ලහාර—පිනටූබෝ කන්දෙහි පශ්චාත් ඵලය
පිලිපීනයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ගෙවල් යට වෙලා. ව්‍යාපාර කඩාකප්පල් වෙලා. වාහන ගහගෙන ගිහින්. ගොඩනැඟිලි වැහිලා. දහස් ගණන් ජනයාට පලායෑමට සිදු වෙලා. වෙනත් අයව පලායෑමට නොහැකි විදිහට කොටු වෙලා. මෙයට හේතු වූයේ කුමක්ද? භූමිකම්පාවක්? නාය යෑමක්? නැහැ. මෙය ලහාර නිසා නිතර නිතර ඇති වන සිදුවීම් රැසක්. ලහාර යනු කුමක්ද? ලහාර යනු ජලය සහ අළු, ලුහු යමහල් පාෂාණ සහ වර්තමාන මෙන්ම කලින් සිදු වූ පිපිරීම්වලින් ඉතුරු වූ සුන්බුන් වැනි දෑ ඇතුළු ගිනි කඳුමය අවසාදනවලින් සමන්විත ගැලීම්ය.
සමහරවිට දශකයකට පමණ ඉහතදී, පිලිපීනයේ පිනටූබෝ කන්ද ගැන ඔබ නාසන්ටත් ඇත. එනමුත් 1991 ජූනි 15වනදා සිදු වූ අතිවිශාල පිපිරීමෙන් පසු, ලෝකයේ නොයෙක් තැන්වල “පිනටූබෝ” යන්න හුරුපුරුදු වචනයක් බවට පත් විය. වසර 500කට පමණ අක්‍රියව තිබීමෙන් පසුව, මෙම ශතවර්ෂයේ විශාලතම බිම්මලක් බඳු වලාකුළක හැඩයට පිනටූබෝ කන්ද එහි ගිනි කඳුමය ද්‍රව්‍ය පිට කළේය. අළු, වැලි සහ ගල් කැබලි ගිනි කන්දෙන් ඉහළට වේගයෙන් විසි වී, මනුෂ්‍යයන් කෙදිනකවත් දැක නැති ප්‍රමාණවලින් පොළොවට ඇද හැලිණ.a
ගිනි කන්ද, පෘථිවි වායුගෝලයට කිලෝමීටර 20කටත් අධික උසකට විශාල ද්‍රව්‍ය ප්‍රමාණයක් බැහැර කළේය. මින් සමහර කොටස් නැවතත් පොළොවට වැටුණත්, දූවිලි විශාල ප්‍රමාණයක් අහසේ රැඳිණ—ඇරත්, දූවිලි පමණක් නොව, නමුත් සල්ෆර් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් එනම් ටොන් මිලියන 20ක් පමණ අහසේ රැඳිණ!
සමහරවිට සමස්ත ලෝක බලපෑම් සමහරක් ඔබට මතක තිබෙනු ඇත: යම් කාලපරිච්ඡේදයක් පුරා, ඉතා ආකර්ෂණීය හිරුබැසයෑම්; 1991දී මෙක්සිකෝවේ හා කිට්ටු ප්‍රදේශවල අසාමාන්‍ය ලෙසින් දීප්තිමත් පූර්ණ සූර්යග්‍රහණය; උත්තරාර්ධගෝලයේ ඇතැම් ස්ථානවල වඩාත් ශීත බලපෑමක් ඇතුළු කාලගුණ රටාවේ වෙනස්වීම්; එමෙන්ම පෘථිවියේ ඕසෝන් තරලය වැඩි වැඩියෙන් විනාශ වීම. එසේත් නැතහොත් පිපිරීම හේතුවෙන් උන්හිටි තැන් අහිමිවූවත්ට බලපෑවාවූ අධික සාගින්න හා රෝග ගැන ඔබ අසන්ට ඇත.
කල් පවතින පශ්චාත් සිදුවීම්
පිනටූබෝ කන්දේ පිපිරීම සම්බන්ධයෙන් වඩාත්ම බරපතළ පශ්චාත් සිදුවීම්වලින් එකක්, එමෙන්ම ඇතැම්විට ලෝකයේ බහුතරයකගේ අවධානයට එතරම් ලක් නොවූ දෙයක් වූයේ, ලහාර යනුවෙන් හඳුන්වනු ලබන සංසිද්ධියයි. මෙම ලිපියේ මුල් ඡේදයේ සඳහන් පරිදි, ලහාර නිසා දසදහස් ගණන් ජනයාට කියා නිම කළ නොහැකි තරම් දුක්වේදනා සිදු වී ඇත. ලහාර නිසා, පිනටූබෝ කන්දේ පිපිරීමෙන් ඇති වූ විපාක සියල්ල තුරන් වී නැත. ඒවා වර්තමානය දක්වාම අද්දකිනු ලැබේ. ඔබ පෞද්ගලිකව එහි බලපෑමට ලක් නොවන්ට ඇති මුත්, පිනටූබෝ කන්ද අසල පිහිටි ප්‍රදේශවල වෙළඳාම, රැකියා, නිවාස, ජීවිත මෙන්ම සම්පූර්ණ නගර පවා නොකඩවා විනාශ වේ. ඊට වගකිව යුත්තේ පිනටූබෝ කන්දේ ලහාරය.
ඉන් බොහොමයක් අවසාදිත ද්‍රව්‍ය අසාමාන්‍ය ප්‍රමාණවලින් යුත්, මඩ සහිත ගංගා මෙන් පෙනෙන්ට තිබුණත්, ලහාරවල අවසාදිත ද්‍රව්‍ය සියයට 60කට අධික ප්‍රමාණයක් අඩංගු වේ නම්, එය ගලායන කොන්ක්‍රීට්වල ස්වභාවය ගනියි. මෙය විශේෂයෙන් විනාශකාරි විය හැකිය. ඒ ටෙක්නිකල් ප්‍රයිමර් ඔන් පිනටූබෝ ලහාර්ස් මෙසේ ප්‍රකාශ කරයි: “මෙම ද්‍රාවණයේ ඝනත්වය කොපමණද කිවහොත්, (එනම් ජලයේ ඝනත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය) විශාල ගල් පර්වත, පස් සේදී යෑම වැළැක්වීමට යොදන ගල් කූඩ, වාහන, කොන්ක්‍රීට් ගොඩනැඟිලි සහ පාලම් පවා ඔසවනු ලැබ ගසාගෙන යනු ලැබේ.”
ලහාර අරඹන්නේ කෙසේද? පිනටූබෝ කන්ද පිපිරුණ අවස්ථාවේදී එය නොයෙකුත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහැරිය බව ඔබට මතක තිබිය හැක. ඉන් සමහරක් අවකාශයට එකතු වුවත්, විශාල ප්‍රමාණයක් කන්ද මත සහ අහල පහළ ප්‍රදේශයේ (ගිනි කඳුමය ක්‍රියාකාරකම් මගින් සැකසුණු) යමහල් කැබලි වශයෙන් තැන්පත් විය. කොපමණක්ද? පිලිපීනයේ ගිනි කඳු සහ භූ කම්පන විද්‍යා ආයතනයේ වාර්තාවකට අනුව, ඝන මීටර් බිලියන 6.65කි. “එක්සත් ජනපදයේ එක් කොනක සිට අනික් කොන දක්වා දහවරක් පමණ, ධාවනය සඳහා කොටස් හතරකට බෙදූ මහා මාර්ගයක් සෑදීමට” තරම් ප්‍රමාණවත් සුන්බුන් ඉන් පිට වූ බව, එක්සත් ජනපදයේ ගිනි කඳු සම්බන්ධ විද්‍යාඥ සී. ජී. නියූහෝල් පවසයි. මින් ඝන මීටර බිලියන 3.45ක් සෝදා පාළුවට ලක් විය හැකි තත්වයක තිබිණ—වර්ෂාව ඇදහැලීමෙන්, පහළට සේදී ගොස්, ලහාර ඇති කිරීමට සුදුසු තත්වයක එය පැවතිණ. පිලිපීනයේ, නිවර්තන කුණාටු සහ සුළිසුළං හටගැනීම අමතර හානියට හේතු වන්ට පුළුවන. කෙටි කාලපරිච්ඡේදයක් ඇතුළත, විශාල ප්‍රමාණයකින් වැසි ඇදහැලිය හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අතිවිශාල ලහාර හටගත හැක.
වසර ගණනාවකට සිදු වී ඇත්තෙත් මෙයයි. මහ වැස්සට ගිනි කඳුමය සුන්බුන් නැවත නැවතත් පෙඟී ඇති බැවින්, ඒවා පහතට ගැලීමට පටන්ගෙන ඇත. ලහාර හේතුවෙන් සරු ගොවිබිම් පාළු දේශ බවට හැරී තිබෙන අතර, නගරවල නිවෙස් සම්පූර්ණයෙන්ම වාගේ මඩෙන් යට වී ඇත. ඇතැම් අවස්ථාවලදී මෙය එක රැයකින් සිදු වී තිබේ. නිවාස දහස් ගණනක් විනාශ වී ඇති අතර, ඒ හේතුවෙන් මනුෂ්‍යයන්ට තම උපන් ගම් අත්හැර, වෙනත් ප්‍රදේශයක අලුත් ජීවිතයක් ඇරඹීමට සිදු වී තිබේ. වර්ෂ 1995 මුල දක්වා, තැන්පත් වූ යමහල් කැබලිවලින් සියයට 63ක ප්‍රමාණයක් ලහාර මගින් පහත් බිම්වලට ගෙනගොස් තිබිණ. එනමුත් සියයට 37ක ප්‍රමාණයක් තවදුරටත් කන්ද මත ඉතිරි වූ අතර, ඉන් මහත් හානි ඉදිරියේදී ඇතිවීමට තිබෙන ඉඩ කඩ වැඩිය. ඇරත් දැනටමත් පහතට ගලා ඇති සියයට 63ක ප්‍රමාණයෙන් විශාල කොටසක් තවමත් තර්ජනයකි. මන්දයත් මහ වරුසා නිසා, කලින් උස් බිම්වල තැන්පත් වූ ද්‍රව්‍යවල දිය පාරවල් සැකසිය හැකි බැවිනි. මෙය ලහාර ගැලීම නැවත පටන්ගැනීමට හේතුවක් වන අතර, පහත් බිම්වල වෙසෙන අයට සහ ඉඩම්වලට හානිකර තත්වයක් නැවත ඇති කරයි. වර්ෂ 1995 ජූලි මාසයේදී මැනිලා බුලටින්හි මෙසේ වාර්තා විය: “බාරාංජී (ගම්මාන) අනූඑකක් . . . ගිනි කඳුමය සුන්බුන්වලට යටවීමෙන් මධ්‍යම ලූසොන් සිතියමෙන් මැකී ගොස් තිබේ.”
නැවතත් විපත්ති
වර්ෂ 1995 සැප්තැම්බර් 30වන සෙනසුරාදා සවස, නිවර්තන කුණාටුවක් වන මාමෙං (ජාත්‍යන්තර වශයෙන් සිබිල් යනුවෙන් හැඳින්වේ), ලූසොන් මත බලවත් ප්‍රහාරයක් එල්ල කළේය. පිනටූබෝ කන්ද පිහිටි ප්‍රදේශයේ විශාල වැසි ප්‍රමාණයක් වැස්සේය. මින් මහත් විපතක් අදහස් කෙරිණ. නැවතත් ලහාර ගැලීම ඇරඹිණ. ඒවා ගලා ගිය මාර්ගයේ තිබූ ඕනෑම දෙයක් ඒවාට යට විය. එක් ප්‍රදේශයක සෝදා පාළුව මර්දනය කරන වේල්ලක් කැඩී බිඳී ගිය අතර, ඒ හේතුවෙන් කලින් ලහාරවලට නිරාවරණය නොවූ ප්‍රදේශ පවා අඩි 20ක් තරම් ගැඹුරු ලහාරවලට නිරාවරණය විය. තට්ටු දෙකකට අඩු ගෙවල් සම්පූර්ණයෙන්ම යට විය. තම ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා මිනිස්සු අමාරුවෙන් වහලවලට නැඟගත්හ. ලහාර ඉතා ඝනව තිබූ ස්ථානවල, විශාල ගල්, වාහන සහ ගෙවල් පවා එමගින් ඇදගෙන යනු ලැබීය.
ලහාර මගින් ගංගාවල මෙන්ම ජලවහන පද්ධතිවල දිශාව වෙනස් කරනු ලබන හෙයින්, ඉන් ඇති වන තවත් බලපෑමකි ජලගැලීම්. නිවාස දහස් ගණනක් ජලයට යට වූ අතර, ඊට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට අයත් නිවාස බොහොමයක්ද, එමෙන්ම රාජ්‍ය ශාලාද ඇතුළත් විය.
තවත් සමහරුන්ට ඊටත් වඩා අවාසනාවන්ත අද්දැකීම් තිබිණ. ගලා යන ලහාරයක හෝ ගලා ගිය එකකින් තැන්පත් වූ මඩවල කෙනෙකුව එරිය හැකි අතර, ඉන් ඉවත්වීම ඉතා අසීරු දෙයකි. ඒ මත ඇවිදීමට තරම් එම ද්‍රව්‍ය ඝන වන්නේ පැය හෝ දින ගණනකට පසුවයි. මිනිසුන් බේරී ජීවත් වූයේ කෙසේද? ඇතමෙක් ලහාර මත ඇවිදීමට හැකි වන තුරු වහලවල් උඩ හෝ ගස් උඩ රැඳී සිටියහ. තවත් සමහරු දූරකථන කම්බිවල එල්ලීගෙන නැතහොත් ඒ මත ගමන් කළහ. ඊට හේතුව ලහාර එතරම් උසකට නැඟී තිබීමයි. ඇතමෙක් ලහාරයකින් ඉතුරු වූ යන්තම් ඝන වූ මඩ මත බඩගාගෙන ගියහ. සමහරෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රබල ලෙස පහර ලැබූ ප්‍රදේශවලට ආණ්ඩුවෙන් හෙලිකොප්ටර යවනු ලැබූ අතර, වහලවල් උඩ සිටි ජනයාව එමගින් ආරක්ෂා කරනු ලැබීය.—අමතර තොරතුරු සඳහා “අපි ලහාරයකින් බේරුණා!” නමැති ඊළඟ ලිපිය බලන්න.
ප්‍රේමය උපකාර කිරීමට අන්‍යයන්ව පොලඹවයි
බොහෝ නිවාස සහ සමහරක් රාජ්‍ය ශාලා විනාශ වුවත් නැතහොත් ඒවාට බරපතළ හානි සිදු වුවත්, තම ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත් නොවූ බව දැනගැනීමෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සන්තෝෂ වූහ. කෙසේවෙතත්, ලහාර ප්‍රහාරයෙන් හෝ ජලගැලීම්වලින් පහර ලැබූවන්ගේ අවශ්‍යතා ඉමහත් වූ බව සැබෑවකි. සමහරක් සාක්ෂිකරුවන් බේරුණේ තමන් ඇඳගෙන සිටි ඇඳුම් සමඟ පමණි, ඒවාත් ලහාරවල මඩෙන් පෙඟී තිබිණ. අවශ්‍යතාවට හවුල් ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
තම ක්‍රිස්තියානි සහෝදරයන් සුරක්ෂිතව සිටියාද නැතහොත් එම ප්‍රදේශයෙන් ඉවත්වීමට ඔවුන්ට උපකාර අවශ්‍යද කියා තීරණය කිරීමට ළඟපාත ප්‍රදේශවල සිටි වැඩිමහල්ලෝ ප්රයත්න දැරූහ. මෙය ඉතා දුෂ්කර කාර්යයක් විය, මන්දයත් තැන්පත් වූ ලහාර බොහෝ ප්‍රදේශවල තවමත් මෙළෙක්ව තිබුණ බැවිනි. බාකලෝර් සභාවේ වැඩිමහල්ලෙකු වන ගීල්යමෝ ටූන්ගෝල් මෙසේ පැවසුවේය: “අපි උදව් කරන්න ගියා. සහෝදරයන් වෙත ළඟාවීමට අපි දූරකථන කම්බි මත ඇවිද්දා.” එම සභාවේම පූර්ණ-කාලීන දේවසේවකයෙකු වන විල්සන් ඌයී තවදුරටත් මෙසේ පැවසුවේය: “පපුව වැසෙන තරම් ගැඹුරු වූ, සෑහෙන වේගයකින් ගලා ගිය ජලය හරහා යෑමට අපට සිදු වූ නිසා, අපට තව පොඩ්ඩෙන් යන්න බැරි වෙනවා.” එහෙත් සුපරීක්ෂාකාරි වීමෙන් ඔවුන්ට එහි යෑමට හැකි වූ අතර, සභාවේ සාමාජිකයන්ගේ තත්වය තීරණය කරගැනීමටත් අවශ්‍ය අවස්ථාවේදී උපකාර කිරීමටත් ඔවුන්ට හැකි විය.
ඔක්තෝබර් 2වන සඳුදා උදෑසන වන විට, එහි අවශ්‍යතාවන් පිළිබඳව වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට හොඳ අවබෝධයක් තිබිණ. ශාඛාවේ සිටි ස්වේච්ඡා සේවකයන් 345දෙනාට උපකාර කිරීමට හැකි වනු ඇද්ද? එසේය! වහාම ප්‍රතිචාරයක් දක්වනු ලැබීය. උදෑසන දහය වන විට, මෙම සේවකයෝ පමණක් තම පීඩිත ක්‍රිස්තියානි සහෝදරයන්ට ඇඳුම් ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග කළහ. මෙය ආහාර හා මූල්‍යාධාර ස්වල්පයක් සමඟ ට්‍රක් රථයකින් ගෙනයනු ලැබූ අතර, එදාම ඒවා සහෝදරයන්ට බාර දෙන ලදි.
දින ස්වල්පයක් ඇතුළත, තිබූ අවශ්‍යතාව සම්බන්ධයෙන් මැනිලාහි පුරවර ප්‍රදේශයේ පිහිටි සභාවන්ට දන්වන ලදි. විගස තවත් ඇඳුම් ටොන් පහකටත් අධික ප්‍රමාණයක්ද වෙනත් අවශ්‍ය සැපයුම්ද යවන ලදි. එම විපත්තිය සිදු වූ අවස්ථාවේදී, ජපන් රටින් සාක්ෂිකාරියක් පිලිපීනය බලන්ට පැමිණ සිටියාය. ඇය හොංකොං සිට පැමිණ සිටි අතර, එහිදී තමාට ඇඳුම් කට්ටල ගණනක් මිල දී ගෙන තිබුණාය. පිනටූබෝ කන්ද අසල සිටි ඇගේ සහකාර ක්‍රිස්තියානීන්ගේ තත්වය ගැන දැනගත් විගස, මිල දී ගත් ඇඳුම් සියල්ල ඔවුන්ට දී ඇය නැවත ජපානයට හිස් අතින් හැරී ගියාය. අවශ්‍යතාවක් තිබෙන අයට සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රේමය පෙන්වීම මොනතරම් ප්රබෝධයක් ගෙන දෙයිද! ඇරත් ඔවුන් එසේ කරන්නේ හුදෙක් ඔවුන්ගේ අවශ්‍යතා ඔවුන්ට ලැබීමට ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් නොව, නමුත් ‘ශරීරයට ඕනෑ දේවල්ද දීමෙනි.’—යාකොබ් 2:16.
ආත්මික දේ සඳහා තමන්ට තිබූ ජ්වලිතය එවන් සිද්ධීන් මගින් නිවී යෑමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඉඩ නෑරීමද ප්‍රශංසාව ලබන්ට වටී. ක්‍රිස්තියානි රැස්වීම් නොකඩවා පවත්වනු ලැබීය—එක් අවස්ථාවකදී වළලුකර වැහෙන තරමට රාජ්‍ය ශාලාවේ වතුර තිබියදී පවා රැස්වීම පවත්වනු ලැබීය. බයිබල් පණිවුඩය අන්‍යයන්ට දැනුම් දීමේ වැදගත්කම අවබෝධ කරගත් මෙම ක්‍රිස්තියානීහු, නොකඩවා ගෙයින් ගෙට දේශනා කළහ. තමන් සාක්ෂිදැරීමට සිටි—එනම් ජලයට එතරම් යට නොවූ ප්‍රදේශය වෙත යෑම සඳහා ඇතමෙකුට වතුරේ බැස යෑමට සිදු විය. ඔවුහු තමන් සමඟ ඇඳුම් රැගෙන ගොස් වඩාත් වියළි ස්ථානයකදී ඒවා මාරු කරගත්හ. එමනිසා මෙම ක්‍රිස්තියානීන් පීඩා විඳිමින් සිටියත්, අන්‍යයන්ට සැලකිල්ල දැක්වීමෙන් තමන්ව වැළැක්වීමට ඔවුහු එයට ඉඩ නුදුන්හ.
එසේය, පිනටූබෝ කන්දේ පශ්චාත් ඵලය වනාහි, බොහෝදෙනෙකු සිතුවාටත් වඩා වැඩි යමකි. එය තවත් වසර ගණනාවකට පවතිනු ඇති තත්වයකි. ලහාර පාලනය කිරීමට ප්රයත්න යොදා තිබේ, නමුත් ඇතැම් අවස්ථාවලදී එසේ කිරීම මිනිස් හැකියාව ඉක්මවන දෙයකි. එවන් තත්වයන් පැනනඟින විට, සැබෑ ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේටත් අසල්වාසියාටත් වූ තම ප්‍රේමය නිරූපණය කිරීමට ප්‍රස්තාවක් හැටියට එය උපයෝගී කරගැනීම මොනතරම් ප්‍රසන්න දෙයක්ද!
[පාදසටහන]
a වැඩි විස්තර සඳහා, පිපිරුම පිළිබඳව 1992 ජූලි 8 පිබිදෙව්! කලාපයේ 11-13 දක්වා පිටුවල සඳහන් “වැලි ඇද හැලුණු දිනය” යන ප්‍රථම වාර්තාව බලන්න.
[21වන පිටුවේ කොටුව⁄පින්තූර]
පිනටූබෝ කන්ද ලෝකයට බලපෑ ආකාරය
පිනටූබෝ කන්ද පිපිරුණ ආකාරයට ගිනි කන්දක් පිපිරී නිවී ගියාට පසුව, එහි බලපෑම ඉන් අවසන් වේ. හරිද? කිසිසේත් නැත! කල්පවතින සමස්ත ලෝක බලපෑම් සමහරක් සලකා බලන්න.
◼ පිපිරීමෙන් පසුව කැපීපෙනෙන ලෙසට අලංකාර වූ හිරුබැසයෑම් සමහරක් ඔබ යම් කලකට නිරීක්ෂණය කරන්ට ඇත.
◼ මෙක්සිකෝවේ සිටි විද්‍යාඥයෝ, 1991 ජූලි 11වනදා, අසාමාන්‍ය ලෙසින් දීප්තිමත් වූ පූර්ණ සූර්යග්‍රහණය ගැන පුදුමයට පත් වූහ. ඊට හේතුව කුමක් වීද? පිනටූබෝ කන්දේ පිපිරීමයි. එහි දූවිලි අංශු මගින් සූර්ය කිරීටයේ ආලෝකය සාමාන්‍යයට වඩා වැඩියෙන් පතුරුවනු ලැබීය
◼ කාලගුණයද බලපෑමට ලක් විය. පිපිරීමෙන් මාස තුනකට පමණ පසුව, ජපානයේ ටෝකියෝවේ, ඍජු සූර්යාලෝකය සාමාන්‍යයට වඩා සියයට 10කින් අඩු වූ බව වාර්තා විය. ගිනි කඳුමය අළු නිසා හිරු එළියෙන් කොටසක් අවහිර විය. උත්තරාර්ධගෝලයේ ඇතැම් ස්ථානවල සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 1ක පමණ අඩුවීමක් සයන්ස් නියූස් ඇඟවීය.
◼ තවත් බලපෑමක් වූයේ, පෘථිවියේ ඕසෝන් තට්ටුව වැඩි වැඩියෙන් විනාශ වීමයි. පිපිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් වායුගෝලය සමඟ මුසු වූ සල්ෆ්යූරික් අම්ලය, කෘත්‍රිම ක්ලෝරීන සමඟ මිශ්රවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඕසෝන් තට්ටුවේ අඩුවීමක් සිදු විය. මනුෂ්‍යයන්ට පිළිකාව හටගැනීම වළක්වන වායුගෝලීය වියනක් සාමාන්‍යයෙන් ඕසෝන් තට්ටුවෙන් සැපයේ. පිපිරීමෙන් අනතුරුව, ඇන්ටාර්ටිකාවෙහි ඕසෝන් මට්ටම බින්දුවට ආසන්නව පහත බැස්සේය; සමකයේදී මට්ටම සියයට 20ක් දක්වා පහත වැටිණ.
◼ සාගින්න හා රෝග තවදුරටත් ඇති වූ නිෂේධාත්මක බලපෑම් විය. ගිනි කන්දේ පිපිරීම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ සෙනඟට තාවකාලිකව සරණාගත මධ්‍යස්ථානවල ජීවත්වීමට සිදු විය, එහිදී ලෙඩ රෝග ඉතා ඉක්මනින් පැතිර ගියේය. එය දරුණු අන්දමට බලපානු ලැබුවේ ඒටා ගෝත්‍රිකයන්ටය, පිපිරීම හේතුවෙන් ඔවුන්ට තම ප්‍රදේශයෙන් ඉවත් වී, තමන්ට නුහුරු පරිසරයක ජීවත්වීමට සිදු විය.
[පින්තූරය]
ජලගැලීමට යට වූ හෝ ලහාර-ප්‍රහාරයට ලක් වූ ස්ථානවලින් පැමිණි සරණාගතයන්
[18වන පිටුවේ පින්තූරය]
ලහාරයකින් ගසාගෙන ගිය නිවසක්
[18වන පිටුවේ පින්තූරය]
වහල දක්වා වැසී ගිය තට්ටු දෙකේ ගොඩනැඟිලි
[18වන පිටුවේ පින්තූරය]
ලහාර හේතුවෙන් ඉතා අලංකාරවත් ගොවිබිම් මුඩුබිම් බවට පත් වේ
[19වන පිටුවේ පින්තූර]
ඉහළ: පම්පාන්යා, බාකලෝර්හි ලහාරයක් නිසා අඩක් වැසීගිය බැංකු ගොඩනැඟිල්ලක්, 1995 මාර්තු
පහත: එම බැංකුවම නැවතත් ලහාරයකින් සම්පූර්ණයෙන්ම වැසී, 1995 සැප්තැම්බර්