ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 10/8 19-21 පි.
  • සිය වසරක චිත්‍රපට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිය වසරක චිත්‍රපට
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිහඬ යුගය
  • ශබ්දය හා වර්ණය
  • යුද සමයේදී බොරු ප්‍රචාරය
  • අර්බුදය
  • සමාජයට බලපෑම
  • ඔබ නරඹන්නේ මොන වගේ චිත්‍රපටද?
    2005 පිබිදෙව්!
  • මොනවද මේ දවස්වල පෙන්වන චිත්‍රපට?
    2005 පිබිදෙව්!
  • පරෙස්සමින්! දරුවෝ නොමඟ යයි
    2005 පිබිදෙව්!
  • පිටපතෙන් රිදී තිරයට
    2005 පිබිදෙව්!
1996 පිබිදෙව්!
g96 10/8 19-21 පි.

සිය වසරක චිත්‍රපට

ප්‍රංශයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

සිනමාව ඇත්තෙන්ම යම් සුවිශේෂී අභිනව නිෂ්පාදනයක් වනවාට වඩා ජාත්‍යන්තර පර්යේෂණය හා අත්හදාබැලීමේ 75 වසරක පමණ මුදුන් පැමිණවීමකි. වර්ෂ 1832දී බෙල්ජියන් ජෝසෙෆ් ප්ලටෝ විසින් සොයාගත් ෆෙනකිස්ටෝස්කෝප් උපකරණය, චිත්‍ර සටහන් ගණනාවක් මගින් චලන රූප දැක්වීමට සමත් වූයේය. ප්‍රංශයේ ජෝසෆ් නයෙප්ස් සහ ලුවී ඩ’ගේර්ට ස්තුතිවන්ත වන්න, 1839දී සැබෑ දර්ශන රූප බවට පරිවර්තනය කිරීමේ ඡායාරූපගත ක්‍රියාවලිය බිහි විය. ප්‍රංශ ජාතික එමීල් රෙනෝ මෙම සංකල්පය තවදුරටත් වැඩිදියුණු කළ අතර, 1892 සිට 1900 අතරතුර කාලයේ සිටි සියදහස් සංඛ්‍යාත ජනකායක් දක්නා ලද, චලනය වන ඡායාරූප ප්‍රක්ෂේපණය කිරීමට සමත් විය.

චිත්‍රපට සඳහා වැදගත් පියවරක් ඉදිරියට තැබුවේ වසර 100කට පෙරය. ප්‍රසිද්ධ නිමැවුම්කරුවෙකු වන තෝමස් එඩිසන් හා ඔහුගේ ඉංග්‍රීසි සහායක විලියම් ඩික්සන්, 1890දී කුඩා ඍජු පියානෝවක ප්‍රමාණයේ බර ඇති කැමරාවක් නිමැවූ අතර, ඊළඟ වසරේදී, එක් තැනැත්තෙකුට පමණක් බැලිය හැකි චාලනමානයක් ලෙස හඳුන්වනු ලැබූ උපකරණය සඳහා එඩිසන් තනි අයිතිය හිමි කරගත්තේය. ලෝකයේ ප්‍රථම චිත්‍රාගාරය වන නිව් ජර්සි, වෙස්ට් ඔරෙන්ජ්හි බ්ලැක් මරියා චිත්‍රාගාරයේදී, සිදුරු සහිත මිලිමීටර් 35ක සෙල්‍යූලොයිඩ් තීරුවල චිත්‍රපට පටිගත කරනු ලැබීය. මෙම චිත්‍රපටවල විවිධ ප්‍රසංග, සර්කස් සහ කව් බෝයි රඟපෑම් මෙන්ම සාර්ථක වූ නිව් යෝර්ක් නාට්‍යවල දර්ශනද විශේෂ කොට දැක්විණ. පළමු චාලනමාන ශාලාව 1894දී නිව් යෝර්ක්වල විවෘත කරනු ලැබූ අතර, එම වසරේදීම මෙම යන්ත්‍ර කීපයක් යුරෝපයට අපනයනය කරනු ලැබීය.

මුලින්ම ප්‍රක්ෂේපණය කෙරෙහි උනන්දුවක් නොදැක්වුවත්, තරඟය වළක්වාලීම සඳහා ප්‍රොජෙක්ටරයක් නිපදවීමට එඩිසන්ට සිදු විය. වර්ෂ 1896 අප්‍රියෙල් මාසයේදී නිව් යෝර්ක්හි ඔහුගේ චලන රූ ප්‍රොජෙක්ටරයෙන් පළමු දර්ශනය පෙන්වීය. ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ මුලපිරීමෙන් ඇරඹූ තනි අයිතිය ලබාගැනීමේ සටන, මෙම කර්මාන්තය කෙරෙහි සම්පූර්ණ තනි අයිතියක් ලබාගැනීම සඳහා භාරකාර මණ්ඩලයක් බිහි කිරීමට මඟ පෑදීය.

ඡායාරූපගත කිරීම හා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම යන දෙකම කළ හැකි අතින් කරකවන කැමරාවක් නිපදවීමට ප්‍රංශයේ ලියෝන්හි කර්මාන්තකරුවන් වන ඕගුස්ට් සහ ල්‍යූමයර්ව පෙලඹවූයේ, එඩිසන්ගේ චලන රූ යන්ත්‍රයේ පිටපතකි. ඔවුන්ගේ සිනෙමාටෝග්‍රාෆ් (ග්‍රීක් බසින් කිනෙමා යන්නෙහි අර්ථය “චලනය” හා ග්‍රාෆෙයින් යන්නෙහි අර්ථය “චිත්‍රයට නැඟීම”) යන්ත්‍රයට 1895දී තනි අයිතිය ලැබුණු අතර, දෙසැම්බර් 28දා පැරිසියේ ග්‍රොන් කෆේ, 14 බූල්වාර් ඩ කපුසින්හි “සිනමාවේ මුහුරත් උළෙල” පවත්වනු ලැබීය. පසු දින, විද්‍යාවේ මෙම නවීන පුදුමය දැකීමට පර්සියන් ජාතිකයෝ 2,000ක් ග්‍රොන් කෆේ වෙත එක්රොක් වූහ.

නොබෝ කලකින්, ල්‍යූමයර් සහෝදරයෝ සිනමා ශාලා විවෘත කරමින්, කැමරා ශිල්පීන්ව ලොව පුරාම යැවූහ. වසර කිහිපයක් ඇතුළත, ලෝකයේ ප්‍රසිද්ධ ස්ථානවල හෝ රුසියාවේ IIවන නිකලස් අධිරාජ්‍යයා කිරුළු පළන් අවස්ථාව වැනි විශේෂ අවස්ථාවලදී, ඔවුහු චිත්‍රපට 1,500ක් පමණ නිපදවූහ.

නිහඬ යුගය

පැරීසියේ සිනමා ශාලාවක අයිතිකරුවෙකු හා මැජික්කාරයෙකු වූ ජෝර්ෂ් මෙල්යෙස්, තමා දුටු දෙයින් චිත්තාකර්ෂණයට පත් විය. ඔහු සිනෙමාටෝග්‍රාෆ් මිල දී ගැනීමට ඉදිරිපත් වූයේය. පෙනෙනාකාරයට පිළිතුර වූයේ මෙයයි: “නෑ, සිනෙමාටෝග්‍රාෆ් තියෙන්නේ විකුණන්න නෙවෙයි. තරුණයා, මට ඒ ගැන ස්තුතිවන්ත වෙන්න; මේ සොයාගැනීම වැඩි කල් පවතින්නේ නෑ.” කෙසේවුවත්, නිර්භීත වූ මෙල්යෙස් එංගලන්තයෙන් ගෙනා උපකරණවලින් චිත්‍රපට සාදන්ට පටන්ගත්තේය. ඔහුගේ විශේෂ දර්ශන හා රඟදැක්වීම් ඇතුළත් කිරීමෙන්, මෙල්යෙස් චලන රූ සේයාගත කිරීමේ විද්‍යාව කලාවකට නැඟුවේය. වර්ෂ 1902දී ඔහුගේ ල වායාෂ් ඩාන් ලා ල්‍යූන් (සඳ බලා ගමන) නමැති චිත්‍රපටය අන්තර්ජාතික සාර්ථකත්වයක් අත් කරගත්තේය. පැරීසියේ සීමාවේ පිහිටි මොන්ට්‍රොයිහි සිය චිත්‍රාගාරයේදී ඔහු චිත්‍රපට 500කට වඩා සෑදූ අතර, ඉන් බොහෝමයක් දෑතින් වර්ණ ගැන්වූ ඒවා විය.

වර්ෂ 1910 පමණ වන විට, ලෝක ව්‍යාප්තව අපනයනය කරන චිත්‍රපටවලින් සියයට 70ක්ම ප්‍රංශයෙන් පැමිණියේය. මෙය මූලික වශයෙන් සිදු වූයේ පටේ සහෝදරයන් විසින් සිනමාව, කර්මාන්තයක් බවට පත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සිනමාව “හෙට දිනේ රඟහල, ප්‍රවෘත්ති පත්‍රය හා පාසැල” බවට පත්වීම ඔවුන්ගේ ඉලක්කය විය.

වර්ෂ 1919දී, චාර්ලි චැප්ලින්, ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස්, ඩේවිඩ් ඩබ්. ග්‍රිෆිත් සහ මේරි පික්ෆර්ඩ් භාරකාර මණ්ඩලයේ වාණිජ්‍ය ආධිපත්‍යය කැඩීමට යුනයිටඩ් ආර්ටිස්ට්ස් පිහිටෙවූහ. වර්ෂ 1915දී, ග්‍රිෆිත්ගේ බර්ත් ඔෆ් ඒ නේෂන්, හොලිවුඩ්හි බලපෑමෙන් යුත් මුල්ම චිත්‍රපටය විය. අමෙරිකානු සිවිල් යුද්ධය පිළිබඳව අධික ලෙස මතභේදයට තුඩු දුන් මෙම චිත්‍රපටය කැරලි ඇති කළ අතර, එහි ජාතිවාදී අදහස් ඉදිරිපත් කර තිබූ බැවින් එය පෙන්වීමත් සමඟම ඝාතන කිහිපයක් පවා සිදු කෙරිණ. කෙසේවුවත්, පෙන්වා ඇති චිත්‍රපටවලින් වැඩිම ආදායමක් ලැබූ එකක් බවට පත් කරවමින් ප්‍රේක්ෂකයන් මිලියන 100කට වඩා නැරඹූ එය, අතිවිශාල සාර්ථකත්වයක් ලැබීය.

පළමු ලෝක යුද්ධයෙන් පසු, චිත්‍රපට මගින් “රාත්‍රි සමාජ ශාලා, ක්‍රීඩා සමාජ හා හොර තැබෑරුම් වැනි අංගවලින් යුත් ජීවන රටාව හා ඒ සියල්ල සමඟ මුසු වූ සදාචාරමය වශයෙන් නොහික්මුණු ගතිය මුළු අමෙරිකාවටම හඳුන්වා දෙන ලදි.” ලෝකයේ වෙනත් තැන්වල දර්ශනය වූ වැඩසටහන්වලින් සියයට 60 සිට 90 දක්වා ප්‍රමාණයක් අමෙරිකානු චිත්‍රපටවලින් සමන්විත වූ අතර, අමෙරිකානු තිරයෙන් විදේශ චිත්‍රපට මුළුමනින්ම පාහේ අතුරුදහන් වී ගියේය. අමෙරිකානු ජීවන රටාවට හා අමෙරිකානු නිෂ්පාදනවලට කීර්තියක් ලබා දීමේ මාධ්‍යයක් වශයෙන් සිනමාව යොදාගැනිණ. මේ අතරතුර, අලුතෙන් නිර්මාණය වූ “තරු ක්‍රමය” හේතුවෙන් රූඩොල්ෆ් වැලන්ටිනො, මේරි පික්ෆර්ඩ් හා ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් වැන්නන්ව ඇත්තෙන්ම දෙවිවරුන් ලෙස සැලකීමට මඟ පෑදීය.

ශබ්දය හා වර්ණය

වර්ෂ 1927දී, නිහඬ චිත්‍රපටවල රන් යුගය නිම කරමින්, ද ජෑස් සින්ගර් චිත්‍රපටයේ, “හේයි, මම්, ලිසන් ටු දිස්! (අම්මේ, මේ අහගන්නකෝ!)” යන ඇල් ජෝල්සන්ගේ වචන සමඟින් ශබ්දයද සහිතව ඉදිරිපත් කෙරෙන චිත්‍රපට ලෝකයට හඳුන්වා දෙනු ලැබීය. සිනමාවේ පටන්ගැන්මේදීම එකවිටම ශබ්දවාහිනී තැටි වාදනය කිරීම සම්බන්ධයෙන් අත්හදාබැලීම් කර තිබූ නමුත්, විද්‍යුත් තැටිගත කිරීම සහ කපාටවලින් ක්‍රියාත්මක වන ඇම්ප්ලිෆයර් 20ගණන්වලදී සොයාගන්නා තුරු, ශබ්දය ප්‍රායෝගිකව යොදාගත නොහැකි විය. එහි හඳුන්වා දීම ගැටලු රහිත එකක් වූයේ නැත.

මුලින්ම සිනමාවට වර්ණ එකතු වූයේ, සේයාපට අතින් සායම් කිරීමෙනි. පසුව, සායම් ගන්වන තහඩු භාවිත කිරීම පටන්ගැනිණ. දක්ෂ වර්ණ-සේයාපට ක්‍රියාවලියක් නොතිබූ නිසා, චිත්‍රපට අතින් සායම් කිරීමට සිදු විය. වර්ෂ 1935දී වර්ණ තුනක් ගැන්විය හැකි ටෙක්නිකලර් ක්‍රමය සොයාගන්නා තෙක් විවිධ ක්‍රම භාවිත කෙරිණ. කෙසේවුවද, වර්ණ චිත්‍රපට, මිනිසුන් ඇදී එන්නක් බවට පත් වූයේ, 1939දී අතිශයින් ජනප්‍රිය වූ ගෝන් විත් ද වින්ඩ් නැරඹීමෙන් පසුව පමණි.

යුද සමයේදී බොරු ප්‍රචාරය

ආර්ථික වශයෙන් පරිහානියට පත් 30ගණන්වලදී සිනමාව “ජනයාට අබිං” මෙන් විය. එහෙත් ලෝකය ක්‍රම ක්‍රමයෙන් යුද්ධය කරා ඇදෙද්දී, රැවටීම සහ බොරු ප්‍රචාරය සඳහා සිනමා මෙහෙය යොදාගැනිණ. මුසොලීනි සිනමාව “ලාර්මා ප්‍යූ ෆෝර්ටෙ” නැතහොත් “ශක්තිමත්ම ආයුධය” ලෙස හැඳින්වූ අතර, හිට්ලර්ගේ පාලන සමයේදී එය මූලික වශයෙන්ම යෞවනයන්ගේ සිතට ජාතිවාදය කාවද්දන නියෝජිතයෙකු බවට පත් විය. ඩෙර් ට්‍රිඋම්ෆ් ඩෙස් විලෙන්ස් (අධිෂ්ඨානයේ ජයග්‍රහණය) හා ඕල්‍යුම්පියා වැනි චිත්‍රපට මගින් ප්‍රබල ලෙස නාට්සි නායකයන්ව දේවත්වයේලා සලකනු ලැබීය. අනික් අතට, යූඩ් ස්‍යූස් (යුදෙව් සූස්) යුදෙව් විරෝධී ස්වභාවයක් වැඩිවීමට මඟ පෑදුවේය. තවද බ්‍රිතාන්‍යයෙහි, ලෝරන්ස් ඔලීවියේගේ හෙන්රි V (Vවන හෙන්රි) යන චිත්‍රපටය, ඩී ඩේ යුද මෙහෙයුමට සූදානම් වීමට හා ඉන් සිදු වන ජීවිත හානි දරාගැනීමට ධෛර්යයක් වශයෙන් ක්‍රියා කළේය.

අර්බුදය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව, රූපවාහිනී යන්ත්‍ර පුළුල් වශයෙන් ලබාගැනීමට හැකි වූ විට, ජනයා සිනමා ශාලාවලට නොයා නිවෙස්වලම රැඳුණෝය. එක්සත් ජනපදයේ සිනමා ශාලාවලට යන්නන්ගේ සංඛ්‍යාව අවුරුදු දහයක තරම් කෙටි කාලයක් ඇතුළත හරි අඩක් දක්වා ශීඝ්‍රයෙන් පහත වැටිණ. සිනමා ශාලා දහස් ගණනක් වසා දමන්ට සිදු වූ අතර, 50ගණන්වලදී පුළුල් තිර චිත්‍රපට හා දිශාවකට යොමු කළ හැකි ස්ටීරියෝ ශබ්ද හඳුන්වා දී තිබියදීත්, චිත්‍රපට නිෂ්පාදනය තුන්ගුණයකින් අඩු විය. මෙම තරඟය මැඩපැවැත්වීමට වෑයමක් වශයෙන් සිසිල් බී. ඩෙ මිල්ගේ, ටෙන් කමාන්ඩ්මන්ට්ස් (1956) වැනි බලපෑමක් ඇති කරවන ආකාරයේ නිෂ්පාදනයන් බිහි කෙරිණ. යුරෝපීය සිනමා ශාලාවලට පැමිණෙන්නන්ගේ විශාල අඩුවීමක් සිදු විය.

සමාජයට බලපෑම

සිනමාව සමාජයේ කැඩපතක් ලෙස හඳුන්වා තිබේ. ඇත්තෙන්ම, 70ගණන්වල බොහෝ චිත්‍රපට, එම කාලයෙහි පැවති “අපහසුව, නොසෑහීම, බලාපොරොත්තු සුන්බව, කනස්සල්ල, පීඩනෝන්මාදය” පිළිබිඹු කරන ලදි. අදදින භයානක චිත්‍රපටවල පුනරුත්ථාපනයෙන් හා “සාතන්වාදයට මෙන්ම ගුප්ත විද්‍යාවට පෙර නොවූ විරූ අන්දමකින් ලැදිකමක්” දක්වන ත්‍රාසජනක චිත්‍රපට නැවත ජනප්‍රිය වීමෙන් මෙය දැකගත හැක. “සැබෑ ජීවිතයේ විපත්තිවලින් වෙනතකට යොමුවීමක්” ලෙස ආපදාවන් හුවා දක්වන චිත්‍රපට ක්‍රියා කළේය. (වර්ල්ඩ් සිනමා—ඒ ෂෝර්ට් හිස්ට්‍රි) අනික් අතට, “දුරාචාරය සාමාන්‍ය දෙයක් කිරීමට හිතා මතා වෑයම් කිරීමක්” වශයෙන් ප්‍රංශ පත්‍රකලාවේදියෙකු හැඳින්වූ දෙය 80ගණන්වලදී දක්නට ලැබිණ. වර්ෂ 1983දී කාන් චිත්‍රපට උළෙලෙහි ඉදිරිපත් කළ චිත්‍රපටවලින් අඩකම තේමා වශයෙන් සමලිංගිකතාව හෝ ව්‍යභිචාරය යොදා තිබිණ. සමකාලීන චිත්‍රපටවල සාහසිකකම, එකම මාතෘකාව නැවත නැවත ගෙනහැර දක්වනු ලබන තේමාව බවට පත් වී ඇත. වර්ෂ 1992දී හොලිවුඩ් චිත්‍රපටවලින් සියයට 66ක සාහසික දර්ශන අඩංගු විය. තවද අතීතයේ සිදු වූ සාහසිකකම් බලද්දී, සාමාන්‍යයෙන්ම ඒවාට අරමුණක් තිබුණත්, දැන් එය සම්පූර්ණයෙන්ම නිකරුණේ සිදු කෙරේ.

එවැනි දේට නිරාවරණය වීමෙන් ඇති වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද? අපරාධ කිරීම සම්බන්ධයෙන් කලින් නැඹුරුවාවක් නොතිබූ පැරීසියේ තරුණ යුවළක්, 1994 ඔක්තෝබර් මාසයේදී 4දෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන්, 52දෙනෙකු ඝාතනය කරන යුවළක් පිළිබඳ වූ නැචුරල් බෝන් කිලර්ස් චිත්‍රපටය කෙළින්ම වගකිව යුතු බව ප්‍රකාශ කරන ලදි. සාහසිකකමේ ඇති බලපෑම සම්බන්ධයෙන්—විශේෂයෙන්ම ඒවාවල ඇති දේ ආදර්ශයට ගන්නා යෞවනයන් කෙරෙහි ඇති වන බලපෑම සම්බන්ධයෙන්—වැඩි වැඩියෙන් මනෝවිද්‍යාඥයෝ කනස්සල්ල ප්‍රකාශ කරති. සෑම චිත්‍රපටයක්ම සාහසිකකම හෝ දුරාචාරය උසස් කර නොදක්වන බව සැබෑය. ද ලයන් කිං වැනි මෑත චිත්‍රපට, කලින් තිබූ චිත්‍රපට වාර්තා බිඳදමා ඇත.

ඉකුත් වසර 100 පුරා සිනමාවෙන් සමාජයට ඇති වූ බලපෑම ගැන ල මෝන්ඩ් යන පැරීසියේ පුවත්පතෙන් විමසූ විට, චිත්‍රපට නිෂ්පාදකයෙකු හා නළුවෙකු පිළිතුරු දුන්නේ, “යුද්ධ උසස් කළත්, ප්‍රේමයේ හැඟීම් ඇති මැරවරයන්ට තැනක් දුන්නත්, වුවමනාවට වඩා සරල විසඳුම්වලට හා වැදගැම්මකට නැති පුහු අදහස්වලට අනුබල දුන්නත්, ව්‍යාජ බලාපොරොත්තු මවාපාමින් ධනය, තනතුරු, කමකට නැති ශාරීරික අලංකාරය මෙන්ම යථාර්ථවාදී නොවන, කිසි වටිනාකමක් නැති ඉලක්ක වැඩිදියුණු කිරීමෙහි නියැලී තිබුණත්,” සිනමාව එදිනෙදා ජීවිතයේ දුෂ්කර යථාර්ථයන්ගෙන් මිදීමට අගය කළ හැකි මඟක්ද සපයා ඇත කියාය.

විදුලි පහන් නිවී, රිදී තිරය දිස් වන විට, සිය වසරකට වඩා ජනයාගේ සිත්ගැනීමට හේතු වූ ආශ්චර්යය අපට තවමත් දැනිය හැක.

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“ෆොටෝ-ඩ්‍රාමා ඔෆ් ක්‍රිඒෂන්”

එක්දාස් නවසිය දාහතරේ අවසානය වන විට, ඕස්ට්‍රේලියාවේ, යුරෝපයේ, නවසීලන්තයේ හා උතුරු අමෙරිකාවේ මිලියන නවයක් පමණ ජනයා, වොච් ටවර් සමිතිය මගින් නොමිලේ ඉදිරිපත් කළ “ෆොටෝ-ඩ්‍රාමා ඔෆ් ක්‍රිඒෂන්” දැක තිබිණ. කොටස් හතරකින් යුත් පැය අටේ වැඩසටහනට, ශබ්දය හා සංගීතය සමඟම චලන චිත්‍ර හා කාච ඇතුළත් විය. කාච හා සේයාපට යන දෙකම අතින් සායම් කළ ඒවා විය. “බයිබලය හා එහි ඇති දෙවියන්වහන්සේගේ අරමුණ කෙරෙහි අගය වර්ධනය කිරීම සඳහා ෆොටෝ-ඩ්‍රාමා” සැලසුම් කර තිබිණ. එහි සිරස්තලවලට, මලක් පිපීම හා කුකුල් පැටවෙකු බිත්තර කටුවෙන් එළියට ඒම ඇතුළත් වූ අතර, එම දර්ශන කාල-අන්තර ඡායාරූප ශිල්පය මගින් පිළියෙළ කරන ලදි.

[19වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1895 පෙබරවාරියේදී තනි අයිතිය ලබාගත් “සිනෙමාටෝග්‍රාෆ් ල්‍යූමයර්” යන්ත්‍රය

[හිමිකම් විස්තර]

© Heritiers Lumière. Collection Institut Lumière-Lyon

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Heritiers Lumiere. Collection Institut Lumiere-lyon

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න