සංඥා කරන දෑත් සමඟින් මනුෂ්‍යයන් වෙත ළඟාවීම
වර්ෂ 1995 ජූනි මාසයේ පටන් ග්‍රීෂ්ම කාලය පුරා, එක්සත් ජනපදයේ ශාඛා කාර්යාල ප්‍රදේශයේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ, “ප්‍රීතිමත් ප්රශංසාකරන්නෝ” යන තේමාව යටතේ දිස්ත්‍රික් සමුළු 181ක් පැවැත්වූහ. මින් දෙකකදී—එනම් එකක් නැඟෙනහිරේ සහ අනික බටහිරේ—මුළු වැඩසටහනම කෙළින්ම අමෙරිකානු සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරනු ලැබීය. මෙසේ වැඩසටහනේ පැහැදිලිකම ඉමහත් සේ වැඩි විය—මන්දයත්, කතා කරනු ලබන භාෂාවක් බිහිරි අයට පැහැදිලි කිරීමට වඩා, සංඥා භාෂාවෙන් කෙළින්ම කතා ඉදිරිපත් කිරීම තේරුම්ගැනීමට වඩාත් පහසු බැවිනි.
එක්සත් ජනපදය පුරා පැතිර තිබෙන සංඥා-භාෂා සභා 11කින් සහ සංඥා-භාෂා කණ්ඩායම් 30කින් පමණ නියෝජිතයෝ පැමිණ සිටියහ. එහෙත්, ඉක්වදෝරය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඩෙන්මාර්කය, ඩොමිනිකානු සමූහාණ්ඩුව, නෝර්වේ, පුවටෝ රිකෝ, බ්‍රිතාන්‍යය, මෙක්සිකෝව සහ රුසියාව යනාදී රටවලින්ද නියෝජිතයෝ පැමිණ සිටියහ. එබැවින් ජාත්‍යන්තර වාතාවරණයක් එහි පැවතිණ.
එම වැඩසටහන සංවෘත පරිපථ රූපවාහිනී ජාලයක් ඔස්සේ නැරඹීමට හැකි වන පරිදි වීඩියෝ තිර සවි කරන ලදි. කෙසේවෙතත්, නියෝජිතයන් අතර සැලකිය යුතු සංඛ්‍යාවක් බිහිරි මෙන්ම අන්ධ අය වූහ. මොවුන් වැඩසටහනින් ප්‍රයෝජන ලබනු ඇත්තේ කෙසේද? ස්පර්ශක ක්‍රමයට එක් එක් දවසේ වැඩසටහන ඔවුන්හට පැහැදිලි කර දීමට, ස්වේච්ඡා සේවකයන් සියයකටත් අධික පිරිසක් වාර ගෙන කටයුතු කරන අයුරු නිරීක්ෂණය කිරීම හැඟීම් දනවන දෙයක් විය.
මෙම සමුළු දෙකේදී, 36දෙනෙක් යෙහෝවඃ දෙවියන්වහන්සේට තම කැපවීම බව්තීස්මය මගින් සංකේතවත් කළහ. තවත් විශේෂාංගයක් වූයේ, මහලුවියේ සුදුස්සන්ට ගෞරව කිරීම නමැති නාට්‍යයයි. මෙම නාට්‍යය ඉදිරිපත් කිරීමෙහිලා බිහිරි සාමාජිකයන්ට සැලකිය යුතු අන්දමින් සහභාගි වීමට ඉඩහරිමින්, සම්පූර්ණයෙන්ම සංඥා භාෂාවෙන් එය ඉදිරිපත් කරනු ලැබීම මොනතරම් උද්යෝගයක් ඇති කළාද!
අනතුරුව සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති නව බයිබල් පාඩම් ආධාරකය මුදාහරින ලදි. මෙම පොත සංඥා-භාෂාවෙන් ඉදිරිපත් කිරීමට වීඩියෝ පටියක් සූදානම් කරන බව දැනගැනීමට සමුළුවලට පැමිණි අය විශේෂයෙන් සතුටු වූහ! සමුළුවේදී මුදාහරිනු ලැබූ 1වන වෙළුමෙහි මුල් පරිච්ඡේද තුන අඩංගු වේ. තවත් වෙළුම් පහක් ඉන් අනතුරුව ලබාගත හැකි වේ. “මෙම නව වීඩියෝව ලැබීම ගැන අප මොනතරම් ස්තුතිවන්ත වනවාද” යනුවෙන් ඔහයියෝ සිට පැමිණි සමුළු නියෝජිතයෙක් ප්‍රකාශ කළේය. “බිහිරි අය අතර දේශනා කිරීමේ වැඩය වේගවත් කිරීමට එය අපහට උපකාරවත් වේවි.”
මෙම සමුළු දෙකට පැමිණ සිටි 2,621දෙනා, ආත්මික වශයෙන් යළි ප්‍රබෝධවත් කරනු ලැබ නැවත නිවෙස් කරා ගියෝය. කවරදාකටත් වඩා, ගීතිකාකරුගේ මෙම වදන් ප්රතිනාද කිරීමට ඔවුහු අධිෂ්ඨානපූර්වකව සිටියෝය: “හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.”—ගීතාවලිය 150:6.