යෞවන අය අසති . . .
දෙවි මගේ මිතුරා ලෙස දිගටම ඉඳියිද?
දාවිත් රජ කියන්නේ දෙවිගේ මිත්‍රත්වය භුක්ති විඳි මිනිසෙක්. නමුත්: “මාගේ සිතේ දුක් වැඩිව තිබේ” කියා ඔහු එක් අවස්ථාවකදී කිව්වා. දාවිත් දුක් වින්දේ අන්‍යයන් විසින් වැරදි ආකාරයට සලකනු ලැබීම නිසා පමණක් නොව, එනමුත් තමන්ගේම අයුතුකම්ද නිසයි. දෙවි පවා ඔහුව ප්‍රතික්ෂේප කර තිබුණායයි ඔහුට හැඟුණු අතර, ඔහු මෙසේ යාච්ඤා කළා: “මා දෙසට හැරී මට කරුණාකළ මැනව; මක්නිසාද මම අසරණයෙමි, පීඩිතයෙමි.”—ගීතාවලිය 25:11, 16-19.
සමහරවිට ඔබත් කනස්සල්ලෙන් සිටිනවා ඇති. උහුලන්න බැහැ වගේ පෙනෙන නරක තත්වයකට ඔබ නිවසේදී හෝ පාසැලේදී මුහුණ දෙනවා ඇති. එසේත් නැතිනම්, ඔබට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් තිබෙනවා වන්න පුළුවන්; නැතිනම් ඔබට යම් දුර්වලකමකට මුහුණ දෙන්න වෙලා තියෙන නිසා ඔබ අධෛර්යයට පත්ව ඉන්න බව හැඟිලා ඇති. තත්වය කොයික වූවත්, ඔබට තනියෙන්ම දුක් විඳින්න අවශ්‍යතාවක් නැහැ; දෙවි ත්‍යාගශීලීව ඔහුගේ මිත්‍රත්වය හා උපකාරය සපයනවා.a ඔබ දැනටමත් ඔහු සමඟ සබඳතාවක් ගොඩනඟන්න පටන්ගෙන තියෙනවා නම්, ඔහු තම මිතුරන්ව ඔවුන්ගේ දුකේදී අත් නාරින බව දැනගන්න ලැබීමෙන් ඔබට සැනසිල්ලක් ලැබෙයි. එවැන්නක් සත්‍යයක්ව තිබියදීත්, ඔබ කරදරවලින් පහර ලබන විට, දෙවි ඔබගෙන් දුරස්ව සිටිනවායයි ඔබට හැඟෙන්න පුළුවන්. ඔහු ඔබට කොහෙත්ම උපකාර කරන්නේ නැහැ වගෙයි කියලා ඔබට පෙනෙන්න පුළුවන්. නමුත් ඇත්තටම තත්වය එයද?
‘මාංසයෙහි උලක්’
පළමුවෙන්ම, 2 කොරින්ති 12:7-10 කරුණාකර කියවන්න. එතනදී, පාවුල් ‘මාංසයෙහි උලක්’ යයි කියනු ලැබූ දෙයකින් වධ වින්ද බව පවසනවා. බොහෝදුරට, මෙම “උල” සමහරවිට ඔහුගේ පෙනීමට සම්බන්ධ වූ මාංසික දුර්වලතාවක් වෙන්න ඇති. එය කුමක් වූවත්, එය ඔහුට දිගටම චිත්තවේගීය වශයෙන් ‘පහර දෙමින්’ හිටියා. එය ඉවත් කර දමන්නයයි ඉතා ඕනෑකමින් කළ ආයාචනයන් තුන මධ්‍යයෙහි වුවද, “උල” එසේම පැවතුණා.
යෙහෝවා පාවුල්ගේ යාච්ඤාවන් ගණනකට නොගනිමින් හිටියාද? කොහෙත්ම නැහැ. “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි” දෙවි ඔහුට කිව්වා. දෙවි එම “උල” අයින් කරන්න තීරණය කළේ නැති වුණත්, ඔහු පාවුල්ව අතරමං කළේ නැහැ. දෙවිගේ ලබන්න නොවටිනා කරුණාව හේතුවෙන්, පාවුල් ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් භුක්ති වින්දා. පාවුල්ට ඔහුගේ දුර්වලකම සමඟ සාර්ථකව කටයුතු කරන්න එය ‘සෑහුණා’. පාවුල් එසේ කරන්න යත්න දැරීමත් සමඟම, දෙවිගේ උසුලාගැනීමේ බලය ඔහු නව හා පෞද්ගලික අන්දමකින් අද්දකින්න යනවා.
අපහසුතාවන් සමඟ කටයුතු කරන්න උපකාරය
නිෂේධාත්මක ආකාරයට හැඟීමට හෝ අධෛර්යයට හේතු කරවන, අනින යම් ‘උලක්’, නැතිනම් ප්‍රශ්නයක් පාවුල්ට මෙන් ඔබටත් තියෙන්න පුළුවන්. පාවුල්ගේ තත්වයේදී වූවාක් මෙන්, දෙවි එම කරදරය එසේම පවතින්න සම්පූර්ණයෙන්ම ඉඩහරියි. එයින් අදහස් කරන්නේ ඔබ තවදුරටත් ඔහුගේ මිතුරා නොවේය කියන එක නෙවෙයි. “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි” දෙවි ප්‍රේරිත පාවුල්ට පැවසුවා (ඇල අකුරු අපේය). ඔබ ඔබේ බලය වෙනුවට දෙවිගේ බලය මත රඳනවා නම්, ඔබට විඳදරාගන්න පුළුවන්. දෙවිගේ ආත්මයේ උපකාරය ඇතුව, පෙර නොසිතූවිරූ දේවල් පවා ඔබට ඉෂ්ට කරගන්න හැකි බව ඔබට පෙනී යන්න පුළුවන්. පාවුල් මෙහෙම කිව්වා: “දුර්වලකම්වලටත් . . . ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.”
රොබින් නම් එක් යෞවන ස්ත්‍රියක් මෙය සත්‍යයක් බව සොයාගත්තා.b අවුරුදු 14දී ග්ලෝකොමාව නිසා ඇයගේ පෙනීම අහිමි වුණා. එම අවුරුද්දේම ඇයගේ මව හදිසියේම මියගියා. මෙම වේදනාකාරි ‘උල්’ සමඟ ආරම්භයේදී කටයුතු කිරීම ගැන රොබින් පැවසුවේ මෙහෙමයි: “මට හිටියේ යෙහෝවා විතරයි. මට මේකෙන් ජයගන්න නම්, මම දැනගත්තා මං ඔහුට ගොඩක් ළං වෙලා ඉන්න වෙයි කියලා.” තවද අන්තිමේදී පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවිකාවක් හැටියට සේවය කිරීමෙන් රොබින් කළෙත් ඒකම තමයි. ඇය මෙසේ කියයි: “මම කරන හැම දේකදීම මම යෙහෝවාගේ උපකාරය පැතුවා. ඔහු ඇත්තටම උදව් කළා.”
පරීක්ෂණයන්ට මුහුණ දීම, ඇත්තටම දෙවිට වඩාත් කිට්ටු වෙන්න උපකාර වෙන බව බොහෝ යෞවනයන් හොයාගෙන තියෙනවා. යෞවන ජෙෆ්ව සැලකිල්ලට ගන්න. දරුවන් හත්දෙනෙකු රැකබලා ගැනීම ජෙෆ්ගේ මවට ඉතුරු කරමින් ඔහුගේ පියා තම පවුල අතහැර ගියා. “මට තාත්තා කෙනෙක් නැති පාඩුව හොඳින් තේරුණා” යයි ඒ වන විට දොළොස් වියේ පසු වූ ජෙෆ් පිළිගනියි. “කවුරුහරි ඇවිල්ලා මට හැමදාම දැනිච්ච පාළුව නැති කරයි කියලා මං ආශාවෙන් බලාගෙන හිටියා.” ජෙෆ් මොකක්ද කළේ? “ඒ උවමනාව පුරවගන්න උපකාර කරන්න කියලා මම යෙහෝවාට යාච්ඤා කළා.” ජෙෆ් තමාගේ යාච්ඤාවලට එකඟව වැඩ කළ අතර, ආත්මික ක්‍රියාකාරකම්වල ඇලී ගැලී හිටියා. කාලයත් සමඟම, යෙහෝවාගේ ශක්තිමත් කරවන ශුද්ධාත්මය හා ක්‍රිස්තියානි සභාව තුළින් සැපයෙන යෙහෝවාගේ උපකාරයේ හස්තය ඔහුට දැනුණා. (ගීතාවලිය 27:10, සසඳන්න.) “මට හව්හරණක් දෙන්න කවුරුවත් හිටියේ නැහැ, ඒ නිසා මම යෙහෝවාට ගොඩාක් කිට්ටු වුණා” යයි දැන් අවුරුදු 27ක් වන ජෙෆ් සිහියට නඟයි. ඔහු එම සබඳතාව “මේ පරීක්ෂණයෙන් ලැබිච්ච අමිල ආශීර්වාදයක්” හැටියට හැඳින්වූවා.
දෙවිගේ උපකාරය අත් කරගන්නා අයුරු
එයාකාරයෙන්ම ඔබගේ ස්වර්ගික මිතුරා ඔබගේ අපහසුතාවන්වලදීත් ඔබට උපකාර කරයි. නමුත් ඔබ කළ යුත්තේ මොකක්ද? ඉතින් ඕනෑම මිත්‍රත්වයක් මල්ඵල ගන්වන්න අදහස් හුවමාරුව අවශ්‍යයි. යාච්ඤාව කියන්නේ දෙවි සමඟ අදහස් හුවමාරු කරගැනීමේ අපගේ මාර්ගයයි. එය තුළින් අපිට ඔහුගේ උපකාරය අවශ්‍යයි කියලා අපි ඔහුට දන්වනවා. එනමුත්, එය උදාසීන හෝ යාන්ත්‍රික එකක් නම්, යාච්ඤාවට ඇත්තේ මඳ වටිනාකමක්. ඉහත සඳහන් කළ යෞවනයන් මෙන් ඔබ දෙවිට ‘ඔබගේ හදවත් වගුරුවන්න’ අවශ්‍යයි! (ගීතාවලිය 62:8) සමහරවිට ඔබට කන්නලව් පවා ඔප්පු කරන්න සිදු වෙන්න පුළුවන්. (පිලිප්පි 4:6) කන්නලව් කියන්නේ ඉතාමත්ම දැඩි හා මහත් ඕනෑකමින් කරන යාච්ඤාවන්.
ඔබට ඔබේ හැඟීම් පාලනය කරගැනීමේ ගැටලුවක් හෝ යම් වැරදි පුරුද්දක් ජයගැනීමට අපහසුතාවක් හෝ තිබෙනවායයි සිතමු. යෙහෝවාට කන්නලව් කරන්න! පරීක්ෂාකාරි කාලවලදී ඔහුගේ උපකාරය සඳහා අයදින්න. මෙය හැමවිටම පහසු වෙන එකක් නැහැ. “මට යම් වරදක් කරන්න තදබල පෙලඹීමක් එනකොට, මම කොහොම හරි යාච්ඤා කරන්න මාවම පොලඹවාගන්නවා” යයි ගැරි පිළිගත්තා. “සමහරවිට මම හිතනවා, ‘කොහොමද මම යෙහෝවා වෙත එළඹෙන්නේ?’ ඒත් මම උපකාරය ඉල්ලලා එයාට ආයාචනා කරනවා. අත අරින්නේ නැතුව දිගටම අල්ලගන ඉන්න අවශ්‍ය ශක්තිය එයා මට දෙනවා.” මුලදී එය අමාරු වුණත්, දිගටම දෙවිට ඔබේ හදවත විවෘත කරමින් ඉන්න.
නමුත් ඔබේ යාච්ඤාවලට පිළිතුරක් නොලැබෙනවා මෙන් පෙනෙනවා නම් කිමෙක්ද? උදාහරණයක් හැටියට, ලෝරා ස්වයංවින්දනය නමැති නරක පුරුද්දෙන් ගොඩ එන්න වෙර දරමින් හිටියා. “මම යෙහෝවා එක්ක මේ ගැටලුව ගැන අවංකව කතා කළා” යයි ඇය පැහැදිලි කරනවා; “ඒ වුණත් මට ඒක නවත්තගන්න බැරුව ගියා.” සමහරවිට අපේ ඉල්ලීම ගැන අපි කොතරම් බැරෑරුම් ලෙස හිතනවාද කියා නිරූපණය කරන්න දෙවි අපිට ඉඩ දෙන්න පුළුවන්. (ගීතාවලිය 88:13, 14, සසඳන්න.) ඒ හේතුවෙන් අපි යාච්ඤාවේ අත් නොහැර නියැලිය යුතුයි! (මතෙව් 7:7; රෝම 12:12) ලෝරා කළේ එයමයි. ඒ අතරතුරේදීම, ඇය වොච් ටවර් සමිතියේ මේ කාරණය ගැන කතා කරන කරුණුවල අඩංගු වී ඇති යෝජනා අදාළ කරගන්න ආරම්භ කළා.c කාලයත් සමඟම, ඇය ප්‍රතිඵල දකින්න පටන්ගත්තා. “මං පරීක්ෂාවලට සාර්ථකව විරුද්ධ වුණ හැම අවස්ථාවකදීම, මම යෙහෝවාට ස්තූති කළා, මොකද මම දැනගෙන හිටියා එයා මං ළඟ හිටියා කියලා” යයි ඇය සිහියට නඟයි. ඔබ එම ගැටලු ඔබේ පාලනය යටතට ගැනීමට වෙර දරන විට, ඔබ පසුබෑම් සමහරක් අද්දකින්න පුළුවන් බව ඇත්තක්. නමුත් ඔබ සටන් කරමින් ඔබේ දුර්වලතාවට උවමනාවෙන්ම යටත් වෙන්නේ නැතිනම්, ඔබගේ ‘මුළු උත්සාහයන්’ ගැන දෙවි සතුටු වී ඔබේ මිතුරා ලෙස දිගටම සිටීවි.—2 පේතෘස් 1:5.
දෙවි සමඟ වැඩ කිරීම
දෙවිගේ උපකාරය ලබාගන්න පුළුවන් තවත් විදිහක් තමයි, ඔහුගේ “හවුල් වැඩකරන්නෝ” වන ලෙසට ඔහු කරන ආරාධනාව පිළිගැනීම. (1 කොරින්ති 3:9) අන්‍යයන්ට දෙවි ගැන දැනගන්න උපකාර කිරීමෙහි සහභාගි වීම මෙයට ඇතුළත් වෙනවා. (මතෙව් 28:19, 20) ඔබ කනස්සල්ලෙන් සිටින විට හෝ අධෛර්යයට පත්ව සිටින විට, ඕනෑම ආකාරයක වැඩක නියැලීම එතරම් සිත්ගන්නා දෙයක් සේ නොපෙනෙන්න පුළුවන්. කෙසේවෙතත්, “[ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා [පැවතීම]” ඇත්තෙන්ම ඔබට උපකාර කරන්න පුළුවන්. (1 කොරින්ති 15:58) අඩුම තරමින්, ඔබගේ ගැටලුවලින් ඔබේ මනස වෙනතකට යොමු වෙයි. (හිතෝපදේශ 18:1, සසඳන්න.) ඉහත උපුටා දැක්වූ රොබින්, ඇයගේ අපහසුකාරි කාලවල් ගැන මෙසේ කියයි: “පස්සගහන්නේ නැතුව දිගටම යන්න මට උපකාර කරපු දෙය තමයි, යෙහෝවාට මම කරපු වැඩ!”
දෙවි සමඟ වැඩ කරන එකට පුළුවන්, ඔබව අතහැර ඇතැයි පවතින ඕනෑම හැඟීමකින් ගොඩ ඒමට උපකාර කරන්න. පුද්ගලයන් දෙදෙනෙක් එකම ඉලක්කය සාක්ෂාත් කරගන්න එකට අත්වැල් බැඳගෙන වැඩ කරනවා නම්, ඔවුන් මිතුරන් හැටියට තව තවත් සමීප වෙන්නේ නැද්ද? ඔබ දේශනා වැඩයෙහි හවුල් වීමත් සමඟම, ඔබ නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දෙනවා. එවිට උපකාරය සඳහා දෙවි වෙතට ඔබ හැරෙන බව ඔබට තේරෙයි. ඔබගේ පරිශ්රමයන්ට දෙවි ආශීර්වාද කිරීමත් සමඟම, ඔහුගේ මිත්‍රත්වය තව තවත් ඇත්ත වෙනවා. හවුල් වැඩකරුවෙක් හැටියට දෙවි ඔබ මත තබා ඇති විශ්වාසය ගැන ඔබට වැටහෙන්න පටන්ගන්නවා. මෙය ඔබගේ ආත්ම විශ්වාසයට පුදුමාකාර තල්ලුවක් වෙන්න පුළුවන්.
උදාහරණයකට කැරල්, සුරක්ෂිතභාවයෙන් හීන හැඟීමක් ඇතුව සිටියා. ඇයගේ මව සියදිවි හානි කරගත් අතර, ඇයගේ දරදඬු පියා ඇයව කොයිවෙලෙත් පහත් කරලයි කතා කෙරුවේ. එහෙත් අවුරුදු 17දී ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වී දේශනා කිරීම තම වැඩය කරගත්තා. දැන් අවුරුදු දහයක් පුරා පූර්ණ කාලීන එවැන්ජලිස්තවරියක් හැටියට සේවය කිරීමෙන් පසු ඇය මෙසේ පවසනවා: “මේ වැඩේ මට පුදුමාකාර විදිහකට උදව් කරලා තියෙනවා; මොකද මම යෙහෝවගේ ආශීර්වාදය දැකලා තියෙනවා. මම මටම මෙහෙම කියාගන්නවා, ‘දෙවි මට ආදරේ නං, මං නොවටින කෙනෙක් නෙමෙයි.’ යෙහෝවාගේ නාමය ප්‍රකාශ කරන්න මාව යොදාගන්න එක, මට වැඩිපුර සුරක්ෂිතභාවයක් හැඟෙන්න සලස්වලා තියෙනවා.”
‘යෙහෝවා යහපත් බව රසබලා දැනගන්න’
ජීවිත තැතිගන්වන අකරතැබ්බකින් නූලෙන් බේරීමෙන් පසු “මාගේ සියලු භයින් [දෙවි] මා මි[දුවා]” කියා දාවිත් පැවසුවා. (ගීතාවලිය 34:4, 6 ඉහළින් තිබෙන සටහන; 1 සාමුවෙල් 21:10-12) ඒ හේතුවෙන්, “[යෙහෝවා] යහපත් බව රස බලා දැනගනිව්. [ඔහු] කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය” කියා දාවිත්ට අද්දැකීමෙන් කියන්න පුළුවන් වුණා.—ගීතාවලිය 34:8.
දාවිත්ගේ ජීවිතය අනතුරේ තිබූ තරමටම ඔබේ ජීවිතය අනතුරේ නොතියෙන්න ඉඩ තිබුණත්, විටින් විට, වෙහෙස සහ පීඩාවන් ඔබ අද්දකින්න යන බවට සහතිකයි. ‘ඔබගේ හෘදයේ දුක් වැඩි වන විට’ දෙවිට කන්නලව් කරන්න. (ගීතාවලිය 25:17) යෙහෝවා ඔහුගේ මිත්‍රත්වය අතහැර දමයි කියා භය වෙන්න එපා. ඔබ ඉවසිලිවන්තව විඳදරාගෙන යෙහෝවාගේ උපකාරය කෙළින්ම අද්දැකීමත් සමඟම, ඔබටම ‘යෙහෝවාව රසබලා දැනගන්න’ හැකි වෙයි. තවද ඔහු ඔබගේ මිතුරා ලෙස සදහටම සිටීවි.—යාකොබ් 4:8.
[පාදසටහන්වල]
a “මට සැබවින්ම දෙවියන්වහන්සේගේ මිතුරෙකු විය හැකිද?” යන 1995 ඔක්තෝබර් 8 දිනැති කලාපය බලන්න.
b සමහර නම් වෙනස් කර ඇත.
c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු යන පොතේ 25 සහ 26වන පරිච්ඡේද සලකා බලන්න.
[16වන පිටුවේ පින්තූරය]
තාඩන පීඩනවලින් යුත් කාලවලදී දෙවි ඔහුගේ මිත්රයන්ව අතහරින්න යනවාද?