යුද්ධයෙන් තොර ලොවක් ඇති විය හැකිද?
යුද්ධයේ දරුණු යථාර්ථය හා එහි අනිෂ්ට විපාක යළි කෙදිනකවත් දකින්නේ හෝ අද්දකින්නේ නැතැයි සිතන්න. වෙඩි හඬ හෝ බෝම්බ හඬ කෙදිනකවත් ඇසෙන්නේවත්, සාගින්නෙන් පෙළෙන තත්වයට පත් වූ පලායමින් සිටින සරණාගතයන් සමූහයක් දක්නට ලැබෙන්නේවත්, යම් කෲර හා නිරර්ථක ගැටුමකින් ඔබ හෝ ප්‍රේමනීයයෙකු මියයයි කියා කල්පනා කරන්ට සිදු වන්නේවත් නැතැයි සිතන්න. යුද්ධයෙන් තොර ලොවක ජීවත්වීමට ලැබේ නම්, එය කෙතරම් පුදුමසහගත දෙයක් වනු ඇද්ද!
‘සිදු වෙයි කියා බලාපොරොත්තු විය හැකි දෙයක් නෙවෙයි,’ යනුවෙන් ඔබ පැවසිය හැක. එහෙත්, වසර කිහිපයකට පෙර, මිනිසුන් තුළ සාමකාමී ලොවක ජීවත්වීමේ අපේක්ෂාව දීප්තිමත්ව දැල්වෙමින් තිබිණ. ජාතීන් සුරක්ෂිතභාවයේ හා සහයෝගිත්වයේ නව යුගයක එළිපත්තේ සිටින බව, 1990 හා 1991දී බොහෝදෙනෙක් පැවසූහ. කාලවල ස්වභාවය පැහැදිලිව දක්වමින්, එවකට එක්සත් ජනපදයේ ජනාධිපතිව සිටි ජෝර්ජ් බුෂ් “නව ලෝක ක්රමයේ” මතුවීමක් ගැන බොහෝ අවස්ථාවලදී කතා කළේය.
ශුභවාදය මන්ද? ශීත යුද්ධය නිම වී තිබිණ. වසර 40කට වැඩි කාලයක් පුරා, න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය මිනිස්වර්ගයාට ඉහළින්, සිහින් නූලකින් කඩුවක් එල්ලා තිබෙන්නාක් මෙන් වහා අනතුරු කිරීමට සැරසී සිට ඇත. එහෙත් කොමියුනිස්ට්වාදයේ අභාවය හා සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමඟ න්‍යෂ්ටික සමූලඝාතනයක තර්ජනය අතුරුදහන් වන බවක් පෙනෙන්ට තිබිණ. ලොවට සැනසුම් සුසුමක් හෙළන්ට හැකි විය.
ජනයා අනාගතය දෙස නිසැකකමින් යුතුව බැලුවේ මන්ද හා තවමත් බොහෝදෙනා එසේ බලන්නේ මන්ද යන්නට තවත් විශාල හේතුවක් තිබිණ. නැඟෙනහිර හා බටහිර අතර දශක සතරක් පුරා පැවති විරෝධය, එක්සත් ජාතීන් වාදවිවාදවලින් පිරි සමාජයක් බවට පත් කර තිබිණ. එහෙත් ශීත යුද්ධයේ අවසානය, එක්සත් ජාතීන්ට තමන් කිරීමට සැලසුම් කළ දෙය—එනම් අන්තර්ජාතික සාමය හා සුරක්ෂිතභාවය කරා වැඩ කිරීමට නිදහස ලබා දිණ.
මෑත වසරවලදී යුද්ධ වැළැක්වීමට එක්සත් ජාතීන් ඉමහත් වෑයම් දරා ඇත. සාමාජික රටවල කණ්ඩායම්වලින් සන්නද්ධ වූ එක්සත් ජාතීන්, මීට පෙර වසර 44ට වඩා, 1994ට පෙර වසර හතරේදී සාමය පැවැත්වීමේ මෙහෙයුම් වැඩි ප්‍රමාණයක යෙදී ඇත. රටවැසියෝ හා හමුදා සේවයේ නිරතවූවෝ 70,000ක් පමණ ලොව පුරා මෙහෙයුම් 17ක යෙදුණාහ. වසර දෙකකින් පමණක්, 1994දී සාමය පැවැත්වීමේ වියහියදම් ඩොලර් බිලියන 3.3කට වඩා දෙගුණ විය.
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බූට්රොස් බූට්රොස් ගාලි මෑතකදී මෙසේ ලීවේය: “වසර 50කට පමණ පෙර [එක්සත් ජාතීන් පිහිටුවීමත් සමඟ] සැන් ෆ්රැන්සිස්කෝවල ස්ථාපිත සංයුක්ත සුරක්ෂිතභාවයේ ක්‍රමය මුලින් අදහස් කළ ලෙස යන්තම් ක්‍රියාත්මක වීමට පටන්ගන්නා බවට ලකුණු තිබේ . . . ක්‍රියාත්මක වන අන්තර්ජාතික පිළිවෙළක් අපි අත් කරගනිමින් සිටින්නෙමු.” මෙම සිදුවීම් තිබියදීත්, නව ලෝක පිළිවෙළක දසුන ශීඝ්‍රයෙන් මැකී යමින් පවතී. යුද්ධයෙන් තොර ලොවක් සඳහා වූ බලාපොරොත්තු අඳුරු කිරීමට බලපා ඇත්තේ කුමක්ද? අප කෙදිනක හෝ ලොව පුරා සාමය දකින බව විශ්වාස කිරීමට හේතු තිබේද? මතු ලිපිවල මෙම ප්‍රශ්න සලකා බලනු ඇත.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
යුද්ධ ගුවන් යානා: USAF ඡායාරූපය
සතුරු ගුවන් යානාවලට පහර දෙන තුවක්කු: U.S. National Archives ඡායාරූපය