“කාන්කූ” ගුවන් තොටුපොළ පෙනෙතත් හඬක් නොඇසේ
ජපානයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ගුවනේ සිට කාන්සයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වෙත්ම, “කාන්සයි” යන ඉංග්‍රීසි නාම පුවරුවක් සහිත දූපතක් ඔබ දකිනු ඇත.a මෙම ජපන් දූපත ඔසාකා වෙරළෙන් කිලෝමීටර 5ක් පමණ ඈතින් පිහිටා තිබේ. ගුවන් තොටුපොළ හා ඊට සම්බන්ධ ගොඩනැඟිලි පහසුකම් පමණක් දක්නට තිබේ. ඇත්තෙන්ම, එම දූපත විශේෂයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ, ගුවන් තොටුපොළක් ලෙස භාවිත කිරීම සඳහාය. වර්ෂ 1994 සැප්තැම්බර් මාසයේදී විවෘත කරනු ලැබූ මෙම ගුවන් තොටුපොළට, කාන්සයි කොකූසයි කූකො යන එහි ජපන් නාමය කෙටි කර, කාන්කූ යන පටබැඳි නාමය ලැබී ඇත.
කිලෝමීටර 3.75ක් දිග, අතිශීඝ්‍ර ගමන් මාර්ග පාලමක් මගින් ගුවන් තොටුපොළ ප්‍රධාන භූමි ප්‍රදේශයට සම්බන්ධ වේ, මෙනිසා මහමාර්ගයෙන් හා දුම්රිය මාර්ගයෙන් එයට පිවිසිය හැකි වේ. නැව් හා තොටුපොළ සේවාවන් සඳහා එම දූපත වරාය පහසුකම් සමඟින් සකස් කොට තිබේ. එහෙත් ගුවන් තොටුපොළක් සඳහා සම්පූර්ණ දිවයිනක් අලුතෙන් ගොඩනැඟිය යුත්තේ මන්ද?
නොඇසෙන ගුවන් තොටුපොළක්
කාන්සයි ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් හා අමුත්තන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් නිසා, ඔසාකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පිහිටි පදිංචිකාර ප්‍රදේශය පුරා මහත් ශබ්දයක් ඇති කරමින් පියාසර කරන ගුවන් යානාවල සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති විය. එහි වසන ජනයාට ශබ්ද හිරිහැරයෙන් සහනයක් ලබා දීම සඳහා, ප.ව. 9:00 සිට පෙ.ව. 7:00 දක්වා ගුවන් ගමන් තහනම් කරන ලදි. අමතර ජාත්‍යන්තර ගුවන් සේවාවන් එකතු කිරීමට, 1974 සිට අවසර ලැබී නොමැත. එහෙයින්, ප්‍රධාන භූමි ප්‍රදේශයේ නොඇසෙන පරිදි, වැඩි වන මඟීන් හා භාණ්ඩ හසුරුවිය හැකි ගුවන් තොටුපොළක් සඳහා හදිසි අවශ්‍යතාවක් ඇති විය.
හිරිහැරයක් නොවී, දිවා-රෑ භාවිත කළ හැකි ගුවන් තොටුපොළක්—එය ව්‍යාපෘතියට සම්බන්ධ වූ අයට මහත් අභියෝගයක් විය. එකම විසඳුම වූයේ, ජනයා වසන ප්‍රදේශයට ඉතා ඈතින් දූපතක් ගොඩනඟා, එහි ගුවන් තොටුපොළක් ඉදි කිරීමයි. එය ඇත්තෙන්ම යෝධ ව්‍යාපෘතියක් විය!
නව ගුවන් තොටුපොළ ගොඩනඟා එය මෙහෙයවීම සඳහා පෞද්ගලික සමාගමක් පිහිටුවමින්, ජාතික හා ප්‍රාදේශීය ආණ්ඩු මෙන්ම ප්‍රාදේශීය ව්‍යාපාර ලෝකය එම ඩොලර් බිලියන 15ක ව්‍යාපෘතියට මූල්‍යාධාර සැපයූහ. කාන්සයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමාගමේ විධායක උප සභාපති, කේසූකෙ කිම්යූරා පිබිදෙව්!ට මෙසේ පැවසුවේය: “පෞද්ගලික සමාගමක් නිසා, දූපත නිර්මාණය කිරීම සඳහා වැඩි කාලයක් ගත කිරීමට අපට හැකි වුණේ නැහැ. වැඩ ඉක්මනට අවසන් කිරීමට අවශ්‍ය වුණා.”
“දූපත නිර්මාණය කිරීම”
වෙරළ ඔස්සේ ඉඩම් සංස්කරණය කිරීමම දුෂ්කර දෙයකි, නමුත් වෙරළට කිලෝමීටර 5ක් ඈතින් දූපතක් නිර්මාණය කිරීම ඊටත් වඩා දුෂ්කර දෙයකි. හෙක්ටාර 511කින් යුත් ගුවන් තොටුපොළ දූපත නිර්මාණය කිරීමට, පස් පිරවීම සඳහා වැලි සහ පස් ඝන මීටර් මිලියන 180ක් යොදාගන්නා ලදි. “එය පිරමිඩ 73කට සමානයි—මං අදහස් කරන්නේ කුෆු රජු සෑදූ විශාලතම පිරමිඩයි,” යනුවෙන් කිම්යූරා මහතා පැහැදිලි කරයි.
මූදු පත්ලේ, මීටර් 18ක සාමාන්‍ය ගැඹුරක, මෘදු මැටි තට්ටුවක් තිබූ අතර ඉන් ජලය හින්දවීමට අවශ්‍ය විය. “එම තට්ටුවෙන් ජලය හින්දවීමටත් අත්තිවාරම ශක්තිමත් කිරීමටත්, සෙන්ටිමීටර් 40ක [අඟල් 16ක] විෂ්කම්භයක් ඇති වැලි ගොඩවල් මිලියන එකක් එම තට්ටුව තුළට යවනු ලැබුවා. පුරවන ලද පස්වල බරට, මීටර-20ක [අඩි 66ක] මෘදු පස් තට්ටුවෙන් ජලය ඉවත් කරගනු ලැබුවා, එනිසා එය මීටර 14ක් [අඩි 46ක්] දක්වා තුනී වුණා,” යනුවෙන් පස් පිරවීමේ ව්‍යාපෘතිය භාරව සිටි කෙනිචීරෝ මිනාමි මහතා පැහැදිලි කරයි. “අපි හුඟාක්ම භයෙන් හිටියේ යටිපස අසම ආකාරයකින් තැන්පත් වීම ගැනයි. පස තැන්පත් වීම එකම මට්ටමක සිදු වන බව සහතික කරගැනීමට, හරියටම පස පිරවිය යුත්තේ කොතැනද කියා ගණනය කිරීම සඳහා අපි පරිගණක යන්ත්‍ර භාවිත කළා.”
මුළුමනින්ම, පිරවූ පසේ ගැඹුර මීටර 33ක් දක්වා විහිදී ගියේය, එය තට්ටු-10ක ගොඩනැඟිල්ලක උසට සමාන වේ. කෙසේවුවද, පුරවන ලද පසේ බර නිසා, මූදු පත්ල කිඳා බැස තිබෙන අතර එසේ දිගටම කිඳා බසිනු ඇත. වසර 50ක් ඇතුළත මූදු පත්ල තවත් මීටර 1.5ක් කිඳා බසින බව ගණනය කර තිබේ, එවිට මේ හේතුවෙන් දූපත මූදු මට්ටමට වඩා මීටර් 4ක උසකින් පවතිනු ඇත.
වර්ෂ 1991දී, මුළු දූපත සාදා නිම කිරීමටත් පෙර, මඟී ගමනාන්ත ගොඩනැඟිල්ලේ හා පාලක මැදිරියේ වැඩ ආරම්භ කරන ලදි. වසර හතකට වඩා වැඩි කලකට වෙහෙසී වැඩ කිරීමෙන් පසුව, දූපතේ, ගුවන් තොටුපොළේ සහ ඊට සම්බන්ධ ගොඩනැඟිලි පහසුකම්වල ගොඩනැඟීමේ කටයුතු අවසන් කරන ලදි.
විශාල වුවත් සරලයි
පැමිණෙන මඟීන්ට බලාපොරොත්තු නොවූ සතුටක් ලැබෙනු ඇත. “ගමන් බඩු භාරගැනීමේ ස්ථානයට අප පැමිණි කල, අපගේ සූට්කේස් ටික එතන තිබුණා,” යනුවෙන් එක්සත් ජනපදයෙන් පැමිණි මඟියෙක් පැවසුවේය. බාධා රහිත සේවයට හේතුව කුමක්ද? “මඟී ගමනාන්ත ගොඩනැඟිල්ල විශාල වුවත් එය සරලව සකස් කර තිබෙනවා,” යනුවෙන් මඟී ගමනාන්ත ගොඩනැඟිල්ල භාරව සිටින කසූහිතෝ ආරාඕ මහතා පවසයි. “ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල පොදුවේ දක්නට ලැබෙන, අවුල් ජාලාවක පැටලීමට මඟීන්ට සිදුවන්නේ නැහැ.”
මඟී ගමනාන්ත ගොඩනැඟිල්ලේ සැකැස්ම සරල වුවත් අද්විතීය එකකි. ප්‍රධාන ගොඩනැඟිල්ල නිර්මාණ කර තිබෙන්නේ, මඟීන්ට අනවශ්‍ය ලෙස තැනින් තැන යෑමට සිදුවීමෙන් වැළැක්වීමටය. පඩි පෙළවල් නඟින්නේ හෝ බසින්නේ නැතුව, දේශීය මඟීන්ට දුම්රියපොළෙන් කෙළින්ම ඔවුන්ගේ සෝදිසි කිරීමේ කවුන්ටරය දක්වා ගිය හැකි අතර, ඉන්පසුව ගොඩවීමේ ගේට්ටුව වෙත යා හැකිය.
සෝදිසි කිරීමේ කවුන්ටර, ආගමන කාර්යාල සහ රේගුව පිහිටා තිබෙන ප්‍රධාන ගොඩනැඟිල්ලෙන් උතුරටත් දකුණටත්, මීටර 700ක් දිග අංශ ගොඩනැඟිලි දෙකක්, ගොඩවීමේ ගේට්ටු 33ක් වෙතට මඟ පාදයි. ප්‍රධාන ගොඩනැඟිල්ලෙන් බැහැරව තිබෙන ගේට්ටු භාවිත කරන මඟීන්ට, අංශ ෂටලය යනුවෙන් හඳුන්වනු ලබන, ස්වයංක්‍රීය අතරමඟ ගමනාගමන මාර්ග පද්ධතිය භාවිත කළ හැකිය. මෙමගින් මඟීන්ට වුවමනා කරන ගේට්ටුව වෙතට විනාඩි පහකින් යා හැකිය—මීට ෂටලය සඳහා බලා සිටින කාලයත් ඇතුළත් වේ.
පෙනෙන්ට තිබෙන ගුවන් තොටුපොළක්
“සම්පූර්ණ වශයෙන්ම මුහුදේ පිහිටුවා තිබෙන ගුවන් තොටුපොළක් නිසා, එයින් කිසි බාධාවක් නැහැ,” යනුවෙන් ආරාඕ මහතා පවසයි. “ඔව්, එය ගුවන් යානය බැස්සවීමට පහසු ගුවන් තොටුපොළක් කියා ගුවන් නියමුවන් පවසන බව අපට දැනගන්ට ලැබී තිබෙනවා,” යනුවෙන් කිම්යූරා මහතා එකඟ වෙයි.
එහි පෙනුමද තවත් අය අගය කරති. ගුවන් යානයක තටුවල හැඩයෙන් යුත් ගමනාන්ත ගොඩනැඟිල්ලේ සංකීර්ණ නිර්මාණය, කාන්කූ වෙතට බොහෝ සංචාරකයන්ව ආකර්ෂණය කර තිබේ. තවද දූපතක පිහිටි එම අසාමාන්‍ය ගුවන් තොටුපොළ මත ගුවන් යානා බැසීම හා නැඟීමද බලා සිටීමෙන් ඔවුහු සතුටක් ලබති. “අපි ආරම්භයේදී එසේ කිරීමට අදහස් නොකළත්, ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයන් සඳහා නඩත්තු අංශයට ඉහළින් නිරීක්ෂණාගාරයක් ගොඩනැඟීමට අපට සිදු වුණා,” යයි කිම්යූරා මහතා සඳහන් කරයි. එය බැලීමට පමණක් දිනකට මිනිස්සු 30,000ක සාමාන්‍යයක් ගුවන් තොටුපොළට පැමිණෙති.
ඔබ ජපානයේ කාන්සයි ප්‍රදේශය ආසන්නයට යනවා නම්, කාන්කූ ගුවන් තොටුපොළ වෙතට හෝ ඉන් පිටතට ගමන් නොකරන්නේ මන්ද—එය වනාහි, එහි අසල්වැසියන්ට පෙනෙන්ට තිබෙන මුත් අසන්ට නොලැබෙන ගුවන් තොටුපොළකි.
[පාදසටහන]
a කාන්සයි යනු, ඔසාකා සහ කෝබේ යන ව්‍යාපාරික නගරද, ක්යොතෝ සහ නාරා යන ඓතිහාසික නගරද ඇතුළත් වන බටහිර ජපානයේ පොදු ප්‍රදේශය වේ. කොකූසයි කූකො යන්නෙහි අදහස “ජාත්‍යන්තර ගුවන් තොටුපළ” යන්නයි.
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Kansai International Airport Co., Ltd.