දීර්ඝායුෂ සඳහා ඇති බලාපොරොත්තුව කුමක්ද?
“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.”—“නව අනුවාදයෙහි” යෝබ් 14:1හි වාර්තා වී ඇති යෝබ්ගේ වදන්.
කාව්‍යමය ස්වරයෙන් ජීවිතයේ කෙටිභාවය කොතරම් වාර ගණනක් විස්තර කර තිබෙනවාද! යෝබ් මෙන්, පළමු ශතවර්ෂයේ ලේඛකයෙක් මෙසේ පැවසුවේය: “නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.”—යාකොබ් 4:14.
ජීවිතය දුක්ඛදායක ලෙස කෙටි බව ඔබත් සැලකිල්ලට ගෙන තිබේද? වසර 400කට පමණ ඉහතදී විලියම් ෂේක්ස්පියර් මෙසේ ලීවේය: “ස්වල්ප වේලාවක් පවතින ඉටිපන්දම, නිවී යනු, නිවී යනු! ජීවිතය පියමං කරන සෙවණැල්ලක් පමණි.” පසුගිය ශතවර්ෂය අතරතුර, අමෙරිකානු ඉන්දියානු ප්‍රධානියෙක් මෙසේ ඇසුවේය: “ජීවිතය යනු කුමක්ද?” ඉන්පසු ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: “එය රාත්‍රියේ කළාමැදිරියෙකුගේ ක්ෂණික දීප්තියයි.”
මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ආයු කාලය කෙතරම් දීර්ඝ වේදැයි බලාපොරොත්තු විය හැකිද? වසර 3,500කට පමණ ඉහතදී අනාගතවක්තෘ මෝසෙස් ඔහුගේ කාලයේ පැවති තත්වය මෙසේ විස්තර කළේය: “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමු.”—ගීතාවලිය 90:10.
අවුරුදු හැත්තෑවක්—එය දින 25,567ක් පමණයි. තවද අවුරුදු 80කට අඩංගු වන්නේ දින 29,219ක් පමණි. සැබවින්ම, ඉතා ස්වල්ප කාලයකි! මනුෂ්‍ය ජීවිතය දිගු කිරීමට කිසිවක් කළ හැකිද?
වෛද්‍ය විද්‍යාවට උපකාර කළ හැකිද?
සයන්ස් සඟරාව මෙසේ සඳහන් කරයි: “[එක්සත් ජනපදයේ] උපතේදී ආයු අපේක්ෂාව 1900දී අවුරුදු 47 සිට 1988දී අවුරුදු 75 දක්වා ඉහළ ගොස් තිබේ.” වඩා හොඳ සෞඛ්‍ය ආරක්ෂාව සහ පෝෂ්යදායීත්වය තුළින් ළදරු මරණ අනුපාතිකය අඩු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදයේ මිනිසුන්ට මෝසෙස් සඳහන් කළ තරම් දීර්ඝ කාලයක් ජීවත්වීමට දැන් බලාපොරොත්තු විය හැක. කෙසේවෙතත්, බොහෝ මනුෂ්‍යයන් ජීවත් වන කාලය සම්බන්ධයෙන් යම් විස්මයජනක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකිද?
වයසට යෑම ගැන හසළ දැනුමක් ඇති ලෙනාර්ඩ් හේෆ්ලික්, හව් ඇන්ඩ් වයි වී ඒජ් යන සිය පොතෙහි මෙසේ පැවසීම වැදගත් යමක් සේ සැලකිය යුතුය: “ජීව වෛද්‍ය පර්යේෂණ තුළ ලබා ඇති දියුණුව හා වැඩිදියුණු කරන ලද වෛද්‍ය සාත්තුව උපයෝගි කිරීම, මිනිස් දීර්ඝායුෂ කෙරෙහි සෑහෙන බලපෑමක් කර තිබෙන බවට සහතිකය, නමුත් එසේ වී තිබෙන්නේ මිනිස් ආයු කාලයේ ස්ථාපිත උපරිම සීමාව කරා එළඹීමට වැඩි ජන පිරිසකට ඉඩ කඩ සැලසීමෙන් පමණකි.” එනිසා ඔහු මෙසේ පැහැදිලි කළේය: “ආයු අපේක්ෂාව වැඩි වී තිබේ, එහෙත් ආයු කාලය එසේ වැඩි වී නැත; වෙනස තීරණාත්මක එකකි.”
මිනිසාගේ ආයු කාලයේ “ස්ථාපිත උපරිම සීමාව” කුමක්ද? මෑත කාලවලදී ඕනෑම කෙනෙකු වයස අවුරුදු 115කට වැඩියෙන් ජීවත්වීම අවිනිශ්චිත බව සමහරු පවසති. එහෙත්, සයන්ස් සඟරාව මෙසේ පැවසීය: “වර්ෂ 1990 වන තෙක් පුද්ගලයෙකු ජීවත් වූ බවට ඔප්පු වූ වැඩිම අවුරුදු ගණන අවුරුදු 120කට වඩා මදක් වැඩිය.” මෙම වසරේ මුල්භාගයේදී ප්‍රංශයේ, ආර්ල් නගරයේ ජාන් කැල්මාංගේ 120වන උපන් දිනය සැමරීමට, වාර්තාකරුවන් සහ ඡායාරූප ශිල්පීන් රැසක් සමඟ ප්‍රංශ සෞඛ්‍ය ඇමති ඇයව බැහැදකින්ට ගියේය. මෝසෙස්ද වයස අවුරුදු 120ක් දක්වා ජීවත් වූ අතර, එය සාමාන්‍යයට වඩා වැඩි කාලයක් විය.—ද්විතීය කථාව 34:7.
පොදුවේ මිනිසුන්ට දිගු කාලයක් හෝ වඩාත් දිගු කාලයක් ජීවත් විය හැකි බවට විද්‍යාඥයෝ බලාපොරොත්තුවක් ඉදිරිපත් කරත්ද? නැත, බොහෝදෙනෙක් එසේ නොකරති. ඩීට්‍රොයිට් නියූස් පත්‍රයේ ශීර්ෂ පාඨයක මෙසේ කියවේ: “සාමාන්‍ය ආයු කාලයේ උපරිම සීමාව අවුරුදු 85ක් විය හැකි බව පර්යේෂකයෝ පවසති.” වයසට යෑම පිළිබඳ හසළ දැනුමක් ඇති එස්. ජේයි ඔල්ෂැන්ස්කි එම ලිපියේ මෙසේ පැවසුවේය: “ඔබ අවුරුදු 85ක් පසු කර යනවාත් සමඟම, මිනිස්සු බහු-අවයව ක්‍රියා විරහිත වීමෙන් මරණයට පත් වෙති. ඔවුහු හුස්ම ගැනීම නතර කරති. මූලිකවම, වයසට යෑම නිසා ඔවුහු මියයති. තවද එයට කිසි පිළියමක් නොමැත.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය: “අණුක මට්ටමකින් මිනිසා වයසට යෑම වෙනස් කළ හැකි නම් මිස, අපේක්ෂිත ආයු කාලයේ ශීඝ්‍ර වැඩිවීම් සිදු වී හමාරය.”
සමහරවිට “දීර්ඝායුෂේ ස්ථාපිත උපරිම සීමාවට දැනටමත් ළඟා වී ඇති අතර, තවදුරටත් මරණ අනුපාතිකයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවීමට ඇති ඉඩ කඩ අඩුය” යනුවෙන් සයන්ස් සඟරාව සඳහන් කළේය. මරණ සහතිකවල වාර්තාගත මරණයට හේතු වූ සියලුම කාරණා ඉවත් කළ හැකි නම්, ආයු අපේක්ෂාව වසර 20කට අඩු කාලයකින් වැඩි විය හැක යනුවෙන් පවසා තිබේ.
මෙසේ, මිනිසාගේ ආයු කාලයේ ප්‍රමාණය අපූර්ව යමක් නැතහොත් වෙනසකට භාජන විය හැකි යමක් බව බොහෝ විද්‍යාඥයෝ නොසලකති. එසේවුවත්, යථාකාලයේදී මනුෂ්‍යයන් වඩාත් දීර්ඝ කාලයක් ජීවත් වේ කියා විශ්වාස කිරීම සාධාරණ වන්නේ මන්ද?