ඔබට සදාකල් ජීවත් විය හැකි අන්දම
අදදින මිනිසුන් භුක්තිවිඳිනවාට වඩා වැඩි දීර්ඝ කාලයක් ජීවත්වීමේ හැකියාව පැහැදිලිවම මනුෂ්‍ය ශරීරයට තිබෙන බැවින්, අප සදාකල් ජීවත් විය හැක්කේ කෙසේදැයි සොයාගැනීමට සමහරු ඔවුන්ගේ විශ්වාසය විද්‍යාව මත තබති. “ශරීරයේ ඇති රසායනික ද්‍රව්‍ය සහ ඒවා ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව වඩාත් සම්පූර්ණ දැනුමක් අප ලබාගන්නවාත් සමඟම, අපි ජීවිතයේ නියම තත්වය අනාවරණය කරන්නෙමු,” යනුවෙන් වෛද්‍ය ඇල්වින් සිල්වර්ස්ටයින් ලීවේය. “පුද්ගලයෙකු වයසට යන්නේ කෙසේදැයි . . . අපි තේරුම්ගන්නෙමු.”
කුමන ප්‍රතිඵලය සමඟද? එය “මනුෂ්‍ය ඉතිහාසයේ නව යුගයකට” මඟ පාදනු ඇතැයි සිල්වර්ස්ටයින් පැවසුවේය. “තවදුරටත් ‘මහලු’ අය එහි නොසිටිනු ඇත, මන්දයත් මරණය ජයගැනීමට ඉවහල් වන දැනුම සදාකාලික යෞවනභාවයට මඟ පාදනු ඇති බැවිනි.”
මනුෂ්‍යයන් මෙය ඉෂ්ට කරනු ඇද්ද? “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්,” යනුවෙන් බයිබලය උනන්දු කරයි. “ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.” (ගීතාවලිය 146:3, 4) අප දැක තිබෙන පරිදි, වයසට යෑම සහ මරණය සිදු කරන සහජ දෝෂය නිවැරදි කිරීමට පමණක් නොව, එය වෙන් කොට හඳුනාගැනීමට පවා මිනිසා අසමත් වී තිබේ. එය කළ හැක්කේ අපගේ මැවුම්කරුවාණන්ට පමණි.
එහෙත්, මිනිසා පොළොව මත සදාකල් ජීවත්වීම, ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ අරමුණද?
දෙවියන්වහන්සේගේ අරමුණ
යෙහෝවඃ දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍ය යුවළ ජීවත්වීම සඳහා තැබුවේ කොතැනද? භූමික පාරාදීසයක් තුළය. ඔවුන්ට ‘බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගැනීමට’ උපදෙස් දෙන ලදි. (උත්පත්ති 1:28) එසේය, දෙවියන්වහන්සේගේ අරමුණ වූයේ කාලයත් සමඟ මුළු පොළොවම ධර්මිෂ්ඨ මිනිස් පවුලක් විසින් උරුම කරගැනීමත්, සමාදානය සහ සන්තෝෂය ඇතුව එකට ජීවත්වීමත්ය.—යෙසායා 45:18.
ආදම්ට ඔහුගේ අකීකරුකම හේතුවෙන් මරණ දඬුවම නියම කරනු ලැබුවත්, මනුෂ්‍යයන්ව පාරාදීස පොළොවක් මත සදාකල් ජීවත් කරවීම සඳහා වූ දෙවියන්වහන්සේගේ මූලික අරමුණ වෙනස් වූයේ නැත. (උත්පත්ති 3:17-19) “මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක . . . කරන්නෙමි,” යනුවෙන් දෙවියන්වහන්සේ පවසනසේක. (යෙසායා 46:11; 55:11) පොළොව සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ අරමුණ වෙනස් වී නැති බව උන්වහන්සේ මෙසේ පැවසීමෙන් පෙන්නුම් කළසේක: “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.
අපගේ මැවුම්කරුවාණන් වශයෙන්, මනුෂ්‍යයන් වයසට යෑමට සහ මරණයට හේතුවන්නාවූ දෝෂය නිවැරදි කිරීමේ තත්වයක දෙවියන්වහන්සේ සිටිනසේක. උන්වහන්සේ මෙය කරන්ට යන්නේ කුමන පදනමක් මතද? පළමු මනුෂ්‍යයා වූ ආදම්ගෙන් එම දෝෂය උරුම වූ බැවින්, දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණ මනුෂ්‍ය ජීවිතය මිදීමේ මිලයක් ලෙස සපයා තිබෙන්නේ, “උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16; මතෙව් 20:28.
මෙලෙස, අපගේ පියා නොහොත් ජීවන දායකයා ලෙස මුල්ම ආදම්ට හිමි තැන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගන්නාසේක. බයිබලයේ යේසුස්වහන්සේව “අන්තිම ආදම්” ලෙස හඳුන්වා තිබෙන්නේ එනිසාය. (1 කොරින්ති 15:45) එනිසා පව්කාර වූ ආදම්ගේ දරුවන් ලෙස මරණයට නියම කරවනවා වෙනුවට, “සදාකාල පියාණෝ” වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන් ලෙස, සදාකාල ජීවිතය ලබාගැනීමට කීකරු මනුෂ්‍යයන් යෝග්‍ය බව සලකනු ලැබිය හැක.—යෙසායා 9:6.
ඇත්තෙන්ම, “සදාකාල රජ්ජුරුවන්වහන්සේ” සහ “අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේ” යෙහෝවඃ දෙවියන්වහන්සේය. (1 තිමෝති 1:17; එළිදරව් 15:3; කොලොස්සි 1:4) එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපගේ “සදාකාල පියාණෝ” ලෙස සපයනු ලබනවාට අමතරව, ‘ගැළවුම්කරුවාණෝද,’ ‘සමාදානයේ කුමාරයාණෝද’ වනසේක. (ලූක් 2:11) උන්වහන්සේගේ පියාණන්ගේ නියෝජිතයෙකු ලෙස, පොළොව මතට සාමය ගෙන ඒමට ක්‍රිස්තුස්වහන්සේ රාජකීය අධිකාරය ක්‍රියාත්මක කරනසේක.—ගීතාවලිය 72:1-8; 110:1, 2; හෙබ්‍රෙව් 1:3, 4.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පාලනය යටතේ, අහිමි වූ භූමික පාරාදීසය නැවත ලැබේ. යේසුස්වහන්සේ පැවසූ පරිදි මෙය සිදුවනු ඇත්තේ, “අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින” විටය. (මතෙව් 19:28) යේසුස්වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයෝ—සම්පූර්ණයෙන්ම 1,44,000දෙනෙක්—උන්වහන්සේ සමඟ පාරාදීස පොළොව පාලනය කරන්නෝය. (2 තිමෝති 2:11, 12; එළිදරව් 5:10; 14:1, 3) පාරාදීසයේ ජීවිතය භුක්තිවිඳීම තුළින් මිලියන ගණනක් එම ධර්මිෂ්ඨ පාලනයෙන් ප්‍රයෝජන ලබනු ඇත. ඔවුන් අතර යේසුස්වහන්සේගේ එක් පැත්තක මැරුණාවූද, “නුඹ මා සමඟ පාරාදීසයෙහි සිටින්නෙහිය,” යන පොරොන්දුව ලැබුවාවූ අපරාධකරුවාද සිටිනු ඇත.—ලූක් 23:43.
මෙලෙස, මැරුණාවූ අධර්මිෂ්ඨ අය පවා නැවත නැඟිටුවනු ලබන අතර, පොළොව මත සදාකාල ජීවිතය සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාවක් ඔවුන්ටද සපයනු ලබනවා ඇත. (ක්‍රියා 24:15) අසනීප, වයසට යෑම සහ මරණය ඉවත් කිරීම පිළිබඳව බයිබලය මෙසේ අලංකාර ලෙස විස්තර කරයි: “දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.
සදාකල් ජීවත් විය හැකි අන්දම
පොළොව හිමි කරගෙන එය මත සදාකල් වාසය කරන්නාවූ අය අතර ඔබටත් සිටීමට අවශ්‍ය වනු ඇති බවට කිසි සැකයක් නැත. එසේනම්, ඔබ පාරාදීසයක් මත සදාකල් ජීවත්වීම සඳහා ඇති අවශ්‍යතාවන් පිළිපැදිය යුතුය. සිය ස්වර්ගික පියාණන්ට කළ යාච්ඤාවේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මූලික අවශ්‍යතාවක් මෙලෙස ප්‍රකාශ කළසේක: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.”—යොහන් 17:3.
මෙම ජීවන-දායක දැනුම ලබාගැනීමට උපකාර කිරීම සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සතුටු වනු ඇත්තාහ. නිකම් ඔවුන්ගෙන් අසන්න, ඔවුන් අය කිරීමක් නොමැතිව, පහසු වේලාවක බැහැදැකීමෙන්, මනුෂ්‍යවර්ගයා ආත්මික සහ ශාරීරික පරිපූර්ණභාවයට නඟා සිටුවන්ට දෙවියන්වහන්සේ අරමුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කරනු ඇත. වයසට යෑම සහ මරණය උපදවන සහජ දෝෂය නිවැරදි කිරීමට අපගේ සර්ව බලධාරි මැවුම්කරුවාණන් සම්පූර්ණයෙන්ම සමර්ථ බව සහතික වන්න. ජීවිතය තවදුරටත් මෙතරම් කෙටි නොවන කාලය පැමිණේ, තවද එය ආසන්නයි. යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාට “සදාකාල ජීවනය” සමඟින් ආශීර්වාද කරනවා ඇත.—ගීතාවලිය 133:3.
[10වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තුස්වහන්සේගේ රාජකීය පාලනය යටතේ, වයසට යෑම සහ මරණය පරාජය කරනු ලබනවා ඇත