වියා එග්නාටියා ව්‍යාප්තියට තුඩු දුන් මහාමාර්ගයක්
ග්‍රීසියේ පිබිදෙව්! වාර්තාකරු විසින්
පොදු යුගයේ 50දී, ක්‍රිස්තියානි මිෂනාරි කණ්ඩායමක් මුල්ම වතාවට යුරෝපයට පා තැබුවා. “මකිදෝනියට ඇවිත් අපට උපකාරකරන්නැයි” ප්‍රේරිත පාවුල් දර්ශනයකින් ලැබූ ඇරයුමකට ප්‍රතිචාරයක් වශයෙනුයි ඔවුන් පැමිණ සිටියේ. (ක්‍රියා 16:9) පාවුල් සහ ඔහුගේ සහයකයන් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව ගෙනා පණිවිඩය යුරෝපයට චමත්කාරජනක ආකාරයකින් බලපෑවා.
මකිදෝනියෙහි ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීමට වැදගත් ආකාරයකින් තුඩු දුන් ආධාරකයක් වුණේ, ගල් ඇල්ලූ රෝම මහාමාර්ගයක් වූ වියා එග්නාටියායි. ඒජියන් මුහුදේ උතුරු කෙළවරේ පිහිටි නෙයාපොලිස (දැන් ග්‍රීසියේ, කවාලා) නමැති මුහුදු තොටට ගොඩබැසීමෙන් පසු, එම මිෂනාරිවරුන් පැහැදිලි ලෙස මෙම මහාමාර්ගය දිගේ මකිදෝනිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වූ පිලිප්පිය බලා ගමන් කළා. එම මාර්ගය, පාවුල් සහ ඔහුගේ සහයකයන්ගේ ඊළඟ ගමනාන්තයන් වූ අම්පිපොලිස, අපොලෝනිය සහ තෙසලෝනිකය වෙතටත් දිවගියා.—ක්‍රියා 16:11–17:1.
මෙම පුරාණ මහාමාර්ගයේ කොටස් වර්තමානය දක්වා පවතින අතර, තවමත් දිනපතා පාවිච්චි කරනවා. පැරණි පාරේ ගමන් මාර්ගය දිගේම යන එම නමම දරන නවීන මහාමාර්ගයක් ඉදි කිරීමට දැන් සැලසුම් යොදා තිබෙනවා.
ඒ මුල්ම මහාමාර්ගය ඉදි කළේ කවුද? එය ඉදි කළේ කවදාද, මොන අරමුණක් සඳහාද?
අවශ්‍ය වීමට හේතු
රෝමය නැඟෙනහිර දෙසට එහි යටත් කිරීමේ ව්‍යාපාරයෙහි දිගටම නිරත වෙද්දී, මකිදෝනිය පො.යු.පෙ. 146දී රෝම පළාතක් බවට පත් වුණා. කොහොම වුණත්, අත් කරගත් මෙම නුවර, අධිරාජ්‍යය සඳහා අලුත් අවශ්‍යතාවක් ඇති කළා: එනම් අලුත් ප්‍රදේශවලට ඉක්මනින්ම හමුදා බලඇණි යොමු කරවීමට ඇති හැකියාවයි. ඉතාලි අර්ධද්වීපයේ දිවගිය වියා ඇප්පියා නොහොත් ඇප්පියන් මාර්ගය මගින්, රෝමය ඒ වන විටත් ගිනිකොන දිග අද්‍රියාතික් මුහුද සමඟ සම්බන්ධ කර තිබුණා. එනමුත් බෝල්කන් අර්ධද්වීපයේ දිවගිය ඒ හා සමාන මහාමාර්ගයක් අධිරාජ්‍යයට අවශ්‍ය වූ බැවින්, වියා එග්නාටියා ඉදි කිරීමේ අදහස බිහි වුණා. එය නම් කළේ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරුවා වූ රෝම ප්‍රාදේශීය ආණ්ඩුකාර ඥයිඋස් එග්නාටීඋස්ගේ නමින්.
ඉල්ලුරිකය (ඇල්බේනියාවේ ඩියූරස්) පළාතේ පිහිටි මුහුදුතොට නුවරක් වූ ඩ්රාකීඋම්වලින් පටන්ගත් වියා එග්නාටියා, පුරාණ බයිසැන්ටියම (තුර්කියේ ඉස්තාන්බුල්) නගරය දක්වාම කිලෝමීටර් 800කට වඩා සෑහෙන දුරකට විහිදී ගියා. ඉදි කිරීම පො.යු.පෙ. 145දී පටන්ගත් අතර, එය නිම කරන්න අවුරුදු 44ක් පමණ ගත වුණා. අදහස් කළ ආකාරයටම, නැඟෙනහිර ප්‍රදේශවල රෝමයේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තියට වියා එග්නාටියා ඉක්මනින්ම ඉතා ප්‍රයෝජනදායක මෙවලමක් බවට පත් වුණා.
පාරක් ඉදි කරන්න දුෂ්කර භූමි ප්‍රදේශයක්
කොහොම වුණත්, යොදාගැනීමට අදහස් කළ භූමි ප්‍රදේශය මහාමාර්ගයක් ඉදි කිරීමට අභියෝගයක් වුණා. උදාහරණයක් හැටියට, එම පාරේ මුල් අදියරෙහි එය ඕක්රීඩ් විල හමුවට පැමිණ, එහි අයින දිගේ උතුරට විහිදෙනවා. ඊළඟට, එය ගිරි දුර්ග ඔස්සේ ඇදී යනවා; පසුව විශාල කුහර, නග්න වූ කඳු සහ විල්වලින් තරමක් දුරට පිරුණු ගිලා බැසුණු නිම්න සහිත පාළු භූමි ප්‍රදේශයක් හරහා නැඟෙනහිර දෙසට විහිදෙනවා; අන්තිමේදී එම පාර මධ්‍යම මකිදෝනීය තැනිතලාව කරා ළඟා වෙනවා.
මෙම මහාමාර්ගය තෙසලෝනික නගරයට ළඟා වෙද්දී, එය සමතලා එළිමහන් භූමි ප්‍රදේශයක් හරහා ගමන් කරනවා. එනමුත් නගරයේ නැඟෙනහිර දෙසට විහිදුණු භූමි ප්‍රදේශය කඳු සහිතයි. මෙම කඳු අතරින් වක්රාකාර ගමනක් ගන්නා වියා එග්නාටියා, මායිම් හරි හැටි නියම කර නැති වගුරු බිම්වලින් වට වූ විල් සහිත නිම්නයකට බසිනවා. තවත් ඉදිරියට ඇදී යමින්, නිම්න සහ වගුරු බිම් ඔස්සේ ගමන් ගන්නා එය, පුරාණ නෙයාපොලිස නුවරට එනවා.
එතැන් සිට, මාර්ගය ඒජියන් මුහුදු තීරය දිගේ නැඟෙනහිර දෙසට ගමන් කරමින්, ත්රාස් ප්‍රදේශයට පිවිසෙනවා. අවසාන අදියරෙහි, එම මහාමාර්ගය සෑහෙන කෙළින් වූ සමතලා වූ මාර්ගයක් ගෙන එහි ගමනාන්තය වන බයිසැන්ටියම වෙත ළඟා වෙනවා.
එහි අරමුණ ඉටු කිරීම
වියා එග්නාටියා රෝම සහ අද්‍රියාතික් මුහුදේ නැඟෙනහිරට වෙන්න පිහිටි රෝම යටත්විජිතයන් අතර වඩාත් කෙළින් සහ පහසුම මාර්ගය බවට පත් වුණා. මකිදෝනීය නුවරවල රෝම ජනපද පිහිටුවීමට එය ආධාර වුණ අතර, ප්‍රදේශයේ ආර්ථික, ජන විකාශන සහ සංස්කෘතික වර්ධනයට ගැඹුරු ලෙස බලපෑවා. මහාමාර්ගය නිසා තඹ, ගල්තාර, රිදී, මාළු, තෙල්, වයින්, චීස් වර්ග සහ වෙනත් අයිතම පහසුවෙන් ප්රවාහණය කරන්න පුළුවන් වුණා.
එලෙස වෙළඳාම් කිරීමෙන් ලැබූ ධන සම්පත් හේතුවෙන්, තෙසලෝනිකය සහ අම්පිපොලිස වැනි නුවරවල් බෝල්කන් ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨතම නගරබද මධ්‍යස්ථාන බවට පත් වුණා. විශේෂයෙන්ම තෙසලෝනිකය, කලාත්මක සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වලින් පොහොසත්, වැදගත් වාණිජ්‍ය මධ්‍යස්ථානයක් දක්වා වර්ධනය වුණා. මෙම පාර නඩත්තු කිරීමේ වියදම යම් දුරකට ඒ අවට සිටි ප්රජාවන්ගේ වගකීම වූ බව ඇත්තයි. එනමුත්, ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රජාවන් අන්තර්ජාතික වෙළඳාමේ විපුල ප්‍රයෝජන භුක්ති වින්දා.
ක්‍රිස්තු ධර්මයේ ව්‍යාප්තිය සඳහා ඉටු කළ කාර්යය
කොහොම වුණත්, වියා එග්නාටියා ඒ අවට විසූ ජනයාට ද්‍රව්‍යමය සමෘද්ධියට වඩා බෙහෙවින් උසස් ප්‍රයෝජනයක් ගෙන දුන්නා. උදාහරණයක් හැටියට, ධනවත් ව්‍යාපාරික ස්ත්‍රිය වූ ලිදියාව ගන්න. ඇය ජීවත් වුණේ පාවුල් ශුභාරංචිය දේශනා කරනවා ඇසූ යුරෝපයේ පළමුවන නගරය වූ පිලිප්පියේ. පොදු යුගයේ 50දී නෙයාපොලිසට ගොඩබැසීමෙන් පසු, ප්‍රේරිත පාවුල්ද ඔහුගේ සහයකයන්ද, වියා එග්නාටියා දිගේ කිලෝමීටර් 16ක් වයඹ දෙසින් පිලිප්පියට ගමන් කළා.
ලූක් මෙසේ ලියයි: “සබත් දවසේදී අපි පිටත්වී නුවර දොරටුවෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැයි අපට කල්පනාවුණ ගංගාවක් අද්දරට ගොස් හිඳ, රැස්ව සිටි ස්ත්රීන්ට කථාකෙළෙමු.” පාවුල්ට සවන් දුන් ස්ත්‍රීන් අතර ලිදියාද සිටියා. ඒ දවසේදීම, ඇයත් ඇගේ ගෙයි වැසියනුත් ඇදහිලිවන්තයන් බවට පත් වුණා.—ක්‍රියා 16:13, 14.
පිලිප්පියේ සිට, පාවුල්ද ඔහුගේ සහයකයන්ද වියා එග්නාටියා දිගේ අම්පිපොලිස සහ අපොලෝනිය හරහා තෙසලෝනිකයට ගමන් කළා; ඒ ගමන මුළුමනින්ම කිලෝමීටර් 120ක් පමණ වුණා. (ක්‍රියා 17:1) අවට සිනගෝගවල යුදෙව්වන් සබත් දවසේදී එක්රැස් වූ නිසා, තෙසලෝනිකයෙහි ශුභාරංචිය දේශනා කිරීමට පාවුල් එයින් ප්‍රයෝජන ගත්තා. මේ හේතුවෙන්, යුදෙව්වන් සමහරදෙනෙක්ද ග්‍රීක්වරුන් මහත් සමූහයක්ද ඇදහිලිවන්තයන් බවට පත් වුණා.—ක්‍රියා 17:2-4.
ඒ හා සමානව, අදදින ඇල්බේනියාවේ සහ ග්‍රීසියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම ප්‍රදේශවල සිටින ජනයා කරා ළඟාවීමට මෙම මහාමාර්ගයේම කොටස් ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ප්‍රේරිත පාවුල්ද ඔහුගේ මිෂනාරි සහයකයන්ද කළාක් මෙන්, දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ව්‍යාප්ත කිරීමයි. (මතෙව් 28:19, 20; ක්‍රියා 1:8) ඇත්තවශයෙන්ම, වියා එග්නාටියා කියන්නේ පළමුවන සියවසේදී මෙන්ම මෙම 20වන සියවස දක්වාද ආත්මික ව්‍යාප්තියට ආධාර වී ඇති රෝම මහාමාර්ගයක්!
[16, 17වන පිටුවේ සිතියම්]
(සඟරාව බලන්න)
බ්‍රිතාන්‍යය
යුරෝපය
අප්‍රිකාව
බෝල්කන් අර්ධද්වීපය
මකිදෝනිය
ග්‍රීසිය
ඉල්ලුරිකයේ, ඩ්රාකීඋම් (ඇල්බේනියාවේ ඩියූරස්)
තෙසලෝනිකය
අපොලෝනිය
අම්පිපොලිස
පිලිප්පිය
නෙයාපොලිස (කවාලා)
බයිසැන්ටියම (ඉස්තාන්බුල්)
කළු මුහුද
මාමරා මුහුද
ත්රාස්
ඒජියන් මුහුද
ත්‍රෝවස
තුර්කිය
[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Mountain High Maps® Copyright © 1995 Digital Wisdom, Inc.
[16වන පිටුවේ පින්තූරය]
නෙයාපොලිසට යන අතරමඟ
[17වන පිටුවේ පින්තූරය]
පිලිප්පියට යන අතරමඟ