ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 8/8 22-23 පි.
  • අපි ලහාරයකින් බේරුණා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි ලහාරයකින් බේරුණා!
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අසීරු අද්දැකීම ඇරඹේ
  • අවසානයේදී බේරාගනු ලැබීම!
  • ලහාර—පිනටූබෝ කන්දෙහි පශ්චාත් ඵලය
    1996 පිබිදෙව්!
  • මම ගත්තේ හරි තීරණයක්
    2007 පිබිදෙව්!
  • ඔබ කවදා හරි මාළුවෙක් ඇවිදිනවා දැකලා තියෙනවාද?
    1999 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 8/8 22-23 පි.

අපි ලහාරයකින් බේරුණා!

වර්ෂ 1995 ඔක්තෝබර් මස පළමුවනදා, ගාර්සීයා පවුලේ අය සාමාන්‍යයෙන් අද්දුටුවාවූ දවසකට වඩා වෙනස් දවසක් වුණා. ගාර්සීයා පවුලේ අය ක්‍රියාශීලී යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්. ඔවුන්ගේ නිවස පම්පාන්යා ප්‍රාන්තයේ, කාබලාන්ට්‍යාන්හි බාකලෝර්වල සංවර්ධනය සඳහා වෙන් කරන ලද ඉඩමක පිහිටා තිබුණා. පිනටූබෝ කන්දේ ලහාරවල බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ආසන්නව ඔවුන්ගේ නිවස පිහිටා තිබුණත්, එය කෙළින්ම හානියට ලක් වී තිබුණේ නැහැ. ලහාර ගැලීම වැළැක්වීමට නිර්මාණය කළ, ආණ්ඩුවෙන් ගොඩනඟන ලද වේලි මගින් කාබලාන්ට්‍යාන් ආරක්ෂා වුණා. එහෙත් දේවල් ඉක්මනින් වෙනස් වෙන්ට නියමිතව තිබුණා.

දරුණු නිවර්තනීය කුණාටුවක් මගින් පිනටූබෝ කන්ද මතට මිලිමීටර් 216ක වර්ෂාපතනයක් ඇදහැලුණා. උදේ පාන්දරින්ම, ගාර්සීයා නිවසේ දූරකථනය නාද වුණා. ඒ වැරදි අංකය කරකැවූ කෙනෙක්. එහෙත් වේල්ලක් කැඩී ඇති බවත්, පවුල ජලගැලීමකට සූදානම් විය යුතු බවත් කතා කළ තැනැත්තා පැවසුවා.

අසීරු අද්දැකීම ඇරඹේ

පවුලේ පියා මෙන්ම වීල්‍යා රෝස්මරී සභාවේ මුලසුන භාර අවේක්ෂක වන නෝනාටෝ ගාර්සීයා, මෙලෙස විස්තර කරයි: “ඉරිදා පාන්දර පහට කලින්, අපේ නිවස අවට ජල මට්ටම ඉහළ නඟින්ට පටන්ගත්තා.

“එය ජලගැල්මක් විතරක් කියා මම හිතුවා, එනිසා අපි අපේ බඩුමුට්ටු ටික ඉහළ මහලට ගෙන ගියා. එහෙත් උදේ දහයෙන් පස්සේ, වතුරත් එක්ක ලහාර මඩත් මිශ්‍ර වෙලා තියෙනවා මම දැක්කා. ගලායෑමේ වේගය හා මට්ටම දිගින් දිගට වැඩි වුණා; අන්තිමේදී එහි ඝනකම වැඩි වූ අතර, ඒත් සමඟම විශාල ගල් පෙරළීගෙන ආවා. අපි වහලට නැඟගත්තා.

“පසුව කාර් සහ ගෙවල් පවා ගහගෙන යනවා අපි දැක්කා. විශාල ගලක් පෙරළීගෙන ඇවිත් එක නිවසක වැදුණ විට, ගෙය කඩා වැටී, ඇදගෙන යනු ලැබුවා. ලහාරය මගින්, ඒ නිවසේ වහල අපේ නිවස අසල තැන්පත් වුණා. ඒක උඩ මිනිස්සු සිටියා. මම ඔවුන්ට හඬ ගසා, අපේ නිවසේ වහලට නඟින්ට කියා ඔවුන්ව දිරිමත් කළා. වහලට නැඟීම සඳහා අපි ඔවුන්ට විසි කළ කඹයක් ඔවුන් තදින් අල්ලාගත්තා. මේ කඹය මගේ ඇඟේ බැඳගෙන, මම ඔවුන්ව එකිනෙකා ගානෙ උඩට ඇදගත්තා. මඩින් වැසී ගිය වෙනත් වහලවලින් තවත් සෙනඟ අපේ වහලට නැඟගත්තා. ඒ කාලය පුරාම නොකඩවා වැස්ස ඇදහැලුණා.

“දවල් වෙන කොට ඉහළින් හෙලිකොප්ටර පියාසර කිරීමට පටන්ගත්තා. එහෙත් අපි උමතුවෙන් වගේ අත් වනවනා සිටියත්, අපව බේරාගැනීමට ඉන් එකක්වත් පහත් වුණේ නැහැ. අපට වඩා භයානක තත්වයක සිටින මනුෂ්‍යයන් ඇති කියාත්, ඔවුන්ව මුලින්ම මුදාගන්නවා ඇති කියාත් අපි සිතාගත්තා. ගෙවල්වල වහලවල් මත අතරමං වූ බොහෝදෙනෙක් සිටි නිසා, අපව ඉක්මනින් බේරා ගනු ලැබේවි කියා මම සිතුවේ නැහැ.

“ඒ වාගේ තත්වයක ඉන්න වෙලාවක යාච්ඤා කිරීම හුඟාක් වැදගත්. මහත් උවදුරකට ගොදුරු වී සිටියත්, යාච්ඤා කිරීමෙන් පසුව ඔබට භයක් හැඟෙන්නේ නැහැ. ආශ්චර්යයක් සිදු කරන්ට කියා අපි යෙහෝවඃවහන්සේගෙන් ඉල්ලුවේ නැහැ. එහෙත් ඕනෑම කෙනෙකුට ආපදාවකින් බලපෑමක් විය හැකි බව තේරුම්ගෙන, උන්වහන්සේගේ කැමැත්ත පරිදි දේවල් සිදු වෙන්න කියා අපි ඉල්ලා සිටියා. එනමුත් මම ශක්තිය, නිර්භීතකම සහ ප්‍රඥාව අයැද සිටියා. ඒ තත්වයට සාර්ථකව මුහුණ දීමට මේ සියල්ල අපට උපකාරවත් වුණා.”

නෝනාටෝගේ බිරිඳ කාමන් ඊට එකඟ වෙමින් මෙසේ පැවසුවා: “මගේ පුරුෂයා යාච්ඤාව ගැන කියන දේවල් ඇත්තෙන්ම සත්‍යයක්. මගේ ප්‍රේමනීය අයගේ ජීවිත අනතුරේ තියෙද්දී මම සාමාන්‍යයෙන් හුඟාක් කලබල වෙනවා. ලහාරයේ මඩවලින් වහල ටිකෙන් ටික වැසී යන එකත්, විශාල ගල්වලින් පහර ලබන එකත් මම දැක්කාම, ‘අපිට කිසිම බලාපොරොත්තුවක් නැති පාටයි පේන්නේ,’ කියා මම මගේ පුරුෂයාට කිව්වා. එහෙත් ඔහු: ‘අපි යාච්ඤා කරමු,’ කියා මාව දිරිමත් කළා.”

නෝනාටෝ තවදුරටත් මෙසේ පැවසුවා: “හැන්දෑවේ හතර වන විටත්, ලහාර හුඟාක් වේගයෙන් ගලමින් තිබුණා. ලොකු ගල් පෙරළීගෙන ඇවිත් නිවසේ වැදුණා. ලහාරයේ සුන්බුන්වලින් වහලෙන් අඩක් විතර වැසී ගියා. ඉක්මනින් අඳුරු වේවි කියාත්, ඊට පස්සේ එතැනින් පිටවීම ඉතා අමාරු දෙයක් වේවි කියාත් මම හිතුවා. ඒ නිසා එළිය තිබියදී, අපි එතැනින් පිටවීමට තීරණය කරගත්තා.

“ලහාරයේ මඩේ පුටුවක් එරෙයිද කියා බැලීමට මම එයට පුටුවක් දමා බැලුවා, පසුව මම ඒකට බැස්සා, ඒත් එය එරුණේ නැහැ. මඩේ ඇනඇන යන්න මම දිග කෝටු කෑල්ලක් අරගත්තා. ඇවිදීමට හැකි තරම් ඝන වූ තැන් සොයාගැනීමට මම කෝටු කෑල්ල පාවිච්චි කළා. මෙයාකාරයට අපටත් අපේ අසල්වැසියන්ගෙන් කිහිපදෙනෙකුටත්, මඩ ඔස්සේ අපගේ ගමන ආරම්භ කිරීමට හැකි වුණා. අපි ඔක්කෝම 26දෙනෙක් හිටියා.

“ඈතක තිබූ වඩා උස් වූ වහලක් දෙසට අපි ගමන් කළා. කෝටුවෙන් ඇනඇන පය තැබිය හැකි තැන් අපි සොයාගත්තා. මඩ තවමත් ඉතා මෙළෙක්ව තිබූ තැන්වලදී අපි බඩගාගෙන ගියා.”

කඳුළු පිරි දෙනෙතින් යුතුව කාමන් මෙසේ පැහැදිලි කරයි: “සමහරක් තැන්වලදී අපට ඉතා පටු බිම් තීරයක, පැත්තකට හැරී ඇවිදගෙන යන්න වුණා. එක් අවස්ථාවකදී මගේ පපුව දක්වා මාව එරුණා, එවිට මම මගේ පුරුෂයාට මෙහෙම කිව්වා: ‘මට තව යන්න බැහැ. මාව මැරේවි.’ එහෙත් ඔහු මෙහෙම කිව්වා: ‘නැහැ, ඔයාට පුළුවන්. උඩට නඟින්න.’ යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතුව අපි නොනැවතී ගමන් කළා.”

පවුලේ ඥාතියෙකු වන නෝරා මෙංගූල්‍යෝ ඊට මෙසේ එකතු කළා: “බඩගාගෙන යන්ටත් බැරි තරමටම මෙළෙක් වූ ස්ථානවල, අපි බිම දිගා වී අපේ කකුල්වලින් අපව පස්සෙන් පස්සට තල්ලු කරගෙන ගියා. සමහර තැන්වල අපව හුඟාක් එරුණා, ඒත් එකිනෙකාව ඇදගැනීමට අපි උදව් කළා, විශේෂයෙන් දරුවන්ව.”

අවසානයේදී බේරාගනු ලැබීම!

නෝනාටෝ දිගටම මෙසේ විස්තර කරයි: “අපි මහත් උත්සාහයක් දරමින් ලහාරයේ අයින දිගේ බඩගාගෙන යද්දී, ඉහළින් හෙලිකොප්ටරයක් ගියා. ඔවුන්ට අපගේ අනතුරුදායක තත්වය, එනම් වහලක නොව ලහාර සුන්බුන් මැද සිටි අපව පෙනුණා. බේරාගන්ට පැමිණි අය අපේ තත්වය දැකගනීවි යන බලාපොරොත්තුවෙන්, අප සමඟ සිටි එක්කෙනෙක් මාස අටක් වයසැති ඇගේ ළදරුවාව ඉහළට කර එසෙව්වා. ඔවුන් අපව බේරාගන්න පහළට බැස්සා. අප සියලුදෙනාටම නැඟගන්න ඉඩ කඩ නොතිබූ නිසා, අපි දරුවන්ටත් ස්ත්‍රීන්ටත් පළමුවෙන් නඟින්ට ඉඩහැරියා.

“අවසානයේදී, අපවත් බේරාගනු ලැබ සංරක්ෂණ මධ්‍යස්ථානයකට ගෙන යනු ලැබුවා. අපේ ඇඳුම් ලහාරයේ මඩවලින් පෙඟී තිබුණත් අපට අඳින්ට කිසිවක් දෙන්ට එහි සිටි අයට නොහැකි වුණා. අපි රාජ්‍ය ශාලාවකට යන්න කැමති වූ නිසා මගේ පවුල අන්‍යයන් සමඟ සංරක්ෂණ මධ්‍යස්ථානයේ පදිංචි නොවන බව මම ඔවුන්ට කීවා. අපි රාජ්‍ය ශාලාවට පැමිණි විගස, අපට ඇඳීමට ඇඳුම්, කෑමට ආහාර එමෙන්ම වෙනත් උපකාරද ලැබුණා. සභාවෙන් තවත් සහෝදරයන්ද පැමිණි අතර, ඔවුන්ද අපට උපකාර කළා.”

කාමන් තවදුරටත් මෙසේ පවසයි: “වෙනත් අයගෙන් අපිට උදව් බලාපොරොත්තු විය නොහැකි වුවත්, අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වය ආශීර්වාදයක් බව අපිට හැඟුණා.”

ඔවුන්ගේ නිවස ලහාරවලට යට වුවත්, ඔවුන් දෙදෙනාත් ලව්ලි, චාමී සහ චාලී යන ඔවුන්ගේ දරුවන් තිදෙනාත්, එම ප්‍රදේශයේ විසූ අන් සියලුම සාක්ෂිකරුවනුත් එම අසීරු අද්දැකීමෙන් බේරී ජීවත් වූ බව දැනගැනීම ස්තුතිපූර්වක වීමට හේතුවක්.

[23වන පිටුවේ පින්තූර]

ගාර්සීයා පවුලේ අයගේ අඩ වශයෙන් සුන්බුන් ඉවත් කරනු ලැබූ නිවසේ දෙවන මහල

නෝනාටෝ ගාර්සීයාගේ පවුල, යට වූ ඔවුන්ගේ නිවස ඉදිරිපිට

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න