කල්පවතින සාමය ගෙන දිය හැක්කේ කවරෙකුටද?
“ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”
ඉහත පාඨය, බයිබලයේ යෙසායා 2වන පරිච්ඡේදයේ 4වන පදයෙන් ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ප්‍රකාශිත හ්යූමන් ඩිවෙලප්මන්ට් රිපෝට් නයින්ටීන්නයින්ටිෆෝර් මෙම වදන් උපුටා දක්වා, අනතුරුව මෙසේද පැවසීය: “[වර්ෂ 1990දී] ශීත යුද්ධයේ අවසානයත් සමඟ මෙම අනාවැකිය සඳහා කාලය පැමිණි බවක් පෙනෙන්ට තිබිණ. එහෙත් මේ දක්වා මෙය පුහු බලාපොරොත්තුවක් බව ඔප්පු වී ඇත.”
හමුදාව සඳහා වියදම අඩු කිරීම
සාමය සඳහා බලාපොරොත්තු හීනවීමට එක් සාධකයක් වනාහි, ජාත්‍යන්තර දේශපාලන වාතාවරණයේ වෙනසක් සිදු වුවත්, ඊට සරිලන සේ හමුදාව සඳහා දරන වියදම් විශාල ලෙස අඩු නොකිරීමයි. යම් අඩු කිරීම් සිදු කර ඇති බව සත්‍යයකි. එක්සත් ජාතීන් ගණන් බලා ඇති අන්දමට, වර්ෂ 1987දී ඉහළම මට්ටමක තිබූ ඩොලර් බිලියන 995ක සමස්ත ලෝක හමුදා වියදම, 1992දී ඩොලර් බිලියන 815 දක්වා පහත බැස්සේය. එහෙත්, ඩොලර් බිලියන 815ක් විශාල ගණනකි. එය දළ වශයෙන් ලෝක ජනගහනයෙන් අඩකගේ ඒකාබද්ධ ආදායමට සමානය.
නිරායුධකරණයට එරෙහිව ක්‍රියා කරන තවත් සාධකයක් වන්නේ, සුරක්ෂිතභාවය ගෙන ඒමට හමුදාවට හැකිය යන මතයයි. මෙබැවින්, ශීත යුද්ධය අවසන් වී තිබියදී පවා, රටේ ආරක්ෂාව සඳහා වියදම් කරන මුදල ඉහළ මට්ටම්වල පවත්වාගත යුතු බවට කාර්මික ලෙස දියුණු රටවල් බොහොමයක් තර්ක කරයි. ජේම්ස් වූල්සි, යූ.එස්. සෙන්ට්‍රල් ඉන්ටෙලිජන්ස් ඒජන්සියෙහි අධ්‍යක්ෂකව සිටියදී, 1993 පෙබරවාරියේදී කොන්ග්‍රෙස් සභාවට මෙසේ පැවසීය: “අප විශාල මකරෙක් [සෝ.ස.ජ.ස.] මරා දමා තිබුණත්, අප දැන් ජීවත් වන්නේ වික්ෂිප්ත කරවන විවිධත්වයකින් යුත් විෂඝෝර සර්පයන් පිරි කැළෑවකයි.”
මකරන් හා විෂඝෝර සර්පයන් ලෙස ඒත්තුගෙන ඇති රටවලින් පැමිණිය හැකි ප්‍රහාරයක් වැළැක්වීමේ මාධ්‍යයක් වශයෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල ඉහළ හමුදා වියදමක් තිබීමද යුක්තිසහගත බව දක්වා ඇත. එහෙත් යථාර්ථය වශයෙන්, UNDP සඳහන් කරන්නේ මෙසේය, “සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර යුද්ධ කිහිපයක සටන් කර ඇති අතර, බොහෝ කණ්ඩායම් තම ජනතාව මැඩපැවැත්වීමට තම සන්නද්ධ බලඇණි යොදවා ඇත.” ඇත්තෙන්ම, UNDP වාර්තාව මෙසේ පැහැදිලි කරනු ලැබීය: “සංවර්ධනය වෙමින් පවතින රටවල, යුද්ධයක බාහිර ප්රචණ්ඩත්වය හේතුවෙන් මියයෑමට තිබෙන ඉඩ කඩට වඩා, සමාජය නොසලකා හැරීමෙන් (මන්දපෝෂණයෙන් හා වළකාලිය හැකි රෝගවලින්) මියයෑමට ඇති ඉඩ කඩ 33ගුණයකින් වැඩිය. එහෙත් සාමාන්‍යයක් වශයෙන්, සෑම වෛද්‍යවරයෙකුටම සොල්දාදුවන් 20ක අනුපාතයක් තිබේ. කෙසේනමුත් ඉන් යමක් සිදු වුවහොත්, සොල්දාදුවන් පෞද්ගලික ආරක්ෂාව වැඩි කරනවාට වඩා එය අඩු කිරීමට ඇති ඉඩ කඩ වැඩිය.”
ජාත්‍යන්තර අවි වෙළඳාම
ශීත යුද සමයේදී, මිත්‍රත්වයන් තහවුරු කිරීම, හමුදා මෙහෙයුම් මධ්‍යස්ථාන ලබාගැනීම මෙන්ම බලය පැවැත්වීම සඳහා සුපිරි බලවතුන් දෙදෙනා විසින් මිත්‍රයන්ට අවි විකුණන ලදි. බොහෝ රටවල හමුදා බලවත් විය. උදාහරණයක් වශයෙන්, දැනට රටවල් 33ක, සෑම රටකටම යුද්ධ ටැංකි 1,000කට වඩා තිබේ.
අවි විකිණීමට දායක වන දේශපාලනික හේතු හා රටේ පිහිටීම/රට පිහිටා තිබෙන ස්ථානය මත පදනම් හේතු අඩු වී ඇත. එහෙත්, ආර්ථික අනුබලයන් ශක්තිමත්ව පවතී. මුදල් ඉපැයීමට ප්‍රස්තාවක් තිබේ! එබැවින්, රට තුළ අවි ඉල්ලුම පහත බසින විට, පිටරටවලට අවි විකිණීම, රැකියා රැකගැනීමට හා ආර්ථිකය ශක්තිමත්ව තබාගැනීමට මාර්ගය බව අවි නිපදවන්නෝ සිය ආණ්ඩුවලට ඒත්තුගන්වති.
වර්ල්ඩ් වොච් සඟරාව මෙසේ අදහස් පළ කරයි: “සුපිරි බලවතුන් තම විශාල න්‍යෂ්ටික මිසයිල අස් කරගන්නා සේම, ඊට පටහැනිව, ඔවුහු තම සම්මත බෝම්බ හා තුවක්කු මිල දී ගන්නා ඕනෑම කෙනෙකුට ඒවා විකිණීමට හදිසිතාවකින් යුතුව මං සොයති.” වටිනාකම? ස්ටොක්හෝම් අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනයට අනුව, 1988 සිට 1992 දක්වා වකවානුවේදී අන්තර්ජාතික වෙළඳාමක් ලෙස විකිණූ සම්මත අවිවල අගය ඩොලර් බිලියන 151ක් විය. වැඩි වශයෙන්ම එක්සත් ජනපදයද, අනතුරුව, කලින් සෝවියට් සමූහාණ්ඩුවේ රටවල් මගින්ද අපනයනය කරනු ලැබීය.
න්‍යෂ්ටික තර්ජනය තවමත් පවතී
න්‍යෂ්ටික තර්ජනය ගැන කුමක් කිව හැකිද? එක්සත් ජනපදය හා සෝවියට් සංගමය (හෝ එහි අනුප්‍රාප්තික ජනපද) 1987දී මධ්‍ය දුර න්‍යෂ්ටික මිසයිල ඉවත් කිරීමේ ගිවිසුමකටද, 1991 හා 1993 වර්ෂවලදී දිග-දුර න්‍යෂ්ටික අවි අඩු කිරීමේ ගිවිසුම් දෙකකටද (START) අත්සන් තැබීය.
ගොඩ බිමේ සිට ඉලක්ක කරන, එක යුද හිසකට වඩා ඇති මිසයිල තහනම් කළ START ගිවිසුම්, න්‍යෂ්ටික යුද හිස් මුදාහරින සියලු පද්ධතිවලින් හතරෙන් තුනක් පමණ වර්ෂ 2003 වන විට ඉවත් කිරීමට නියෝග පනවන ලදි. එහෙත් IIIවන න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය පහ වී ගොස් ඇතත්, පොළොවේ සිටින සියලු ජීවිත විනාශ කර දැමීමට ප්‍රමාණවත් න්‍යෂ්ටික අවිආයුධ බහුල ලෙස තවමත් පවතී.
මෙම අවි විසුරුවාහැරීම න්‍යෂ්ටික සොරකම සඳහා ප්‍රස්තාවන් වැඩි කරයි. උදාහරණයක් වශයෙන්, රුසියාව සෑම වර්ෂයකම යුද හිස් 2000ක් පමණ ඉවත් කර, ගබඩා කරන අතර, ඒවායින් ස්ඵෝටක ලෙසින් හැඳින්වෙන, අත මිට මෙළවූ ප්‍රමාණයේ ගෝලාකාර විකිරණශීලී ලෝහයක් යළි ලබාගනියි. සෑදීමට අධික වියදමක් සහ තාක්ෂණය අවශ්‍ය වන යුද හිස් ස්ඵෝටකයක් වූ කලි, න්‍යෂ්ටික බෝම්බයක ප්‍රධාන ද්‍රව්‍යය වේ. සාමාන්‍යයෙන්ම ස්ඵෝටක විකිරණශීලිත්වය වළක්වන වානේ තට්ටුවකින් ආවරණය වී තිබෙන බැවින්, සොරෙකුට තම සාක්කුවේ ඉන් එකක් සඟවාගෙන යා හැක. සාදා නිම කළ ස්ඵෝටකයක් ලබාගෙන තිබෙන ත්‍රස්තවාදියෙකුට, අධි ප්‍රබල බෝම්බයක් යළි නිපැයීම සඳහා එය පුපුරවා හැරීමට සලස්වන ආම්පන්න එය වටා එතිය හැක.
බොහෝ රටවලට න්‍යෂ්ටික අවි පතුරුවා හැරීමේ තර්ජනය සැලකිලිමත් විය යුතු තවත් දෙයකි. චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය, න්‍යෂ්ටික බලය තිබෙන බවට පිළිගත් රටවල් පහක් වන අතර, න්‍යෂ්ටික අවි නොපමාව යොදාගැනීමට හැකියාවක් වෙනත් රටවල් කිහිපයකට තිබෙන බවට කල්පනා කෙරේ.
රටවල් වැඩි වැඩියෙන් න්‍යෂ්ටික අවි ලබාගන්නා අතර, කවරෙකු හෝ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව වැඩි වෙමින් පවතී. බිය එළවන මෙම අවි ආයුධ භාවිතය ගැන ජනයා භය වන්නේ හේතු රහිතව නොවේ. ද ට්‍රාන්ස්ෆොමේෂන් ඔෆ් වෝර් නමැති පොත පවසන පරිදි, “ඒවායේ බලය කෙතරම් විශාලද කිවහොත්, ඒවා ලෝක සම්මත යුද අවි වැදගැම්මකට නැති ඒවා මෙන් පෙනෙන්ට සලස්වයි.”
නිරායුධකරණය හා සාමය
එහෙත් ජාතීන්ට දක්ෂ ලෙස නිමවූ සිය විනාශකාරි යුද අවි ඉවත් කරගැනීමට හැකි වූයේ නම් කුමක්ද? එමගින් සාමකාමී ලොවක් සහතික වනු ඇද්ද? කොහෙත්ම නැත. යුද හමුදා පිළිබඳ ඉතිහාසඥ ජෝන් කීගන් මෙසේ නිරීක්ෂණය කරයි: “එක්දාස් නවසිය හතළිස්පහේ අගෝස්තු 9වනදා පටන් න්‍යෂ්ටික අවි මගින් කිසිවෙකු ඝාතනය වී නැත. එදා පටන් යුද්ධයෙන් මියගොස් ඇති 5,00,00,000දෙනා වැඩි වශයෙන්ම මියගොස් තිබෙන්නේ ලාභ, මහා පරිමාණයෙන් නිමවූ අවි ආයුධ හා කුඩා ප්‍රමාණයේ යුධෝපකරණවලිනි, මේවා, එම කාලයේදීම ලෝකය පුරා බහුලව පැතිර පැවති ට්‍රාන්සිස්ටර ගුවන්විදුලි යන්ත්‍ර හා වියළි බැටරි කෝෂවලට වඩා මිලෙන් වැඩි වූයේ ස්වල්ප වශයෙනි.”
අඩු තාක්ෂණිකත්වයකින් යුත් අවි ආයුධ භාවිතය පිළිබඳ මෑත උදාහරණයකි, රුවන්ඩාවෙහි සිදු වූ ඝාතන. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා (1994) පවසන්නේ මෙය “රෝමානු කතෝලික භක්තිකයන් වැඩිදෙනෙකු . . . ” සිටින රටක් බවත්, “ප්‍රාථමික හා උසස් පාසැල්වලින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරවන්නේ රෝමානු කතෝලික හා වෙනත් ක්‍රිස්තියානි සභා මගින් බවත්ය.” එහෙත්, රුවන්ඩාවේ මිලියන භාගයක් ඝාතනය කරනු ලැබුවේ මන්නාපිහිවලින් සන්නද්ධ වූ ජනයා විසිනි. ලෝක සාමය ගෙන ඒම සඳහා න්‍යෂ්ටික නොවන හා න්‍යෂ්ටික අවි ආයුධ අඩු කරනවාට වඩා යමක් අවශ්‍යව තිබෙන බව පැහැදිලිය. එමෙන්ම, ලෝකයේ ආගම් මගින් සපයන ඉගැන්වීම්වලට වඩා වැඩි යමක් අවශ්‍යව තිබේ.
ජනවාර්ගික ගැටුම් ප්‍රවර්ධනය වේ
සරණාගතයන් සඳහා එ.ජා.ගේ තානාපති සාඩාකෝ ඕගාටා මෑතකදී මෙසේ පැවසීය: “ශීත යුද්ධය අවසන් වනවාත් සමඟම, සෑම ගැටලුවක්ම විසඳී තිබෙනු ඇතැයි අපි සිතුවෙමු. ශීත යුද්ධයට තවත් පැත්තක් තිබෙන බව අපි වටහා නොගතිමු—එනම් තමන් බලපැවැත්වූ කලාප කෙරෙහි සුපිරි බලවතුන් පරිපාලනයක් නැතහොත් බල කරන ලද පරිපාලනයක් සැපයූ බවය. . . . එබැවින් දැන්, ශීත යුද්ධයෙන් පසුව, ඇතැම්විට 1වන ලෝක යුද්ධයට පෙර තිබූ ගැටුම්වලට සමාන වඩාත් සම්ප්‍රදායානුකූල, යටපත්ව තිබූ ජනවාර්ගික ගැටුම්වල පැතිරයෑමක් අපි දකින්නෙමු.”
පුලිට්සර් ත්‍යාගලාභී ඉතිහාසඥ හා ලේඛක ආර්තර් ෂ්ලේසිඥර් එවැනිම කරුණක් ගෙනහැර දක්වයි: “වෛරයේ වැලක තැන තවත් වැලක් ගනියි. නැඟෙනහිර යුරෝපයේ හා කලින්-සෝවියට් සංගමයේ සංකල්ප යටපත් කිරීමේ දැඩි ග්‍රහණය ඉවත් කිරීමෙන්, ඉතිහාසයෙහි හා මනසෙහි තදින් මුල්බැස යටපත් වී තිබූ වාර්ගික, ජාතිවාදී, ආගමික හා භාෂාමය එදිරිවාදිකම් මුදාහරියි. . . . විසිවන සියවස සංකල්පයන්ගේ යුද්ධයක් වී තිබුණේ නම්, 21වන සියවස ඇරඹෙන්නේ ජනවාර්ගිකත්වයන් ආශ්රිත සටන් වැදීමේ සියවස ලෙසිනි.”
එක්සත් ජාතීන් ගණන් බලා ඇති පරිදි, 1989 සහ 1992 අතර, සන්නද්ධ ගැටුම් 82ක් තිබී ඇත, එමෙන්ම එම සටන්වලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ සංවර්ධනය වෙමින් පැවති රටවලය. වර්ෂ 1993දී, රටවල් 42ක විශාල ගැටුම් සිදු වී ඇති අතර, තවත් රටවල් 37ක් දේශපාලනික ප්රචණ්ඩත්වය අද්දුටුවේය. මේ අතරතුර, එක්සත් ජාතීන්—සාමය සඳහා වෙන් කළ මුදල අඩියටම වියදම් කර—හුදෙක් මෙහෙයුම් 17කදී සාමය ගෙන ඒමට දැරූ ප්රයත්නයෙන් අසමත් විය. මිනිස්වර්ගයා සාමකාමී ලොවක් සඳහා වෙනතක් බැලිය යුතු බව පැහැදිලිය.
විශාලව පෙනෙන ගැටලු
අනාගතය දෙස ශුභවාදීව බලනවා වෙනුවට බොහෝදෙනා සැක පහළ කරති. වර්ෂ 1994 පෙබරවාරි ද ඇට්ලැන්ටික් මන්ත්ලි යන කලාපයේ කවරය, පැමිණෙන්ට තිබෙන දශකයන් සඳහා පෙරනිමිත්තක් සංක්ෂිප්ත කොට දක්වයි: “පාරිසරික හා සමාජීය විපත්තිවලින් කලින් කලට ඇති වන සරණාගතයන් හේතුවෙන් ජාතීන් භේදභින්න වේ. . . . හිඟ වෙමින් පවතින සම්පත්, විශේෂයෙන්ම ජලය සම්බන්ධයෙන් යුද්ධ ඇති වන අතර, ප්‍රභූවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක බලඇණි සමඟ රාජ්‍ය විරහිත කොල්ලකන්නන්ගේ සන්නද්ධ කණ්ඩායම් ගැටෙන විට, අපරාධ සමඟින් යුද්ධ දිගටම පවතී.”
කල්පවතින සාමය අත් කරගත නොහැකි බවක් මින් අදහස් වේද? කොහෙත්ම නැත! විශ්වාසයෙන් යුතුව අපට අනාගතය දෙස බැලීමට හැකි හේතු ඊළඟ ලිපියේ පෙන්නුම් කරයි.
[5වන පිටුවේ කොටුව]
ආගම—සාමය උදෙසා බලවේගයක්ද?
ජාතීන් යුද්ධයට යන විට, ලෝකයේ ආගම් සාමයේ හා සහෝදරත්වයේ ඉගැන්වීම් අත්හැර දමයි. පළමු ලෝක යුද්ධ සමයේ තත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සේනාධිපති ජෙනරාල් ෆ්රෑන්ක් පී. ක්‍රෝසර් මෙසේ පැවසීය: “අපට සිටින ලේ හැලීමට දැඩි ආශාවක් දක්වන්නන් ක්‍රිස්තියානි සභාවන් වන අතර, අපි ඔවුන්ගෙන් හොඳින් ප්‍රයෝජන ගන්නවා.”
යුග ගණන් පුරා යුද්ධය තුළ ආගමට හිමි භූමිකාව එයාකාරයෙන්ම පැවත තිබේ. කතෝලික ඉතිහාසඥ ඊ. අයි. වාට්කන් මෙසේ පිළිගත්තේය: “මෙය පිළිගැනීම වේදනාකාරි එකක් වුවත්, බිෂොප්වරුන් සිය රටේ ආණ්ඩුව හවුල් වී තිබෙන සියලුම යුද්ධවලට නිරතුරුවම ආධාර කර තිබෙන බවට වූ සත්‍යය, බොරු මවාපෑමක් හෝ වංක පක්ෂපාතකමක් හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ නොසලකා හැරීමට අපට නොහැකියි.” තවද කැනඩාවේ වැන්කුවර්හි සන් පුවත්පතේ කතුවැකියක මෙසේ සඳහන් විය: “පල්ලිය කොඩියට පසුපසින් යෑම ඇතැම්විට සංවිධානය වූ සියලුම ආගම්වල දුර්වලකමක් . . . තම තමන්ගේ පැතිවල දෙවියන්වහන්සේ සිටින බව කියනු නොලැබුවේ සටන් කරනු ලැබූ කිනම් යුද්ධයකදීද?”
සාමය උදෙසා බලවේගයක් වනවා වෙනුවට, ලෝකයේ ආගම් යුද්ධ හා ඝාතන වැඩිදියුණු කර තිබෙන බව ඉතා පැහැදිලිය—මෙය රුවන්ඩාවල ඝාතනයන් මගින් ප්‍රබල ලෙස නිරූපණය විය.
[6වන පිටුවේ කොටුව]
යුද්ධයේ නිෂ්ඵලත්වය
වර්ෂ 1936හි ප්‍රකාශයට පත් කරන ලද අයි ෆවුන්ඩ් නෝ පීස් (මට සාමය ලැබුණේ නෑ) යන පොතේ, විදේශ වාර්තාකරු වෙබ් මිලර් මෙසේ ලීවේය: “පුදුමසහගත ලෙස, [1වන ලෝක යුද්ධයේ] මහත් ව්‍යසන සහිත භීෂණයන් හා එහි පිරී පැවති අශික්ෂිතභාවය හා නිෂ්ඵලත්වය, එය අවසන් වී හරියටම වසර අටක් ගත වන තෙක් මගේ සිතට කා වැදුණේ නැත.” එම අවස්ථාවේදී, ඔහු පැවසූ පරිදි මිනිසුන් 10,50,000ක් ඝාතනය වූ වර්ඩන් සටන්බිම නැවතත් බලාගැනීමට ඔහු ගියේය.
“යුද්ධ සමයේදී මම වෙනත් මිලියන ගණනක් සමඟ මුළා වී සිටියෙමි,” යයි මිලර් ලීවේය. “ලෝක යුද්ධය සාර්ථක වී තිබුණේ අලුත් යුද්ධ බිහි කිරීමට පමණි. මිලියන අටහමාරක් මිනිසුන් නිරපරාදේ මියගොස්, මිලියන දස ගණනක් වචනයෙන් විස්තර කළ නොහැකි භීෂණයන් විඳ, එමෙන්ම මිලියන සිය ගණන් ශෝකය, අහිමි වීම හා අසන්තෝෂය අද්දැක තිබිණ. තවද මේ සියල්ල සිදු වී තිබෙන්නේ අතිවිශාල මුළාවීමක් යටතේය.”
මෙම පොත ප්‍රකාශයට පත් කර වසර තුනකට පසුව, IIවන ලෝක යුද්ධය පටන්ගැනිණ. ද වොෂිංටන් පෝස්ට් මෙසේ සඳහන් කළේය: “අපගේ 20වන සියවසේ යුද්ධ, සටන්කරුවන්ට හා රටවැසියන්ට එක හා සමානව එරෙහි වූ ‘සම්පූර්ණ යුද්ධ’ වී තිබේ. . . . මේ හා සසඳන විට, සියවස් ගණනකට පෙර ඇති වූ ම්ලේච්ඡ යුද්ධ ඉතා සුළු සටන් විය.” එක් අධිකාරියෙකුගේ තක්සේරුවකට අනුව, 1914 පටන් යුද්ධවලින් හා සිවිල් කැරලි කෝලාහලවලින් මිලියන 197ක් මියගොස් ඇත.
එහෙත්, මිනිසුන්ගේ සියලු යුද්ධ හා කැරලි කෝලාහල සාමය හෝ සන්තෝෂය ගෙනැවිත් නැත. ද වොෂිංටන් පෝස්ට් පැවසූ පරිදි, “නොසන්සුන් මිලියන ගණන් සෑහීමට හෝ තෘප්තියට පත් කිරීමට, මේ දක්වා මෙම සියවසේ කිසිම දේශපාලන හෝ වාණිජ ක්‍රමයකට හැකි වී නොමැත.”
[7වන පිටුවේ පින්තූරය]
මෙම මව රුවන්ඩාවේ ඝාතනයට ලක් වූ සියදහස් ගණනින් එක් අයෙකි—බොහෝදෙනෙකු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේම ආගමේ සාමාජිකයන් විසිනි
[හිමිකම් විස්තර]
Albert Facelly/Sipa Press