ඔබේ දරුවන්ට සඵල වන්න උපකාර කරන්න
දරුවන් හදා වඩාගැනීම කියන කාරණය ගනිද්දී, තමන්ගේ පවුල සඳහා ප්‍රයෝජනවත් ඔවුන්ගේ ගෙදරදීම පහසුවෙන් සොයාගත හැකි උත්තර සඳහා, බොහෝ දෙමාපියන් ඇත්තෙන්ම අස්සක් මුල්ලක් නෑර සොයනවා. අසංඛ්‍යාත පවුල් සතුව බයිබලයක් තියෙනවා; නමුත් එය රාක්කයක් උඩ තිබී, දූවිලි එක්කහු වෙනවා මිසක දරුවන් හදා වඩාගැනීම සඳහා පාවිච්චියට යොදාගැනෙන්නේ නැහැ.
ඇත්තයි, පවුල් ජීවිතයෙහි මාර්ග දර්ශකයක් ලෙස එය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අදදින බොහෝදෙනෙක් බයිබලය සැක කරනවා. එය යල් පැන්න, පරණ තාලේ හෝ ඕනෑවට වඩා කර්කශ පොතක් කියා අහක දමනවා. නමුත් බයිබලය පවුල් සඳහා ප්‍රායෝගික පොතක් කියා ඒ ගැන අවංක පරීක්ෂණයක් හෙළි කරාවි. ඒ කොහොමද කියා අපි බලමු.
සුදුසු වාතාවරණය
දරුවන්ව “[තමන්ගේ] මේසේ අවට ඔලීව පැළ” මෙන් සලකන්න කියා බයිබලය පියවරුන්ට කියනවා. (ගීතාවලිය 128:3, 4) ළපටි පැළවලට නිසි සාත්තුව, පස සහ තෙතමනය සැපයුවේ නැත්නම්, එමෙන්ම පරෙස්සමින් වගා කළේ නැත්නම්, ඵල දරන ගස් බවට වැඩෙන්නේ නැහැ. ඒ වගේ, සාර්ථක ලෙස දරුවන් හදා වඩාගැනීමටත් වැඩ සහ රැකබලා ගැනීම ඕනෑ කරනවා. දරුවන්ට මේරූභාවය කරා වැඩෙන්න හිතකර වාතාවරණයක් අවශ්‍යයි.
එවැනි වාතාවරණයක් සඳහා මුල් සාධකය තමයි ආදරය—එය විවාහ කලත්‍රයන් අතරත් මෙන්ම දෙමාපියන් සහ දරුවන් අතර තිබිය යුතුයි. (එපීස 5:33; තීතස් 2:4) බොහෝ පවුල්වල සාමාජිකයන් එකිනෙකාට ආදරෙයි; නමුත් එවැනි ආදරයක් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව පෙන්වන්නේ නැහැ. කෙසේවෙතත් මෙය සලකන්න: ඔබ ඔබේ මිතුරෙකුට ලියුම් ලියා කිසිදාක ලිපිනය ලිව්වේ, මුද්දර ඇලෙව්වේ හෝ යැව්වේ නැත්නම්, ඔහු සමඟ අදහස් හුවමාරු කරගත්තා කියා හරියටම කියන්න ඔබට පුළුවන්ද? ඊට සමානව, සැබෑ ආදරය කියන්නේ හෘදය උණුසුම් කරවන හැඟීමකට වඩා බොහෝ දුරස්තර දෙයක් බව බයිබලය පෙන්වනවා; එය වචනවලින් සහ ක්‍රියාවලින් එය ගැනම ප්‍රකාශ කරනවා. (යොහන් 14:15 සහ 1 යොහන් 5:3, සසඳන්න.) තම පුත්‍රයාට ඇති ඔහුගේ ආදරය වචනයට පෙරළීමෙන් දෙවි ආදර්ශය තැබුවා: “මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි.”—මතෙව් 3:17.
අගය කිරීම
දෙමාපියන් එවැනි ආදරයක් තම දරුවන්ට පෙන්වන්නේ කොහොමද? ආරම්භයක් හැටියට, ඔවුන්ගේ හොඳ දිහා බලන්න. දරුවන්ගේ වැරදි හොයන්න ලෙහෙසියි. සෑම දවසකදීම ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයකින් ඔවුන්ගේ නොමේරූකම, අද්දැකීම් නැතිකම සහ ආත්මාර්ථකාමීකම ඉස්මතු වේවි. (හිතෝපදේශ 22:15) නමුත් සෑම දවසකම ඔවුන් බොහෝ හොඳ දේවල් කරාවි. ඔබ බලන්නේ ඉන් කොයි එක දිහාද? දෙවි අපේ වැරදි මත්තේම තැවෙන්නේ නැහැ; අපි කරන හොඳ මතක් කරනවා. (ගීතාවලිය 130:3; හෙබ්‍රෙව් 6:10) අපි අපේ දරුවන් සමඟ කටයුතු කළ යුත්තේද ඒ විදිහටමයි.
එක් තරුණයෙක් සඳහන් කරන්නේ මෙහෙමයි: “ගෙදර ජීවත් වෙච්ච කාලය පුරා ගෙදරදි නැත්නම් ඉස්කෝලෙදි කරපු කිසිම දෙයක් ගැන කිසිම ආකාරයක අගය කිරීමක් කළා කියලා මට මතක් කරන්න බැහැ.” දෙමාපියෙනි, ඔබේ දරුවන්ගේ මේ වැදගත් අවශ්‍යතාව නොසලකා සිටින්න එපා! ඔවුන් කරන හොඳ දේවල් ගැන සෑම දරුවෙක්ම නිබඳ අගය කිරීම ලැබිය යුතුයි. එය, ඔවුන් ‘කලකිරී’ ඔවුන් කරන කිසිවක් කවදාවත් හොඳ වෙන එකක් නැතැයි යන සිතුවිල්ල සමඟ වැඩීමේ අවදානම අඩු කරන්න යනවා.—කොලොස්සි 3:21.
අදහස් හුවමාරුව
ඔබේ දරුවන්ට ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් තවත් හොඳ මාර්ගයක් වන්නේ, යාකොබ් 1:19හි ඇති උපදේශය අනුගමනය කිරීමයි: “ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.” ඔබ ඔබේ දරුවාට නිදහසේ කතා කරන්න හැරලා, ඔවුන්ට කියන්න තියෙන දේට ඇත්තටම ඇහුම්කන් දෙනවාද? ඔවුන් කතා කරල ඉවර වෙන්න ඉස්සෙල්ලා ඔබ ඔවුන්ට දේශනයක් දෙන්න යනවා කියල හෝ ඔවුන්ට ඇත්තටම හැඟෙන ආකාරය ගැන ඔබට කේන්ති යනවා කියල හෝ ඔබේ දරුවන් දන්නවා නම් ඔවුන් ඔවුන්ගේ හැඟීම් ඔවුන්ටම තියාගනීවි. නමුත් ඔබ ඇත්තටම ඇහුම්කන් දෙනවා කියල ඔවුන් දන්නවා නම්, ඔවුන් බොහෝදුරට විවෘත වෙන්න යනවා.—හිතෝපදේශ 20:5, සසඳන්න.
කෙසේවෙතත්, වැරදියි කියා ඔබ දන්නාවූ හැඟීම් ඔවුන් හෙළි කළොත් කුමක්ද? එය කුපිත ප්‍රතිචාරයක්, දේශනයක් හෝ යම් හික්මවීමක් සඳහා කාලයද? සමහර ලාමක ප්‍රකාශන ‘ඇසීමට ඉක්මන් වෙන්න, උදහස් වීමට ප්‍රමාද වෙන්න’ කියන දේ ක්‍රියාත්මක කිරීම දුෂ්කර කරවන බව පිළිගන්න ඕනෙ. ඒත් තම දරුවන් සමඟ දෙවිගේ ආදර්ශය නැවතත් සලකා බලන්න. දෙවි, ඔහුගේ දරුවන් ඔවුන්ට ඇත්තටම හැඟෙන්නේ කොහොමද කියල ඔහුට කියන්න භයවන ආකාරයේ ත්‍රාසය උපදවන වාතාවරණයක් සකස් කළාද? නැහැ! ගීතාවලිය 62:8 මෙහෙම කියනවා: ‘සෑමවිටම දෙවි කෙරෙහි විශ්වාස කරව්; ඔහු ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවි අපට රක්ෂාස්ථානයක්ය.’
ඉතින්, සොදොම් සහ ගොමොරා නගර දෙක විනාශ කිරීමට වූ දෙවිගේ තීරණය ගැන කලබලයට පත් ආබ්‍රහම් තම ස්වර්ගීය පියාට මෙහෙම කියන්න පසුබට වුණේ නැහැ: ‘එයාකාර කිරීම ඔබගෙන් දුරු වේවා, මුළු පොළොවේ විනිශ්චයකාරයා යුක්තිය නොකරන්නේද?’ යෙහෝවා ඔහුව හික්මවූයේ නැහැ; ඔහු ඔහුට ඇහුම්කන් දී ඔහුගේ බිය සමනය කළා. (උත්පත්ති 18:20-33) දෙවි තම දරුවන් සම්පූර්ණයෙන්ම අයුතු සහ අසාධාරණ හැඟීම් වගුරුවද්දී පවා, විශිෂ්ට ලෙස ඉවසීමෙන් සහ මෘදුකමෙන් යුතුව සිටිනවා.—යෝනා 3:10–4:11.
ඒ හා සමානව, කොපමණ බාධාවට පත් කළත් දරුවන්ට තමන්ගේ අභ්‍යන්තර හැඟීම් හෙළි කරන්න දෙමාපියන් සුරක්ෂිත වාතාවරණයක් සකස් කරන්න අවශ්‍යයි. ඉතින් ඔබේ දරුවා දැඩි ප්‍රකාශයක් කළත්, ඇහුම්කන් දෙන්න. බැණවදිනවා වෙනුවට, දරුවාගේ හැඟීම් භාරගෙන හේතු ඇදගන්න. උදාහරණයක් හැටියට ඔබට මෙහෙම අහන්න පුළුවන්: ‘ඔයා අහවලා එක්ක තරහෙන් ඉන්නේ. මොකද වුණේ කියල මට කියන්න ඔයා කැමතිද?’
කෝපය පාලනය කිරීම
ඇත්තවශයෙන්ම, යෙහෝවා තරම් කිසිම පියෙක් ඉවසිලිවන්ත නැහැ. ඒ වගේම දරුවන් තම දෙමාපියන්ගේ ඉවසීම අන්තයටම පරීක්ෂා කරන්න පුළුවන්. විටින් විට ඔබ ඔබේ දරුවන් කෙරෙහි කුපිත වෙනවා නම්, එය ඔබව නරක දෙමාපියෙක් කරනවා කියා කරදර වෙන්න එපා. සමහර අවස්ථාවල ඔබට කේන්තියේ හැඟීමක් ඇති වෙන එක සෑහෙන සාධාරණ දෙයක් වෙන්න යනවා. දෙවි තමන්ගේ දරුවන් සමඟ සාධාරණ කෝපයට පත් වෙනවා; ඔහු ඉතා ආදරේ සමහර අය සමඟ පවා. (නික්මයාම 4:14; ද්විතීය කථාව 34:12) කෙසේවෙතත් ඔහුගේ වචනය කෝපය පාලනය කරගන්න අපිට උගන්වනවා.—එපීස 4:26.
ඒ කොහොමද? සමහර අවස්ථාවලදී කෝපය නිවෙන්න ඉඩ දෙන්න, කෙටි විරාමයක් දීම උපකාර වෙනවා. (හිතෝපදේශ 17:14) ඒ වගේම මතක තියාගන්න, ඒ දරුවෙක්! වැඩිහිටි හැසිරීම හෝ මේරූ සිතුවිලි ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. (1 කොරින්ති 13:11) ඔබේ දරුවා යම් විදිහකට ක්‍රියා කරන්නේ ඇයි කියා තේරුම්ගැනීම ඔබේ කෝපය තුනී කරවන්න ඉඩ තියෙනවා. (හිතෝපදේශ 19:11) නරක දෙයක් කිරීම සහ නපුරුව සිටීම අතර ඇති මහත් වෙනස කිසිදා අමතක කරන්න එපා. නපුරුයි කියා දරුවෙකුට කෑගැසීමෙන්, ‘හොඳ වෙන්න උත්සාහ කරන්නේ මොකටද?’ කියා හිතන්න දරුවෙකුව පොලඹවන්න පුළුවන්. දරුවෙකුව ප්‍රේමනීය විදිහට නිවැරදි කිරීම, ඊළඟ වතාවේදී ඊටත් වඩා හොඳින් කරන්න ඔහුට උපකාර කරනවා.
ක්‍රමවත්බව සහ ගෞරවය පවත්වාගැනීම
දෙමාපියන් මුහුණ දෙන අභියෝගවලින් මහත් අභියෝගයක් නම්, දරුවන්ට ක්රමවත්බවේ හැඟීමක් සහ ගෞරවය ඉගැන්වීමයි. ඕනෑම දෙයකට ඉඩ දෙන අදදින ලෝකයේ, ඔවුන්ගේ දරුවන්ට තහංචි පැනවීම කොහෙත්ම යෝග්‍යද කියා බොහෝදෙනෙක් හිතනවා. බයිබලය මෙහෙම පිළිතුරු දෙනවා: “ඉපලද තරවටුකිරීමද ප්‍රඥාව දෙන්නේය; එහෙත් තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි.” (හිතෝපදේශ 29:15) එසේ කිරීම යම් ආකාරයක ළමා අඩන්තේට්ටම් කිරීමක් අදහස් කරනවා කියා සිතන නිසා, “ඉපල” කියන වචනයටවත් සමහරු කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් එය එසේ නොවෙයි. “ඉපල” සඳහා හෙබ්‍රෙව් වචනය, එඬේරෙකු තම බැටළුවන්ට හිංසා කරන්න නොව—නමුත් මඟ පෙන්වන්න යොදාගත් ආකාරයේ දණ්ඩකටයි යොමු දැක්වූයේ.a මෙලෙස ඉපලෙන් නියෝජනය කරන්නේ හික්මවීමයි.
බයිබලයේ, හික්මවීම මූලිකවම අදහස් කරන්නේ, ඉගැන්වීමයි. ඒ නිසයි හිතෝපදේශ පොත හතර වතාවක් ‘හික්මවීමට ඇහුම්කන් දෙන්න’ කියා කියන්නේ. (හිතෝපදේශ 1:8; 4:1; 8:33; 19:27) හරි දේ කිරීම විපාකයක් ගෙනෙන බවත් වැරදි දේ කිරීම නරක ප්‍රතිඵල ගෙනෙන බවත් දරුවන් ඉගෙනගන්න අවශ්‍යයි. අගය කිරීම වැනි විපාක ඒකාන්ත පාඩම් උගන්වන්න උපකාර කරනවා වගේ, දඬුවම් කිරීම වැරදි ක්‍රියාවක් සඳහා පාඩම් උගන්වනවා. (ද්විතීය කථාව 11:26-28, සසඳන්න.) දෙවි තම සෙනඟට දඬුවම් කරන්නේ, “යුතු පමණට” නිසා දඬුවම සම්බන්ධ කාරණයේදී දෙමාපියන් දෙවිගේ ආදර්ශය අනුගමනය කිරීමෙන් යහපතක් කරනවා. (යෙරෙමියා 46:28, නව අනුවාදය) සමහර දරුවන්ව නිසි මඟට ගෙනෙන්න අවශ්‍ය කරන්නේ තදින් කියන වචන කිහිපයක් විතරයි වෙන්න පුළුවන්. අනිත් අයට තරමක් දුරට දැඩි වූ ක්‍රමයක් අවශ්‍ය විය හැකියි. දරුවෙකුට චිත්තවේගීයව හෝ ශාරීරිකව විය හැකි සැබෑ හානි කිසිදාක සිදු කිරීම, “යුතු පමණට” කරන දඬුවමට ඇතුළත් වෙන්නේ නැහැ.
දරුවන්ට මායිම් සහ සීමා ඉගැන්වීම සමබර හික්මවීමකට අයත් විය යුතුයි. මේවා බොහොමයක් දේවවචනය තුළ විග්රහ කර තියෙනවා. බයිබලය කෙනෙකුගේ පෞද්ගලික දේපොළ වටා ඇති මායිම්වලට ගරු කිරීමට උගන්වනවා. (ද්විතීය කථාව 19:14) එය සැහැසියාවට වෛර කිරීම හෝ හිතාමතාම අනෙකෙකුට හානි කිරීම වැනි ශාරීරික මායිම් පනවනවා. (ගීතාවලිය 11:5; මතෙව් 7:12) ව්‍යභිචාරය හෙළාදැකීමෙන් එය ලිංගික මායිම් පනවා තියෙනවා. (ලෙවී කථාව 18:6-18) එය පෞද්ගලික සහ චිත්තවේගීය මායිම් පවා වටහාගන්නා අතර, අනිත් අයට පහත් පෙළේ වචන කියා ඇමතීමට හෝ වෙනත් ආකාරයක වාචික අනිසි යෙදුම් පාවිච්චි කිරීමට භයක් ඇති කරවනවා. (මතෙව් 5:22) වචනයෙන් සහ ආදර්ශයෙන් දරුවන්ට මේ සීමාවන් සහ මායිම් ඉගැන්වීම හිතකර පවුල් වාතාවරණයක් සෑදීමට අත්‍යවශ්‍යයි.
පවුලේ ක්‍රමවත්බව සහ ගෞරවය පවත්වාගැනීමට තවත් යතුරක් රඳාපවතින්නේ පවුලේ එකිනෙකාගේ කාර්යභාරය තේරුම්ගැනීම මතයි. අදදින බොහෝ පවුල්වල එවැනි කාර්යභාරයන් අපැහැදිලි හෝ ව්‍යාකූල වෙලා. සමහර පවුල්වල දෙමාපියෙක්, දරුවා හැසිරවීමට සන්නද්ධ වී නැති, ඒ වගේම දරුවාව ගැටලුවේ හෙළන බැරෑරුම් ගැටලු ඔහුට අනාවරණය කරනවා. තවත් සමහරක, මුළු පවුල වෙනුවෙන් තීරණ ගන්නාවූ පුංචි ඒකාධිපතියන් වන්න දරුවන්ට අවසර දී තියෙනවා. එසේ කිරීම වැරදි මෙන්ම හානිකරයි. ශාරීරික, චිත්තවේගීය හෝ ආත්මික ආකාරයෙන් තම තරුණ දරුවන්ගේ අවශ්‍යතා සපයන්න දෙමාපියන්ට යුතුකමක් තියෙනවා—එහි අනිත් පැත්ත නෙවෙයි. (2 කොරින්ති 12:14; 1 තිමෝති 5:8) පුංචි දරුවන්ට ඕනෑවට වඩා දැඩි නොවන පිණිස ඔහුගේ මුළු පවුලෙත් පිරිවරෙත් ගමන් වේගය සකස් කරගැනීම පිළිබඳ යාකොබ්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහු ඔවුන්ගේ සීමාවන් තේරුම්ගෙන ඊට එකඟව ක්‍රියා කළා.—උත්පත්ති 33:13, 14.
ආත්මික අවශ්‍යතා බලාකියා ගැනීම
හිතකර පවුල් වාතාවරණයක් සඳහා ආත්මිකත්වයට වඩා වැදගත් දෙයක් තවත් නැහැ. (මතෙව් 5:3) දරුවන්ට ආත්මිකත්වය සඳහා මහත් ඉඩ කඩ තියෙනවා. ඔවුන් ප්‍රශ්නවලින් පිරිලා: ඇයි අපි ජීවත් වෙන්නේ? පොළොව, ඒකෙ ඉන්න සත්තු, ගස්, සාගර මැව්වේ කව්ද? ඇයි මිනිස්සු මැරෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳ මිනිස්සුන්ට නරක දේවල් සිද්ධ වෙන්නේ ඇයි? පෙනෙන විදිහට ලැයිස්තුවට නිමක් නැහැ. බොහෝවිට එවැනි දේවල් ගැන හිතන්න දෙමාපියන් කැමති නැහැ.b
තම දරුවන්ට ආත්මික පුහුණුව දෙමින් කාලය ගත කරන්න බයිබලය දෙමාපියන්ට උනන්දු කරනවා. එහි පැහැදිලි කරන්නේ උණුසුම් ආකාරයේ පුහුණුවක් වන අතර, එය දෙමාපියන් සහ දරුවන් අතර දිගටම පවතින ආකාරයේ දෙබසක්. දෙමාපියන්ට තම දරුවන් සමඟ ඇවිදින විටත්, ගෙදර සිටින විටත්, රාත්‍රි කාලයේදීත්—වෙනත් හැකි ඕනෑම වේලාවකත් දෙවි සහ ඔහුගේ වචනය ගැන උගන්වන්න පුළුවන්.—ද්විතීය කථාව 6:6, 7; එපීස 6:4.
බයිබලය එවැනි ආත්මික වැඩසටහනක් නිර්දේශ කරනවාට වඩා වැඩි යමක් කරනවා. එය ඔබට අවශ්‍ය කරන දේවලුත් සපයා දෙනවා. ඒ කෙසේවෙතත්, ඉහත සඳහන් කළ දරුවන්ගේ ප්‍රශ්නවලට ඔබ උත්තර දෙන්නේ කොහොමද? බයිබලයේ උත්තර තියෙනවා. ඒවා පැහැදිලියි, චිත්තාකර්ෂණීයයි, එමෙන්ම ඒවා මේ බලාපොරොත්තු විරහිත ලෝකයේ මහත් බලාපොරොත්තු ගෙන දෙනවා. ඊටත් වඩා හොඳින්, බයිබලයේ ප්‍රඥාව අවබෝධ කරගැනීමක් මගින්, අදදින ඇති ව්‍යාකූල කාල සඳහා ස්ථිරසාර මඟ පෙන්වීම මෙන්ම ඔබේ දරුවන්ට ප්‍රබල නැංගුරමක් ලබා දෙනවා. ඔවුන්ට එය ලබා දෙන්න; එවිට ඔවුන් මේ කාලයේදීත් අනාගතය සඳහාත් සඵල වේවි.
[පාදසටහන්වල]
a වර්ෂ 1992 සැප්තැම්බර් 8, පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) 26-7 දක්වා පිටු බලන්න.
b පවුලේ සන්තෝෂයට රහස නමැති පොත නිමවා ඇත්තේ පවුලේ පාඩම සඳහා වන අතර, විවාහය සහ දරුවන් හදා වඩාගැනීම ගැන බයිබලයෙන් එන ප්‍රායෝගික මඟ පෙන්වීම් එහි අන්තර්ගතයි. එය Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතයි.
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ඔබේ දරුවාට නිශ්චිත අගය කිරීම් නිබඳව ලබා දෙන්න යම් මාර්ගයක් සොයන්න
[9වන පිටුවේ කොටුව]
ඔබේ දරුවන්ට සඵල වන්න උපකාර කරන අයුරු
• ඔවුන්ට ප්‍රේම කරන සහ ඔවුන්ව ඕනෑ කරන බව හැඟෙන සුරක්ෂිත වාතාවරණයක් සපයන්න
• නිතරම ඔවුන්ව අගය කරන්න. නිශ්චිත වන්න
• හොඳ සවන්දෙන්නෙක් වන්න
• කෝප වූ විට සන්සුන් වන්න
• පැහැදිලි, යෝග්‍ය සීමා සහ මායිම් තබන්න
• එක් එක් දරුවාගේ අවශ්‍යතාව අනුව හික්මවීම හැඩගස්වන්න
• සාධාරණ ප්‍රමාණයට වඩා වැඩියෙන් ඔබේ දරුවාගෙන් බලාපොරොත්තු නොවන්න
• දෙවිගේ වචනයෙහි නිරන්තර පාඩම මගින් ආත්මික අවශ්‍යතා පිරිමසන්න
[10වන පිටුවේ කොටුව]
අන් අය සිතන්නත් කලින්
තමන් අවට සිටි ජාතීන්ට වඩා උසස් ප්‍රමිති ඇතුළත් පවුල් ජීවිතයක් භුක්ති විඳින්න, ඉශ්රායෙල් ජනයාට බයිබල් ප්‍රතිපත්ති උපකාර කළා. ඉතිහාසඥ ඇල්ෆ්‍රඩ් එඩෂයිම් මෙහෙම අදහස් දක්වනවා: “ඉශ්රායෙල් මායිමෙන් ඔබ්බට, පවුල් ජීවිතය කියල එකක් හෝ පවුල් ජීවිතය කියන එකෙන් අපිට තේරෙන දෙය හෝ තිබුණද කියලවත් පදගතාර්ථයෙන් අපිට සුදුසු ලෙස කියන්න බැරි තරම්.” උදාහරණයක් හැටියට, පුරාණ රෝමවරුන්ගේ නීතිය තුළ, පියාට පවුල කෙරෙහි පූර්ණ බලතල තිබුණා. තම දරුවන්ව වහල්භාවයට විකුණන්න ඔහුට පුළුවන්, කම්කරුවන් වගේ ඔවුන්ගෙන් වැඩ ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් දඬුවම් නොවිඳ—ඔවුන්ව මරන්න පවා පුළුවන්.
යුදෙව්වන් ඔවුන්ගේ දරුවන්ට මෘදු ලෙස සලකද්දී, ඔවුන් අමුතු ජාතියක් කියා සමහර රෝමවරුන් හිතුවා. ඇත්තවශයෙන්ම, මුල් සියවසේ සිටි රෝම ඉතිහාසඥ ටැසිටස්, යුදෙව්වන්ගේ චාරිත්‍ර “සම්පූර්ණයෙන්ම දූෂිත සහ පිළිකුල්සහගත” යයි කියා යුදෙව්වන්ට විරුද්ධව වෛරසහගත ඡේදයක් ලිව්වා. කෙසේවෙතත්, “අලුත උපන් කිසිම බිළිඳෙකුව මැරීම, ඔවුන් අතරේ අපරාධයක්” බව ඔහු පිළිගත්තා.
බයිබලය උසස් ප්‍රමිතියක් සැපයුවා. තම දරුවන් අනර්ඝ බව—ඇත්තෙන්ම දෙවිගෙන්ම ලද උරුමයක් සේ තකන්න—ඊට එකඟව සලකන්න, එය යුදෙව්වන්ට ඉගැන්වුවා. (ගීතාවලිය 127:3) පෙනෙන විදිහට බොහෝදෙනෙක් එවැනි උපදෙස්වලට එකඟව ජීවත් වුණා. මේ කාරණය ගැන ඔවුන්ගේ භාෂාවත් යමක් හෙළි කළා. එඩෂයිම් නිරීක්ෂණය කරන්නේ, පුතා සහ දුව කියන වචනවලට අමතරව, පුරාණ හෙබ්‍රෙව්වරුන්ට දරුවන් සඳහා—ඔවුන්ගේ ජීවිතයේ විවිධ අදියර සඳහා අදාළ වන වචන නවයක් තිබූ බවයි. උදාහරණයක් හැටියට, තවමත් මව්කිරි බොන ළදරුවෙකුට එක වචනයකුත්, කිරිවැරූ දරුවෙකුට තව වචනයකුත් තිබුණා. ටිකක් වයසින් වැඩි ළමයින් සඳහා තවත් වචනයක් තිබූ අතර, එය මොවුන් ශක්තිමත් සහ ස්ථාවර වෙමින් සිටින බව ඇඟවූවා. එමෙන්ම මුහුකුරා ගිය තරුණයන් සඳහා වචනයක් තිබූ අතර, එය පදගතාර්ථයෙන් ගත් කල අදහස් කළේ, ‘කෙනෙකුව නිදහස් කරගන්නවා’ යන්නයි. එඩෂයිම් මෙහෙම අදහස් දක්වනවා: “ළමා-ජීවිතය එතරම් උනන්දුවෙන් පිරික්සා එහි පැවැත්මේ සෑම වර්ධනය වන අදියරයකටම විචිත්‍රවත් විග්‍රහයක් දෙන්න තරම්, ඔවුන් ඔවුන්ගේ දරුවන් කෙරෙහි ඇලුම්කමකින් බැඳී ඉන්න ඇති.”