යෞවන අය අසති . . .
මෙච්චර බරපතළ ලෙඩක් එක්ක කොහොමද මම කටයුතු කරන්නේ?
ජේසන් වයසින් අවුරුදු 18ක්ව පමණයි හිටියෙ, හැබැයි හරියට පේන්න තිබුණෙ ඔහුගේ ජීවිතයේ සෑම ඉලක්කයක්ම සාක්ෂාත් කරගන්න බැරි ඒවා විදිහටයි. ඔහු බලාපොරොත්තුවෙන් හිටියෙ පූර්ණ කාලීන ක්‍රිස්තියානි දේවසේවකයෙක් හැටියට සේවය කරන්නයි; හැබැයි ඒ වන විට ඔහුට දැනගන්න ලැබුණා, ක්රොන්ස්ගේ රෝගය—එනම් වේදනාකාරි හා දුබල කරවන, අතුණුවල රෝගකාර තත්වයක් ඔහුට තිබෙන බව. කෙසේවුවත්, අද ජේසන් තමාගේ තත්වයන් සමඟ සාර්ථකව කටයුතු කරනවා.
සමහරවිට ඔබත් බරපතළ රෝගයකට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. මීට ඉහත කලාපයකදී, පිබිදෙව්! ඔබ වැනි යෞවනයන් මුහුණ දෙන අභියෝග ගැන සලකා බැලුවා.a ඔබේ තත්වයේදී උපරිම වාසි අත් කරගත හැකි ආකාරය දෙස දැන් අපි බලමු.
ඒකාන්ත මානසික ආකල්පයක්
ඕනෑම රෝගයක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඇතුළත් වන්නේ ඒකාන්ත මානසික ආකල්පයකුයි. “මනුෂ්‍යයෙකුගේ ආත්මය තමාගේම දුක උසුලන්නේය; එහෙත් බිඳුණු ආත්මය දරන්ට පුළුවන් කාටද?” කියා බයිබලය කියයි. (හිතෝපදේශ 18:14) අඳුරු, අශුභවාදී සිතුවිලි හා හැඟීම්, සුවවීම තවත් අපහසු කරවනවා. මෙය සත්‍යයක් යන වග ජේසන් සොයාගත්තා.
පළමුවෙන්ම, ජේසන්ට කෝපය වැනි ඔහුව අඩියටම හෙළන නිෂේධාත්මක හැඟීම් සමඟ සටන් කරන්න සිදු වුණා. උපකාර වුණේ මොනවාද? “විෂාදය සම්බන්ධයෙන් තිබුණ මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල ලිපි මට ඒකාන්ත ආකල්පයක් පවත්වාගන්න උපකාර කළා. දැන් මම එක පාරකට හිතන්නේ එක දවසකට තියෙන දේවල් ගැන විතරයි.”b
එයාකාරයෙන්ම 17 හැවිරිදි කාමන් දේවල හොඳ පැත්ත දිහා බලන්න ඉගෙනගත්තා. ඇය දෑකැති හැඩැති සෛල රක්තහීනතාවෙන් පෙළුණත්, ඇය ඇයගේ ආශීර්වාද ගණන් කරනවා. “මටත් වැඩිය අන්ත තත්වයන්වල ඉන්න අය ගැනත් මට කරන්න පුළුවන් දේවල් කරන්න බැරි අය ගැනත් මම කල්පනා කරනවා. ඒ හින්දා මට මං ගැන දුකක් නෙමෙයි හිතෙන්නේ, ඒ වෙනුවට මේ විදිහට මට ඉන්න පුළුවන් වෙන එක ගැන මම ස්තූතිවන්ත වෙනවා.”
හිතෝපදේශ 17:22 පවසන්නේ “තුෂ්ටිමත් සිත හොඳ ඖෂධයකි” කියාය. බරපතළ රෝගාතුර තත්වයකදී සිනාසීම නුසුදුසුයයි සමහරුනට හැඟෙන්න පුළුවන්. නමුත් හොඳ හිතින් කරන විහිළු තහළු හා ප්‍රිය ඇසුර ඔබගේ මනස ප්‍රබෝධවත් කරවන අතර, ජීවත් වෙන්න ඔබට තියෙන කැමැත්තද වැඩි කරවයි. ඇත්තෙන්ම කියනවා නම්, ප්‍රීතිය දේවගුණාංගයක් වන අතර, දෙවිගේ ආත්මයේ ඵල අතුරෙන් එකක්. (ගලාති 5:22) ඔබ රෝගාතුර තත්වයක් සමඟ සටන් කරනවා විය හැකි වූවත්, ඒ ආත්මයට පුළුවන් ඔබට ප්‍රීතිය හැඟෙන්න උදව් කරන්න.—ගීතාවලිය 41:3.
තේරුම්ගන්නාසුලු වෛද්‍යවරයෙක්ව හොයාගැනීම
යෞවනයන්ව තේරුම්ගන්නා වෛද්‍යවරයෙක් සිටීම ඇත්තෙන්ම උපකාරයක්. සාමාන්‍යයෙන් යෞවනයෙකුගේ මානසික හා චිත්තවේගීය අවශ්‍යතාවන් වැඩිහිටියෙකුගේ ඒවාට වඩා වෙනස්. මොළයේ අර්බුදයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ආරෝග්‍ය ශාලාවට යන්න සිදු වූ විට ඈෂ්ලිට වයසින් වූයේ අවුරුදු 10ක් පමණයි. ඈෂ්ලිගේ වෛද්‍යවරයා ඇය සමඟ දයානුකම්පිත හා ඇයට වටහාගත හැකි ආකාරයකින් කටයුතු කළා. තමාගේ ළමා කාලයේ තිබූ රෝගාතුර තත්වය ඔහුව වෛද්‍යවරයෙක් වෙන්න පෙලඹෙවූ ආකාරය ගැන ඔහු ඇයට කිව්වා. ඇයට එන්න තියෙන දේවල් කලින් දැන සිටින්න හැකි වන පිණිස, ඔහු මෘදුව එහෙත් පැහැදිලිව ඇයට නිර්දේශ කර තිබූ ප්‍රතිකාරය පැහැදිලි කළා.
ඔබට ගෞරව කරන හා ඔබේ අවශ්‍යතාවන් තේරුම්ගන්නා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සොයාගන්න ඔබට හා ඔබේ දෙමාපියන්ට ඕනෑ වේවි. යම් හේතුවකින් ඔබට ලැබෙන සාත්තුව ගැන ඔබට පහසුබවක් දැනෙන්නේ නැතිනම්, ඔබගේ හැඟීම් ඔබේ දෙමාපියන්ට පළ කරන්න අදි මදි කරන්න එපා.
ඔබේ සෞඛ්‍යය සඳහා සටන් කරන්න!
ඔබට හැකි සෑම අයුරකින්ම ඔබේ රෝගය සමඟ සටන් කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. උදාහරණයකට, ඔබේ තත්වය ගැන හැකි සෑම දෙයක්ම දැනගන්න. “දැනගැන්ම ඇති මනුෂ්‍යයා ශක්තිය වැඩිකරගනියි” කියා එක් බයිබල් හිතෝපදේශයක් නිරීක්ෂණය කරනවා. (හිතෝපදේශ 24:5) දැනුම, නොදන්නා දේට තියෙන භය ඉවත් කරනවා.
මීට අමතරව, දැනුවත් කර ඇති යෞවනයෙකුට තම ප්‍රතිකාරයට වැඩියෙන් සම්බන්ධ විය හැකි අතර, ඒ හා සමඟ සහයෝගීව කටයුතු කිරීමට හැකි වැඩි වාසිදායක තත්වයකද ඉන්නවා. උදාහරණයකට, නිර්දේශ කර ඇති ප්‍රතිකාරයක් ගැනීම, වෛද්‍යවරයෙකුගේ අනුදැනුමෙන් තොරව නවතා නොදැමිය යුතු බව ඔහුට දැනගන්න ලැබෙන්න පුළුවන්. ඉහත සඳහන් කළ කාමන් ඇගේ දෙමාපියන් කළාක් මෙන්, දෑකැති හැඩැති සෛල රක්තහීනතාව ගැන පොත පත කියවනවා. කාමන්ට උපරිම ලෙස උපකාර කළ හැකි වෛද්‍යමය ප්‍රතිකාර ලබාගන්න, ඔවුන් දැනගත් දෙය ඔවුන්ට උපකාරයක් වුණා.
ඔබට යම් කාරණයක් පැහැදිලි නැතිනම්—ඔබගේ වෛද්‍යවරයාගෙන් අදාළ ප්‍රශ්න අහන්න—අවශ්‍ය නම් එක වතාවකට වැඩියෙන් අහන්න. වෛද්‍යවරයා අසන්න කැමති වේයයි ඔබ සිතන දේවල් කියනවා වෙනුවට, ඔබට සිතෙන හා හැඟෙන දේවල් අවංකව පැහැදිලි කරන්න. බයිබලය පවසන පරිදි, “මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය.”—හිතෝපදේශ 15:22.
එක්තරා තැනකට ආවිට, ඈෂ්ලි ඇයගේ රෝගාතුර තත්වය සම්බන්ධයෙන් අදහස් නොදක්වන තත්වයක මෙන් හිටියා. ඒ ගැන ඇය කතා කළේ ඇයගේ මවට පමණයි. එක් ඥානවන්ත සමාජ සේවිකාවක් ඇයගෙන් පෞද්ගලිකව මෙසේ විමසුවා: “ඔයාට හිතෙනවාද ඔයාට හැම දෙයක්ම කියන්නේ නැහැ වගෙයි කියලා?” ඇයට එසේ හැඟෙන බවට ඇය කෙරෙහි විශ්වාසය තබමින් ඈෂ්ලි පැවසුවා. ඒ නිසා ස්ත්‍රිය ඈෂ්ලිට ඇගේ වෛද්‍ය වාර්තා පෙන්වා ඒවා ඇයට පැහැදිලි කළා. ඇය ගැන ඇගේ දෙමාපියන් සමඟ නිකම්ම කතා කරනවා වෙනුවට, ඈෂ්ලි සමඟ කෙලින්ම කතා කරන හැටියට ස්ත්‍රිය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියා. අන්තිමේදී ඇයගේ සියලුම හැඟීම් එළියට දැමීමෙන්, ඈෂ්ලිට අවශ්‍ය උපකාරය ලබාගන්න හැකි වුණා.
ඔබ අවට අයගෙන් සහයෝගය
පවුලේ ඕනෑම සාමාජිකයෙකු බරපතළ ලෙස ලෙඩ වී ඇති විටෙක, එය එකමුතු වෑයමක් ඕනෑ කරන පවුලටම බලපාන්නක් බවට පත් වෙනවා. ඈෂ්ලිගේ පවුල හා ක්‍රිස්තියානි සභාව ඇයට පූර්ණ සහයෝගයක් දෙන්න ඉදිරිපත් වුණා. ඇය රෝහල්ගත කර ඇති බව සභාවට කලින් කලට මතක් කළා. සභාවේ සාමාජිකයන් නිතරම ඇයව බැහැදකින්න ගිය අතර, ඔවුන් පවුලේ අය නැවත පිළිවෙළක් වෙන තුරු, ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමට හා කෑම පිසීමට උපකාර කළා. ඇයව බැහැදකින්න සුදුසු තත්වයක සිටි අවස්ථාවලදී, සභාවේ ළමුන් ඈෂ්ලිව බැහැදකින්න ආරෝග්‍ය ශාලාවට ගියා. මෙය ඈෂ්ලිට පමණක් නොව ඇගේ යෞවන මිතුරු මිතුරියන්ට පවා හොඳ දෙයක් වුණා.
කෙසේවුවත් අනුන්ට ඔබට උපකාර දෙන්න පුළුවන් වෙන්න පළමුවෙන්, ඔබට උදව් අවශ්‍යයි කියා ඔවුන් දැන සිටින්න අවශ්‍යයි. කාමන් චිත්තවේගීය හා ආත්මික සහය සඳහා තම දෙමාපියන් හා වැඩිමහල්ලන් වෙතට හැරෙයි. එමෙන්ම ඇයගේ විශ්වාසයන් හවුලේ බෙදාගන්නා පාසැලේ ඉන්න අය කෙරෙහිද ඇය රඳා සිටිනවා. “ඔවුන් මං ගැන ඇහැගහගෙන ඉන්නවා, ඉතින් මාව හරියට බලාගන්නවා වගෙයි මට දැනෙන්නේ” යයි කාමන් පවසයි.
ඔබට උපකාරවත් වෛද්‍යමය හා මූල්‍යමය උපදෙස් සපයන්න ඔබගේ පාසැලට පුළුවන් විය හැකි අතර, සමහරවිට පෞද්ගලික උපකාර සපයන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට, ඈෂ්ලිගේ ගුරුවරිය ඇයගේ පන්තියට දිරිගැන්වූවා ඈෂ්ලිට ලිපි ලියන්න හා ඇයව බැහැදකින්න කියලා. ඔබ මුහුණ දෙන අපහසුතාවන් ඔබේ ගුරුවරුන්ට වැටහෙන්නේ නැතිනම්, ඔබේ දෙමාපියන්ට පාසැලේ අධිකාරීන් සමඟ තත්වය ගෞරවාන්විත ලෙස සාකච්ඡා කරන්න අවශ්‍ය විය හැකියි.
මනස හා කය ඥානාන්විතව පාවිච්චි කරන්න
ඔබ සෑහෙන දුරට ලෙඩ වී ඉන්න විට, සුවවීම ගැන හිතන්න ඔබට තියෙන මුළු වැය යොදනවා හැර, වෙනයම් දෙයක් කෙරෙහි ඔබේ ශක්තිය වැය කරන්න ඔබට නුපුළුවන් විය හැක. ඔබ සම්පූර්ණයෙන්ම දුබල තත්වයකට පත් වී නැතිනම්, ඔබට කළ හැකි ගොඩනංවනසුලු දේවල් බොහොමයක් තියෙනවා. ජිල් ක්රෙමෙන්ට්ස් නම් ලේඛිකාව, හැව් ඉට් ෆීල්ස් ටු ෆයිට් ෆො යො ලයිෆ් (ඔබේ ජීවිතය වෙනුවෙන් සටන් කරන විට හැඟෙන අයුරු) යන තම පොත සඳහා ගවේෂණය කරමින් සිටි විට ඇයට වැටහුණු දෙයක් ගැන මෙසේ අදහස් දැක්වූවා: “අවුරුදු දෙකක් තිස්සේ ඉස්පිරිතාල කොරිඩෝර දිගේ ඇවිදගෙන යනකොට ළමයි ඇහැ ඇරගෙන රූපවාහිනිය දිහා බලං ඉන්නවා දකින්න ලැබුණු එක කනගාටුවට කරුණක්. අපිට අවශ්‍යයි දිරිගන්වන්න මේ යෞවනයන්ට වැඩියෙන් කියවන්න කියලා. කෙනෙකුගේ මොළය වෙහෙසන්න නියම තැන තමයි ඉස්පිරිතාල ඇඳ.”
ඔබ නිවසේ හෝ ආරෝග්‍ය ශාලාවේ හිටියත්, ඔබගේ මානසික ශක්තීන් වෙහෙස වීම ඔබට බොහෝදුරට වඩා හොඳ හැඟීමක් ඇති කරගන්න උපකාර කරන්න පුළුවන්. ඔබ ලියුම් හෝ කවි ලියන්න උත්සාහ කර තියෙනවාද? චිත්‍ර ඇඳීම හෝ පින්තාරු කිරීම? ඔබේ තත්වයන් ඉඩ දෙනවා නම්, සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගැනීම හොඳ නැද්ද? සෞඛ්‍යමය සීමාවන් තිබුණත්, ප්‍රස්තාවන් බොහොමයක් තියෙනවා. ඇත්තෙන්ම, ඔබට කළ හැකි හොඳම දෙය නම් දෙවිට යාච්ඤා කිරීමේ හා ඔහුගේ වචනය වන බයිබලය කියවීමේ පුරුද්ද වර්ධනය කරගැනීමයි.—ගීතාවලිය 63:6.
ඔබේ තත්වය ඊට ඉඩ දෙනවා නම්, සුදුසු කායික ක්‍රියාකාරකම්වලට පුළුවන් ඔබට හොඳ හැඟීමක් ඇති කරගන්න උපකාර කරන්න. මේ හේතුවෙන් වෛද්‍යමය පහසුකම්වල බොහෝවිට තරුණ රෝගීන් සඳහා කායික චිකිත්සා වැඩසටහන් තියෙනවා. බොහෝ අවස්ථාවලදී නිසි ව්‍යායාමය කායික සුවයට අත හිත දෙනවා විතරක් නෙවෙයි, නමුත් ප්‍රබෝධයෙන් සිටින්නත් උපකාර කරනවා.
අතහරින්න එපා
දැඩි දුක් විඳීම හමුවේ, යේසු දෙවිට යාච්ඤා කළා; ඔහු කෙරෙහි විශ්වාසය තැබුවා; එමෙන්ම වේදනා ගැන නොව, නමුත් ඔහුගේ ප්‍රීතිමත් අනාගතය ගැන මෙනෙහි කළා. (හෙබ්‍රෙව් 12:2) ඔහු ඔහුගේ වේදනාකාරි අද්දැකීම්වලින් ඉගෙනගත්තා. (හෙබ්‍රෙව් 4:15, 16; 5:7-9) ඔහු උපකාරය හා දිරිගැන්වීම පිළිගත්තා. (ලූක් 22:43) ඔහු ඔහුගේ දුෂ්කරතාව ගැන වෙනුවට අන් අයගේ ශුභසාධනය වෙත අවධානය යොමු කළා.—ලූක් 23:39-43; යොහන් 19:26, 27.
ඔබ සෑහෙන දුරට ලෙඩින් සිටිය හැකි වූවත්, ඔබටත් පුළුවන් අන්‍යයන්ව දිරිගැන්වීමේ අනුබලයක් හැටියට කටයුතු කරන්න. එක් පාසැල් වාර්තාවක් සඳහා, ඈෂ්ලිගේ අක්කා ඇබිගේල් මෙහෙම ලිව්වා: “මම වැඩියෙන්ම අගය කරන කෙනා තමයි මගේ නංගි. එයා ඉස්පිරිතාලෙට ගිහිල්ලා, එන්නත් විද්දෝගන්නවා; බෙහෙත් කටුවලින් බේත් විද්දත්, එයා එනකොට එන්නෙ හිනාවේගන!”c
ජේසන් තම ඉලක්ක අතහැරලා නැහැ; ඒවා යම් දුරකට වෙනස් කරගෙන තියෙනවා පමණයි. දැන් ඔහුගේ ඉලක්කය වී ඇත්තේ, දේවරාජ්‍යයේ දේශනාකරුවන් සඳහා වැඩි අවශ්‍යතාවක් ඇති තැනක සේවය කිරීමයි. ජේසන්ගේ තත්වයේදී මෙන්, ආශා වන හැම දෙයක්ම කරන්න ඔබට නුපුළුවන් විය හැක. වැදගත් දෙය නම් ඔබගේම සීමාවන්ට අනුව ජීවත් වීමයි; එනම් ඕනෑවට වඩා පරෙස්සම් නොවන අතරතුරේදී කිසිම වගකීමකින් තොරවත් කටයුතු නොකර සිටීමයි. ඔබට කළ හැකි උපරිමය කිරීම සඳහා ප්‍රඥාව හා බලය සැපයීමට යෙහෝවා කෙරෙහි රඳා සිටින්න. (2 කොරින්ති 4:16; යාකොබ් 1:5) එමෙන්ම “තමා ලෙඩින්යයි කිසි වැසියෙක්” නොකියන කාලයක්, එනම් මේ පොළොව පාරාදීසයක් වන කාලයක් එන බව මතක තියාගන්න. (යෙසායා 33:24) ඔව්, එක් දිනයක ඔබ නැවතත් සෞඛ්‍යසම්පන්නව ඉන්න යනවා.
[පාදසටහන්වල]
a පිබිදෙව්! 1997 මැයි 8, පිටු 19-21 බලන්න.
b මුරටැඹ, 1992 පෙබරවාරි 1, 29 පිටුව; 1990 මාර්තු 1 3-9 පිටු (ඉංග්‍රීසියෙන්); සහ පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 1987 ඔක්තෝබර් 22 2-16 පිටු; 1987 නොවැම්බර් 8, 12-16 පිටු බලන්න.
c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ පිටු 116-27 දක්වාත් බලන්න.
[24වන පිටුවේ පින්තූරය]
වැඩිමහල් සොහොයුරිය වන ඇබිගේල් ඈෂ්ලිගේ ධෛර්යය අගය කරනවා