සියුමැලි නමුත් ශක්තිමත් සංචාරකයෙක්
කැනඩාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
චිත්‍ර ශිල්පියෝ උන්ව චිත්‍රයට නඟති; කවියෝ උන් ගැන ලියති. විවිධාකාර වර්ග නිවර්තන කලාපීය වර්ෂා වනාන්තරවල වෙසෙති. බොහෝදෙනෙක් වනලැහැබ්වල, යායවල්වල හෝ ප්‍රෙයාරි බිම්වල දිවි ගෙවති. ඇතමුන්ට කඳු මුදුන්වල සිසිල දරාගත හැක; තවත් සමහරෙකුට කාන්තාරවල උණුසුම දැරිය හැක. සියලුම කෘමීන් අතුරින් අලංකාරතම කෘමීන් හැටියට උන්ව විස්තර කර තිබේ.
ඉතා සිත්කලු මෙන්ම සුන්දර වූ මෙම සත්වයා වන සමනලයාව ඔබ පහසුවෙන් දන්නා හඳුනන බවට සැකයක් නැත. කෙසේවෙතත්, එක් සමනල විශේෂයක් සංචාරය කිරීම අතින් කරන පුදුමාකාර දේ හේතුවෙන් ලොව පුරා කීර්තියක් ලබා ඇත. සියුමැලි නමුත්, ශක්තිමත් වූ මෙම සංචාරකයා මොනාර්ක් සමනලයාය. මැවිල්ලේ මෙම මැණික හා ඌ සංක්‍රමණය කරන පුදුමසහගත ආකාරය දෙස වඩාත් කිට්ටු බැල්මක් හෙළමු.
මැවිල්ලේ සියුමැලි මැණික
ඔබ උණුසුම් හිරු රැස්වලින් නැහැවුණු දිනයක කෙතක සිටිනවායයි සිතන්න. ආහාර පාන සඳහා නිරන්තර සෙවිල්ලක යෙදෙමින්, වනමල් අතරින් පතර ඉගිළෙන එම පුදුමාකාර සමනලයන් දෙස ඔබේ නෙත් යොමා සිටින්න. ඔබේ අත දික් කරගෙන, නිසලව සිටගෙන සිටින්න. එකෙක් ළං වෙයි. බලන්න, ඌ ඔබේ අතට වහන්නයි යන්නේ! ඌ කෙතරම් මෘදු ආකාරයකින් වහනවාද කියා සැලකිල්ලට ගන්න.
දැන් වඩාත් හොඳින් බලන්න. පුයරවලින් වැසුණාක් මෙන්, ඉතා විසිතුරු කළු පාට දාරවලින් හා වයිරම්වලින් යුත් උගේ සිනිඳු තැඹිලි පාට තටු ජෝඩු දෙක දෙස බලන්න. අමෙරිකාවේ ජනාවාස වූ එංගලන්ත ජාතිකයන් විසින් මොනාර්ක් සමනලයා (සමනල රාජයා) ලෙස නම් කරනු ලැබූ බවට කතාවක් තිබේ. ඔවුහු උන්ව ඔවුන්ගේ රජු වන ඔරෙන්ජ්හි විලියම් හා සම්බන්ධ කළෝය. ඇත්තෙන්ම මෙම සමනලයා “රාජයෙකි.” එහෙත්, ග්‍රෑම් 0.5ක් පමණක් බරැති, සෙන්ටිමීටර් අටේ සිට දහයක් අතර පළලකින් යුත් තටු ඇති මෙම සියුමැලි ශෝභමාන සමනලයාට, දිගු මෙන්ම දුෂ්කර ගමන් යෑමේ හැකියාවක් තිබේ.
සිත්ගන්නා ගමන් රටාවක්
ශීත ඍතුවේ පැමිණීමත් සමඟ, ඇතැම් සමනලයන් වඩාත් දුර බැහැර ගමන් කරන බව පවසා තිබෙතත්, එතරම් නිශ්චිත ගමනාන්තයන් දක්වා මෙන්ම එතරම් විශාල සංඛ්‍යා පිටින් දිගු ගමන් යන්නේ මොනාර්ක් සමනලයා පමණි. මොනාර්ක් සමනලයාගේ සංක්‍රමණය සැබවින්ම සමනල ලෝකයේ අතිවිශේෂ සිද්ධියකි. මෙම ශක්තිමත් සංචාරකයන්ගේ වික්‍රමයන් සමහරක් සලකා බලන්න.
ශරත් ඍතුවේදී කැනඩාවේ පටන්, උන් ශීත ඍතුව ගත කරන ස්ථාන වන කැලිෆෝනියාව හෝ මෙක්සිකෝව දක්වා වූ උන්ගේ ගමන කිලෝමීටර් 3,200ක් ඉක්මවා යයි. උන් විශාල විල්, ගංගා, තැනිතලා හා කඳු හරහා ගමන් කරති. උන්ගෙන් දශලක්ෂ ගණනක්, මධ්‍යම මෙක්සිකෝවේ සියෙරා මාද්රේ කඳුවල උස් බිම්වල පිහිටි ගමනාන්තය දක්වා සංක්‍රමණය කරති.
මෙම තරුණ සමනලයන් මීට පෙර මෙම ගමනෙහි යෙදී නැති නිසාත්, ශීත ඍතුවේ විශ්‍රාම ගැනීමට යොදාගන්නා මෙම ස්ථාන දැක නැති නිසාත්, මෙවැනි ගමන් තවත් පුදුමයට හේතුවක් වේ. එහෙත්, ගමන් කළ යුතු දිශාව උන්ට නිවැරදිව දැනෙන අතර, ශීත කාලයේදී උන් සිටින්ට යන ස්ථානයට පැමිණි බව උන් දනිති. උන්ට එසේ කළ හැක්කේ කෙසේද?
කනේඩියන් ජියොග්රැෆික් මෙසේ අදහස් දක්වයි: “උන්ගේ කුඩා මොළවල යම් සූක්ෂ්ම ප්රවේණි තතු කැවීමක් තිබෙන බව පැහැදිලිය; ඇතැම්විට මී මැස්සන් කරන්නාක් මෙන්, සූර්ය කිරණවල කෝණය අවබෝධ කරගැනීමට හෝ පක්ෂීන්ට මඟ පෙන්වන බව පෙනෙන පෘථිවියේ චුම්බක ක්ෂේත්රයට අනුව ප්‍රතික්‍රියා කිරීමට හැකියාවක් තිබිය හැක. ගමනාවසානයේදී, උෂ්ණත්වය හා තෙතමනය හරියටම නිශ්චය කරගැනීමට තිබෙන හැකියාව උපකාරවත් විය හැක. එහෙත් දැනට විද්‍යාවට ඒ සඳහා උත්තර නොමැත.” හිතෝපදේශ යන බයිබල් පොතෙහි සඳහන් සත්වයන් මෙන්, උන් “සහජයෙන්ම ඥානවන්ත” වෙත්.—හිතෝපදේශ 30:24, NW.
මොනාර්ක් සමනලයා පියෑඹීමෙහි නිපුණයෙකි. උන් වාතය කපාගෙන පැයට කිලෝමීටර් 12ක වේගයකින් ඉගිළෙන අතර, පැයට කිලෝමීටර් 18ක වේගයකින් ඉහළට ඉගිළෙති; එමෙන්ම උන්ව අල්ලාගැනීමට වෑයම් කර තිබෙන ඕනෑම කෙනෙකු හොඳින් දන්නා පරිදි ඊටත් වඩා වේගයකින්—පැයට කිලෝමීටර් 35ක වේගයකින්—උන් එහාට මෙහාට විසි වෙමින් ඉගිළෙති. සුළංවල බලය භාවිත කිරීමෙහිත් උන් දක්ෂයෝ වෙත්. උන්ගේ ගමනාන්තය වන නිරිත දෙසට ගමන් කිරීම සඳහා උන්ට එරෙහිව හමන බටහිර සුළං යොදාගැනීමට පවා උන් සමත්ය. පියැඹීම සඳහා ඉතා සංකීර්ණ වූ ක්‍රම යොදාගනිමින්, සුළංවල වේගයේ හා දිශාවේ වෙනස්වීම් සමඟ උන් කටයුතු කරති. වාතය කපාගෙන පියාසර කරන නියමුවන් හා උකුස්සන් කරන්නාක් මෙන්, උන් තාපජ (ඉහළට නඟින උණුසුම් වාතය) යොදාගනිති. එක් මූලාශ්‍රයකට අනුව, මොනාර්ක් සමනලයෝ සාමාන්‍යයෙන් දිනකට කිලෝමීටර් 200ක් තරම් දුර ගමන් කරති. උන් පියාසර කරන්නේ දිවා කාලයේදී පමණි. රාත්රියේදී, බොහෝදුරට සෑම වසරක් පාසාම එකම ස්ථානයේදී උන් විශ්‍රාම ගනිති.
මොනාර්ක් සමනලයා ඉහළට ඉගිළෙන්නෙත්, වාතය කපාගෙන පියාඹා යන්නෙත් යම් සීමිත අවස්ථාවලදී පමණක් නොවන බව ටොරොන්ටෝ සරසවියේ විද්‍යාඥ ඩේවිඩ් ගිබෝ සොයාගෙන ඇත. ඔහු මෙසේ වාර්තා කරයි: “මා සිතන පරිදි, සංක්‍රමණය කරන පාත්තයන් උපයෝගි කරගන්නා ක්‍රමවලට වඩා දක්ෂ ක්‍රම යොදාගනිමින් එම සමනලයෝ සුළඟ ප්‍රයෝජනයට ගනිති.” තටු ගැසීමත්, ඉහළට නැඟීමත්, ආහාර අනුභව කිරීමත් ඇතුළත් ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම නිසා, උන් මෙක්සිකෝවට පැමිණෙන විට, මුළු ශීත ඍතුව සඳහාත්, වසන්ත සමයේදී උතුර දක්වා උන්ගේ ගමනේ ආරම්භය සඳහාත් ප්‍රමාණවත් මේද ගබඩා වී තිබේ. මහාචාර්ය ගිබෝ මෙසේද පවසයි: “දිගු ගමනක යෙදී, ශක්තිය හා සෞඛ්‍යය රැකගැනීමට හැකි වී තිබෙන්නේ, වාතය කපාගෙන ඉගිළීමෙනි.”
රංචු පිටින් සංක්‍රමණය කිරීම
බටහිර රොකී කඳුවල වෙසෙන මොනාර්ක් සමනලයන් දකුණු දෙසට සංක්‍රමණය කොට කැලිෆෝනියාවේ ශීත ඍතුව ගත කරන බව බොහෝ කලක් තිස්සේ දන්නා කරුණකි. උන් පයින් සහ යූකලිප්ටස් ගස්වල රංචු පිටින් වහලා ඉන්න ආකාරය කැලිෆෝනියාවේ දකුණුදිග වෙරළ දිගේ ඇතැම් ස්ථානවල දැකගත හැක. එහෙත් නැඟෙනහිර කැනඩාවේ සිටින විශාල මොනාර්ක් සමනල සංඛ්‍යාව සංක්‍රමණය කරන්නේ කුමන ගමනාන්තය දක්වාද කියන එක යම් කාලයකට අභිරහසක්ව පැවතිණ.
මෙම අභිරහස 1976දී නිරවුල් විය. උන් ශීත ඍතුව ගත කරන තැන අන්තිමේදී සොයාගන්නා ලදි: එනම් මෙක්සිකෝවේ සියෙරා මාද්රේ කඳුවල වනලැහැබෙන් වැසුණු මුදුනකි. දැවැන්ත, අළු පාටට හුරු කොළ කේතුධර ගස්වල අතු හා කඳන්වල සමනලයන් දශලක්ෂ ගණන් සොයාගත හැකි විය. මෙම සිත්ගන්නා දර්ශනය, ආගන්තුකයන්ව ආකර්ෂණය කිරීම සඳහා චමත්කාරජනක හේතුවක්ව පවතී.
කැනඩාවේ රංචු පිටින් මොනාර්ක් සමනලයන් දැකගත හැකි හොඳම ස්ථානවලින් එකකි, ඔන්ටේරියෝහි පොයින්ට් පෙලී ජාතික උද්‍යානය. එහිදී දකුණු දෙසට සංක්‍රමණය කිරීම සඳහා උන් එක්රොක් වෙති. ගිම්හානයේ අගභාගයේදී, උන් කැනඩාවේ මෙම දකුණුදිග ස්ථානයෙහි එක්රොක් වී, මෙක්සිකෝවේ තිබෙන ශීත ඍතුව ගත කරන බිම් බලා දකුණු දෙසට ගමන ආරම්භ කිරීමට කලින්, සුළං හා උෂ්ණත්වය හිතකර තත්වයකට එළඹෙන තෙක් බලා සිටිත්.
ගමනාන්ත
එක්සත් ජනපදය හරහා යන දිගු ගමන ඇරඹීම සඳහා, උන් පේලී තුඩුවෙන් පටන්ගෙන, ඊරී විලෙහි දූපත් හරහා ගමන් කරති. මඟදී වෙනත් මොනාර්ක් සමනල කණ්ඩායම් උන් හා සංක්‍රමණයට එකතු වෙති. මෙක්සිකෝ නගරයට වයඹ දිගින් පිහිටි කඳු මුදුන්වල, ශීත ඍතුව ගත කිරීමට දශලක්ෂ සියයක් එක්රොක් වන බව ගණන් බලා තිබේ.
වෙනත් සංක්රමණයන් ෆ්ලොරිඩාව හා කැරිබියන් දූපත් හරහා යන අතර, යුකටාන් අර්ධද්වීපයේ හෝ ග්වාටමාලාහි තවමත් සොයාගෙන නැති තැන්වලට උන් ගමන් කරනවා විය හැක. මෙක්සිකෝවේ හෝ ශීත ඍතුව ගත කරන වෙනත් තැන්වල හෝ වේවා, මොනාර්ක් සමනලයන් කඳුකර වනාන්තරවල එක්රැස් වන්නේ සාපේක්ෂ වශයෙන් ස්ථාන කිහිපයකදී පමණි.
ශීත ඍතුව සඳහා උන් දිගු ගමනක යෙදෙන්නේ, උණුසුම් හිරු රැස්වලින් නැහැවුණු පිට්ටනි සහිත නිවාඩුවකට යෝග්‍ය දේශයකට යෑම සඳහායයි යමෙකු සිතිය හැක. එහෙත් තත්වය එසේ නොවේ. උන් යන මෙක්සිකෝවේ ගිනි කඳුවලින් යුත් වැටිය ශීතය. කෙසේවෙතත්, කඳු මුදුන්වල තිබෙන දේශගුණය ශීත ඍතුව ගත කිරීම සඳහා ඉතාමත් සුදුසුය. සිටින කාලය තුළදී මුළුමනින්ම පාහේ අක්‍රියාශීලී තත්වයක සිටීමට තරම් ප්‍රමාණවත් ආකාරයකින් එය ශීතය. එබැවින් උන්ගේ ආයුකාලය මාස අටක් හෝ දහයක් දක්වා වැඩි වේ. එනිසා, මෙක්සිකෝවට යෑමටත්, එහි ශීත ඍතුව ගත කිරීම හා නැවත ගමන ආරම්භ කිරීමටත් ප්‍රමාණවත් කාලයක් තිබේ. එය යම් ආකාරයකින් නිවාඩුවක්යයි ඔබ පැවසුවොත් එය නිවැරදිය.
වසන්තය පැමිණෙන විට, මොනාර්ක් සමනලයන් නැවතත් ක්‍රියාශීලී වේ. දිවාකාලය වැඩි වෙත්ම, සමනලයෝ හිරු රශ්මියේ ඉගිළෙමින්, සංසර්ගයේ යෙදීමට පටන්ගෙන, උතුරු දෙසට උන්ගේ ගමන ආරම්භ කරති. උන්ගෙන් සමහරෙකු සම්පූර්ණ ගමන සාර්ථකව අවසන් කරන බවට විශ්වාස කෙරේ; නමුත් කැනඩාවේ හා උතුරු එක්සත් ජනපදයේ කඳුවැටිවල ගිම්හානය ගත කිරීමට සාමාන්‍යයෙන් පැමිණෙන්නේ උන්ගෙන් පැවතෙන්නන් පමණි. නැවත උතුරුකරය කරා යන ගමන සම්පූර්ණ කිරීමේදී බිත්තර, දළඹුවන්, පිලවුන් හා සමනලයන්ගේ පරම්පරා තුන හතරක් පමණ පසු කෙරේ. සංසේචනය වූ බිත්තර සියයක් හෝ වැඩි ප්‍රමාණයකින් යුත් ගැහැනු සතා, වනමල් පඳුරු අතරින් පතර ඉගිළෙමින් ළපටි මිල්ක්වීඩ් පත්‍රවල යටි පැත්තෙහි ඇගේ බිත්තර එක බැගින් තැන්පත් කරයි. එම චක්‍රය දිගටම සිදු වන අතර, මොනාර්ක් සමනලයාගේ ගිම්හාන නිවස බලා යන ගමන ඉදිරියට ඇදී යයි.
ඇත්තෙන්ම, මොනාර්ක් සමනලයා සිත් වසඟ කරන සත්වයෙකි. උගේ හැසිරීම නිරීක්ෂණය කොට හැදෑරීම මනුෂ්‍යයන්හට විශිෂ්ට වරප්රසාදයකි. කෙසේවෙතත්, මෙක්සිකෝවේ බොහෝ කාලයකට රහසක්ව පැවති මොනාර්ක් සමනලයා ශීත ඍතුව ගත කරන ස්ථාන මෙන්ම කැලිෆෝනියාවේ ඇතැම් තැන් මනුෂ්‍ය ව්‍යාපාරවල තර්ජනයට හසුවීම පුදුමයට හේතුවක් නොවේ. මැවිල්ලේ මෙම සියුමැලි ශෝභමාන සමනලයන්ට යෑමට තවත් තැනක් තිබෙනවායයි උපකල්පනය කිරීම උන් වඳ වී යෑමට හේතුවක් විය හැක. එවැනි ඉරණමකට හසුවීමෙන් උන්ව ආරක්ෂා කිරීමට ප්රයත්න දරනු ලැබීම පැසසිය යුත්තකි. මැවුම්කරු පොරොන්දු වී ඇති ඉතා අතළඟම තිබෙන පාරාදීස පොළොවේදී, මෙම සියුමැලි නමුත් ශක්තිමත් සංචාරකයන්ට සුරක්ෂිත ස්ථානයක් සහතික කරනු ලබන විට, එය මොනතරම් උදාර දෙයක් වනු ඇද්ද!
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
සමනලයා: Parks Canada/J. N. Flynn
[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
16වන පිටුවේ ඉහළ සහ පහළ: Parks Canada/J. N. Flynn; මැද: Parks Canada/D. A. Wilkes; 17වන පිටුවේ ඉහළ: Parks Canada/J. N. Flynn; මැද සහ පහළ: Parks Canada/J. R. Graham