ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 4/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අශුද්ධ වතුර
  • බිම් බෝම්බ, උභතෝකෝටික ප්‍රශ්නයක්
  • දරුවන්ට බේරෙන්න මඟක් නැහැ
  • බ්‍රහ්මචර්යාව පිළිබඳ මතභේද
  • අලි අපචාරීන්
  • හැප්පිලත් නොනැවතී ගිය පළමු අභ්‍යවකාශ අනතුර
  • එය මුලින්ම තිබුණේ ස්පොන්ජිවලයි
  • සූදුවේ නියැලෙන්නෝ පරාජය වේ
  • සර්පයන් එකතු කරන මංකොල්ලකරුවන්
  • බිම් බෝම්බ—සිදු වන පාඩුව ගණන් බැලීම
    2000 පිබිදෙව්!
  • යුද්ධය ළමයින්ව වනසා දමන අන්දම
    1997 පිබිදෙව්!
  • ඉස්පන්ජියන් අරුම පුදුම වැඩකාරයෝ
    2006 පිබිදෙව්!
  • අලි ඇත්තු මිතුරෝද නැතහොත් සතුරෝද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 4/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

අශුද්ධ වතුර

අවුරුදු 72ක් වයසැති ස්ත්‍රියකගේ ඇසේ කාචය සැත්කමට භාජන කරන්න ටිකකට කලින්, දරුණු ඇස් රෝගයක් දෙවරක්ම උත්සන්න වූ විට, අය’ලන්තයේ ශල්‍ය වෛද්‍යවරයෙක් ව්‍යාකූල තත්වයකට මුහුණ දුන්නා. මේ රෝගයට හේතුව වුණේ මොකක්ද? ඈ තමාගේ මුහුණට දමාගත් ලූඩ්ස්හි “ශුද්ධ” වතුරයි. “ගැටලුව වන්නේ, ඒ ශුද්ධ වතුර බොහෝවිට අනතුරුදායක බැක්ටීරියාවලින් අපවිත්‍ර වෙලා තිබීමයි” කියා දි අයිරිෂ් ටයිම්ස් පවසනවා. කලින් සැලසුම් කරල තිබුණු විදිහට සැත්කම කළා නම්, ඇසේ ඇති වුණු රෝග තත්වය නිසා මේ ස්ත්‍රිය පහසුවෙන්ම අන්ධ වෙන්න ඉඩ තිබුණා. දි අයිරිෂ් ටයිම්ස් තවදුරටත් මෙසේ පවසනවා: “ආශීර්වාදවලින් විෂ බීජ නසන්නේ නැහැ. සුව කිරීමේ හැකියාවක් තියෙනවා කියල කියන ශුද්ධ වතුර ඉසීමෙන් සමහර අවස්ථාවලදී ජීවිතයට තර්ජනයක් එල්ල කරන ආසාදනයන් ඇති වෙන්න ඉඩ තියෙන්න පුළුවන්.” වාර්තාවේ සඳහන් වෙන විදිහට, ඔබ රෝහල්ගත වෙලා ඉන්න කොට ඔබට “ශුද්ධ” වතුර ඉසින, යහපත් චේතනාවෙන් කටයුතු කරන මිතුරන් හෝ නෑදෑයන් “ඔබේ ජීවිතයට මහත්ම අවදානම” වෙන්න පුළුවන්.

බිම් බෝම්බ, උභතෝකෝටික ප්‍රශ්නයක්

“බිම් බෝම්බ ලෝකයෙන් තුරන් කර දැමීම සඳහා ක්‍රියාත්මක වන ලෝක ව්‍යාප්ත ව්‍යාපාරය තේරුම්ගෙන තිබෙනවා, එහි පරමාර්ථය බිම් බෝම්බ වගේම අත් කරගන්න අමාරු දෙයක් බව” ද වෝල් ස්ට්‍රීට් ජ’නල් සඳහන් කරනවා. “බිම් බෝම්බ ආරක්ෂාකාරිව ඉවත් කර දැමීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් උපකරණ නැහැ.” අද ඉන්න සොල්දාදුවන් පාවිච්චි කරන්නේ, ඔවුන්ගේ සීයලා IIවන ලෝක යුද්ධයේදී පාවිච්චි කළ උපකරණමයි. එය හොඳින් පහුරු ගා බැලිය හැකි, පොල්ලක හැඩැති ලෝහ අනාවරකයක්. අලුත්ම වර්ගයේ බිම් බෝම්බ හුඟක් ඒවා ප්ලාස්ටික්වලින් හදලා තියෙන නිසාත්, පුපුරණ ද්‍රව්‍ය සමඟ ඒවා වළලා තියෙන නිසාත්, වැරදි අනතුරු ඇඟවීමේ සංඥාවන් නිකුත් කරන අනිත් සුන්බුන් නිසාත් අද තියෙන බිම් බෝම්බ සොයාගැනීම හුඟක් අමාරුයි. යම් ද්‍රව්‍යයක් ලෝහ අනාවරකයට දැනුණු විට, ෆයිබ’ග්ලාස්වලින් සාදා තියෙන පොල්ල පරෙස්සමින් ඇලේට පසට තද කරනවා. මේකෙන් බලාපොරොත්තු වන්නේ බිම් බෝම්බයේ පැත්තකට තට්ටු කර, එය සොයාගැනීමයි. බිම් බෝම්බය ඇල කර වළලා තිබිලා එකේ මුදුනට ෆයිබ’ග්ලාස් පොල්ල වැදුණෝතින්, පරීක්ෂා කළ පුද්ගලයාගේ මුහුණ ඉදිරියේම ඒක පුපුරනවා. බොහෝවිට බිම් බෝම්බයකට රුපියල් 275ක් වියදම් වුණත්, ඒවා ඉවත් කරන්න එකකට රුපියල් 55,000කට වැඩියෙන් වැය වෙනවා. සෑම අවුරුද්දකම බිම් බෝම්බ මිලියන 1.5ක් හා මිලියන 2ක් අතර සංඛ්‍යාවක් වළලන අතර, දරුවන් බොහෝදෙනෙක් ඇතුළු 25,000කට වැඩි පිරිසක් අබ්බගාතයන් බවට පත් වෙනවා, එහෙම නැත්තම් මැරෙනවා.

දරුවන්ට බේරෙන්න මඟක් නැහැ

“සටනක් විශාල යුද්ධයක් වෙද්දි, සාමාන්‍යයෙන් දරුවන් ඔවුන්ගේ වැඩිහිටියන්ගේ ආරවුල්වල ගොදුරු බවට පත් වෙන්න පටන්ගත්තා: බෝම්බ හා මිසයිල මිනිසුන්ව ඝාතනය කරන කොට වයස් සීමාවක් බලන්නේ නැහැ” කියා දි ඉකොනොමිස්ට් සඳහන් කරනවා. “මේ දවස්වල හුඟක් තැන්වල දකින්න තියෙන සිවිල් යුද්ධ, බොහෝවිට මුළු රටටම බලපානවා. සමහර රටවල තිබෙන සහනාධාර සපයන ආයතනවලට දැන් හැකි තාක් වැඩි අවධානයක් දෙන්න සිදු වෙලා තියෙන්නේ, ළමා හමුදා භටයන්ව හමුදාවලින් ඉවත් කරගනිමින් ඔවුන්ට මූලික ආහාර ද්‍රව්‍ය සැපයීම කෙරෙහියි. ඔවුන් යන සෑම තැනකම ඔවුන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් වන්නේ, සරණාගතයන්, තුවාල ලබා සිටින්නන් හා මරණයට පත් වෙලා ඉන්න අය අතර දරුවන් සිටීමයි.” දරුවන්ට ආදරෙයි කියා හැම කෙනෙක්ම කියා සිටියත්, වෙන කවරදාටවත් වඩා වැඩියෙන් දුක් විඳින්නේ දරුවනුයි. පසුගිය වසරේදී යුද්ධය හේතුවෙන් වයස අවුරුදු 18ට අඩු දරුවන් මිලියන 24ක් අවතැන් වී සිටින බවත්, පසුගිය වසර දහය ඇතුළත මිලියන 2ක් පමණ දරුවන්ව මරා දමා තිබෙන බවත් සහනාධාර සපයන ආයතන තක්සේරු කරනවා. ඊට අමතරව, තවත් මිලියන හතරේ සිට පහ දක්වා ප්‍රමාණයක් ආබාධිතයන් බවට පත් වෙලා. “එයින් සිදු වන මානසික බලපෑම හරියටම තීරණය කරන්න බැහැ” කියා දි ඉකොනොමිස්ට් කියනවා.

බ්‍රහ්මචර්යාව පිළිබඳ මතභේද

ඊඑන්අයි බුලටින් ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව, “පූජකයන් සඳහා බ්‍රහ්මචර්යාව බල කර ඉල්ලා සිටීම නිසා, සුදුසුකම් ලත් පූජකයන් විශාල ප්‍රමාණයක් රෝමානු කතෝලික පල්ලියට අහිමි වෙමින් තියෙනවා.” ලොව පුරා සිටින කතෝලික පූජකයන් 1,00,000ක් පූජක පදවියෙන් ඉවත් වී, බ්‍රහ්මචර්යාව අයින් කර දමා තියෙනවා කියා බ්‍රසීලියාහි පැවැත්වූ විවාහක පූජකයන්ගේ සිව්වන ජාත්‍යන්තර සම්මේලනයේදී ප්‍රකාශ වූ බව වාර්තා වුණා. කලින් පූජකයෙක්ව සිට, දැන් බ්‍රසීලියාහි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වන ෂොෂේ පොන්සියානූ රිබේරු කියන විදිහට, සෑම පූජකයන් 5දෙනෙකුගෙන් 1කෙනෙක්ම විවාහ වීම සඳහා පූජකත්වය අත්හැර තියෙනවා. බ්‍රසීලයේ විතරක් විවාහ වූ පූජකයන් 3,500ක් ඉන්නවා. රිබේරු මෙහෙම කිව්වා: “බ්‍රහ්මචර්යාව ස්ථාපිත කර තියෙන්නේ, පල්ලිය සහ පූජකයන්ගේ උරුමකරුවන් අතර ගැටලු වළක්වන්න මිසක්, ලිංගික සබඳතා නොපවත්වන අය මගින් දේවවචනය වඩා හොඳින් ව්‍යාප්ත කරවන්න පුළුවන් නිසා නොවෙයි.”

අලි අපචාරීන්

“සමාජයේ වගකිව යුතු සාමාජිකයන් හැටියට ඇති දැඩි වෙන්න නම්, දරුවන්ට වගේ අලි පැටවුන්ටද හික්මවීම අවශ්‍යයි” කියා නියූ සයන්ටිස්ට්හි සඳහන් වෙනවා. “දකුණු අප්‍රිකාවේ පිලාන්ස්බ’ග් වන ජීවි සංරක්ෂණ ප්‍රදේශයේ වාසය කරන අනාථ ඇතුන් අපචාරීන් බවට පත් වෙලා තියෙන්නේ, වැඩිමල් අලීන් උන්ට කවදාවත් හික්මවීමක් දී නැති නිසයි කියා වන ජීව විද්‍යාඥයෝ කියනවා.” දරුණු අලීන් මිනිසුන්ට පහර දීලා තියෙනවා; පසුගිය අවුරුදු තුන ඇතුළත සුදු රයිනෝසිරස් 19දෙනෙකුට දළවලින් ඇන මරා දමා තියෙනවා; රයිනෝසිරස් එක්ක සංසර්ගයේ යෙදෙන්න පවා උත්සාහ කරලා තියෙනවා. සංචාරක කණ්ඩායමකට පහර දුන්නාට පස්සේ අපරාධ සිදු කරන අලියෙකුට වෙඩි තියන්න යැව්ව දක්ෂ දඩයම්කරුවෙක් ඇතුළු මිනිස්සු දෙන්නෙක්ව මරා දැමුවා. මේ සෑම අවස්ථාවකදීම අපචාරි සතා හිටියේ, අලි ගහනයේ ප්‍රමාණය පාලනය කිරීම සඳහා උන්ගේ රංචුවේ ප්‍රමාණය අඩු කළාට පස්සේ, කුරූගර් ජාතික වනෝද්‍යානයේ සිට සංරක්ෂිත ප්‍රදේශයට ගෙනා ඇත් පැටවුන් රංචුවකයි. මේ අලින් මත වරද පටවන්න හේතු ගණනාවක් තිබුණත්, විද්‍යාඥයන්ට හැඟෙන්නේ, අලින්ගේ පවුල්වල සාමාන්‍ය ජීවන රටාවේ ප්‍රධාන අංග ලක්ෂණයක් වන වැඩිමල් සතුන් විසින් කරන හික්මවීම සහ ඇති දැඩි කිරීම සිදු නොවීම, උන්ගේ නොහික්මුණු හැසිරීමට යම් ප්‍රමාණයකට හෝ වගකිව යුතු බවයි. ඇත් පැටවුන්ට “අවශ්‍ය දැඩි දෙමාපිය හික්මවීම ලබා දීම දිගටම කරගෙන යෑමට” හැකි වෙන විදිහට අලින්ව සම්පූර්ණ පවුල් පිටින් පමණක් ඉවත් කරන්න යනවා කියා ඒ ලිපියේ පවසනවා.

හැප්පිලත් නොනැවතී ගිය පළමු අභ්‍යවකාශ අනතුර

හැප්පිලත් නොනැවතී ගිය පළමු අභ්‍යවකාශ අනතුර පෘථිවියට කිලෝමීටර් 700ක් ඉහළින් සිදු වූ බව නියූ සයන්ටිස්ට් වාර්තා කරනවා. සමාන උසකින් පැයට කිලෝමීටර් 50,000ක වේගයෙන් ගමන් කරමින් තිබූ ඒරියන් රොකට්ටුවේ අවුරුදු දහයක් පැරණි ඝන කැබැල්ලක වැදීමෙන් පසු, සිරේෂ් ප්‍රංශ චන්ද්‍රිකාව රඳවා තිබූ ආධාරකය වාෂ්ප වෙද්දී, එය පාලනය කරගන්න බැරි වේගයකින් කඩා වැටුණා. පෘථිවි කක්ෂයට සුන්බුන් ටිකෙන් ටික එක්රැස් වෙන නිසා, ඒ වගේ ගැටීම් වාර්ෂිකව වැඩි වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. දැනටමත්, අභ්‍යවකාශ සුන්බුන් හැටියට හඳුනාගෙන තිබෙන කැබලි 20,000කට වැඩියෙන් පෘථිවිය වටා වේගයෙන් ගමන් කරමින් තියෙනවා. වායුගෝලයේ තිබෙන වායුන් ප්‍රසාරණය වීම වැනි ස්වාභාවික ක්‍රියාවලියන් මගින් බොහෝවිට පෘථිවියට ආසන්නයේ තියෙන සුන්බුන් ඉවත් වුවත් ඉහළ කක්ෂවල තියෙන සුන්බුන් වසර දහස් ගණනක් එහිම තියෙන්න පුළුවන්. මේවා අනිකුත් සුන්බුන් කැබලි සමඟ ගැටුණු විට, ඒවා කුඩා කෑලිවලට වෙන් වෙනවා; ඒ කෑලි ගගනගාමීන්ගේ ඇඳුම් කට්ටලය හෝ අභ්‍යවකාශ යානයේ ආරක්ෂාව සඳහා ආවරණය කර තියෙන ලෝහ තහඩුව පසාරු කරගෙන යන්න පුළුවන්. තීන්ත බින්දුවකින් පවා අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. මේ වෙන කොට, දැනට ක්‍රියාත්මක වන හැම චන්ද්‍රිකාවකටම පාවිච්චි නොකරන චන්ද්‍රිකාවන් 4ක් ඇති අතර, හඳුනාගෙන තියෙන අභ්‍යවකාශ සුන්බුන්වලින් හතරෙන් එකකට වගකිව යුත්තේ ශක්තිය හීන වී යෑමෙන් පුපුරා ගොස් තියෙන රොකට්ටුයි.

එය මුලින්ම තිබුණේ ස්පොන්ජිවලයි

“මිනිසුන්ගේ දක්ෂ අදහස්වලින් බොහොමයක් සොබාදහමේ පැරණි කුසලතා බව සොයාගෙන තිබෙනවා” කියා ද වොෂින්ටන් පෝස්ට් සඳහන් කරනවා. “උදාහරණයක් හැටියට තන්තු ප්‍රකාශ සලකා බලන්න. ආලෝකය ලබාගෙන එය වංගු ඔස්සේ ගෙන යන වීදුරු හා සමාන තන්තු විද්‍යාඥයන් 1951දී සොයාගෙන තියෙනවා. හැබැයි අනන්ත කාලයක සිට ඇන්ටාක්ටිකාවේ පිහිටි රෝස් මුහුදේ ගැඹුරු ජලයේ ඒ හා සමාන දෙයක් සිදු වෙමින් තිබුණා.” අඩි 100ක් දක්වා ගැඹුරු ජලයේ තිබෙන අතිවිශාල ස්පොන්ජිවල ඇලී තියෙන තන්තු ශුලිකා, අංශක 90කට පවා නැමී ආලෝකය උරාගෙන ස්පොන්ජිවල කඳේ මැද හරියේ ජීවත් වෙන ඇල්ජීවලට ප්‍රභාසංස්ලේෂණය කිරීම සඳහා ඒ ආලෝකය නිකුත් කරන්න පුළුවන්. ස්පොන්ජියේ පැතිවල තිබෙන ශුලිකාවන්ට ඇල්ජීවලට අවශ්‍ය ආලෝකය සැපයීමේ හැකියාවද තිබෙන බව අඟවමින්, ඇලයට වැටෙන ආලෝකයත් එක්රැස් කරගන්නා බව පරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා.

සූදුවේ නියැලෙන්නෝ පරාජය වේ

“කැසිනෝ සාදා තිබෙන්නේ කිසිම ආකාරයකින් ඒවායේ අයිතිකරුවන් පරාජය නොවෙන විදිහටයි” කියා බ්‍රසීලියානු ආර්ථික විද්‍යාඥයෙක් වන රීකාඩූ ගේසෙල් පවසනවා. “යමෙක් සූදුවෙන් මුදල් ලබාගනී කියන එකට තියෙන්නේ ඉතාමත් අඩු සම්භාවිතාවක්.” කැසිනෝ පාවිච්චි කිරීම එතරම් අපහසු නොවීම නිසා, සූදුවට ඇබ්බැහිවන්නන් වැඩි වැඩියෙන් බිහි වෙන්න ඉඩ කඩ ඇති බවට අනතුරු අඟවමින් ගේසෙල් තවදුරටත් මෙහෙම කියනවා: “එතරම් උත්සාහයක් දරන්නේ නැතුව මුදල් ඉපයීම හා සම්බන්ධ රැවටිලිකාර බලාපොරොත්තුව තියෙනවා. වාසනාවේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් හැටියට, තමන්ට ඉක්මනින් පොහොසත් වීමට තියෙන ඉඩ කඩ ගැන මිනිස්සු සිහින මවනවා.” පල්ලියට හෝ ආණ්ඩුවට විවේචනය කිරීම සඳහා පදනමක් නැති එක ගැන ඔහු කියන දෙය, වේෂා මේ විදිහට උපුටා දක්වනවා: “රටේ තියෙන විශාලතම සූදු ආයතනය ආණ්ඩුවයි. ෆෙඩරල් ආණ්ඩුව මගින් පවත්වාගෙන යන වෙනස් වර්ගවල ලොතරැයි හයක් තියෙනවා; හැබැයි ප්‍රාන්ත මගින් පවත්වාගෙන යන ලොතරැයි මෙයට ඇතුළත් නැහැ. මීසමට මුදල් එකතු කරගැනීම සඳහා, පල්ලියේ සාමාජිකයන් මුදල් ඔට්ටු ඇල්ලීමෙන් පරාජය වන කුඩා වෙළෙඳ කුටි පිහිටා තිබෙන වෙළෙඳපොළවල සූදුවේ නියැලීමේ පුරුද්දට පල්ලිය අනුබල දෙන නිසා, සූදුව නීත්‍යානුකූල කිරීම විවේචනය කරන්න පල්ලියට බැහැ.” ගේසෙල් කියන විදිහට, ‘විශේෂඥයන් පවසන්නේ, සූදුවේ නියැලීමේ පුරුද්ද අත්හැරීම සඳහා උපකාරය පතන්නේ නැති අය සිරගත වීම, සිය දිවි හානි කරගැනීම හෝ මානසික ආබාධිතයන් බවට පත්වීම වැනි අවදානම්වලින් කෙළවර වෙන බවයි.’

සර්පයන් එකතු කරන මංකොල්ලකරුවන්

මනගුවාට දකුණින් කිලෝමීටර් 50ක් ඈතින් පිහිටි නිකරගුවාවේ නගරයක් වන ඩ්‍රීම්භාහි වෙසෙන අයව විසකුරු සර්පයන් යොදාගනිමින් සොරු විසින් ගොදුරු කරගනිමින් සිටිනවා. එල් නුඒවො දියෙර්යො නමැති පුවත්පතේ වාර්තා වූ විදිහට, මේ සොරු කණ්ඩායම ළඟපාත කුඹුරුවලින් විසකුරු සර්පයන් එකතු කරගෙන, උන්ගේ විෂ ඉවත් කර, පසුව නගරයෙන් පිට පිහිටි මාවත්වල මිනිස්සු ගමන් යන එන කොට සර්පයන් ඔවුන්ට දෂ්ට කරන්න සලස්වා, තර්ජනය කිරීමෙන් ඔවුන් සතු දේවල් සොරකම් කරගන්නවා. සර්පයෙක්ගේ දළ දැක කලන්තේ දාල වැටුණු ගැහැනු ළමයෙක් නැවත සිහිය ආවට පස්සෙයි දැනගත්තේ ඇගේ රන් මාල සොරකම් කරගෙන තිබුණා කියලා. මේ සොරු කණ්ඩායම ගැමියන්ගේ ආහාර ද්‍රව්‍ය හා මුදල්ද සොරකම් කරගෙන තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න