අප මහලු වී මියයන්නේ මන්ද?
“වයසේ වෙනස්වීම් තනි සෛල තුළ සිදු වන බව සොයාගන්නා ලද දෙයට අමතරව, ශතවර්ෂයකට පෙර වයසට යෑම ඇති කරවන මූලික හේතුවට වඩා වැඩි යමක් අදදින අපි නොදනිමු,” යනුවෙන් ආචාර්ය ලෙනාර්ඩ් හේෆ්ලික් පිළිගත්තේය. ඇත්තවශයෙන්ම, ඔහු මෙසේ පවසයි: “වයසට යෑම සිදු විය යුත්තේ මන්දැයි පෙන්වීමට අපට හොඳ හේතු නොමැත.”
භෲණයකින් ගන්නා ලද සාමාන්‍ය මනුෂ්‍ය සෛල හොඳම තත්වයන් යටතේ රෝපණය කරනු ලැබුවද, 50 වාරයක් පමණ විභාජනය වූවාට පසු සෛල මැරී ගිය බව වසර 30කට පමණ පෙර පවත්වන ලද පරීක්ෂණාගාර අත්හදා බැලීම් එළිදරව් කළේය. අනික් අතට, වඩාත් වයසක පුද්ගලයෙකුගෙන් ගන්නා ලද සෛල ඒවා මියයෑමට පෙර වාර දෙකත් දහයත් අතර ප්‍රමාණයක් විභාජනය විණ. මෙසේ, ජාතික භූගෝලීය සමිතියේ පොතක් වන දි ඉන්ක්‍රෙඩිබල් ම’ෂින් (පුදුමසහගත යන්ත්‍රය) මෙසේ නිරීක්ෂණය කළේය: “අප සෑම කෙනෙකුගේම උපතේදී මරණය ක්‍රමලේඛනය කර තිබේ යන අදහසට පරීක්ෂණාත්මක තොරතුරු අනුබල දේ.”
කෙසේවෙතත්, සෛල විභාජනයේ නැවතීම වැළැක්විය නොහැකි දෙයක්ද? නැත, එසේ කළ නොහැක. වයසට යෑම පිළිබඳ ප්‍රවීණයන් දෙදෙනෙක් වන මහාචාර්ය රොබට් එම්. සැපොල්ස්කි සහ කේලෙබ් ඊ. ෆින්ච්ගේ මතයට අනුව, “ඇත්තෙන්ම, පොළොව මත ජීවීන්ගේ මූලික තත්වය නිර්-වෘද්ධතාව [වයසට නොයෑම] බව පෙනේ.” පරස්පර විරෝධී කරුණක් නම්, අදදින සමහර අසාමාන්‍ය මනුෂ්‍ය සෛල පවා වයසට නොයෑමයි.
මනුෂ්‍යයෙකුගෙන් මනුෂ්‍යයෙකුට හෘද බද්ධ කිරීම පළමුවරට සිදු කළ ද බොඩි ම’ෂින් යන පොතෙහි සංස්කාරක වෛද්‍ය. ක්රිස්ටිඇන් බාර්නාර්ඩ් මෙසේ පැහැදිලි කළේය: “එවන් සෛල අසාමාන්‍ය ඒවා බව පැහැදිලි වන තෙක්, අනාවරණය කරන ලද ‘අමරණීය සෛල’ වෘද්ධතාව පිළිබඳ උනන්දු වූ ජෛව විද්‍යාඥයන්ට බරපතළ හිසරදයක් විය. එසේය, සමහර පිළිකා සෛල වර්ග නිමක් නොමැති විභාජනය වීම්වලට යටත් කිරීමෙන් අඛණ්ඩ රෝපණය තුළින් පවත්වාගත හැක! ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ සඳහන් කළේය: “එවන් අසාමාන්‍ය සෛල දිගටම පවතින්නේ කෙසේදැයි නිශ්චය කළ හැකි නම්, සෛල වයසට යෑමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන්ට තීක්ෂ්ණ බුද්ධියක් ලබාගත හැකි වේ.” මෙලෙස, පෙනෙන ප්‍රකාරයට අදදින නිශ්චිතවම සමහර පිළිකා සෛල ප්‍රගුණනය වීම පරීක්ෂණාගාරය තුළ සිදු වුවත්, සාමාන්‍ය සෛල රෝපණය වී වයසට ගොස් මරණයට පත් වේ.
සදොස් යන්ත්‍රණයක්
ද බොඩි ම’ෂින් පවසන පරිදි, “[සාමාන්‍ය] සෛල ගහනයේ ප්‍රගුණනය වීමේ ධාරිතාව අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍යයන් වයසට යෑම සහ මරණය සිදු වේද”? එසේනම් එම පොත මෙසේ පවසයි, “මනුෂ්‍ය ආයුකාලය වැඩි කිරීමට ගන්නා උත්සාහයක් වශයෙන්, පරිමිත පුනරාවර්තී ධාරිතාව මෙහෙයවීම සඳහා, එය පාලනය කරන යන්ත්‍රණය හඳුනාගෙන එය තේරුම්ගැනීම වැදගත් වේ.”
කලින් ලිපියෙන් ඔබට මතක් වන පරිදි, “පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වාද අනතුරුව ලිංගික පරිණතභාවය සහ වැඩිහිටි අවදිය දක්වාද අප ගෙන යන්නාවූ ආශ්චර්යයන්” පිළිබඳ ආචාර්ය හේෆ්ලික් කතා කළේය. පසුව “එම ආශ්චර්යයන් ඉඳුරාම සදාකාලයටම පවත්වාගැනීම සඳහා වඩාත් මූලික යන්ත්‍රණයක්” වෙත ඔහු අවධානය යොමු කළේය.
වසර ගණනාවක තියුණු උත්සාහයක යෙදී තිබුණත්, ජීවිතය සදාකාලයට පවත්වාගත හැකි යන්ත්‍රණයක් සොයාගැනීමට විද්‍යාඥයන් අසමත් වී ඇත. “වයසට යෑමට හේතු අභිරහසක්ව පවතී,” යනුවෙන් දි ඉන්ක්‍රෙඩිබල් ම’ෂින් යන පොත පිළිගනී.
කෙසේවෙතත්, වයසට යෑම සහ මරණයට හේතුව සැබවින්ම රහසක් නොවේ. පිළිතුර ලබාගත හැකිය.
පිළිතුර කුමක්ද?
පිළිතුර සතු තැනැත්තා වනාහි, “පිළිසිඳ ගැනීමේ සිට උපත දක්වා ආශ්චර්යයන්[වලට]” වගකිව යුතු පුද්ගලයාය, එනම් අපගේ සියලු-ප්‍රඥාව සතු මැවුම්කරුවාණන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේය. “යෙහෝවඃවහන්සේ දෙවියන්වහන්සේ බව දැනගන්න. උන්වහන්සේ අප සෑදුසේක, අපි එසේ නොකළෙමු.”—ගීතාවලිය 36:9; 100:3, NW.
ඔබව අද්විතීය පුද්ගලයෙකු බවට පත් කිරීමට උපදෙස් පොතක් ලියනවාට සමානව කොතරම් ආශ්චර්යවත් ලෙස යෙහෝවඃ දෙවියන්වහන්සේ ඔබගේ වර්ධනය ගර්භාශය තුළ ක්‍රමලේඛනය කර තිබෙනවාද කියා කල්පනා කර බලන්න! “ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක,” යනුවෙන් බයිබල් ගීතිකාකරුවෙක් ලීවේය. “මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල . . . ඔබගේ ඇස්වලට මගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.” (ගීතාවලිය 139:13, 15, 16) ආශ්චර්යවත් ලෙස නිර්මාණය කරන ලද අපගේ මනුෂ්‍ය ශරීරය නිකම් අහම්බෙන් සිදු වූ යමක් නොවන බව නොකිවමනාය!
එහෙත්, සදාකාලයටම ජීවත්විය හැකි පරිදි යෙහෝවඃ දෙවියන්වහන්සේ අපව පරිපූර්ණ ලෙස මැවූසේක් නම්, අප මහලු වී මියයන්නේ මන්ද? පොළොව මත අලංකාර නිවසක දෙවියන්වහන්සේ තැබූ පළමු මිනිසා වන ආදම් මත පනවන ලද තහනම මගින් පිළිතුර සොයාගත හැක. දෙවියන්වහන්සේ ඔහුට මෙසේ ආඥා කළසේක: “නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය.”—උත්පත්ති 2:16, 17.
සිදු වූයේ කුමක්ද? සිය ස්වර්ගික පියාණන්ට කීකරු වනවා වෙනුවට, ආදම් අකීකරු වී, ගසෙන් ගෙඩි කෑමෙහි සිය භාර්යාව වූ ඒව හා එක් විය. ඔවුහු ආත්මාර්ථකාමී ලෙස කැරලිකාර දේවදූතයෙකුගේ ව්‍යාජ පොරොන්දුවකට ග්‍රහණය වූහ. (උත්පත්ති 3:1-6; එළිදරව් 12:9) එමනිසා දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූවාක් මෙන්, ඔවුහු මරණයට පත් වූහ. ආදම් සහ ඒවව සදාකල් ජීවත් විය හැකි ලෙස නිර්මාණය කර තිබුණද, මෙය දෙවියන්වහන්සේට කීකරුවීම මත රඳා පැවතිණ. අකීකරුවීම තුළින් ඔවුහු පව් කළහ. පසුව පව්කාරයන් ලෙස, ඔවුන්ගේ ශරීරයෙහි වූ මරණය ගෙන දෙන දෝෂය, ඔවුහු සියලුම ජනිතයන්ටද ලබා දුන්හ. මෙසේ “සියල්ලන් කෙරෙහි මරණයද පැමිණුණේය.”—රෝම 5:12; යෝබ් 14:4.
කෙසේවෙතත්, වයසට යෑමෙන් සහ මරණයෙන් ජයගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව මින් අදහස් නොවේ. සියලු ප්‍රඥාව සතු අපගේ මැවුම්කරුවාණන්ට ඕනෑම ප්රවේණි අක්රමිකතාවන් සුව කළ හැකි බවත්, අපගේ ජීවිත දිගටම සදාකල් පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිය සැපයීමට හැකි බවත් විශ්වාස කිරීම අපහසු යමක් නොවිය යුතුය. එහෙත් උන්වහන්සේ මෙය කරන්ට යන්නේ කෙසේද? සදාකල් ජීවිතය පිළිබඳ උන්වහන්සේගේ පොරොන්දු භුක්තිවිඳීමට අප කුමක් කළ යුතුද?