ලෝකය දෙස බැලීම
පුරාවිද්‍යාත්මක සොයාගැනීමක්
වර්ෂ 1922දී ටූටන්කාමන් රජුගේ වස්තුවෙන් පිරුණු සොහොන් ගෙය සොයාගැනීමෙන් පසු, ඊජිප්තුවේ රජවරුන්ගේ මිටියාවතේ තවත් විශාල සොයාගැනීම් ඉතිරි වී නැති බව, පුරා විද්‍යාඥයන්ට බොහෝ කලක් තිස්සේ හැඟී ගොස් තිබිණ. එහෙත් එම මිටියාවතේ විශාලතම හා වඩාත් සංකීර්ණ විය හැකි අලුත් සොහොනක් සොයාගෙන තිබේ. අඩුම තරමින් කුටීර 67ක් සහ මුළු කුටීර සංඛ්‍යාව 100 ඉක්මවා යෑමට මඟ පෑදිය හැකි පහත් මට්ටමක් ඇති බවට සැක කරන මෙය, IIවන රම්සෙස් විසින් සිය පුත්‍රයන් සඳහා සුසාන භූමියක් වශයෙන් තනන ලද යමක් බව පෙනේ. පොදු යුගයට පෙර 13වන සියවසේදී අවුරුදු 66කට පාලනය කළ IIවන රම්සෙස්, පුත්‍රයන් 52දෙනෙකු ඇතුළුව දූ දරුවන් 100දෙනෙකුට වැඩි සංඛ්‍යාවකගේ පියා වූයේය. පිරිමි දරුවන් දෙදෙනෙකුගේ සොහොන් දැනටමත් සොයාගෙන ඇත. මෙම අලුතෙන් සොයාගෙන තිබෙන සොහොනේ, ආමෙන්-හර්-චොප්ෂෙෆ් නමැති ඔහුගේ කුලුඳුලා ඇතුළුව, පුත්‍රයන් හතරදෙනෙකුගේ නම් සොයාගත් අතර, එහි සෙස්සන්ද වළලා තිබෙන බවට කල්පනා කරයි. ඉශ්රායෙල්වරුන්ගේ නික්මයාම සිදු වන කාලයේදී සිටි මිසරයේ ඵාරාවෝ IIවන රම්සෙස් රජුයයි සමහරුන් අනුමාන කරන බැවින්, මෙය ආගමික විශාරදයන්ව කුතුහලයට පත් කර තිබේ. කෙසේවුවද, වෙනත් විශාරදයෝ නික්මයාමේ කාලය පොදු යුගයට පෙර 1513දී සිදු වූ බව පෙන්වති.
“අනතුරුදායක ව්‍යාපාරය”
“ආකර කර්මාන්තය එහි ස්වභාවයෙන්ම අනතුරුදායක ව්‍යාපාරයක් වන අතර, රටේ ආර්ථිකය සඳහා වැදගත් දෙයකි,” යනුවෙන් ජෝහැනිස්බර්ග් වීකෙන්ඩ්ස්ටාර් සඳහන් කරයි. දකුණු අප්‍රිකාවේ රන් පතලක ටොන් 12ක පීලි එන්ජිමක් “ආරක්ෂාව සඳහා සවි කර තිබූ උපක්‍රම තුනක් බිඳ දමා, අනතුරුව මීටර් 2,103ක් දිග පතුවළක් දිගේ පහතට වැටී,” පතල්කරුවන් 104දෙනෙකු සිටි “ආරෝහක මැදිරය කුඩුපට්ටම් කළ” විට එය කෙතරම් අනතුරුදායකද කියා කැපීපෙනෙන්ට සලස්වන ලදි. කිසිවෙක් ජීවිත ගළවා නොගත්තෝය. “අවාසනාවකට මෙන්, එවන් ඛේදවාචක බොහෝ කලක සිට දකුණු අප්‍රිකාවේ පොදුවේ දක්නට ලැබෙන බව,” වීකෙන්ඩ්ස්ටාර් පවසයි. “මෙම ශතවර්ෂයේ පළමු වසර 93 තුළ වැඩකරුවෝ 69,000ක් පමණ ප්‍රමාණයක් මරුමුවට පත් වූ අතර, මිලියනයකට වැඩි ප්‍රමාණයක් අපගේ ආකරවල තුවාල ලැබුවෝය.”
යුද්ධයේ සහ නොසන්සුන්කමේ වකවානුව
“විසිවන ශතවර්ෂය සම කළ නොහැකි අතිකෲරභාවයේ කාලපරිච්ඡේදයක් ලෙස සලකනු ඇති බව සමහර ඉතිහාසඥයෝ විශ්වාස කරති,” යනුවෙන් ද නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කරයි. “වර්ෂ 1914 සිට 1989 දක්වා වසර 75ක වැඩිවෙමින් පවතින කාලපරිච්ඡේදය තුළ ලෝක යුද්ධ දෙකක් සහ සීතල යුද්ධයක් හටගෙන ඇති අතර, එය ඉතිහාසඥයන් විසින් තනි, නිශ්චිත වකවානුවක්, එනම් ලෝකයෙන් බහුතරයක්, යුද්ධ සටන් කරමින්, යුද්ධයෙන් නැවත යථා තත්වයට පැමිණෙමින් හෝ යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටි, වෙන්කොට දැක්විය හැකි කාලයක් ලෙස දක්නා ලදි.” ද වොෂිංටන් පෝස්ට්හි ලිපියක් මෙසේ එකඟ වේ: “අපගේ 20වන ශතවර්ෂයේ යුද්ධ, යුද්ධ කරන්නන්ට සහ සාමාන්‍ය පුරවැසියන්ට විරුද්ධව ‘සම්පූර්ණ යුද්ධ’ ලෙස පැවත තිබේ,” යනුවෙන් එය පවසයි. “යුදෙව්වරුන්ගේ ජනඝාතන ඇතුළුව ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මිලියන දහස් ගණන්වලින් දැක්විය හැක. මේවා හා සැසඳූ කල, කලින් ශතවර්ෂවල සිදු වූ ම්ලේච්ඡයන්ගේ යුද්ධ ඉතා සුළු ඒවාය.” සිවිල් කැරලි ගැසීම්ද ඝාතනය වූ සංඛ්‍යාව තවත් වැඩිවීමට සලස්වා තිබේ. මරණයට පත් වූයේ කීදෙනෙක්ද? “සූබිග්නෙව් බ්රෙෂින්ස්කිගේ තක්සේරු කිරීමක් අනුව, 1914 සිට මියගිය විශාල සංඛ්‍යාවේ එකතුව මිලියන 197ක් වන අතර, ‘මෙය 1900දී ලෝක ජනගහනයෙන් දසදෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි වේ,’” යනුවෙන් පෝස්ට් පවසයි. “මෙම ශතවර්ෂයේ, ත්‍රස්තවාදය සහ නිෂ්කාරණයේ මරාදැමීම් සංස්කෘතියේ ගැඹුරට කාවද්දවා තිබීම අවිවාදයෙන් තොර කරුණකි” තවද “මෙම ශතවර්ෂයේ දේශපාලනික හෝ ආර්ථික ක්‍රමය මේ වන තෙක් මිලියන ගණන් නොසන්සුන් අයට අස්වැසිල්ලක් හෝ තෘප්තියක් ගෙන දී නොමැත” යනුවෙන් එය තවදුරටත් පවසයි.
ජගත් සෞඛ්‍ය සමීක්ෂණයක්
ජගත් සෞඛ්‍ය සංවිධානය (ජසෞසං), සමස්ත ලෝක සෞඛ්‍යය පිළිබඳ එහි පළමු වාර්ෂික සමීක්ෂණයේදී, ලෝක ජනගහනයෙන් සියයට 40ක්— එනම් බිලියන 2කට වැඩි සංඛ්‍යාවක්—ඕනෑම වේලාවක රෝගාතුර බව වාර්තා කරයි. බොහොමයක් රෝග සහ අසනීප අනවශ්‍ය මෙන්ම වළක්වාගත හැකිය යනුවෙන් ඔවුහු පවසති. ප්‍රධානතම හේතු සාධකය දිළිඳුකමයි, මන්දයත් ලෝක ජනගහනය වන බිලියන 5.6න් අඩකටත් වැඩි සංඛ්‍යාවකට අත්‍යවශ්‍ය බෙහෙත් ලබාගැනීමට හැකියාවක් නොමැති අතර, එහි තුන්ගුණයක් පමණ දරුවන් මන්දපෝෂණයෙන්ද, ලෝකයේ මිනිසුන්ගෙන් පහෙන් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයකට ඔවුන්ගේ අසනීපවලට ප්‍රතිකාර කිරීමට හෝ ඒවා වළක්වා ගැනීමට සම්පත් ස්වල්පයක් හෝ කිසිවක්ද නොමැති බැවිනි. මාරාන්තිකම රෝග—එනම් හෘදයාබාධ, ආඝාත, පෙණහලු රෝග, ක්ෂය රෝග, මැලේරියාව සහ ශ්වාසක ආසාදනයන් මෙන්ම අවුරුදු පහට අඩු දරුවන්ට පාචනය වැළඳීම ආදියෙන් සෑම වසරකම මිලියන ගණනක් මරුමුවට පත් වෙති. කෙසේවෙතත්, පසුගිය වසර 25 තුළ ජීවිත අපේක්ෂාව අවුරුදු 61 සිට 65 දක්වා වැඩි වී තිබෙන බව වාර්තාව සඳහන් කරයි. “පැවැත්ම දිනපතා සටනක් වන බොහෝ මිලියන ගණන් ජනයාට, දීර්ඝායුෂ සම්බන්ධයෙන් බලාපොරොත්තුව ත්‍යාගයකට වඩා දඬුවමක් වශයෙන් පෙනිය හැක,” යනුවෙන් ජසෞසංහි අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හිරෝෂි නකජිමා පැවසුවේය.
අර්මගෙදොන් පිළිබඳව මත
මාර්තු මස ටෝකියෝහි පොළොව යට දුම්රිය මාර්ගවලට ප්‍රහාර එල්ල කළ මාරක සැරින් වායුව හා සම්බන්ධව ඕම් ෂින්රික්යෝ ආගම වෙත පොදු ජනයාගේ අවධානය යොමුවීමෙන්, ජපානයේ ආගම් අර්මගෙදොන් පිළිබඳව ඔවුන්ගේ මතයන් ප්‍රකාශ කිරීමට පෙලඹුණෝය. “වසර ගණනාවකට ලබ්ධි නායක ෂොකෝ ආසහාරා . . . ලෝකය අර්මගෙදොනය සියැසින් දකින බවට අනාවැකි පළ කළේය,” යනුවෙන් ද ඩේලි යොමියුරි වාර්තා කරයි. ඕම්, නාමික ලෙස බෞද්ධ සංවිධානයක් වුවත්, “අර්මගෙදොන් පිළිබඳ සංකල්පය බෞද්ධ ධර්මයේ දක්නට නොලැබේ,” යනුවෙන් බෞද්ධ සංවිධාන දෙකක් පැවසූ බව මයිනිචි ඩේලි නියූස් වාර්තා කරයි. “සමීක්ෂණයට භාජන වූ ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි කණ්ඩායම් දෙකක් . . . අර්මගෙදොනය ළඟා වී ඇති බවට වූ ඕම්ගේ විශ්වාසය ප්‍රතික්ෂේප කළේය. කතෝලිකයන්ට එම විශ්වාසය හොඳින් දන්නා එකක් නොවන බව කතෝලික කණ්ඩායම පැවසූ අතර, ලබ්ධිකයන් විසින් ‘අර්මගෙදොන්’ යන වචනය භාවිත නොකළ යුතුව තිබූ බව රෙපරමාදු සංවිධානය පැවසීය, මන්දයත් එම ‘බයිබල් වචනය පාඨ සම්බන්ධයෙන් ඉවත් කරන ලද බැවිනි.’ ‘පොදු ජනයා තුළ බිය හටගැන්වීමට හේතු වන ප්‍රචාරය කිරීමේ ආගමික ක්‍රම නුසුදුසු වන අතර’ ෂින්යෝඑන් සංවිධානය ප්‍රකාශ කළ පරිදි, එක්තරා මතයක් ඕනෑවට වඩා තහවුරු කිරීමට වෑයම් කළොත් ජනයාට ඉන් තර්ජනයක් එල්ල වන බව හැඟෙයි.” පෙනෙන ලෙසට ඕම් ආගමේ මූලාරම්භක, ඔහුගේම අනාවැකිය සැක කළේය. ලබ්ධියේ ඉහළ පෙළේ නායකයන්ගෙන් කෙනෙක් මෙසේ පැවසූ බව උපුටා දක්වන ලදි: “ගුරුවරයාගේ අනාවැකිය සැබෑ විය හැකි වන පිණිස, සැරින් ව්‍යාපෘතිය දියත් කරන ලදැයි මම සිතමි.”
ආගම සහ සුව කිරීම
විවෘත-හෘද ශල්‍යකර්ම සිදු කරන ලද වියපත් රෝගීන් 232ක් පිළිබඳ අධ්‍යයනයක පෙන්නුම් කළ ආකාරයට, “සිය ආගමික විශ්වාසයන්වලින් කිසිම සහනයක් නොලද රෝගීන්ට වඩා ආගමික බලාපොරොත්තුවලින් ශක්තිය සහ සැනසිල්ල සොයාගැනීමට හැකි වූවන්ට, බේරීමේ අනුපාතිකය තුන්ගුණයකින් වැඩි,” බව පැරීසියේ ඉන්ටර්නැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන් පවසයි. මිතුරන් හා පවුලේ සාමාජිකයන් සමඟ කිට්ටු සබඳතා පැවැත්වීමෙන් හා ඔවුන්ගෙන් අනුබලයක් ලැබීමෙන්, සෞඛ්‍ය ප්‍රයෝජන අත් වන බව කලින් කරන ලද පර්යේෂණවල පෙන්නුම් කළද, “බරපතළ ලෙස අසනීප වූ රෝගීන් අතර සෞඛ්‍යයට එතරම් ප්‍රබල වාසියක් අත් වන බව පෙන්නුම් කළ” පළමු අධ්‍යයනය මෙය යනුවෙන් ට්‍රිබියුන් පවසයි. අධ්‍යයනයේ අධ්‍යක්ෂක, වෛද්‍ය ටොමස් ඔක්ස්මන් මෙසේ නිරීක්ෂණය කළේය: “ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල කරන තත්වයක් තේරුම්ගැනීමට හැකිවීම—එනම් යම් වඩාත් බලසම්පන්න බලවේගයක් ක්‍රියාත්මක වන බව ඇදහීම—වෛද්‍යමය වශයෙන් ප්‍රයෝජනදායක බව පෙනේ.”
මන්දගාමී තැපැල් සේවය
කාර්යක්ෂම නොවන තැපැල් සේවය පිළිබඳ පැමිණිලි කිරීමට අවශ්‍ය වූ ඕනෑම කෙනෙකුට, ඉතාලියේ විසෙන්සාහි වාසය කරන යුවළකගේ උදාහරණයෙන් සැනසිල්ලක් ලබාගත හැකිය. වර්ෂ 1944දී උතුරු යුරෝපයේ නාට්සි ගාල් කඳවුරක හිරබාරයේ සිටි අවස්ථාවේදී, එක් ඉතාලි ජාතික සැමියෙක් ඔහුගේ බිරිඳට මෙසේ ලීවේය: “මගෙන් යම් ප්රවෘත්ති ඔබ වෙත ළඟාවීමට දීර්ඝ කාලයක් ගතහොත් ඒ පිළිබඳව කරදර නොවන්න.” පණිවුඩය එහි ගමනාන්තය කරා ළඟා වූයේ වසර 51කට පසුව බැවින්, එය “හරියටම අනාවැකි පළ කිරීමක් හා සමානයි” යනුවෙන් ලා රිපබ්ලිකා ප්රවෘත්ති පත්‍රය පවසයි. මේ යුවළ දැන් ඔවුන්ගේ 80ගණන්වල සිටින අතර, ලිපිය ලැබීම හේතුවෙන් සතුටින් පුදුමයට පත් වූහ, තවද මෙම අවස්ථාව සැමරීම පිණිස ඔවුන්ගේ මිත්‍රයන්ට කුඩා උත්සවයක් සංවිධානය කළෝය. ලිපිය එහි ගමනාන්තය කරා ළඟාවීමට කලින් ගමන් ගත් මාර්ගය, තවමත් නොදන්නා කරුණකි.
තාත්වික ප්‍රාය යථාර්ථයේ බලපෑම
තාත්වික ප්‍රාය යථාර්ථය (තාය), “ශතවර්ෂය අවසාන වන විට නිවාස වීඩියෝ-ක්‍රීඩා වෙළඳපොළෙන් තුනෙන් එකකට වැඩියෙන් අල්ලාගත හැක,” යනුවෙන් කැනඩාවේ ප්රවෘත්ති පත්‍රයක් වන ද ග්ලෝබ් ඇන්ඩ් මේල් එක් වාර්තාවක ප්‍රකාශ කර ඇත. ඊට සහභාගි වන්නන් ශ්‍රවණ පහසුකම් ඇතුළත් වන පරිදි ආරක්ෂා හිස්වැස්මක් පළඳින අතර, එක් එක් ඇස ඉදිරිපිට තිරයක් ප්‍රදර්ශනය කර තබනු ලැබේ. කම්බියෙන් වෙළන ලද අත්වැස්ම ක්‍රීඩකයාට චලන සංඥා සම්ප්‍රේෂණය කිරීමට සලසන අතර, පරිගණක-උපදවන ලෝකයත් සමඟ අන්‍යොන්‍ය සබඳතාවක් පැවැත්වීමට ඉඩහරින්නේය. එහෙත් මෙවන් ක්‍රීඩාවල යථාර්ථයට ඉතා සමීප චිත්‍ර සටහන් දක්නට ලැබුණත්, ඇතැම්විට පරිගණක ආධාරයෙන් සෑදෙන රූප ශරීරයේ චලනවලට ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් කාලය පිළිබඳ හැඟීමට බාධා ඇතිවීමෙන් සෑදෙන “සත්යාන්ත්රික අසනීපය” ගැනද වාර්තා ලැබේ. පසු බලපෑම්වලට දිශානතිහරණය, ඔක්කාරය, හිසරදය, දෘෂ්ටි විඩාව, සමායෝජන ප්‍රශ්න සහ ක්ෂණික සිහිවීම් ඇතුළත් වේ. “සත්යාන්ත්රික අසනීපය ගැන නිතර නිතර වාර්තා ලැබෙන නිසා, කෙනෙකුට හානි පැමිණවීමෙන්, තාය අධිකරණය වෙත ඇදගෙනයනු ලැබීමට පෙර, වැඩි කාලයක් ගත නොවන බව නිරීක්ෂකයෝ පුරෝකථනය කරති,” යනුවෙන් ද ග්ලෝබ් පවසයි. මිනිසුන්ගේ ප්‍රතිචාර සමව තබාගැනීමට හැකි වන පරිදි, උත්තේජන වේගවත් කරන තෙක්, “යථාර්ථයට එතරම් සමීප නොවූ චිත්‍ර සටහන්, අඩු චලන, මනස එතරම් ග්‍රහණය නොකරන උත්තේජන සහ යන්ත්‍ර මගින් වේලාව සීමිත කිරීම් උපකාරවත් විය හැකි” බව වාර්තාව යෝජනා කරයි.
ආගමික ප්‍රතිමා සඳහා විකුණුම් යන්ත්‍රයක්
සම්ප්‍රදායික වශයෙන් කතෝලික රටවල, “ආරක්ෂක මුනිවරුන්ට හා ශුද්ධස්ථාන රැකවලුන්ට ප්‍රසිද්ධියේ භක්තිය පිරිනැමීමේදී” ආගමික ප්‍රතිමා වඩාත් පහසුවෙන්ම දැකගත හැකි දෙයක් බව ඉතාලි දිනපතා ප්රවෘත්ති පත්‍රයක් වන ලා රිපබ්ලිකා සඳහන් කරයි. මෙම සමෘද්ධිමත් ආගමික ප්‍රතිමා වෙළඳාමට දැන්, තාක්ෂණය හඳුන්වා දී තිබේ. “ස්වයංප්රතිමා” නමින් හඳුන්වන ප්‍රතිමා ස්වයංක්‍රියව විකුණන යන්ත්‍රයකට විශේෂිත කාඩ්පතක් ඇතුල් කළ විට ආගමික ප්‍රතිමා බෙදා දෙනු ලැබේ. “ස්වයං-සේවා ක්රමයේ මනාපය අනුව තේරීම සහතික කරනු ලැබේ, පෝලිම් ඉවත් කරනු ලැබේ, තවද සියල්ලන්ටම ආගමික ප්‍රතිමාවක් සහතික කරනු ලැබේ,” යනුවෙන් පුවත්පත පවසයි.