පොළොවේ සැඟවුණු විභේද
වර්ෂ 1994 අගෝස්තු 18වන දින, ඇල්ජීරියාවේ මහත් භූමිකම්පාවක් හේතුවෙන්, අඩු තරමින් මනුෂ්‍යයන් 171දෙනෙකු පමණ මියගියේය. සියගණනක් තුවාල ලැබූ අතර, දහස් ගණනකට නිවාස අහිමි වී ගියේය. ඊට සති ගණනාවකට පෙර, බොලීවියාව, කොලොම්බියාව හා ඉන්දුනීසියාවද විශාල භූමිකම්පා මගින් පහර ලැබූ අතර, එයින්ද මුළුමනින්ම මනුෂ්‍ය ජීවිත සිය ගණනක් අහිමි විය.
මෙම මහත් ආපදාවන් සිදු වූ බව ඔබ දැනගෙන සිටියාද? ඔබ එයින් පෞද්ගලික ලෙස බලපෑම් ලැබුවා නම් හෝ අසල්වැසි රටක ජීවත් වූවා නම් මිස, නැතහොත් බොහෝදුරට නොදැන සිටියා විය හැක. අනික් අතට, අ.එ.ජ.හි කැලිෆෝනියා ප්‍රදේශය විශාල භූමිකම්පාවලින් පහර ලබන විට, ඒ සම්බන්ධ ප්‍රවෘත්තිය ලැව් ගින්නක් මෙන් පැතිරෙන බව පෙනෙන්ට තිබෙන අතර, කම්පන පිළිබඳ විද්‍යාත්මක දත්ත ක්ෂණයකින්ම වාගේ ලබාගැනීමට හැකි වේ.
මෙයට හේතුව වන්නේ, 1.5ක් තරම් කුඩා ප්‍රමාණයකින් යුත් භූමිකම්පාද වාර්තා කරන, භූ කම්පන මාන 700කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙන දකුණු කැලිෆෝනියාව තරම්, විද්‍යාඥයන් විසින් මුළුමනින්ම අධ්‍යයනය කර තිබෙන වෙනත් කිසිදු ප්‍රදේශයක් නොතිබීමය. එහි වෙසෙන භූ කම්පන විද්‍යාඥයන්ගේ විශාල සංඛ්‍යාව, ඒ ප්‍රදේශයේ භූමිකම්පා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ලබාගැනීමට හේතුව පැහැදිලි කරයි.
මෑතකදී කළ සොයාගැනීමක්
බොහෝ රටවල විද්‍යාඥයන්ට භූමිකම්පා සම්බන්ධයෙන් වටහාගැනීමටත්, අනතුරු වළක්වාගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් කලින් දැනුම් දීමට උත්සාහ කිරීමටත්, මෙම පුළුල් පර්යේෂණ උපකාර කර තිබෙන බවට කිසිදු සැකයක් නොමැත. සෑම වර්ෂයකම ලෝකයේ විවිධ දේශ විනාශ කරන, සැලකිය යුතු විශාලත්වයකින් යුත් භූමිකම්පා 40ක් පමණ සිදු වන බැවින්, එවන් තාක්ෂණයක් තිබීම වැදගත් වේ. කිසිදු හානියක් නොකරන තරම් කුඩා වුවත්, දැනීමට තරම් විශාල භූමිකම්පාද තිබේ. මේවා සෑම වසරකටම වාර 40,000 හා 50,000 අතර ප්‍රමාණයකින් පහර දෙයි!
විශාල භූගත පාෂාණ ස්තර පීඩනයන් හේතුවෙන් කැඩී බිඳී ස්ථානය මාරු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ භූමිකම්පා සිදු වන බව පෙනේ. මෙම කැළඹීම් සාමාන්‍යයෙන් සිදු වන්නේ, පෘථිවියේ බාහිර පෘෂ්ඨයේ ඇති දැදුරු දිගේය. මෙම දැදුරු විභේද නමින් හැඳින්වේ.
මෙම විභේදවල පිහිටීම විද්‍යාඥයන්ට බොහෝදුරට සිතියමට නැඟිය හැකි බැවින්, ඔවුන්ට භූමිකම්පා සිදු විය හැකි ප්‍රදේශවලට යොමු දැක්වීමට හැක. අප “බොහෝදුරට” යනුවෙන් පවසන්නේ මන්ද? මන්දයත්, විද්‍යාඥයන් කලින් සිතූ පරිදි, ඔවුන්ගේ සිතියම් තුළින් පුළුල් අවබෝධයක් ලබාගත නොහැකි බව මෑතකදී සොයාගෙන තිබෙන හෙයිනි. නිදසුනක් වශයෙන්, කැලිෆෝනියාවේ මැනිය හැකි භූමිකම්පාවලින් වැඩි ප්‍රමාණයක් සැඟවුණු විභේද දිගේ—එනම් බොහෝ අවස්ථාවලදී, සාපේක්ෂ වශයෙන් භූමිකම්පා සිදු නොවේයයි භූ විද්‍යාඥයන් විසින් කලින් සලකනු ලැබූ ප්‍රදේශයන්හි සිදු වන බව මෑතක වූ හෙළිදරව් වීම් මගින් විද්‍යාඥයෝ කැළඹීමට පත් වී සිටිති.
එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂණයේ රොස් ස්ටයීන් හා ඔරිගන් ජනපද විශ්වවිද්‍යාලයේ රොබර්ට් යීට්ස් යන භූමි විද්‍යාඥයන්ට අනුව, “මද බෑවුම් සහිත, නැතහොත් නැමිවලින් යුත් බිම් පෙදෙසක් දෙස බැලූ විට, අනතුරක් තිබේ යන අදහස ගෙනහැර පානවා වෙනුවට, එය නිසංසලභාවයක් ඇති කරයි, එය ඇතැම්විට දරුණුකමින් ඉතා අඩු භූ දර්ශනයක් විය හැක.” කෙසේවෙතත්, නැමීම්වලට භාජන වූ පාෂාණ ස්තර යටතේ සක්‍රීය භූමිකම්පා විභේද තිබෙන බව ඔවුන්ගේ අධ්‍යයනවලින් හෙළි වී තිබේ, මින් බොහොමයක තෙල් තිබෙන නිසා ඒවායින් අයුතු ප්‍රයෝජන ගෙන තිබේ. මෙම භූගත විභේද සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ මන්ද, තවද ඒවා කෙතරම් දුරට තර්ජනයක් එල්ල කරයිද?
නොසලකා නොහැරිය යුතු තර්ජනයක්
පොඩි කර ගුළි කරන ලද පාපිස්සක් මෙන්, පාෂාණ මිරිකා නැමිය හැකි බව භූ විද්‍යාඥයන් බොහෝ කලක පටන් අවබෝධ කරගෙන තිබෙන දෙයකි. එහෙත් මෙය වනාහි, ක්‍රමානුකූලව සිදු වන වෙනස් නොවන ක්‍රියාවලියක් ලෙස සාමාන්‍යයෙන් කල්පනා කරනු ලැබීය. කෙසේවෙතත්, පාෂාණවල ක්‍රියාකාරි විභේද සම්බන්ධයෙන් මෑතක කරන ලද අධ්‍යයනවලදී, ඒවා තත්පර කිහිපයකදී මීටර් 5ක තරම් උසකට, හදිසියෙන් ඉහළට විසි වන බව පෙන්නුම් කෙරේ. මෙම නැමීමේ ක්‍රියාවලිය, පහළ තිබෙන පාෂාණ ස්කන්ධය තෙරපීමක් කරයි. මෙයින් ප්‍රතිඵල වන දැඩි පීඩනය පාෂාණයේ නැම්ම ඇති පහළ කොටසෙහි ඉරිතැලීමක් ඇති කරන අතර, පාෂාණයෙහි එක් කොටසක් අනික් කොටස මත ගමන් කිරීමට පටන්ගනී. භූ කම්පන විද්‍යාඥයන්ට ඒවා අනාවරණය කිරීමට අවස්ථාවක් ලැබීමට පෙර, හානියක් නොමැත්තාක් මෙන් පෙනෙන්ට තිබෙන මෙම නැමි, ඒවායේ සැඟවුණු සක්‍රීය විභේද සමඟ, වර්ධනය වන භූමිකම්පාවන් බවට පත් වේ. පෘථිවි මතුපිටෙහි දෘශ්‍යමානව පවතින වඩාත් කැපීපෙනෙන විභේද මෙන්, එවැනි භූගත විභේද ක්‍රියාකාරකම්වලටද බලවත් භූමිකම්පා ඇති කළ හැකිය.
වර්ෂ 1994, ජනවාරි 17වන දින ලොස් ඇන්ජලීස් ප්‍රදේශයෙහි සිදු වූ නෝත්රිජ් භූමිකම්පාව වනාහි, සැඟවුණු විභේදයකට සිදු කළ හැකි දේ සම්බන්ධයෙන් එක් මෑත නිදසුනකි. භූමිකම්පාව සිදු වූයේ, පොළොව යටින් කිලෝමීටර් 8ක් හා 19ක් අතර සිදු වූ, ඉතා අධික විභේද ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වශයෙනි. භූමිකම්පාවක් සිදුවීමට පෙර, විභේදයේ පැවැත්ම සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට කිසිදු දැනුමක් නොතිබිණ. මෙම සැඟවුණු විභේදය, විශාල දේපොළ හානියක් මෙන්ම, මනුෂ්‍යයන් 9,000කට වඩා වැඩි සංඛ්‍යාවකට තුවාල සිදු කරමින් 61දෙනෙකුව මරණයට පත් කළේය.
කැලිෆෝනියාවේ පමණක් නොව, නමුත් ආමීනියාවේ, ආර්ජන්ටිනාවේ, ඇල්ජීරියාවේ, ඉන්දියාවේ, ඉරානයේ, කැනඩාවේ, ජපානයේ, නවසීලන්තයේ හා පකිස්ථානයේ, ප්‍රබල භූමිකම්පා ගණනාවකටම සැඟවුණු විභේද හේතු වූ බවට විද්‍යාඥයෝ සැක පහළ කරති. පසුගිය දශක කිහිපය තුළ, සැඟවුණු විභේද මගින් ඇති කරනු ලබන්ට ඇති භූමිකම්පාවන් හේතුවෙන් මෙම දේශවල දහස් ගණනක් මරුමුවට පත් වී තිබේ.
මෙම ක්‍රියාකාරි නැමි සිදු වන ස්ථාන සොයාගැනීමට හා ඒවා භූමිකම්පාවක් බවට පත්වීමේ තර්ජනය කලින් පැවසීමේ අභියෝගයට විද්‍යාඥයෝ දැන් මුහුණ දෙති. මේ අතර, උවදුරක් නොමැත්තාක් මෙන් පෙනෙන්ට තිබෙන විනාශකාරි බලයක් ඇති මද බෑවුම් සහිත කඳු සම්බන්ධයෙන් ඔවුහු තවදුරටත් අවතක්සේරු නොකරති.
[22වන පිටුවේ කොටුව]
ලොස් ඇන්ජලීස් හැකිළෙමින් පවතීද?
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි පොළොව යට පිහිටා තිබෙන විභේදවල හා නැමිවල පුළුල් ජාලය, මෙම ප්‍රදේශය අතිශයින්ම අස්ථිර ස්ථානයක් බවට පත් කරවයි. සැන් ඇන්ඩ්‍රියස් විභේදය අසල පිහිටි දුර්වල ස්ථානයක් මගින් සිදු කරනු ලබන තෙරපීමෙන් වැඩි ප්‍රමාණයක්, ලොස් ඇන්ජලීස් ද්‍රෝණිය මගින් අවශෝෂණය කරගන්නා බව පෙනෙන්ට තිබේ. (1994 ජූලි 22 එවේක්! කලාපයේ පිටු 15-18 බලන්න.) මෙම තෙරපීම හේතුවෙන් සිදු වන නැමීම, ලොස් ඇන්ජලීස් ද්‍රෝණියේ භූමි ප්‍රදේශය සෑම වසරකටම අක්කර කාලකින් අඩු කරනවා විය හැකි බවට ප්‍රාදේශීය භූ විද්‍යාඥයෝ තක්සේරු කරති.
[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පෘථිවි ගෝලය: Mountain High Maps™ copyright © 1993 Digital Wisdom, Inc.