“මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි”
පෙටලූමා කියන්නේ, කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝවලට උතුරෙන් පිහිටි මං හැදුණු වැඩුණු පුංචි ටවුමටයි. මගේ අම්මාට යම් තාක් දුරට ආගමික භක්තියක් තිබුණත්, මගේ තාත්තාට නම් ආගම් ගැන පැහැදීමක් තිබුණේ නැහැ. මම හැම වෙලේම මැවුම්කාරයෙක් කෙරෙහි විශ්වාස කළා—ඒත් ඒ කව්ද කියල මං දැනං හිටියේ නැහැ.
පුංචි කාලේ, මං සතුටින් හැදුණු වැඩුණු ළමයෙක්. කිසි බරක් නැතුව හෑල්ලුවෙන් ගත කරපු ඒ කාලය ගැන මතක් කරන්නේ මොනතරම් කැමැත්තෙන්ද! මගේ නිදහස උදුරාගන්න මගේ ඇඟ ඇතුළෙම යම් යම් දේවල් සිද්ධ වෙමින් තියෙන විත්තිය මම කොහෙත්ම දැනං හිටියේ නෑ. ඒ 1960, මගේ උසස් පාසැලේ අන්තිම අවුරුද්ද. ඇඟිලි කිහිපයක තිබුණ වේදනාවක් ගැන මං මගේ හොඳම යාළුවාට කියනවා මට මතකයි.
ඉතා ඉක්මනින් මගේ කකුල් කොච්චර රිදෙන්න පටන්ගත්තද කිව්වොත්, අම්මා මාව සැන් ෆ්රැන්සිස්කෝවල ඉස්පිරිතාලයකට එක්කරගෙන ගියා. එහෙ මං දවස් හයක් හිටියා. එතකොට මට අවුරුදු 18යි; පරීක්ෂණවලින් හෙළි වුණේ මට රුමටොයිඩ් ආත්රෛයිටිස් තියෙනව කියලයි. මට ගෝල්ඩ් සෝඩියම් තයෝසල්ෆේට් කියන බෙහෙත විදින්න පටන්ගත්තා, ඊට පස්සේ ප්‍රෙඩ්නිසෝන් සහ ඊටත් පස්සේ, වෙනත් විදිහේ කෝටිසෝන් වර්ගත් විද්දා. මේ හැම බෙහෙතක්ම මම අවුරුදු 18ක් තිස්සේ අරගත්තා. හැම බෙහෙතක්ම අවුරුදු කිහිපයකට වේදනාව අඩු කළා. ක්‍රමක්‍රමයෙන් පාවිච්චි කරන බෙහෙත අහන්නේ නැතුව ගියාම, මාව ඊළඟ බෙහෙතට මාරු කළා. දිගින්දිගටම තිබුණු වේදනාව නොසලකා ඉන්න බැරි තරම්. ඒ නිසා විවිධ මාදිලියේ වෛද්‍ය ආධාර සෙවීමේ වියරු උත්සාහයක මං යෙදුණා. යම් තාක් දුරට උදව් වුණ විකල්ප ප්‍රතිකාර කිහිපයක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවාවලට ස්තුතිවන්ත වෙන්න, කලින් වගේ, ලෙඩේ හොඳටම වැඩි වුණාම ඇඟ පුරාම දුවන තරං වේදනාවක් මං දැං විඳින්නේ නැහැ.
මම පුංචි බබෙක්ව ඉන්දැද්දී මගෙ අම්මා මං ගැන එක එක දේවල් ලියපු පොතක් අහම්බෙන් වගේ 1975 එක දවසකදී මගේ පුතාට හම්බුණා. මට මාස හයේදී, විශාල වූ තයිමසය හේතුවෙන් වෛද්‍යවරු මට එක්ස්-කිරණ ප්‍රතිකාරයක් පටං අරගෙන තිබිල තියෙනවා කියලා මට හොයාගන්න හම්බුණා. මම අද මේ තත්වෙ ඉන්නේ, පුංචි කාලෙ මට නියම කරපු ඒ විකිරණ ප්‍රතිකාර හින්දයි කියලයි මම හිතන්නේ. ඒක එහෙම නං, කොච්චර දරුණු වරදක්ද!
මම 1962දී විවාහ වුණා. වර්ෂ 1968දී, මගේ රෝගයේ මුල් අවදිය වෙන කොට, මගේ පුරුෂයා වන ලින් සහ මම අපිට අයිතිව තිබුණ බේකරියේ එකට වැඩ කෙරුවා. අපි පාන්දර 4.00ට විතර ඇහැරෙනවා. මගේ පුරුෂයා පිටි අනලා, උදුනේ පාන් තියෙන්න ඇරලා, බිම තියෙන පිටි ගෝනි උඩ පොඩි නින්දක් දානවා. අපි පෙති කපලා ඇහුරුවාට පස්සේ, ලින් ඒවා බෙදාහරිනවා. වතාවක් රක්ෂණ නියෝජිතයෙක් බේකරියට ගොඩ වෙලා දෙවිගේ පොරොන්දු වූ රාජ්‍යය ගැන අපිට කිව්වා. අපිට අහන්න ලැබුණු දේට අපි කැමති වුණත්, අපි වැඩ බහුලවයි හිටියේ. අපේ පාන් ව්‍යාපාරය වැඩියෙන් ව්‍යාප්ත වෙමින් තිබුණු හින්දා ලෞකික රැකියාවෙන් වුණත් ඕනෑවට වැඩිය බර වෙලයි හිටියේ. අපව ප්‍රීතියට පත් කරමින්, වෙනත් බේකරියක් අපේ බේකරිය මිල දී ගත්තා! ලින් ඒගොල්ලෝ ගාව වැඩට ගියා. මම රූපලාවණ්යායතනයක වැඩට ගියා. කෙසේවෙතත්, මට ආත්රෛයිටිස් වැඩි වෙන කොට සතියකට දවස් තුනක් විතරයි මට වැඩ කරන්න පුළුවන් වුණේ. අන්තීමට සම්පූර්ණයෙන්ම නවත්තල දාන්න සිද්ධ වුණා.
මේ අතර කාලෙදී, යෙහෝවාගේ සාක්ෂිකාරියක් අපේ ගෙවල් පැත්තේ ඇවිත්, නොකඩවාම මට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඉදිරිපත් කළා. මම හැම වෙලාවකදීම, එයාගෙන් සඟරා අරගෙන සම්මාදමක් කළා. එහෙම කිරීමෙන් මං හිතුවේ එයාට උදව්වක් කරනව කියලයි. එයා ගියාට පස්සේ, ඒවා රාක්කයක් උඩට දාල, අරින්නෙවත් නැතුව තියලා, දවස් කිහිපයකට පස්සේ අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඒවා විසි කරලා දානවා. ඒක සෑහෙන අවාසනාවන්ත සිද්ධියක්; මොකද අපි දැන් ඒවායේ තියෙන ආත්මික වටිනාකම අගේ කරන හින්දා. කොහොමවුණත්, ඒ දවස්වල ආගමික කාරණා එච්චර වැදගැම්මක් ඇති දේවල් විදිහට පෙනුණේ නැහැ.
අපේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානව
එක දවසක් හැන්දෑවේ, මමත් මගේ පුරුෂයාත් කල්පනා කරමින් හිටියේ කෑම, නිදාගැනීම සහ මහන්සි වෙලා වැඩ කිරීම ඇරෙන්න, ජීවිතයට ඊට වඩා වැඩි යමක් තියෙන්න ඕනේ කියලයි. අපේ ජීවිතයෙන් ගිලිහිලා තිබුණු ආත්මිකත්වය අපි හොයන්න පටන්ගත්තා. අපි අපේ අවධානය අපේ පාරේම ළඟපාත තිබුණු පොඩි පල්ලියක් වෙත යොමු කෙරුවත්, අපි බලාපොරොත්තු වුණු ආත්මික දියුණුව එහිදී හොයාගන්න බැරි වුණා. පල්ලි සාමාජිකයෝ බොහෝ වෙලාවට කතා කෙරුවේ ඒගොල්ලන්ට තියෙන ගැටලු ගැනයි.
සඟරා ගේන සාක්ෂිකාරිය, ඒ වෙන කොටත් අවුරුද්දක කාලයක් පුරාම ආවත්, මගෙ අර පරණ පුරුද්ද නැති වෙලා තිබුණේ නැහැ. අන්තිමට, “එය ඔබ සිතනවාට වඩා ප්‍රමාදද?” කියන මාතෘකාවෙන් යුත් 1968 ඔක්තෝබර් 8 එවේක්! සඟරාව කියවන තුරුම ඒක වෙනස් වුණේ නැහැ. මං කියවපු දෙයට මට ආසා හිතුණා; ඒ වගේම සතුටට හේතු වෙමින්, මගේ පුරුෂයාටත් ඒක ඒ විදිහටම බලපෑවා. අපි පාඩම් කරන්න පටන්ගත් අතර, ස්පන්ජි වගේ සත්‍යය උරාගත්තා. අපි ඉගෙනගත්තු පුදුමාකාර දේවල් අපිට ඇති වුණේ නැහැ. වර්ෂ 1969දී, අපි බව්තීස්ම වුණා.
මෙහෙම කාලය ගෙවෙද්දී, හිටගන්න, ඉඳගන්න අමාරු වුණා. ඇවිදින්න හුඟක් අමාරු වුණා. කාර් එකට නඟින්නත් බහින්නත්, බලෙන්ම මගේ දණිස් නවන්නත් දිගහරින්නත් මට සිද්ධ වුණා. ඒක බොහෝ අවස්ථාවලදී මාව ඇඬෙව්වා. ඒත් සීමාවන් සහ වේදනාවන් එක්ක ජීවත් වෙන්න මම ඉගෙනගත්තා. ඊට පස්සේ, එහෙං මෙහෙං මූණ හැඩගන්වගෙන රැස්වීමට හෝ ක්ෂේත්‍ර සේවයේ හෝ යනවා. මට යන්න පුළුවන් තාක් දුරට දොරින් දොරට ඇවිද්දා. මගේ දණිස්වලයි කකුලෙයි ඇති වන තද ගතියෙන් එන වේදනාව හින්දා තවදුරටත් කරගෙන යන්න බැරුව ගිය දවස වෙනකං, සුමානෙට වතාවක් නැත්තං දෙවතාවක් ක්ෂේත්‍ර සේවයේ යන්න උත්සාහ කළා. වැටිල ආයෙ නැඟිටින්න බැරුවයයි කියල මං කොයිවෙලේත් දුකෙන් හිතහිතයි හිටියේ. යෙහෝවාට යාච්ඤා කරන එක උපකාරයක් වුණා. සමහර වෙලාවට ඇඬූ කඳුළින් මම ඔහුට කන්නලව් කරනවා.
කෙසේවෙතත්, අඬන එක කොයිවෙලේත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. රුමටොයිඩ් ආත්රෛයිටිස්වලින් පෙළෙන කෙනෙකුගේ ඇස් වියළීමට පටන්ගන්න පුළුවන්. සමහර වෙලාවට ඇස්වල වියළීම කොච්චර තදද කිව්වොත්, මට කියවන්න පවා අමාරුයි. එහෙම වෙනකොට මම බයිබල් ටේප්වලට ඇහුම්කන් දෙනවා. ඇහිපිය ගහනකොට මගෙ ඇස් හීරෙන හින්දා, හුඟක් වෙලාවට මම ඇස්දෙක වහගෙනයි ඇවිද්දේ. ඇත්තෙන්ම එතකොට මං අන්ධ කෙනෙක් වගේ. සමහර වෙලාවට මගේ ඇස්වලට විනාඩි පහෙන් පහට කෘත්‍රිම කඳුළු දාන්න සිද්ධ වුණා. මගේ ඇස්වලට ආලේපයක් දාලා දවස් පහක් නැත්නම් හයක් බැන්ඩේජ් පටියකින් වහගෙන හොඳ වෙනකං ඉන්න වෙන එක ඊටත් අන්තයි. මේ පිළිවෙළ තුළ යම් මට්ටමකටවත් යථා තත්වයට පත් කරන්න බැරි දිගු කාලීන ලෙඩක් එක්ක පොරබදින කෙනෙකුට, කිසිම දෙයක් සඳහා ස්තුතිවන්තකම දිගටම දක්වන එක පහසු දෙයක් නෙමෙයි.
වර්ෂ 1978දී, මට රෝද පුටුවක පිහිට පතන්න සිදු වුණා. ඒ තීරණය ගන්න එක ලේසි වුණේ නැහැ. මම හැකි තාක් දුරට එය පාවිච්චි කරන එක ප්‍රමාද කළත්, වෙන කරන්න තේරීමක් මට තිබුණේ නැහැ. මේ දවස කවද හරි එන බව මං දැනං හිටියත්, දෙවිගේ අලුත් පොළොව ඊට කලින් එයි කියලයි බලාපොරොත්තු වුණේ. ලින්, අඩියේ, වටේට කැරකෙන පළල් රෝද පහක් තියෙන ලොකු රෝද පුටුවක් ගෙනත් දුන්නා. ඒකෙන් මටම ගේ ඇතුළේ එහා මෙහා මාවම තල්ලු කරගෙන යන්න පුළුවන් වුණා.
මම යමක් අල්ලන්න යනකොට අත දිග හරින්නවත් නමන්නවත්, ඇඟිලි ඇද වෙලා හින්දා දේවල් අල්ලගන්නවත් බැරුව ගියාම කනස්සලු වුණා. එතකොට, යම් දෙයක් අල්ලන්න නැත්තං ග්‍රහණය කරන්න යොදාගන්න මගේ “ග්‍රාහිකාව” පාවිච්චි කරනවා. ඒකෙන් බිම තියෙන දේවල් ගන්නත්, කබඩ් එක ඇරල දීසියක් ගන්නත්, ඒ වගේම ෆ්‍රිජ් එක ඇරලා යමක් එළියට ගන්නත් පුළුවන්. මගේ “ග්‍රාහිකාව” පාවිච්චි කරලා අලුත් හපංකං ඉගෙනගනිද්දී, ගෙදර දොරේ සාමාන්‍ය වැඩ කටයුතු බලාකියා ගන්න පුළුවන්. මට උයන්න පුළුවන්, පිඟන් හෝදන්න, ඇඳුම් අයන් කරලා නමල දාන්න සහ බිම තෙත මාත්තු කරන්නත් පුළුවන්. මගේ හැකියාවන් දියුණු වෙනකොට මට ටිකක් ආඩම්බරයකුත් දැනෙනවා. ඒ වගේම දැං වුණත්, ගෙදර දොරේ ඕනෑඑපාකම්වලට යම් ප්‍රමාණයකටවත් හවුල් වෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටකුත් දැනෙනවා. ඒත්, මම විනාඩි ගණනකින් කරන්න පුරුදු වෙලා හිටපු දේවල් කරන්න දැන් පැය ගානක් යනවා.
දුරකථනයෙන් සාක්ෂිදැරීම
ඒ සඳහා කාලයක් ගත වුණත්, මම ධෛර්යය ඇති කරගෙන දුරකථනයෙන් සාක්ෂිදරන්න පටන්ගත්තා. ඒක කරන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නැති වුණාට, මං ඒකෙන් සතුටක් ලබන අතර, ඇත්තෙන්ම හොඳ සාර්ථකත්වයක් ලබනවා. මටම පුදුමයකට වගේ, ඒක නිකං ගෙයින් ගෙට යනවා වගෙයි. ඒ කියන්නේ යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මිනිස්සු එක්ක කතා කරන්න හම්බ වෙනවා.
මං පාවිච්චි කරන එක ඉදිරිපත් කිරීමක් පටන්ගන්නේ මේ විදිහටයි: “හෙලෝ, ඔය—— මහත්මයාද? මම මාස් මහත්මියයි. මම මිනිසුන්ට ඉතාම කෙටියෙන් කතා කරනවා; ඔබට විනාඩි කිහිපයක් ගත කරන්න පුළුවන් නං, මට කතා කරන්න අවසරද? (සාමාන්‍ය ප්‍රතිචාරය නම්: “ඔය, මොනා ගැනද?”) අද ලෝකෙ වෙන දේවල් දකින එක හරිම බියජනකයි, එහෙම නේද? (මම අදහස් සඳහා ඉඩහරිනවා.) අනාගතය සඳහා අපිට නියම බලාපොරොත්තුවක් දෙන මේ බයිබල් සිතුවිල්ල බෙදාගන්න කැමතියි.” ඉන්පසුව මම ස්වාමීන්ගේ යාච්ඤාව සහ හැකි නම් 2 පේතෘස් 3:13 කියවනවා. සමහරක් නැවත බැලීම් අනිත් ක්‍රිස්තියානි සහෝදරියන්ට නැත්නම් ලින්ට දෙනවා මං වෙනුවෙන් දිගටම කරගෙන යන්න කියලා.
පහුගිය අවුරුදු කිහිපය පුරා, මම හොඳ සංවාදයන් කිහිපයක් කරගෙන ගියා. උනන්දුව පෙන්නපු අයට විවරණිකා, සඟරා සහ පොත් අරින්න හැකි වුණා. සමහරු දුරකථනයෙන්ම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. එයා තනියම පාඩම් කෙරුවම ඇති කියලා මම කතා කරපු එක ස්ත්‍රියකට හැඟුණා. එහෙත් සංවාද කිහිපයකට පස්සේ, එයා බයිබල් පාඩමක් කරන්න එකඟ වුණා. මම මගේ තත්වය කිව්වාට පස්සේ, අපේ ගෙදරටම ඇවිල්ලා පාඩම කරන්න එයා එකඟ වුණා.
තවත් වතාවකදී, දුරකථනයෙන් කතා කරන්න හදද්දී ඒකෙ පටිගත කරපු දැන්වීමක්, අලුත් අංකයකට කතා කරන්නයි කියලා දැනුම් දුන්නා. සාමාන්‍යයෙන් මම කතා කරන්නේ අපේ ප්‍රදේශයේ ගෙවල්වලටයි. එහෙත් මේක නම් අපේ ප්‍රදේශයේ එකක් නෙමෙයි. කොහොමවුණත් කතා කරන්න මාව පෙලඹුණා. සෑහෙන වෙලාවක් කතා කළාට පස්සෙ අනිත් පැත්තෙන් කතා කළ ස්ත්‍රිය කිව්වා, එයත් එයාගේ පුරුෂයාත් නියම ක්‍රිස්තියානීන් එක්ක කතා කරන්න ඕනෑකමින් ඉන්නෙ කියලා. ඉතිං, ලින් සහ මම ළඟා වෙන්න පැයක් විතර ගත වෙන දුරක තියෙන ඔවුන්ගේ ගෙදරට, ඔවුන් එක්ක පාඩම් කරන්න ගියා.
ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහස සහ අලුත් පොළොව ගැන යෙහෝවාගේ පොරොන්දුව ගැන කතා කිරීමෙන් මම ප්‍රීතිය සහ සන්තෝෂය තවමත් ලබාගන්නවා. මෑතකදී, මාස කිහිපයක් තිස්සෙ කතා කරපු ස්ත්‍රියක් මට මෙහෙම කිව්වා: “ඔයාට කතා කරන හැම වෙලාවෙම, මට හැඟෙන්නේ, මම තවතවත් දැනුම ලබාගන්නවා කියලයි.” අනිත් අයත් එක්ක බෙදාගන්න දැනුම, සදාකාල ජීවනයට මඟ පෙන්වනවා කියලත්, ප්‍රීතිය උපදවනවා කියලත්, මං වගේ අංගවිකල පෙනුමක් තියෙන අය තුළින් පවා එය බබළවන්න පුළුවන් කියලත් මම දන්නවා. සමහර වෙලාවලට මට ක්ෂේත්රයේදී වෙන අවස්ථාවලට වඩා වැඩියෙන් කරන්න පුළුවන්; ඒත් හැම වෙලාවෙම තවතවත් වැඩියෙන් කරන්න පුළුවන් නම්! මගේ ප්‍රාර්ථනාව ඒකයි. යෙහෝවා අපි එක්කෙක්කෙනාගේ තත්වය දන්නවා. තරම කොච්චර පුංචියට පෙනෙන්න තිබුණත් අපිට කරන්න පුළුවන් තරම කොච්චරද, අන්න ඒකයි එයා අගය කරන්නේ කියලා මම දන්නවා. මම නිතර නිතර හිතෝපදේශ 27:11 ගැන හිතල තියෙනවා. ‘මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.’ එතන කියනවා වගේ, මට ඕනෙ කරන්නේ, සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන අය අතර ඉන්නයි.
යන්න අමාරු වුණත්, රැස්වීම්වලට යන එක කොයිවෙලේත් දිරිගන්වනසුලුයි. යෙහෝවා අපිට ආත්මිකව හොඳින් පෝෂණය වෙන්න පුදුමාකාර සැපයුම් ගොඩක් සපයල තියෙනවා. මට ඕනෙ ඒවායින් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජන ගන්නයි. අපේ දරුවෝ දෙන්නා සත්‍යය ඔවුන්ගේම කරගැනීම ගැන අපි මොනතරම් සතුටු වෙනවද! අපේ දුව, ටෙරී, හරිම හොඳ සහෝදරයෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ; මම ගොඩක් ආදරේ කරන දරුවෝ හතරදෙනෙක් ඒගොල්ලන්ට ඉන්නවා. අපේ මුනුපුරු මිනිපිරියොත් යෙහෝවාට ආදරේ බව දැකීම අපේ හදවත් මොනතරම් උණුසුම් කරවනවාද! අපේ පුතා ජේම්ස් සහ එයාගේ බිරිඳ ටියුස්ඩේ, නිව් යෝර්ක්හි තියෙන යෙහෝවාගේ සාක්ෂිකාරයන්ගේ ලෝක මූලස්ථානය වන බෘක්ලින් බෙතෙල්හි සේවය කිරීම තෝරාගෙන තියෙනවා.
යෙහෝවාගේ බලය තුළින් භූමික පාරාදීසයක්
භූමික පාරාදීසය සම්බන්ධ යෙහෝවාගේ මවිතාකාර පොරොන්දුව මනසේ තියාගන්න මම උත්සාහ කරනවා. ඔහුගේ මැවිල්ලේ බහුලත්වය තුළින්, දැන් පවා සතුට සොයාගන්න පුළුවන්. මම ලස්සන හිරු බැසයෑම බලලා ප්‍රීතියක් භුක්ති විඳිනවා. විවිධාකාර මල් වර්ග සහ ඒවායේ සුමිහිරි සුවඳෙන් ප්‍රීතියක් ලබනවා. මම රෝස මල්වලට හරිම කැමතියි! මට කොයිවෙලේත්, ගෙදරින් එළියට බහින්න අවස්ථාවක් නැති වුණත්, හැකි වුණාම උණුසුම් හිරු රශ්මිය විඳින්න මම හරි ආසයි. මම මගේ ඇස් දෙක වහගෙන, කඳුකරයේ තියෙන, කැලෑ මල්වලින් පිරුණු තණ පිට්ටනියක මගේ පවුලේ අයත් එක්ක ප්‍රීතිය භුක්ති විඳින, ලස්සන දර්ශනයක් මනසේ මවාගන්නවා. සිහින් හඬක් පතුරුවමින් ගලාගෙන යන දොළ පාරක් එහෙ තියෙනව; පැණි බේරෙන රසවත් කොමඩු හැමෝටම ඇති වෙන්න තියෙනවා! මට පුළුපුළුවන් වෙලාවට පැමිණෙන්න තියෙන පොරොන්දු වූ භූමික පාරාදීසය ගැන හිතන්න උපකාර වන දේවල් අඳිනවා. අඳින ගමන්, මම එහෙ ඉන්නවා කියලා හිතාගන්නවා. මම දැන් ආශාවෙන් මවාගන්නා ඒ මනසේ ඇඳි රූප සැබෑ කරන්න යෙහෝවාට පුළුවන් බව මම දන්නවා.
මං කැමතියි යාකොබ් 1:12හි ඇති ශුද්ධ ලියවිලි වදන මනසේ තියාගන්න. ඒකෙ මෙහෙම කියනවා: “පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.” පාවුල් තමාගේ අසනීපය ‘තමාට පහර දෙමින් සිටි සාතන්ගේ දූතයෙකුට’ සමාන කළා. මේ අපහසුතාව නැති කරගන්න ඔහු යෙහෝවාට යාච්ඤා කළත්, දේවබලය ඔහුගේ දුර්වලකමේදී ඔහුව සම්පූර්ණ කරන බව ඔහුට කිව්වා. ඉතිං, පාවුල්ගේ දුර්වලකම අබිබවා ඔහුගේ සාර්ථකත්වය, ඔහුට දේවබලය තිබූ බවට සාක්ෂියක් වුණා. පාවුල් මෙහෙම කිව්වා: “මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.” (2 කොරින්ති 12:7-10) මගේ සීමා තුළ මට දැන් කරන්න පුළුවන් පොඩ්ඩ මං කරන්නේ දෙවිගේ බලයෙන් බව මට හිතෙනවා.
මාව ඇත්තටම දිරිගන්නපු සිද්ධියක් යොහන් වාර්තා කරලා තියෙනවා. ඒකෙ තියෙන්නේ, අවුරුදු 38ක් තිස්සේ ලෙඩ ඇඳට සීමා වෙලා හිටපු මිනිහෙක් ගැනයි. එයත් එක්ක තව ලෙඩ්ඩු වතුර පොකුණක් ගාවට ඇවිල්ලා ඒකෙන් නාල සුව වෙන්න බලාගෙන හිටියා. තමාව සුව වෙයි කියලා හිතපු ඒ වතුරට බැහැගන්න බැරුවයි මේ මිනිහා හිටියේ. එක දවසක් යේසුස් ඔහුව දැකල මෙහෙම ඇහුවා: ‘ඔබ සුව වෙන්න කැමතියිද?’ මගේ සතුටු කඳුළු ඒ ප්‍රශ්නයට කොයිතරම් උත්තරයක් වේවිද! “නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.” (යොහන් 5:2-9) ඒ වගේ ඇරයුමක් අහන්න අපි බොහෝදෙනෙක් මහත් ඕනෑකමකින් බලාගෙනයි ඉන්නේ!—ලූරෙටා මාස් පැවසූ පරිදි.
[28වන පිටුවේ පින්තූරය]
මිනිස්සුන්ට ප්‍රේම කරන දරුවෙක් ගැනයි මං හිතුවේ; මේ ඉන්නේ ඇය, සන්තෝෂයෙන් තණ පිට්ටනිය හරහා ඇවිද ඇවිද
[29වන පිටුවේ පින්තූරය]
මං උද්යෝගයකින් ඉන්න වෙලාවක, තමාගේ බල්ලවත් ළඟ තියාගෙන බොරුකකුල්වලින් ඉන්න භයක් හැකක් නැති කොල්ලෙක්ව හිතේ මවාගන්නවා
[30වන පිටුවේ පින්තූර]
ක්ෂේත්‍ර සේවය සඳහා එක් වී දුරකථන අංක ලබාගනිමින්
දුරකථන අංක කරකවමින්