවේ” යයි ද නිව් යෝර්ක් ටයිම්ස් මැගසීන් වාර්තා කළේය. දකුණු අප්‍රිකාවේ, සූදුවට ඇබ්බැහිවූවෝ තිදෙනෙක් එක් සතියක් ඇතුළත සිය දිවි නසාගත්හ. මේ අන්දමින්, සූදුව නිසා හෝ නීත්‍යනුකූලව හෝ නීති විරෝධීව ලබා ඇති ණයවල බර නිසා හෝ දිවිනසාගන්නන්ගේ සැබෑ සංඛ්‍යාව නොදන්නා කරුණකි.
දිවිනසාගැනීම, සූදුවේ රුදුරු ග්‍රහණය නිම කිරීම සඳහා ඛේදජනක ක්රමයකි. ඇතැම් අය මීට වඩා හොඳ මාර්ගයක් සොයාගෙන ඇති ආකාරය ඊළඟ ලිපියේ සලකා බලන්න.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
උකස්ගන්නා සාප්පු මෙන්ම සාහසිකකමද එක සේ සමෘද්ධිමත් වේ