බයිබලයේ දෘෂ්ටිකෝණය
සැබෑ ක්‍රිස්තියානීන්ට දිව්‍ය ආරක්ෂාව අපේක්ෂා කළ හැකිද?
යාච්ඤාවකින් පසු, තම සහකාර නමස්කාරකයන්ට සහනාධාර බෙදා දීමට, ක්‍රිස්තියානීහු තමන්ගේ ජීවිත අහිමි වීමට බොහෝදුරට ඉඩ කඩ ඇති යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයක් මැදින් ආරක්ෂාව සඳහා කණ්ඩායමක් වශයෙන් ගමන් කළහ. සටන් වදින හමුදා පිරිස් අතිශයෙන් මවිතයට පත් කරවමින් ඔවුහු ආරක්ෂිතව එම ගමන නිම කළහ. දෙවියන්වහන්සේගේ දූතයා ඔවුන්ව ආරක්ෂා කළාද?
අවුරුදු ගණනාවක් දේවසේවකයන් ලෙස සේවය කළ ක්‍රිස්තියානි යුවළක් ගෙයින් ගෙට ශුභාරංචිය දේශනා කරමින් සිටි විට, එම ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් විය. දෙවියන්වහන්සේගේ දූතයා එම අවස්ථාවේදී ඔවුන්ව හෝ ගුවන් යානය වෙනත් දිශාවකට මඟ නොපෙන්වූයේ මන්ද?—ක්‍රියා 8:26, සසඳන්න.
මෙම සිද්ධීන් සැසඳීමෙන්, අපට මෙසේ ඇසිය හැක: වෙනත් අය ඉතාමත් අන්තරාදායක තත්වයන්ගෙන් බේරී ජීවත් වෙද්දී, ඇතැම් ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටින විට මියයන්නේ මන්ද? ක්‍රිස්තියානීන්ට විශේෂයෙන්ම මෙම අර්බුදකාරි “අන්තිම දවස්වල” දිව්‍ය ආරක්ෂාව අපේක්ෂා කළ හැකිද?—2 තිමෝති 3:1.
දිව්‍ය ආරක්ෂාවේ අරමුණ
යෙහෝවඃ දෙවියන්වහන්සේ ස්වකීය ජනයාට ආශීර්වාදයත් රැකවරණයත් පොරොන්දු කර තිබෙනසේක. (නික්මයාම 19:3-6; යෙසායා 54:17) උන්වහන්සේ කැපීපෙනෙන අයුරින් එසේ කළේ, පළමු සියවසේ, එනම් ක්‍රිස්තියානි සභාව එහි ළදරු අවධියේ පසු වූ කාලයේදීය. සියලු ආකාර ප්රාතිහාර්යයන් බහුලව සිදු කෙරිණ. යේසුස්වහන්සේ දහස් ගණනක් පෝෂණය කිරීම සඳහා ආහාර වැඩි කළසේක; උන්වහන්සේද සිය අනුගාමිකයෝද සියලු ආකාර ලෙඩ රෝග සහ ආබාධයන් සුව කළ අතර, භූතාවේශ වූවන්ගෙන් අධිමානුෂික ආත්මයන් පලවා හැර, මළවුන් පවා මරණයෙන් නැඟිටවූහ. දිව්‍ය මඟ පෙන්වීම යටතේ, පරිණතභාවයට පත් නොවූ නවක සභාව වර්ධනය වූ අතර, ශක්තිමත්ව ස්ථාපිත කරන ලදි. එහෙත් දෙවියන්වහන්සේගෙන් පැහැදිලි මඟ පෙන්වීමක් ලැබුවත්, බොහෝ විශ්වාසවන්ත ක්‍රිස්තියානීහු අකල් මරණ ලෙස හැඳින්විය හැකි දෙයට ගොදුරු වූහ.—ගීතාවලිය 90:10, සසඳන්න.
සෙබදීගේ පුත්‍රයන් වූ යාකොබ් හා යොහන්ගේ අද්දැකීම් සලකා බලන්න. පේතෘස් සමඟ ප්‍රේරිතයන් වශයෙන් තෝරාගනු ලැබූ ඔවුහු, ක්‍රිස්තුස්වහන්සේගේ සමීපතම මිතුරන් අතර වූහ.a ඔහුගේ සහෝදරයා වන යොහන් පළමු සියවසේ අගභාගය තෙක් ජීවත් වුවත්, යාකොබ් පො.යු. 44දී ප්‍රාණ පරිත්‍යාගිකයෙකු ලෙස මියගියේය. දෙදෙනාම පැහැදිලිවම දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටියහ. යොහන්ට ජීවත්වීමටත් යාකොබ්ට මියයෑමටත් ඉඩහරිනු ලැබුවේ මන්ද?
නිසැකවම සර්ව බලධාරි දෙවියන්වහන්සේට යාකොබ්ගේ ජීවිතය ගළවාගැනීමට හැකියාව තිබිණ. යාකොබ්ගේ ප්‍රාණ පරිත්‍යාගී මරණයෙන් ටික කලකට පසු, ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේගේ දූතයා විසින් පේතෘස්ව මරණයෙන් බේරාගන්නා ලදි. දේවදූතයා යාකොබ්ව බේරා නොගත්තේ මන්ද?—ක්‍රියා 12:1-11.
දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු කරගැනීම සඳහා භාවිත කරන ලදි
දිව්‍ය ආරක්ෂාව සපයනු ලබන්නේ මන්ද කියා තේරුම්ගැනීමට, එය දෙනු ලබන්නේ හුදෙක් පුද්ගලයන්ට වඩාත් දිගු කාලයක් ජීවත්වීම සඳහා නොව, නමුත් වඩා වැදගත් දෙය වන දෙවියන්වහන්සේගේ අරමුණ ඉටු කරගැනීම සඳහා බව අප අවබෝධ කරගත යුතුය. නිදසුනක් ලෙස, සමස්තයක් වශයෙන් ක්‍රිස්තියානි සභාවේ පැවැත්ම සහතික කරනු ලැබේ, මන්දයත් එයට දෙවියන්වහන්සේගේ අරමුණ ඉටුවීම හා බැඳි සමීප සබැඳියාවක් ඇති බැවිනි. කෙසේවෙතත්, පුද්ගලයන් වශයෙන් තම ඇදහිල්ල නිසා තමුන්ට මරණයට මුහුණ දීමට සිදු විය හැකි බව ක්‍රිස්තුස්වහන්සේ පැහැදිලිවම සිය ශ්‍රාවකයන්ට පැවසූසේක. මෙය සඳහන් කිරීමෙන් පසු, ආශ්චර්යවත් ගැළවීමක් නොව, නමුත් ‘අන්තිමය දක්වා විඳදරාගෙන’ සිටීම යේසුස්වහන්සේ අවධාරණය කළසේක. (මතෙව් 24:9, 13, NW ) සමහර පුද්ගලයන්ව ආරක්ෂා කරනු ලැබීමත්, වෙනත් අයට එසේ නොකරනු ලැබීමත්, දෙවියන්වහන්සේ අගතිසහගතව ක්‍රියා කරන බව අදහස් නොකරයි. අවසානයේදී සියලු මිනිස්වර්ගයාට ප්‍රයෝජන ගෙනෙනු ලබන උන්වහන්සේගේ අරමුණ ඉටු කරගැනීම සඳහා හුදෙක් හොඳම තත්වයේ සිටි පුද්ගලයන්ව දෙවියන්වහන්සේ යොදාගත්තා පමණි.
දෙවියන්වහන්සේගේ සේවයෙහි අකල් මරණයක් සිදුවීම සැබෑවක් විය හැකි බැවින්, දෙවියන්වහන්සේට නමස්කාර කිරීම නිසා මරණ දඬුවමට යටත් කරනු ලැබූ ඇදහිලිවන්ත හෙබ්‍රෙව්වරුන් තිදෙනා මෙන් සමබර ආකල්පයක් ක්‍රිස්තියානීන්ට තිබිය යුතුය. ඔවුහු බබිලෝනීය රජුට මෙසේ කීහ: “ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනව.”—දානියෙල් 3:17, 18.
යෙහෝවඃවහන්සේ පේතෘස්ගේ සහ යාකොබ්ගේ ජීවිත ආරක්ෂා කළේ, ඔවුන්ගේ ප්‍රධාන භූමිකාව උන්වහන්සේගේ අරමුණ ඉටු කිරීම හා සම්බන්ධ වූ නිසාය. දේවානුභාවය ලත් බයිබල් පොත් දෙකක් ලිවීම ඇතුළු, එඬේර වැඩ කිරීමෙන් සභාවන් “ශක්තිමත් කිරීමට” පේතෘස්ව යොදාගැනිණ. (ලුක් 22:32, NW ) යොහන් බයිබල් පොත් පහක් ලියූ අතර, මුල් සභාවේ ‘කණුවක්’ වූයේය.—ගලාති 2:9; යොහන් 21:15-23.
ස්වකීය සේවකයන්ගේ ජීවිතවලට මැදිහත් වන්නේ හරියටම කිනම් අවස්ථාවේදීද, කොයි ආකාරයෙන්ද යන්න යෙහෝවඃවහන්සේ තීරණය කරන්නේ කෙසේද කියා කලින් පැවසිය නොහැක. නිශ්චිතව සඳහන් කළ හැක්කේ මෙපමණයි, එනම් “මේ දේවල පිළිවෙළේ සමාප්තිය දක්වා සියලු දවස්වල” සිය අනුගාමිකයන් සමඟ සිටීමට ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු වූ බවය. (මතෙව් 28:20, NW ) දේශනා කිරීමේ වැඩයේදී දේවදූතමය මඟ පෙන්වීම සැපයීම මගින්, විශේෂයෙන්ම උන්වහන්සේ ‘අප සමඟ’ සිටිනු ඇත. (මතෙව් 13:36-43; එළිදරව් 14:6) මෙම පුළුල් ඇඟවීම් හැර, දිව්‍ය උපකාරය පෙන්වනු ලබන්නේ කෙසේද නැතහොත් දිව්‍ය රැකවරණය ලබන්නේ කවුද කියා ස්ථිර වශයෙන් අපේක්ෂා කිරීමට අපට නොහැක. දෙවියන්වහන්සේගේ රැකවරණය සහ මඟ පෙන්වීම ක්‍රිස්තියානියෙකු ලබා ඇති බව ඔහුට හැඟෙනවා නම් කුමක් කිව හැකිද? මෙය නිසැකවම ඔප්පු කිරීමට හෝ නොකිරීමට බැරි නිසා, කිසිවෙකු එවන් අවංක ප්‍රකාශයන් විනිශ්චය නොකළ යුතුය.
දෙවියන්වහන්සේ අනුකම්පා විරහිතද?
දෙවියන්වහන්සේ ක්‍රිස්තියානීන්ගේ මරණවලට ඉඩහැරීමෙන්, යම් ආකාරවලින් අනුකම්පා විරහිතව ක්‍රියා කර තිබෙන බව පෙන්නුම් කරයිද? කොහෙත්ම නැත. (දේශනාකාරයා 9:11) යෙහෝවඃවහන්සේ ක්‍රියා කරමින් සිටින්නේ අපගේ ජීවිත හුදෙක් වසර කිහිපයකට හෝ දශක කීපයකට පවා ආරක්ෂා කිරීම සඳහා නොව, නමුත් සදාකාලයටම ආරක්ෂා කිරීම සඳහාය. ස්වකීය උත්කෘෂ්ට දෘෂ්ටිකෝණයෙන්, තමන්වහන්සේට ප්‍රේම කරන නැතහොත් සමීප වන සෑම පුද්ගලයෙකුගේම සදාකාලික ශුභසිද්ධිය සඳහා උන්වහන්සේ ඉතා දක්ෂ ලෙස කාරණා හසුරුවනසේක. (මතෙව් 18:14, සසඳන්න.) උන්වහන්සේගේ අරමුණ ඉටුවීම යන්නෙන් අදහස් වන්නේ, මේ දේවල පිළිවෙළ තුළ අප අද්දකින ඕනෑම වේදනාවක්, මරණය පවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් කෙතරම් සංකීර්ණද කෙතරම් සම්පූර්ණද කිවහොත්, ප්‍රේරිත පාවුල් මවිතයෙන් මෙසේ පැවසීමට පෙලඹුණේය: “අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!”—රෝම 11:33.
දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්ට කිසිවකට නොහැකි බැවින්, සෑම ක්‍රිස්තියානියෙකුම ඇසිය යුත්තේ ‘මට දිව්‍ය ආරක්ෂාව තිබෙනු ඇද්ද?’ යන්න නොව, නමුත් ‘මට යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද තිබෙනවාද?’ යන්නය. මේ දේවල පිළිවෙළේදී අපට කුමක් සිදු වුවත්, අපි උන්වහන්සේගේ කැමැත්ත කරන්නෙමු නම්, උන්වහන්සේ අපට සදාකාල ජීවනය දානය කරනසේක. පරිපූර්ණ ජීවිතයේ සදාකාලිකත්වය හා සසඳා බලද්දී, මේ පිළිවෙළේ ඕනෑම වේදනාවක්, මරණය පවා ‘මොහොතකට පවතින සැහැල්ලු දුකක්’ ලෙස පෙනෙනු ඇත.—2 කොරින්ති 4:17.
[පාදසටහන]
a පේතෘස්, යාකොබ් සහ යොහන් යේසුස්වහන්සේගේ අන්වෙසක් වීමටත් (මාර්ක් 9:2), යායිරස්ගේ දියණියගේ නැවත නැඟිටීමටත් සාක්ෂිකරුවෝ වූහ (මාර්ක් 5:22-24, 35-42); යේසුස්වහන්සේ පෞද්ගලිකව අද්දුටු පරීක්ෂාව අතරතුර ඔවුහු ගෙත්සෙමන උයනෙහි නුදුරින් සිටියහ (මාර්ක් 14:32-42); තවද අන්දෘ සමඟ ඔවුහු, යෙරුසලමේ විනාශය, උන්වහන්සේගේ අනාගතික පැමිණසිටීම සහ දේවල පිළිවෙළේ සමාප්තිය ගැනත් යේසුස්වහන්සේගෙන් විමසූහ.—මතෙව් 24:3; මාර්ක් 13:1-3.