සටනින් ජය හිමි වේවිද?
“මෙම ග්‍රහයා රැකගන්න, අපට තිබෙන්නේ මෙය විතරයි.” ලෝක ව්‍යාප්ත ස්වභාවධර්ම අරමුදලේ සභාපති, බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරු විසින් කරන ලද කැපීපෙනෙන ඉල්ලීම මෙය විය.
මීට වසර දහස් ගණනාවකට කලින්, ගීතිකාකරු මෙසේ ලීවේය: “ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.” (ගීතාවලිය 115:16) නිවහන හැටියට දෙවියන්වහන්සේ පොළොව අපට දී ඇති අතර, එය රැකගැනීම අපේ යුතුකමය. පරිසර විද්‍යාවට අදාළ වන්නේ ඒ දෙයයි.
“පරිසර විද්‍යාව” වචනානුසාරයෙන් අදහස් කරන්නේ, “නිවස පිළිබඳ අධ්‍යයනයක්” යන්නය.a දි අමෙරිකන් හෙරිටෙජ් ඩික්ෂනරිහි දී තිබෙන නිර්වචනයකි, “සංරක්ෂණය තුළින් වැළැක්වීම හෝ ආපසු යථා තත්වයට ගෙන ඒම යන අරමුණ පෙරදැරි කරගෙන, පරිසරය කෙරෙහි නවීන ශිෂ්ටාචාරයේ අහිතකර බලපෑම් පිළිබඳ අධ්‍යයනයක්.” සරලව කියනවා නම්, පරිසර විද්‍යාව යනු, මිනිසා කර තිබෙන හානිය සොයා, එය හරිගැස්වීමට මං සෙවීමය. මේ දෙකින් එකක්වත් පහසු කාර්යයක් නොවේ.
පරිසර විද්‍යාවේ මූලික සත්‍ය තුනක්
මේකිං පීස් විත් ද ප්ලැනට් යන සිය පොතෙහි ජීවවිද්‍යාඥ බැරි කොමනර්, පෘථිවිය දූෂණයට මෙතරම් ගොදුරු විය හැකි තත්වයක පැවතීමට හේතුව පැහැදිලි කිරීමට ඉවහල් වන පරිසර විද්‍යාවේ සරල නීති තුනක් යෝජනා කරයි.
සෑම දෙයක්ම අන් සෑම දෙයක් සමඟම සම්බන්ධව පවතී. නරක් වූ දතක්, අපේ මුළු ශරීරයටම බලපාන්නාක් මෙන්, යම් විශේෂිත ස්වාභාවික සම්පතකට හානියක් සිදු වේ නම්, එය පාරිසරික ගැටලු වැලකට තුඩු දිය හැක.
උදාහරණයක් වශයෙන්, පසුගිය වර්ෂ 40 තුළදී, නේපාලයේ හිමාල වනාන්තරවලින් සියයට 50ක්ම දර නැතහොත් දැව නිෂ්පාදන සඳහා කපා දමා තිබේ. කඳු බෑවුම්වලින් ගස් ඉවත් කරනු ලැබීමෙන් පසු, මෝසම් වැසි පැමිණි විට වැඩි කලක් යන්ට මත්තෙන් ඒවායෙහි පස සෝදා පාළුවට ලක් විය. මතුපිට පස නොමැති හෙයින්, අලුතෙන් වැඩෙන ගස්වලට මුල් ඇදීමට අවකාශයක් නැති අතර, කඳු රාශියක් පාළු වේ. වන නාශනය නිසා, සෑම වසරකම නේපාලයට මතුපිට පස ටොන් මිලියන ගණනක් අහිමි වේ. තවද එම ගැටලු නේපාලයට පමණක් සීමා නොවේ.
බංගලාදේශයෙහි, වරක් ගස් මගින් උරාගනු ලැබූ ධාරානිපාත වැසි ජලය, කිසිදු අවහිරයකින් තොරව නග්නීකරණය වූ කඳු දිගේ වෙරළ දක්වා ගලා බසී, එහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යසනකාරි ජලගැලීම් සිදු වේ. අතීතයේදී, බංගලාදේශයෙහි භයානක ජලගැලීම් වර්ෂ 50කට වතාවක් සිදු විය; දැන් වර්ෂ 4කට වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් එසේ සිදු වේ.
ලෝකයේ වෙනත් තැන්වල, වන නාශනය කාන්තාර ව්‍යාප්තියට හා ස්ථානීය දේශගුණයේ වෙනස්වීම්වලට මඟ පාදා ඇත. මිනිසා අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා වනාන්තර, එක ස්වාභාවික සම්පතක් පමණි. අපේ දැවැන්ත පරිසර පද්ධතියේ එකිනෙක හා බැඳී පවතින කොටස් ගැන තවමත් පරිසර විද්‍යාඥයන්ට සාපේක්ෂ වශයෙන් ඉතා සුළු දැනුමක් තිබෙන බැවින්, ඉතා බරපතළ හානි සිදු වන තෙක් ගැටලුවක් අවධානයට ලක් නොවීමට ඉඩ ඇත. පරිසර විද්‍යාවේ දෙවන නීතිය මැනවින් පැහැදිලි කරන අපද්‍රව්‍ය පහ කිරීම හා සම්බන්ධ කාරණයේදී මෙය සැබෑවක් වේ.
සෑම දෙයක්ම කොතැනකට හෝ යා යුතුය. කුණු කසළ ඉවත් නොකළා නම්, සාමාන්‍ය නිවසක තත්වය කුමක් වේවිදැයි සිතා බලන්න. අපේ පෘථිවි ග්‍රහයා ඒ හා සමාන වැසුණු පද්ධතියකි—අපේ අපද්‍රව්‍ය සියල්ලක්ම අපේ භූමික නිවසෙහි කොතැනක හෝ තැන්පත් කළ යුතුය. ඕසෝන් ස්තරය යම් දුරකට විනාශ වීමෙන් පැහැදිලි වන්නේ, ක්ලෝරොෆ්ලෝරොකාබන් (CFC) වැනි අහිතකර නොවේයයි පෙනෙන වායු පවා බලපෑමක් නොකර නිකම්ම අතුරුදහන් නොවන බවය. CFC යනු අහසට, ගංගාවලට හා සාගරවලට මුදාහරිනු ලබන හානිදායක විය හැකි ද්‍රව්‍ය සිය ගණනින් එකක් පමණි.
“ස්වාභාවිකව දිරාපත් වන” ඒවා ලෙස නම් කෙරෙන නිෂ්පාදන කල් යන විට දිරාපත් වී ස්වාභාවික ක්‍රියා මගින් අවශෝෂණය විය හැකි බව සැබෑ වුවත්, වෙනත් ඒවාට එසේ සිදු නොවේ. ලෝකයේ මුහුදු වෙරළවල් ප්ලාස්ටික් අසුරනවලින් දූෂ්‍ය වී තිබෙන අතර, මේවා මතු දශක ගණනාවකට එසේ තිබේවි. සාමාන්‍යයෙන් යම් තැනක වළලා තිබෙන කර්මාන්ත ශාලාවල විෂකර අපද්‍රව්‍ය එතරම් පැහැදිලිව නොපෙනේ. එය නොපෙනුණත්, ඒ ගැන අමතක වේවි කියා සහතික වශයෙන් පැවසිය නොහැක. භූගත ජල සැපයුම්වලට තවමත් කාන්දු විය හැකි ඒ ද්‍රව්‍ය, මිනිසාව හා සතුන්ව බැරෑරුම් සෞඛ්‍ය අවදානම්වලට නිරාවරණය කළ හැක. “නවීන කර්මාන්තවලින් නිපදවා තිබෙන රසායනික ද්‍රව්‍ය සියල්ලට කුමක් කරන්ටද කියා අපි දන්නේ නැහැ” යයි බූඩපෙස්ට් ජලවිද්‍යා ආයතනයේ හංගේරියානු විද්‍යාඥයෙක් පිළිගත්තේය. “ඒවා කොහේ තිබෙනවාද කියාවත් අපට කියන්ට බැහැ.”
න්‍යෂ්ටික බලාගාරවල අතුරු නිෂ්පාදනයක් වන, විකිරණශීලී අපද්‍රව්‍ය වඩාත්ම අන්තරා සහිත කසළ වර්ගය වේ. න්‍යෂ්ටික අපද්‍රව්‍ය යම් ප්‍රමාණයක් දැනටමත් සාගරවලට දමා තිබෙතත්, ටොන් දහස් ගණනක් තාවකාලික ඉඩම්වලද ගබඩා කර තිබේ. වර්ෂ ගණනාවක් පුරා විද්‍යාත්මක පර්යේෂණ පවත්වා ඇතත්, ආරක්ෂා සහිත, දිගුකල් පවතින ගබඩා කිරීම හෝ ඉවත් කිරීම සඳහා පිළියමක් සොයා නැති අතර, ඉදිරියට එකක් ලැබෙයි කියා සිතීම උගහටය. මෙම පාරිසරික කාල බෝම්බ කුමන මොහොතේ පිපිරේදැයි කිසිවෙක් නොදනිත්. මෙම ගැටලුව අතුරුදහන් නොවන බවට සහතිකය—එම අපද්‍රව්‍ය මතු සියවස් හෝ දහස් වර්ෂ පුරා නැතහොත් දෙවියන්වහන්සේ ක්‍රියා කරන තාක් කල්, විකිරණශීලී තත්වයක පවතිනු ඇත. (එළිදරව් 11:18) අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කාරණය සම්බන්ධයෙන් මිනිසාගේ නොසැලකිල්ල පරිසර විද්‍යාව පිළිබඳ තෙවන නීතිය පිළිබඳවද සිහිගැන්වීමකි.
ස්වභාව ධර්මයේ ක්‍රියාවලියට ඉඩහරින්න. වෙනත් වචනවලින් කිවහොත්, වඩාත් හොඳ යමක්යයි තමා සලකන දෙයකින් එය මඟහරිනවා වෙනුවට, ස්වාභාවික පද්ධති සමඟ මිනිසා සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍යය. ඇතැම් පළිබෝධ නාශක උචිත නිදසුනක් වේ. මුලදී හඳුන්වා දුන් විට, වල් පැළෑටි පාලනය කිරීමටත් විනාශකාරි පළිබෝධ මුළුමනින්ම පාහේ වනසා දැමීමටත් ඒවා ගොවීන්හට ඉවහල් විය. හොඳ අස්වනු සහතික කර තිබූ බවක් පෙනෙන්ට තිබිණ. එහෙත් ඊළඟට ප්‍රශ්න ගැටලු හටගැනිණ. වල් පැළෑටි හා කෘමීන් නොයෙක් මාදිලියේ පළිබෝධ නාශකවලට ඔරොත්තු දීමට පටන්ගත් අතර, කෘමීන්ව ස්වාභාවිකව ඩැහැගෙන කන සතුන්ට, වන සතුන්ට හා මිනිසාට පවා මෙම පළිබෝධ විෂ වූ බව ප්‍රත්‍යක්ෂ විය. පළිබෝධ නාශක විෂවීමකට ඔබත් ඇතැම්විට ගොදුරු වන්ට ඇත. එසේනම් යටත් පිරිසෙයින් ලොව පුරා ගොදුරු වූ මිලියන ගණනක් අතුරින් ඔබත් කෙනෙකි.
දිගුකාලීනව බලන කල, පළිබෝධ නාශක භාවිතයෙන් ඇතැම්විට අස්වනු ඵලදායිත්වය වැඩිදියුණු නොවන බව පෙන්නුම් කරන වැඩි වන සාක්ෂි මේ හා බැඳි අන්තිම ව්‍යාජ කියමන වේ. එක්සත් ජනපදයේ, පළිබෝධ නාශක හඳුන්වා දීමට පෙර අස්වනු විනාශ වූවාට වඩා වැඩි කොටසක් දැන් කෘමීන් අතින් විනාශයට පත් වේ. ඒ හා සමානව, ගිනිකොන දිග ආසියාවේ පළිබෝධ නාශක භාවිතය තවදුරටත් වී අස්වැන්න වැඩි නොකරන බව පිලිපීනයේ පිහිටා තිබෙන අන්තර්ජාතික වී පර්යේෂණ ආයතනය මගින් සොයා තිබේ. ඇත්තෙන්ම, පළිබෝධ නාශක මත එතරම් දුරට රඳා නොසිටින, ඉන්දුනීසියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක්, පළිබෝධ නාශක භාවිතය සියයට 65කින් අඩු කළත්, 1987 පටන් වී නිෂ්පාදනයේ සියයට 15ක වැඩිවීමක් අත් කරගෙන ඇත. එසේ වුවද, වසරක් වසරක් පාසා ලෝකයේ ගොවීහු තවමත් පුළුල්ව පළිබෝධ නාශක භාවිත කරති.
ඉහත විස්තර කර තිබෙන පරිසර විද්‍යාව පිළිබඳ නීති තුන, තත්වය නරක අතට හැරීමට හේතුව පැහැදිලි කිරීමට උපකාරවත් වේ. දැනටමත් කොපමණ හානියක් සිදු වී තිබේද, තවද එය හරිගැස්විය හැකිද යනු තවත් වැදගත් ප්‍රශ්න වේ.
දැනටමත් කොපමණ හානියක් සිදු වී තිබේද?
ප්‍රධාන පාරිසරික ගැටලු සමහරක්ද, ඒවා ඉතා අවදානම් තත්වයක පවතින තැන්ද මේ සමඟ තිබෙන ලෝක සිතියමෙහි (8-9 පිටු බලන්න) කැපීපෙනෙන්ට සලස්වා තිබේ. ශාක හෝ සත්ව විශේෂ වැනසීමට, වාසස්ථානය අහිමි වීම හෝ වෙනත් සාධක දායක වන විට, සිදු වූ හානිය පිළිසකර කිරීමට මිනිසාට බැරි බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඕසෝන් ස්තරය තුනීවීම වැනි වෙනත් හානි දැනටමත් සිදු වී හමාරය. දිගටම පැවතෙන පාරිසරික පිරිහීම ගැන කුමක් කිව හැකිද? එය නවතා දැමීමෙහි එසේ නැතහොත් අඩුම තරමින් මර්දනය කිරීමෙහි යම් ප්‍රගතියක් ලැබී තිබේද?
පාරිසරික හානිය මැනිය හැකි වඩාත් වැදගත් මිනුම් දණ්ඩ දෙකකි, කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය. ඒ මන්ද? ඒවායෙහි ඵලදායිත්වය හිතකර පරිසරයක් මත රඳා පවතින නිසාත්, අපේ ජීවිතය විශ්වාසදායක ආහාර සැපයුමක් මත රඳා පවතින නිසාත්ය.
අංශ දෙකම පිරිහෙන බවක් පෙනෙන්ට තිබේ. මසුන් සංඛ්‍යාවට බරපතළ තර්ජනයක් එල්ල නොකර, මසුන් ටොන් මිලියන 100කට වඩා ඇල්ලීමට ලෝකයේ ධීවර නැව් කණ්ඩායම්වලට නොහැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ගණන් බලා තිබේ. වර්ෂ 1989දී එම සංඛ්‍යාව ඉක්මවා ගිය අතර, අපේක්ෂා කර තිබූ පරිදි, ඊළඟ වසරේදී ලෝක ව්‍යාප්තව ඇල්ලූ මසුන් සංඛ්‍යාව ටොන් මිලියන සතරකින් පහත වැටිණ. ඇතැම් ධීවර බිම්වල ප්‍රපාතාකාර අඩුවීමක් සිදු වී තිබේ. උදාහරණයක් වශයෙන්, ඊශාන දිග අත්ලාන්තික් ප්‍රදේශයේ ඇල්ලූ මසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂ 20 තුළ සියයට 32කින් අඩු වී තිබේ. ප්‍රධාන ගැටලු නම්, අධික ලෙස මසුන් ඇල්ලීම, සාගර දූෂණය වීම හා බිජු දැමීමේ බිම් වැනසීමය.
මෙම තැතිගන්වන ප්‍රවණතාව භෝග නිෂ්පාදනයෙහිද පිළිබිඹු වේ. හැටගණන්වල හා 70ගණන්වල, බෝග වර්ග වැඩි දියුණු කිරීම මෙන්ම වාරිමාර්ග, රසායනික පළිබෝධ නාශක හා පොහොර පුළුල්ව භාවිත කිරීම, ලෝක ධාන්‍ය නිෂ්පාදනය සැලකිය යුතු අන්දමින් වැඩි කළේය. දැන්, පළිබෝධ නාශක හා පොහොරවල බලපෑම අඩපණ වන අතරම, ජල හිඟය හා දූෂණය අස්වනු බාල වීමටද දායක වේ.
සෑම වසරකම අමතර පුද්ගලයන් මිලියන 100කට ආසන්න සංඛ්‍යාවකට ආහාර සැපයීමට සිදු වුවද, වගා කළ බිම් ප්‍රමාණයේ අඩුවීමක් පසුගිය දශකයෙහි දක්නට ලැබී ඇත. ඇරත් වගා කළ හැකි මෙම බිම්වල සාරවත්බව නැති වෙමින් පවතී. පසුගිය වර්ෂ 20 තුළදී පස සේදී යෑම හේතුකොටගෙන, මතුපිට පස් තට්ටුවෙන් ටොන් බිලියන 500ක් ගොවීන්ගෙන් ඩැහැගෙන තිබෙන බව වර්ල්ඩ්වොච් ආයතනය ගණනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිරායාසයෙන්ම ආහාර නිෂ්පාදනය අඩුවීමට පටන්ගෙන ඇත. “වර්ෂ 1984 හා 1992 අතර කාලයේදී ඒක පුද්ගල ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය සියයට 6කින් අඩුවීම [වනාහි], වත්මන් ලෝකයේ ඇතැම්විට වඩාත්ම තැතිගන්වන ආර්ථික ප්‍රවණතාව වන” බව ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ් 1993 යන වාර්තාව පවසයි.
මිනිසා පරිසරය නොසලකා හැරීම හේතුකොටගෙන මිලියන ගණනාවක ජනයාගේ ජීවිත අවදානමක තිබෙන බව පැහැදිලිය.
මිනිසාට මෙම ගැටලු හැසිරවිය හැකිද?
වැරදෙන්නේ කුමක්ද යන්න පිළිබඳව මිනිසාට යම් අවබෝධයක් තිබුණත්, එය හරිගැස්වීම පහසු දෙයක් නොවේ. වර්ෂ 1992දී පෘථිවි සම්මේලනයෙහි ඉදිරිපත් කරන ලද විස්තරාත්මක යෝජනා ක්‍රියාත්මක කිරීමට මුදල් සම්භාරයක්—එනම් යටත් පිරිසෙයින් වර්ෂයකට ඩොලර් බිලියන 600ක්—අවශ්‍ය වීම මුල්ම දුෂ්කරතාව වේ. සැබෑ පරිත්‍යාගයන් කිරීමද අවශ්‍ය වනු ඇත—අඩු ප්‍රමාණයක් අපතේ හැරීම හා වැඩි ප්‍රමාණයක් පුනර්චක්‍රීකරණයට භාජන කිරීම, ජලය හා බල ශක්තිය සංරක්ෂණය කිරීම, පෞද්ගලික ගමනාගමන පහසුකම් යොදනවා වෙනුවට පොදු ගමනාගමන පහසුකම් භාවිත කිරීම, එමෙන්ම වඩාත්ම අමාරු දෙය වන තමා ගැන සිතනවා වෙනුවට පෘථිවි ග්‍රහයා ගැන සිතීම වැනි පරිත්‍යාග මේ ගණයට වැටේ. ජලජ පරිසර පද්ධති පිළිසකර කිරීමේ එ.ජ. කමිටුවේ සභාපති වන කනිෂ්ඨ ජොන් කැයර්න්ස් මෙම ගැටලුව මෙසේ කැටි කොට දැක්වීය: “අපට කරන්ට පුළුවන් දේ ගැන මම ඒකාන්තව සිටිනවා. අප කරන්ට යන දේ ගැන මම නිෂේධාත්මකව සිටිනවා.”
මුළුමනින්ම පිරිසිදු කිරීමකට යන වියදම කෙතරම් විශාලද කිවහොත්, එසේ සිදු කිරීම කල් දැමීමට බොහෝ රටවල් වැඩි කැමැත්තක් දක්වති. ආර්ථික අර්බුදයක් පවතින කාලයක, පරිසරය සංරක්ෂණය කිරීමට ගන්නා පියවර රැකියා මත එල්ල වන තර්ජනයක් වශයෙන් හෝ ආර්ථිකය මර්දනයට දායක වන දෙයක් වශයෙන් හෝ සැලකේ. ක්‍රියාවට වඩා ඒ ගැන කතා කිරීම ලාභදායකය. මේ දක්වා ලැබී තිබෙන ප්‍රතිචාරය “කුණාටු බඳු ව්‍යක්ත කතා බහෙන් පසු, ඇති වන නියඟයන් බඳු අක්‍රියාශීලීභාවය” හා සමාන බව කෙයාරිං ෆෝර් දි අර්ත් යන පොත විස්තර කරයි. එහෙත් මෙලෙස අදි මදි කිරීමක් සිදු වුවද, කාලය ලබා දුන්නොත්, පෘථිවි ග්‍රහයාගේ උවදුරුවලට වේදනාවෙන් තොර සුවයක් සෙවීමට නව තාක්ෂණයට නොහැකි වනු ඇද්ද? පෙනෙන ප්‍රකාරයට එසේ කරන්ට නොහැක.
එක්සත් ජනපද ජාතික විද්‍යා ශාස්ත්‍රාලය හා ලන්ඩනයේ රාජකීය සමාගම කළ සාමූහික ප්‍රකාශයකදී, මෙසේ නොවළහා තත්වය පිළිගත්තේය: “ජනගහන වර්ධනය පිළිබඳව දැනට කර තිබෙන පුරෝකථනයන් නිවැරදි බවට ඔප්පු වන අතර, පෘථිවි ග්‍රහයා මත මිනිස් ක්‍රියාකාරකම්වල විලාසය වෙනස් නොවී පවතී නම්, පිළිසකර කළ නොහැකි පරිසර දූෂණයවත්, ලෝකයෙන් බහුතරයකට විඳීමට සිදු වන දුගීකමවත් වැළැක්වීමට විද්‍යාවට හා තාක්ෂණයට පුළුවන් වේවි කියා පැවසිය නොහැක.”
ඉවත දැමීමට කිසිදු ස්ථානයක් නොමැති න්‍යෂ්ටික අපද්‍රව්‍ය පිළිබඳ තැතිගන්වන ප්‍රශ්නය වනාහි, විද්‍යාව සර්වබලධාරී නොවන බවට සිහිගැන්වීමකි. ඉහළ මට්ටමක විකිරණශීලීභාවය තිබෙන අපද්‍රව්‍ය දිගුකාලීනව තැන්පත් කිරීමට යෙදිය හැකි ආරක්ෂා සහිත ගබඩා ප්‍රදේශ සෙවීමෙහි විද්‍යාඥයන් අවුරුදු 40ක් පුරා නිරත වී ඇත. මෙම සෙවිල්ල කෙතරම් දුෂ්කර එකක් බව ඔප්පු වී තිබේද කිවහොත්, ඉතාලිය හා ආර්ජන්ටිනාව වැනි සමහර රටවල් නිගමනය කර තිබෙන්නේ, අඩුම තරමින් වර්ෂ 2040 තෙක් ඔවුන්ට ගබඩා ප්‍රදේශයක් සූදානම් කිරීමට බැරි බවය. මෙම ක්ෂේත්‍රයේදී වඩාත් ඒකාන්ත අන්දමකින් කටයුතු කරන ජර්මනිය, වර්ෂ 2008 වන විට සිය සැලසුම් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙයි.
න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙතරම් ගැටලුවක් වන්නේ මන්ද? “හොඳම ගබඩා ඒකකවලින් පවා විකිරණශීලී අපද්‍රව්‍ය කවදා හෝ අන්තරාදායක අන්දමකින් කාන්දු නොවෙයි කියා කිසිදු විද්‍යාඥයෙකුටවත් ඉන්ජිනේරුවෙකුටවත් සම්පූර්ණ සහතිකයක් දිය නොහැක,” කියමින් භූ විද්‍යාඥ කොන්රාඩ් ක්‍රඋස්කෝප්ෆ් පැහැදිලි කරයි. එහෙත් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ දුෂ්කරතාව පිළිබඳව කල්තියා අනතුරු අඟවනු ලැබුවද, හෙටදින උදාවන තාක්ෂණික දැනුමට විසඳුමක් සොයාගත හැකියයි උපකල්පනය කරමින්, ආණ්ඩු හා න්‍යෂ්ටික කර්මාන්තය ඉවක් බවක් නොමැතිව ක්‍රියා කළෝය. එම හෙටදින කිසිදාක නොපැමිණියේය.
පාරිසරික අර්බුදය සඳහා තාක්ෂණයට ක්ෂණික විසඳුමක් නැත්නම්, ඉතිරිව ඇත්තේ තවත් කවර තේරීම්ද? පෘථිවි ග්‍රහයා ආරක්ෂා කිරීමේ අටියෙන් එක්ව වැඩ කිරීමේ අවශ්‍යතාව අන්තිමේදී ජාතීන්හට දැඩි බලපෑමක් ඇති කරාවිද?
[පාදසටහන]
a ඔයිʹකාස් (ගෙය, නිවස) හා ලො·ජිʹආ (අධ්‍යයනය) යන ග්‍රීක් වදන්වලිනි.
[7වන පිටුවේ කොටුව]
අලුත්වැඩියා කළ හැකි බලශක්ති ප්‍රභව සොයා
විදුලි බල ඇණහිටීමක් නැතහොත් තෙල් මිල ඉහළ යෑමක් සිදු වන තෙක්, අපෙන් බොහෝදෙනෙක් බල ශක්තිය සුළු කොට තකති. කෙසේවෙතත් බලශක්තිය පරිභෝජනය කිරීම වනාහි, පරිසර දූෂණය ඇති කරවන ප්‍රධානතම හේතුකාරකවලින් එකකි. දැව නැතහොත් පාෂාණිධාතු ඉන්ධන පිළිස්සීමෙන්, භාවිත කෙරෙන බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන අතර, මෙම ක්‍රියාවලිය හේතුකොටගෙන කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන ගණනක් වායුගෝලයට එකතු වෙමින්, ලෝකයේ වනාන්තර වැනසේ.
හදිසි අනතුරු සිදුවීමේ අන්තරාය නිසාත්, විකිරණශීලී අපද්‍රව්‍ය ගබඩා කිරීමේ දුෂ්කරතාව නිසාත්, තවත් විකල්පයක් වන න්‍යෂ්ටික බලශක්තියේ ජනප්‍රියත්වය දිගින් දිගට අඩු වෙමින් පවතී. වෙනත් විකල්ප, අලුත්වැඩියා කළ හැකි බලශක්ති ප්‍රභව ලෙස හඳුන්වා ඇත, එලෙස හඳුන්වා තිබෙන්නේ, සුලබව තිබෙන ස්වාභාවික බලශක්ති ප්‍රභව එමගින් ප්‍රයෝජනයට ගැනෙන බැවිනි. මූලික වශයෙන් වර්ග පහක් තිබේ.
සූර්ය බලශක්තිය. උෂ්ණත්වය සැපයීම සඳහා මෙය පහසුවෙන්ම ප්‍රයෝජනයට ගත හැකි අතර, ඊශ්‍රායෙලය වැනි ඇතැම් රටවල, ජලය උණු කිරීම සඳහා බොහෝ නිවාසවලට සූර්ය කෝෂ සහිත පනේල සවි කර තිබේ. විදුලිය නිපදවීමට සූර්ය ශක්තිය යොදාගැනීම වඩා දුෂ්කර වන මුත්, නවීන ප්‍රකාශ වෝල්ටීය කෝෂ මගින් ගම්බද ප්‍රදේශවලට විදුලිය දැනටමත් සැපයෙන අතර, එය වඩ වඩාත් ලාභදායී යමක් බවට පත් වෙමින් තිබේ.
සුළං බලය. ලෝකයේ සුළං අධිකව හමන ප්‍රදේශ කිහිපයකම දැන් දැවැන්ත සුළං මෝල් පුළුල්ව පැතිර ඇත. වායව බල ශක්තිය යනුවෙන් හඳුන්වා ඇති මෙම බලශක්තියෙන් සැපයෙන විදුලිය ක්‍රම ක්‍රමයෙන් මිල ගණනින් අඩු වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවල සම්ප්‍රදායික විදුලි සැපයුම්වලට වඩා දැන් මිලෙන් අඩුය.
ජල විදුලිබලය. ලෝකයේ විදුලියෙන් දැනට සියයට 20ක්ම ජල විදුලි බලාගාරවලින් සැපයෙන මුත්, සංවර්ධිත රටවල වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ස්ථාන දැනටමත් නාස්ති කොට ඇත. විශාල වේල් මගින්ද පරිසරයට සෑහෙන හානියක් සිදු කළ හැක. එතරම් විශාල නොවූ ජල විදුලි බලාගාර බොහොමයක් තැනීම වූ කලි, විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රමයක් සේ පෙනෙන්ට තිබේ.
භූ උෂ්ණත්ව ශක්තිය. භූගත “උෂ්ණ ජල පද්ධතිය” උපයෝගි කරගැනීමට ඇතැම් රටවලට විශේෂයෙන් අයිස්ලන්තය හා නවසීලන්තයට පුළුවන් වී තිබේ. භූගත යමහල් ක්‍රියාකාරිත්වය ජලය රත් කරවන අතර, නිවාසවලට තාපය සැපයීමට හා විදුලිය ජනිත කිරීමට එම රත් වූ ජලය යොදාගත හැක. මෙම ස්වභාවික බලශක්ති ප්‍රභවය යම් දුරකට වර්ධනය කිරීමට ඉතාලිය, එක්සත් ජනපදය, ජපානය, පිලිපීනය හා මෙක්සිකෝවට හැකි වී තිබේ.
උදම් බලය. විදුලිය ජනිත කිරීම සඳහා, ප්‍රංශය, බ්‍රිතාන්‍යය හා රුසියාව වැනි සමහර රටවල සාගරයේ උදම් රළ යොදා ගැනේ. කෙසේවෙතත්, මෙම බලශක්ති සැපයුම් ක්‍රමය අඩු මිලකට සපයා දීමට දායක වන තැන් ලොව පුරා ඇත්තේ ස්වල්පයකි.
[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූර]
ලෝකයේ ප්‍රධාන පරිසර ගැටලුවලින් සමහරක්
වනාන්තර වැනසීම. ලෝකයේ සෞම්‍ය කලාපීය වනාන්තරවලින් හතරෙන් තුන් පංගුවක්ද, නිවර්තන කලාපීය වනාන්තරවලින් අඩක්ද දැනටමත් වැනසී ගොස් තිබෙන අතර, පසුගිය දශකයේ වන නාශනයේ අනුපාතය තැතිගන්වන අන්දමකින් වැඩි වී තිබේ. නවතම වාර්තා අනුව, සෑම වර්ෂයකදීම නිවර්තන වනාන්තර, උරුගුවේ රටට සමාන බිම් ප්‍රමාණයක් වන වර්ග කිලෝමීටර් 1,50,000 සිට 2,00,000 අතර ප්‍රමාණයක් විනාශ වී යන බව තක්සේරු කොට තිබේ.
විෂකර අපද්‍රව්‍ය. දැනට නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍ය 70,000න් අඩක්ම විෂකර ඒවා හැටියට වර්ගීකරණය කොට තිබේ. එක්සත් ජනපදය පමණක් සෑම වසරකම විෂකර අපද්‍රව්‍ය ටොන් මිලියන 240ක් නිපදවයි. දත්ත නොමැති හෙයින්, ලෝක ව්‍යාප්ත එකතුව ගණනය කළ නොහැක. ඊට අමතරව, වර්ෂ 2000 වන විට, තාවකාලික ගබඩා ඒකකවල විකිරණශීලී අපද්‍රව්‍ය ටොන් 2,00,000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරනු ඇත.
දේශය පාළුවීම. කාන්තාර බවට පත්වීමේ තර්ජනයට ලෝකයේ භූමි ප්‍රදේශයෙන් තුනෙන් එකක් මුහුණ දෙයි. අවුරුදු 20කදී පමණක් අප්‍රිකාවේ ඇතැම් කොටස්වල සහරා කාන්තාරය කිලෝමීටර් 350කින් ඉදිරියට පැමිණ තිබේ. මිලියන ගණනකින් යුත් ජනකායකගේ ජීවනෝපාය දැනටමත් තර්ජනයට ලක් වී තිබේ.
ජල හිඟය. ප්‍රබල ජල හිඟයක් පවතින ප්‍රදේශවල බිලියන දෙකක පමණ ජන සංඛ්‍යාවක් ජීවත් වෙති. ළිංවලින් ජලය ලැබීමට ඉවහල් වන ජලධරවල මට්ටම් පහත බසින නිසා ළිං දහස් ගණනක් සිඳී යෑමෙන් හිඟය තවත් උග්‍ර වේ.
විශේෂයන් වඳවීමේ අන්තරායක. මීට අදාළ සංඛ්‍යා ලේඛන අනුමාන වශයෙන් නියම කරගත් ඒවා වුවද, වර්ෂ 2000 වන විට සතුන්, ශාක හා කෘමීන් විශේෂ 5,00,000 සිට 10,00,000 දක්වා ප්‍රමාණයක් වැනසී ගොස් තිබෙනු ඇතැයි විද්‍යාඥයෝ තක්සේරු කරති.
වායුගෝලීය දූෂණය. සෞඛ්‍යයට අහිතකර මට්ටම්වලින් දැලි අංශු නැතහොත්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් වැනි විෂකර වායුවලට නාගරික ප්‍රදේශවල ජීවත් වන බිලියනයක් පමණ ජන සංඛ්‍යාවක් දෛනිකව නිරාවරණය වන බව, 1980ගණන්වල මුල්භාගයේ එක්සත් ජාතීන් විසින් කරන ලද අධ්‍යයනයකදී සොයාගැනිණ. පසුගිය දශකයේ නගර ශීඝ්‍ර ලෙස වැඩිවර්ධනය වී තිබෙන නිසා, මෙම ගැටලුව තවත් දරුණු වී ඇති බවට කිසිදු සැකයක් නැත. එපමණක්ද නොව, වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 24ක් වායුගෝලයට එකතු කරනු ලබන අතර, මෙම “හරිතාගාර වායුව” ලෝක ව්‍යාප්තව උෂ්ණත්වය වැඩිවීමට දායක විය හැකි බවට බියක් තිබේ.
[සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
වන නාශනය
විෂකර අපද්‍රව්‍ය
වායුගෝලීය දූෂණය
ජල හිඟය
සත්ව විශේෂ අන්තරායට ලක් වී
දේශ පාළු කිරීම
[හිමිකම් විස්තර]
Mountain High Maps™ copyright© 1993 Digital Wisdom, Inc.
ඡායාරූපය: Hutchings, Godo-Foto
ඡායාරූපය: Mora, Godo-Foto