ලිංගික හිරිහැර—සමස්ත ලෝක ගැටලුවක්
රිනා වීක්ස් නමැති යොවුන් ලේඛිකාවකට සේවය කිරීම තැතිගන්වනසුලු යමක්ව තිබිණ. ඈ රැකියාව කළ නීති සමාගමට හොඳ නමක්ද රටවල් රාශියක කාර්යාලද තිබූ බව සත්‍යයකි. එහෙත් ඇය පවසා සිටි අන්දමට ඇය සේවය කළේ, දිගටම බලාත්කාරකම් හා ස්පර්ශ කිරීම් කළ මිනිසෙකු යටතේය. මෙම අවමානයට ලක් කෙරෙන අඩන්තේට්ටම්වලට අමතරව, අශෝභන, නරක අදහස් පළ කරන කතාද අසන්ට ලැබිණ.
වර්ෂ ගණනාවකට පෙර, මෙවැනි තත්වයන් යටතේ සිටි ස්ත්රීන්ට සිය රැකියාව අත්හරිනවා හැරෙන්න වෙනත් පිහිටක් නොතිබිණ. කළමනාකාරිත්වය තීන්දුවක් දෙද්දී, ‘ඔහුට විරුද්ධ ඇයගේ කටවචනය’ භාර නොගනු ඇත. තවද ස්ත්‍රියගේ කතන්දරය විශ්වාස කිරීමට පෙලඹෙන අය පවා, ‘ඕක ඔච්චර ගණන් ගත යුතු දෙයක්ද’ කියමින් ගැටලුව නොසලකා හරිනු ඇත. එහෙත් කාලවල් වෙනස් වී ඇත. රිනා වීක්ස් හුදෙක් කෝපව, අස් වී යනවාට වඩා වැඩි යමක් කළාය. ඈ නඩු මඟට බැස්සාය.
ඇගේ චිත්ත පීඩාව වෙනුවෙන් එ.ජ. ජූරිය මගින් ඇයට වන්දියක් වශයෙන් ඩොලර් 50,000ක්ද, ඇගේ කලින් ස්වාමියාගෙන් හානි වන්දි මුදලක් වශයෙන් ඩොලර් 2,25,000ක්ද ඇයට පිරිනමන ලදි. ලොව පුරා ව්‍යාපාර හා නීති සමාගම්වල අවධානය යොමු කරවන පියවරක් ගනිමින්, ගැටලුව නිවැරදි කිරීමට අසමත් වීම වෙනුවෙන් හානි වන්දි මුදල් වශයෙන් ඩොලර් මිලියන 6.9ක අතිවිශාල මුදලක් ගෙවීමට ජූරිය මගින් නීති සමාගමට නියෝග කෙරිණ!
මෙවැනි සිද්ධි වීක්ස්ගේ නඩුවට සීමා වී නැත. තවත් මෑත නඩුවකට (එ.ජ.) වට්ටම් ක්‍රමයට භාණ්ඩ ලබා දෙන වෙළඳසැල් රැසක් ඇතුළත්ව තිබිණ. තම අධීක්ෂකයා තමාට අශික්ෂිත ලිංගික ප්‍රකාශයන් ගණනාවක්ම කළ බව පෙගී කිම්සි නම් සේවිකාවක් පැවසුවාය. පෙගී කිම්සි 1993දී සිය රැකියාවෙන් අස් වී, නඩු දැම්මාය. විඳින්ට සිදු වූ නින්දාව හා මානසික සංවේගය සඳහා ඇයට ඩොලර් 35,000ක් පිරිනැමුවේ, පාඩු වූ වැටුප්වලට සංකේතයක් ලෙස ඩොලර් 1ක්ද සමඟිනි. ඇගේ කලින් ස්වාමියා හිරිහැරයට ඉඩ දීමෙන් එදිරිවාදී සේවා වාතාවරණයක් බිහි කළ බවද ජූරිය මගින් තීරණය කරන ලදි. දඬුවම? හානි වන්දි වශයෙන් ඩොලර් මිලියන පනහක්!
මෙන්’ස් හෙල්ත් සඟරාව මෙසේ පවසයි: “ලිංගික-හිරිහැර හා සම්බන්ධ නඩු, බැක්ටීරියා මෙන් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. වර්ෂ 1990දී, EEOC [සම රැකීරක්ෂා ප්‍රස්තා කොමිසන් සභාව] මගින් එවැනි පැමිණිලි 6,127ක් හසුරුවන ලදි; ඉකුත් වර්ෂයේදී [1993] වාර්ෂික එකතුව 11,908 දක්වා දෙගුණයකින් පමණ වැඩි වී තිබිණ.”
බලය අනිසි ලෙස යොදාගැනීමක්
ජූරියේ තීරණය අනුව ගෙවීමට සිදු වන අතිවිශාල වන්දි මුදල් පිළිබඳ ආරංචි පුවත්පත් සිරස්තලවල දක්නට ලැබුණත්, සැබෑව නම් වරදකරුවාට විරුද්ධව නඩුඇසීම සිදු වන්නේ නඩු කිහිපයකදී පමණක් වීමය. ගොදුරු වන වැඩිදෙනෙක් තම නින්දාව නිහඬව විඳගනිති; ඔවුන් කාර්යාලවල, වීදිවල, බස් රථවල, දිවා ආහාරය ගන්නා කවුන්ටරවල හා කර්මාන්තශාලාවල සිදු කෙරෙන, බලයේ හා තර්ජනයේ අශික්ෂිත සෙල්ලමක් සඳහා යොදාගැනෙන ඉත්තන් මෙනි. ඇතැම් අවස්ථාවලදී, කායික සබඳතා පැවැත්වීමට එකහෙළාම බලාත්කාරකම් කරනු ලැබේ. එහෙත් බොහෝවිට අඩන්තේට්ටම්වලට වඩාත් සියුම්, එනමුත් ලජ්ජාවක් නැති අශෝභන ක්‍රියා ඇතුළත් වේ; එනම් සතුටින් නොපිළිගත් හෝ නුසුදුසු ස්පර්ශ කිරීම්, අසභ්‍ය ඇනුම්පද හා කාමුක ආකාරයෙන් බැලීම යනාදියයි.
විරුද්ධ ලිංගයේ අයගේ අවධානය ඇදගැනීමට කරන නුහුරු නුපුරුදු වෑයමක් පමණක්යයි තර්ක කරමින් ඇතමුන්, එවැනි හැසිරීම හිරිහැරයක් ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කරන බව සැබෑවකි. එහෙත් මාර්තා ලැන්ගලැන් නම් ලේඛිකාව මෙන් බොහෝදෙනෙක්, නුසුදුසු හැසිරීමේ වරද සැහැල්ලු කිරීමට දරන එවැනි වෑයම් ප්‍රතික්ෂේප කරති. ඈ මෙසේ ලියයි: “එය අශෝභන පූර්ව විවාහ ඇසුරක් හෝ රළු පූර්ව විවාහ ඇසුරක් හෝ විහිළුවක් ලෙස කරන පූර්ව විවාහ ඇසුරක් හෝ ‘වරදවා තේරුම්ගත්’ පූර්ව විවාහ ඇසුරක් නොවේ. එය ස්ත්රීන්ගේ සිත් ඇදගැනීමේ අදහසින් කරන දෙයක් නොවේ; එය සම්පූර්ණයෙන්ම වෙනත් අභිප්රායක් ඉටු කරන හැසිරීමකි. ස්ත්‍රී දූෂණය මෙන්, ලිංගික හිරිහැරවලින් සිදු වන්නේ ස්ත්‍රීන්ව ඇදගැනීමක් නොව, ඔවුන්ට බලාත්කාරකම් කිරීමකි. . . . [එය] බලය පෑමකි.” එසේය, බොහෝවිට වැරදි අන්දමින් එලෙස සැලකීම “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් . . . ආණ්ඩුකරන” තවත් කෲර මාධ්‍යයක් පමණි.—දේශනාකාරයා 8:9; සසඳන්න දේශනාකාරයා 4:1.
ස්ත්‍රීන් බොහෝවිට ලිංගික හිරිහැරවලට ප්‍රතික්‍රියා කරන්නේ සතුටින් නොව, නමුත් පිළිකුල් හා කෝපයේ හැඟීම්වල සිට කලකිරීම හා නින්දාව යන හැඟීම් මාලාවක් සමඟිනි. ගොදුරු වූ තැනැත්තියක් මෙසේ සිහියට නඟයි: “ඒ අවස්ථාව මාව විනාශ කළා. මා තුළ තිබුණ මගේ විශ්වාසය, මගේ නිසැකකම, මගේ ආත්ම-ගෞරවය, ඒ වගේම මගේ රැකියා අභිලාෂයන් නැතුව ගියා. පුදුම විදිහට මම වෙනස් වුණා. මම සැහැල්ලු ජීවිතයක් ගත කළ කෙනෙක්. මා කෝපව, තනි වී, ලජ්ජාවෙන් මිරිකී සිටි කෙනෙක් බවට පත් වුණා.” එමෙන්ම වරදකරුවා ස්වාමියෙකු හෝ බලය ඇති වෙනත් අයෙකු හෝ වේ නම්, හිරිහැරය විශේෂයෙන්ම අශෝභන ස්වරූපයක් ගනී.
එසේනම්, අධිකරණ මගින් වරදකරුවන්ට දඬුවම් කිරීමට හා ගොදුරුවන්නන්ට වන්දි ගෙවීමට පටන්ගෙන තිබීම පුදුමයක් නොවේ. එවැනි වැරදිසහගත සැලකීමක් පුරවැසි හිමිකම් උල්ලංගනය කිරීමක් වශයෙන් එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය සලකන බැවින්, රැකියා වාතාවරණය “එදිරිවාදී හෝ අප්‍රිය” නොවන අන්දමින් පවත්වාගෙන යෑමට ස්වාමිවරු වැඩි වැඩියෙන් නීතිමය වගකීමක් උසුලති.
ලිංගික හිරිහැරවලට ඉඩ දෙන සමාගම්, සේවකයන්ගේ ආත්ම විශ්වාසය හීනවීම, නොපැමිණීමේ සංඛ්‍යාව වැඩිවීම, නිෂ්පාදනය අඩුවීම හා සේවකයන්ගේ අස්වීමේ සංඛ්‍යාව වැඩිවීම අද්දැකිය හැක—ගොදුරුවන්නෝ නඩු මඟට බැසීමට තීරණය කරත් නම්, සිදු වන මූල්‍යමය අලාභය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
කෙතරම් දුරකට පැතිර පවතීද?
ඇත්තටම ලිංගික හිරිහැර කෙතරම් දුරකට පැතිර පවතීද? එක්සත් ජනපදයේ සේවයේ නියුතු ස්ත්‍රීන්ගෙන් අඩකටත් වඩා එය අද්දැක තිබෙන බව සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ. එක් පොතක් මෙසේ පවසයි: “ලිංගික හිරිහැර පැතිර යන ගැටලුවකි. මේසයට ආහාර ගෙනෙන සේවිකාවගේ සිට සංස්ථා විධායකවරිය දක්වා සෑම වෘත්තියකම සිටින ස්ත්රීන්ට ඊට මුහුණ දෙන්ට සිදු වේ. සාමුහික ව්‍යාපාරවල සෑම තරාතිරකම හා සෑම ආකාරයකම ව්‍යාපාර හා කර්මාන්තවල එය සිදු වෙයි.” කෙසේවුවද, ගැටලුව එක්සත් ජනපදයට පමණක් සීමා වූවක් නොවේ. සූසන් එල්. වෙබ්ගේ ෂොක්වේව්ස්: ද ග්ලෝබල් ඉම්පැක්ට් ඔෆ් සෙක්ෂුඅල් හැරස්මන්ට් නමැති පොත, මතු සංඛ්‍යාලේඛන සඳහන් කරයි:a
කැනඩාව: “ස්ත්‍රීන් 10දෙනෙකුගෙන් 4දෙනෙකු සේවයේ යෙදී සිටියදී ලිංගික හිරිහැරවලට ලක් වූවායයි වාර්තා කළ බවට එක් සමීක්ෂණයක් පෙන්වීය.”
ජපානය: “සමීක්ෂණයට ප්‍රතිචාරය දැක්වූ ස්ත්‍රීන්ගෙන් සියයට 70ක්” සේවයේදී හිරිහැරයට “ලක් වූ බව 1991 අගෝස්තුවේදී කළ සමීක්ෂණයකින් පෙන්නුම් කරන ලදි.” “සේවයට යන විට හා සේවයෙන් පැමිණෙන විට තමන් ලිංගික හිරිහැරවලට ලක් වූ බව සියයට අනූවක් කියා සිටියහ.”
ඔස්ට්‍රියාව: “ස්ත්‍රීන්ගෙන් සියයට 31ක් බරපතළ ලෙස හිරිහැර කිරීමේ අවස්ථා ගැන වාර්තා කළ බව 1986හි සමීක්ෂණයක් පෙන්වීය.”
ප්‍රංශය: “සමීක්ෂණයට ලක් කළ ස්ත්‍රීන් 1,300කින් සියයට 21ක් තමන් පෞද්ගලිකව ලිංගික හිරිහැර වින්ද බව පැවසුවේයයි 1991දී එක් අධ්‍යයනයක් . . . සොයාගන්නා ලදි.”
නෙදර්ලන්තය: “[සමීක්ෂණයට] ප්‍රතිචාරය දැක්වූ ස්ත්‍රීන්ගෙන් සියයට 58ක්, තමන් පෞද්ගලිකව ලිංගික හිරිහැර වින්දායයි පැවසූ” බව අධ්‍යයනයක් පෙන්වීය.
කාලවල ලකුණක්
සේවා ස්ථානයේදී අතවරයට හා හිරිහැරයට ලක්වීම අලුත් දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ස්ත්‍රීහු—මෙන්ම ඇතැම්විට පුරුෂයෝද—බයිබල් කාලවලදී පවා එවැනි වැරදි ආකාරයෙන් සැලකීමට ලක් වූහ. (උත්පත්ති 39:7, 8; රූත් 2:8, 9, 15) එහෙත් එවැනි නුසුදුසු හැසිරීම විශේෂයෙන්ම අදදින පැතිර පවතින බව පෙනෙන්ට තිබේ. එසේ වන්නේ මන්ද?
එක් දෙයක් නම්, මෑත වර්ෂවලදී ස්ත්‍රීන් වාර්තාගත සංඛ්‍යාවලින් රැකියා වෙළඳපොළට ඇතුල් වී තිබීමය. එනිසා ස්ත්‍රීන් වැඩිදෙනෙක්, එවැනි හිරිහැර සිදු විය හැකි තත්වයන්ට නිරාවරණය වී සිටිති. කෙසේවුවද, බොහෝ කලකට පෙර බයිබලය පුරෝකථනය කළ දෙය ඊටත් වඩා අර්ථයකින් යුක්තය: “මෙය මතක තබාගන්න! අන්තිම දවස්වලදී අසීරු කාලවල් තිබෙනු ඇත. මනුෂ්‍යයෝ ආත්මාර්ථකාමීව, ගිජුව, පාරට්ටුකරන්නන්ව, අහංකාරවන්නන්ව සිටින්නෝය; ඔවුන් අපහාස කරමින් . . . ; ඔවුන් අකරුණාවන්තව, දයා විරහිතව, කේලම්කියන්නන්ව, ප්රචණ්ඩකාරිව හා කෲරව සිටිනු ඇත.” (2 තිමෝති 3:1-3, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) ලිංගික හිරිහැර මෙලෙස පැතිර පැවතීම, මෙම වචන අදදින ඉටු වෙමින් තිබෙන බවට එක් බලවත් සාක්ෂියක් පමණි. “ලිංගික-හිරිහැර සම්බන්ධ පැමිණිලි වැඩිවීම, පොදු සභ්‍යත්වයේ පහත වැටීමත් සමඟම ඇති වී තිබේ. සෑම තැනකම නරක පුරුදු දක්නට ලැබේ,” යයි මෙන්’ස් හෙල්ත් සඟරාවේ ලිපියක සටහන් කිරීම සැලකිල්ලට ගත යුතු කරුණකි.
ලිංගික හිරිහැර පැතිර පැවතීම, 1960 ගණන්වලදී ලොව පුරා පැතිර ගිය “නව සදාචාරත්වයද” පිළිබිඹු කරයි. සම්ප්‍රදායානුකූල සදාචාර සීමා බිඳ වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන්, අනුන්ගේ අයිතිවාසිකම් හා හැඟීම් දැඩි ලෙස නොසලකා හරිනු ලබන බව දක්නට ලැබේ. එයට හේතුකාරකය කුමක් වුවත්, ලිංගික හිරිහැර සේවා ස්ථානයේ තිබෙන භයානක යථාර්ථයකි. පුරුෂයන්ට හා ස්ත්රීන්ට තමන්ව ආරක්ෂා කරගැනීමට කුමක් කළ හැකිද? කෙදිනක හෝ සේවා ස්ථානය හිරිහැරවලින් නිදහස් වන කාලයක් තිබෙනු ඇද්ද?
[පාදසටහන]
a පර්යේෂකයන් විවිධ සමීක්ෂණ ක්‍රම භාවිත කරන බැවින් හා ලිංගික හිරිහැර සම්බන්ධයෙන් විවිධ අර්ථ දැක්වීම් යොදාගන්න බැවින් සංඛ්‍යාලේඛන වෙනස් වේ.
[4වන පිටුවේ කොටුව]
ලිංගික හිරිහැර—අසත්‍යයට එරෙහිව සත්‍යය
අසත්‍යය: ලිංගික හිරිහැර බෙහෙවින් වැඩි කර වාර්තා කර ඇත. එය නිකම්ම තවත් නවීන පන්නයේ පුරුද්දක්, ජන මාධ්‍ය ප්රචාරයේ හා උමතුවේ ප්‍රතිඵලයක් පමණි.
සත්‍යය: ඇත්ත තත්වය දෙස බලන කල, එවන් ගොදුරු වීමක් ගැන වාර්තා කිරීමෙන් ස්ත්‍රියකට යමක් ලබාගැනීමට වඩා, සිදු වන්නේ මහත් පාඩුවකි. ඇත්තෙන්ම, තමන් හිරිහැරවලට ලක්වූවායයි කවරෙකුට හෝ පවසන්නේ ස්ත්‍රීන්ගෙන් අතළොස්සක් (එක් සමීක්ෂණයකට අනුව සියයට 22ක්) පමණි. භය, ලජ්ජාව, තමාටම දොස් පවරාගැනීම, ව්‍යාකූලත්වය හා තම නීතික අයිතිවාසිකම් නොදැන සිටීම හේතුවෙන් බොහෝ ස්ත්‍රීහු නිහඬව සිටිති. මෙබැවින් බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ මෙම ගැටලුව බොහෝදුරට වාර්තා වී ඇත්තේ අඩුවෙන් බවය.
අසත්‍යය: බොහෝ ස්ත්‍රීහු දෙනු ලබන අවධානයට කැමැත්තක් දක්වති. තමන් හිරහැරයට ලක්ව ඇතැයි පවසන අය ඕනෑවට වඩා සංවේදීව ප්‍රතික්‍රියා කරන අය පමණි.
සත්‍යය: එවැනි අශෝභන සැලකීමකදී ස්ත්‍රීන් නිරතුරුවම විරෝධය පළ කරන බව සමීක්ෂණ මගින් පෙන්නුම් කරනු ලබයි. එක් සමීක්ෂණයකදී, “තමන්ට කලකිරීමක් ඇති වූ බව ස්ත්‍රීන්ගෙන් පහෙන් දෙකකට වඩා පැවසූ අතර, තමන් කෝපයෙන් සිටි බව තුනෙන් එකක් පැවසූහ.” සිත්තැවුලෙන්, වේදනාවෙන් හා කලකිරීමේ හැඟීමකින් සිටින බවට වෙනත් අය වාර්තා කළහ.
අසත්‍යය: ස්ත්‍රීන් මෙන්ම පුරුෂයෝද ගොදුරු වෙත්.
සත්‍යය: රිසර්චර්ස් ෆොර් ද නැෂනල් එසෝසිඒෂන් ඔෆ් වර්කිං විමෙන් (එ.ජ.) වාර්තා කරන පරිදි, “හිරිහැර කිරීම් පිළිබඳ සියලුම සිද්ධීන් ගත් කල, සියයට 90කටම ස්ත්රීන්ට හිරිහැර කළ පුරුෂයන් ඇතුළත් බවත්, එකම ලිංගයේ අය සියයට 9ක් බවත්, පුරුෂයන්ට හිරිහැර කළ ස්ත්‍රීන් ඇතුළත් වූයේ සියයට 1ක් පමණක් බවත් ගණන් බලා තිබේ.”
[5වන පිටුවේ පින්තූරය]
ලිංගික හිරිහැර කායික සබඳකම්වලට පමණක් සීමා වී නැත