වෙඩි උණ්ඩයක් මගේ ජීවිතය වෙනස් කළේය
දෙමව්පියන් විසින් ඔවුන්ගේ දරුවන්ට කළ හැකි හොඳම දෙය නම්, මැවුම්කරුවාණන් පිළිබඳ දැනුම සහ උන්වහන්සේට සේවය කිරීමට ඇති කැමැත්ත ඔවුන් තුළ පැලපදියම් කිරීමයි. මම යෞවන වයසේ සිටි විට සිදු වූ ඛේදවාචකයක්, මෙම සත්‍යය අගය කිරීමට මට උපකාර කළා.
විසි වසරකට ඉහතදී සිදු වූ දෙය විස්තර කිරීමට පෙර, දකුණු එක්සත් ජනපදයේ හැදී වැඩුණු මගේ ජීවිතය පිළිබඳව ස්වල්පයක් පැවසීමට මට ඉඩ දෙන්න. මට ඉමහත් දුෂ්කරතා සමඟ කටයුතු කිරීමට හැකි වී තිබෙන ආකාරය කෙරෙහි එය කෙළින්ම බලපා තිබෙනවා.
මගේ ජීවිතය හැඩගැස්වීමට දායක වූ දෑ
වර්ෂ 1955දී ජාතිවාදී ලෙස වෙන් කරන ලද දකුණෙහි ඈත කොටසක් වන ඇලබාමා, බර්මිංහැම්හි මම උපත ලැබුවා. මට වයස අවුරුදු අටේදී, අපේ නිවසට නුදුරු පල්ලියක ඉරිදා පන්ති පවත්වන අතරතුරේදී, පල්ලිය සුනු විසුනු කරමින් බෝම්බයක් පිපුරුණා. මගේම වයසේම වගේ කළු ජාතික ළමයි භීතියට පත්ව කෑගසමින් එළියට දිව්වා; අනිකුත් අය ලේ ගලමින් සහ වැලපෙමින් සිටියා. සුදු ජාතිකයන් විසින් මරන ලද අය හතරදෙනෙක් සිටියා.
එවන් ඛේදවාචක දකුණෙහි කලාතුරකින් සිදු වූ සිදුවීම් නොවෙයි. ඊළඟ ගිම්හානයේදී මිසිසිපිහි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වැඩකරන්නන් හතරදෙනෙක් ඝාතනය කරනු ලැබුවා. අපි සියලුදෙනාටම බලපෑ ජාතික කැලඹීම් පැවති භයානක දින ඒවා වුණා.
මගේ අම්මා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු වූ අතර, තාත්තා 1966දී සාක්ෂිකරුවෙකු බවට පත් වුණා. ඉක්මනින්ම අපගේ මුළු පවුලම සාමයේ නව ලොව පිළිබඳ බයිබලය මත පදනම් බලාපොරොත්තුව අපගේ අසල්වැසියන් සමඟ බෙදාගත්තා. (ගීතාවලිය 37:29; හිතෝපදේශ 2:21, 22; එළිදරව් 21:3, 4) එක්දහස් නවසිය හැටගණන්වල අගභාගයේ ගිම්හාන ඍතු අතරතුර සෑම සෙනසුරාදාවකම දේශනා කිරීම පිණිස, අපි බර්මිංහැම්වලට පිටතින් ඇති සේවය නොකළ බල ප්‍රදේශවලට ගමන් කළා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳව හෝ අප දේශනා කළ රාජ්‍ය පණිවුඩය පිළිබඳව හෝ, එහි සිටි මිනිස්සු කිසිදා අසා තිබුණේ නැහැ. යෙහෝවා යන දෙවියන්වහන්සේගේ නාමය පවා ඔවුන් දැන සිටියේ නැහැ. (ගීතාවලිය 83:17) මෙම අර්බුදකාරි කාලවල් අතරතුර, දූෂිත පරණ ලෝකය වෙනුවට භූමික පාරාදීසයක් පිහිටුවීම පිළිබඳ යෙහෝවඃවහන්සේගේ අරමුණු ගැන මිනිසුන්හට කතා කිරීමෙන්, සැබවින්ම මම සතුටක් ලැබුවා.—ලූක් 23:43.
ජීවිතයේ ඉලක්කයක් තබාගැනීම
වර්ෂ 1969, දෙසැම්බර් මස යෙහෝවඃවහන්සේට වූ මගේ කැපවීම වතුර බව්තීස්මය මාර්ගයෙන් මම සංකේතවත් කළා. මම යෙහෝවඃවහන්සේට යාච්ඤා කරමින් ජීවිත කාර්යය ලෙස පූර්ණ-කාලීන සේවය ලුහුබැඳීමට ඇති මගේ අවංක කැමැත්ත පළ කර සිටියා. සති කිහිපයකට පසු, බර්මිංහැම් සිට කිලෝමීටර කිහිපයකට නුදුරින් ඇඩම්ස්විල්හි පිහිටි කුඩා සභාවකට උපකාර කිරීමට මගේ පියා පැවරුම් ලැබුවා. බල ප්‍රදේශය මෙලෙස වෙනස් වීම පුරෝගාමියෙකු හෝ පූර්ණ-කාලීන දේවසේවකයෙකු වීමට වූ මගේ කැමැත්ත වැඩි කළා. මගේ උසස් පාසැල් කාලය අතරතුර ලැබුණු සෑම අවස්ථාවකම, සෑම මසකම අඩු තරමින් පැය 75ක් පමණ වැය කරමින්, තාවකාලික පුරෝගාමියෙකු ලෙස මම දේවසේවයේ යෙදෙනවා.
උපාධිය ලැබීමෙන් පසු පූර්ණ-කාලීන දේවසේවයට සූදානම් කිරීමක් වශයෙන් යම් කුසලතාවක් ඉගෙනගැනීමට මම තීරණය කළා. නමුත් උසස් පාසැලේ අවසාන වසරේදී මම අභියෝගයකට මුහුණ දුන්නා. මා විශේෂ දස්කම් දැක්වූ ශිෂ්‍ය කණ්ඩායමක් අතර සිටි බැවින්, යම් පරීක්ෂණවලට භාජනවීම සඳහා මාව ළඟපාත විද්‍යාලයකට ගෙනයනු ලැබුවා. අනතුරුව උපදේශිකාවගේ කාර්යාලයට මා කැඳවනු ලැබුවා. ඈ මා පිළිබඳව උද්යෝගයෙන් මෙන්ම සන්තෝෂයෙන් සිටියා. “ඔබ හොඳින් සමත් වී තිබෙනවා!” ඈ හඬ නඟා කීවා. “ඔබ තෝරන ඕනෑම විදුහලකට ඔබට ඇතුල් විය හැකියි!” විගසින්ම මා විසින් ශිෂ්‍යත්ව අයදුම්පත් පිරවීම ආරම්භ කිරීමට ඈට අවශ්‍ය වුණා.
මම මෙයට සූදානම් නොවී සිටි නිසා, සිත්තැවුලට පත් වුණා. පූර්ණ-කාලීන දේවසේවකයෙකු ලෙස දේවසේවයෙහි නියැලීමටත්, ඒ සඳහා මට උපකාරයක් වන පිණිස අර්ධ-කාලීන බාහිර රැකියාවක් ලුහුබැඳීමටත් වූ මගේ සැලසුම් පිළිබඳව මා විගසම ඈට තේරුම් කර දුන්නා. පසුව අනිකුත් ක්‍රිස්තියානීන් කර තිබෙන්නාක් මෙන්, විදේශීය රටක මිෂනාරිවරයෙක් ලෙස සේවය කිරීමට මට සමහරවිට හැකි වේවි කියාද මම ඇයට පැවසුවා. නමුත් ඈ සිටියේ ඇයට මා කිවූ දේ නොඇසුණාක් මෙන්. මට විද්‍යා උපාධිය කරන මෙන් යෝජනා කළ ඇය කියා සිටියේ, මා ප්‍රාදේශීය විශ්වවිද්‍යාලයකට ගියා නම් විද්‍යා මධ්‍යස්ථානයක මට රැකියාවක් සොයා දෙන බවයි.
“ඔබගේ ආගම සති අන්ත සඳහා සීමා කරන්න ග්ලෝරියා,” යයි ඈ පැවසුවා, “ඔබගේ දෙමව්පියෝ තවමත් ඔබ ගැන ආඩම්බරයෙන් සිටියි.” මම පූර්ණ-කාලීන සේවයට යොමු වුණේ මගේ දෙමාපියන්ගේ පෙලඹීම්වල ප්‍රතිඵලයක් වශයෙන් කියා ඇය අනුමාන කළ නිසා, එය මට කරන නිග්‍රහයක් සේ මට හැඟුණා. මෙම විශිෂ්ට අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමෙන්, හරියටම මම මුළු කළු ජාතියටම පිටුපාමින් සිටි බව හැඟෙන්ට සැලැස්වීමෙන්, ඇය මට බලපෑම් කරන බව හැඟීමට සැලැස්වුවා. කෙසේවෙතත්, මම මගේ ස්ථාවරයේ රැඳී සිටියා. උපාධියෙන් පසු, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලුහුබඳිනවා වෙනුවට, ලේකම්වරියක් ලෙස අර්ධ-කාලීන රැකියාවක් කිරීමට මම ආරම්භ කළා.
මම පුරෝගාමී සහකාරියක සෙව්වත්, කිසිවෙක් සිටියේ නැහැ. අපගේ සභාව බැහැදැකීමට සංචාරක අවේක්ෂකයෙකු පැමිණි විට, මම මගේ ප්රශ්නය ගැන ඔහුට පැවසුවා. “ඔබට සහකාරියක ඕනෑ නැහැ,” යයි ඔහු පැවසුවා. මගේ බාහිර රැකියාවේ වගකීම් ඉටු කිරීමට සහ පුරෝගාමී සේවයේ යෙදීමට සෑහෙන තරම් කාලය තිබෙන පරිදි ඔහු කාලසටහනක් කෙටියෙන් සාදා දුන්නා. කාලසටහන අංග සම්පූර්ණයි කියා මට සිතුණා. මම කොතරම් සතුටින් පිනා ගියාද කිවහොත්, 1975 පෙබරවාරි 1වන දින මගේ පුරෝගාමී සේවය ආරම්භ කරන දිනය ලෙස වෙන් කර තැබුවා.
කෙසේවෙතත්, දින කිහිපයකට පසු, 1974 දෙසැම්බර් මස 20වන දින වෙළඳ සැලක සිට නිවස බලා ඇවිදගෙන එන අතරතුර, නියමිත මාර්ගයෙන් ඉවත්ව ගිය වෙඩි උණ්ඩයකින් මම පහර ලැබුවා.
මරණය අබියස
මම බිම වැටී සිටින විට, වචනානුසාරයෙන්ම මගේ ජීවන රුධිරය ඉවතට ගලනවා මට දැක ගත හැකි වුණා. මම මැරෙන්ට යනවායයි සිතුවා මට මතකයි. එවන් විනාශකාරි අනතුරක් සම්පූර්ණයෙන්ම යෙහෝවඃවහන්සේට සේවය කිරීම වටා කේන්ද්‍රගත වූ පවුලකට පවා සිදුවිය හැකි බව මගේ මවට තේරුම් කර දීමට සෑහෙන තරම් කාලයක් ජීවත්වීමට මට දෙන්න කියා මම යෙහෝවඃවහන්සේගෙන් ඉල්ලුවා. “කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව,” යන බයිබල් පදය අප හොඳින් දැන සිටියත්, එවන් දරුණු ඛේදවාචකයක් සමඟ කටයුතු කිරීමට අප සූදානම්ව සිටියා කියා මම සිතන්නේ නැහැ.—දේශනාකාරයා 9:11.
සුෂුම්නාවේ ස්නායුවලට දරුණු ලෙස හානි කරමින් වෙඩි උණ්ඩය මගේ බෙල්ලේ වම් පැත්තට වැදුණා. එය මගේ කතා කිරීමට සහ හුස්ම ගැනීමට බලපා තිබුණා. දින දෙකකට වඩා මම ජීවත් වේයයි බලාපොරොත්තු වුණේ නැහැ. ඉන්පසු ඔවුන් “සති දෙකක්” කියා පැවසුවා. නමුත් මම ජීවතුන් අතර සිටියා. නිව්මෝනියාව වැළඳීම හේතුවෙන්, වඩාත් සංකීර්ණ ශ්වාසකයකට මා මාරු කරනු ලැබුවා. කාලයත් සමඟ මගේ තත්වය ස්ථාවර වීමෙන්, නැවත යථා තත්වයට පත් කිරීමට සැලසුම් යොදනු ලැබුවා.
පුනරුත්ථාපන පරීක්ෂා
පළමු සති කිහිපය තුළ මට බලාපොරොත්තු රහිත බවක් හැඟුණේ නැහැ. මා හිරිවැටී සිටින්නාක් මෙන් දැනුණා. බර්මිංහැම්හි පිහිටි ස්පාඤ්ඤ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සෑම කෙනෙකුම කරුණාවන්ත වූ අතර, මා වෙනුවෙන් මහන්සි වී වැඩ කළා. මගේ ජීවිතයේ ඉතිරි කාලයටම මා සම්පූර්ණයෙන්ම අංශභාගියෙකු වී, දිගා වී සිටියි කියා වෛද්‍යවරුන් බලාපොරොත්තු වන බව කාර්ය මණ්ඩලයෙන් මම දැනගැනීමට පටන්ගත්තා. C2 මට්ටමේ සිව් බාහු අංශභාගියෙකු ලෙස මාව වර්ග කරනු ලැබුවා, මින් අදහස් වූයේ කෙඳිරීමට වඩා වැඩියෙන් මට කතා කළ නොහැකිව, ජීවිතයේ ඉතිරි කාලය මම ශ්වාසකයකට සම්බන්ධ වීමට සිදු වෙයි කියා ඔවුන් සිතූ බවයි.
වෛද්‍යවරුන් වාහිනී නාළයක් ඇතුල් කර තිබූ අතර, මෙය තුළින් මම හුස්ම ගත්තා. පසුව පෙණහලු පිළිබඳ විශේෂඥ මට කතා කිරීමට ඉඩ සැලසේද කියා බැලීමට වඩාත් කුඩා නළයක් ඇතුල් කළා. කෙසේවෙතත්, ප්‍රමාණය කිසිදු වෙනසක් ඇති කළේ නැහැ. එනිසා මට කතා කිරීමට නොහැකි වූයේ ස්නායුවලට සිදු වූ හානි නිසා බව ඔවුන් නිගමනය කළා. එම කාලය වන විට මම විෂාදයට පත් වන්ට පටන්ගත්තා, එවගේම මට මොනවා කිව්වත් මට සහනයක් ලැබුණේ නැහැ. සෑම කාරුණික වචනයක්ම මට අපහාස කරන්නාක් මෙන් වුණා. ඒ නිසා මම ගොඩාක් ඇඬුවා.
ඔබගේ ආත්මිකත්වයට යම් දෙයක් බාධා කරන විට, කාරණා දෙකකට උපකාර කළ හැකි බව මම අවබෝධ කරගත්තා—එනම් යෙහෝවඃවහන්සේට කරන අඛණ්ඩ යාච්ඤාව සහ අනිකුත් අයට බයිබල් සත්‍යයන් පැවසීමට දේවසේවයේ මුළුමනින්ම නිරතවීමයි. (හිතෝපදේශ 3:5) හොඳයි, යාච්ඤා කිරීම පහසු දෙයක් වුණා. මට එය කළ හැකි වුණා. නමුත්, මගේ තත්වය අනුව මම වඩාත් දේවසේවයෙහි ක්‍රියාශීලී වන්නේ කොහොමද?
මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල කලාප සහ එවිට අපි දේවසේවයෙහි පාවිච්චි කළ අනිකුත් බයිබල් අධ්‍යයන උපකාරක එනම් සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය, සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය ඔබට ලබාගත හැක්කේ කෙසේ ද? සහ ඉස් දිස් ලයිෆ් ඕල් දෙයාර් ඉස්? යන පොත් ගෙනෙන්ට මම මගේ පවුලේ අයට කිව්වා. මේවා මගේ කාමරයේ විවිධ තැන්වල තබා තිබුණා. කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ නිතර මා දෙස බලා අනුකම්පා සහිතව මෙසේ අසනවා: “දුව, මට ඔබට කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවාද?”
මගේ ඇස් යම් පොතක් වෙත යොමු කොට මගේ වචනවලින් මුමුනා එම පුද්ගලයාට මා වෙනුවෙන් කියවන්න කියා කියනවා. එම පුද්ගලයා කියවීමට ගන්නා කාලය මගේ දේවසේවයේ පැය ලෙස මා ගණන් ගන්නවා. මා වෙනුවෙන් කියවන එම පුද්ගලයාට මගේ ස්තුතිය පෙන්වීම පිණිස බොහෝවිට පොතක් හෝ සඟරාවක් ත්‍යාගයක් ලෙස දෙනවා. මේවා මගේ තබා යෑම් ලෙස මා ගණන් ගන්නවා. යම් පුද්ගලයෙක් දෙවන වරටත් මා වෙනුවෙන් කියවූ විට, එය නැවත බැලීමක් ලෙස ගණන් ගන්නවා. මගේ බොහෝ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියෝ හද උණුසුම් කරන කාඩ්පත්, මල් සහ බැහැදැකීම් මෙන්ම දේවසේවයෙහි මෙලෙස සහභාගි වීමටද මාව දිරිගැන්වූවා.
පුනරුත්ථාපනය කර මාස කිහිපයකට පසු, මගේ ඔළුව ටිකක් එසවීමට මට හැකි වුණා. නමුත් මම වඩාත් වැඩියෙන් එහා මෙහා යෑමට අධිෂ්ඨාන කරගත්තා. ශාරීරික සහ වෘත්ති චිකිත්සාව සඳහා වැඩි වේලාවක් ඉල්ලා සිටියා. රෝද පුටුවක මා දමන ලෙස ඉල්ලා සිටි විට, ඉඳ ගැනීමට තරම් ප්‍රමාණවත්ව මගේ ඔළුව ඔසවන්ට මට බැරි නිසා, එය කිරීමට නොහැකි බව මට කියනු ලැබුවා. කෙසේවෙතත් උත්සාහ කර බලන්න කියා මම ඔවුන්ට කිව්වා.
වෛද්‍යවරුන් විසින් අවසරය දුන් පසු, මා බාරව සිටි චිකිත්සිකාවෝ මට රෝද පුටුවට නැඟගැනීමට උපකාර කළා. පපුවේ සිට ඉන දක්වාත්, කළවය සිට දණහිස දක්වාත් සහ දණහිස සිට පාදය දක්වාත් ඔවුන් මා ඉලාස්ටික් වෙළුම් පටිවලින් එතුවා. මම කෙම්කඳක් මෙන් පෙනුණා. මගේ රුධිර පීඩනය ස්ථාවරව පවතිනවාදැයි ස්ථිර කරගැනීමට සහ කම්පනයෙන් වළක්වා ගැනීමට මෙය පූර්වෝපායක් වුණා. එය ක්‍රියාත්මක වුණා! කෙසේවෙතත්, එක් වතාවකට පැයක් පමණක් ඉඳගැනීමට මට අවසර දෙනු ලැබුවා. එහෙත් දින 57ක් පුරා දිගාවී සිටීමෙන් පසු, මම ඉඳගනිමින් සිටියා!
අන්තිමේදී නිවසේ!
අවසානයේදී, දීර්ඝ මාස පහකට පසු, මගේ වාහිනී නළය ගලවා, නිවසට යෑමට මට අවසර දෙනු ලැබුවා. එදින 1975 මැයි මසයි. ඉන්පසුව, ප්‍රතිකාර සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මම ගොස් ආපසු පැමිණෙනවා. වර්ෂ 1975, ගිම්හානය තරම් මුල් කාලයේදී, ක්‍රිස්තියානි දේවසේවය සඳහා මම මගේ රෝද පුටුවේ යෑමට පටන්ගත්තා. මට වැඩි යමක් කළ නොහැකි වුණත්, අඩුතරමින් මම සාක්ෂිකාර මිතුරන් සමඟ එහි සිටියා.
වර්ෂ 1976 මුල්භාගයේදී පමණ, මගේ පුනරුත්ථාපනය සඳහා අවශ්‍ය අරමුදල් සපයමින් සිටි වෘපුස් (වෘත්තීය පුනරුත්ථාපන සේවා) මගෙන් ඉල්ලා සිටියා යළි තක්සේරු කිරීමකට භාජන වන්න කියා. මම දියුණුවක් ලබනවා කියා මට සිතුණා. දත්වලින් පින්සලයක් රඳවාගෙන චිත්‍ර ඇඳීමට මම ඉගෙනගනිමින් සිටියා. ඒ ආකාරයෙන්ම කෝටුවක් පාවිච්චි කරමින් යතුරු ලියනය භාවිත කිරීමට සහ පැන්සලයකින් සමහරුන්ට ලිපි ලිවීමට පවා මම පටන්ගත්තා. මගේ ප්රතිකාරවලින් බොහොමයකට වෘපුස් ගෙවීම් කළ බැවින්, මට රැකියාවක් සොයාගැනීම සඳහා මාර්ගයක් සෙවීමට සහ මා සමාජයේ ඵලදායී සාමාජිකයෙකු වීමට ඔවුන්ට අවශ්‍ය වුණා.
මුල් කාලයේදී උපදේශකවරයා කාරුණික මෙන් පෙනුණා, නමුත් ඔහු මට ශබ්ද නඟා කතා කිරීමට උත්සාහ කරන්ට කියා ඉල්ලා සිටින්ට පටන්ගත්තා. ඒ වන විට මට කෙඳිරීමට වඩා වැඩියෙන් යන්තමින් කතා කිරීමට පමණක් හැකිව තිබුණා. ඉන්පසු ඔහු මෙසේ ඇසුවා: “ඔබට කෙළින් ඉඳගන්ට බැරිද?”
මට නොහැකි වුණා.
“එක් ඇඟිල්ලක් පමණක් සොලවන්න,” යයි ඔහු පැවසුවා.
එය පවා කිරීමට මට නොහැකි වූ විට, ඔහු ඔහුගේ පෑන ගෙන මේසය මතට හයියෙන් ගසා බලාපොරොත්තු රහිත ශබ්දයකින් මෙසේ පැවසුවා: “ඔබගෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ!”
මට නිවසට ගොස්, ඔහුගෙන් ඇමතුමක් සඳහා බලා සිටින්නැයි කියනු ලැබුවා. ඔහුගේ විසඳාගැනීමට අපහසු තත්වය මම තේරුම්ගත්තා. ස්පාඤ්ඤ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මට පෙර සිටි කිසිම රෝගියෙකුට මට මෙන් බරපතළ දුබලතා තිබුණේ නැහැ. එහි පාවිච්චි කරන උපකරණවල වටිනාකම ඉතා අධිකව තිබුණා, තවද මා මෙන් දුබල රෝගියෙකු සමඟ කළ යුතු දෑ සම්බන්ධයෙන් තීරණගැනීමට වගකිව යුතු පුද්ගලයාට මාර්ග දර්ශක තිබුණේ නැහැ. එහෙත්, දැනටමත් මට එලෙස හැඟීමට පටන්ගෙන තිබුණ නිසා, ප්‍රයෝජන රහිතයි කියා මට පැවසීම වේදනා සහිත වුණා.
දින කිහිපයකට පසු, මම වැඩසටහනට තවදුරටත් සම්බන්ධ නැහැ කියා පවසමින් ඇමතුමක් ලැබුණා. මම අතරමංවෙලා මෙන් හැඟුණා. එය විෂාදයේ තවත් ප්‍රහාරයකට ලක්වීමකට හේතු වුණා.
විෂාදයෙන් ජයගැනීම
එවිට මට ගීතාවලිය 55:22හි මෙසේ පවසන බයිබල් පදය මතක් වුණා: “නුඹේ බර ස්වාමීන් පිට තබව, උන්වහන්සේ නුඹ උසුලනසේක.” මම සැලකිලිමත් වූ එක් දෙයක් නම් මගේ දෙමව්පියන් මත පැටවුණු බර වූ අතර, මේ පිළිබඳව මම යාච්ඤා කළා.
මගේ විෂාදිත තත්වය මට ශාරීරිකව අහිතකර ලෙස බලපෑවා, එනිසා ගිම්හානයේ දිස්ත්‍රික් සමුළුව අතරතුර මට ඉඳගැනීමට නොහැකි වුණා. මම දිගාවී වැඩසටහනට ඇහුම්කන් දුන්නා. උපකාරික පුරෝගාමී සේවය යනුවෙන් පවසනු ලබන සේවය 1976දී හඳුන්වා දෙනු ලැබූ අතර, එය මගේ අවධානය හසු කරගත්තා. දවසට පැය දෙකක් වූ සාමාන්‍යයක් පවත්වමින්, උපකාරික පුරෝගාමී සේවය කිරීම සඳහා මසකට දේවසේවයෙහි පැය 60ක් පමණක් වැය කිරීමට අවශ්‍ය වුණා. එය මට කිරීමට හැකියයි සිතුණා. පසුව, මම මගේ නංගී වන එලිසබෙත්ගෙන් මට උපකාරික පුරෝගාමී සේවය කිරීමට උපකාර කළ හැකිදැයි ඇසුවා. මම විහිලු කරනවා කියා ඇය හිතුවා, එහෙත් අගෝස්තු මස පුරෝගාමී සේවය කිරීම සඳහා මම අයදුම් පත භාර දුන් විට ඈද එසේ කළා.
මගේ පෞද්ගලික අවශ්‍යතා බලා කියාගැනීමට එලිසබෙත් පාන්දරින්ම නැඟිටිනවා. ඉන්පසු අපි දුරකථන සාක්ෂිදැරීම ආරම්භ කරනවා. මිනිසුන්ට දුරකථනයෙන් ඇමතීම සහ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍ය පාලනය යටතේ රැස් කර තබා ඇති ආශීර්වාද පිළිබඳව කතා කිරීම මෙයට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම සැනසිල්ල අවශ්‍ය මනුෂ්‍යයන්ට අපි ලියුම්ද ලිව්වා. සති අන්තවල මගේ රෝද පුටුවෙන් මගේ පවුලේ අය හෝ මිත්‍රයන් මාව ගෙයින්-ගෙට සේවයට ගෙන යනවා. සැබවින්ම, මට මගේ අත් පාවලින් කිසිම ප්‍රයෝජනයක් නොතිබෙන නිසා, රාජ්‍ය පණිවුඩය කතා කිරීම, ශුද්ධ ලියවිලි උපුටා දැක්වීම හෝ බයිබලයෙන් කියවීමට අන් අයගෙන් ඉල්ලා සිටීම හැර වෙන කිසිවක් කිරීමට මට නොහැකි වුණා.
මාසයේ අන්තිම දවස වන විට, මට අවශ්‍ය පැය 60 ගැනීම සඳහා තවත් පැය 6ක් අවශ්‍යව තිබුණා. මට උපකාර කිරීමට එලිසබෙත් නොසිටි නිසා, මට කෙළින් ඉඳගැනීමට හැකි වන පිණිස මගේ රෝද පුටුවේ පිටුපස හරිගස්වන්ට කියා මම මගේ අම්මාගෙන් ඉල්ලා සිටියා. එවිට, මගේ මුඛ කෝටුව උපයෝගි කරගනිමින්, පැය 6කට ලියුම් යතුරු ලියනය කළා. අහිතකර බලපෑම්වලින් පීඩා වින්දේ නැහැ! මා දන්නේ ඇත්තෙන්ම විඩාවට පත් වූ එක විතරයි!
මගේ යාච්ඤාවට පිළිතුරු
ඊළඟ සතියේ, මගේ රෝද පුටුවේ කෙළින් ඉඳගෙන පරික්ෂාවක් සඳහා මම ස්පාඤ්ඤ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගියා. වසර මුලදී වැඩසටහනෙන් මා ඉවත් කළ දා පටන් මා නොදැක්ක මගේ වෛද්‍යවරයා, මා දැක පුදුමයට පත් වුණා. මගේ දියුණුව ඔහුට විශ්වාස කරගත නොහැකි වුණා. “ඔබ කරමින් සිටියේ කුමක්ද?” යනුවෙන් ඔහු ඇසුවා. මම දේවසේවය පිළිබඳ කියා ඉවර කරන්ට ඉස්සෙල්ලාම ඔහු මට රැකියාවක් ඉදිරිපත් කළා.
ඔහුගේ සහයිකාව මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළ අතර, දේවසේවයෙහි මා කරමින් සිටි දෙය අසා පුදුමයට පත් වුණා. ආදර්ශ රෝගියා වැඩසටහනයයි ඔවුන් පවසන දෙයට මට සහභාගි වන්ට කියා ඈ මගෙන් ඉල්ලා සිටියා. මෙහිදී මා උපකාර කරන්නාවූ තවත් රෝගියෙක් සමඟ මාව එකතු කරනු ලබනවා. අපගේ දේවසේවයට යොමු කරමින් ඈ මෙසේ පැවසුවා: “කොහොම වුණත්, ඕගොල්ලන්ගේ මිනිස්සු කරන්නේ මේක තමා, එහෙම නේද?” මා මෙන් දුබල තවත් රෝගියෙකුට උපකාර කිරීමට මම පැවරුම් ලැබුවා.
කෙසේ හෝ මගේ පවුලේ උපකාරය ඇතුව දේවසේවයේ මම ඉටු කරමින් සිටි දෙය පිළිබඳව ආරංචි වෘපුස් වෙත ළඟා වුණා. ඔවුන්ගේ සිත් කොතරම් ඒත්තුගනු ලැබුවාද කිවහොත්, මා නැවත වැඩසටහනට ඇතුළත් කරගැනීමට සුදුසු බව නිර්දේශ කරනු ලැබුවා. මගේ ක්‍රියාකාරකම් කරගෙන යෑමට අවශ්‍ය විශේෂ උපකරණ සහ සත්කාරයට ගෙවීම් කිරීම සඳහා මගේ පවුලට අරමුදල් ලැබීම මින් අදහස් කළා. දෙවියන්වහන්සේ මගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා කියා මට සිතුණා.
මගේ තත්වය ස්ථාවර වේ
මගේ ශාරීරික සුවවීම කොතරම්ද කියා කිවහොත් මගේ ඔළුව සොලවන්ට, එය හරවන්ට සහ ඉඳගැනීමට මට හැකි වුණා. සම්පූර්ණයෙන්ම වාගේ මගේ කතා කිරීමේ හැකියාව මට යළිත් ලැබීම ගැන ස්තුතිවන්ත විය හැක. මුඛ කෝටුවක් උපයෝගි කරගනිමින් ලිවීමට, යතුරු ලියනය කරන්ට, විශේෂ දුරකථන යන්ත්‍රය ක්‍රියා කරවන්ට සහ චිත්‍ර ඇඳීමට මට හැකියි. මගේ චිත්‍ර සමහරක් මුඛ-පින්තාරු කිරීමේ ප්‍රදර්ශනවලට ඇතුළත් කර තිබෙනවා. නිකටින් පාලනය කර පැදවිය හැකි මෝටරයක් සවි කරන ලද රෝද පුටුවක් මගින් මම එහා මෙහා යනවා. ආරෝහක බලයෙන් වෑන් රථයට මගේ රෝද පුටුව ඔසවනු ලබන අතර, මෙමගින් මට වුවමනා ඕනෑම තැනකට යා හැකියි.
ශ්වාසක ප්‍රශ්න බොහොමයක් මට ඇති වී තිබෙනවා—නිව්මෝනියාව නිරන්තර තර්ජනයක්. සමහරවිට රාත්රියේදී මට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. වර්ෂ 1984දී, ආසාදනයක් නිසා ඇති වූ සංකීර්ණතා හේතුවෙන් මා මරුමුවෙන් අනුනවයෙන් බේරුණා. මට කිහිප වතාවකටම රෝහල්ගත වන්ට සිදු වුණා. නමුත්, එදා පටන් මගේ සෞඛ්‍යය පෙරට වඩා දියුණුයි. වර්ෂ 1976 ආරම්භයත් සමඟ වසරකට වතාවක් හෝ දෙවතාවක් මට උපකාරික පුරෝගාමී සේවය කිරීමට හැකි වුණා. නමුත් මට සෑහීමක් හැඟුණේ නැහැ. යෞවනියක් වශයෙන් මට තිබුණ සැලසුම්, වෙඩි උණ්ඩය මගින් අවහිර වූ ආකාරය පිළිබඳව මම සිතන්ට වුණා.
මගේ ඉලක්කය ඉටු වේ
අවසානයේදී මගේ ළමා කාලයේ ආශාව ඉෂ්ට කරගනිමින් 1990, සැප්තැම්බර් මස 1වන දින, මම පූර්ණ-කාලීන පුරෝගාමීන්ගේ පෙළට සම්බන්ධ වුණා. ශීත ඍතුවේ මාසවලදී, ශීතය පවතින විට ලිපි ලිවීමෙන් සහ විශේෂ දුරකථනය පාවිච්චි කිරීමෙන් මම සාක්ෂිදරනවා. එහෙත් කාලගුණය වඩාත් උණුසුම් අතට හැරෙන විට, ගෙයින්-ගෙට දේවසේවයේද මම සහභාගි වෙනවා. වර්ෂය තුළ විශේෂ දුරකථන යන්ත්‍රය පාවිච්චි කිරීමෙන් මම බයිබල් පාඩම් පවත්වනවා.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සහ යෙහෝවඃ දෙවියන්වහන්සේ මාව මෙම රෝද පුටුවෙන් ගළවාගන්නාවූ පාරාදීස පොළොවේ ආශ්චර්යවත් අනාගතය දෙස මම ඕනෑකමින් බලා සිටිනවා. ප්‍රබෝධවත් සෞඛ්‍යය සහ “කොරා මුවෙකු මෙන් පැන” යෑමට ලැබෙන හැකියාව පිළිබඳ උන්වහන්සේගේ පොරොන්දුවලට මම සෑමදාම යෙහෝවඃවහන්සේට ස්තුති කරනවා. (යෙසායා 35:6) මට නැති වූ කාලය පිරිමසාගැනීමට හැකි වන තෙක් මම පුළුවන් තරම් දුවන්ට යනවා, ඉන්පසු අශ්වයෙකු පිට නැඟ යන්නේ කෙසේදැයි ඉගෙනගන්ට යනවා.
එම කාලය පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන්, යෙහෝවඃවහන්සේගේ ප්‍රීතිමත් ජනයන්ගෙන් කෙනෙකු වීමෙනුත්, දේවසේවයෙහි පූර්ණ ලෙස සහභාගි වීමෙනුත්, විස්තර කළ නොහැකි ප්‍රීතියක් දැන් පවා මම භුක්තිවිඳිනවා.—ග්ලෝරියා විලියම්ස් පැවසූ පරිදි.
[15වන පිටුවේ පින්තූර]
මගේ ක්‍රිස්තියානි දේවසේවය—ගෙයින් ගෙට යෑම, දුරකථනයෙන් සාක්ෂිදැරීම සහ ලිපි ලිවීම
[16වන පිටුවේ පින්තූරය]
මුඛ පින්තාරු ප්‍රදර්ශනවලට මගේ චිත්රද ඇතුළත් කර තිබෙනවා