අපේ සියුම් ග්‍රහයා අනාගතය කොයිබටද?
අවුරුදු 200කට පෙර, අමෙරිකානු දේශපාලනඥ පැට්රික් හෙන්රි මෙසේ පැවසීය: “අතීතයෙන් මිසක අනාගතය විනිශ්චය කළ හැකි වෙනත් මඟක් ගැන මම දන්නේ නැහැ.” අතීතයේදී, මිනිසා පරිසරය පාගා දමා තිබේ. අනාගතයේදී ඔහු මුළුමනින්ම වෙනස් වේවිද? පෙනෙන ප්‍රකාරයට, එතරම් දිරිගන්වනසුලු ලක්ෂණ දක්නට නැත.
ප්‍රශංසා කටයුතු ප්‍රගතියක් ලබා තිබුණත්, හේතුකාරකවලට යොමුවනවා වෙනුවට ප්‍රතිඵලවලට යොමුවීමෙන් එය මූලිකව මතුපිටින් කරන ලද්දක් වී තිබේ. නිවසක ලී දිරාපත් වී කුඩු හැලීම සිදු වෙතොත්, ලීවලට තීන්ත ආලේප කිරීමෙන් කඩා වැටීම වැළැක්විය නොහැක. එය බේරාගත හැක්කේ, එහි ව්‍යූහය මුළුමනින්ම අලුත්වැඩියා කිරීමෙන් පමණකි. ඒ හා සමානව, මිනිසා මෙම ග්‍රහයා භාවිත කරන අන්දම සම්බන්ධයෙන්ද සම්පූර්ණ වෙනස්වීමක් සිදු විය යුතුය. හානිය පාලනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.
එක්සත් ජනපදයෙහි වර්ෂ 20ක් පුරා කර තිබෙන පරිසර පාලනය අවධානයට යොමු කරමින්, එක් ප්‍රවීණයෙක් නිගමනය කළේ, “පරිසරය මත එල්ල වන ප්‍රහාරය බලපෑමෙන් යුක්තව පාලනය කළ නොහැකි මුත්, එය වැළැක්විය යුතු” බවය. පරිසර දූෂණයේ අහිතකර ප්‍රතිඵල තුරන් කරනවා වෙනුවට, එය වැළැක්වීම වඩාත් හොඳ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එවන් ඉලක්කයක් අත් කරගැනීමට නම්, මිනිස් සමාජයේ හා යෝධ ව්‍යාපාරවල නැඹුරුවාවෙහි මූලික වෙනස්වීමක් අවශ්‍ය වන බව සහතිකය. පොළොව බලා කියා ගැනීමට, “අදදින බොහෝදුරට පවතින තත්වයට වෙනස් සාරධර්ම, ආර්ථික ක්‍රම හා සමාජ” අවශ්‍ය බව කෙයාරිං ෆෝර් දි අර්ත් යන පොත පිළිගනී. පෘථිවි ග්‍රහයා බේරාගැනීමේ අටියෙන් වෙනස් කළ යුතු මෙම සාරධර්ම සමහරක් කවරේද?
අර්බුදයේ මුල්බැසගත් හේතුකාරක
ආත්මාර්ථකාමිත්වය. සූරාකන මිනිසුන්ගේ අභිප්රායන් වෙනුවට පෘථිවි ග්‍රහයාගේ අභිප්රායන් ඉදිරියට දැමීම, පරිසරය රැකගැනීම කෙරෙහි ගත යුතු පළමු අත්‍යවශ්‍ය පියවර වේ. කෙසේවෙතත්, මතු පරම්පරා සඳහා පෘථිවි ග්‍රහයා විනාශ වීමට එය හේතුවක් වුවත්, ධනවත් ජීවන රටාවක් පහ කර දැමීමට කැමති වන්නේ ස්වල්පදෙනෙකි. බටහිර යුරෝපයේ වැඩියෙන් දූෂණය වූ රටක් වන නෙදර්ලන්තයේ රජය, දූෂණ විරෝධී ව්‍යාපාරයක කොටසක් වශයෙන් රථ වාහනවලින් ගමන් කිරීම සීමා කිරීමට උත්සාහ කළ විට, පුළුල්ව හටගත් විරෝධය නිසා එම සැලසුම නිෂ්ප්‍රභ විය. ලෝකයේ වැඩිම වාහන තදබදය තිබෙන්නේ ලන්දේසි පාරවල වුවත්, රියැදුරෝ තම අයිතිවාසිකම් අත්හැරීමට කිසිසේත් කැමති නොවූහ.
තීරණ ගන්නන්ට මෙන්ම පොදු ජනයාටද ආත්මාර්ථකාමිත්වය බලපායි. තමන්ට හිමි විය හැකි ඡන්ද ප්‍රමාණය අඩු කළ හැකි පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දේශපාලනඥයන් අදි මදි කරන අතරම, ලාභයට හා ආර්ථික වර්ධනයට තර්ජනයක් විය හැකි ඕනෑම යෝජනාවකට විරුද්ධව කාර්මිකයෝ බාධා පමුණුවති.
ගිජුකම. ලාභ හා සංරක්ෂණය අතර තේරීමක් කිරීමට සිදු වන විට, සාමාන්‍යයෙන් මුදලට වැඩි බලපෑමක් තිබේ. දූෂණ පාලනය අඩු කිරීමට හෝ මුළුමනින්ම ආණ්ඩු රෙගුලාසි මඟ හැරීමට, බලගතු කර්මාන්ත බලපෑම් කරති. මෙම ගැටලුවට හොඳ නිදසුනකි, ඕසෝන් ස්තරයට සිදු වී ඇති හානිය. වර්ෂ 1988 මාර්තු මස තරම් මෑතකදී, ප්‍රධාන එ.ජ. රසායනික සමාගමක සභාපති මෙසේ ප්‍රකාශ කළේය: “දැනට, CFC පිටවීම සැලකිය යුතු අන්දමකින් අඩු කිරීමේ අවශ්‍යතාව වෙතට විද්‍යාත්මක සාක්ෂි යොමු දක්වන්නේ නැත.”
කෙසේවෙතත්, එම සමාගම, ක්ලෝරොෆ්ලෝරොකාබන් (CFC) මුළුමනින්ම නතර කිරීම නිර්දේශ කළේය. ආකල්පයේ වෙනසක්ද? “පරිසරයට හානි වෙනවාද නැද්ද යන්න එයට කිසිසේත් සම්බන්ධව තිබුණේ නැහැ” යයි එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ (එජාපාවැ) අධ්යක්ෂ-ජනරාල් මුස්ටාෆා ටොල්බා පැහැදිලි කළේය. “වැඩි [ආර්ථික] වාසියක් ලැබිය හැක්කේ කාටද යන්න මත එය පදනම්ව තිබුණා.” ඕසෝන් ස්තරය විනාශ කිරීම වූ කලි, ඉතිහාසය පුරා මිනිසා විසින් ඇති කර තිබෙන දරුණුතම ව්‍යසනවලින් එකක් බව බොහෝ විද්‍යාඥයන්ට දැන් වැටහෙයි.
නොදැනුවත්කම. අප දන්නා දෙයට වඩා නොදන්නා දේවල් වැඩිය. “නිවර්තන කලාපීය වර්ෂා වනාන්තරවල බහුලව වසන ජීවීන් පිළිබඳව අප තවමත් දන්නේ සාපේක්ෂ වශයෙන් ස්වල්පයකි,” කියා මිසුරි උද්භිදෝද්‍යානයේ අධ්‍යක්ෂක පීටර් එච්. රේවන් පැහැදිලි කරයි. “චන්ද්‍රයාගේ පෘෂ්ඨය ගැන අප ඊටත් වඩා බොහෝ දේ දැනසිටීම පුදුමයට හේතුවකි.” වායුගෝලය පිළිබඳවද මෙය සැබෑවකි. ලෝක ව්‍යාප්ත දේශගුණයට බලපෑමක් නොකර අපට අහසට කාබන් ඩයොක්සයිඩ් කෙතරම් ප්‍රමාණයක් පිට කළ හැකිද? කිසිවෙකු නොදනී. එහෙත් ටයිම් සඟරාව පැවසූ පරිදි, “අවසාන ප්‍රතිඵලය ගැන අවබෝධයක් නැති විට හා, සිදු විය හැකි ප්‍රතිවිපාක සිතාගැනීමට නොහැකි තරම් භයානක වන විට, ස්වභාව ධර්මය එවන් දැවැන්ත පරීක්ෂණවලට භාජන කිරීම ඉතා අපරීක්ෂාකාරි දෙයකි.”
එජාපාවැහි තක්සේරුවලට අනුව, මෙම දශකයේ අවසානය වන විට අහිමි වන ඕසෝන් ප්‍රමාණය හේතුකොටගෙන, අන්තිමේදී සමේ පිළිකාවට සෑම වර්ෂයකම සියදහස් ගණන්දෙනා ගොදුරු වීමට ඉඩ කඩ ඇත. බෝග හා ධීවර සම්පත් කෙරෙහි එහි බලපෑම නොදන්නා කරුණක් වෙතත්, එය සෑහෙන බලපෑමක් වේයයි අපේක්ෂා කෙරේ.
දූරදර්ශී නොවූ දෘෂ්ටිකෝණ. වෙනත් ව්‍යසන මෙන් නොව, පාරිසරික ගැටලු අපට නොදැනෙන පරිද්දෙන් අපව ගොදුරු කරයි. කල්පවතින හානියක් සිදුවීමට පෙර, එක්සත් ක්‍රියාමාර්ග උත්සාහවන්තව ගැනීමට දරන වෑයම්වලට මෙය බාධකයකි. සේවිං ද ප්ලැනට් යන පොත 1912 ටයිටැනික් නෞකාවේ අවාසනාවන්ත ඉරණමකට ලක් වූ මඟීන්ගේ තත්වය සමඟ අපේ වත්මන් තත්වය සන්සන්දනය කරයි: “සිදු විය හැකි ඛේදවාචකයේ තරම ගැන කිසිවෙකුට නොදැනෙන තරම්ය.” දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් යථාර්ථයට මුහුණ දී, කෙටි-කාලීන ප්‍රයෝජන ගැන කල්පනා කරනවා වෙනුවට, ක්‍රියාවට නැඟිය හැකි දිගු-කාලීන විසඳුම් ගැන කල්පනා කිරීමෙන් පමණක් පෘථිවි ග්‍රහයා බේරාගත හැකි බව එම කර්තෲහු විශ්වාස කරති.
ආත්මාර්ථකාමී ආකල්ප. “ගැටලුව ලෝක ව්‍යාප්තය, තවද විසඳුමද ලෝක ව්‍යාප්ත එකක් විය යුතු” බව 1992 පෘථිවි සම්මේලනයේදී, ස්පාඤ්ඤ අගමැති ෆෙලීපේ ගොන්සාලෙස්, පැහැදිලි කළේය. එය සැබෑවක් වුවත්, ලොව පුරාම පිළිගත හැකි විසඳුම් සෙවීම භාරදූර කාර්යයකි. පෘථිවි සම්මේලනයේ එ.ජ. නියෝජිතයෙක් මෙසේ තත්වය නොවළහා පැහැදිලි කළේය: “අමෙරිකානු ජීවන රටාව වෙනස් කරන එකක් නැහැ.” අනික් අතට, “පෙරදිගේ දරුවන් 125දෙනෙකු පරිභෝජනය කරන දේවල් බටහිර රටවල එක් දරුවෙකු පරිභෝජනය කරන” බව ඉන්දියානු පරිසර විද්‍යාඥ මානෙකා ගාන්ධි පැමිණිලි කළාය. “පෙරදිග රටවල සිදු වී තිබෙන සෑම පරිසර වැනසීමක්ම පාහේ බටහිර රටවල පරිභෝජනය නිසා සිදු වී ඇති බව” ඈ කියා සිටියාය. නොයෙක් විට, පර්වත බඳු ආත්මාර්ථකාමී ජාතික අභිප්රායන් මත පරිසරය වැඩිදියුණු කිරීමට ගෙන තිබෙන අන්තර්ජාතික වෑයම් හැපී බිඳීගොස් තිබේ.
මෙම මූලික ගැටලු සියල්ල හමුවේ, නිසැකකමින් යුතුව අනාගතය දෙස බැලීමට හේතු තිබේ. අපේ ග්‍රහයාගේ ආරක්ෂා පද්ධතියේ ඔරොත්තු දීමේ ශක්තිය ඉන් එකකි.
පොළොව සුවවීම
මිනිස් සිරුර හා සමානව, තමාව සුව කිරීමට පොළොවට පුදුමසහගත හැකියාවක් තිබේ. මේ පිළිබඳව කැපීපෙනෙන උදාහරණයක් පසුගිය සියවසේදී සිදු විය. වර්ෂ 1883දී ක්රකාටාඌ (ක්රැකටොවා) නමැති ඉන්දුනීසියානු යමහල් දූපතෙහි, කිලෝමීටර් 5,000කට ආසන්න දුරකට ඇසෙන තරමේ විශාල පිපිරීමක් සිදු විය. ඝන කිලෝමීටර් 21කට ආසන්න පදාර්ථ ප්‍රමාණයක් අහස දෙසට විසි වී ගිය අතර, දූපතෙන් තුනෙන් දෙපංගුවක්ම මුහුදට යට විය. මාස නවයකට පසු දැකගත හැකි වූ එකම ජීවියා අණ්වීක්ෂීය මකුළුවෙකු විය. අදදින මුළු දූපතම සාරවත් නිවර්තන කලාපීය වෘක්ෂලතාදියෙන් වැසී ඇති අතර, එහි පක්ෂීහු, ක්ෂීරපායී සත්තු, සර්ප හා කෘමි විශේෂ සිය ගණනක් වෙසෙති. ඌජුං කූලොන් ජාතික උද්‍යානයේ කොටසක් වශයෙන් එම දූපත ලබන ආරක්ෂාව, මෙම සුවවීමට දායක වී ඇති බවට කිසිදු සැකයක් නැත.
මිනිසා සිදු කරන හානිද නිෂ්ප්‍රභ කළ හැක. ප්‍රමාණවත් කාලයක් ලැබුණොත් පොළොවට තනිවම සුව විය හැක. ප්රශ්නය වන්නේ, පොළොවට අවශ්‍ය විශ්‍රාමය මිනිසා ඊට දෙනු ඇද්ද? යනුය. ඇතැම්විට එසේ සිදු නොවේවි. එහෙත් තනිවම සුවවීමට අපේ ග්‍රහයාට අවකාශය දීමට අදිටන් කරගෙන සිටින තැනැත්තෙක් සිටී—එනම් එය මැවූ තැනැන්වහන්සේය.
“පොළොව ප්‍රීතිවේවා”
පොළොව මිනිසා විසින් විනාශ කරනු ලැබීම දෙවියන්වහන්සේ කිසිදාක අදහස් නොකළසේක. ඒදන් උයන “වවන්ටත් බලාගන්ටත්” උන්වහන්සේ ආදම්ට පැවසූසේක. (උත්පත්ති 2:15) යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්වරුන්ට දුන් නීති බොහොමයක් තුළද පරිසරය රැකගැනීම සඳහා වූ උන්වහන්සේගේ සැලකිල්ල පිළිබිඹු විය. උදාහරණයක් වශයෙන්, සෑම වසර සතකට වරක්—එනම් සබත් වර්ෂයේදී බිම් නිකම් තිබෙන්ට හැරීමට ඔවුන්ට පවසන ලදි. (නික්මයාම 23:10, 11) මෙම දිව්‍ය ආඥාව මෙන්ම වෙනත් ඒවාද ඉශ්රායෙල්වරුන් නිතර නොසලකා හැරිය විට, දේශය ජනයාගෙන් හිස් කිරීමට යෙහෝවඃවහන්සේ අවසානයේදී ඉඩහළසේක, අනතුරුව වර්ෂ 70ක් පුරා, “දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු,” පාළු තත්වයක පැවතිණ. (2 ලේකම් 36:21) මෙම ඓතිහාසික පූර්වාදර්ශය හේතුකොටගෙන, මිනිසා පරිසරය මත එල්ල කර තිබෙන ප්රහාරයන්ගෙන් පොළොවට සුවයක් ලැබෙන පිණිස, දෙවියන්වහන්සේ “පොළොව විනාශකරන්නවුන් විනාශකර[න]” බව බයිබලයෙහි පැවසීම පුදුමයට හේතුවක් නොවිය යුතුය.—එළිදරව් 11:18.
කෙසේවෙතත්, එම ක්‍රියා මාර්ගය පළමු පියවර පමණකි. ජීව විද්‍යාඥ බැරි කොමනර් නිවැරදිව පැහැදිලි කරන පරිදි, පෘථිවි ග්‍රහයාගේ අඛණ්ඩ පැවැත්ම “ස්වභාව ධර්මයා සමඟ කරන සටන නැවැත්වීමත්, අප අතර තිබෙන සටන් නැවැත්වීමත් මත එක හා සමානව රඳා පවතී.” එම ඉලක්කය අත් කරගැනීමට නම්, එකිනෙකා ගැන හා සිය භූමික නිවස ගැන සැලකිලිමත් වීම සඳහා, පොළොවේ ජනයා ‘යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලබන්නෝ විය’ යුතුය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ සමාදානය “මහත් වන්නේය.”—යෙසායා 54:13.
පෘථිවියේ පරිසර පද්ධති පිළිසකර කරනු ලබන බවට දෙවියන්වහන්සේ අපට සහතික කරනසේක. දිගින් දිගට ව්‍යාප්ත වනවා වෙනුවට, කාන්තාර “සෙව්වන්දි මෙන් මල් දරන්නේය.” (යෙසායා 35:1) ආහාර හිඟකම් වෙනුවට, ‘පොළොව බොහෝ ශස්‍ය වන්නේය.’ (ගීතාවලිය 72:16) පරිසර දූෂණය නිසා සිඳී යනවා වෙනුවට, ගංගාවෝ ‘අත්පොළසන් දෙන්නෝය.’—ගීතාවලිය 98:8.
එවන් වෙනස්වීමක් කවදා සිදු වේවිද? ‘යෙහෝවඃවහන්සේ රජකම්කරන’ විටය. (ගීතාවලිය 96:10) පොළොව මත ජීවත් වන සෑම ජීවියෙකුටම දේවපාලනයෙන් ආශීර්වාද සහතිකවම ලැබේ. “පොළොව ප්‍රීතිවේවා,” කියා ගීතිකාකරු පවසයි. “මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනාකෙරෙත්වා; කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් . . . ප්‍රීතියෙන් ගී කියන්නේය.”—ගීතාවලිය 96:11, 12.
සිය මැවුම්කරුගේ ආශීර්වාද ලබන්නාවූද ධර්මිෂ්ඨකමින් පාලනය කරනු ලබන්නාවූද පොළොවකට විශිෂ්ට අනාගතයක් තිබේ. බයිබලය එහි ප්‍රතිඵල මෙසේ විස්තර කරයි: “ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. එසේය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW ] යහපත්දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය.” (ගීතාවලිය 85:10-12) එම දවස උදා වන විට, අපේ පෘථිවි ග්‍රහයා සදහටම අන්තරායෙන් ඉවත්වනු ඇත.
[13වන පිටුවේ පින්තූරය]
මිනිස් සිරුර හා සමානව, තනිව සුවවීමට පෘථිවියට පුදුමාකාර හැකියාවක් තිබේ