රළු වචන, මිරිකුණු ආත්ම
“මෝඩ කම්මැළියා!”a ජපානයේ ස්ත්‍රියක් මේ වචන ඉතා හොඳින් මතකයට නංවනවා—ඇය ළදැරියක්ව සිටියදී මේ වචන ඇය වෙත නිතරම හඹා ආවා. කාගෙන්ද? පාසැල් ළමුන්ගෙන්? සහෝදර සහෝදරියන්ගෙන්? නැහැ. ඇගේම දෙමාපියන්ගෙන්. ඇය මෙහෙම මතක් කරනවා: “නම් දාන එක මගේ හැඟීම් ගැඹුරට පසාරු කරගෙන ගිය හින්දා මම කලකිරිලයි හිටියේ.”
එක්සත් ජනපදයේ මිනිසෙක්, කුඩා ළමයෙක්ව සිටියදී ඔහුගේ තාත්තා ගෙදර එන සෑම විටකදීම ඔහු භයට සහ කාන්සාවට පත් වුණ බව සිහි කරනවා. ඔහු මතක් කරන්නේ මෙහෙමයි: “තාත්තා අපේ පාර දිගේ ගෙදර එද්දී, කාර් එකේ රෝද සද්දේ මට තාමත් මතක් වෙනවා; ඒක මගේ ඇඟ කිලිපොළා යැව්වා. මගේ චූටි නංගියා හැංඟෙනවා. මගේ තාත්තා සම්පූර්ණත්වය බලාපොරොත්තු වුණු කෙනෙක්; ඒ වගේම අපි කරන්න ඕනෙ කළ ගෙදරදොරේ වැඩක් හරියට කෙරුවේ නැති වුණාම සවුත්තු වෙන විදිහට අපිට නිතරම සැර කරනවා.”
මේ මිනිසාගේ අක්කා මෙහෙම එකතු කරනවා: “මට මතක නැහැ මගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙක්වත් අපිව බදාගන්නවාවත් අපිව ඉඹගන්නවාවත්; ‘මම ඔයාට ආදරෙයි’ කියල හරි ‘මම ඔයා ගැන ආඩම්බර වෙනවා’ කියල වගේ දෙයක් හරි කියනවාවත් මට මතක නැහැ. ‘මම ඔයාට ආදරෙයි’ කියන දේ දරුවෙකුට කිසි දවසක ඇහෙන්නේ නැත්නම්, එයාගෙ ජීවිත කාලය පුරාම එයාට ඇහෙන්නේ ‘මම ඔයාට වෛර කරනවා’ වගේ හැඟීමක්.”
මේ මනුෂ්‍යයන් දරුවන් හැටියට විඳ ඇති දුක් ගැහැට සුළුයි කියා සමහරු කියනවා වෙන්න පුළුවන්. රළු මෙන්ම අකාරුණික වචන සහ පහත් සැලකීම් ලැබීමේ අන්තයේ ළමුන් සිටීම නිසැකවම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. භය උපදවන පුවත්පත් ශීර්ෂ පාඨවලවත්, උද්වේගකර කෙටි රූපවාහිනී දර්ශනවලවත්, මේ සැලකිලි හුවා දක්වන්නේ නැහැ. හානිය වසං වෙලා. එසේ වුණත්, දවසක් දවසක් පාසා දෙමාපියන් මේ විදිහට ඔවුන්ගේ දරුවන්ට අනිසි විදිහට සලකනවා නම්, එහි බලපෑම විනාශකාරි වෙන්න පුළුවන්—ඒ වගේම ජීවිත කාලය පුරාම එය පවතින්න පුළුවන්.
වයස අවුරුදු පහේ කණ්ඩායමේ ළමුන් සම්බන්ධ දෙමාපිය පුරුදු ගැන, වර්ෂ 1990 සිට 1951 දක්වා කාලය පිළිබඳ කළ අධ්‍යයනයක් සලකා බලන්න. දැන් මැදිවියේ සිටින මේ දරුවන් බොහෝදෙනෙකුව සොයාගෙන, ඔවුන්ගේ හැදී වැඩීමේ දිගු කාලීන බලපෑම් ගැඹුරට සොයා බලන්න පර්යේෂකයන්ට හැකි වුණා. අලුත් අධ්‍යයනයෙන් නිගමනය කළේ, තමන්ගේ ජීවිතයේ පසු කාලයේදී දුෂ්කරම කාලයක් ගෙවූ මෙන්ම චිත්තවේගීය සුභසාධනය අඩුවෙන් ලැබූ මෙන්ම විවාහ ජීවිතයේදී, මිත්‍රත්වයන්හිදී සහ රැකියාවේදී අපහසුතා ඇති වූ අය, අනිවාර්යයෙන්ම දුප්පත් හෝ පොහොසත් හෝ පෙනෙන විදිහට ගැටලු සහිත දෙමාපියන්ගෙන් පැමිණි අය නෙවෙයි. ඔවුන් දුරස්, උණුසුම් හැඟීමක් නැති සහ ටිකක් හෝ කොහෙත්ම ස්නේහය නොපෙන්වූ දෙමාපියන්ගේ දරුවන්.
මේ සොයාගැනීමේ ප්‍රතිඵලය, දැනට අවුරුදු 2,000කට විතර කලින් ලියූ සත්‍යයේ දුර්වල ප්‍රතිරාවයක් විතරයි: “පියවරුනි, ඔබගේ දරුවන් අධෛර්යය නොවන පිණිස ඔවුන් කුපිත නොකරන්න.” (කොලොස්සි 3:21, NW) දෙමාපියන්ගේ වාචික සහ චිත්තවේගීය බැණවැදීම් නිසැකවම දරුවන්ව කුපිත කරවන අතර, ඇත්තවශයෙන්ම ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ව අධෛර්යයට පත්වීමට එය හේතු වෙනවා.
ග්‍රොවිං අප් සෑඩ් (දුක සේ වැඩීම) නම් පොතට අනුව, ළමා කලකිරීම කියා දෙයක් නැතැයි වෛද්‍යවරු හිතා වැඩි කාලයක් ගත වෙලා නැහැ. නමුත් එය එසේ නොවන බව කාලය සහ අද්දැකීම ඔප්පු කර තියෙනවා. අදදින, කතුවරු තරයේ කියා සිටින්නේ, ළමා කලකිරීම හඳුනාගෙන තියෙන බවත්, එය කොහෙත්ම අසාමාන්‍ය දෙයක් නොවන බවත්, එසේ වීමට හේතු අතර දෙමාපිය ප්‍රතික්ෂේප වීම සහ අනිසි සැලකීම තියෙන බවත්ය. කතුවරු පැහැදිලි කරන්නේ මෙහෙමයි: “සමහර අවස්ථාවලදී, දෙමාපියා දරුවාව නිරන්තරවම නොසෑහෙන විවේචනයට සහ නින්දාවට ලක් කරනවා. තවත් සමහර අවස්ථාවලදී දෙමාපිය-දරු සබඳතාවක් කොහෙත්ම නැහැ: දරුවාට දෙමාපියාගේ ආදරය කිසිදාක ප්‍රකාශ කර නැහැ. . . . එවැනි දෙමාපියන්ගේ දරුවන්ට හෝ වැඩෙන තරුණ තරුණියන්ට ප්‍රතිඵලය විශේෂයෙන්ම ඛේදජනකයි; මෙතෙක් සලකා බැලූ දෙයට අනුව ආදරය හරියට පැළයකට අවශ්‍ය හිරු එළිය සහ වතුර වගෙයි.”
දෙමාපිය ආදරය පැහැදිලිව සහ විවෘතව ප්‍රකාශ කළොත්, ඉන් දරුවන් වැදගත් සත්‍යයක් ඉගෙනගන්නවා: ඒ ඔවුන් ආදරය ලබනවා; ඔවුන් වටිනා අය බව දැනෙනවා කියන එකයි. බොහෝදෙනෙක් මේ සංකල්පය වරදවාගෙන උඩඟුකමක්, අනිත් අයට වඩා තමන් කෙරෙහි ආදරයක් ඇති කරගෙන තියෙනවා. නමුත් මෙහි අදහස් කරන්නේ එය නෙවෙයි. මේ විෂය සම්බන්ධව එක් කතුවරියක් ඇගේ පොතේ මෙහෙම ලියනවා: “ඔබේ දරුවා තමන් ගැනම කරන විනිශ්චය, ඔහු තෝරාගන්නේ මොන වගේ මිතුරන්ද, ඔහු අන් අය සමඟ කටයුතු කරන්නේ කොහොමද, ඔහු විවාහ වෙන්නේ මොන වගේ කෙනෙක් සමඟද සහ ඔහු කොතරම් ඵලදායී වෙනවාද යන්නට බලපානවා.” බයිබලය එහි දෙවන උතුම් ආඥාව ලෙස නම් කරද්දී, මොනතරම් සමබර සහ තමා ගැන ඕනෑවට වඩා පාරට්ටු කර නොගැනීමේ ආකල්පයක් තිබිය යුතුද කියා පිළිගන්නවා: “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව.”—මතෙව් 22:38, 39.
දරුවෙකුගේ වැදගත් සහ සියුමැළි ආත්ම-වටිනාකම ඉරිතළන්න කිසිම සාමාන්‍ය දෙමාපියෙකුට උවමනායයි සිතීම උගහටයි. එසේනම්, බොහෝවිට එය සිදු වෙන්නේ ඇයි? එමෙන්ම එය වළක්වාගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
[පාදසටහන]
a ජපන් භාෂාවෙන්, නොරොමා බාකා!