ලෝකය දෙස බැලීම
ස්ත්‍රීන් “අතුරුදහන්” වීම
“සෞඛ්‍යය හා සම්බන්ධ කාරණාවලදී අගතියකින් තොරව ස්ත්‍රීන්ට ප්‍රතිකාර කරන රටවල, සෑම පුරුෂයන් 100දෙනෙකු සඳහා ස්ත්‍රීන් 106දෙනෙක් සිටිති. මෙය ජීව විද්‍යාත්මක සත්‍යයකි,” යයි යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ද කුරියර් නමැති සඟරාවේ සඳහන් වේ. එහෙත් එ.ජා. විසින් කරන ලද අධ්‍යයනයන් මගින් තවත් කරුණක් පෙන්වා දෙනු ලබයි: එනම් චීනය, ඉන්දියාව, කොරියානු ජනරජය සහ පකිස්තානය වැනි ආසියාතික රටවල සාමාන්‍ය අනුපාතය, සෑම පුරුෂයන් 100දෙනෙකුට ස්ත්‍රීන් 94දෙනෙකුය. ඒ මන්ද? “ගර්භිණී අවස්ථාවේ මුල් කාලයේදී භෲණයේ ස්ත්‍රී පුරුෂභාවය හඳුනාගැනීමට විද්‍යාත්මක දියුණුව මගින් හැකි වී තිබේ”, තවද එමගින් “ස්ත්‍රී පුරුෂ උපත් අනුපාතයේ අසමබරතාව” වැඩි වී තිබේයයි ද කුරියර් පැහැදිලි කරයි. උදාහරණයක් හැටියට, 1982දී කොරියානු ජනරජයේ පිරිමි ළමුන් හා ගැහැනු ළමුන් අතර උපත් අනුපාතය 100දෙනෙකුට 94දෙනෙකු වුවත්, 1989දී එය 100දෙනෙකුට 88දෙනෙකු දක්වා පහත වැටිණ. එ.ජා. විසින් පළ කරනු ලබන අවර් ප්ලැනට් නමැති ප්‍රකාශනයේද මෙසේ සඳහන් වෙයි: “සංඛ්‍යා ලේඛන තැතිගන්වනසුලුය: ගැහැනු ළදරු ඝාතනය සහ ගැහැනු භෲණයන් ගබ්සා කිරීම නිසා ආසියානු ස්ත්‍රීන් මිලියන 100ක් ‘අතුරුදහන්’ වෙමින් සිටිති.”
අවිද නැතහොත් සංවර්ධනයද?
එක්සත් ජනපද ඩොලර් සියයකින්, AK-47 රයිෆලයක් මිල දී ගැනීමට හෝ අවුරුද්දක් වයසැති ළමුන් 3,000කගේ අන්ධභාවය වළක්වන විටමින් ඒ කරල් අවශ්‍ය තරම් මිල දී ගැනීමට හැක. බිම් බෝම්බ මිලියන දහයක් මිල දී ගැනීම හෝ මාරාන්තික ළමා රෝග හයකින් දරුවන් මිලියන 7.7ක් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය තරම් එන්නත් ලබා දීම, ඩොලර් මිලියන සියයකින් කළ හැක. ඩොලර් මිලියන අටසියයකින්, F-16 ප්‍රහාරක යානා 23ක් මිල දී ගැනීම හෝ අයඩීන් ඌනතාව නිසා ඇති වන මානසික ඌන වර්ධනය වැනි රෝගවලින් මිනිසුන් බිලියන 1.6ක් ආරක්ෂා කරමින්, ලුණුවලට මිශ්‍ර කිරීම සඳහා වසර දහයකට අවශ්‍ය අයඩීන් මිල දී ගැනීම කළ හැක. ඩොලර් බිලියන 2.4ක් පමණ වැය කොට න්‍යෂ්ටික සබ්මැරිනයක් මිල දී ගැනීම හෝ මිනිසුන් මිලියන 48කට අවශ්‍ය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම කළ හැක. ලෝකය ප්‍රමුඛත්වයන් තබන්නේ කුමක් මතද? ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්ස් චිල්ඩ්‍රන් 1996 අනුව, සංවර්ධනය වන රටවල අවි මිල දී ගැනීම සඳහා, 1994දී පමණක් වැය කළ මුළු මුදල ඩොලර් බිලියන 25.4ක් වේ, එම මුදල් සංවර්ධන වැඩකටයුතු සඳහා යොදාගැනීමට තිබිණ.
ගෝන්නු පාර හරහා පැනීමෙන් ඇති වන උවදුර
ගෝනෙකු පාර හරහා පනින්නේ ඇයි? නිව් ෆවුන්ඩ්ලන්තයේ වන ජීවි විද්‍යාඥයන්ට හෝ ප්‍රදේශයේ සිටින රියැදුරන්ට හා එම පළාතේ මහා මාර්ගවල ගමන් කරන සංචාරකයන් දහස් ගණනකට මෙය විහිළුවක් නොවේ. “නිව් ෆවුන්ඩ්ලන්තයේ මහා මාර්ගවල, ගෝන්නුන් හැප්පීම නිසා වර්ෂයකට මෝටර් රථ අනතුරු 300ක් පමණ සිදු වන අතර, එයින් බොහොමයකදී රියැදුරන් මියයති” යි ද ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති පුවත්පත පවසයි. “කිලෝග්‍රෑම් 450ක [රාත්තල් 1,000ක] පමණ බරකින් යුත් ගෝනෙක්, ජීවිතය හානි කරගනිමින් හෝ බරපතළ ලෙස තුවාල ලබමින්, විශාල රවුම් ගලක් මෙන්, මෝටර් රථයේ වහලේ මහත් හඬකින් ගැටීමට පුළුවන.” ගෝන්නුන් අඩුවෙන් සිටින ප්‍රදේශවල අනතුරු සංඛ්‍යාවේ වැඩිවීමක් තිබෙන නිසා, දැනට දිවයිනේ සිටින ගෝන්නුන් 1,50,000 නිකම්ම අඩු කිරීමෙන් ඵලක් නොවනු ඇතැයි ජාතික සම්පත් දෙපාර්තමේන්තුවේ ෂේන් මාඕනී පවසයි. ගෝන්නුන් රංචුවකගේ හැසිරීම් රටාව විග්‍රහ කර බැලීමෙන්, ගමන් කරන රථවාහනවලට සහජ බියක් දක්වන ගෝන්නුන් පාර හරහා පැනීමට හේතුව සොයා බැලීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
නාඌරූහි සිදු වන ව්‍යසනය
ලෝකයේ කුඩාම හා හුදකලාවේ පිහිටි ජනරජය වන නාඌරූ, එහි නිවර්තනීය අලංකාරය නිසා එක් කලක ප්‍රසිද්ධව තිබිණ. දහඅටවන සියවසේදී යුරෝපීය නාවිකයන් විසින් පළමුවරට සොයාගන්නා ලද වර්ග කිලෝමීටර් විස්සකින් යුත් මෙම දිවයින, රමණීය දිවයින ලෙස හඳුන්වනු ලැබීය. කෙසේවෙතත්, වාසය සඳහා දැන් සුදුසු තත්වයක පවතින්නේ පටු මුහුදු තීරුවක් පමණි, තවද “පොළොව මත පාරිසරික විනාශයකට වැඩියෙන්ම ලක් වී තිබෙන ජාතිය” බවට නාඌරූ පත් වී තිබේයයි ද නිව් යෝර්ක් ටයිම්ස් පවසයි. හේතුව? පතල් හැරීමය. අවුරුදු දහස් ගණනක් පුරා කුරුල්ලන්ගේ අසූචිවල හා මුහුදු ක්ෂුද්‍ර ජීවීන්ගේ නිෂ්පාදනයක් වූ පොස්පේට් සඳහා පසුගිය අවුරුදු 90 පුරා කැණීම් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, “අළු පාටට හුරු හිරිගල් මුදුන්වලින් හා වළවල්වලින් සෑදුණු සඳේ මතුපිටට සමාන දර්ශනයක් අවට ප්‍රදේශයේ දක්නට ලැබේ; සමහර මුදුන් මීටර් 22ක් තරම් උසය.” දැනටමත් දිවයිනේ හාරා තිබෙන පහෙන් හතරක ප්‍රදේශයෙහි ඉහළ නඟින අධික උෂ්ණත්වය, කාලගුණයට බලපා තිබෙන නිසා, වැසි වලාකුළු ඉවත්ව යන අතර නියඟ හා නොයෙකුත් උවදුරු ඇති වී තිබේ. ඉතිරිව තිබෙන පොස්පේට් නිධි වසර පහක් ඇතුළත හෑරීමට බලාපොරොත්තු වේ. ආරක්ෂාව සඳහා ඔවුන්ට කළ හැකි එකම දෙය, තමන්ගේ ධනයෙන් අලුත් දිවයිනක් මිල දී ගැනීම බව නාඌරූ වැසියන් බොහෝදෙනෙකුට හැඟේ.
ගිණි-පණු රෝගය යටපත් වෙමින්
“වසූරියට පසු, මිනිසුන්ට වැළඳෙන, මුලිනුපුටා දැමිය යුතු දෙවන රෝගය ගිණි-පණු රෝගය බව පෙනෙයි,” කියා දි ඉකොනමිස්ට් සඳහන් කරයි. “වර්ෂ 1989 තරම් මෑතකදී, ලොව පුරා වාර්තා වූ 9,00,000කට ආසන්න රෝග සංඛ්‍යාව පසුගිය වසරේදී 1,63,000 දක්වා පහත වැටුණු අතර, බොහෝ රටවල එය සෑම වසරකම සියයට පනහකින් අඩු වෙයි.” එසේ සිදු නොවන්නේ සූඩානයේ පමණි; “යුද්ධය සහ මෙම රෝගය අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බව මින් ඔප්පු වේ.” පියවි ඇසට නොපෙනෙන තරම් වූ කීටයෙකුගෙන් පටන් ගෙන ජලයේ ජීවත් වන පරපෝෂිතයෙකු බවට පත් වන ගිණි-පණුවා, මධ්‍යම ආසියාවෙන්, පකිස්තානයෙන් හා අප්‍රිකානු රටවල් ගණනාවකින් තුරන් කර ඇත. ජලය පිරිසිදු කරන රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්ද, තමන් පානය සඳහා ගන්නා ජලය රෙදි කැබැල්ලකින් පෙරාගැනීමට මිනිසුන්ට ඉගැන්වීමෙන්ද, රෝගය වැළඳුණු අයව පානීය ජලය සැපයෙන තැන්වල නෑමෙන් හෝ ඒවාට බැසීමෙන් වැළැක්වීමෙන්ද, එය පාලනය කිරීමට සෞඛ්‍ය ආයතනවලට හැකි වී තිබේ. ශරීරයට ඇතුල් වී ගැහැනු සතා හා එක්වීමෙන් පසු පිරිමි සතා මියයන අතර, රෝගයට ගොදුරු වූ තැනැත්තාගේ පාදයේ ඇති වන වේදනාකාරි තුවාලවලින් ටිකෙන් ටික එළියට එන්න කලින් ගැහැනු සතා මීටරයක් දක්වා දික් විය හැක, ඇතැම්විට රෝගියාට ඇවිදීමට නොහැකි වන විදිහට පේශීන්වලට හානි සිදු වේ.
විනිශ්චය දිනයේ වේලාව ඉදිරියට ඇදී එයි
ද බුලටින් ඔෆ් දි ඇටමික් සයන්ටිස්ට්ස් නමැති සඟරාවේ කවරයේ දැක්වෙන, ලෝක විනාශයේ දිනය අඟවන ප්‍රසිද්ධ ඔරලෝසුවේ මිනිත්තු කටුව, තව විනාඩි තුනකින් එහි මැදියම් රැය සමීපයට ගෙන ගොස් ඇත. ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට කොතරම් ආසන්නද කියා මෙම ඔරලෝසුවෙන් සංකේතමය වශයෙන් දැක්වේ. වර්ෂ 1947දී එය හඳුන්වා දුන් කාලයේ පටන්, වෙනස් වන ලෝක සිදුවීම්වලට ප්‍රතිචාරයක් ලෙස එම ඔරලෝසුව 16 වතාවක් නැවත සකස් කර ඇත. වර්ෂ 1953දී එක්සත් ජනපදය විසින් පළමුවරට හයිඩ්‍රජන් බෝම්බය පුපුරවා හැරීමෙන් පසු, ඔරලෝසුවේ වෙලාව, න්‍යෂ්ටික යුද්ධය අඟවන මධ්‍යම රාත්‍රියට වෙන කවරදාටත් වඩා විනාඩි දෙකකින් ළං විය. කලින් පැවති සීතල යුද්ධයෙහි හිතකර තත්වයන් ඇති වේයයි සිතූ නිසා, මධ්‍යම රාත්‍රියට පෙර මිනිත්තු 17කින් ආපස්සට ගෙනගොස්, 1991දී අවසාන වෙනස් කිරීම සිදු කරන ලදි. මධ්‍යම රාත්‍රිය දක්වා තව විනාඩි 14ක් ඉදිරියට ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ, වැඩි වන ලෝක ආතතිය, න්‍යෂ්ටික අවි තොග ගොඩගැසීම ගැන තිබෙන අසුරක්ෂිතභාවයේ හැඟීම් හා න්‍යෂ්ටික ත්‍රස්තවාදයේ තර්ජනය ගැන තිබෙන සැලකිල්ල වැඩි වී තිබෙන බවය. “ලෝකය, තවමත් ඉතා අනතුරුදායක ස්ථානයකි,” යයි ද බුලටින්හි සභාපති වන ලෙනාඩ් රීසර් පැවසුවේය.
අත්හරින ලද අලුත උපන් බිළින්දෝ
බිළිඳාව දරුවෙකු මෙන් හදා වඩා ගැනීමට කැමැත්තක් දක්වන යුවළක් සොයාගැනීමේ වගකීම බාලයන් රැකබලා ගන්නා අධිකාරීන්ට පවරා, තම අලුත උපන් බිළිඳාව හදා වඩා ගැනීම නීත්‍යනුකූලව ප්‍රතික්ෂේප කිරීමට ඉතාලියේ වසන මවකට පුළුවන. එහෙත්, 1995 වසරේදී දරුවන් 600දෙනෙකුව අත්හැර දමනු ලැබීය, “බොහෝදෙනෙකුව කුණු කසළ දමන ටැංකිවලද, තවත් දරුවන්ව දේවස්ථාන හෝ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආසන්නයේ අත්හැර දමාගොස් තිබුණා,” යයි ලා රේපූබ්බිලිකා නමැති ඉතාලි පුවත්පත පවසයි. මෙසේ දරුවන් අත්හැර දැමීම සිදු වන්නේ, රටේ කාර්මිකකරණයට ලක් වූ වඩා දියුණු ප්‍රදේශවල මෙන්ම ඉතා දුප්පත් හා ඌන සංවර්ධනයක් ලබා තිබෙන ප්‍රදේශවලය. ඉතාලියේ මනෝ විද්‍යාව පිළිබඳ සමිතියේ සභාපතිනිය වන වාරා ස්ලෙප්ඕයි පවසන ආකාරයට, මෙය වනාහි සමාජය පුරා ව්‍යාප්ත වන “මරණය පිළිබඳ හැඟීමක් ඇති බවට අනතුරු අඟවන සංඥාවකි.”
පිපාසය ප්‍රමාණවත් නොවේ
“පුද්ගලයෙකු පිපාසය ඇති වන විට පමණක් පානය කරනවා නම්, ඔහු අවශ්‍ය ප්‍රමාණය පානය නොකරනු ඇත,” යනුවෙන් ව්‍යායාම කායික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය මාර්ක් ඩේවිස් පවසයි. පිපාසය දැනෙන්නේ සිරුරේ ද්‍රව ගතිය පහත් මට්ටමකට පත්වීමෙන් පසුව නිසා, බොහෝදෙනෙක් යම් ප්‍රමාණයක විජලන ගතියකින් පෙළෙති. තවද පුද්ගලයන්ගේ වයස වැඩි වන තරමටම, පිපාසය ඇතිවීමට තිබෙන නැඹුරුවාවද අඩු වේ. ද නිව් යෝර්ක් ටයිම්ස්හි වාර්තා වන හැටියට, අපට ජලය වැඩියෙන්ම අවශ්‍ය වන්නේ, උණුසුම් හෝ දැඩි සීතල මෙන්ම වියළි ගතියකින් යුත් කාලගුණයක් පවතින විට, අප ව්‍යායාම හෝ ආහාර සීමා කරන විට සහ ශරීරයේ ද්‍රව ගතිය නැති වී යෑමට හේතු වන අතීසාරය, උණ හා වමනය වැනි රෝග ලක්ෂණ ඇති අසනීපයකින් පෙළෙන විටදීය. කෙඳි සහිත ආහාර වැඩියෙන් අනුභව කරන අයට, එම කෙඳි බඩවැල් හරහා ගමන් කිරීම සඳහා වැඩි ද්‍රව ගතියක් අවශ්‍ය වේ. පලතුරු සහ එළවළුවල වැඩියෙන් ජලය තිබිය හැකි වුවත්, අපගේ අවශ්‍යතාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ පානය කිරීමෙන්ය. ජලය ඉතා ඉක්මනින්ම සිරුරට උරාගන්නා නිසා, පිපාසය සඳහා හොඳම දෙය ජලය වේ. පානය කරන දෙය, වඩා පැණිරස ගතියකින් යුක්ත නම්, එය ශරීරයට උරාගන්නේ අඩු වේගයකිනි. සීනි දිරවීම සඳහා දියර අවශ්‍ය නිසා සෝඩා මගින් ඔබේ පිපාසය වැඩි කරවයි. කැෆේන් සහ මද්‍යසාර, මුත්‍රා කිරීම වැඩි කරන ද්‍රව්‍යයන් නිසා, සිරුරට අවශ්‍ය දියර ලබාගැනීම සඳහා ඒවා අඩංගු බීම වර්ග පානය කිරීම, ශරීරයේ ද්‍රව ගතිය නැති වී යෑමට හේතු විය හැක. “වැඩිහිටියෙකු දිනකට අඩුම තරමින් ඩෙසිලීටර් 2.4ක වතුර වීදුරු අටක්වත් පානය කළ යුතුය,” කියා ටයිම්ස් සඟරාව පවසයි.
ප්‍රසිද්ධ මිසර සොහොන විවෘත කෙරේ
ලක්සෝර්හි රැජිනියන්ගේ නිම්නයේ පිහිටි, වසර ගණනාවක් වසා දමා තිබූ නෙෆර්ටාරිගේ සොහොන් ගෙය ප්‍රතිසංස්කරණය කර මහජනයා සඳහා විවෘත කර ඇත. “‘මෙම සොහොන ඇත්තෙන්ම ලක්සෝර්හි බටහිර ඉවුරේ පිහිටි, නැතහොත් මුළු මිසරයේම පවා තිබෙන වඩාත්ම සිත්ගන්නාසුලු සොහොනයි,’ කියා පෞරාණික දේවල් අධ්‍යයනය කරන මහා සභාවේ ප්‍රධානියා වන මුහම්මඩ් ඉල් සොගයර් පැවසුවේය. ‘නෙෆර්ටාරිට දැක්වූ බලවත් ප්‍රේමය හේතුවෙන් මෙම රාජකීය ස්මාරකය ගොඩනැඟූ දෙවන රම්සෙස්ගේ කාලයේ සිටි ඉතා දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් මෙය නිර්මාණය කරනු ලැබූ බවට කිසිම සැකයක් නැත. ඇය වෙනුවෙන් ගොඩනැඟිය හැකි අලංකාරම සොහොන ගොඩනැඟීමට ඔහුට වුවමනා විය.’” කෙසේවෙතත්, වර්ග මීටර 430කින් යුත් දීප්තිමත් හා නෙත් සිත් පිනවන වර්ණයන් යොදා නිර්මාණය කළ චිත්‍ර, ජලගැලීම්, මඩ හා ලුණු අංශු ඇතුල්වීමෙන් විනාශ වීමට ආසන්නව තිබිණ. වසර ගණනාවක් සාකච්ඡාවන් පැවැත්වීමෙන් පසු, 1986දී අන්තර්ජාතික කණ්ඩායමක්, මෙම සොහොන සොයාගත් මිසරයේ පෞරාණික දේවල් සම්බන්ධව අධ්‍යයනය කළ ඉතාලි ජාතික එර්නෙස්ටො චිපරේලි විසින් ගන්නා ලද ඡායාරූප යොදාගනිමින්, ඉතිරි වී තිබෙන බිතු සිතුවම් එකට සම්බන්ධ කිරීමේ බොහෝ වෙහෙසකර වැඩපිළිවෙළක් ඇරඹූහ. කෙසේවෙතත්, අධික තෙතමනයක් පවතින නිසා, එය බැලීමට පැමිණෙන අයගේ සංඛ්‍යාව සීමා කර ඇත. දෙවන රම්සෙස් විසින් නෙෆර්ටාරි වෙනුවෙන් අබු සිම්බෙල්හි එක් මාළිගාවක් කැප කරන අවස්ථාවේදී ඇයට ගෞරවය දක්වන ලදි.