අපරාධ අවසන් කිරීමට පොරබැදීම
“තරුණයෝ කියා සිටින්නේ, බාලාපරාධවලට ප්‍රධාන හේතු කාරකය නම් නිරසභාවයයි” යනුවෙන් ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ පුවත්පතක ශීර්ෂ පාඨයකි. තවෙකක් ප්‍රකාශ කළේ, “වැඩි වන අපරාධ සඳහා පවුල් ආරවුල් දොස් ලබයි” කියාය. තුන්වන එකක් මෙසේ කීවේය: “ඇබ්බැහි වීම් ‘දහස් ගණන් අපරාධවලට පොලඹවයි.’” ෆිලිපීන් පැනරාමා නම් සඟරාව, මැනිලාහි සාහසික අපරාධවලින් සියයට 75ක් සිදු කරනු ලබන්නේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් විසින් බව තක්සේරු කළේය.
අනෙකුත් සාධකද සාපරාධී හැසිරීමට දායක විය හැක. නයිජීරියානු පොලිස්පති යොමු දැක්වූ සාධකය, “දිළිඳුභාවය සමඟ කිට්ටුවෙන් ගමන් කරන ධනවත්භාවය” වේ. තුල්‍ය පීඩනය සහ රැකියා අපේක්ෂාවන් හිඟවීම, තදබල නීත්‍යනුකූල බාධකයන් නොතිබීම, සාමාන්‍යයෙන් පවුල් සාරධර්ම බිඳවැටීම, ආධිපත්‍යයට සහ නීතියට ඇති ගෞරවයේ හීනභාවය, චිත්‍රපට සහ වීඩියෝවල අධික සැහැසියාව වැනි දේත් සඳහන් කර තිබේ.
තව කරුණක් නම්, බොහෝ මිනිසුන් විසින් අපරාධ ප්‍රයෝජන රහිත දෙයක් ලෙස තවදුරටත් විශ්වාස නොකිරීමයි. ඉතාලියේ බොලොංනා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයෙකු නිරීක්ෂණය කළේ, පසුගිය වසර කිහිපය පුරා, “වාර්තා වූ සොරකම් ගණනාව වැඩි වී ඇති අතර, ඒවාට වැරදිකාරයන් බවට තීන්දු කළ අයගේ ගණන අඩු වී ඇති” බවය. ඔහු සඳහන් කළේ, “වාර්තා වූ සොරකම් සංඛ්‍යාවෙන් වැරදිකරුවන් බවට තීන්දු කළ අයගේ සංඛ්‍යාව සියයට 50 සිට 0.7ක් දක්වා වේගයෙන් පහත බැස ඇති” බවය.
ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා කියන දේ කනගාටුදායක මුත් සත්‍යයකි: “වැඩි වන අපරාධ, නූතන කාර්මීකරණය කරන ලද සියලුම සමාජයන් තුළ අංගයක් ලෙස පෙනෙන්ට තිබෙන අතර, යම් වැදගත් ආකාරයකින් බලපෑම් කිරීමට නීතියේ හෝ දණ්ඩන විද්‍යාවේ හෝ කිසිවක් වර්ධනය වී නැත. . . . ආර්ථික දියුණුව සහ පෞද්ගලික සාර්ථකත්වය වත්මන් නාගරික සමාජය තුළ ප්‍රධාන තැනක් ගන්නා බැවින්, අපරාධ වර්ධන වේගය නොකඩවාම වැඩි නොවෙයි කියා සිතීමට කිසිදු හේතුවක් නැත.”
මෙම දසුන නිෂේධාත්මක වැඩිද?
ඇත්තෙන්ම තත්වය එපමණ නරකද? සමහර පළාත්වල අපරාධ අඩු වී තිබෙන බවට වාර්තා වී තිබෙනවා නොවේද? ඇත්තයි, සමහර ප්‍රදේශවල එසේ වී තිබෙන මුත්, සංඛ්‍යාලේඛන රැවටිලි සහිත විය හැක. උදාහරණයක් වශයෙන්, තුවක්කු තහනමක් පැනවූ විට පිලිපීනයේ සිදු වන අපරාධ සියයට 20කින් අඩු වූ බව වාර්තා විණ. එහෙත් එක්තරා නිලධාරියෙකු විශ්වාස කරන අයුරු ඒෂියාවීක් පැහැදිලි කළේ මෙසේය: කාර් හොරුන් කාර් හොරකම් කිරීමත්, බැංකු මංකොල්ලකරුවන් බැංකු මංකොල්ලකෑමත් නවතා “බලෙන් පැහැරගෙන යෑම්වලට මාරු වී” ඇත. බැංකු මංකොල්ලකෑම් සහ කාර් හොරකම් අඩුවීම මුළු අපරාධ සංඛ්‍යාව පහත දැමුවත්, එහි අර්ථය නැති වී ගියේ හතර ගුණයකින් වැඩි වූ බලෙන් පැහැරගෙන යෑම් හේතුවෙනි!
හංගේරියාව ගැන වාර්තා කරනවා නම්, HVG සඟරාව ලීවේ: “එක්දහස් නවසිය අනූතුනේ මුල්භාගය සමඟ සසඳද්දී අපරාධ සංඛ්‍යාව සියයට 6.2කින් පහත බැස ඇත. එම අඩුවීමට . . . ප්‍රධාන හේතුව පරිපාලනයේ වෙනස්කම බව සඳහන් කිරීමට පොලීසියට අමතක වී ඇත” කියාය. සොරකම්, ප්‍රෝඩා හෝ මංකොල්ලකෑම් වාර්තා කිරීමට යොදාගන්නා මුදල් මට්ටම කලින් මට්ටමට වඩා සියයට 250කින් වැඩි කරන ලදි. එබැවින් මෙම මට්ටමට පහතින් සටහන් වන්නාවූ දේපොළ සම්බන්ධ අපරාධ තවදුරටත් සටහන් නොවේ. රට තුළ සිදු වන අපරාධවලින් හතරෙන් තුනක්ම දේපොළ සම්බන්ධව නිසා එම අඩුව නියම අඩුවක් බව විශ්වාස කිරීම අපහසුය.
නිවැරදි අපරාධ සංඛ්‍යාලේඛන ලබාගැනීම අපහසු වනු ඇත. එක් හේතුවක් නම් බොහෝ අපරාධ—ඇතැම් වර්ගයේ ඒවා සියයට 90ක්ම—වාර්තා නොවීමයි. එහෙත් අපරාධ අඩු වෙනවද වැඩි වෙනවද යන්න මත විවාද කිරීම ඇත්තෙන්ම තේරුමක් නැත. මිනිසුන්ට අවශ්‍ය කරන්නේ අපරාධ මුලිනුපුටා දැමීම මිස, නිකම් අඩුවීම නොවේ.
ආණ්ඩු උත්සාහ කරමින් සිටී
වර්ෂ 1990දී එක්සත් ජාතීන්ගේ සමීක්ෂණයක් හෙළි කළේ, ඉතාමත්ම දියුණු රටවල් තම වාර්ෂික අයවැයෙන් සියයට 2 සිට 3 දක්වාත්, දියුණු වෙමින් පවතින රටවල් සාමාන්‍යයෙන් සියයට 9 සිට 14ක් තරම් වූ ඊටත් වැඩි ප්‍රතිශතයක් අපරාධ පාලනය සඳහා යොදාගන්නා බවයි. ඇතැම් ප්‍රදේශවල ප්‍රමුඛත්වය දෙන්නේ පොලිස් හමුදාවේ ප්‍රමාණය වැඩි කිරීමට හා එයට අවශ්‍ය වඩා හොඳ උපකරණ සැපයීමටය. එහෙත් ප්‍රතිඵල මිශ්‍ර වූ ඒවාය. ඇතැම් හංගේරියානු පුරවැසියන් චෝදනා කරන්නේ: “අපරාධකරුවන් අල්ලාගැනීමට අවශ්‍ය තරම් පොලිස් නිලධාරීන් නැති බවත්, මාර්ග නීති කඩකරන්නන් ඇල්ලීමට ඕනෑ තරම් සිටින බවත්ය.”
බොහෝ ආණ්ඩු මෑතකදී, වඩා දැඩි අපරාධ නීති පැනවීම අවශ්‍ය බව සොයා තේරුම්ගෙන ඇත. උදාහරණයක් වශයෙන්, “ලතින් අමෙරිකාව හරහා බලෙන් පැහැරගෙන යෑම් ඉහළ නැඟ එන” නිසා රජය විසින් ප්‍රතිචාරයක් වශයෙන් නීති පැනවුවත් ඒවා “ප්‍රබල මෙන්ම නිෂ්ඵලය. . . . නීති පැනවීම එකක්, ක්‍රියාත්මක කිරීම තවත් එකක්” කියා පිළිගන්නා බව ටයිම් සඟරාව පවසයි.
වර්ෂ 1992දී, අඩුම තරමින් නිවාස මිලියන හතරක්වත් ආවරණය කරන ආරක්ෂක වැඩපිළිවෙළක් බ්‍රිතාන්‍ය අසල්වාසි ප්‍රදේශ 1,00,000ක් ඉක්මවා ක්‍රියාත්මක වූ බව තක්සේරු කර තිබේ. එක්දහස් නවසිය අසූ ගණන්වල මැදභාගයේදී ඕස්ට්‍රේලියාවේද මෙවැනිම වැඩසටහන් පිහිටුවනු ලැබීය. ඕස්ට්‍රේලියානු අපරාධ විමර්ශන ආයතනය ප්‍රකාශ කළ පරිදි, ඔවුන්ගේ ඉලක්කය අපරාධ මතු දැක්වෙන ක්‍රමවලින් අඩු කිරීමය: “මහජන ආරක්ෂාව පිළිබඳ ජනයාගේ සාවධානීභාවය වැඩිදියුණු කිරීම, අසල්වැසි ප්‍රදේශයේ සිදු වන අපරාධ සහ සැක සහිත සිදුවීම් වාර්තා කිරීමේ ආකල්පය සහ ක්‍රියා කිරීම සම්බන්ධව වැසියන්ව තව දියුණු කිරීම, එමෙන්ම දේපොළ හඳුනාගැනීමෙන් හා ඵලදායී ආරක්ෂක උපකරණ සවි කිරීමෙන් අපරාධවලට ගොදුරු විය හැකි බව අඩු කිරීම.”
සමහර ප්‍රදේශවල පොලීසිය සහ වාණිජ ස්ථාන සම්බන්ධ කරන්නාවූ පියැවූ පරිපථ රූපවාහිනී, භාවිත කරනු ලැබේ. පොලිස් ස්ථාන, බැංකු සහ ගබඩා ආදි ස්ථානවල අපරාධ අධෛර්යය කරවන්නක් හෝ නීති කඩකරන්නන්ව හඳුනාගැනීමේ උපකරණයක් හැටියට වීඩියෝ කැමරා පාවිච්චි කරනු ලැබේ.
නයිජීරියාවේ, පොලීසිය විසින් කාර් මංකොල්ලකරුවන්ව සහ සොරුන්ව අල්ලාගැනීමට මහා මාර්ගයේ මුර කපොලු දමා ඇත. ආණ්ඩුව විසින් ව්‍යාපාරික වංචාවන් සමඟ සටන් කරන්ට කාර්ය බලකායක් පිහිටුවා තිබේ. සමාජ නායකයන්ගෙන් සකස් වී ඇති පොලිස්-සමාජ සම්බන්ධතා කාරක සභා විසින්, සාපරාධී ක්‍රියා සහ සැක සහිත මනුෂ්‍යයන් පිළිබඳ තතු පොලීසියට දැනුම් දෙනු ලැබේ.
පිලිපීනයට පැමිණෙන අමුත්තන් විස්තර කර සිටින්නේ, සාමාන්‍යයෙන් ගෙවල්වල ආරක්ෂාවට කිසිවෙකු නොතබා ඔවුන් කොහේවත් නොයන බවත්, බොහෝ ගෙවල්වල ආරක්ෂක බල්ලන් සිටින බවත්ය. තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරගැනීමට ව්‍යාපාරිකයෝ පෞද්ගලික ආරක්ෂක භටයන්ව සේවයට බඳවාගනිති. කාර් රථ සඳහා සොර විරෝධී උපකරණ හොඳින් විකිණේ. එසේ කිරීමට වත්කමක් ඇති අය ආරක්ෂාව සඳහා තද ආරක්ෂාව ඇති වෙනත් ප්‍රදේශවල හෝ සුඛෝපභෝගී තට්ටු ගෙවල්වල ජීවත් වෙති.
ලන්ඩන්හි පුවත්පතක් වන දි ඉන්ඩිපෙන්ඩන්ට් මෙසේ අදහස් පළ කළේය: “නීති සංග්‍රහය පිළිබඳ විශ්වාසය පහත බැස ඇති නිසා, රටවැසියෝ එන්න එන්නම සමාජය වෙනුවෙන් තමන්ගේම ආරක්ෂක විධිවිධාන සංවිධානය කරමින් සිටිති.” එමෙන්ම තව තවත් මනුෂ්‍යයෝ ආයුධවලින් තමන්වම සන්නද්ධ කරගනිමින් සිටිත්. උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ, ගෙහිමියන්ගෙන් සියයට 50කට අඩුම තරමින් එක තුවක්කුවක්වත් ඇති බවට තක්සේරු කර තිබේ.
අපරාධ සමඟ සටන් කිරීමට ආණ්ඩු, නිරතුරුවම අලුත් ක්‍රම වැඩිදියුණු කරමින් සිටිති. යුක්‍රේන්හි, නිවාස කටයුතු විද්‍යාලයේ වී. ෆ්සිඅවොලොඩොෆ්, එක්සත් ජාතීන්ගේ මූලාශ්‍ර අනුව කරුණු පෙන්නුම් කළේ, බොහෝ කුසලතා ඇති මිනිසුන් “තමන්ටම ආවේනික සාපරාධී ක්‍රියා කරගෙන යන” බවත්, “නීතිය ආරක්ෂා කිරීමට පුහුණු කළ නිලධාරීන්ට” එය නැවැත්විය නොහැකි බවත්ය. දක්ෂ අපරාධකරුවෝ, මුදල් විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු සහ සමාජ සේවාවලට යොමු කර, සමාජය සමඟ මුසු වී, “තමන්ට සමාජය තුළ ඉහළ තැනක් ලබාගනිති.”
විශ්වාසය හීනවීම
සමහර රටවල වැඩි සෙනඟක්, මෙම ගැටලුවට ආණ්ඩුවද සම්බන්ධ බව විශ්වාස කිරීමට පටන්ගෙන තිබේ. අපරාධ මර්දන කණ්ඩායමක ඉහළ පෙළේ අයෙකු උපුටා දක්වමින් ඒෂියාවීක් කීවේ: “අප අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගෙන් සියයට 90ක්ම පොලිස්කරුවන් හෝ හමුදා නිලධාරීන්ය” කියාය. එය සැබෑ වුවත් නැතත් මෙසේ අදහස් දක්වන්ට එක් නීති සම්පාදකයෙක් පෙලඹුණේය: “නීතිය රකින්ට පොරොන්දු වූ අයම, නීති කඩ කරනවා නම්, අපේ සමාජය අනතුරේ.”
උසස් නිලධාරීන්ගේ දූෂිත හැසිරීම, ලෝකයේ විවිධ කොටස්වල, ආණ්ඩු සොලවා ඇති අතර, රටවැසියන්ගේ විශ්වාසය බිඳදමා ඇත. අපරාධ මැඩලන්ට ආණ්ඩුවලට ඇති හැකියාව පිළිබඳ විශ්වාසය භංග වී තිබෙනවාට අමතරව, එසේ කිරීමට ආණ්ඩුවලට ඇති අධිෂ්ඨානය මිනිසුන්ගේ ප්‍රශ්නයට පාත්‍ර වෙමින් තිබේ. ශික්ෂකයෙක් මෙසේ ඇසුවේය: “ඔවුන්ම අපරාධයේ තදින්ම යෙදී සිටින විට, මෙම අධිකාරීන් අපරාධ සමඟ සටන් කරන්නේ කොහොමද?”
ආණ්ඩු පැමිණ ආණ්ඩු ඉවත්ව යනු ඇත; නමුත් අපරාධ පවතී. එහෙත්, ඉතා ඉක්මනින් අපරාධ නැති කාලයක් පැමිණේ!
[7වන පිටුවේ පින්තූර]
අපරාධ මර්දකයෝ: පියැවූ පරිපථ රූපවාහිනී කැමරා සහ මොනිටරය, පහළට එළන වානේ ගේට්ටුව සහ පුහුණු කරන ලද බල්ලා සමඟ සිටින මුරකරු
[8වන පිටුවේ පින්තූරය]
අපරාධ, මිනිසුන්ව තමන්ගේ නිවෙස් තුළම සිරකරුවන් බවට පත් කරවයි