අපරාධ නැති රටක් තිබේද?
වසර ගණනාවක් තුළ මොස්කව්හි දක්නට ලැබුණු විශාලම අවමංගල්‍ය උත්සවය ඔහුගේ විය. සහසිකයෙකුගේ වෙඩි පහරින් 1995 මාර්තු 1වන දින හදිසියේම මරණයට පත් එම තරුණ රුසියානුවාගේ භූමදාන කටයුතු සඳහා අවසන් ගෞරවය පිදීමට වීථි දෙපැත්තේ දහස් සංඛ්‍යාත සෙනඟ පෙළ ගැසී සිටියහ. තමන්ගේ නිවස ඉදිරිපිටම වාගේ වෙඩි තබා මරා දැමූ ව්ලෙඩිස්ලාෆ් ලිස්ට්යෙෆ් 1994 වසරේ පුවත්පත් කලාවේදියා බවට පත්ව සිටි අතර, රූපවාහිනිය තුළද ඉතා ජනප්‍රිය පුද්ගලයෙක්ව සිටියේය.
ඉන් සති තුනක්වත් ගත වන්ට පෙර, එනම් මාර්තු 20වනදා උදෑසන කාර්යබහුල පැයේදී, ටෝකියෝහි උමං දුම්රිය මාර්ගයක් තුළ, ගමන් කළ අයට විෂ වායු ආක්‍රමණයකට මුහුණ දෙන්ට සිදු විය. කිහිපදෙනෙකු මියගිය අතර, තවත් බොහෝදෙනෙකුට බරපතළ හානි සිදු විය.
පසුව, අප්‍රියෙල් 19වනදා, ඔක්ලහෝමා නගරය, ලොව වටා රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලබාගත්තේය. ත්‍රස්තවාදී බෝම්බයකින් විනාශයට පත් රජයේ ගොඩනැඟිල්ලක නටබුන් අතරින් තැළීගිය මළසිරුරු එළියට අදින්නාවූ ජීවිතාරක්ෂක සේවකයන් දෙස ඔවුහු සංත්‍රාසයෙන් බලා සිටියහ. ජීවිතක්ෂයට පත් ගණන 168කි.
ජූනි අගභාගයේදී, සවුදි අරාබියේ, දහරාන් අසල, එවැනිම ප්‍රහාරයකින් අමෙරිකානුවන් 19දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, 400දෙනෙකුට තුවාල සිදු විය.
අපරාධ නව පරිමාණයක් ගනිමින් තිබෙන බවට මෙම සිද්ධීන් හතර නිදර්ශනය කරයි. ත්‍රස්තවාදයේ තිරිසන් ක්‍රියා මගින් “සාමාන්‍ය” අපරාධ වැඩි වෙමින් තිබේ. මෙම සිදුවීම් හතරම විවිධ ස්වරූප ගත්තද, එක් එක් සිද්ධියට විශේෂ වූ ආකාරයකින් කෙනෙකුව සාපරාධී ආක්‍රමණයකට ගොදුරු විය හැකි අයුරු දැකගත හැක. ඔබ ගෙදර සිටියත්, වැඩපොළේ සිටියත්, පාරේ සිටියත් අපරාධයක ගොදුරක් බවට පත් විය හැක. ඇත්තවශයෙන්ම, බ්‍රිතාන්‍ය සමීක්ෂණයක් පෙන්වන්නේ, බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් හතරෙන් තුනක්ම වාගේ සිතන්නේ, තමන් දැනට වසර දහයකට කලින් සිටියාට වඩා, අපරාධයක ගොදුරක් බවට පත්වීමට ඇති හැකියාව වැඩි බවය. ඔබ ජීවත් වන ප්‍රදේශයේ තත්වයද ඒ හා සමාන විය හැක.
නීතිගරුක වැසියන් බලා සිටින්නේ, නිකම්ම අපරාධ පාලනය කරන ආණ්ඩුවකට වඩා වැඩි යමකි. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ඇත්තටම අපරාධ සමථයකට පත් කරන ආණ්ඩුවකි. සන්සන්දනාත්මක අගයන්, යම් ආණ්ඩු තවත් ආණ්ඩුවලට වඩා අපරාධ මැඩලීමෙහි ඵලදායක වී ඇති බව යෝජනා කළත්, සමස්ත පින්තූරය පෙන්නුම් කරන්නේ, අපරාධ ඉදිරියේ ඔවුන්ගේ අරගලය පරාජය වෙමින් පවතින බවයි. එහෙත්, එම ආණ්ඩුව මගින් අපරාධ ඉක්මනින් සමථයකට පත් කරනවා කියා විශ්වාස කිරීම යථාර්ථවාදී නොවන හෝ කල්පිත යමක් නොවේ. එහෙත්, ඒ කොයි ආණ්ඩුවද? එසේ වන්නේ කවදාද?
[4, 5වන පිටුවේ කොටුව⁄සිතියම]
අපරාධවලින් පිරි ලොවක්
යුරෝපය: “අවස්ථාව සහ හොරා” නම් ඉතාලියානු පොත කීවේ, ඉතාලියේ දේපොළ සම්බන්ධ අපරාධ සංඛ්‍යාව, කෙටි කාලයක් තුළදී “සිතාගත නොහැකි උසකට නැඟ තිබූ බවයි.” කලින් එක්සත් සෝවියට් දේශයේ ජනරජයක් වන යුක්‍රේන්, වාර්තා කරන අන්දමට 1985දී ජනගහනය 1,00,000කට අපරාධ 490ක්ව තිබී, 1992දී එය 922ක් බවට පත් විය. සංඛ්‍යාව නොකඩවා ඉහළ නඟී. රුසියානු පුවත්පතක් වන “වාද සහ තතු,” මෙසේ ලිවීම පුදුමයක් නොවේ; එනම් “අපි ජීවත් වන්ට—ඒ කියන්නේ, මේ බියජනක කාලයෙන් ගැළවී, පණපිටින් ඉන්ට සිහින මවනවා . . . දුම්රියේ යෑමට බයයි—එක්කො එය විනාශ වී යාවි, නැත්තම් පීලි පනීවි; ගුවනේ යෑමට බයයි—ගුවන් යානය විනාශ වෙයි එහෙම නැත්නම් මංකොල්ලකෑම් නිතරම සිදු වෙයි; උමං මාර්ගවල ගමන් කිරීමට බයයි—පුපුරායයි නැත්නම් මූණට මූණ හැප්පෙයි; පාරේ ගමන් කරන්න බයයි—වෙඩි හුවමාරුවකට හසු විය හැකියි; එසේ නැතහොත්, සොරකමට, දූෂණයට, පහරකෑමකට හෝ මරණයට ලක් විය හැකියි; කාරයක් පැදවීමට බයයි—එක්කො ගිනි තබාවි, පුපුරවා දමාවි එහෙමත් නැත්නම් සොරකම් කරාවි; නවාතැන් ගොඩනැඟිල්ලක කොරිඩෝවකට, භෝජනශාලාවකට හෝ ස්ටෝරුවකට ඇතුල් වෙන්න බයයි—ඔබට තුවාල කරයි නැත්නම් එහි සිටින්නෙකු විසින් ඔබව මරණයට පත් කරනු ලබයි.” හංගේරියානු සඟරාවක් වන HVG, හංගේරියාවේ ප්‍රියමනාප නගරයක් “මාෆියා මූලස්ථානයකට” සමාන කරමින්, පසුගිය වසර තුන තුළ “සෑම අලුත් ආකාරයකම අපරාධයකට උල්පත එය වූ අතර . . . භය තවත් වැඩි වී තිබෙන්නේ, මාෆියා සටන් නවතන්ට පොලීසිය සූදානමින් තොර බව සෙනඟ දුටු විටය” කියාය.
අප්‍රිකාව: බටහිර අප්‍රිකානු ජාතියක “උසස් අධ්‍යාපන ආයතන රහසිගත ලබ්ධීන්වලට අයත් සාමාජිකයන් විසින් පතුරුවනු ලබන භීෂණයක් අද්දකිමින් සිටි” බව නයිජීරියාවේ ඩේලි ටයිම්ස් වාර්තා කළේය. “මේ හේතුවෙන් අධ්‍යාපනික දියුණුවට සෑහෙන බාධා පමුණුවා ඇත.” තවදුරටත් එහි මෙසේ සඳහන් විය: “එම රැල්ල ව්‍යාප්ත වී ගොස් ජීවිත සහ දේපොළ බිලිගෙන ඇත.” තවත් අප්‍රිකානු රටක් සම්බන්ධයෙන්, දකුණු අප්‍රිකානු ද ස්ටාර් වාර්තා කළේ: “අපරාධවල දෙවර්ගයක් තිබේ: ජාතිවාදී අරගල සහ සාමාන්‍ය සාපරාධී සැහැසියාවයි. පළවැන්න, විශිෂ්ඨ ලෙස පහත බැස ඇති මුත්, දෙවැන්න, ඉතා ඉක්මනින් ඉහළ නැඟ ඇත.”
අමෙරිකා මහද්වීප: එක දිගට වසර 12ක් පුරා කැනඩාවේ සහසික අපරාධ වැඩිවීම ගැන සඳහන් කරමින්, “මේ සියල්ල පසුගිය දශකය පුරා සැහැසියාවේ සියයට 50ක වැඩිවීමක් පෙන්නුම් කරන ප්‍රවණතාවක අංගලක්ෂණයක්” බව කැනඩාවේ ද ග්ලෝබ් ඇන්ඩ් මේල් වාර්තා කළේය. මේ අතර කොලොම්බියාවේ එල් ටිඑම්පෝ වාර්තා කළේ, මෑතකදී වසරක් තුළ කොලොම්බියාවේ බලෙන් පැහැරගෙනයෑම් 1,714ක් සිදු වී ඇති බවත්, “එම සංඛ්‍යාව, එම කාලපරිච්ඡේදය තුළ මුළු ලෝකයේම සිදු වූ බලෙන් පැහැරගෙනයෑම් මෙන් දෙගුණයකටත් වඩා වැඩි” බවත්ය. මෙක්සිකෝවේ ශ්‍රේෂ්ඨාධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, එහි අගනුවර තුළ මෑතකදී වර්ෂයක් තුළ සෑම පැය හතරකටම වරක් ලිංගික අපරාධයක් සිදු වී ඇති බව කියවේ. නියෝජිතවරියක පෙන්නුම් කරන්නේ, කෙනෙකුගේ වටිනාකම අඩු වී යෑම මෙම 20වන සියවසේ ලක්ෂණයක් වී ඇති බවයි. ඇගේ නිගමනය වූයේ, “අප සිටින්නේ, පාවිච්චි කර ඉන්පසු විසි කර දමන පරම්පරාවක් තුළය” යන්නය.
ඕසියානාව: ඕස්ට්‍රේලියාවේ අපරාධ විමර්ශන ආයතනය තක්සේරු කළ ලෙස “අපරාධ නිසා සෑම වසරකම අඩුම තරමින් ඩොලර් බිලියන 27ක් හෝ සෑම මිනිසෙකුටම, ස්ත්‍රියකටම සහ ළමයෙකුටම අඩුම තරමින් ඩොලර් 1,600ක් පමණ වැය වෙයි.” මෙය “දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.2ක් පමණය.”
ලොව වටා: දි යුනයිටඩ් නේෂන්ස් ඇන්ඩ් ක්‍රයිම් ප්‍රිවෙන්ෂන් (එක්සත් ජාතීන් සහ අපරාධ මර්දනය) නම් පොත මෙසේ සඳහන් කරයි: “1970 සහ 1980 ගණන්වල අපරාධී ක්‍රියාවල ස්ථාවර වර්ධනයක් තිබිණ.” එය මෙසේ කියයි: “1975දී වාර්තා වූ අපරාධ මිලියන 330, 1980 වන විට මිලියන 400කට ආසන්නව ඉහළ නැඟ ඇති බවද, 1990 වන විටදී බිලියන භාගයක් දක්වා ළඟා වූ බවටද තක්සේරු කර ඇත.”
[හිමිකම් විස්තර]
සිතියම සහ පෘඨිවි ගෝලය: Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පිටු අංක 3, 6 සහ 9හි ඇති පොළොව: NASA photo