ප්‍රසිද්ධ උද්‍යාන කීපයක් දෙස බැල්මක්
පාරාදීසය පිළිබඳ මනුෂ්‍ය අද්දැකීම පටන්ගත්තේ ඒදන් කියා හඳුන්වන ප්‍රදේශයක තිබූ උද්‍යානයකයි. බාගවේලාවට නවීන දින තුර්කියේ වෑන් විල අසල එය තිබෙන්න ඇති. ආදම් සහ ඒවට උද්‍යානය “වවන්ටත් බලාගන්ටත්” හැකි කරවමින් ගංගා හතරකට බෙදී ගිය ගඟක් ජලය සැපයුවා. බහුලව තිබෙන “දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්” ඇති උද්‍යානයක් රැකබලා ගන්න ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!—උත්පත්ති 2:8-15.
ඒදන් පරිපූර්ණ නිවසක්ව තිබුණා. ආදම්, ඒව සහ ඔවුන්ගේ ජනිතයන්ට එහි සීමා පුළුල් කරන්න තිබුණේ දෙවිගේ විශිෂ්ට මුල් සැලැස්ම තමන්ගේ ආකෘතිය වශයෙන් යොදාගෙන බවට කිසිම සැකයක් නෑ. කල්යත්ම, මුළු පොළොවම සැපපහසුව ඇතුව ජනයාගෙන් පිරි පාරාදීසයක් බවට පත් වෙන්නයි තිබුණේ. නමුත් අපේ මුල් දෙමාපියන් හිතා මතාම අකීකරු වූ නිසා ඔවුන්ව මේ අභයභූමියෙන් පිටමං කළා. මනුෂ්‍ය පවුලේ අනිත් හැමෝම ඒදන්හි මේ නිවසෙන් පිටත උපත ලැබීම කනගාටුවට කරුණක්.
කොහොමනමුත්, මැවුම්කරු මනුෂ්‍යවර්ගයාව නිර්මාණය කර තිබෙන්නේ පාරාදීසයක ජීවත් වෙන්නයි. මේ හේතුවෙන් අනාගත පරම්පරාවල් එවැන්නක් අනුකරණය කරමින් තමන්ගේ වටාපිටාව ගොඩනඟාගන්න වෑයම් කරන එක ස්වභාවික දෙයක්ව තිබුණා.
ආදි උද්‍යාන
බබිලෝනියේ එල්ලෙන උයන් ඉපැරණි ලෝකයේ පුදුමවලින් එකක් හැටියට ප්‍රසිද්ධිය ලබාගෙන තිබෙනවා. නෙබුකද්නෙශර් රජු අවුරුදු 2,500කට ඉස්සෙල්ලා ඒවා සෑදුවේ ඔහුගේ මේදීය භාර්යාවට ඇගේ නිජබිමේ තිබූ වනාන්තර හා කඳු සඳහා තිබුණු මහත් ආශාව නිසයි. මීටර් 22ක් උස ආරුක්කු හැඩැති කණු මත පඩි පෙළක ආකාරයෙන් තනා තිබෙන මෙම උයන්වල බහුල ලෙස වගා කර තිබෙන අතර, ලොකු ගස් පවා වැඩෙන්න ප්‍රමාණවත් පස් එහි අඩංගුයි. ගෙදර මතක් වීමෙන් දුක් වෙන බිසව ඒදන් බඳු මේ ප්‍රදේශයේ සක්මන් කරද්දී සැනසිල්ලක් ලබන්න ඇති.
ඊජිප්තුවේ සාරවත් නයිල් මිටියාවත, භූ දර්ශනය අලංකාරවත් කරන ආකාරයකින් සකස් කර තිබීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධව තිබුණා. “ලෝකයේ උයන්වල පැරණිම පින්තූරවලට මූලාශ්‍රයක් වන ඊජිප්තුව, දිගු කාලයක් පුරා . . . සම්ප්‍රදායානුකූල වතුවගාවක් පිහිටි ස්ථානයක්” කියා දි ඔක්ස්ෆ’ඩ් කම්පෑනියන් ටු ගා’ඩ්න්ස් පවසනවා. පොදු යුගයට පෙර 1400දී පමණ, තීබ්ස්හි ඊජිප්තු නිලධාරියෙකුට අයිතිව තිබූ උද්‍යානයක භූ දර්ශන සැලැස්මක පොකුණු, දෙපස ගස්වලින් පිරි මාවත් මෙන්ම මණ්ඩප තිබුණ බව දක්වයි. ඉතා අත්යලංකාරව තිබුණේ රාජකීය උද්‍යානවලට යාබදව පිහිටි මාළිගා උද්‍යානයි. ඒවාවල බහුලව වැඩුණු ගස්වලට, මල්වලට මෙන්ම පැළෑටිවලට ජලය සැපයුවේ දිය කුරුල්ලෝ, මාළු සහ නෙළුම් මල්වලින් ගහන පොකුණු හා විල්වලින් කැණූ ඇළ මාර්ගවලිනුයි.—නික්මයාම 7:19, සසඳන්න.
ලෝකයේ උද්‍යාන සම්බන්ධයෙන් ප’සියානු ජාතිකයන්ද ඉහළ තැනක් ලබාගෙන තිබෙනවා. ප’සියාවේ සහ ඊජිප්තුවේ උද්‍යාන කොයි තරම් සිත් අලවනවාද කිව්වොත්, පො.යු.පෙ. හතරවන ශතවර්ෂයේ මහා ඇලෙක්සැන්ඩර්ගේ විජයග්‍රාහී හමුදා යළි පැමිණෙද්දී බීජ, පැළ සහ සැලසුම් ක්‍රම සම්භාරයක් ගෙනාවා. ඇතන්ස්හි, ඇරිස්ටෝටල් සහ ඔහුගේ ශිෂ්‍යයා වන තියොපරුස්ටොස් නොයෙක් පැළ එකතු කරගෙන, අධ්‍යයනය කරන්නත්, පැළ වර්ග කරන්නත් උද්භිද උද්‍යානයක් පිහිටෙවුවා. තමන්ට කලින් සිටි ඊජිප්තුවරුන් හා ප’සියානුවන් මෙන් ධනවත් ග්‍රීක් ජාතිකයන් බොහෝදෙනෙක්ට ඉතා විශාල උද්‍යාන තිබුණා.
රෝම නාගරිකයන් නගරයේ සීමිත ඉඩ කඩෙහි නිවස හා උද්‍යානය ලස්සන විදිහකට සාදාගත්තා. ධනවතුන් ඔවුන්ගේ ගම්බද බංගලාවල කිසිවකින් අඩුවක් නැති, දර්ශනීය සතුටු උද්‍යානයන් සාදාගත්තා. කෲර නීරෝට පවා තමන්ගේම ඒදනයක් උවමනා වුණ නිසා, ඔහු හිතක් පපුවක් නැති විදිහට පවුල් සියගණනක් පන්නා දමා, ඔවුන්ගේ ගෙවල් කුඩු කර, තම මාළිගාව වටා හෙක්ටෙයාර් 50කට වැඩි පෞද්ගලික උද්‍යානයක් බිහි කළා. පසුව, පො.යු. 138දී පමණ, ටිවොලිහි හේඩ්රියන් අධිරාජයාගේ වත්තේ රෝමානු භූ දර්ශනය එහි ඉහළම හිනි පෙත්තට පැමිණුණා. උද්‍යාන, තටාක, වැව් සහ දියඇලි පිරි හෙක්ටෙයාර් 243ක් තිබුණා.
පැරණි ඉශ්රායෙලිතයන්ටත් උද්‍යාන හා මල්වතු තිබුණා. යෙරුසලමේ ඉඳලා කිලෝමීටර් 13-16ක් විතර දුරින්, ඇළ දොළවලින් ගහන, ඊටම් නම් ස්ථානයක තිබෙන අලංකාර මල්වතු ගැන යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් ලියයි. සාලමොන් ‘තමන්ටම සාදාගත්තා’ කියා බයිබලයේ පවසන ‘උද්‍යාන, මල්වතු, තටාක සහ කැලෑවල්’ අතර ඊටම්වල මල්වතුත් තිබෙන්න ඇති. (දේශනාකාරයා 2:5, 6) යේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රසිද්ධියට පත් කළ ගෙත්සෙමන උයන තිබුණේ යෙරුසලමෙන් පිට ඔලීව කන්දෙයි. මෙය, නිස්කලංකව තම ගෝලයන්ට උගන්වන්න පුළුවන් වුණ ආරක්ෂා සහිත ස්ථානයක් බව යේසුට පෙනී ගියා.—මතෙව් 26:36; යොහන් 18:1, 2.
අරාබි උද්‍යානවල සිට ඉංග්‍රීසි උද්‍යාන දක්වා
පොදු යුගයේ හත්වන ශතවර්ෂයේදී අරාබි හමුදා නැඟෙනහිර සහ බටහිර වෙත පැතිර ගිය විට, ඇලෙක්සැන්ඩ’ මෙන්, ඔවුන් ප’සියානු උද්‍යානවලට පැමිණුණා. (එස්තර් 1:5, සසඳන්න.) “ප’සියානු උද්‍යාන, ඇදහිලිවන්තයන්ට කුරානයේ පොරොන්දු කර තිබෙන පාරාදීසයට හුඟක්ම සමාන බව අරාබිවරුන්ට පෙනී ගියා” යයි හොව’ඩ් ලොක්ස්ටන් ලියයි. ප’සියානු ආකෘතියට සමානව, අරාබි හා උතුරු අප්‍රිකානු වැසියන් වෙසෙන ස්පාඤ්ඤයේ සිට කාෂ්මීරය දක්වා විහිදී ගිය නියම අරාබි උද්‍යානය, දිය කඩිත්තකදී හෝ උල්පතකදී එකතු වන ගංගා හතරකින් කොටස් හතරකට බෙදී තිබුණා; මෙය ඒදන්හි ගංගා හතර මතකයට නංවනවා.
උතුරු ඉන්දියාවේ, කාෂ්මීරයේ අලංකාර මිටියාවතේ ඩාල් විල අසල, 17වන ශතවර්ෂයේ මෝගල් පාලකයෝ පාරාදීසමය උද්‍යාන 700කට වඩා පිහිටෙව්වා. උල්පත්, වැටි හා ඇලිවලින් වෙන් වූ මේවා සකස් වෙලා තියෙන්නේ දීප්තිමත් වර්ණ රැසකිනුයි. ෂා ජහාන් (ටජ් මහලේ සැදුම්කරු) විසින් ඩාල් විලේ තැනූ, කළු මාබල් ඇල්ලූ මණ්ඩපයේ තාමත් මේ ශිලාලේඛනය දකින්න තිබෙනවා: “භූමිය මතුපිට පාරාදීසයක් තිබෙනවා නම්, ඒක තියෙන්නේ මෙහේ, ඒක තියෙන්නේ මෙහේ, ඒක තියෙන්නේ මෙහේ.”
ඊට ශතවර්ෂ කීපයකට කලින්, යුරෝපය මධ්‍යතන යුගයේ සිට 14වන ශතවර්ෂයේ පුනර්ජීවය තුළට පා තබා තිබුණා. පොදු යුගයේ පස්වන ශතවර්ෂයේදී මධ්‍යතන යුගයෙහි ආරම්භයත් සමඟම යටපත් කර දැමූ උද්‍යාන සෑදීමේ රෝම සම්ප්රදාය යළිත් වරක් මල්ඵල ගැන්වෙන්න පටන්ගත්තා—මෙවර පල්ලියේ පාලනය යටතෙයි. ක්‍රිස්තියානි ලෝකය දැක්කේ උද්‍යානය ‘තාවකාලික පාරාදීසයක්’ විදිහටයි. ආරාමයක් පිළිබඳ නවවන-ශතවර්ෂයේ සැලැස්මක් “පාරාදීසය” වශයෙන් නම් කළ උද්‍යාන දෙකක් පෙන්නුම් කරයි. ක්‍රිස්තියානි ලෝකයේ උද්‍යාන වැඩි කල් නොගොස් වඩා විශාල මෙන්ම වඩා ශ්‍රේෂ්ඨ වූ නමුත් ආත්මික ස්වරූපයන් පිළිබිඹු කරනවා වෙනුවට, වැඩි හරියක් බලයේ හා ධනයේ සංකේත බවට පත් වුණා.
ප්‍රංශයේ VIIIවන චාල්ස් 1495දී ඉතාලියේ නේපල්ස් අල්ලාගත් අවස්ථාවේ, ඔහු නිවසට මෙසේ ලියා යැව්වා: “මේ නගරයේ මට තියෙන ලස්සන උද්‍යාන ගැන ඇහැව්වොත් ඕගොල්ලෝ විශ්වාස කරන එකක්වත් නෑ. . . . පොළොවේ පාරාදීසයක් හදන්න ආදම් සහ ඒව විතරයි අඩුවකට තියෙන්නේ.” ඒත් චාල්ස්ට 17වන ශතවර්ෂයේ ජීවත් වෙන්න ලැබුණා නම්, ඔහුට XIVවන ලුවී රජුගේ ප්‍රංශ බිම දකින්න තිබුණා. “ලෝකයේ විශාලතම මෙන්ම ශ්‍රේෂ්ඨම ඒවා කියා පවසන්න” ව’සෙල්ස්හි මාළිගාවේ උද්‍යානවලට “හැකි” බව ද ගා’ඩ්න් (උද්‍යානය) පොත ප්‍රකාශ කරයි.
කොහොම වුණත්, පුනර්ජීවයට පාරාදීසය ගැන නව නිර්වචනය කිරීමක් තිබෙනවා: උද්‍යානයේ අපිළිවෙළකින් යුත් තත්වය ඉවත් කිරීමේ ක්‍රමයක් ඇති කරන, ඥානාවබෝධය ලබාගත් මනුෂ්‍යයාට ස්වභාවධර්මයා යටත් විය යුතුයි. ගස් මෙන්ම මල් යන සියල්ල පිහිටුවා තිබුණේ ඉතාම නිවැරදි ජ්‍යාමිතික වින්‍යාසයකට අනුවයි. ඒ නිසා රෝමයේ ප්‍රථම කප්පාදු කිරීම—එනම් ගස් හා පඳුරු යම් හැඩයකට කැපීම සහ යම් ක්‍රමයකට වැඩීමට සැලැස්වීම—අතිවිශාල පුනරුත්ථාපනයක් අද්දැක්කා.
ඉන්පසු, 18 හා 19වන ශතවර්ෂවල, මුහුදුකරය පිරික්සා බැලීමත්, කර්මාන්තයත් බටහිර ලෝකයට අලුත් පැළ වර්ග හා උද්‍යාන බිහි කිරීමේ සංකල්ප හෙළි කළා. උද්‍යාන නිර්මාණය කිරීමට එංගලන්තය මුල් තැනක් දුන්නා. “දහඅටවන ශතවර්ෂයේදී, මනුෂ්‍යයා තමා කොටසක්ව සිටි ස්වාභාවික ලෝකය පිළිබඳව වැඩි වැඩියෙන් තේරුම්ගන්න පටන්ගත්තා. ස්වාභාවික ලෝකය කෙරෙහි මනුෂ්‍යයා, තමා සෑදූ ජ්‍යාමිතික වින්‍යාසයක් පිහිටුවනවා වෙනුවට, ඔහු තමාගේම ජීවිතය ඊට අනුකූලව සකස් කිරීම ගැන සලකා බලන්න පටන්ගත්තා” කියා ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා පවසනවා. විලියම් කෙන්ට් සහ ලාන්ස්ලට් බ්‍රවුන් වැනි මනුෂ්‍යයන් භූ දර්ශනය සැකසීම අතින් විශිෂ්ටව සිටියා. බ්‍රවුන් එංගලන්තයේ වතු දෙසීයකට වඩා නිර්මාණය කළා. එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් බවට පත් වුණ තොමස් ජෙෆ’සන් හා ජෝන් ඇඩම්ස්, 1786දී ඉංග්‍රීසි උද්‍යාන අධ්‍යයනය කරන්න එංගලන්තයට ගියා.
නැඟෙනහිරේ භූ දර්ශන සැකසීම්
ඊජිප්තුවේ, ග්‍රීසියේ හා රෝමයේ සම්ප්‍රදායන් බටහිරට බලපෑමක් වුණා වගේම, චීනයේ උද්‍යාන සැකසීමේ සම්ප්රදාය නැඟෙනහිර ශිෂ්ටාචාරයට බලපෑමක් වුණා. ගංගා, පර්වත හා කඳු යන සියල්ල මූර්තිමත් වුණ ආත්ම ලෙස දුටු නිසා, චීන ජාතිකයන් ඒවාට ගෞරව කිරීමේ ප්රාණවාදී ආගමක් මුලින්ම ඇදහුවා. ඊටපස්සේ, තාවෝ දහම, කොන්ෆියුසිස් දහම හා බුදු දහම දේශය පුරා පැතිර ගිය අතර තමන්ටම ආවේණික උද්‍යාන බිහි කරගත්තා.
ජපන් මුහුදේ අනික් පැත්තේ, ජපන් උද්‍යාන තමන්ගේම මෝස්තරයක් බිහි කළා; වර්ණවලට මුල් තැනක් දෙන එහි සෑම අංගයකටම නියමිත ස්ථානයක් තිබෙනවා. ස්වභාවධර්මයේ සෞන්දර්යය හා විචිත්රභාවය සීමිත ප්‍රදේශයක හුවා දැක්වීම සඳහා උයන්පල්ලා පරෙස්සමින් තම විශාල ගල් තබන අතර, ඔහුගේ උද්‍යානයෙහි ඉතා සැලකිලිමත් ලෙස ගස් සිටුවා, සකස් කරනවා. කුඩා ගහක් හෝ සමහරවිට ගස් ගොඩක් නියමිත ආකාරයකට, නියමිත ප්‍රමාණවලට සකස් කිරීමේ කලාව වන බොන්සයි (අර්ථය “පෝච්චිවල හිටවලා තියෙන පැළ”) ක්‍රමයෙන් මෙය ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.
බටහිර ප්රතිරූපයෙන් වෙනස් මෝස්තරයක් ගත හැකි වුවත් නැඟෙනහිර උද්‍යානයද පාරාදීසයක් සඳහා මහත් ආශාවක් පිළිබිඹු කරයි. උදාහරණයක් වශයෙන්, ජපානයේ හේයන් සමයේදී (794-1185) උයන්පල්ලන් “පාරාදීස පොළොවක” වාතාවරණය උපදවන්න වෑයම් කළ බව ජපන් උද්‍යාන පිළිබඳ ඉතිහාසඥ වයිබ් ක්වාට’ට් ලියයි.
විශ්වලෝක ඇල්මක්
“ස්වාභාවික” උද්‍යානවල—එනම් කැලෑවල, වනාන්තරවල මෙන්ම තණබිම්වල—ජීවත් වුණ දඩයක්කාර ඵලවැල රැස්කරන්නන්ද ඇතුළුව උද්‍යානයට දක්වන ඇල්ම විශ්වලෝකනීයයි. “ජයග්‍රාහකයන් වන මෙක්සිකෝවේ ඇස්ටෙක්වරුන් හා පෙරූහි ඉන්කාවරුන්” සම්බන්ධයෙන් බ්‍රිටෑනිකා පවසන්නේ “පඩි පේළිවලින් යුත් කඳු, ගස් ගොනු, දිය උල්පත් හා අලංකාර පොකුණු . . . බටහිරෙහි සමකාලීන වතුවලට වඩා වෙනසක් නැහැ කියා වාර්තා කළ” බවයි.
ඔව්, නයිල් දෙපස පිහිටි පුරාණ ගස්, නැඟෙනහිරේ භූ දර්ශන, නවීන නාගරික උද්‍යාන හා උද්භිද උද්‍යාන—මේවා හෙළි කරන්නේ මොකක්ද? පාරාදීසය සඳහා මනුෂ්‍යවර්ගයාගේ ආශාවයි. “පාරාදීසය සඳහා කාන්සාව” මෙසේ දරාගෙන සිටීම සැලකිල්ලට ගනිමින් ලේඛක ටෙරී කොමිටෝ මෙසේ සඳහන් කළා: “මනුෂ්‍යයන්ට උද්‍යාන හරියට තමන්ගේම ගෙවල් වගෙයි.” තවද ‘මගේ ගේ ඒදන් උයන වගෙයි’ කියද්දී ප්‍රීති නොවනු ඇත්තේ මොන මනුෂ්‍යයාද? නමුත් ධනවතුන්ට විතරක් නොවෙයි සමස්ථ ලෝක ඒදනයක් සිහිනයක් පමණක්ද? නැත්නම් එය අනාගතයේ ස්ථිරයෙන්ම සිදු වන්නක්ද?
[7වන පිටුවේ පින්තූරය]
බබිලෝනියේ එල්ලෙන උයන් පිළිබඳ කලාකරුවාගේ සංකල්පය
[7වන පිටුවේ පින්තූරය]
ජපානයේ ඉපැරණි උද්‍යානයක්
[7වන පිටුවේ පින්තූරය]
ප්‍රංශයේ ව’සෙල්ස්
ඉතිහාසය පුරාම, මනුෂ්‍යයන් පාරාදීසයක් සඳහා ආශාවෙන් සිටියා
[හිමිකම් විස්තර]
French Government Tourist Office/Rosine Mazin