පවුලේ ප්‍රමාණය තීරණය කළ යුත්තේ කවරෙක්ද?
බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
වයස දවස් තුනක් පමණක් වූ පිරිමි දරුවෙකු ප්ලාස්ටික් මල්ලක බහා පොළොව යට තැනූ දුම්රියපොළක අතරමං කර තිබිණ. එහෙත් මෙම බිළිඳාව අරං හදාගැනීමට පවුල් කිහිපයක්ම ඉදිරිපත් වූ බව බ්‍රසීලියානු පුවත්පතක සඳහන් විය.
එයාකාර සිද්ධියක් දුර්ලභ වුවත්, නොවුවමනා සහ අතරමං කළ දරුවන්ගේ සංඛ්‍යාව ලොව පුරා වැඩි වෙමින් පවතී. වගකීමකින් යුතු දෙමාපියභාවය බොහෝවිට හීන වෙමින් පවතී. විසඳුම උපත් පාලනයද? කෙනෙකුගේ පවුලේ ප්‍රමාණය සැලසුම් කිරීම වරදක් වනු ඇද්ද?
ජගත් සෞඛ්‍ය සංවිධානයට අනුව, ලොව පුරා සිදු වන ගැබ්ගැනීම්වලින් සියයට 50ක් පමණ සැලසුම් නොකළ ඒවාය. බොහෝ අවස්ථාවලදී ගැබ්ගැනීමක් සැලසුම් නොකරන ලද්දක් පමණක් නොව, නොවුවමනා වූ දෙයක්ද වේ.
සමහරවිට සෞඛ්‍යය, නිවාස හෝ රැකියා ප්‍රශ්න හේතුවෙන් බොහෝදෙනා ගැබ්ගැනීමෙන් වැළකී සිටිති. මෙබැවින්, උපත් පාලන ගිලින පෙති හෝ කොපු වැනි උපත් පාලන ක්‍රම සාමාන්‍ය ඒවා වේ. ගබ්සාව සහ වන්ධ්යකරණයද උපත් පාලන ක්‍රම වශයෙන් යොදාගැනේ. බ්‍රසීලයේ ගබ්සාව සම්බන්ධයෙන් ඕ එස්ටාඩෝ ඩ එස්. පවුලෝ මෙසේ වාර්තා කරයි: “බ්‍රසීලයේ ගැබ්ගන්නා ස්ත්‍රීන් මිලියන 13කින් මිලියන 5ක් රහසිගතව ගබ්සා කිරීම් සිදු කරන බවට ජගත් සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරයි.” එමෙන්ම, කලත්‍රයෙකු සමඟ ජීවත් වෙමින්, දරුවන් වදන වයසේ සිටින බ්‍රසීලියානු ස්ත්‍රීන්ගෙන් සියයට 71දෙනෙකු උපත් පාලනය යොදාගන්නා බව ටයිම් සඟරාව වාර්තා කළේය. මොවුන්ගෙන් සියයට 41දෙනෙකු පෙත්ත භාවිත කරන අතර, සියයට 44දෙනෙකු වන්ධ්‍යකරණයට භාජන වී ඇත.
දරුවන් ගණන කලින් සැලසුම් කිරීම අවශ්‍ය බවට බ්රසීලියානුවන්ගෙන් සියයට 75ක් කල්පනා කරන බව සමීක්ෂණයක් පෙන්නුම් කරයි. දෛවය කෙරෙහි විශ්වාස කරන නිසාත්, පවුලට ‘දෙවියන්වහන්සේ දෙන දරුවන් සියලුදෙනාවම’ භාරගැනීම, දෙවියන්වහන්සේගේ කැමැත්ත බව කල්පනා කරන නිසාත් වෙනත් අය පවුල් සැලසුම ප්‍රතික්ෂේප කරති. පවුලේ ප්‍රමාණය තීරණය කළ යුත්තේ යුවළද? ජාතියද? නැතහොත් ආගමද?
උපත් පාලනය—මතභේදයට තුඩු දී ඇත්තේ මන්ද?
බ්‍රසීලයේ විශාලම ආගම වන රෝමානු කතෝලික සභාව, ස්ත්‍රිය දරුවන් ලැබීම සඳහා සාරවත්ව සිටින දිනවලදී ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් වැළකීමට අවසර දෙතත්, ගබ්සාවීම් සිදු වුවත්, නොවුවත් උපත් පාලන ක්‍රමවලට විරුද්ධ වෙයි. හයවන පාවුලු පාප් මෙසේ ප්‍රකාශ කළේය: “අඹුසැමියන් ලිංගික සම්බන්ධකම් පවත්වන සෑම අවස්ථාවකදීම, දරුවෙකු බිහි කිරීමට තිබෙන ඉඩ කඩ නොවැළැක්විය [යුතුය].” ජුවාම් පාවුලු පාප් මෙසේ පැවසීය: “උපත් පාලනය පිළිබඳව කෙනෙකු යථාර්ථවාදී විනිශ්චයක් කරනවා වුවත්, එය කෙතරම් නීති විරෝධීද කිවහොත් මොනයම් හේතුවක් නිසා හෝ එය කිසිසේත් යුක්තිසහගත කළ නොහැක.” ප්‍රතිඵලයක් වශයෙන්, උපත් පාලනය පාපයක්යයි සලකමින් බොහෝ කතෝලිකයෝ තම පවුල්වල ප්‍රමාණය සීමා කිරීමට පසුබට වෙති.
අනික් අතට, ලැන්සට් නම් වෛද්‍ය සඟරාව මෙසේ ප්‍රකාශ කරයි: “මිලියන සංඛ්‍යාතදෙනෙක් අධ්‍යාපනය නොලබා, රැකියා සහ සුදුසු නිවාස නොමැතිව, අත්‍යවශ්‍ය මූලික සෞඛ්‍යය, සුභසාධනය හා සනීපාරක්ෂක සේවාවන් ලබාගත නොහැකිව තම ජීවිත ගත කරති; ජනගහනය පාලනයකින් තොරව වැඩිවීම මේ තත්වයට ප්‍රධානතම සාධකයකි.” මෙබැවින්, අධිජනගහනයට හා දිළිඳුකමට භයෙන් ඇතැම් ආණ්ඩු, පල්ලියේ විරෝධතා තිබියදී වුවත් පවුල් සැලසුම් කිරීමට දිරිගන්වති. උදාහරණයක් වශයෙන්, “කොස්ටරිකාහි [පවුලක] දරුවන්ගේ සංඛ්‍යාවේ සාමාන්‍යය 7 සිට 3 දක්වා අඩු කළේය” යි ජීව විද්‍යාඥ පෝල් අර්ලික් පවසයි.
ෆැක්ට්ස් ෆෝර් ලයිෆ්—ඒ කම්යූනිකේෂන් චැලෙන්ජ් නම් එක්සත් ජාතීන්ගේ ප්රකාශනය මෙසේ ප්‍රකාශ කරයි: “ස්ත්‍රියකට දරුවන් හතරදෙනෙකු ඉපදුණු පසු, ඇති වන ගැබ්ගැනීම්වලින් මවගේත්, දරුවාගේත් ජීවිතයට හා සෞඛ්‍යයට වැඩි අවදානම් තත්වයක් ඇති වේ. විශේෂයෙන්ම ඊට පෙර සිදු වූ උපත්වලට වසර දෙකකට වැඩි කාල පරතරයක් නොතිබුණා නම්, එකපිට එක ගැබ්ගැනීම, බිහි කිරීම, මව් කිරි දීම සහ කුඩා දරුවන් රැකබලා ගැනීම මගින් ස්ත්‍රියකගේ ශරීරය පහසුවෙන්ම වැහැරී යා හැක.”
විශාල පවුල්වල බිළිඳු මරණ සංඛ්‍යාව ඉහළින් පැවතීම තවමත් සාමාන්‍ය දෙයකි; විශේෂයෙන්ම අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් අමෙරිකාවේ පිටිසර පළාත්වල මෙය දක්නට තිබේ. මන්ද? මන්දයත් උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන් බොහෝදෙනෙකු නොදැන සිටින බැවිනි. ව්‍යවස්ථා සම්පාදිකාවක පැවසූ පරිදි, “පුරුෂයෙක් තමාව නියම මිනිහෙක් හැටියට සලකන්නේ තමාට හැම අවුරුද්දකම තම භාර්යාවව ගැබ්ගැනීමට සලස්වන්න පුළුවන් නම් පමණයි” යන්න ඇතැම් පළාත්වල තිබෙන සාධකයක් විය හැක. ජර්නල් ඩා ටාඩ විශේෂයෙන්ම ස්ත්‍රියගේ දෘෂ්ටියට අනුව තිබිය හැකි තවත් සාධකයක් සඳහන් කරයි: “ඔවුන්ට සතුට ලැබෙන, තමන් යමක් ඉටු කළ බව හැඟෙන එකම මාධ්‍යය ඔවුන්ගේ දරුවන්ය.” බ්‍රසීලයේ හිටපු පරිසර ඇමති, පාවුලෝ නෝගේර නෙටෝ මෙසේ සඳහන් කළේය: “දුගී ජනතාවගේ අනාගත සුරක්ෂිතභාවය ඔවුන්ගේ දරුවන් මත රඳා පවතී.”
බයිබලය පවසන දේ
පවුලේ ප්‍රමාණය තීරණය කිරීමට දේවවචනය වන බයිබලය ස්වාමිපුරුෂයාට හා භාර්යාවට ඉඩහරින බව ඔබ දැන සිටියෙහිද? විවාහය තුළ ලිංගික සබඳතා පැවැත්වීම මගින් ආදරය පෙන්වීම හෝ දරුවන් බිහි කිරීම යෝග්‍ය බවද එහි දැක්වේ.—1 කොරින්ති 7:3-5; හෙබ්‍රෙව් 13:4.
එහෙත් පාරාදීසයෙහි, ආදම් සහ ඒවට ‘බෝවී වැඩි වෙමින් පොළොව පූර්ණ කිරීමට’ දෙවියන්වහන්සේ නොපැවසූසේක්ද? (උත්පත්ති 1:28) ඔව්, නමුත් අදදින අප එම ආඥාව යටතේම සිටින බවට බයිබලයේ කිසිවක් පෙන්නුම් නොකරයි. ලේඛක රිකාඩූ ලෙස්කානූ මෙසේ හුවා දැක්වීය: “පෘථිවි වාසීන් දෙදෙනෙකුට පමණක් අදාළ වූ ප්‍රකාශයක් [බිලියන ගණන්] මනුෂ්‍යයන්ට අදාළ කිරීම පටහැනි යමක් බව පෙනෙන්ට තිබේ.” දරුවන් කොහෙත්ම නොලබා සිටීමට තීරණය කළා නම් වුවත්, මෙය ගරු කළ යුතු පෞද්ගලික තීරණයකි.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දෘෂ්ටිය බයිබලය මත පදනම්ව ඇති බව නිව් කැතලික් එන්සයික්ලොපීඩියා සඳහන් කිරීම උනන්දුව දනවන කරුණකි. එය මෙසේ ප්‍රකාශ කරයි: “උපත් පාලනය සඳහා යුවළටම තීරණය කිරීමට ඔවුන් ඉඩහරිනවා හැර, විවාහය පිළිබඳ හා ලිංගික සදාචාරත්වය පිළිබඳ ඔවුන්ගේ සදාචාර ස්ථාවරත්වය ඇත්තෙන්ම දැඩිය.” එය තවදුරටත් මෙසේ පවසයි: “බයිබලය, තම විශ්වාසයේ හා හැසිරීම පිළිබඳ නීතියේ එකම මූලාශ්‍රය ලෙස ඔවුහු සලකති.”
පවුලේ ප්‍රමාණය සීමා කිරීම සඳහා සියලු ක්‍රම වලංගුද? නැත. ජීවිතය ශුද්ධ බැවින්, ගබ්සාවක් සිදු කළ තැනැත්තාව මිනීමරුවෙකු ලෙස සැලකීම, ඉශ්රායෙල්ට දුන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි නියෝගයක් විය. (නික්මයාම 20:13; 21:22-25) වාසෙක්තමී සැත්කම වැන්නකින් සිදු කෙරෙන වන්ධ්‍යකරණය සම්බන්ධයෙන් සලකා බලද්දී, බයිබලයේ මෙය කෙළින්ම සඳහන් කර නොමැති බැවින්, තීරණය කෙනෙකුගේ හෘදය සාක්ෂියට අනුව ගන්නා එකකි. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.” (ගලාති 6:5)a තවද විවිධ උපත් පාලන ක්‍රම තිබෙන බැවින්, තමන් විශේෂිත ක්‍රමයක් යොදාගන්නවාද, නැද්ද යන්න තීරණය කරනු වස් යුවළකට උපකාර කිරීමට වෛද්‍ය උපදෙස්වලට හැක.
දැරිය හැකි තීරණ ගන්න
ජීවිතයේ සෑම දෙයක්ම කලින් සැලසුම් කළ නොහැක. එහෙත් මෝටර් රථයක් හෝ නිවසක් මිල දී ගැනීමේදී ඊට ඇතුළත්ව තිබෙන දේ ගැන බැරෑරුම් ලෙස කල්පනා නොකර ඔබ ඒවා මිල දී ගන්නෙහිද? මෝටර් රථයක් හෝ නිවසක් නැවත විකිණිය හැකි නමුත් දරුවන්ව යළි දිය නොහැක. එසේනම්, දරුවෙකු ඇති කරගැනීමට කල්පනා කරන විට, ජීවිතයේ අවශ්‍යතා සැපයීමට ස්වාමිපුරුෂයාගේ හා භාර්යාවගේ හැකියාව සලකාබැලිය යුතු නොවේද?
අපේ පවුල මන්දපෝෂණයට ලක්වීමටවත්, අප අන් අයට බරක් වීමටවත් අපට වුවමනා නැති බව ස්ථිරයි. (1 තිමෝති 5:8) ඒ අතරතුර, කෑම හා ඉඳුම් හිටුම්වලට අමතරව දරුවන්ට අධ්‍යාපනය, සදාචාර සාරධර්ම හා ප්‍රේමය අවශ්‍යය.
රැකියාව, මුදල් හා ඉවසීම සම්බන්ධයෙන් අවශ්‍ය දේ ගණන් බලනවාට අමතරව, භාර්යාවගේ සෞඛ්‍යය ගැනද සැලකිලිමත් විය යුතුය. ගැබ් ගත යුතු කාලය ඥානවන්තව සැලසුම් කිරීමෙන් ජීවිත බේරෙන අතර, වඩාත් හොඳ සෞඛ්‍ය තත්වයක් ඇති වේ. ෆැක්ට්ස් ෆෝර් ලයිෆ් මෙසේ පවසයි: “ගැබ්ගැනීමේදී හා දරු උපතේදී, මවට සහ දරුවාට අනතුරු වීම අඩු කළ හැකි බලපෑමෙන් යුත් මාර්ගයකි, ගැබ්ගැනීමට උචිත කාලය සැලසුම් කිරීම. මවක වීමට යන තැනැත්තිය 18ට අඩුව හෝ 35ට වැඩිව සිටින විට හෝ ගැබ්ගැනීම් හතරක් හෝ ඊට වඩා සිදු වී ඇත්නම්, එසේත් නැතහොත් අවසන් උපතට පසු පරතරය අවුරුදු දෙකකට වඩා අඩු නම්, දරුවන් උත්පාදනයේ අවදානම ඉතාමත්ම විශාලය.”
දරුවන් ඇති කරගැනීමට කල්පනා කරන යුවළයන්, බයිබලය පුරෝකථනය කර තිබෙන පරිදි, අපරාධ, සාගත, යුද්ධ හා ආර්ථික අස්ථිරත්වය පිරි ලෝකයක් මැද අප ජීවත් වන බවත් සැලකිල්ලට ගත යුතුය. (මතෙව් 24:3-12; 2 තිමෝති 3:1-5, 13; එළිදරව් 6:5, 6) අප ජීවත් වන ලෝකය සම්බන්ධයෙන් යථාර්ථවාදී වීමටත්, අපේ කාලයේදී දරුවන් ඇති දැඩි කිරීම මහත් අභියෝගයක් බව තේරුම්ගැනීමටත් දරුවන් සඳහා වූ අව්‍යාජ ප්‍රේමය යුවළයන්ට උපකාර වනු ඇත. එබැවින් සියල්ල හොඳ අතට හැරෙයි යන බලාපොරොත්තුවෙන් දේවල් සිදුවීමට හුදෙක් ඉඩහරින්නේවත්, හැකි තරම් දරුවන් බිහි කරන්නේවත් නැතුව, තම දරුවන්ට වැඩි සන්තෝෂයක් හා සුරක්ෂිතභාවයක් භුක්තිවිඳීමට හැකි වන පිණිස, තම පවුල කෙතරම් විශාල වන්නේදැයි යන්න තීරණය කිරීමට බොහෝදෙනෙකු කැමතිය.
පවුලේ කාරණා සම්බන්ධයෙන් ඥානවන්ත තීරණ ගැනීමට අපට උපකාර කරනවාට අමතරව, දේවවචනය අනාගතය සඳහා ශක්තිමත් බලාපොරොත්තුවක් අපට සපයයි. මිනිසුන් පාරාදීස පොළොවක සාමයෙන් හා සන්තෝෂයෙන් සදහටම විසීම මැවුම්කරුවාණන්ගේ අරමුණ බව බයිබලය පෙන්නුම් කරයි. මෙය ඉටු කිරීම සඳහා, දෙවියන්වහන්සේ නොබෝ කලකින් මෙම දුෂ්ට දේවල පිළිවෙළ නිමා කරනු ඇත. එවිට, දිළිඳුකම හා අධිජනගහනයෙන් තොර ධර්මිෂ්ඨ නව ලෝකයක, දරුවන් ගැන කිසිවෙකු නොතැකීම හේතුවෙන්, ඔවුන්ව කිසිදාක අත්හරිනු නොලබනු ඇත.—යෙසායා 45:18; 65:17, 20-25; මතෙව් 6:9, 10.
දෙදෙනා එකිනෙකා කෙරෙහිත්, දරුවන් කෙරෙහිත් සැලකිලිමත් වීම මෙන්ම ජනිත කිරීම සම්බන්ධයෙන් සමබර දෘෂ්ටියක් තබාගැනීම, යුවළකට තම පවුලේ ප්‍රමාණය තීරණය කිරීමට උපකාරවත් වන බව පැහැදිලිය. සැලසුම් කිරීමකින් තොරව දේවල් නිදැල්ලේ සිදුවීමට ඉඩ නොහැර, ඔවුහු යාච්ඤාපූර්වකව දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම සෙවිය යුත්තාහ. “ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.”—හිතෝපදේශ 10:22.
[පාදසටහන]
a වර්ෂ 1985 මැයි 1 ද වොච්ටවර්හි 31 පිටුව බලන්න.
[12වන පිටුවේ පින්තූරය]
මිලියන ගණන් දරුවෝ අතරමං කෙරෙති
[13වන පිටුවේ පින්තූරය]
දරුවන්ට ප්‍රේමනීය රැකවරණය අවශ්‍යය