බලකුරු හැසිරීම එය ඔබේ ජීවිතය පාලනය කරයිද?
“මා සෑම දිනකම උදෑසන 6.00ට අවදි වෙනවා,” කියා කීත් පවසයි.a “මගේ සීනු ඔරලෝසුව උදෑසන 6.00ට නාදවීමට, කලින්ම සකස් කර තිබෙනවා. එය එසේ සකස් කර තිබෙන බව මා දන්නවා. මා එය කවදාවත් වෙනස් කරන්නේ නැහැ. නමුත්, මට එය නිතර නිතර පරීක්ෂා කර බැලීමට සිදු වෙනවා. සෑම රාත්‍රියකම නින්දට යෑමට පෙර, අඩු තරමින් පස් වතාවක්වත් එය පරීක්ෂා කරනවා. එමෙන්ම උදුන නිවා තිබෙන බව සහතික කරගැනීමටත් මට සිදු වෙනවා. එය නිවා තිබෙන බව මට පේනවා, නමුත් එය ස්ථිර කරගැනීම සඳහා දෙතුන් වරක් පමණ එහි යෑමට සිදු වෙනවා. ශීතකරණයේ දොර වසා තිබෙන බව සහතික කරගැනීම සඳහා එය නැවත නැවත පරීක්ෂා කිරීමටත් මට සිදු වෙනවා. එපමණක්ද නොවේ, දැල් දොරේ අගුල හා නිවසේ ප්‍රධාන දොරේ අගුල් දෙක පරීක්ෂා කිරීමටත් තිබෙනවා . . . ”
පාලනය කළ නොහැකි සිතිවිලි (ග්රස්තීන්) හා ක්‍රියාවලින් (බල කරනු ලැබීම්) විදහා දැක්වෙන, බෙලහීන කරවන තත්වයක් ලෙසට නිර්වචනය කර තිබෙන, ග්රස්තීය බලකුරු අක්රමිකතාවෙන් (obsessive-compulsive disorder OCD) කීත් පීඩා විඳිමින් සිටී.b ඕසීඩී මගින් පීඩා විඳින පුද්ගලයෙකුට, මෙම ග්රස්තීන් හා බල කරනු ලැබීම් සම්පූර්ණයෙන්ම සිය කැමැත්තෙන් සිදු නොවන යමක් සේ හැඟේ. ඒවා ඉබේම වාගේ බලහත්කාරයෙන් ඇතුල් වී පාලනය කරනවා හා සමානය.
ඇතැම්විට, සෑම මනුෂ්‍යයෙකුම අනවශ්‍ය සිතුවිලි හා බලවත් ඕනෑකම් අද්දකිනු ලැබේ. එහෙත් ඕසීඩී හේතුවෙන් ඒවා කෙතරම් දුරට දිගටම මෙන්ම නැවත නැවතත් ඇති වනවාද කිවහොත්, ඒවා සාමාන්‍ය ජීවිතයට බාධා පමුණුවමින් බරපතළ අපහසුතාවක් ඇති කරන අතර, ඇතැම්විට විෂාදය පවා ඇති කළ හැක. “නිරන්තරයෙන්ම සිදු වන මානසික සටන, සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කල්පනා කිරීමට මාව පෙලඹුවා,” කියා එක් පීඩා විඳින්නෙක් පවසයි. මෙම දුෂ්කර ආබාධයේ ලක්ෂණ සමහරක් සලකා බලන්න.
දැකීම වනාහි විශ්වාස කිරීම නොවේ
බෲස් තම මෝටර් රථය බැම්මක් උඩින් පදවන විට, රෝගකාරක බියක් ඔහුව වෙළාගනියි. ‘මා දැන් මඟියෙකු යට කරගෙන ගියා නම් කුමක් වනු ඇද්ද?’ කියා ඔහු තමාගෙන්ම අසාගනී. එම “අපරාධය” සිදු වූවායයි ඔහු සිතන ස්ථානයට නැවත ගොස්—එනම් එක් වතාවක් පමණක් නොව, නමුත් කිහිපවතාවක්ම එතැනට ගොස් පරීක්ෂා කරන තෙක් ඔහු තුළ එම හැඟීම් බලවත් වේ! ඇත්තවශයෙන්ම, බෲස්ට තුවාල ලැබූ මඟියෙකු දකින්ට නොලැබේ. එහෙත්, ඔහුට තවමත් ස්ථිර නැත! එමනිසා ඔහු නිවසට ගිය විට, හප්පා දමා ගිය සිද්ධියක් පිළිබඳ වාර්තා ගැන පවසනවාද කියා ප්රවෘත්ති බලයි. “වැරැද්ද පිළිගැනීමට” ඔහු පොලීසියට පවා දූරකථනයෙන් අමතයි.
බෲස් මෙන්, ඕසීඩී තිබෙන බොහෝදෙනෙක් සැක මගින් පීඩා විඳිති: ‘මා කාටවත් රිදවූවාද? මා නිවසින් පිට වූ විට, උදුන නිවා දැමුවාද? මා දොරේ අගුල් දැමුවාද?’ ඇතැම් අවස්ථාවලදී, බොහෝදෙනෙකුට ඒ හා සමාන සිතිවිලි තිබිය හැකි වුවත්, ඕසීඩී තිබෙන පුද්ගලයෙකු එක් වතාවක් පරීක්ෂා කර, නැවතත් පරීක්ෂා කළත්, සෑහීමට පත් නොවනු ඇත. “නැවත නැවතත් දේවල් පරීක්ෂා කරන මගේ රෝගීන්ට, ‘අවබෝධය පැමිණෙන්නේ සංවේද ඉන්ද්රියයන් තුළින් පමණි,’ යයි පවසන බව පෙනෙන්ට තිබේ,” යනුවෙන් වෛද්‍ය ජූඩෙත් රපපෝට් ලියයි. “මේ නිසා දොරේ අගුල නැවත නැවතත් කරකැවිය යුතු අතර, ආලෝකය යළි යළිත් දැල්විය හා නිවිය යුතු වේ. මෙම ක්‍රියා මගින් වහාම තොරතුරු ලැබෙන මුත්, එය ඔවුන්ට අවබෝධ වන්නේ නැත.”
පිරිසිදු වුවත් පිරිසිදු මදි
චාර්ලස් නමැති 14 හැවිරිදි පිරිමි ළමයෙක්, විෂබීජවලින් අපවිත්‍ර වේයයි යන අනිසි බියක ග්‍රහණයට හසු වී සිටියේය. ඔහු අල්ලනු ඇතැයි සිතූ සෑම දෙයක්ම මධ්‍යසාරවලින් පිරිසිදු කිරීමට ඔහුගේ මවට සිදු විය. තවදුරටත්, අමුත්තන් විසින් දූෂ්යකාරකයන් පිටතින් ගෙනෙනු ඇති බවට චාර්ල්ස් බිය වූයේය.
ඇගේ ඇඳුම් සේදීමේදී ෆ්රෑන්ට බියක් තිබිණ. “මගේ ඇඳුම් ඉවතට ගන්නා විට, රෙදි සෝදන යන්ත්‍රයේ පිට පැත්තේ ඒවා වැදුණොත්, ඒවා සියල්ලක්ම නැවත වරක් සේදීමට අවශ්‍ය වුණා,” කියා ඈ පවසන්නීය.
චාර්ල්ස් හා ෆ්රෑන් මෙන්, ඕසීඩී තිබෙන බොහෝදෙනෙකුට විෂබීජ හා අපවිත්‍ර වීම අතර කේන්ද්‍රගත වූ ග්රස්තීන් තිබේ. මෙයින් අධික ලෙස නෑම හෝ අත් සේදීම ප්‍රතිඵල විය හැකි අතර, ඇතැම් අවස්ථාවලදී බිබිලි පවා හටගත හැක—එහෙත් පීඩා විඳින්නාට පිරිසිදු බවක් නොහැඟේ.
මනසින් වේදනා විඳීම
දෙවියන්වහන්සේ වෙත ඉබේම අගෞරවනීය සිතුවිලි ඇතිවීමේ පීඩාවෙන් ඉලේන් වේදනා විඳිමින් සිටින්නීය. “මේවා මට කෙදිනකවත් හිතාගත නොහැකි දේවල්, අනික එසේ සිතනවාට වඩා මියයන එක වඩා හොඳයි,” කියා ඈ පවසන්නීය. එහෙත් එම සිතිවිලි දිගටම පවතී. “සමහර අවස්ථාවලදී මෙම සිතිවිලි සමඟ සෑම දිනකම පොරබැදීමෙන් පසු, රාත්රියේදී මා ඇත්තෙන්ම අධික වෙහෙසට පත් වී සිටිනවා.”
ස්ටීවන් තමා කළ වැරදි නිසා වරදකාරිබවේ හැඟීම්වලින් පෙලඹී, දෙවියන්වහන්සේට මෙසේ “පොරොන්දු” වෙයි. “මෙම නැඹුරුවාව මගේ කැමැත්තට විරුද්ධව පැමිණෙන බව පෙනෙන්ට තිබෙන නිසා, එය මා ශෝකයට පත් කරවනවා,” කියා ඔහු පවසයි. “ඊටපසු, පොරොන්දු වූ දේට අනුකූලව සිටීමට මගේ හෘදය සාක්ෂිය මට බල කරනවා. මේ හේතුව නිසා, වැඩි වටිනාකමින් යුත් යම් දෙයක් විනාශ කිරීමට මා පෙලඹුණා.”
ඉලේන් හා ස්ටීවන් යන දෙදෙනාටම විශාල වශයෙන් මනසට බලපාන ග්රස්තීන් තිබේ. ඔවුන්ගේ රෝග ලක්ෂණ ක්ෂණිකව හඳුනාගත නොහැකි වුවත්, සිතුවිලිවල ග්‍රහණයට හසුව සිටින පුද්ගලයෝ වරදකාරිබවේ හා බියවීමේ චක්‍රයක් තුළ සිර වී සිටිති.
මේවා, ඕසීඩීහි තිබෙන රෝග ලක්ෂණ බොහොමයකින් සමහරක් පමණි.c මෙම අක්රමිකතාව ඇතිවීමට හේතු වන්නේ කුමක්ද? එයින් සහනයක් ලබාගත හැක්කේ කෙසේද?
පාලනය කළ නොහැකි දේ පාලනය කිරීම
ඕසීඩී හැසිරීම වනාහි, “මස්තිෂ්ක දුර්වල වීමක්” වන බව හා එයින් සංවේදනීය තොරතුරු සටහන් නොවී “එකම ක්‍රියාව නැවත නැවතත් කරනු ලැබීම” ප්‍රතිඵල වන බව, එක් වෛද්‍යවරියක් විස්තර කරයි. මෙම තත්වයට හේතු වන්නේ කුමක්ද? කිසිවෙකුට ස්ථිර නැත. ස්නායු සම්ප්‍රේෂණ සෙරොටොනින් මීට සම්බන්ධව පවතින බව පෙනෙන්ට තිබෙන නමුත්, මොළයේ වෙනත් අංග සලකා බැලීමද අවශ්‍ය වේ. ජීවිතයේ මුල් කාලයේ අද්දැකීම්වලට ඕසීඩී අවදි කළ හැකි අතර, සමහරවිට ජානීය ප්‍රවණතාවක් සමඟ සංයෝග වීමෙන් එය විය හැකි බව සමහරු පවසති.
කෙසේවෙතත්, හේතුව කුමක් වුවත්, එක් කාරණයක් නම් පැහැදිලිය: එනම් ඕසීඩී තිබෙන පුද්ගලයන්ට සේදීම හා පරීක්ෂා කිරීම නවත්වන ලෙස නිකම්ම පැවසීම බොහෝදුරට නිෂ්ඵල වනු ඇත. අධිෂ්ඨාන ශක්තියට වඩා වැඩි යමක් ඇතුළත් වේ.
බොහෝදෙනෙකුට ප්‍රතිකාර ලැබීම උපකාරවත් බව ඔප්පු වී තිබේ. වෙනත් එළඹීමකට ඇතුළත් වන්නේ, රෝගියාව බියගන්වන තත්වයන්ට අනාවරණය කර, පසුව සාමාන්‍ය ප්‍රතිචාරය වැළැක්වීමය. නිදසුනක් වශයෙන්, සේදීමේ පුරුදු තිබෙන පුද්ගලයෙකුට, අපවිත්‍ර යමක් අල්ලා ඉන්පසු සේදීමෙන් වැළකී සිටීමට අවශ්‍ය වනු ඇත. ඇත්තවශයෙන්ම, එවැනි ප්‍රතිකාරයක් කෙනෙකුව එක් රැයකින් සුව කරන්නේ නැත. එහෙත් අඛණ්ඩ වෑයමක් තුළින්, එයට සහනය සැපයීමට හැකි බව සමහරුන්ට හැඟේ.
අඩු තරමින් ඇතැම් අයට ජීවිතයේ මුල් කාලයේ අද්දැකීම් සමඟ ඕසීඩී හටගැනීමට තිබෙන හැකියාව ගැනද ප්‍රවීණයන් ගවේෂණය කර තිබේ. අයුතු ලෙස සලකනු ලැබූ දරුවන්, සහජයෙන්ම නුසුදුසු හෝ අපිරිසිදු බව හැඟෙමින් වර්ධනය වන අතර, ඔවුන්ගෙන් සමහරෙකුට ඉන්පසු පාලනය කළ නොහැකි සේදීමේ පුරුදු වර්ධනය වී තිබෙන බව දක්නට ලැබී තිබේ.
ග්රස්තීන්ගෙන් හා බල කරනු ලැබීම්වලින් සහනය
ඔබ ඕසීඩී මගින් පීඩා විඳිමින් සිටින්නෙහි නම්, ඔබ වෙනස් බව හෝ සමහරවිට උමතු වෙමින් සිටින බව හෝ ඔබට නොහැඟිය යුතුය. “ඔවුන්ට තිබෙන විශේෂ බියවලට අමතරව, ඕසීඩී තිබෙන අය තමන්ගේ ජීවිතයේ වෙනත් සෑම පැත්තකම යථාර්ථය සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින බව,” ආචාර්ය ලී බාර් ලියයි. ඔබට උපකාර ලබාගත හැකියි! ඕසීඩී වනාහි, අසම්පූර්ණකමේ ප්‍රතිඵලයක් බව මතකයේ තබාගන්න. එය වනාහි සදාචාරමය දුර්වලතාවේ හෝ ආත්මික අසාර්ථක වීමේ ලකුණක් නොවේ! තවද එයින් දෙවියන්වහන්සේගේ අප්රසාදයද අඟවන්නේ නැත. “ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය. මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක; අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.”—ගීතාවලිය 103:8, 14.
එහෙත් ග්රස්තීය සිතිවිලි අගෞරවනීය හෝ අපහාසාත්මක බව පෙනෙන්ට තිබේ නම් කුමක්ද? ඕසීඩීවලින් මතු වන පිළිකුල්සහගත සිතිවිලි වරදකාරිබවට ඉන්ධන සපයන අතර, වරදකාරිබව පිළිකුල්සහගත සිතිවිලිවලට වඩාත් වැඩියෙන් ඉන්ධන දැමීමට පවා පුළුවන. “එය මාව බොහෝ සෙයින් කෝප කරවනවා,” කියා ඉලේන් පවසන්නීය. “යෙහෝවඃවහන්සේ මා සමඟ කෝපයෙන් සිටින බව සැමවිටම සිතීමට මට සලස්වමින් එය මාව අපහසුතාවට පත් කරවනවා.” ඔවුන්ගේ සිතිවිලි වනාහි, සමාව ලැබිය නොහැකි පාපයට සමාන බව පවා සමහරුන්ට හැඟීමට පුළුවන!
කෙසේවෙතත්, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයට විරුද්ධව පව් කිරීම, එනම් සමාව නොලැබිය හැකි පාපය සම්බන්ධයෙන් යේසුස්වහන්සේගේ ප්‍රකාශය, ග්රස්තීය සිතිවිලිවලට පැහැදිලිවම යොමු දැක්වූයේ නැත. (මතෙව් 12:31, 32) යේසුස්වහන්සේ සිය අදහස් යොමු කළේ, ඵරිසිවරුන්ටය. ඔවුන්ගේ ප්‍රහාර මුළුමනින්ම හිතා මතා සිදු කළ ඒවා බව උන්වහන්සේ දැනසිටිසේක. හිතා මතා සිදු කළ ඔවුන්ගේ ක්‍රියා නික්මුණේ, වෛරයෙන් පිරි හෘද තුළිනි.
ඇත්තෙන්ම, තමන් දෙවියන්වහන්සේව අමනාප කර තිබෙන බවට කෙනෙකු සැලකිලිමත් වීම වනාහි, සමාව නොලැබිය හැකි ආකාරයකින් පව් කර නොතිබෙන බවට හොඳ සාක්ෂියක් විය හැක. (යෙසායා 66:2) තවදුරටත් මැවුම්කරුවාණන් මෙම අක්රමිකතාව තේරුම්ගන්නා බවට දැනගෙන සිටීම දිරිගන්වනසුලුය. උන්වහන්සේ දයාන්විත වන අතර, ‘කමාවීමට සූදානමින් සිටිනසේක.’ (ගීතාවලිය 86:5; 2 පේතෘස් 3:9) අපගේ සිත් අපටම දෝෂාරෝපණය කරන විට පවා, “දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්[නාසේක].” (1 යොහන් 3:20) කෙනෙකුට පාලනය කිරීමට සීමිත හැකියාවක් තිබෙන අක්‍රමිකතාවක් හේතුවෙන් ප්‍රතිඵල වන සිතිවිලි හා බලවත් ඕනෑකම්වල තරම උන්වහන්සේ දන්නාසේක. ඕසීඩී මගින් පීඩා විඳින පුද්ගලයෙකුට, මෙය අවබෝධ කරගැනීමෙන් නුවුවමනා වරදකාරිබවේ හැඟීම්වලින් තමාටම හිරිහැර පමුණුවාගැනීමෙන් වැළකී සිටිය හැක.
යෙහෝවඃවහන්සේ විසින් සියලුම ශාරීරික, මානසික හා චිත්තවේගීය විපත්වලින් සහනයක් ඇති නව ලොවක් පොරොන්දු කිරීම සම්බන්ධයෙන් අපට කෙතරම් ස්තූතිවන්ත විය හැකිද! (එළිදරව් 21:1-4) මේ අතර, මෙම අක්රමිකතාව සමඟ විඳදරාගත යුතු අයට තම දුක් විඳීම ලිහිල් කරගැනීම සඳහා ප්‍රායෝගික පියවර ගත හැක.
[පාදසටහන්වල]
a මෙම ලිපියේ ඇතැම් නම් වෙනස් කර තිබේ.
b පිබිදෙව්! සඟරාව මගින් යම් නිශ්චිත ප්‍රතිකාරයක් නිර්දේශ නොකරයි. මෙම අක්රමිකතාව තිබෙන ක්‍රිස්තියානීන් යම් ප්‍රතිකාරයක් ගන්නා විට, එය බයිබල් ප්‍රතිපත්ති සමඟ නොගැටෙන බවට වගබලාගනු ඇත.
c වෙනත් අසංඛ්‍යාත රෝග ලක්ෂණවලින් ස්වල්පයකට, ගණන් කිරීම, බඩු එක්රැස් කිරීම හෝ අනුකූලතාව සම්බන්ධයෙන් පමණ ඉක්මවා සිතීම සම්බන්ධ විය හැක.
[22වන පිටුවේ කොටුව]
උපකාරය සැපයීමට
මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු වශයෙන්, ග්රස්තීය-බලකුරු අක්‍රමිකතා (ඕසීඩී) සමඟ සටන් කරමින් සිටින කෙනෙකුට උපකාර කිරීමට ඔබට බොහෝ දේ කළ හැක.
• ප්‍රථමයෙන්ම, ඔබගේම ආකල්පය පරීක්ෂා කරන්න. පීඩා විඳින්නා දුර්වල, අලස හෝ මුරණ්ඩු වන බව ඔබ විශ්වාස කරනවා නම්, ඔහු හෝ ඇය ඒ බව සැමවිටම අවබෝධ කරගනු ඇති අතර, දියුණුවීම සඳහා නොපෙලඹෙනු ඇත.
• පීඩා විඳින්නා සමඟ කතා කරන්න. ඔහු හෝ ඇය පොරබදිමින් සිටින්නේ කුමක් සමඟද යන්න සොයා බලන්න. බොහෝදුරට විවෘත හා අවංක විශ්වාසවන්ත මිතුරෙකු ඇතුව සිටීම, පීඩා විඳින්නෙකුගේ ඕසීඩී රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා ප්‍රථම පියවර වේ.—හිතෝපදේශ 17:17.
• සැසඳීම් නොකරන්න. පීඩා නොවිඳින්නන්හට නොහැඟෙන ආකාරයේ, මැඩලිය නොහැකි බලවත් ඕනෑකම් ඕසීඩී මගින් නිපදවයි. එබැවින් ඔබ ඔබගේ ආවේග සමඟ කටයුතු කරන ආකාරය විස්තර කිරීම සාමාන්‍යයෙන් නිෂ්ඵලය.—හිතෝපදේශ 18:13, සසඳන්න.
• පීඩා විඳින්නාහට යථාර්ථානුරූපී ඉලක්ක තැබීමට හා ඒවා ඉටු කිරීමට උපකාර කරන්න. රෝග ලක්ෂණයක් තෝරාගෙන, එය ජයගැනීම සඳහා ඉලක්ක නියම කරගන්න. ඉටු කරගැනීමට අඩුම දුෂ්කරතාවක් ඇති ඉලක්කයෙන් ආරම්භ කරන්න. නිදසුනක් වශයෙන්, නියම කරගත් කාලයට වඩා වැඩියෙන් නොනෑම එක් ඉලක්කයක් විය හැක.
• දියුණුවීම්වලට ප්‍රශංසා කරන්න. ප්‍රශංසාව හරියාකාර හැසිරීම සඳහා වැඩි අනුබලයක් වේ. ප්‍රගතිය ලබන සෑම පියවරක්ම, කෙතරම් කුඩා වුවත්, වැදගත් වේ.—හිතෝපදේශ 12:25.
ඕසීඩී මගින් පීඩා විඳින්නෙකු සමඟ ජීවත්වීම, පවුලේ සාමාජිකයන්ට චිත්තවේගී ලෙස වෙහෙසකර විය හැක. එබැවින්, මිතුරන්, හැකි සෑම ප්‍රායෝගික ආකාරයකින්ම, තේරුම්ගන්නාසුලු හා උපකාරවත් විය යුතුය.—හිතෝපදේශ 18:24ආ.
[21වන පිටුවේ පින්තූර]
අධික ලෙස සේදීම හා පරීක්ෂා කිරීම—ඕසීඩීහි රෝග ලක්ෂණ දෙකක් වේ