ඉගෙනීමේ විකලතාවක් සමඟ ජීවත්වීම
හය හැවිරිදි ඩේවිඩ්ගේ දවසේ ප්‍රියතම කොටස තමයි කතන්දර වේලාව. අම්මි ඒ කතන්දර කියවනකොට අහගෙන ඉන්න එයා හරි ආසයි; ඒ විතරක් නෙමෙයි, ඇහෙන දේ මතක තියාගන්නත් එයාට කිසිම කරදරයක් නැහැ. ඒත් ඩේවිඩ්ට ගැටලුවක් තියෙනවා. එයාට තනියෙන් කියවන්න බැහැ. ඇත්තෙන්ම, යමකට පෙනීම සම්බන්ධ දස්කමක් ඕනෙ කරනවා නම්, ඒක එයාව කලකිරීමට පත් කරවනවා.
සාරා ඉන්නෙ ඉස්කෝලෙ තුන්වෙනි වසරෙයි; ඒත් එයාගේ අකුරු හරිම අපිළිවෙළයි. එයාගෙ අකුරු දුර්වල විදිහට සකස් කරලා තියෙනවා විතරක් නෙමෙයි, සමහරක් ඒවා අනිත් පැත්තටයි ලියල තියෙන්නේ. එයාගේ දෙමව්පියන්ගේ වේදනාවට තවත් හේතුවක් එකතු කරමින් එයාට එයාගෙ නම ලියන එකත් කරදරයක්.
නහඹරයෙක් වන ජොෂ් ඉස්කෝලෙදි, ගණිතය හැර ඕනෑම විෂයක් හොඳින් කරනවා. ගණිතමය අගයන් සම්බන්ධ සංකල්පය එයාව සම්පූර්ණයෙන්ම අන්දමන්ද කරවනවා. ඉලක්කං දිහා බැලුවත් ජොෂ්ට කේන්ති යනවා; එයා එයාගෙ ගණං ගෙදර වැඩ කරන්න ඉඳගනිද්දී එයාගෙ ස්වභාවය වේගයෙන් නරක අතට හැරෙන්න පටන්ගන්නවා.
ඩේවිඩ්, සාරා සහ ජොෂ් යන අයට තියෙන ගැටලුව මොකක්ද? කොටින් කියනවා නම්, ඒගොල්ලන් කම්මැළි, හිතුවක්කාර සමහරවිට මන්දබුද්ධික අයද? කොහෙත්ම නැහැ. මේ සෑම ළමයෙක්ම සාමාන්‍යයේ සිට සාමාන්‍යය ඉක්මවූ බුද්ධිය අතර සිටි අය. ඒත් සෑම කෙනෙකුටම ඉගෙනීමේ විකලතාවක් හේතුවෙන් ඉගෙනීමේ ගමන් වේගය ඇහිරිලයි තිබුණේ. කියවීමේ ගැටලු ගණනාවකටම අදාළ යෙදුමක් වන ඩිස්ලෙක්සියා හේතුවෙන් ඩේවිඩ් පීඩා විඳිනවා. සාරාට ලිවීමේදී තියෙන තදබල දුෂ්කරතාව හැඳින්වෙන්නේ, ඩිස්ග්‍රාෆියා කියලයි. ගණිතයේ මූලික සංකල්ප ග්‍රහණය කරගැනීමට ජොෂ්ට තියෙන දුර්වලකම ඩිස්කැල්ක්‍යුලියා නමින් හඳුන්වනවා. මේ ඉගෙනීමේ විකලතා තුනක් විතරයි. තව බොහොමයක් තියෙන අතර, සමහරක් ප්රවීණයන්ගේ තක්සේරුවකට අනුව, එක්සත් ජනපදයේ ළමුන්ගෙන් අඩුම තරමින් සියයට දහයකටවත් ඒවා බලපානවා.
ඉගෙනීමේ විකලතා හඳුනාගැනීම
ඇත්තයි, සමහර වෙලාවට ඉගෙනීම අභියෝගයක් කියලයි ගොඩාක් තරුණ අයට හිතෙන්නේ. කොහොමවුණත්, සාමාන්‍යයෙන් ඒකෙන් ඉගෙනීමේ විකලතාවක් හඟවන්නේ නැහැ. ඒ වෙනුවට, එය සරලව නිරූපණය කරන්නේ, සියලුම ළමයින්ට ඉගෙනීමේ ශක්තීන් සහ දුර්වලකම් තියෙන බවයි. සමහර අයට ප්‍රබල ඇසීමේ කුසලතා තියෙනවා. ඇහුම්කන් දීගෙන සිටීමෙන් තොරතුරු බොහොම හොඳට උරාගන්න ඔවුන්ට පුළුවන්. තවත් සමහරුන් දකින දෙයින් ඉගෙනීමට හුරු වෙලා තියෙනවා. ඒ අය කියවීම තුළින් වඩා හොඳින් ඉගෙනගන්නවා. කොහොමවුණත් ඉස්කෝලෙදි, ළමුන් පංතියකට රොක් වුණාම, ඉගැන්වීමේ ක්‍රමය මොකක් වුණත් සියලුදෙනාම ඉගෙනගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා සමහරුන්ට ඉගෙනීමේ ගැටලු තියෙන එක වළක්වන්න පුළුවන්කමක් නැහැ.
කොහොමවුණත්, සමහර අධිකාරීන් කියන විදිහට, සුළු ඉගෙනීමේ ගැටලු සහ ඉගෙනීමේ විකලතා අතර වෙනසක් තියෙනවා. ඉගෙනීම සම්බන්ධ ගැටලු ඉවසීම සහ වෑයම තුළින් ජයගත හැකි බව කියවෙනවා. ඊට වෙනස්ව, ඉගෙනීමේ විකලතා වඩාත් ගැඹුරට මුල්බැස තියෙන බවද පැහැදිලි කරල තියෙනවා. “ඉගෙනීමේ විකලතාව තියෙන ළමයාගේ මොළය ඇතැම් මානසික අභ්‍යාසයන් වටහාගන්නෙත්, ක්‍රියාවෙහි යොදවන්නෙත් එහෙම නැත්නම් මතක තියාගන්නෙත් දොස් සහිත ආකාරයකින් කියලා පේනවා” යයි වෛද්‍ය පෝල් සහ එස්ත’ වෙන්ඩ’ යන අය පවසනවා.a
කෙසේවෙතත්, ඉගෙනීමේ විකලතාවක්, ළමයෙකු මානසිකව ආබාධිතයයි අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ නැහැ. සංගීත තාරතාවේ ඇති වෙනස හඳුනාගැනීමට බැරි ස්වර අසංවේදී මිනිසුන් පිළිබඳව වෙන්ඩ’ දෙපළ සන්සන්දනයක් සකස් කළා. ඔවුන් මෙහෙම ලිව්වා: “ස්වර අසංවේදී මිනිසුන් මොළයට හානි සිදු වූ අය නොවේ; ඔවුන්ගේ ඇසීමේ කිසි වරදක් නැහැ. ස්වර අසංවේදීභාවය අලසකම නිසා, අඩු ඉගෙනුම නිසා හෝ ඕනෑකමක් නැති නිසාවෙන් සිදු වන්නක් කියා කිසිවෙක් කියන්න යන්නේ නැහැ.” වෙන්ඩ’ දෙපළ කියන විදිහට ඉගෙනීමේ විකලතා තියෙන අයත් ඒ වගේමයි. බොහෝවිට අපහසුතාව යොමු වෙන්නේ ඉගෙනීමේ එක් විශේෂිත අංගයක් වෙතටයි.
ඉගෙනීමේ විකලතා තියෙන ළමුන් බොහෝදෙනෙකු සාමාන්‍යයේ සිට සාමාන්‍යය ඉක්මවූ බුද්ධියක් අතර සිටින්නේ ඇයි කියා මෙය පැහැදිලි කරනවා. ඇත්තවශයෙන්ම, සමහර අය ඉතාමත්ම බුද්ධිමත්. ඉගෙනීමේ විකලතාවක් තියෙනවාදැයි සැක කරන්න වෛද්‍යවරුන්ව බොහෝවිට අවදි කරවන්නේ, මෙම පරස්පරවිරෝධීභාවයයි. වයි ඉස් මයි චයිල්ඩ් හැවිං ට්‍රබල් ඇට් ස්කූල්? (පාසැලේදී මගේ දරුවාට කරදර ඇති වන්නේ ඇයි?) කියන පොත මෙහෙම පැහැදිලි කරනවා: “ඉගෙනීමේ විකලතාවක් ඇති දරුවා ක්‍රියා කරන්නේ, ඔහුගේ වයස සහ ඔහුගේ තක්සේරු කර ඇති බුද්ධි මට්ටමට අනුව බලාපොරොත්තු වෙනවාට වඩා, අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් පිටුපසිනි.” වෙන විදිහකින් කිව්වොත්, ගැටලුව තියෙන්නේ, දරුවාට ඔහුගේ තුල්‍යයන්ගේ මට්ටමට ඉන්න එක ගැටලුවක් කියන එකට වඩා ඔහුගේම හැකියාවන්, ඔහුගේ ඉටු කිරීම් සමඟ සමාන නොවීම තුළයි.
අවශ්‍ය උපකාර සැපයීම
ඉගෙනීමේ විකලතාවක ඇති චිත්තවේගීය බලපෑම නිසා, ගැටලුව තවත් සංකීර්ණ වෙනවා. ඉගෙනීමේ විකලතාවක් ඇත්තෙක් පාසැලේදී දුර්වල විදිහට දේවල් කරන විට ගුරුවරුන්ට, තුල්යයන්ට සමහරවිට දෙමාපියන්ට පවා ඔවුන්ව පෙනෙන්නේ, නිකමො විදිහටයි. කනගාටුදායක ලෙස, මෙවැනි බොහෝ දරුවන් තමුන් ගැන නිෂේධාත්මක මානසික රූපයක් වර්ධනය කරගන්නවා; ඔවුන් වැඩෙද්දී මෙය දිගටම පැවතිය හැකියි. ඉගෙනීමේ විකලතා පහ වී නොයන නිසා මේක සලකා බැලීම ඉතාම වැදගත්.b “ඉගෙනීමේ විකලතා ඇති අය ජීවිතාන්තය දක්වාම විකලතා ඇති අයයි. ලිවීම, කියවීම සහ ගණිතය ආදියේදී බාධා කළ විකලතාම ක්‍රීඩාවේදී සහ අනිත් ක්‍රියාකාරකම්වලදී, පවුල් ජීවිතයේදී සහ මිතුරන් සමඟ කටයුතු කිරීමේදී බලපාන්න යනවා” කියා වෛද්‍ය ලැරි සිල්ව’ ලියනවා.
එමනිසා, ඉගෙනීමේ විකලතා ඇති ඒ ළමුන්ට දෙමාපියන්ගේ සානුකම්පිත සහයෝගය ලැබීම ඉතාමත් වැදගත්. පේරන්ටිං ඒ චයිල්ඩ් විත් ඒ ල’නිං ඩිස’බිලිටි (ඉගෙනීමේ විකලතා ඇති ළමයෙකුව හදා වඩා ගැනීම) කියන පොත මෙහෙම කියනවා: “දෙමාපියන් ප්‍රබල ලෙස තමන්ගේ පක්ෂයේ සිටින බව දන්නා ළමුන්ට යෝග්‍යතාවේ සහ ආත්ම අභිමානයේ හැඟීමක් වර්ධනය කරගන්න පදනමක් තියෙනවා.”
එහෙත්, ඔවුන්ගේ පැත්තේ සිටීම සඳහා දෙමාපියන් මුලින්ම තමන්ගේම හැඟීම් පරීක්ෂා කර බැලිය යුතුයි. කොහොම කොහොම හරි දරුවාගේ තත්වය ගැන තමන්ට වගකියන්න සිදු වෙනවයි කියලා, සමහර දෙමාපියන්ට වරද සහිතබවේ හැඟීමක් ඇති වෙනවා. අනිත් අය තමන් ඉදිරියේ තියෙන අභියෝග ගැන සිතමින් ඒවායෙන් වැසී වට වී කිසිවක් කරකියාගන්න බැරි තත්වයක ඉන්නවා. මේ ප්‍රතික්‍රියා දෙකම උපකාරයක් වෙන්නේ නැහැ. මෙය ගැටලු නිරාකරණය කිරීමෙන් දෙමාපියන්ව හිර කර තබන අතර, දරුවාට අවශ්‍ය කරන උපකාර ලබාගැනීමෙන් ඔහුව වළක්වනවා.
ඉතිං, ඔබේ දරුවාට ඉගෙනීමේ විකලතාවක් තියෙනවා කියලා නිපුණ විශේෂඥයෙක් කිව්වොත්, බලාපොරොත්තු සුන් කරගන්න එපා. ඉගෙනීමේ විකලතා තියෙන ළමුන්ට අවශ්‍ය වෙන්නේ, යම් සුවිශේෂී ඉගෙනීමේ කුසලතාවක් පිළිබඳව අමතර උපකාර විතරක් බව මතක තියාගන්න. ඉගෙනීමේ විකලතා ඇති ළමුන් වෙනුවෙන් ඔබේ ප්‍රදේශයේ තිබිය හැකි ඕනෑම වැඩසටහනක් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න කාලය ගන්න. දැනට වසර ගණනාවකට කලින් තිබුණාට වඩා, බොහෝ පාසැල් එවැනි තත්වයන් සමඟ කටයුතු කිරීමට වඩා හොඳින් සන්නද්ධ වෙලා ඉන්නවා.
කරන්නාවූ ඕනෑම දෙයක්, කොපමණ සුළු දෙයක් වුවත් ඒ වෙනුවෙන් ඔබේ දරුවාට ප්‍රශංසා කරන්න අවශ්‍යයි කියලා විශේෂඥයන් අවධාරණය කරනවා. නොමසුරුව අගය ප්‍රකාශ කරන්න. ඒ අතරම, හික්මවීම අතපසු කරන්න එපා. දරුවන්ට පැහැදිලි ස්වභාවයක් ගන්නා මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඉගෙනීමේ විකලතාවක් තියෙන දරුවන්ට ඊටත් වැඩියෙන් එය අවශ්‍ය කරවනවා. ඔබ ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු වන්නේ මොකක්ද කියලා දරුවාට දැනගන්න සලස්වන්න. එමෙන්ම ඔබ තබන ප්‍රතිපත්තිවලට ඇලී සිටින්න.
අවසානයේදී, ඔබේ තත්වය ගැන යථාර්ථවාදීව සිතන්න ඉගෙනගන්න. පේරන්ටිං ඒ චයිල්ඩ් විත් ඒ ල’නිං ඩිස’බිලිටි (ඉගෙනීමේ විකලතා ඇති ළමයෙකුව හදා වඩා ගැනීම) කියන පොත මේ විදිහට පැහැදිලි කරනවා: “ඔබ ඔබේ ප්‍රියතම භෝජනශාලාවට ගිහිං වහු මස් කට්ලිස් ඉල්ලුවයයි සිතන්න. භෝජනශාලාවේ වේට’ පිඟාන ඔබ ඉදිරියේ තියද්දි ඔබ දකින්නේ, බැදපු බැටළු මස් කෑල්ලක්. මේ දෙවර්ගයම රසවත් වුණත්, ඔබ බලාපොරොත්තු වුණේ, වහු මස් කට්ලිසුයි. බොහෝ දෙමාපියන්ට තමන් සිතන විදිහ වෙනස් කරගන්න සිදු වෙනවා. ඔබ බැටළු මස් කන්න සූදානම්ව ආවේ නැති වුණත්, එය හරිම රසවත් බව ඔබට පෙනී ගියා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හදා වඩා ගනිද්දී තත්වය හරියට ඒ වගේමයි.”
[පාදසටහන්වල]
a සමහර අධ්‍යයනවලින් යෝජනා කරන්නේ ඉගෙනීමේ විකලතාවලට ජානවල යම් අංගයක් බලපාන බවයි; එහෙම නැත්නම්, ඊයම් විෂවීම හෝ ගර්භිණී කාලයේදී මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පාවිච්චිය වැනි පාරිසරික සාධක බලපාන බවයි. කොහොමවුණත්, නිශ්චිත හේතුව හෝ හේතු තවමත් දන්නේ නැහැ.
b ඔවුන්ගේ වර්ධනයේ සමහර අංශ ප්‍රමාද නිසා, සමහර අවස්ථාවලදී, දරුවන් තාවකාලික ඉගෙනීමේ විකලතාවක් පෙන්වනවා. කාලයාගේ ඇවෑමෙන්, එවැනි ළමුන්ගේ රෝග ලක්ෂණ නැති වී යනවා.