ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 7/8 18-22 පි.
  • යුක්තිය සඳහා වූ අපේ සෙවිල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යුක්තිය සඳහා වූ අපේ සෙවිල්ල
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පල්ලි සමඟ ගැටලු
  • හමුදා සේවය සහ විවාහය
  • මගේ මුරණ්ඩු විරුද්ධවාදිකම්
  • යුක්තිය සඳහා වූ මගේ සෙවිල්ල තෘප්තිමත් වීම
  • අවසානයේදී මගේ හෘදය පෙලඹුණා
  • පූර්ණ-කාලීන සේවය ලුහුබැඳීමට
  • යුක්තිය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත් විට
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ ඇදහිල්ල සොයාගැනීම සඳහා මගේ දිගු දැඩි සටන
    1995 පිබිදෙව්!
  • ජීවිත වෙනස් කළ පොතක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1997 පිබිදෙව්!
g97 7/8 18-22 පි.

යුක්තිය සඳහා වූ අපේ සෙවිල්ල

ආන්ටෝන්යො විල්යා පැවසූ පරිදි

වර්ෂ 1836දී, ආලාමෝ නමැති ආගමික සංවිධානයට අයත් ගණනින් 200කටත් අඩු වූ ටෙක්සන් ආරක්ෂකයන් සියලුදෙනාවම, 4000කින් සමන්විත වූ මෙක්සිකානු හමුදාවක් විසින් ඝාතනය කළා. ඉන්පසු, නිදහස වෙනුවෙන් කරන සටන අවුළවන්න “ආලාමෝ සිහියට නඟමු” නමැති සටන් පාඨය යොදාගත්තා; ඒ අවුරුද්දේ අවසානයේදී එම නිදහස අත් කරගත්තා. වර්ෂ 1845දී, කාලයක් තිස්සේ මෙක්සිකෝවට අයත්ව තිබූ කොටස එක්සත් ජනපදයට අයත් කොටසක් බවට පත් වූ අතර, එහි වෙසෙන මෙක්සිකානුවන් ජීවත් වූයේ, තමන්ව සතුරන් මෙන් සැලකූ ප්‍රදේශයකයි. එදා සිදු වූ වාර්ගික වෙනස්කම් තවමත් මතකයි.

මගේ උපත සිදු වුණේ 1937දී, ආලාමෝ නමැති ආගමික සංවිධානය පිහිටා තිබූ ටෙක්සස් ජනපදයට අයත් සැන් ඇන්ටෝනියෝ කියන ප්‍රදේශයෙයි. ඒ දවස්වල, නාන කාමර, පානීය ජලය සපයන ස්ථාන හා වෙනත් පොදු පහසුකම් සපයන ස්ථාන, “සුදු ජාතිකයන්ට පමණයි” සහ “වෙනත් ජාතිකයන්” කියා ලකුණු කර තිබුණා. “වෙනත් ජාතිකයන්” යන කොටසට මෙක්සිකානුවන්ගෙන් පැවතෙන අපව අයත් වන බව ඉක්මනින්ම මම දැනගත්තා.

සිනමා ශාලාවක චිත්‍රපටයක් බලද්දී, මෙක්සිකානුවන්ට හා කළු ජාතිකයන්ට වාඩි වෙන්න ඉඩ දුන්නේ බැල්කනියේ විතරයි; ප්‍රධාන ශ්‍රවණාගාරයේ වාඩි වෙන්න ඉඩ දුන්නේ නැහැ. ආපන ශාලාවලදී සහ ව්‍යාපාර කටයුතු බොහෝමයකදී, මෙක්සිකානුවන්ට ඒවායේ සේවය ලබා දුන්නේ නැහැ. මගේ බිරිඳ වන වෙල්යා ඇගේ නංගි එක්ක රූපලාවණ්‍ය සාප්පුවකට ගිය වෙලාවක, “අපි මෙක්සිකානුවන්ව පිළිගන්නේ නැහැ” කියා කියන්න තරම්වත් එහි අයිතිකරුවන් ආචාරශීලී වුණේ නැහැ. වෙල්යා හා ඇගේ නංගි ලැජ්ජාවට පත් වෙලා, එතැනින් පිට වෙලා යනකංම ඒ අය ඔවුන්ට හිනා වුණා.

සමහර අවස්ථාවලදී සුදු මිනිස්සු—සාමාන්‍යයෙන් බීලා ඉන්න වෙලාවට—මෙක්සිකානු ස්ත්‍රීන් එනකං බලාගෙන ඉන්නවා; සුදු මිනිස්සු හුඟදෙනෙක් ඔවුන්ව සැලකුවේ, සහජයෙන්ම දුරාචාරයට ලොල් පිරිසක් හැටියටයි. ‘ඔවුන් නාන කාමර හෝ පානීය ජලය සපයන ස්ථාන පොදුවේ පාවිච්චි කරන්න අකමැති වුණත්, මෙක්සිකානු ස්ත්‍රීන් එක්ක සයනය කරනවා’ කියා මට හිතුණා. මේ අයුක්තිසහගත සිද්ධීන් මුලින්ම මා තුළ අසුරක්ෂිතභාවයේ හැඟීමක් හා පසුව බලවත් විරෝධයේ හැඟීමක් ඇති කළා.

පල්ලි සමඟ ගැටලු

ආගම්වල සිදු වන කුහකකම් නිසා මා තුළ තව තවත් කලකිරීමේ හැඟීම් ඇති වුණා. සුදු ජාතිකයන්ට, කළු ජාතිකයන්ට හා මෙක්සිකානුවන්ට වෙන වෙනම පල්ලි තිබුණා. කතෝලිකයෙක් හැටියට මං මුලින්ම සත්ප්‍රසාද ලබන්න සූදානම් වෙමින් ඉන්න කාලයේදී, කලින්ම දින දමා තිබූ ලියුම් කවර කිහිපයක් තාත්තාට දෙන්න කියලා පූජකයා මට දුන්නා. සෑම සතියකම අපි සම්මාදමක් දමා කවරයක් ආපසු දෙන්න ඕනෑ. ඉන් ටික කාලෙකට පස්සේ පූජකයා මට මෙහෙම කිව්වා: “අර දුන්න ලියුම් කවර ටික මට ලැබුණේ නැහැ කියලා තාත්තාට කිව්වොත් හොඳයි.” මගේ තාත්තාගේ කටින් කෝපයෙන් පිට වූ වචනවලින් මා තුළ මේ වගේ හැඟීමක් ඇති කළා: “ඔවුන්ට ඕනෑ සල්ලි විතරයි!”

දේශනාකරන්නන් ඔවුන්ගේ සභාවල ඉන්න ගැහැනුන්ව අරන් හොරෙන් පැනලා යෑමෙන් ආගමට සිදු වූ අපකීර්තිය බොහෝවිට දකින්න තිබුණු දෙයක්. ඒ වගේ අද්දැකීම් මාව පෙලඹුවේ නැවත නැවත මෙහෙම කියන්නයි: “ආගමට තියෙන්නේ අරමුණු දෙකක් විතරයි—එක්කෝ ඔබේ මුදල් ගන්න, එහෙම නැත්නම් ඔබේ බිරිඳව ගන්න.” මේ හින්දා, යෙහෝවාගේ සාක්ෂිකාරයන් අපේ ගෙදරට එන කොට, මං මෙහෙම කියමින් ඔවුන්ට යන්න කියනවා: “මට ආගමක් අදහන්න ඕනැ නම්, මං ඒක හොයාගන්නම්.”

හමුදා සේවය සහ විවාහය

මම 1955දී එ.ජ. ගුවන් හමුදා ඒකකයට බැඳුණා; මෙක්සිකානුවෙක් හැටියට මාව කොන් කරලා තිබූ හින්දා, මගේ මේ රැකියාවේ ඉහළටම යෑමෙන් ආත්ම ගරුත්වයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මං බලාපොරොත්තු වුණා. මාවම වැඩයට යෙදවීමෙන්, මම හොඳ පිළිගැනීමක් ලැබුණා; අවසානයේදී මාව තත්ව පාලන අංශයේ ප්‍රධාන පාලක හැටියට පත් කළා. හමුදා සේවයේ වෙනත් අංශවලට අයත් යම් දේවල් තක්සේරු කිරීම මේ තනතුරට අයත් වුණා.

මම 1959දී, වෙල්යා එක්ක විවාහ වුණා. වෙල්යා නිතරම ආගමික දේවල් ගැන උනන්දුවක් දැක්වූවා. ඒත්, ඈ ගිය විවිධාකාර පල්ලිවල සිදු වූ දේවල් නිසා, ඈ හිටියේ බලාපොරොත්තු කඩ වුණු තත්වයකයි. වර්ෂ 1960 එක් දවසක, පීඩාකාරි හැඟීම්වලින් බර වී සිටි වේලාවක ඈ මෙහෙම යාච්ඤා කළා: “අනේ, දෙවියනි, ඔබ ඉන්නවා නම්, මට ඔබව දැනගන්න සලස්වන්න. මට ඔබව දැනගන්න ඕනෑ.” එදාම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කැලිෆෝනියාවේ, පෙට්ලූමා ප්‍රදේශයේ පිහිටි අපේ ගෙදරට ආවා.

කොහොම වුණත් ඉන් ටික කලකට පසු, හමුදා සේවයේ මගේ පැවරුමේ වෙනසක් සිදු වූ නිසා, සාක්ෂිකරුවන් සමඟ සබඳතා පවත්වන්න වෙල්යාට බැරි වුණා. මම වියට්නාමයේ සිටි කාලයේදී, එනම් 1966දී තමයි ඈ ටෙක්සස්හි සෙමනෝල් කියන ප්‍රදේශයේදී, ඔවුන් සමඟ කළ බයිබල් පාඩම නැවතත් කරන්න පටන්ගත්තේ. ඊළඟ අවුරුද්දේ මුල් භාගයේදී වියට්නාමයේ ඉඳන් ආපහු ගෙදර එන කොට, ඈ සාක්ෂිකාරයන් සමඟ බයිබලය පාඩම් කරනවා කියලා දැනගැනීම, මගේ සතුටට හේතු වුණේ නැහැ.

මගේ මුරණ්ඩු විරුද්ධවාදිකම්

ආගම මගින් වෙල්යාව රවටා බලාපොරොත්තු කඩ වුණු තත්වයකට පත් කරයි කියල මට හැඟුණා. ඒ හින්දා මමත් පාඩමට වාඩි වෙලා, කුහකකම හා සම්බන්ධ ඉතා සුළු ලක්ෂණයක් හරි හෙළි කරන්න අවස්ථාවක් එනකල් ඇහුම්කන් දීගෙන හිටියා. සාක්ෂිකාරයන් දේශපාලනය සම්බන්ධයෙන් මධ්‍යස්ථයි කියල පාඩම පැවැත්වූ ස්ත්‍රිය කියද්දී, මං මෙහෙම කියමින් ඒකට බාධා කළා: “ඔයාගේ ස්වාමිපුරුෂයා රක්ෂාව හැටියට මොනවද කරන්නේ?”

“එයා කපු වගා කරනවා” කියා ඈ කිව්වා.

“හහ්!” මං අහංකාර ලීලාවෙන් ඒකට උත්තර දෙමින් මෙහෙම කිව්වා. “හමුදා නිල ඇඳුම් මහලා තියෙන්නේ කපුවලින්. ඒ හින්දා ඔයා සහයෝගය දෙන්නේ යුද්ධයටයි!” මං හේතු හොයල බලන්නේ නැතුව මහ හයියෙන් කෑගැහැව්වා.

වර්ෂ 1967දී, දුර ප්‍රදේශයක් වන උතුරු ඩෙකොට්වල පිහිටි මෛයිනට්වලට මාරුවක් ලැබුණත්, එහි සිටි සාක්ෂිකරුවන් ඇයව හමු වෙලා ඇගේ බයිබල් පාඩම නැවත පටන්ගත්තා. මං බොළඳ විදිහට විරුද්ධවාදිකම් එල්ල කරන්න පටන්ගත්තා. මම ඕනකමින්ම පාඩම පවත්වන වේලාවට ගෙදර ඇවිත් හයියෙන් දොරවල් වැහැව්වා, හිතාමතාම හයියෙන් අඩි හප්පමින් තරප්පු පේළිය දිගේ ඉහළට නැග්ගා, ශබ්ද ඇති වෙන විදිහට මගේ සපත්තු බිමට විසි කළා, කිහිප වතාවක්ම වැසිකිළියට වේගයෙන් වතුර ගැහැව්වා.

වෙල්යා මෘදු විදිහට කතා කළ යටහත් පහත් බිරිඳක්; ඈ කවදාවත් මගේ අවසරයක් නැතුව කිසිම දෙයක් කළේ නැහැ. මම ඈට පාඩමක් කරන්න අකමැත්තෙන් හරි ඉඩ දුන්නත්, සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන එක විශාල ගැටලුවක් වෙයි කියලා ඈ දැනගෙන හිටියා. රැස්වීම්වලට එන්න කියලා ඇගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිද්දී, ඈ නිතරම කිව්වේ : “මං එහෙම නොකරන එක හොඳයි. මං කැමති නැහැ ටෝනිව කලබල කරන්න.”

ඒ කොහොම වුණත්, දවසක් වෙල්යා මේ බයිබල් වගන්තිය කියෙව්වා: ‘දෙවිගේ ශුද්ධාත්මයට දුක් නොදෙන්න.’ (එපීස 4:30) “ඒකේ තේරුම මොකක්ද” කියලා ඈ විමසුවා. ඈ එක්ක පාඩම් කළ සාක්ෂිකරුවා මෙහෙම පැහැදිලි කළා: “හොඳයි, දෙවිගේ ශුද්ධාත්මය බයිබලය ලියන්න ආනුභාවය දුන්නා. එනිසා බයිබලය කියන දෙයට අනුව අපි ක්‍රියා කරන්නේ නැත්නම්, අපි දෙවිගේ ශුද්ධාත්මයට දුක් දෙනවා. උදාහරණයක් හැටියට, අපි රැස්වීම්වලට යන්න ඕනෙ කියල දේවවචනය කියනවා කියලා සමහර අය දැනගෙන හිටියත්, ඒ අය රැස්වීම්වලට යන්නේ නැහැ.” (හෙබ්‍රෙව් 10:24, 25) වෙල්යාගේ නිහතමානි හදවතට ඕනැ වුණේ ඒ ටික විතරයි. එදා ඉඳන් මගේ විරුද්ධවාදිකම් ගණන් ගන්නේ නැතුව ඈ හැම රැස්වීමකටම ගියා.

මං දත්මිටි කමින් මෙහෙම කියනවා: “මගේ රෑ කෑම ලෑස්ති කරන්නේ නැතුව ඔයා ගෙදරින් යන්නේ කොහොමද?” මගේ රෑ කෑම උණු උණුවේ ලෑස්ති කරලා තියන්න වෙල්යා ඉක්මනින්ම ඉගෙනගත්තා. ඉතින් මං මෙහෙම කියමින්, නිදහසට තවත් කරුණක් හොයාගත්තා: “ඔයා මටවත් අපේ දරු පැටවුන්ටවත් ආදරේ නැහැ. ඔය රැස්වීම් හින්දා ඔයා අපි ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ.” එහෙම නැත්නම්, මං සාක්ෂිකාරයන්ගේ ඇදහිලිවලට පහර දෙද්දී, වෙල්යා මෘදුව ඒවාට පක්ෂව කතා කරන්න බැලූ විට, ඇය ගෞරවයක් පෙන්වන්නේ නැති, යටත්කමක් නොදක්වන බෝකොනා කෙනෙක්—“අලි කටක්” තියෙන කෙනෙක් කියලා මං කිව්වා.

ඒ වුණත්, වෙල්යා රැස්වීම්වලට ගියා; මං ඉතාමත් සැර පරුෂ විදිහට කතා කළ නිසා, ඈ හුඟක් වේලාවට ගෙදරින් පිට වුණේ කඳුළු සලමිනුයි. කොහොම වුණත්, මම සමහර ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කළා. මගේ බිරිඳගේ අලුත හොයාගත්තු ඇදහිල්ල නිසා මම කවදාවත් ඈට අත තැබුවේවත් ඇයව අත්හරින්න හිතුවේවත් නැහැ. ඒ වුණත්, ඒ රැස්වීම්වලට එන කඩවසම් පුරුෂයෙකුට ඇගේ සිත ඇදී යයිද කියලා මම කනස්සල්ලෙන් හිටියා. ආගම ගැන මං තවමත් හිතුවේ, ‘ඔවුන්ට ඕනැ සල්ලි නැත්නම් ඔබේ බිරිඳ’ කියලයි. මං හුඟක් වෙලාවට මෙහෙම කියමින්, වෙල්යා රැස්වීම්වලට ඇඳගෙන ගිය ආකාරය ගැන චෝදනා කළා: “ඔයා ලස්සනට ඇඳ පැළඳගෙන යන්නේ මට පේන්න නෙමෙයි, වෙන කෙනෙකුට පේන්නයි.” කොහොම හරි මං රැස්වීමට යන්න මුලින්ම තීරණය කළාම මං මෙහෙම කිව්වා: “මං යන්නේ ඔයාව බලාගන්නයි!”

කොහොම වුණත් මට ඇත්තටම ඕනැ වුණේ, සාක්ෂිකාරයන්ට විරුද්ධව මොකක් හරි දෙයක් හොයාගන්නයි. මං ගිය මුල්ම රැස්වීම්වලින් එකකදී “[ස්වාමීන්] තුළ පමණක්” විවාහ වීම ගැන කතාවක් දුන්නා. (1 කොරින්ති 7:39) අපි ගෙදර ආවට පස්සේ, මං සැර පරුෂ විදිහට මෙහෙම චෝදනා කළා: “ඔය පේන්නේ නැද්ද! ඒ අයත් අනිත් අය වගේමයි—ඒ අයගේ ඇදහිල්ලේ නැති හැම කෙනෙකුවම නුහුරටමයි පේන්නේ.” වෙල්යා යටහත් පහත් විදිහට මෙහෙම කිව්වා: “ඒ වුණාට ඒක ඒ අය කියන දෙයක් නෙමෙයි, ඒක බයිබලයේ කියන දෙයක්.” මං වහාම මගේ අත මිට මොළවා වැරෙන් බිත්තියට ගසමින්, කෑගසා ඒකට විරුද්ධව මෙහෙම කතා කළා: “ඔන්න, ආයෙත් බෝකොනා අරින්න ගත්තා!” ඇත්තෙන්ම, ඈ හරි කියලා මං දැනගෙන හිටිය හින්දා, මට කරකියා ගන්න දෙයක් නැතුවයි හිටියේ.

මං දිගටම රැස්වීම්වලට යන්නත් සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවන්නත් පටන්ගත්තා; ඒත් මගේ චේතනාව වුණේ, මොකක් හරි වැරද්දක් හොයාගන්නයි. මං රැස්වීම්වලදී උත්තර දෙන්නත් පටන්ගත්තා—ඒත් එහෙම කළේ, “මං ගොළු මෙක්සිකන්වරයෙක්” නෙමෙයි කියලා අනිත් අයට පෙන්වන්නයි.

යුක්තිය සඳහා වූ මගේ සෙවිල්ල තෘප්තිමත් වීම

වර්ෂ 1971 වෙන කොට, මගේ හමුදා සේවයෙන් මාව ආර්කැන්සස්වලට මාරු කළා. මං දිගටම වෙල්යා එක්ක රැස්වීම්වලට ගියා. ඈ යෙහෝවාට ඇගේ කැපවීම සංකේතවත් කරමින් 1969 දෙසැම්බර් මාසයේදී බව්තීස්ම වුණා. මං තවදුරටත් ඈට විරුද්ධ වුණේ නැහැ; ඒත් මාත් එක්ක බයිබලය පාඩම් කරන්න මං කාටවත් ඉඩ දුන්නේ නැහැ. බයිබල් පොත් පත් කියවීමේ ප්‍රතිඵලයක් හැටියට, මගේ දැනුම පුදුම විදිහට වැඩි වුණා. මම දැනගෙන හිටියේ දත්ත රාශියක් විතරයි—මං කරපු හැම දෙයක්ම ඉස්තරම්ම විදිහට කරන්න ඕන වුණ නිසා, ඇති වුණ ප්‍රතිඵලයක් තමයි ඒක. කොහොම වුණත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කිරීම, ටිකෙන් ටික මගේ හෘදයට බලපාන්න පටන්ගත්තා.

උදාහරණයක් හැටියට, මං දැක්කා සභා රැස්වීම්වලදී කළු ජාතිකයන් ඉගැන්වීමේ හවුල් වෙනවා. ඒත් ඒ ගැන මට මුලින්ම හිතුණේ මේ විදිහටයි, ‘ඔව් ඉතින් ඒ අය එහෙම කරන්නේ රාජ්‍ය ශාලාව ඇතුළේ විතරනේ.’ ඒ කොහොම වුණත්, විශාල පැසිපන්දු ක්‍රීඩාංගණයක පැවැත්වූ සමුළුවකට අපි ගිය වේලාවේදී, කළු ජාතිකයන් පවා ඒ වැඩසටහනේ කතා ඉදිරිපත් කරනවා දැකීමෙන් මම පුදුම වුණා. සාක්ෂිකරුවන් අතර කිසිම උසස් පහත් භේදයක් නැති බව මට පිළිගන්න සිද්ධ වුණා. ඔවුන් සැබෑ යුක්තිය ක්‍රියාවට නංවනවා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් එකිනෙකා කෙරෙහි අව්‍යාජ ප්‍රේමයක් තියෙන බව මට තේරුණා. (යොහන් 13:34, 35) ඒ වගේම මං ඒ අයගේ රාජ්‍ය ශාලාවේ ඉදි කිරීමේ වැඩකටයුතුවලට හවුල් වෙද්දී, මට තේරුණා ඒ අයත් සාමාන්‍ය මිනිස්සු කියලා. මං දැක්කා ඒ අයත් වෙහෙසට පත් වෙනවා, ඒ අය අතිනුත් අඩුපාඩුකම් සිදු වෙනවා, ඒ වගේම යම් දේවල් වැරදි විදිහට කරද්දී, සුළු වශයෙන් අකාරුණික වචන පවා පිට වෙනවා. මේ අසම්පූර්ණකම් නිසා කලකිරෙනවා වෙනුවට, ඒ අය අතර සිටීමෙන් වඩාත් සුරක්ෂිතබවක් මට දැනුණා. සමහරවිට මට දැනෙන්න ඇති, මගේ දුර්වලකම් ගොඩක් තිබුණත් මට බලාපොරොත්තුවක් තියෙනවා කියලා.

අවසානයේදී මගේ හෘදය පෙලඹුණා

මං යෙහෝවා එක්ක සම්බන්ධතාවක් වර්ධනය කරගනිමින් සිටි බව මට මුලින්ම වැටහුණේ, දුම්පානය ‘මාංසයේ කිලුටුකමක්’ මෙන්ම සභා ඇසුරෙන් කපාහැරීමට හේතු වන වරදක් බව 1973 මුරටැඹ සඟරාවේ පැහැදිලි කළ විටයි. (2 කොරින්ති 7:1) එතකොට මං දවසකට සිගරට් පැකට් එකක් නැතිනම් දෙකක් පානය කරමින් සිටියා. කලින් මං නතර කරල දාන්න උත්සාහ කර තිබුණත්, ඒක සාර්ථක වුණේ නැහැ. කොහොම වුණත්, දැන් දුම්පානය කරන්න මා තුළ පෙලඹවීමක් ඇති වන සෑම අවස්ථාවකදීම මං මේ අපවිත්‍ර පුරුද්දෙන් ඉවත් වෙන්න යෙහෝවාගේ උපකාර පතා නිශ්ශබ්දව යාච්ඤාවක් කරනවා. හැමෝගෙම පුදුමයට හේතු වෙමින් මං ආයේ කවදාවත් දුම්පානය කළේ නැහැ.

වර්ෂ 1975 ජූලි 1වනදා මගේ හමුදා සේවයෙන් විශ්‍රාම යන්න නියමිතව තිබුණා. බයිබලය උගන්වන දෙය කරන්න මට ඕනැ නම්, මගේ ජීවිතය යෙහෝවාට කැප කරන්න වෙන බව මං වටහාගත්තා. මට කවදාවත් පෞද්ගලික බයිබල් පාඩමක් තිබුණේ නැති හින්දා, මගේ හමුදා සේවය අවසන් කළ වහාම මට බව්තීස්ම වෙන්න ඕනේ කියල 1975 ජූනි මාසයේදී සභාවේ වැඩිමහල්ලන්ට කිව්වාහම ඔවුන්ට පුදුම හිතුණා. මුලින්ම දේශනා සේවයේ හවුල් වෙමින් මම යේසුගේ ආඥාව ඉටු කරන්න ඕනැ කියලා ඔවුන් මට පැහැදිලි කළා. (මතෙව් 28:19, 20) ජූලි මාසයේ පළමුවන සෙනසුරාදා මං ඒ වැඩය කළා. එදාම මං වැඩිමහල්ලන්ව හමු වෙලා බව්තීස්ම අපේක්ෂකයන්ගෙන් අසන බයිබල් ප්‍රශ්නවලට උත්තර දුන්නා. සති තුනකට පස්සේ මං බව්තීස්ම වුණා.

මං බව්තීස්ම වෙනවා දැකලා, අපේ දරුවන් තුන්දෙනා වන විටෝ, වෙනෙල්ඩා හා වෙරොනිකා ඉක්මනින්ම ආත්මිකව දියුණු වෙන්න පටන්ගත්තා. ඊළඟ අවුරුදු දෙක ඇතුළත, වැඩිමල් දෙන්නා බව්තීස්ම වුණා; බාලයා අවුරුදු හතරකට පස්සේ බව්තීස්ම වුණා. බයිබල් සත්‍යයන් ගැන දන්නවා වුණත්, ඒ ගැන කිසි දෙයක් කරන්නේ නැති අය එක්ක මං කතා කරන කොට, මං හුඟක් වේලාවට ඔවුන්ට කියනවා එහෙම කරන්න අසමත් වීමෙන් අත් වන ප්‍රතිවිපාක ගැන. ඔවුන්ගේ දරුවන් ඒ ගැන නොකියන්න පුළුවන් වුණත්, ඒ දරුවෝ මෙහෙම කල්පනා කරනවා කියලා මං ඔවුන්ට කියනවා, ‘සත්‍යය තාත්තාට එච්චර වැදගත් නැත්නම්, මටත් වැඩක් නැහැ.’

පූර්ණ-කාලීන සේවය ලුහුබැඳීමට

අපේ මුළු පවුලම පුරෝගාමීන් හැටියට මාර්ෂල්හි පිහිටි ආර්කැන්සස් ප්‍රදේශයේ පූර්ණ-කාලීන සේවය කරන්න පටන්ගත්තා. වෙල්යායි මමයි 1979දී පටන්ගත් අතර, අපේ දරුවන් හැම කෙනෙක්ම උසස් පාසැලෙන් උපාධි ලබාගැනීමෙන් පස්සේ, ඊළඟ අවුරුදුවල අපි එක්ක සේවයේ හවුල් වුණා.

දකුණු අමෙරිකාවේ පිහිටි ඉක්වදෝරයේ සිටින ජනයා අතර බයිබල් දැනුම සඳහා පිපාසයක් තිබෙන බව 1980 මුල් භාගයේදී අපිට අසන්න ලැබුණා. ඒ හින්දා අපි එහි යෑම අපේ ඉලක්කය කරගත්තා. වර්ෂ 1989 වෙනකොට අපේ දරුවෝ ලොකු මහත් වෙලා සිටිය අතර, ඔවුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපයාගන්න පුළුවන් වුණා. එනිසා ඒ අවුරුද්දේදී, “දේශය සෝදිසිකර[න්]න” අපි ඉක්වදෝරයට කෙටි බැහැදැකීමකට ගියා.—ගණන් කථාව 13:1, 2, සසඳන්න.

අපි 1990 අප්‍රියෙල් මාසයේදී අපේ අලුත් නිවස වන ඉක්වදෝරයට ආවා. අපිට තිබුණු මුදල සීමිත එකක් නිසා, අපේ මුදල් අරපිරිමැස්මෙන් පාලනය කරන්න අපිට සිදු වුණා; මගේ විශ්‍රාම වැටුපෙන් අපි ජීවත් වුණේ. ඒ වුණත්, ආත්මිකව ඵලදායී මේ දේශයේ කරන අපේ පූර්ණ-කාලීන දේවසේවයෙන් අපි ලබන ප්‍රීතිය, මුදලින් කරන පරිත්‍යාගයන් සියල්ලටම වඩා අතිවිශාලයි. මුලින්ම අපි වැඩ කළේ වරාය පිහිටි මාන්ටා කියන නගරයෙයි; එහිදී අපි දෙන්නා වෙන වෙනම සතිපතා බයිබල් පාඩම් 10-12 දක්වා ප්‍රමාණයක් පැවැත්වුවා. පසුව 1992දී, සංචාරක අවේක්ෂකයෙක් හැටියට මම මගේ භාර්යාවත් එක්ක සේවය කරන්න පටන්ගත්තා. අපි සෑම සතියකම විවිධ සභාවන් බැහැදකිනවා.

යුක්තිය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත් විට

අපි හැදී වැඩෙමින් ඉන්න කාලයේ අද්දැක්ක අයුක්තීන් දැන් අපිට අපේ දේවසේවයේදී උපකාරවත් වෙන බව, අතීතයේ සිදු වූ දේවල් මතක් වෙද්දී, වෙල්යාට වගේම මටත් තේරෙනවා. හුඟාක් දුප්පත් අයව හෝ අපිට වඩා අඩු අධ්‍යාපනයක් ලබා තිබෙන අයව හෝ අපිට වඩා වෙනස් වාර්ගික පසුබිම්වලට අයත් අයව හෝ කවදාවත් පහත් කොට නොසැලකීමට අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්, අපි අද්දැක්කාටත් වඩා දරුණු සමාජ අයුක්තීන් අද්දකින බව අපි දකිනවා. ඒත් ඔවුන් පැමිණිලි කරන්නේ නැහැ. ඔවුන් පැමිණෙන දේවරාජ්‍යය කෙරෙහි තමන්ගේ ඇස් යොමාගෙන සිටිනවා; අපි ඉගෙනගෙන තියෙන්නෙත් ඒ දෙයම කරන්නයි. මේ පිළිවෙළ තුළ යුක්තිය සෙවීම අපි නතර කර දාලා හුඟක් කල් වෙනවා; ඒ වෙනුවට අපි ජීවිත යොදවන්නේ, අයුක්තියට එකම සැබෑ විසඳුම වන දේවරාජ්‍යය වෙතට මිනිසුන්ව යොමු කරවන්නයි.—මතෙව් 24:14.

අප අතර සිටින අයුක්තියට වහාම ප්‍රතිචාරය දක්වන අය, දෙවිගේ සෙනඟගෙන් පරිපූර්ණ යුක්තිය බලාපොරොත්තු වීමට එරෙහිව පරෙස්සම් වෙන්න ඕනෑ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේකට හේතුව, අපි ඔක්කොම අසම්පූර්ණ මෙන්ම වැරදි දෙයට නැඹුරුවාවක් දක්වන නිසයි. (රෝම 7:18-20) ඒ වුණත්, තමන්ගේ හැකියාවන්ට අනුව හරි දෙය වෙනුවෙන් උපරිමය කරන්න දැඩි ප්‍රයත්නයක් දරන, විවිධ ජාතීන්ගෙන් සමන්විත ප්‍රේමනීය සහෝදර ඇසුරක් අපිට භුක්ති විඳින්න ලැබිලා තියෙනවා කියලා අපිට අවංකව කියන්න පුළුවන්. සෑම තැනකම ඉන්න දෙවිගේ සෙනඟ සමඟ අපේ බලාපොරොත්තුව වන්නේ, ධර්මිෂ්ඨකම වාසය කරන දෙවිගේ නව ලොවට අපි ඇතුල් වෙනවා දැකීමයි.—2 පේතෘස් 3:13.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මං වහාම මගේ අත මිට මොළවා වැරෙන් බිත්තියට ගසමින්, මගේ විරුද්ධත්වය ප්‍රකාශ කළා

[20වන පිටුවේ පින්තූරය]

මං ගුවන් හමුදාවට බැඳුණු කාලයේ, වෙල්යා සමඟ

[22වන පිටුවේ පින්තූරය]

වෙල්යා සමඟ 1996දී

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න