නිසි සමබරතාවට ඔබේ දිවිය රසවත් කළ හැකියි
ඉවසුම්ගතිය කෝපි කෝප්පයකට දැමූ සීනි වගෙයි. හරි ගානට දැම්මොත් ජීවිතයට රසයක් මුසු කරන්න පුළුවන්. අපි ලෝභ නැතුව සීනි දානවා වෙන්න පුළුවන් වුණත්, ඉවසුම්ගතිය එක්ක හුඟක් වෙලාවට ක්‍රියා කරන්නේ, මසුරු විදිහටයි. ඒ ඇයි?
මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්ය ආතර් එම්. මෙල්ස මෙහෙම ලිව්වා: “මනුෂ්‍යවර්ගයාට ඉවසුම්ගතිය පෙන්නන්න කිසිම උවමනාවක් නැහැ. ඉබේම ඔවුන් තුළ ඇති වන්නේ . . . අගතියයි.” ඉතිං, නොඉවසුම්ගතිය ටිකදෙනෙකුට විතරක් බලපාන නිකම්ම චරිතයේ දෝෂයක් නෙමෙයි. ඇත්තෙන්ම අපි සියලුදෙනාම අසම්පූර්ණ අය හින්දා පටු ආකල්ප දැරීම අපි තුළ ඉබේම පහළ වෙනවා.—රෝම 5:12, සසඳන්න.
අනුන්ගේ කාරණාවලට ඇඟිලිගසන්නෙක් වීමට ඇති හැකියාව
එක්සත් ජනපදයේ පටු ආකල්ප දරන්නන්ගේ වැඩිවීම ගැන 1991දී, ටයිම් සඟරාව වාර්තා කළා. “අනුන්ගේ කාරණාවලට ඇඟිලිගසන ජීවන රටාවක් ගත කරන්නෙක්” හැටියට විස්තර කළේ, හැසිරීම පිළිබඳ තමන්ගේ ප්රමිතීන්, අනිත් සියල්ලන් මත බලපවත්වන්ට උත්සාහ කරන කෙනෙක්වයි. ඊට එකඟ වුණේ නැති අය ගොදුරු බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට, බොස්ටන්හි ස්ත්‍රියක්ව ඇගේ රැකියාවෙන් ඉවත් කර දැමුවේ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආලේප කිරීම ප්‍රතික්ෂේප කළ නිසයි. ලොස් ඇන්ජලීස්හි මිනිසෙකුව රැකියාවෙන් පහ කළේ අධි බර හේතුවෙනුයි. අන් අයව නම්මවාගන්ට මෙපමණ දැවෙන උනන්දුවක් මොකටද?
පටු ආකල්ප දරන්නන් අසාධාරණයි, ආත්මාර්ථකාමියි, මුරණ්ඩු වගේම තමාගේම මතයේ එල්බගෙනයි ඉන්නේ. එහෙත් සෑම පුද්ගලයෙකුම යම් ප්‍රමාණයකට අසාධාරණ, ආත්මාර්ථකාමී, මුරණ්ඩු සහ තමන්ගේම මතයේ එල්බගෙන සිටිනවා නොවේද? මෙවැනි ලක්ෂණ අපේ පෞද්ගලිකත්වය තුළට රිංගා ගත්තොත් අපිව පටු ආකල්ප දරන්නන් බවට පත් කරවනවා.
ඔබ ගැන කුමක් කිව හැකිද? කෑම ගැන තව කෙනෙකුගේ රසයට ඔබ අප්‍රසන්න ලෙස හිස සලනවාද? සාකච්ඡාවකදී, සාමාන්‍යයෙන් අන්තිම වචන ටික කොහොම හරි කියාගන්න ඔබට ඕනෙද? කණ්ඩායමක් එක්ක වැඩ කරද්දී, ඔබ සිතන විදිහටම අනිත් අයත් සිතීම ඔබ බලාපොරොත්තු වෙනවාද? ඒක එහෙම නම්, ඔබේ කෝපි එකට තව සීනි ටිකක් එකතු කිරීමෙන් හොඳක් සිදු විය හැකියි.
එහෙත්, කලින් ලිපියේ සඳහන් කළ විදිහට නොඉවසුම්ගතිය වෛරක්කාර අගතියේ ආකාරයකින් එළි දකින්න පුළුවන්. නොඉවසුම්ගතිය මගින් වැඩි කළ හැකි එක් දෙයක් නම්, තදබල කාන්සාවයි.
“සැකයේ ගැඹුරු හැඟීම්”
මානව විද්‍යාඥයන්, වාර්ගික අගතියේ සිදුවීම්වල මූලාරම්භය කොතන, කොහේ සිදු වීද යන්න සෙවීමට මනුෂ්‍යවර්ගයාගේ අතීතය අධ්‍යයනය කර තියෙනවා. මේ ආකාරයේ නොඉවසුම්ගතිය සෑමවිටම පැනනඟින එකක් නොවන බවත්, සෑම දේශයකම එය එකම මට්ටමක නොපවතින බවත් ඔවුන් සොයාගත්තා. ජ’මනියේ ස්වාභාවික විද්‍යා සඟරාවක් වන ග්ඕ වාර්තා කරන්නේ, වාර්ගික හැලහැප්පීම් ඉස්මතු වන්නේ, මිනිසුන්ට “අස්ථිරභාවයේ ගැඹුරු හැඟීම් තියෙන සහ තමන්ගේ අනන්‍යතාවට තර්ජනයක් වෙලා තියෙන බව හැඟෙන” අර්බුදකාරි කාලවලදී බවයි.
එවැනි “අස්ථිරභාවයේ ගැඹුරු හැඟීම්” අදදින හාත්පස පැතිර පවතිනවාද? නිසැකයෙන්ම. පෙර කිසිදාකටත් වඩා, එක පිට එක පැමිණෙන අර්බුදකාරි තත්වයන්ට මුහුණ දෙන්න මනුෂ්‍යවර්ගයාට සිද්ධ වෙනවා. විරැකියාව, ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ නැඟීම, අධි ජනගහනය, ඕසෝන් ස්තරය තුනීවීම, නගරවල සිදු වන අපරාධ, පානීය ජලය දූෂණය වීම සහ පෘථිවි උෂ්ණත්වය වැඩිවීම වැනි ඕනෑම දෙයක් පිළිබඳ වද දෙන භයක්, කනස්සල්ල තවතවත් වැඩි කරවනවා. අර්බුද, කනස්සල්ල උපදවනවා විතරක් නෙමෙයි, අනවශ්‍ය කනස්සල්ල නොඉවසුම්ගතිය ඇති කරවනවා.
එවැනි නොඉවසුම්ගතිය පිට වී යෑමට මං සොයනවා. උදාහරණයක් හැටියට, සමහර යුරෝපීය දේශවල විවිධ ජනවාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් කලවමේ ජීවත් වෙනවා. වර්ෂ 1993දී, නැෂනල් ජියෝග්රැෆික් වාර්තා කළ විදිහට, බටහිර යුරෝපීය රටවල් එවකට පදිංචිය පිණිස එම රටවලට පැමිණියවුන් දසලක්ෂ 22ක් බාරගෙන තියෙනවා. බොහෝ යුරෝපියන්ට, විවිධ භාෂා, සංස්කෘතීන් හෝ ආගම්වලින් “ගලා ආ නවකයන්ගෙන් තමන්ව වසාගත් බවක් හැඟුණා.” ඉතාලියේ, ඕස්ට්‍රියාවේ, ජ’මනියේ, ප්‍රංශයේ, බෙල්ජියමේ, බ්‍රිතාන්‍යයේ, ස්පාඤ්ඤයේ සහ ස්වීඩනයේ විදේශ විරෝධී හැඟීම් වැඩි වී තියෙනවා.
ලෝක නායකයන් ගැන කිව හැක්කේ මොකක්ද? එක්දහස් නවසිය තිස්ගණන්වල සහ හතළිස්ගණන්වලදී, හිට්ලර් රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට නොඉවසුම්ගතිය ස්ථාපිත කළා. කනගාටුදායක ලෙස, සමහර දේශපාලන සහ ආගමික නායකයන්, තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට නොඉවසුම්ගතිය පාවිච්චි කරනවා. අයර්ලන්තය, එක්සත් ජනපදය, ඕස්ට්‍රියාව, ප්‍රංශය, රුවන්ඩාව සහ රුසියාව වැනි ප්‍රදේශවල සිදු වී ඇත්තේ මෙයයි.
උදාසීනකමේ මලපතෙන් වළකින්න
කෝපි එකේ තියෙන්නේ සීනි බොහෝම ටිකයි නම්, මොකක් හරි අඩුවක් අපිට දැනෙනවා. ඕනෑවට වැඩියි නම්, අපේ කටට අමිහිරි රසයක් දැනෙනවා. ඉවසුම්ගතිය සම්බන්ධයෙනුත් ඒ විදිහමයි. එක්සත් ජනපදයේ පාසැලක උගන්වන ගුරුවරයෙකුගේ අද්දැකීම සලකා බලන්න.
වසර කිහිපයකට ප්‍රථම, කනිෂ්ඨ ඩේවිඩ් ආර්. කාලින්, පංතියේ පවත්වන සාකච්ඡා ප්‍රබෝධවත්ව තබාගන්ට සරල එහෙත් ඵලදායක ක්‍රමයක් සොයාගත්තා. ශිෂ්‍යයන් විරෝධය පළ කරන බව දැන, ඔවුන්ගේ අදහස්වලට අභියෝග කරන කියමනක් ඔහු ඉදිරිපත් කරනවා. ප්‍රාණවත් සාකච්ඡාවක් ප්‍රතිඵලය වුණා. කෙසේවෙතත් 1989දී, එම ක්‍රමය තවදුරටත් ඵලදායක නැහැයි කියලා කාලින් ලිව්වා. ඵලදායක නැත්තේ ඇයි? ඔහු කියන දේට ශිෂ්‍යයන් තවමත් එකඟ නූණත්, ඒ ගැන වාද කරන්න කොහෙත්ම කරදර වුණේ නැහැ. ඔවුන්, “අවිශ්වාසයෙන් සිටින්නෙක් තම පහසුවට පෙන්නන ඉවසුම්ගතිය”—ඒ කියන්නේ වගකීමෙන් නිදහස්, කිසි ගානක් නැති ආකල්පයක් දරන්න පටන්ගත් බව කාලින් පැහැදිලි කළා.
කිසි ගානක් නැති ආකල්පය ඉවසුම්ගතිය හා සමානයිද? යමෙක් සිතන හෝ කරන දෙයක් කිසිවෙක් ගනං ගන්නේ නැත්නම්, ඒ තුළ ප්‍රතිපත්ති කොහෙත්ම නැහැ. ප්‍රතිපත්ති නැති තැන ඇත්තේ උදාසීනකමයි—එනම් සම්පූර්ණයෙන්ම සැලකිලිමත්කමේ ඌනතාවයි. එවැනි තත්වයක් ඇති වන්නේ කොහොමද?
මහාචාර්ය මෙල්ස කියන විදිහට, හැසිරීමේ විවිධාකාර ප්‍රතිපත්ති අනුමත කරන සමාජයක් තුළ උදාසීනකම පැතිරෙන්න පුළුවන්. ඕනෑම ආකාරයක හැසිරීමක් අනුමත කරන්න පුළුවන් බවත්, එය කෙනෙකුගේ පෞද්ගලික තේරීමක් බවත් මිනිසුන් විශ්වාස කරන්න පටන්ගන්නවා. අනුමත කරන්නේ මොකක්ද, නොකරන්නේ මොකක්ද කියා සිතන්න සහ ප්‍රශ්න කරන්න ඉගෙනගන්නවා වෙනුවට, මිනිස්සු “බොහෝවිට ඉගෙනගෙන තියෙන්නේ කොහෙත්ම නොහිතන්නයි.” අනුන්ගේ නොඉවසුම්ගතියට එරෙහිව නැඟී සිටීමට පුද්ගලයෙක්ව පොලඹවන සදාචාර ශක්තිය ඔවුන් තුළ නැහැ.
ඔබ ගැන කුමක් කිව හැකියිද? ඔබත් ඉඳහිට කිසි ගානක් නැති ආකල්පයක් ආරූඪ කරගනිමින් ඉන්න බව තේරිලා තියෙනවාද? අසභ්‍ය හෝ යම් ජාතීන්ව පහත් කරන විහිළුවලට ඔබ හිනාවෙනවාද? ඔබ ඔබේ නහඹර වියේ පුතාට හෝ දුවට ගිජුකමට හෝ දුරාචාරයට දිරි දෙන වීඩියෝ පට බලන්න ඉඩහරිනවාද? ඔබේ දරුවා සාහසික පරිගණක ක්‍රීඩා කරන එක කමක් නැහැ කියා ඔබට හැඟෙනවාද?
ඕනෑවට වඩා ඉවසුවොත්, පවුලක හෝ සමාජයක, හරි මොකක්ද වැරදි මොකක්ද කියල කවුරුත් දන්නේ නැති නිසා, එහෙමත් නැත්තං කවුරුත් ගනං ගන්නේ නැති නිසා සංවේගය නෙළාගනීවි. එක්සත් ජනපද සෙනෙට් සභික ඩෑන් කෝට්ස්, “ඉවසුම්ගතියේ මලපත උදාසීනභාවය” හැටියට අනතුරු ඇඟෙව්වා. ඉවසුම්ගතිය විවෘත මනසක් සඳහාද, ඕනෑවට වඩා ඉවසුම්ගතියක් දැක්වීම—උදාසීනකමට—බොල් මනසකටද මඟ පෑදිය හැකියි.
එසේනම්, අප ඉවසිය යුත්තේ මොනවාද? ප්‍රතික්ෂේප කළ යුත්තේ මොනවාද? නිසි සමබරතාව ලබාගැනීමට රහස මොකක්ද? මෙය මතු ලිපියේ විෂයයි.
[19වන පිටුවේ පින්තූරය]
තත්වයන්ට ගැළපෙන සමබර ආකාරයකින් ප්‍රතික්‍රියා කිරීමට වෑයම් කරන්න