ඔබටම මොටෙයියෝ වගා කරගන්න
හවායිහි පිබිදෙව්! වාර්තාකරු විසිනි
සමහර වෙලාවට, ඔබ ළඟපාත වෙළඳපොළට ගිහිං, නිස්කාරණයේ නොමැලවුණු, අලුත්ම අලුත්, පෝෂ්‍යදායි එළවළු හොයනවාද? එහෙමනං තවදුරටත් එහෙම කරන්න එපා! අඩු කාලයක් සහ වීරියක් යොදා, ඔබේ නිවහනේ නැත්නම් නවාතැනේදීම එළවළු වගා කරගන්න පුළුවන්. ඒ කොහොමද? මොටෙයියන් වගා කිරීමෙන්!
මොටෙයියෝ පවත්වාගෙන යෑම හරිම පහසුයි. පුංචි ළමයෙකුට වුණත් කරන්න පුළුවන්. ඒ සඳහා ඕනෑ කරන්නේ, අඩු ඉඩ ප්‍රමාණයක්. බිම හාරන්න ඕනෙ නැහැ, වල්පැළ උදුරන්න ඕනෙ නැහැ, කියන කියන සංකීර්ණ රසායනික ද්‍රව්‍ය දමන්න ඕනෙත් නැහැ. ඔක්කොටම වඩා හොඳම දේ තමයි, ඒක වැවෙන්න අරගෙන දවස් හතර පහකින් ඔබට කන්න පුළුවන් වෙන එක! අනික ඒකෙ ප්‍රයෝජනය නිකම්ම පහසුවට වඩා වැඩියි.
එකක් තමයි, මොටෙයියෝ—සමහරවිට සාමාන්‍ය බෝංචි නැත්නම් බීජ ඇටවලට පවා වැඩියෙන් පෝෂ්‍යදායකයි. බෝංචි මොටෙයියෝ පොත (ද බීන්ස්ස්ප්‍රෞට් බුක්) ලියූ, ගේ කෝට’ මෙහෙම කියනවා: “බීජ, මොටෙයියෝ දාන්න පටන්ගන්න කොට, ඒවායේ තියෙන විටමින් ප්‍රමාණය වැඩි වෙන්න පටන්ගන්නවා. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයකට අනුව, සෝයාබෝංචිවල (බීජ ග්‍රෑම් 100ක [අවුන්ස 4ක විතර]) මුලින් දැමූ අංකුරවල විටමින් C තිබුණේ මිලිග්‍රෑම් 108ක් විතරයි. එහෙත් පැය 72කට පස්සේ විටමින් C ප්‍රමාණය ඉහළ නැඟල තිබුණා, මිලිග්‍රෑම් 706ක් දක්වා!”
ඒ විතරක් නෙමෙයි, මොටෙයියෝ වවන එක අඩු වියදමින් කළ හැකියි. ඇත්තෙන්ම, ඔබට ඕනෑ කරන උපකරණ සමහරවිට දැනටමත් ඔබ ගාව තියෙනවා ඇති.
සකස් කරගැනීම
මුලින්ම, ඔබට භාජනයක් අවශ්‍යයි. විශාල වීදුරු හෝ ප්ලාස්ටික් ජෝගුවක්, ලෝහ නොවන මුට්ටියක්, වීදුරු හෝ පිඟන් මැටි බඳුනක් නැත්නම් ගැඹුරු දීසියක් වැනි දෙකෙන් එකක් විතරක් තිබුණොත් හොඳටම ඇති. වියළීම වළක්වාගැනීමට තෙතමනය රඳන කඩදාසි තුවායක් හෝ තුනී ගෝස් රෙදි තට්ටු දෙකක් දමා, ඒ අතර බීජ තට්ටුවක් ඇතිරීම සඳහා, නොගැඹුරු දීසියක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ තෝරාගන්න භාජනය මොකක්වුණත්, බීජ මොටෙයියෝ වැඩෙන්නත්, ඉන්පසුව ඒ අවට වාතාශ්‍රය ගැවසෙන්නත් අවශ්‍ය තරම් ඉඩ තියෙන බවට සහතික වන්න. ඇල්ෆැල්ෆා වැනි පුංචි ඇට සඳහා වීදුරු ජෝගුවක් වඩා හොඳ බව මං සොයාගෙන තියෙනවා. එහෙත්, මුං ඇට වැනි වඩාත් විශාල ඇට සඳහා ගැඹුරු දීසියක් නැත්නම් මුට්ටියක් වඩා හොඳයි. එතකොට මොටෙයියෝ කුණුවීමෙන් හෝ ඇඹුල් රසවීමෙන් ආරක්ෂා කරගන්න අවශ්‍ය වැඩිපුර ඉඩ ප්‍රමාණය සැපයෙනවා.
ඔබේ භාජනය සඳහා ආවරණයකුත් ඕනෙ. ඒ සඳහා ප්ලාස්ටික් දැලක්, තුනී ගෝස් රෙදි කෑල්ලක් එහෙම නැත්තං දිග නයිලෝන් මේස් කකුලක් වුණත් වැඩේට සෑහෙනවා. ඒක භාජනයේ කටට තියලා ගැට ගැසීමට ඕනෙ කරන එකම දේ තමයි, හයිය රබර් පටියක් හෝ නූල් කෑල්ලක්. ඇත්තෙන්ම, දවසට දෙවතාවක් පිරිසිදු වතුරෙන් බීජ හෝදන්න ඕන හින්දා වතුරත්, වතුර හින්දවන්න සමහරවිට පෙනේරයකුත් ඕන වෙනවා.
අන්තිමේදී, ඔබට බීජ අවශ්‍යයි. කෑමට ගත හැකි ඕනෑම ඇට වර්ගයක් මොටෙයියෝ දානවා. (කොහොමවුණත්, බෙහෙත් ගහපු ඇට වර්ග පාවිච්චිය මං මඟහරිනවා.) අත්හදා බැලීම සඳහා නවකයෙකුට වඩාත්ම හොඳ ඇට වර්ග තමයි, මුං ඇට හෝ ඇල්ෆැල්ෆා ඇට. ඒවාවල ලේසියෙන්ම මොටෙයියෝ දානවා වගේම හරිම රසයි! දැන්, ඒක කරන්නේ කොහොමද කියල මං කියන්නං.
ඔබගේම මොටෙයියෝ වගා කිරීම
පළවෙනි දවස: සෙන්ටිමීටර 5ක් විතර උසකට බෝංචි හෝ ඇට වැහෙන විදිහට භාජනයට වතුර දාන්න. අඩුම තරමින් පැය 8ක් 10ක්වත් බීජ පෙඟෙන්න හරින්න. නිදාගන්න මොහොතකට කලින් බීජ පෙඟෙන්න දාන්න පුළුවන්. ශීත කාලගුණයකදී, බීජ, ටිකක් රත් කළ වතුරේ දාන්න. පැය 8කින් 10කින්, පොත්ත ලාවට පැළී ඇට පිම්බිලා තියෙයි. මොටෙයියෝ දාන්න දැන් ලෑස්තියි.
දෙවෙනි දවස: උදේට, ආවරණය සුරැකිව තියෙන්න හැරලා, භාජනයෙන් වතුර හළන්න. (වතුරවල විටමින් තියෙන හින්දා සාමාන්‍යයෙන් මං ඒක බොනවා—නැත්නම් ඒ වතුර මගේ පැළවලට දානවා.) දැන්, භාජනය ආයෙත් වතුරෙන් පුරවන්න. වැඩිපුර වතුර ඉවත් වීමට හැකි වන විදිහට කිහිප සැරයක් භාජනය සොලවන්න, උඩු යටිකුරු අතට හරවන්න. සම්පූර්ණයෙන්ම තුන් වතාවක් පිරිසිදු වතුරෙන් බීජ සෝදා වතුර හළා, නැවතනැවතත් භාජනය වතුරෙන් පුරවන්න. ඔබ පෙඟුණු බීජ නොගැඹුරු පිඟානකට මාරු කළා නම්, තුනී ගෝස් රෙදි කෑල්ල මතට හෙමින් සීරුවේ වතුර වත් කර, වතුර ගලා යන විදිහට දීසිය ඇල කරන්න. පසුව, පිරිසිදු වතුරෙන් හෝදන එක නැවතනැවතත් කරන්න; ඒ විදිහට දවසට දෙවතාවක් පිරිසිදු වතුරෙන් හොඳින් සෝදන්න.
තුන්වෙනි දවස: මේ වෙන කොට බීජ, මොටෙයියෝ අදින්න පටන් අරං. දවසට දෙවතාවක් නොකඩවා පිරිසිදු වතුරෙන් හෝදන එක කරගෙන යන්න.
හතරවෙනි දවස: ඔබට පුළුවනි කන්න පටන්ගන්න! මුං ඇට නම්, තිත්ත රසක් එන්නේ නැතුව යන්න තව ටිකක් උසට වැඩෙන්න ඉඩහරින්න පුළුවන්. ඒත් දවසට දෙවතාවක් පිරිසිදු වතුරෙන් සෝදන්න වගබලාගන්න. මොටෙයියන් පැයක් පමණ වේලා අව්වේ තබා ඉන්පසු ශීතකරණයේ තබන්නත් පුළුවන්. ඒකෙ පුංචි පත්‍ර ලස්සන කොළ පැහැයකට හැරෙනවා—දිව පිනවනවා!
සාර්ථක ලෙස ඒවායේ රසය බැලුවාට පස්සෙ, අනිකුත් වර්ගයේ බීජ සහ ඇට වර්ග අත්හදා බලන්න කැමැත්තක් තියෙයි. රසයත් මොටෙයියන් දාන්න යන කාලයත් එකිනෙකට ටිකක් වෙනස්. උදාහරණයකට, පොත්ත ඇරපු සූර්යකාන්ත ඇට සඳහා එසේ කරන්න ඔබ උත්සාහ කළ හැකියි. මේ මොටෙයියෝ කන්න හොඳම කාලය නම්, අඟල් භාගයක් පමණ වැවුණට පස්සේ, ඒ කියන්නේ, දවස් දෙකකට පස්සෙයි. ඒවා ඊට වඩා උසට වැඩුණොත්, තිත්ත රහක් ඇති වෙන්න පුළුවන්.
මොටෙයියෝ කොහොමද කෑමට බෙදන්නේ
බොහෝ මොටෙයියෝ අමු සලාදවලට හෝ, සැන්ඩ්විච්වලට හෝ බෝංචි සහ වෙනත් ඇටවර්ග පිළියෙළ කරද්දී දාන්න පුළුවන්. කෙසේවෙතත්, කෑමට ගන්න කලින්, බෝංචි මොටෙයියෝ, විනාඩි 10ක් 15ක් තම්බා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, සුදු ලූනු සහ ලුණු එක්ක තෙල් චුට්ටක දාලා කූරු ගා බැදගන්නත් පුළුවන්. ඒක හරිම රසවත් කෑමක්! තිරිඟු සහ රෛ ඇට හරිම පැණි රසයි. පාන් සහ රොටි සඳහා හොඳ ආදේශකයක්.
එබැවින් මොටෙයියන් වගාව සෞඛ්‍යසම්පන්න සහ ලාභදායි විනෝදාංශයක්. එසේ කිරීම පොලඹවනසුලු සහ විපාකදායි එකක් බව ඔබ සොයාගනීවි. ඇයි කිව්වොත්, සාර්ථක ප්‍රතිඵල ගැන නිසැක වෙන්න පුළුවන් වගේම, ප්‍රතිඵල රසවත්!—සපයන ලදි.
[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ජපන් අච්චු තහඩු සටහන්
[15වන පිටුවේ පින්තූරය]
පළවෙනි දවසේ: බීජ එකතු කර, පැය අටක් දහයක් වතුරේ පෙඟෙන්න දාන්න
[16වන පිටුවේ පින්තූරය]
දෙවෙනි සහ තුන්වෙනි දවස්වල: දවසට දෙවරක් පිරිසිදු වතුරෙන් හොඳට හෝදන්න
[16වන පිටුවේ පින්තූරය]
හතරවෙනි දවසේ: මොටෙයියෝ කෑමට ලෑස්තියි! (පැත්තෙන් පෙන්වා ඇත්තේ තුනී ගෝස් රෙදි කෑල්ලක් උඩ අතුරා තියෙන විදිහයි)