සියල්ලන්ට ආහාර හුදු සිහිනයක්ද?
ඉතාලියේ පිබිදෙව්! වාර්තාකරු විසින්
“හැම පුරුෂයෙකුටම, ස්ත්‍රියකටම හා දරුවෙකුටම කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් නිදහස් වීමට අයිතියක් තිබෙනවා” කියා, 1974දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් අනුග්‍රාහක, ජගත් ආහාර සම්මේලනය ප්‍රකාශ කර සිටියා. “දශකයක් ඇතුළතදී” ලෝකයෙන් කුසගින්න තුරන් කිරීමට එවිට ඉල්ලීමක් කරනු ලැබුවා.
කෙසේවුවත්, දින පහක ලෝක ආහාර සම්මේලනයක් සඳහා, ඉකුත් වර්ෂයේ අගභාගයේදී ජාතීන් 173ක නියෝජිතයන් රෝමයේ FAO මූලස්ථානයේ හමු වූ අවස්ථාවේ, ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මෙසේ ඇසීමටයි: “වැරදුණු තැන කොතැනද?” සියල්ලන්ටම ආහාර සපයන්න අසමත් වෙලා තියෙනවා විතරක් නෙවෙයි, නමුත් දශක දෙකකට වඩා ගෙවී තිබෙන දැන්, තත්වය ඊටත් වඩා දරුණු වී තිබෙනවා.
ආහාර, ජනගහනය සහ දුගීකම සම්බන්ධ විශාල ප්‍රශ්නවලට වහාම අවධානය යොමු කළ යුතුයි. ඒ සම්මේලනයේදී මුදා හළ ලියවිල්ලක් මගින් පිළිගත් පරිදි, මේ ගැටලු විසඳුවේ නැත්නම්, “බොහෝ රටවල හා ප්‍රදේශවල සමාජ ස්ථාවරත්වයට දරුණු අන්දමින් බලපාන්න පුළුවන්; සමහරවිට ලෝක සාමයට පවා හානි පැමිණිය හැකියි.” එක් නිරීක්ෂකයෙක් වඩාත් පැහැදිලිව මෙසේ කියා සිටියා: “ශිෂ්ටාචාරයේ සහ ජාතික සංස්කෘතීන්වල විනාශයක් අපි දකියි.”
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ-ජනරාල් සාක් ජූෆ් පවසන පරිදි, “මිලියන 800කට වැඩි ජනතාවකට අදදින ප්‍රමාණවත් ආහාර නෑ; ඔවුන්ගෙන් මිලියන 200ක් දරුවන්.” වර්ෂ 2025 වන විට, අදදින බිලියන 5.8ක ලෝක ජනගහනය, බිලියන 8.3 දක්වා ඉහළ ගොස් තිබෙයි; වැඩිවීම වැඩියෙන්ම සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලයි. ජූෆ් මෙහෙම කියනවා: “පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් අතිවිශාල සංඛ්‍යාවකගේ ජීවත් වීමට තිබෙන, පැහැරගත නොහැකි අයිතිය පැහැරගෙන තිබෙනවා. නිස්සාර වූ පසෙන්, වඳ වූ වනාන්තරවලින් සහ වැඩි වැඩියෙන් අඩු වේගන යන ධීවර බිම්වලින් නැඟෙන නිහඬ වේදනාව කුසගින්නෙන් පෙළෙන්නන්ගේ මොරගැසීම්වලට සමානයි.”
යෝජනා කර තිබෙන්නේ කුමන පිළියමද? විසඳුම රඳාපවතින්නේ “එඩිතර ක්‍රියාවක්” මත, එනම් ආහාර-හිඟ රටවල් සඳහා “ආහාර සුරැකීම” මෙන්ම තමන්වම පෝෂණය කරගැනීමට ඔවුන්ට හැකි කරවන දක්ෂතා, ආයෝජනය සහ තාක්ෂණය සැපයීම මත බව ජූෆ් පවසනවා.
“ආහාර සුරැකීම”—මෙතරම් අමාරු මන්ද?
උසස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය මගින් නිකුත් කළ ලියවිල්ලකට අනුව, “සියලු ජනයාට, හැම අවස්ථාවකදීම, ක්‍රියාශීලී හා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් තබාගැනීම සඳහා තම ආහාර අවශ්‍යතා මෙන්ම තමන් කැමති ආහාර ලබාගත හැක්කේ, ප්‍රමාණවත්, ආරක්ෂිත හා පෝෂ්‍යදායී ආහාර ගැනීමට ශාරීරික සහ ආර්ථික අතින් හැකියාවක් තිබෙන විටයි; එවිට ආහාර සුරැකීම පවතිනවා.”
ආහාර සුරැකීමට හානි පැමිණිය හැකි ආකාරය සයරේ සරණාගත අර්බුදය මගින් සනාථ වුණා. රුවන්ඩාවේ සරණාගතයන් මිලියනයක් කුසගින්නෙන් පෙළෙද්දී, ඔවුන්ව පෝෂණය කළ හැකි ආහාර තොග එ.ජා. නියෝජිතයන් ළඟ තිබුණා. නමුත් ඒවා ගෙන ගොස්, බෙදාහැරීමේ විධිවිධානයට දේශපාලනමය හා ප්‍රාදේශීය අධිකාරීන්ගෙන්—නැතහොත් සරණාගත කඳවුරු පාලනය කළේ ප්‍රාදේශීය යුද බලධාරීන් නම්, ඔවුන්ගෙන් අවසරය ලබාගන්න අවශ්‍යව තිබුණා. සයරේහි හදිසිතාවෙන් නැවතත් පෙන්වන්නේ ආහාර ලබාගත හැකිව තිබෙද්දීත් කුසගිනිවූවන්ව පෝෂණය කිරීමට ජාත්‍යන්තර සමාජයට කොයිතරම් අමාරුද කියන එකයි. එක් නිරීක්ෂකයෙක් මෙසේ සඳහන් කළා: “කිසියම් පියවරක් ගන්න ඉස්සෙල්ලා බොහෝ සංවිධානවලින් හා හුඟදෙනෙකුගෙන් තොරතුරු විමසීමට හා බලවත් ආයාචනයන් කිරීමට සිදු වෙනවා.”
එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක ලියවිල්ලක් මගින් පෙන්නුම් කළ ආකාරයට, ඕනෑම මූල හේතුකාරකයක් මගින් ආහාර සුරැකීමට දරුණු ලෙස රහසින් හානි පැමිණවිය හැකියි. ස්වාභාවික ආපදාවලට අමතරව, මේවාට යුද්ධ සහ සිවිල් සටන්, අයෝග්‍ය ජාතික ප්‍රතිපත්ති, අප්රමාණවත් පර්යේෂණ සහ තාක්ෂණය, පාරිසරික පිරිහීම, දුගීකම, ජනගහනයේ වැඩිවීම, ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ අසමානතාව සහ දුර්වල සෞඛ්‍යය ඇතුළත්.
යම් තාක් දුරකට දේවල් ඉටු කර තිබෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල, 1970 ගණන්වල සිට, ආහාරවලින් ගන්නා සාමාන්‍ය ශක්ති ප්‍රමාණය, දවසකට පුද්ගලයෙකුගේ කැලරි 2,140 සිට 2,520 දක්වා නැඟ ඇති බව ආහාර පරිභෝජනයට ගැනීමේ දර්ශකයක් පෙන්නුම් කරයි. නමුත් FAO පවසන පරිදි, වර්ෂ 2030 වන විට බිලියන කීපයකින් ජනගහනය වැඩිවීම සලකා බලන කල, “දැන් ලබාගත හැකිව තිබෙන ආහාරවල වත්මන් මට්ටම් පවත්වාගැනීම සඳහා අපි සියල්ලන්ම රැඳී සිටින ස්වාභාවික සම්පත් විනාශ නොකර, සියයට 75කට වඩා සැපයුම් වැඩි කරනු වස් ශීඝ්‍ර මෙන්ම පවත්වාගෙන යා හැකි නිෂ්පාදන වැඩිවීම් අවශ්‍ය කරයි.” මෙබැවින් කුසගින්නෙන් පෙළෙන ජනගහන සඳහා ආහාර සැපයීමේ කාර්යභාරය අඳුරු එකක්.
‘අපිට ඕනේ කරන්නේ ක්‍රියාත්මක වෙන්නයි, උසස් නිලධාරීන්ගේ සම්මන්ත්රණ නෙවෙයි’
ලෝක ආහාර සම්මන්ත්‍රණයේ කටයුතු සහ එහි පොරොන්දු පිළිබඳව විවේචන ගණනාවක් යොමු කෙරුණා. ඌන පෝෂණය ලබන ජනයාගේ සංඛ්‍යාව දැනට පවතින මට්ටමෙන් අඩක් පමණක් අඩු කිරීමට දුන් ප්රතිඥාවක “සීමා සහිතභාවය, ලජ්ජාවක්” කියා එක්තරා ලතින් අමෙරිකානු නියෝජිතයෙක් හෙළාදැක්කා. සම්මන්ත්‍රණයෙන් අනුමත කළ යෝජනා සම්බන්ධයෙන් රටවල් පහළොවක් විවිධාකාර අදහස් ප්‍රකාශ කළා. සාධාරණ ප්‍රකාශයක් හා සැලසුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩපිළිවෙළක් යෙදීමට පවා “වර්ෂ දෙකක් පුරා සාකච්ඡා පවත්වා සම්මුතිවලට එළඹීමට අවශ්‍යව තිබුණ බව” ලා රෙපූබ්ලිකා නම් ඉතාලි පුවත්පත පවසා සිටියා. “පෑරුණු තුවාලයක් තවත් පාරන්නෙ නැති වෙන විදිහට හැම වචනයක්ම පැවසුවේ බොහොම පරෙස්සමිනුයි.”
උසස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයේ ලියකියවිලි සූදානම් කරන්න උපකාර කළ බොහෝදෙනෙක් ප්‍රතිඵල සම්බන්ධයෙන් අසතුට පළ කළා. “නිවේදනය කළ කදිම යෝජනා ඉටු වෙයිද කියන එක ගැන අපිට සෑහෙන සැකයක් තියෙනවා” කියා එක් කෙනෙක් පැවසුවා. අධිකරණ නීතිය යටතේ “අයිතිවාසිකමක්” වෙනුවෙන් සටන් කළ හැකි නිසා, ආහාර ලබාගැනීමේ මාර්ගය “ජාත්‍යන්තර ලෙස පිළිගත් අයිතිවාසිකමක්” ලෙස නිර්වචනය කළ හැකිද යන්න ගැටුමට භාජන වූ විෂයක් වුණා. කැනේඩියානු ජාතිකයෙක් මෙහෙම පැහැදිලි කළා: “ආධාර දීමට තමන්ට බල කරයි කියා ධනවත් රටවල් භය වුණා. ප්‍රකාශ පාඨය ලිහිල් කරන්න කියා ඔවුන් බල කර සිටියේ මේ නිසයි.”
එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වූ සම්මන්ත්රණවල දිගින් දිගටම කෙරුණු සාකච්ඡාවන් හේතුවෙන්, යුරෝපියානු රජයේ මන්ත්‍රීවරියක් මෙසේ පැවසුවා: “[ජනගහනය සහ වර්ධනය පිළිබඳව 1994දී කළ] කයිරෝ සාකච්ඡාවේදී තීරණ බොහෝමයක් ගත්තත්, සාර්ථක වන සෑම සාකච්ඡාවකදීම අපි එකම තැනයි කැරකෙන්නේ කියන එක අපිට අවබෝධ වෙලා තියෙනවා.” ඇය මෙසේ නිර්දේශ කළා: “තව තවත් සම්මන්ත්රණ පවත්වනවා වෙනුවට, අපේ න්‍යාය පත්‍රවල මුලින්ම තිබිය යුත්තේ අපේ සෙසු ජනයාගේ යහපත සඳහා ක්‍රියාත්මක වන සැලසුම් දියත් කිරීමයි.”
වියදම දැරීමට නොහැකි සමහර රටවලට සම්මන්ත්‍රණයට පැමිණීම පවා සෑහෙන වියදමක් බවත් නිරීක්ෂකයන් පෙන්නුම් කළා. එක් කුඩා අප්‍රිකානු රටක් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සමඟ නියෝජිතයන් 14දෙනෙක් යැව්වා; මේ සියලුදෙනාම සති දෙකකට වඩා රෝමයේ නැවතී සිටියා. පුද්ගලයෙකුගේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 3,300 නොඉක්මවන අප්‍රිකානු රටක, ජනාධිපතිගේ භාර්යාවට රෝමයේ නවීන විලාසිතාවලින් හෙබි ප්‍රධාන ව්‍යාපාර ප්‍රදේශයේ සාප්පු සවාරියේ යෑමට ඩොලර් 23,000ක් වියදම් වෙන බව කොරියේරෙ ඩෙල්ලා සේරා නමැති ඉතාලි පුවත්පත වාර්තා කළා.
සම්මන්ත්‍රණයේදී ස්ථිර කරගත් ක්‍රියාත්මක වීමේ සැලැස්ම සාර්ථක වන බව විශ්වාස කිරීමට හේතුවක් තිබෙනවාද? පත්රකලාවේදියෙක් මෙසේ පිළිතුරු දෙයි: “ආණ්ඩු එය බරපතළ ලෙස සලකා, එහි නිර්දේශ කළ දේවල් ක්‍රියාත්මක වන විදිහට පියවර ගැනීමට වගබලාගනියි කියන එක විතරයි දැනට අපිට බලාපොරොත්තුව ඉන්න පුළුවන්. ඔවුන් එසේ කරයිද? . . . ශුභවාදී අදහසක් ඇතුව සිටීමට ඉතිහාසය ඉදිරිපත් කරන්නේ ස්වල්පයයි.” ඒ විස්තර ප්රචාරකයාම අධෛර්යයට පත් කරවන කරුණක් ගෙනහැර දැක්වුවා; එනම් 1992දී රියෝ ද ජනේරෝහි පැවති පෘථිවි සම්මන්ත්‍රණයේදී, සංවර්ධන ආධාර වශයෙන් දෙන ආධාර මුදල දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 0.7ක් දක්වා වැඩි කිරීමට එකඟ වුණත්, “වගකීමකින් නොබැඳි එම ඉලක්කය අත් කරගත්තේ රටවල් අතළොස්සක් විතරයි.”
කුසගිනිවූවන්ව කවුරු පෝෂණය කරාවිද?
මුළු මනුෂ්‍යවර්ගයාටම හොඳ අභිප්රායන් තිබුණත්, “මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැ[ත]. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැ[ති]” බව ඉතිහාසය හොඳින්ම පෙන්වා තිබෙනවා. (යෙරෙමියා 10:23) ඒ නිසා මනුෂ්‍යයන් තමන් විසින්ම කවදා හෝ සියල්ලන්ටම ආහාර සපයයි කියා සිතිය නොහැකියි. ගිජුකම, අනිසි පාලනය සහ ආත්මාර්ථවාදය මනුෂ්‍යවර්ගයාව ප්‍රපාතයකට දමා තිබෙනවා. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ-ජනරාල් ජූෆ් මෙසේ ප්‍රකාශ කළා: “අවසාන විග්රහයේදී අවශ්‍ය වන්නේ හෘද, මනස් සහ කැමති දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි.”
එය දෙවිගේ රාජ්‍යයට පමණක් කළ හැකි දෙයක්. ඇරත්, ශතවර්ෂ ගණනකට පෙර, යෙහෝවා ස්වකීය සෙනඟ සම්බන්ධයෙන් මෙසේ පුරෝකථනය කළා: “මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල [හෘදවල, NW] ලියන්නෙමි; මම ඔවුන්ගේ [දෙවි] වන්නෙමි, ඔව්හුද මාගේ සෙනග වන්නෝය.”—යෙරෙමියා 31:33.
යෙහෝවා දෙවි මනුෂ්‍යවර්ගයාගේ මුල් උයනක් බඳු නිවස සූදානම් කළ විට, ඔහු මනුෂ්‍යයාට “මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද” ආහාර පිණිස සැපයුවා. (උත්පත්ති 1:29) ඒ සැපයුම බහුලව, පෝෂ්යව සහ පහසුවෙන් ලබාගත හැකි වුණා. සියලුම මනුෂ්‍යවර්ගයාට තම ආහාර අවශ්‍යතා තෘප්තිමත් කිරීමට අවශ්‍යව තිබුණේ එයයි.
දෙවිගේ අරමුණ වෙනස් වී නෑ. (යෙසායා 55:10, 11) සියල්ලන්ටම ආහාර සපයමින්, දුගීකම මුලිනුපුටා දමමින්, ස්වාභාවික විපත්ති පාලනය කරමින් සහ ඝට්ටන ඉවත් කරමින්, යේසු කරණකොටගෙන තම රාජ්‍යය මගින් මනුෂ්‍යවර්ගයාගේ සෑම අවශ්‍යතාවක්ම සපුරාලන්නේ තමා පමණක්ම බවට බොහෝ කලකට පෙර ඔහු සහතිකයක් දුන්නා. (ගීතාවලිය 46:8, 9; යෙසායා 11:9; සසඳන්න මාර්ක් 4:37-41; 6:37-44.) ඒ කාලයේදී “පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. [දෙවි], එනම් අපේම [දෙවි], අපට ආශීර්වාද කර[න්නේය].” “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය.”—ගීතාවලිය 67:6; 72:16.
[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Dorothea Lange, FSA Collection, Library of Congress