පාවිච්චි කළ මෝටර් රථයක් මිල දී ගන්නා අයුරු
අලුත් මෝටර් රථයක මිලෙන් අඩකට හෝ ඊටත් අඩුවෙන් මෝටර් රථයක් මිල දී ගන්ට ලැබේ නම් ආශා නොවන්නේ කවුද? ‘එය ඇත්තෙන්ම සිදු විය හැකිද?’ යනුවෙන් ඔබ අසයි. එසේය—එය කලින් කවරෙකුට හෝ හිමිව තිබූ වාහනයක්, එනම් පොදුවේ හඳුන්වනු ලබන පරිදි, පාවිච්චි කළ මෝටර් රථයක් නම් එසේ විය හැක. ගැටලුව නම් පාවිච්චි කළ මෝටර් රථයක් එතරම් ලාභදායී වේදැයි බොහෝදෙනෙකු බියවීමය. වෙනත් යන්ත්‍රෝපකරණ මෙන්ම මෝටර් රථද දිරාපත් වේ. මෙසේ, ගෙවී යන කාලය මෙන්ම ධාවනය කර ඇති දුර ප්‍රමාණය හා පාවිච්චිය හේතුකොටගෙන මෝටර් රථයක අගය අඩු වේ.
මාව හඳුන්වා දෙන්න මට ඉඩහරින්න. මා වසර 15කට වඩා මෝටර් රථ කාර්මික ශිල්පියෙකු වී සිටියා. එබැවින් මා ඉගෙනගෙන තිබෙන ඇතැම් දේවල් ඔබට පැවසීමට මට ඉඩහරින්න. පාවිච්චි කළ මෝටර් රථයක් මිල දී ගැනීමට පෙර ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ.
මට කීයක් වියදම් කළ හැකිද?
පළමුව, ඔබ සතු මුදලෙන් මෝටර් රථයක් සඳහා කෙතරම් මුදලක් වැය කිරීමට ඔබට හැකිදැයි ගණන් බලන්න. ඔබ ගෙවීමට අදහස් කරන මුදලට ගත හැකි මෝටර් රථවල වර්ගය හා නිපදවූ වසර ගැන අදහසක් දීමට පුවත්පත් දැන්වීම්වලට හැක. ඇතැම් රටවල බැංකු, ණය දෙන ආයතන හා සමහර පුස්තකාලවල, පාවිච්චි කළ මෝටර් රථවල මිල සඳහන් මාසික යොමු පත් ඇත. මෝටර් රථයක මිල පමණක් නොව, නමුත් බදු, ලියාපදිංචි කිරීම සහ රක්ෂණය සඳහා යන වියදමද ගණන් බැලීමට සහතික වන්න. එමෙන්ම ඔබ මෝටර් රථය මිල දී ගත් පසු කිරීමට සිදු විය හැකි අනපේක්ෂිත අලුත්වැඩියා කිරීම් සඳහා යම් මුදලක් තබාගැනීමට සැලසුම් කරන්න.
මට අවශ්‍ය කුමනාකාරයේ මෝටර් රථයක්ද?
ඔබට අවශ්‍ය දේ තීරණය කරන විට, ඔබට වැදගත් වන දෙයද තීරණය කරන්න. පවුලේ ප්‍රමාණය සහ රැකියාවට යෑම, ඔබේ දරුවන්ව පාසැලට ඇරලීම මෙන්ම ක්‍රිස්තියානි දේවසේවයේ යෑම වැනි ඔබේ මෝටර් රථය පාවිච්චි කරනු ඇති ක්‍රියාකාරකම් ගැනද සලකා බලන්න. මෝටර් රථය පාවිච්චි කරනු ඇත්තේ ප්‍රදේශය තුළ ගමන්වලටද නැතහොත් දීර්ඝ-ගමන්වලටද? විශේෂිත වර්ගයකට හා ගණයකට සීමා නොවන්න; ඒ වෙනුවට, ඉතා හොඳින් පාවිච්චි කර, හොඳ තත්වයක තිබෙන මෝටර් රථයක් ගැන සොයන්න. අලුත්වැඩියා කිරීමට පහසු මෝටර් රථයක් ලබාගන්න. සෑම මෝටර් රථයකටම කාලයක් ගියායින් පසු යළි කොටස් දැමීමට සිදු වේ. ඔබේ ප්‍රදේශයේ සුදුසු කොටස් සපයන්නෙක් සිටීද? වසර දහයකට වඩා පරණ මෝටර් රථවලට කොටස් ලබාගැනීම අසීරු විය හැක. ඔබට තිබෙන්නේ සීමිත මුදලක් නම්, කොටස් හා අලුත්වැඩියාව සඳහා නිසැකවම අධික මුදලක් වැය කිරීමට සිදු වන බැවින්, සුඛෝපභෝගී හෝ ආනයනය කළ විශේෂිත මෝටර් රථ ගැනීමෙන් වළකින්න. එවන් රථ බෙහෙවින් රඳා පැවතිය හැකි ඒවා වීමට ඉඩ කඩ තිබුණත්, ඒවා අයිති කරගැනීමට විශාල මුදලක් වැය විය හැක.
එය හොඳ මෝටර් රථයක්ද?
හොඳ මෝටර් රථයක් හොඳින් සර්විස් කර තිබෙන එකකි. සාමාන්‍යයෙන්ම, අධික ලෙස ධාවනය කළ මෝටර් රථ—විශේෂයෙන්ම මේවා මහාමාර්ගවල ධාවනයට වඩා නගරය තුළ ධාවනය කර ඇත්නම් ගැනීමෙන් වැළකීම හොඳම දෙයයි. අධික ලෙස ධාවනයට ඇතුළත් දුර ප්‍රමාණය ස්ථානයෙන් ස්ථානයට වෙනස් විය හැක. පාවිච්චි කළ කිසිම මෝටර් රථයක් සම්පූර්ණව නොතිබෙනු ඇත. කෙසේවුවද, මෝටර් රථයට අවශ්‍ය අලුත්වැඩියාවන් කිරීම සඳහා වියදම දරාගැනීමට ඔබට හැකි වනු ඇද්ද? බොහෝවිට අලුත්වැඩියාවන් මෝටර් රථයේ වටිනාකම වැඩි නොකරනු ඇත. උදාහරණයක් වශයෙන්, ඔබ ඩොලර් 3,000කට (රු. 1,65,000කට) මෝටර් රථයක් මිලට ගෙන, ඉන්පසු, අලුත්වැඩියාවන් සඳහා ඩොලර් 1,000ක් (රු. 55,000ක්) වියදම් කරනවා නම්, මෝටර් රථයේ වටිනාකම අනිවාර්යයෙන්ම ඩොලර් 4,000ක් (රු. 2,20,000ක්) නොවනු ඇත. සාමාන්‍යයෙන්ම, හොඳ තත්වයක නොපවතින මෝටර් රථයක් මිල දී ගෙන අලුත්වැඩියා කිරීමට වඩා, හොඳ තත්වයේ තිබෙන මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා වැය වන මුදල අඩුය.
හොඳ මෝටර් රථයක් තේරීම සඳහා යෝජනා කිහිපයක් මෙන්න:
• ඔබ මෝටර් රථය මිල දී ගැනීමට පෙර හොඳින් සෝදිසි කර බලන්න. නියම තත්වය දැනගැනීම සඳහා රාත්‍රියේ හෝ වර්ෂාව පවතින විට මෝටර් රථයක් පරීක්ෂා කිරීමෙන් වළකින්න. මෝටර් රථය වටා කඩිනමින් රවුමක් යන්න. එය සම්බන්ධයෙන් ඔබේ හැඟීම කුමක්ද? ඇතුළත හා පිටත පෙනුමෙන්, පෙර හිමිකරු විසින් සැලකිලිමත්ව පාවිච්චි කර තිබෙන බව අඟවයිද? ඒවා හොඳින් නඩත්තු කර තිබේද? වාහන නඩත්තුව සම්බන්ධ වාර්තාවක් සැපයීමට විකුණන්නාට හැකිද? එසේ නැතහොත්, මෝටර් රථය ගැන සැලකිලිමත් වී නැතුවා විය හැක. මෙම මෝටර් රථය ගැන තවදුරටත් සොයාබැලීමට ඔබට අවශ්‍ය නොවනු ඇත.
• මෝටර් රථය පැද පරීක්ෂා කර බලන්න. පරීක්ෂා කිරීමේ පැදවීමකදී, මහාමාර්ගයේ ගමන් කරන වේගයටම මෝටර් රථයේ වේගය වැඩි කරන්න. එලෙසම කඳු පෙදෙස්වල හා සමතලා පාරවල පදවන විට නවත්වමින්, යළි පදවන්න.
එන්ජිම:
එන්ජිම හොඳින් පණගැන්වේද?
දුම් පිට කරන බටය අධික ලෙස දුම් පිට කිරීමකින් තොරව තිබේද?
එන්ජිම හොඳින් ක්‍රියාත්මක වේද?
එය නවතා තිබෙන විට එන්ජිම හොඳින් ක්‍රියාත්මක වේද?
එන්ජිම අමුතු ශබ්ද පිට කිරීමෙන් තොරව තිබේද?
වේගය වැඩි කිරීම සඳහා ප්‍රමාණවත් බලයක් එන්ජිමට තිබේද?
ඉහත ප්‍රශ්නවලින් එකකට හෝ උත්තරය නැත කියා වේ නම්, එන්ජිමට සාමාන්‍යයෙන් ටියුන් කිරීමක් හෝ වඩාත් බරපතළ අලුත්වැඩියා කිරීමක් අවශ්‍ය විය හැක. මේ තත්වයන් පරණ එන්ජිමක් තිබෙන බවටද ඉඟියක් විය හැක. එයට අවශ්‍යව තිබෙන්නේ ‘ටියුන් කිරීමක්’ පමණයි කියා විකුණන්නා පවසනවා නම් පරෙස්සම් වන්න. මෝටර් රථය නිතිපතා නඩත්තුවේදී ටියුන් කිරීම් ඇතුළත් විය යුතුව තිබිණ.
ගියර් මාරු කිරීම:
ස්වයංක්‍රීයව ගියර් මාරු වෙද්දී එය ලිස්සා යයිද, නැතහොත් ගියරයට දමන විට එය පනිනවාද?
එය පහසුවෙන් එකින් එකට මාරු වන්නේ නැද්ද?
ගියරවලින් ඇඹරෙන ශබ්ද නිකුත් වේද?
මෙම ප්‍රශ්නවලින් එකකට හෝ උත්තරය එසේය කියා වේ නම්, ගියර් පද්ධතියට අලුත්වැඩියාවක් අවශ්‍ය විය හැක.
තිරිංග හා අවලම්බන:
ඔබ පදවන විට හෝ තිරිංග දමන විට මෝටර් රථය එක් පැත්තකට ඇදේද?
මෝටර් රථය එක්තරා වේගයකදී හෝ ඔබ තිරිංග දමන විට හෝ කම්පනය වේද?
ඔබ උස් වූ තැන්වලින් රිය පදවන විට, තිරිංග දමන විට හෝ හරවන විට හඬවල් නැඟේද?
මේ ප්‍රශ්නවලින් එකකට හෝ උත්තරය එසේය කියා වේ නම්, මෝටර් රථයේ තිරිංග හෝ අවලම්බන පද්ධතිය අලුත්වැඩියා කළ යුතුවා විය හැක.
• අලුත්වැඩියාවන් අවශ්‍ය වෙනත් පැති බලන්න. මෝටර් රථයේ ඇතුළත, පිටත හා යට පිරික්සා බැලිය හැකි ඇඳුම් අඳින්න.
• රථයේ බොඩිය මලකඩ කා ඇද්දැයි බලන්න. එවැනි මෝටර් රථ ගැනීමෙන් වළකින්න. අලුත් මෝටර් රථවලින් වැඩිහරියක් “තනි බොඩියකින්” සාදා ඇත. වාහනයේ පැති කිහිපයක ව්‍යූහය ශක්තිමත් කිරීම සඳහා බොඩි කොටස් යොදාගැනේ. මෙම කොටස් මලකඩ කෑ විට, ඒවා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සාමාන්‍යයෙන්ම අධික මිලක් වැය වේ. මෝටර් රථයේ බම්පරයේ මලකඩ මතුපිටට සීමා විය හැකි නමුත්, එය සාමාන්‍යයෙන්ම වාහනයේ ව්‍යූහයද මලකඩ කා ඇති බවට ලකුණකි. මෝටර් රථයේ යට මලකඩ කා ඇද්දැයි සෝදිසි කර බලන්න. අලුතෙන් පින්තාරු කර ඇත්නම් පරෙස්සම් වන්න; මෝටර් රථය සුදු කළ සොහොන් ගෙයකට සමාන විය හැක.
• අනතුරුවලින් හානි සිදු වී ඇද්දැයි බලන්න. අනතුරුවලට භාජන වීමේ හේතුවෙන් බොනට්ටුවේ යට හා ඩිකිය ඇතුලේ සැඟවුණු හානි තිබේදැයි සෝදිසි කර බලන්න. දොරවල්, බොනට්ටුව හා ඩිකිය හොඳින් වැසේද? දොරේ රාමුව වැනි අනවශ්‍ය තැන්වල තීන්ත ඉසී ඇති බවට ලකුණු තිබේද? ඩිකියෙහි හෝ ඇතිරිලි දමා ඇති තැන්වල කාන්දු වීම් තිබේද? මේ කාන්දු වීම් මලකඩ කෑමට හේතු විය හැක.
• එන්ජින් තෙල් සෝදිසි කර බලන්න. තෙල් ගැඹුර දක්වන ගිල්වන කෝදුව දෙස බලන්න. තෙල් මට්ටම පහත බැස තිබේද? මෙය අධික ලෙස තෙල් දහනය වීමේ හෝ කාන්දු වීමේ ප්‍රතිඵලයක් විය හැක. තෙල් ඉතා අපවිත්‍රව හෝ කළුගැසී තිබේද? එය රළු වැලි සහිතද? කපාට වැස්මවල් වටා තෙල්වලින් තෙත් වී ඇති බවට ලකුණු තිබේදැයි බලන්න. මෝටර් රථයට නැඟ, ජ්වලන ස්විචය ක්‍රියාත්මක කරන්න, නමුත් මෝටර් රථය පණගන්වන්න එපා. තෙල් පීඩනය අඩු බවට අනතුරු ඇඟවීමේ ආලෝකය පත්තු වේද? මෝටර් රථය තෙල් පීඩන මිනුමකින් සමන්විත වේ නම්, මෙය බිංදුව දැක්විය යුතුය. එන්ජිම පණගන්වා ලැසි දිවුම් වේගයක තබාගන්න, තෙල් පීඩන ආලෝකය නිවී යෑමට හෝ මිනුම සාමාන්‍ය එන්ජින් පීඩනයක් දැක්වීමට කෙතරම් කාලයක් ගන්නවාදැයි බලන්න. ආලෝකය නිවී යෑමට හෝ මිනුම සාමාන්‍ය පීඩනය දැක්වීමට තත්පර කිහිපයකට වඩා වැඩි වේලාවක් ගත වේ නම්, එන්ජිමේ කොටස් බෙහෙවින් ගෙවී ඇති බව ඇඟවිය හැක. එක්සත් ජනපදයේ ඇතැම් අලුත් මෝටර් රථවල ජ්වලන ස්විචය දැමූ විට, “එන්ජිම සෝදිසි කරන්න” හෝ “වහා එන්ජිම සර්විස් කරන්න” දක්වන ආලෝකයක් පැමිණිය යුතු නමුත්, මෙය වන්නේ එන්ජිම ක්‍රියාත්මක වන විට නොවේ. එන්ජිම ක්‍රියාත්මක වන විට ආලෝකය නිවී තිබිය යුතුය. එන්ජිම ක්‍රියාත්මක වන විට ආලෝකය දිගටම පවතී නම්, මෙයින් සාමාන්‍යයෙන්ම අඟවන්නේ එන්ජිමේ ගැටලුවක්, සමහරවිට වායු දුම් පිට කිරීම පාලනය කරන පද්ධතියේ හෝ ඉන්ධන විසර්ජන පද්ධතියේ ගැටලුවක් ඇති බවය.
• ස්වයංක්‍රීයව ගියර් මාරු කිරීමට දමන තෙල් සෝදිසි කරන්න. එය අඩු වී හෝ දහනය වී තිබේද? ගියර් පෙට්ටිය යට කාන්දු වීම් තිබේදැයි බලන්න. මෙම තත්වයන් ගියර් පෙට්ටියේ විශාල අලුත්වැඩියාවක අවශ්‍යතාවක් තිබෙන බව ඇඟවිය හැක. මෝටර් රථය පදවන්නේ ඉදිරි රෝදවලින් නම්, එළවුම් කඳේ ඇක්සලවල මූට්ටු ආවරණය වී ඇති රබර් ආවරණ ඉරී තිබේදැයි දැනගැනීමට එහි යට සෝදිසි කර බලන්න. එසේනම්, ග්‍රීස් ඉවත් විය හැකි අතර මෙය මූට්ටුවලට බලවත් හානි සිදු කළ හැක, එම කොටස් යළි දැමීමට අධික මිලක් වැය වේ.
• ටයර් හතරම සෝදිසි කර බලන්න. ඒවා දැඩි ලෙස ගෙවී ඇත්නම්, අලුත් ඒවා දැමීම අපේක්ෂා කරන්න. ටයර්වල කට්ට අසාමාන්‍ය ලෙස ගෙවී ඇත්නම්, අලයින් කිරීමක් හෝ සුක්කානමට අයත් කොටස් යළි දැමීමට අවශ්‍යතාවක් තිබෙනවා විය හැක.
• පවර්-ස්ටියරිං පද්ධතිය සෝදිසි කර බලන්න. ඊට අයත් තෙල් දහනය වී හෝ අඩු වී තිබේද? මෝටර් රථය පණගන්වා, සුක්කානම කීපවතාවක් පැත්තෙන් පැත්තට හරවන්න. දකුණට හෝ වමට හැරවීම සඳහා එයට සමාන පීඩනයක් යෙදිය යුතුය. ඔබ සුක්කානම හරවන විට බලෙන් තල්ලු වන ගතියක් තිබේද? පවර් ස්ටියරිං එකේ ක්‍රියාකාරිත්වය තරමක් නිශ්ශබ්දව සිදු වන එකක් විය යුතුය. ක්‍රියා කරවීමේදී යම් ගැටලු තිබීමෙන් මිල අධික අලුත්වැඩියා කිරීම් තිබෙන බවක් අදහස් වේ.
• වෙනත් සෝදිසි කිරීම්
පටි සහ නාළවල තත්වය සෝදිසි කර බලන්න.
උස් තැනකදී අත් රෝධකය ක්‍රියා කරනවාදැයි සෝදිසි කර බලන්න.
තිරිංග පෙඩලයේ අසාමාන්‍ය ගෙවී යෑමක් සිදුව ඇද්දැයි සෝදිසි කරන්න.
දුම් පිටවීමේ පද්ධතියේ තත්වය සෝදිසි කරන්න. එය අධික හඬක් නිකුත් කරනවාද? එය බුරුල් වී තිබේද?
කම්පන අවශෝෂක හා දුනු සෝදිසි කරන්න. දුර්වල අවලම්බක පද්ධතිය හේතුවෙන් මෝටර් රථය පහත් වී තිබේද, නැතහොත් ඔබ මාරුවෙන් මාරුවට සෑම කොනක්ම පහළට තල්ලු කරන විට, එය තුන් වතාවකට වඩා උඩට පැද්දෙනවාද?
වායුසමීකරණයක් තිබේ නම්, සෑම පිඹුම් වේගයකම එය ක්‍රියා කරනවාද?
පහන්, වයිපර, නළාව, ආසන පටි සහ කවුළු හොඳින් ක්‍රියා කරනවාද?
වාහන ඇදගෙන යෑමට යමක් සවි කර තිබූ බව හඟවන යම් ලකුණු සඳහා වාහනයේ පිටුපස යට සෝදිසි කරන්න. එසේනම්, ඇදීමේදී ගියර් පෙට්ටිය මත අධික පීඩනයක් යොදා තිබිය හැකි බැවින් පරෙස්සම් වීමට නිර්දේශ කෙරේ.
මේ ලිපියේ සෝදිසි කිරීමට සඳහන් කළ යමක් ගැන ඔබට සැකයක් තිබේ නම්, මෝටර් රථය මිල දී ගැනීමට පෙර නිපුණ යාන්ත්‍රික ශිල්පියෙකු ලවා තක්සේරු කරගැනීම නුවණට හුරු විය හැක. මෝටර් රථය ගැන සොයා බලා, පහත දැක්වෙන දේවල ලැයිස්තුවක් සෑදීමට පවසන්න:
1. මෝටර් රථයට වහාම අවශ්‍ය අලුත්වැඩියාවන් මෙන්ම කොටස් හා ශ්‍රමය සඳහා වැය වන මිල ඇස්තමේන්තුවක්.
2. ඊළඟ වසරේදී මෝටර් රථයට අවශ්‍ය විය හැකි අලුත්වැඩියාවන් මෙන්ම කොටස් හා ශ්‍රමය සඳහා වැය වන මිල ඇස්තමේන්තුවක්.
නිපුණ යාන්ත්‍රික ශිල්පියෙකු මගින් කරන මෙම සෝදිසි කිරීමට ගත වන්නේ පැයකට වඩා අඩු කාලයකි. පැයක ශ්‍රමය සඳහා ඔබට මුදලක් ගෙවන්ට සිදු වුවත්, අලුත්වැඩියාවන් සඳහා වැය වන නොදන්නා මුදල හා සැසඳූ විට වියදම සුළු ප්රමාණයකි. මෑතකදී මෝටර් රථය හා සම්බන්ධව යමක් කර තිබේදැයි විකුණන්නාගෙන් දැනගන්න. සර්විස් කළ වාර්තා ඉල්ලාගෙන බලන්න. තෙල් හා තෙල් පෙරහන නිතිපතා මාරු කරනු ලැබුවාද? ගියර් මාරු කිරීමේ පද්ධතිය කෙදිනක හෝ සර්විස් කර තිබේද? අවසාන වරට මෝටර් රථය ටියුන් කළේ කවදාද? හොඳ මෝටර් රථයක් කියන්නේ, හොඳින් නඩත්තු කර ඇති එතරම් අලුත්වැඩියාවන් අවශ්‍ය නොවන එකක් බව මතක තබාගන්න.
පළමුව මෝටර් රථය පිළිබඳ සියලු සාධක හා දත්ත ගැන සලකමින්, යන වියදම ගණන් බලන්න. ඉන්පසු මිල දී ගැනීමට යොදන මුදල පමණක් නොව, නමුත් වෙනත් වියදම්ද පියවීමට ප්‍රමාණවත් මුදලක් වෙන් කර තිබෙනවාද, එමෙන්ම එම මුදලට මෝටර් රථය වටිනවාදැයි තීරණය කරන්න.—මෝටර් රථ කාර්මික ශිල්පියෙකුගේ දායකත්වයෙනි.
[16, 17වන පිටුවේ පින්තූර]
ඔබ මිල දී ගන්නා පාවිච්චි කළ මෝටර් රථය හොඳ එකක්දැයි සහතික වීමට ඔබට හැක්කේ කෙසේද? මෙහි දැක්වෙන්නේ ඔබ සලකා බැලිය යුතු බොහෝ දේවලින් කිහිපයකි
ඔබ මෝටර් රථය මිල දී ගැනීමට පෙර මෝටර් රථ කාර්මික ශිල්පියෙකු ලවා එය සෝදිසි කරවාගන්න
තෙල් හා තෙල් පෙරහන නිතිපතා වෙනස් කර තිබේද?
අනතුරුවලින් හානි සිදු වී ඇද්දැයි බලන්න. දොරවල්, බොනට්ටුව හා ඩිකිය හොඳින් වැසේද?
අසාමාන්‍ය ලෙස ටයර ගෙවීම අලයින් කිරීමේ හෝ සුක්කානමේ බරපතළ ගැටලු තිබෙන බව ඇඟවිය හැක